කවුරුත් රහසේ කතාවෙන ඔසප් වීම (දෙවන කොටස) ඔසප් දරිද්‍රතාවය හඳුනා ගනිමු.

2023 ඔක්තෝබර් 10.

සුමුදු ලක්ෂාණි විසිනි.

දරිද්‍රතාවය යන වචනය බොහෝ දෙනෙකුට නිතර කණවැකෙන වචනයක් උනත් ඔසප් දරිද්‍රතාවය බොහෝ දෙනෙකු නොදන්නා නොසලකා හරින මාතෘකාවකි.

ඔසප් දරිද්‍රතාවය යනු ඔසප් සමයේදී සනීපාරක්ෂක පහසුකම් සදහා ප්‍රවේශවීමට ඇති නොහැකියාවයි. එනම් ඔසප් කාලසීමාව තුළ සුදුසු සනීපාරක්ෂක තුවා ලබාගැනීමේ අපහසුව ,  නියමිත වැසිකිලි පහසුකම් නොලැබී යාම, සනීපාරක්ෂක මෙවලම් නිසි පරිදි බැහැර කිරීමේ අපහසුව, සමාජයේ මුල්බැසගත් මිත්‍යා මත හා ඔසප් වීම පිලිබද නිසි දැනුමක් නොමැතිකම ආදියයි.

2020 ලෝක බැංකු වාර්තාවන්ට අනුව ලංකාවේ කාන්තා ජනගහනය 51. 2% ලෙස හදුනාගෙන ඇත. ඒ අනුව සමස්ත ජනගහනයෙන් අඩකට වඩා සිටින්නේ කාන්තාවන්ය. එසේම ලංකාව තුළ මාසික ඔසප්වීම සිදුවන කාන්තාවන් සංඛයාව මිලියන 4. 2ක් බවට ගනන් බලා ඇත.

නමුත් මේ කාන්තාවන් අතරින් සෞඛ්‍යාරක්ෂිත ඔසප් සනීපාරක්ෂක ක්‍රම වෙත පිවිසීමට හැකියාව ඇත්තේ 30% ක් වැනි සුළු පිරිසකට පමණි. ඉතිරි 70% ක් දෙනාම භාවිතා කරනුයේ නිවැරදි ඔසප් සනීපාරක්ෂක ක්‍රම නොවේ.

Set of menstruation product and related items in a doodle style

ඔසප් දරිද්‍රතාවයට ආර්ථිකයේ බලපෑම හදුනාගනිමු

බොහෝ අඩුආදායම්ලාහී පවුල්වල කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඔසප් නිෂ්පාදනය මිලදී ගැනීමට නොහැකිව ඔසප් දරිද්‍රතාවය යන ගැටලුවට මුහුණ දේ. මෙහිදී ඔසප් සැපයුම් මගින් එල්ලවන මූල්‍ය බර හේතුවෙන් කාන්තාවන් සහ ගැහැණු ළමයින් මුහුණදෙන ආර්ථික අවධානම වැඩි කරයි. මේ යටතට ඔසප් සනීපාරක්ෂක තුවා, ටැම්පෝන් ආදිය පමණක් නොව, වේදනා නාශක,  යට ඇදුම් වැනි වියදම්ජ ඇතුළත්ය.

ඔසප් නිෂ්පාදන සදහා දැරිය හැකි අපහසුතා නිසා කාන්තාවන් සහ ගැහැණු ළමයින්ට අධ්‍යාපන අවස්ථා, ආර්ථික අවස්ථා මත අහිතකර ප්‍රතිවිපාක ඇතිවිය හැකිය.

දකුණු ආසියාවේ පාසල් තුළ ඔසප් සනීපාරක්ෂක කලමණාකරනය සම්බන්ධයෙන් වෝටර්ඒඩ් (water Aid) සහ යුනිසෙෆ් සංවිධානය නිකුත් කල වාර්තාවකට අනුව,ඔසප් කාලය තුල දෙමාපියන්ගෙන් 60%ක් සිය දියණියන් පාසල් නොයවයි.

බොහෝවිට මෙයට හේතුවන්නේ ඔවුන්ට ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන මිලදීගැනීමට ඇති නොහැකියාවයි. ලංකාව දෙස බැලීමේදී අධික ලෙස බදු අය කිරීම නිසා විශේෂයෙන් මෙම ගැටලුව උග්‍ර වේ.

නිදසුනම් වශයෙන් ගතහොත් ලංකාවේ දැනට වෙළදපොලේ පවතින සනීපාරක්ෂක තුවා පැකට්ටුවක අවම මිල රුපියල් 150ක් පමණ වේ. මෙහි අඩංගුවන්නේ සනීපාරක්ෂක තුවා අටක් වේ. ඔසප්වීම සිදුවන කාන්තාවකට දිනකට සනීපාරක්ෂක තුවා අවම වශයෙන් තුනක් පමණ අවශ්‍ය වන අතර ඔසප් කාලය තුල අවම වශයෙන් එවැනි සනීපාරක්ෂක තුවා පැකට්ටු දෙකක් පමණ භාවිතයට ගැනීමට සිදුවේ. එසේම කාන්තාවන් කිහිප දෙනෙකු සිටින නිවසක එම විදයම නිවසේ සිටින කාන්තාවන් ප්‍රමාණය මෙන් ගුණාකාරයෙන් වැඩිවේ. මෙම වියදම දැරීම ධනවත් පවුල් වලට සාමාන්‍ය දෙයක් වුවද පහල මධ්‍ය පාන්තික ආදායම් ලබන එදිනෙදා තම ජීවිතය පවත්වාගෙන යාමට සටන් කරන සාමාන්‍ය වැසියාට එය දැරිය නොහැකි මුදලකි. එම නිසා බොහෝ අවස්ථාවලදී ගැහැණු ළමයින් ඔසප් කාලසීමාව තුළ පාසල් නොගොස් නිවසේ නතර වෙයි. මන්ද ඔවුන්ගේ ඔසප් සනීපාරක්ෂක සැපයුම් වෙනුවෙන් වැයකරන මුදලින් නිවසේ ආහාර පරිභෝජන වියදම සපුරාගත හැකි බැවිනි.

මෙම ඔසප් සනීපාරක්ෂක තුවා වලට අමතරව අනෙකුත් සනීපාරක්ෂක ප්‍රවේශයන් වෙත පිවිසීමද ආර්ථිකය විසින් බාධා පමුණුවයි. පිරිසිදු වැසිකිලි පහසුකම්, සේදුම්කාරක ආදියද නිසිපරිදි සපයාගැනීමය ආර්ථිකය අතින් දුර්වල පුද්ගලයන්ට පහසුකම් නොමැත. එය වඩාත් කැපී පෙනෙන ස්ථානයක වනුයේ පාසල් පද්ධතීන් තුළය. නාගරිකව ඇති පාසල් තුළ සනීපාරක්ෂක පැතිකඩ යහපත් තත්වයේ පැවතියද ග්‍රාමීය පාසල් පද්ධති කරා යනවිට එය ක්‍රම ක්‍රමයෙන් අඩුවි ඉතාමත් ශෝචනීය තත්වයක් උදාවී ඇත. බොහෝ ග්‍රාමීය පාසල් පද්ධති තුළ සනීපාරක්ෂක තුවා මාරු කිරීමට, භාවිතා කරන ලද සනීපාරක්ෂක තුවා නිසි පරිදි බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැත. එසේම සමහර පාසල් තුළ වැසිකිලි පද්ධති සදහා ජල පහසුකම් පවා නොමැති අවස්ථා පවතී.

මෙම ඔසප් දරිද්‍රතාවය  සංවර්ධනය වෙමින් පවතින රටවල පමණක් පවතින ගැටලුවක් නොවේ. ධනවත් කාර්මික රටවලද කාන්තාවන් මෙම ඔසප් දරිද්‍රතාවය යන ගැටලුවට ගොදුරුවේ. ඒ අනුව සලකා බලනවිට ඔසප් දරිද්‍රතාවය ආර්ථික තත්වය මත පමණක්ම පැන නගින්නක් නොවේ.

ඔසප් දරිද්‍රතාවයට බලපාන සමාජීය බලපෑම හදුනාගනිමු

ලාංකික සමාජය තුළ කාන්තාවකගේ ඔස්ප්වීම කෙරෙහි නිසි අවධානයක් යොමුකර නැත. සමාජය කාන්තාවගේ ඔසප්වීම සලකන්නේ සගවා තබාගත යුතු දෙයක් වශයෙනි. ඒ පිලිබදව කතා කිරීමටද ලාංකික සමාජය පැකිලෙයි. කාන්තාවද තමන්ට ජීවවිද්‍යාත්මකව සිදුවන ඔසප්වීම පිලිබදව කතා කිරීමට පැකිලේ. ඔවුන්ගෙන් ඒ ගැන ඇසූවිට පවා මගහරින ස්වරූපයක් දක්නට ලැබේ. මෙයට මූලික වශයෙන් හේතුවී ඇත්තේ ඒ සම්බන්ධයෙන් සමාජය තුළ සිටින පිරිසට නිසි අවබෝධයක් නොමැතික හා නොදැනුවත්වභාවයයි. බොහෝ කාන්තාවන් ඒ පිලිබදව කතා කිරීම දකින්නේ බරපතල වරදක් ලෙසිනි.

නිසි ඔසප් සනීපාරක්ෂක යනු කුමක්දැයි කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ටද නිසි අවබෝධයක් තිබිය යුතුය. එසේම වෙළදසැලකට ගොස් සනීපාරක්ෂක තුවා මිලදී ගන්නාවිට එය ලබාදෙන්නේ පත්තර කොළයක ඔතා අපරාධ වැඩක් සිදුකරන්නාක් මෙන් හොරෙනි. එසේම කාන්තාවකට අත්‍යවශ්‍යම දෙයක් වන සනීපාරක්ෂක තුවා වෙලදසැලකට ගොස් මිලදීගැනීමට ලැජ්ජාවන තරමට සමාජය විසින් කාන්තාවගේ ඔසප්වීම ලැජ්ජාවා කරුණක් බව හුවා දක්වා ඇත. මෙයට බොහෝ දුරට හේතුවී ඇත්තේ ඔසප් වීම පිලිබදව නොදැනුවත්කම බැවින් වැදගත්ම කාරණයක් වනුයේ පාසල් අධ්‍යාපනය තුළින් හෝ මෙම මෙම ජීව විද්‍යාත්ම සංසිද්ධි පිලිබදව දරුවන්ගේ අවබෝධය ඇති කරවීමය.

ඔසප් සනීපාරක්ෂාවට  මිත්‍යා මතවල බලපෑම හදුනාගනිමු

ඔසප්වීම සම්බන්ධයෙන් නිසි දැනුමක් නිසි ස්ථානයකින් නොලැබෙන බැවින් බොහෝවිට ඒ පිලිබදව දැනුවත් වන්නේ අවිධිමත් ක්‍රම මගිනි. එනම් දෙමාපියන්, ඥාතීන් හා තම මිත්‍රයින් හෝ සමාජයේ පවතින විවිධ ආකාරයේ මූලාශ්‍ර මගින් වන අතර නමුත් මේවාගෙන් විධිමත් හා නිවැරදි දැනුමක් ලැබේද යන්න මැනීමට ක්‍රමවේදයක් නැත. එහිදී වුවද බොහෝවිට පදනම් වන්නේ මිත්‍යා මතයි. කෙසේ නමුත් වර්තමානය වනවිට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ගැන බොහෝදෙනා සමාජ මාධ්‍යවල කතා කිරීම නිසා මෙම මිත්‍යා මත යම්තාක් දුරකට අවමවී ඇතත් සමහර ප්‍රදේශවල සිටින පිරිස් වෙත එම බුද්ධි ගලනය සිදුවන්නේදැයි සැක සහිතය.

මිත්‍යාව – ඔසප් රුධිරය අපිරිසිදුය

ඔසප් රුධිරය සමන්විත වන්නේ රුධිරය හා පටක වලිනි. නමුත් සමාජයේ පවතින මතයක් වන්නේ ඔසප් රුධිරය අපිරිසිදු සහ භයානක බවයි.  ඒ මතය වර්තමානය වන විට තරමක් දුරට බැහැරව ගොස් තිබුනත් සමහර ප්‍රජාවන් අදටත් විස්වාස කරන්නේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඔසප්වීමේදී අවාසනාව හෝ අපිරිසිදුකම පැතිරවිය හැකි බවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආගමික උත්සවවලට සහභාගීවීම,  ආගමික ස්ථානවලට පැමිණීම වැනි ඔවුන්ගේ එදිනෙදා හැසිරීම් සීමා කිරීම්වලට මුහුණදීමට සිදුවේ.

යොවුන් දැරියන් 720ක් සහ ගුරුවරියන් 282ක් යොදා ගත් සමීක්ෂණයකින් හෙලිවූ කරුණු අනුව ගුරුවරියන් 60% කගේ විශ්වාසය වී ඇත්තේ ඔසප් රුධිරය අපිරිසිදු බවය.

බටහිර නේපාලයේ චෞපාඩි සම්ප්‍රදාය ඔසප් සමයේදී කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ආහාර පිසීම තහනම් කරන අතර නිවසින් පිටත බොහෝවිට පැල්පතක හෝ මඩුවක රාත්‍රිය ගතකිරීමට ඔවුන්ට බල කරයි. ඉතියෝපියාවේ එක් ග්‍රාමීය ප්‍රජාවක යෝනී මාර්ගයෙන් ලේ ගැලීම පිලිබදව තහංචි නිසා කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඔසප් වීමේදී පමණක් නොව දරු ප්‍රසූතියේදී සහ දරු ප්‍රසූතියෙන් පසු ලේ ගැලීමේදීද නිවසින් පිටුවහල් කර ඇත. නිවසින් හුදකලාවීම කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට අනතුරුදායක වේ. එමෙන්ම මාරාන්තික විය හැක. නිදසුනක් වශයෙන් නේපාලයේ කාන්තාවන් සහ ගැහැණු ලමයින් අධික ශීතල,  සත්ව ප්‍රහාර හෝ ලිංගික හිංසනයට පවා නිරාවරණය වී ඇත. (UNFPA වාර්තාවන්ගෙන් උපුටාගැනීමකි)

මිත්‍යාව – ඔසප්වීම විවාහය සහ ලිංගිකත්වය සදහා ඇති සූදානම පෙන්නුම් කරයි

ලොවපුරා බොහෝ ස්ථානවල ගැහැණු ලළමයකුගේ ඔසප් වීම ඇය විවාහය ලිංගික ක්‍රියාකරකම් සහ දරු ප්‍රසූතිය සදහා සූදානම් බවට ලකුණක් ලෙස විශ්වාස කෙරේ. මෙය ළමා විවාහ, ලිංගික් ප්‍රචන්ඩත්වය හෝ බලහත්කාරය සහ කලින් ගැබ් ගැනීම ඇතුළු අපයෝජන රාශියකට ගැහැණු ළමයින් ගොදුරුවේ. ඔසප් වීම ජීව විද්‍යාත්මක සංසිද්ධියක එක් ඇගවීමක් වන අතර ගැහැණු ළමයින් මානසික,  චිත්ත්වේගීය, මනෝවිද්‍යාතමක හෝ ශාරීරික පරිණතභාවයට පැමිණ ඇති බව එයින් අදහස් නොවේ.

මිත්‍යාව – ඔසප් වීම කාන්තාවන්ගේ හැකියා සීමිත කරයි.

ඔසප් වීම කාන්තාවන්ගේ ශාරීරික හෝ මානසික හැකියාවන් සීමිතකරන බව පොදුවේ විශ්වාස කෙරේ. නමුත් ඔසප් වීම කාන්තාවකගේ හැකියා සීමා නොකරන අතර නිසි ඔසප් සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කරන්නේ නම් කාන්තාවකට වෙනදා මෙන් එදිනෙදා කටයුතු කරගැනීමේ හැකියාව පවතී.

මිත්‍යාව- ඔසප් වීම ප්‍රසිද්ධියෙ සාකච්ජා නොකල යුතුය.

ඔසප් වීම පිලිබදව නිශ්ශබ්දතාවය නොදැනුවත්කම සහ නොසලකා හැරීමට හේතුවිය හැක. මේ හේතුවෙන් කාන්තාවන් සහ ගැහැණු ලමයින් ඔසප් දරිද්‍රතාවය සහ වෙනස්කොට සැලකීම වැනිදේට ගොදුරුවේ. එය පහල  ආදායම් ලබන කාන්තාවන්ට මෙනම් ඉහල ආදායම් ලබන කාන්තාවන්ටද අහිතකර ලෙස බලපාන තත්වයකි.

මිත්‍යාව – සියලුම කාන්තාවන් ඔසප් වීමේදී මනෝභාවයෙන් පෙළේ.

ඔසප් චක්‍රය හෝමෝන් වෙනස්වීම මගින් මෙහෙයවනු ලබයි. මේවා විවිධ පුද්ගලයන්ට විවිධ ආකාරයේ බලපෑම ඇතිකරනු ලබයි. සමහර කාන්තාවන්ගේ මනොභාවය මෙම හෝමෝන වෙනස්කම්වල අතුරු ආබාධයකි. සෑම කාන්තාවක්ම මෙම මනෝභාවය වෙනස්වීම් අත්විදින්නේ නැත.

මිත්‍යාව – ඔසප් සමයේ ඇඹුල් ජාති පානයෙන් එය නතර වෙයි.

මෙය විද්‍යානූකූලව ඔප්පු කල දෙයක් නොවේ. බොහෝ විට දෙහි,  ලෙමන්, විනාකිරි වැනි දේ භාවිතය ඔසප් වීම කලින් අවසන් කිරීමට හේතුවන බව සමහරුන් අතර පවතින විශ්වාසයකි. නමුත් ඇඹුල් ආහාර යම් ප්‍රමාණයකට එක්කරගැනීම හිතකරය. ඒ තුලින් සිරුරට යකඩ අවශෝෂණයට උපකාරීවීම තුළ නිරක්තිය වලක්වාගැනීමේ හැකියාව ඇත.

මිත්‍යාව – තෙල් බැදුම් පිළී ආහාර නොගතයුතුයි

ඔසප් සමයේදී තෙල් බැදුම්,  පිළී ආහාරපාන අනුභවයෙන්  අමනුෂ්‍ය බලපෑම වලට ලක්විය හැකිබව සමාජයේ පවතින මතයකි. නමුත් එහි සත්‍යතාව්‍යක් නැත. එසේ වුවද මෙය විද්‍යාත්මකව් ගතහොත් මේ දිනවල තෙල් ආහාර ගැනීම තුලින් සිරුර තුළ අනවශ්‍ය මේදය තැම්පත්වී ඔසප් වේදනාව මතුවීමේ ඉඩකඩ පවතී. නමුත් මේ දිනවල සිරුරේ මනා පෝෂණය රැකගැනීමට එළවළු, මාළු,  කිරි, බිත්තර,  ආදිය අඩංගු සමබල ආහාර පාන ලබාගැනීම වැදගත්වේ.

මිත්‍යාව – ඔසප් දිනවල ස්නානය කිරීම අහිතකරය

ඔසප් දිනවල ස්නානය කලවිට “ඉහට ගහනවා ”  යැයි සමාජයේ මතයක් පවතී. මේ හේතුවෙන් බොහෝවිට ඔසප් සමයේදී ස්නානය කිරීමට තහංචි පනවයි. ජලය නිසා රුධිරය ගලනයේ වෙනස්කම් ඇතිවිය හැකි නිසා මෙන්ම අතීතයේ පොදු ලිං, ගංගා ආදියේ ස්නානය කරන නිසා අනෙක් අයගේ වාසිය තකා මෙවන් විශ්වාස ඇතිවී තිබෙනවා විය හැකිය. නමුත් ස්නානය කිරීම ඔසප් සනීපාරක්ෂාව සම්බන්ධයෙන් වැදගත්ම දෙයකි. උණුසුම් ජලය ස්නානය කිරීමෙන් රුධිර ගලනය වැඩිවේ. එය වාසියක් වන්නේ එමගින් කෙන්ඩා පෙරලීම අඩුවීම සහ පේශී ආතතීන් ලිහිල් කිරීමට ඉවහල් වන බැවිනි.

මිත්‍යාව – සනීපාරක්ෂක තුවා ශරීරයට අහිතකරය

පොදුවේ සනීපාරක්ෂක තුවා ශරීරයට අහිතකර නැත. නමුත් සමහර අවස්ථා වලදී සලකා බැලිය හැකි සෞඛ්‍ය බලපෑම් තිබිය හැකිය.

ටැම්පෝන් භාවිතයේදී වැඩි කාලයක් එය මාරු නොකර සිටින විට එමගින් ශරීරයට අහිතකර තත්වයක් ඇතිවිය හැකිය.

සංවේදි සමක් ඇති පුද්ගලයින්ට සමහර සනීපාරක්ෂක තුවාවලට භාවිතා කරන සුවද විලවුන් වැනි නිෂ්පාදන ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා ඇතිවිය හැකිය .

p0

ඉබ්බාගමුව ප්‍රදේශයේ ඔසප් දරිද්‍රතාවය හදුනාගනිමු

“මට පෑඩ් පැකට් එකක් දෙන්න පුලුවන්ද”

( කායේ සිටි පුද්ගලයා මුලින්ම කලේ අපරාධයක් කල කෙනෙකු දෙස බලන්නාක් මෙන් අපහසුතාවයට පත්වන අයුරින් මුහුණ දෙස බැලීමය. )

ඉන්පසු පෑඩ් පැකට් එකක් ගෙන බෑගයකට දමා දුන්නේය.

“මට මේ වර්ගේ නෙමෙයි ඕනේ. මට විස්ෆර් (whisper) එකෙන් පෑඩ් පැකට් එකක් ඕනේ. ”

“ඒවා අපේ කඩවල නෑ නංගි. ඒකේ පොඩි පැකට් එකත් (සනීපාරක්ෂක තුවා 7ක් සහිත පැකට්ටුව) රුපියක් 430ක් වෙනවා. ඉතින් මෙහෙ මිනිස්සුන්ට ඕවා ගන්න සල්ලි නෑ. ඒ නිසා අපි ඒවා කඩේට ගේන්නෙ නෑ”

ග්‍රාමීය ජනතාව බහුල වශයෙන් ඔසප් දරිද්‍රතාවයට මුහුණ දෙන බවට හොදම නිදසුනක් ලෙස ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි සාමාන්‍ය වෙළදසැලකට ගොස් සිදු කල විමසීමේදී ඇතිවූ සංවාදය දැක්විය හැකිය. සුපිරි වෙළදසැල් වල හැර අනෙක් වෙළදසැලකට ගොස් බැලුවොත් මිලෙන් අඩු සනීපාරක්ෂක තුවා පමණක් දකින්නට ඇති අතර මිල වැඩි සන්නාම නාම සහිත සනීපාරක්ෂක තුවා දකින්නටවත් නැත. ඒ තරමටම කාන්තාවන්ට අත්‍යවශ්‍යම සනීපාරක්ෂක තුවා සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත්ව තිබේ.

ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මුළු ජනගහනය 10 274ක් වන අතර එයින් කාන්තා ජනගහනය 52 427ක් වේ. ( ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දත්ත ඇසුරිනි)

ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මුළු ජනගහනය අතරින් කාන්තා ජනගහනය ඉහල අගයක් ගත්තද ඔසප් දරිද්‍රතාවය යන ගැටලුව ගැන වැඩි අවධානයක් යොමුවන්නේ නැත. ඒ අනුව බලන කල ඔසප් දරිද්‍රතාවයට මුහුණදෙන හදුනාගත් මෙන්ම හදුනා නොගත් කාන්තාවන් බොහෝ පිරිසක් සිටිය හැකිය. සනීපාරක්ෂක තුවා මිලදීගැනීමට ඇති නොහැකියාව පමණක්ම නොව ඔසප් කාලය තුළ සනීපාරක්ෂාව සලසාගැනීමට ජල පහසුකම් ,  වැසිකිලි පහසුකම් නොමැති පිරිස්ද මේ ප්‍රදේශය තුළ වාසය කරයි.

“ඉස්කෝලෙදි පෑඩ් මාරු කරන්න නම් පුලුවන්. ටොයිලට් එක පිරිසිදුව තියෙනවා. හැබැයි පෑඩ් මාරු කරද්දි අයින් කරන පෑඩ් එක දාන්න තැනක් නම් නෑ”

ඉබ්බාගමුව ප්‍රදේශයේ පාසල් සිසුවියක් පැවසුවේ ඒ අයුරිනි. නමුත් ඇය ඒ ඔසප් වීම පිලිබදව කතා කිරීමට කැමැත්තක් දැක්වූයේ නැත. ඒ මාතෘකාව ඇසුනු සැනින් ඇයට අවශ්‍යවූයේ එතනින් පලායාමටය.

“අපිට කියලා තියෙනවා ඒ කාලෙට හවසට තනියම ඇවිදින්න යන්න එපා කියලා. එතකොට භූතදෝෂ වලට අහුවෙනවා කියනවා. ආයේ නාන්න එපා කියලා කියනවා ඉහට ගහනවා එතකොට ඔලුවෙ කැක්කුම හැදෙනවා කියලා. අන්නාසි කන්න එපා කියලා කියනවා. පුළුටු කාලා එලියට යන්න එපා කියනවා”

රෙදි කෑලි පාවිච්චි කරනව නම් හොදට හෝදලා වේලගන්න. ඒවා (පෑඩ්) පාවිච්චි කරද්දි උදේ ඇන්ද එක හවසට මාරු කරන්න ඕනේ. නිතරම ඇග සෝදන්න ඕනේ.

“හැමවෙලේම ඉතින් ඒවා ගන්න අමාරුයි. පුලුවන් වෙලාවට ගන්නවා”

ඉබ්බාගමුව ප්‍රදේශයේ කාන්තාවකගෙන් ඔසප් සනීපාරක්ෂාව පිළිබදව විමසීමේදී ඇය අදහස් ඉදිරිපත් කලේ ඒ අයුරිනි.

ඉබ්බාගමුව ප්‍රදේශයේ සමෘද්ධිලාභී පවුල් 5758ක් ( ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දත්ත ඇසුරිනි) වාසය කරන අතර ඔවුන් බොහෝ විට එදිනෙදා තම ආදායම උපයාගෙන ජීවත්වෙන පිරිස් වේ. එබැවින් කාන්තාවන් කිහිපදෙනෙකු සිටින නිවසක ඔසප් සනීපාරක්ෂක සැපයුම් මිලදීගැනීමෙ හැකියාව ඉතා පහල මට්ටමක පවතී.

එසේම සමහර ප්‍රදේශවල නිසි තොරතුරු ගලනයක් සිදුනොවීම නිසා ඒ පිලිබදව දැනුවත්භාවය පවතින්නේද ඉතා අඩු වශයෙනි. එබැවින් නොදැනුවත්භාවයද ඔසප් දරිද්‍රතාවය ගැටලුව තවත් උග්‍ර කර ඇත.

ඔසප් වීම මානව හිමිකම් හා සම්බන්ධ වන්නේ කෙසේදැයි බලමු

ලොව පුරා මිලියන සංඛ්‍යාත කාන්තාවන් හා ගැහැණු ළමයින්ට බලපාන ඔසප් දරිද්‍රතාවය බොහෝවිට අවධානමට ලක් නොවන මානව හිමිකමකි.

මානව හිමිකම් යනු සෑම මනුෂ්‍යයෙකුට ඔහුගේ හෝ ඇයගේ  මානව ගරුත්වය අනුව හිමිවන අයිතිවාසිකම් වේ මිනිස්සුන්ට ආරක්ෂිතව නාන පහසුකම් සහ ඔවුන්ගේ ඔසප් සනීපාරක්ෂාව කළමනාකරණය කිරීමේ ආරක්ෂිත සහ ඵලදායි ක්‍රම වෙත ප්‍රවේශ වීමට නොහැකි වූ විට ඔවුන්ගේ ඔසප් වීම ගෞරවාන්විතව ඔවුන්ට නොහැකි වේ.  ඔසප් වීම හා සම්බන්ධව උසුළු, විසුළු කිරීම, බැහැර කිරීම හා ලජ්ජාවද මනුෂ්‍ය ගෞරවයේ මූලධර්මයට යටපත් කරයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසාමාන්‍යතාවය, දරිද්‍රතාවය මනුෂ්‍යය අර්බුද සහ හානිකර සම්ප්‍රදායන්හි සියල්ලම  ඔසප් වීම අහිමි වීමේ සහ අපකීර්තමයේ කාලයක් බවට පත්කළ හැකි අතර එමගින් ඔවුන්ගේ මූලික මානව හිමිකම් බුක්ති විඳීම අඩපණ කල හැකිය.

ඔසප් වීම් සිදුවන පුද්ගලයෙකුගේ ජීවිත කාලය පුරාවට අවුරුදු තුනක් හෝ අටක ප්‍රමානයක් ඔසප් සමය ගත කරන අතර එම කාලය තුළ ඔවුන් ඔසප්  සම්බන්ධ බැහැර කිරීම් නොසලකා හැරීම හෝ  වෙනස් කොට සැලකීම්  වලට මුහුණ දිය හැකිය.

ඔසප් වීමේදී ඒ මිනිස්සුන්ට සලකන ආකාරය විවිධ සාධක බලපායි.

අවස්ථාවන්ට බාධා

තවත් පොදු  වැරදි මතයක් වන්නේ කාන්තාවන්ගේ සහ ගෑණු ලමයින්ගේ  ඔසප් චක්‍රය හේතුවෙන්  ශාරීරික හෝ චිත්තවේගීය හැකියාවන් අඩු වී ඇති බවයි.  මෙම අදහස් ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතාවය ශක්තිමත් කරමින් අවස්ථා

සඳහා බාධක නිර්මාණය කර ඇත. නමුත් සැබැවින්ම බොහෝ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ඔසප් වීම නිසා ඔවුන්ගේ හැකියාවන්ට කිසිදු බාධාවක් නැත.

සනීපාරක්ෂාව සහ සෞඛ්‍යයට බාධා

සෞඛ්‍යයට සහ සනීපාරක්ෂාවට ඇති අයිතිය මානව හිමිකමක් වුවද,  ඔසප් සමයේදී දුප්පත් පාසල් පද්ධති,බන්ධනාගාර හා නිවාස යනාදිය ආශ්‍රිතව ආරක්ෂිත ජල පහසුකම් වැනි දෑ සඳහා  දුර්වල ප්‍රවේශයක් ඇති බැවින් සනීපාරක්ෂාව සහ සෞඛ්‍යයට බාධා එල්ල වේ.

කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ඔවුන්ගේ ඔසප් සෞඛ්‍යය කළමනාකරණය කිරීමට අවශ්‍ය සැපයුම් සහ පහසුකම් නොමැති විට අහිතකර සෞඛ්‍ය ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවිය හැකිය. එසේම ඔසප් වීම හා සම්බන්ධව පවතින අපකීර්තය  කාන්තාවන්ට සහ ගැහැණු ළමයිට ඔසප්වීම සම්බන්ධ ආබාධ හෝ වේදනාව සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවීම වැළැක්විය හැකි අතර එය ඔවුන්ට ලබාගත හැකි ඉහළම සෞඛ්‍ය සහ යහ පැවැත්ම  භුක්ති විඳීමට අහිතකර ලෙස බලපායි.

ඔසප් වීමේ ආරම්භය ගැහැණු ළමයින්ගේ මානව හිමිකම් වලට හානි කළ හැකිය.  ලොව පුරා බොහෝ ස්ථානවල ඔසප් වීම  ගැහැණු ළමයින් විවාහයට හෝ ලිංගික ක්‍රියාකාරකම් සඳහා සූදානම් බව මට ඇඟවීමක් ලෙස ලෙස විශ්වාස කෙරේ. මේ හේතුවෙන් ළමා විවාහ ලිංගික හිංසනය ඇතුළු අපයෝජන  රාශියකට ගැහැණු ළමයින් ගොදුරු වේ.

අධ්‍යාපනයට ඇති අයිතිය

ආරක්ෂිත ස්ථානයක් නොමැති කම හෝ ඔසප් සනීපාරක්ෂාව කළමනාකරණය කිරීමට ඇති නොහැකියාව මෙන්ම ඔසප්වීම සම්බන්ධ වේදනාවට ප්‍රතිකාර කිරීමට ඖෂධ නොමැති කම, පාසල් නොපැමිණීමේ ඉහත අනුපාත වලට  සහ දුර්වල අධ්‍යාපනික  ප්‍රතිඵල වලට හේතු විය හැකිය. සමහර අධ්‍යයනවලින් තහවුරු වී ඇත්තේ ගැහැණු ළමයින්ට පාසලේදී ඔසප් වීම ප්‍රමාණවත් ලෙස කලමනාකරණය කිරීමට නොහැකි විට ඔවුන්ගේ පාසල් පැමිණීම සහ කාර්ය සාධනය දුර්වල වන බවයි.

වැඩ කිරීමට ඇති අයිතිය

ඔසප් සනීපාරක්ෂාව කළමනාකරණය කිරීමේ ආරක්ෂිත මාධ්‍යන් සඳහා ඇති දුර්වල ප්‍රවේශය සහ ඔසප් වීම සම්බන්ධ ආබාධ හෝ වේදනාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ නොමැතිකම කාන්තාවන්ට සහ ගැහැණු ළමයින් සඳහා රැකියා අවස්ථා සීමිත කරයි. මේ හේතුවෙන් ඔවුන් සමහර රැකියා වලින්  වැළකී සිටින අතර නැතහොත් ඔවුන් වැඩ කරන වෙලාවන් සහ අත්හැරීමට  සිදුවනු ඇත.

වෙනස්කොට සැලකීමට බදුන් නොවීමට  සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට ඇති අයිතිය.

ඔසප් වීම සම්බන්ධ අපකීර්තිය වෙනස් කොට සැලකීමේ පිලිවෙත ශක්තිමත් කරයි.  පාසල්,රැකියා,සෞඛ්‍ය සේවා සහ පොදු කියාකාරකම් සඳහා ඔසප් වීම සම්බන්ධව බාදක ද ස්ත්‍රී පුරුෂ අසමානතාවය දිගටම පවත්වාගෙන යයි.

ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීමට ගතහැකි විසදුම්

අද වනවිට මේ ඔසප් දරිද්‍රතාවය ලෝක ව්‍යාප්ත ගැටලුවක් බවට පත්වී ඇත. ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂක පිළිවෙත් පිළිබදව ඇති නොදැනුවත්කම සහ ගුණත්වයෙන් යුත් සෞඛ්‍යයට හිතකර නමුත් අඩු මුදලකට මිලදීගත හැකි සනීපාරක්ෂක සැපයුම් වෙත ප්‍රවේශවීමට ඇති නොහැකියාව ඔසප් දරිද්‍රතාවය ගැටලුව ඇති කරයි. මේ ගැටලුව තුරන් කිරීමට නම් කුඩා පියවරවලින් හෝ ආරම්භ කලයුතුය.

රජය විසින් ඔසප් සනීපාරක්ෂක සැපයුම් නොමිලේ ලබාදීම

ඔසප් වන කාන්තාවකට ලැබෙන සනීපාරක්ෂක නිෂ්පාදිතයේ ගුණාත්මකභාවය තීරණය කරනුයේ ආර්ථිකය විසිනි. ඉතා හොද ප්‍රමිතියේ සනීපාරක්ෂක තුවා, ටැම්පෝන් හෝ ඔසප් කෝප්පයක් ලැබේද එසේ නැතහොත් කඩමලු, ගස්කොළ හෝ වෙනත් අවිධිමත් දෑ භාවිතා කරමින් ඔසප් දින ගෙවේද යන්න තීරණය කරනුයේ ආර්ථිකය විසිනි.

දුගීභාවය හේතුවෙන් ලංකාවේ කාන්තාවන් හෝ ගැහැණු ළමුන් වැඩි දෙනෙක් සනීපාරක්ෂක තුවා වෙනුවට රෙදිකඩක් භාවිතා කරති. එමගින් ගැහැණු ළමයිනේ පාසල් පැමිණීමටද කාන්තාවන්ගේ එදිනෙදා වැඩකටයුතුවලටද බාධා එල්ලවිය හැකිය. එසේ ඒ දේවල් මග හැරීම රටේ අනාගතයට මෙන්ම රටේ ආර්ථිකයටද විශාල ලෙස අහිතකර බලපෑම් එල්ලකල හැකිය.

කාන්තා පාර්ශවයට මෙන්ම පුරුෂ පාර්ශවයට යන දෙපාර්ශවයටම බලපාන උපත් පාලනය සම්බන්ධයෙන් උපදෙස් සැලසුම් නොමිලේ ලබාදීමට රජය විසින් වැඩකටයුතු සලසයි. ඔසප් වීම කාන්තාවට පමණක් බලපාන නිසා ඒ කෙරෙහි අවධානය යොමු නොකලද ඔසප් වීම කාන්තාවකට ඉබේ සිදුවන ස්භාවිකව සංසිද්ධියක් බැවින් ඔසප් සැපයුම් නොමිලේ ලබාදීම සාධාරණය. රටක ජනතාවගේ සනීපාරක්ෂාවේ තත්වය ඉහල නැංවීම රජයේද විශාල වගකීමක් වන අතර ඔසප් වීම යනු බලෙන් නැවැත්විය හැකි දෙයක් හෝ නොවන බැවින් ඔසප් දරිද්‍රතාවය අවම කිරීමට රජය විසින් සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම අත්‍යවශ්‍යම කරුණක්වේ.

සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම

ඔසප් සෞඛ්‍ය හා සම්බන්ධ සමාජ දුර්මත බිද දැමීමට සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් වැදගත්වේ. සෑම කාන්තාවක්ම අත්විදින වඩාත් ස්භාවිකව සංසිද්ධියක් වන මෙම ඔසප්වීමේ ක්‍රියාවලිය සමස්ථ ජනයා අතර සාමාන්‍යකරණය කිරීමටත්, සමාජය තුළ ස්ත්‍රීපුරුෂභාවය නොසලකා ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබදව විවෘතව කතා කිරීමට ඇති හැකියාව ඇති කිරීමටත්, ඔසප් සෞඛ්‍යය පිලිබදව නිසි අධ්‍යාපනයක් සමාජයට ලබාදීමත් මගින් ඔසප් සෞඛ්‍යය පිළිබද සමාජයේ ඇති දුර්මත වෙනස් කිරීමට මෙම සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් හැකියාව ලැබේ.

පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කිරීම සහ ගුරුවරුන්ට ඒ පිලිබදව නිසි පුහුණුවක් ලබාදීම, නිරීක්ෂය සහ ඇගයීම

ඔසප් වීම සහ ප්‍රජනන සෞඛ්‍යය පිලිබදව විෂය නිර්දේශය තුළ ඇතුලත් වුවද ඒ පාඩම බොහෝ ගුරුවරුන් උගන්වන්නේ පැකිලෙමින් සහ යන්තමින් උඩින් පල්ලෙනි. සමහරවිට බොහෝ අවස්ථාවල මෙම පාඩම මගහරිනු ලැබේ. එසේ නැතහොත් කිසිවිටෙකත් උගන්වනු නොලැබේ. එය කුඩා වයසේ සිට දරුවන්ට වැරදි තොරතුරු ගලනය වීමට විශාල පිටිවහලකි. ගුරුවරුන්ගේ මෙන්ම දෙමාපියන්ගේද් වගකීම වන්නේ පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබදව තම දරුවන්ට නිවැරදි දෑ ඉගැන්වීමයි. එබැවින් විෂය නිර්දේශය තුල මේ මාතෘකාව අනිවාර්‍ය මාතෘකාවක් කිරීමත් නිසි තොරතුරු ඇතුළත් කිරීමත් ගුරුවරුන්ට ඒ පිලිබදව නිසි පුහුණුවක් ලබාදීමත් ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීමේ තවත් පැතිකඩක් ලෙස හදුනාගත හැකිය.

බැලූ බැල්මට පෙනෙන්නේ ඔසප් දරිද්‍රතාවය එයට මුහුණදෙන කාන්තාව පමණක් මුහුණහෙන තත්වයක් ලෙසයි. නමුත් ඒ දෙස ගැඹුරින් බැලු කල එය මුළු සමාජයටම බලපාම පොදු ගැටළුවකි. එය කාන්තාවක් වීම හේතුකොටගෙන ජීව විද්‍යාත්මකව ඇතුවන්නක් වුවද පුරුෂයාටද අදාල වන්නේ පවුලේ, සමාජයේ, රටේ, ලෝකයේ ජීවත්වන්නේ පුරුෂයින් පමණක් නොවන නිසාය. එම නිසා කාන්තාවට බලපාන කරුණු වක්‍රාකාරයෙන් පුරුෂයාටද පුරුෂයාට බලපාන කරුණු වක්‍රාකාරයෙන් කාන්තාවටද බලපානු ලබයි. සමාජයක් යනු පුද්ගලයන් එකිනෙකට බද්ධ අන්තර්පුද්ගල සබදතා ගොඩනැගෙන පරිසායකි. ඒ නිසා පුරුෂයන්ට ඔසප්වීමක් සිදිනොවන නිසා එය වැදගත් නොවන කාරණයක් ලෙස අත්හැරදැමීම සාධාරණ නොවේ. තවද ඔසප් සනීපාරක්ෂාවක් නොමැතිවිට එය පුද්ගලික, සමාජීය, ආර්ථික සහ පාරිසරික ගැටළු ඇතිකරනු ලබයි.

ඔසප් දරිද්‍රතාවය යනු සනීපාරක්ෂක තුවායකට පමණක් සීමාවූ ප්‍රශ්නයක් නොවේ. ප්‍රශ්නය වන්නේ මාසික ඔසප් සනීපාරක්ෂාව මූලික අවශ්‍යතාවයක් ලෙස නොසලකන්නේ මන්ද යන්නයි. සනීපාරක්ෂක ද්‍රව්‍ය කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බැවින් ඊට පනවා ඇති බදු කපාහැරිය යුතුය. අවම වශයෙන් අඩු ආදායම්ලාභී පිරිස් සදහා වත් නොමිලේ සනීපාරක්ෂක නිෂ්පාදන ලබාදී සෞඛ්‍යය සම්පන්න සමාජයකට මග පෑදීමට රජය පියවර ගතයුතුය.

ලංකාවේ සෞඛ්‍යය අධ්‍යාපනය සවිබල ගැන්වීම තුලින් ඔසප්වීම සාමාන්‍යකරණය කිරීමට සහ මෙම ස්භාවික ක්‍රියාවලිය වටා ඇති තහනම් විනාශ කිරීමට උපකාරී වේ.

Screenshot 2023-12-16 at 12.55.29

Social Share: