2023 සැප්තැම්බර් 28.
සුමුදු ලක්ෂාණි විසිනි.
ඔසප්වීම පිළිබදව විවෘතව කතා කිරීමට ඇති සමාජීය කුලෑටිභාවය ලොවපුරා සිටින සියලුම ගැහැණු ළමයින්ට සහ ස්ත්‍රීන්ට එක්වරක් හෝ බලපෑමක් ඇති කරන සමාජීය ගැටලුවකි.
ඔසප් සමය පිළිබදව පවතින අනවශ්‍ය සමාජීය ලැජ්ජාව සහ මිත්‍යා මතවාදයන් හේතුවෙන් සනීපාරක්ෂාව සහ සෞඛ්‍යය රැකගැනීම උදෙසා ස්ත්‍රීන් සතු මූලික අයිතිවාසිකම කඩවී යයි. ලාංකික සමාජය තුළ මල්වරවීම ලෙසින් හදුන්වන පළමු ඔසප් වීම උත්සවාකාරයෙන් සමරයි. නමුත් ඉන් පසුව ඔසප් වීම යනු බොහෝ දෙනෙකු කතා කරන්නට පැකිළෙන මාතෘකාවකි. එසේම දෙමාපියන් මිත්‍යාවන් මත පදනම්ව දරුවන්ට වැරදි උපදෙස් ලබාදෙන අතර යථාර්තය අවබෝධ කර දීමක් කරන්නේ නැත. එසේම ඔසප් වීම යනු සගවා තබාගත යුතු දෙයක් බවට සිත් තුළට කාවැද්දීම ඔසප් සනීපාරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුකරන මූලික කරුණක් බවට පත්වී ඇත. නමුත් ඔසප්වීම යනු එලෙස සගවා තබාගැනීමට බරපතල ප්‍රශ්නයක් හෝ අසනීපයක් නොවේ. එය වැඩිවියට පත්වූ සෑම ගැහැණු ළමයෙකුටම පොදු ජීව විද්‍යාත්මක සංසිද්ධියකි. මෙසේ ඔසප් වීම ආරම්භ වන්නේ ගැහැණු ළමයෙකුගේ ශරීරයේ හෝමෝන වෙනස්වීම මත ඩිම්භ මේරීම ආරම්භ වීමත් සමගයි.
“මට මතකයි එක දවසක් මගේ යාලුවෙක් අපේ ගෙදර ආවා. එතකොට මං හය වසරේ. මං ඉස්සරලම පෑඩ් පැකට් එකක් දැක්කෙ එදා. මං ඒක මොකක්ද කියලා අතට අරන් බැලුවම අම්මයි මගේ යාලුවයි කළේ ඉක්මනට ඒක මගෙන් අරන් හංගපු එක. ඊට පස්සේ කිව්වා ‘ඒක ඔයාට වැඩක් නෑ ඔයා තාම පොඩි ළමයෙක්’ කියලා. මං එතකොට පීරීයඩ් ගැන දැනගෙන හිටියෙ නෑ. යට ඇදුමේ ලේ ගෑවිලා තියෙනවා ඊට පස්සෙ දවස් ගානක් කාමරේක තියාගෙන ඉදලා වෙලාවක් බලලා නාවලා ලොකු උත්සවයක් ගන්නවා කියලා විතරයි මං දැනගෙන හිටියෙ. පස්සෙ නම් ඒ ගැන ටික ටික දැනගත්තා. මං ලොකු ළමයෙ උනේ අටේ පන්තියේ ඉද්දි. ඊට මාස ගානකට පස්සෙ තමයි ආයේ පීරියඩ් හැදෙන්න ගත්තේ. ඒ හැදුනම අම්මා මට ලොකු රෙදි කෑලි ගොඩක් දුන්නා යට ඇදුමට තියලා ඇදගන්න කියලා. ඒක හරිම අපහසුයි. මං ඉස්කෝලේ යනකොට හරි ලැජ්ජාවෙන් යන්නේ රෙදි කෑලි ගොඩක් නිසා අනික් අයට ඒක පේනවා ඇති කියලා හිතාගෙන. අපේ ගෙදර වතුර තිබුනෙ නෑ ඒ නිසා ඒ රෙදි කෑලි හෝදන්න ගියාමත් ගොඩක් අපහසුතාවයට පත්වුනා. ඊට පස්සෙ නංගිට පීරියඩ් හැදෙනකොට අම්මා එයාට පෑඩ් අරන් දුන්නා. එයා යන්නෙ ලොකු ඉස්කෝලෙකට එයාට රෙදි කෑලි ඇදන් යන්න බෑ කියලා අම්මා කිවුවා. අම්මට ඒ විදියට කරන්න වුනේ සල්ලි නැති නිසා කියලා මං දන්නවා. දෙන්නෙක්ට පෑඩ් වලට වියදම් කරන්න තරම් සල්ලි එයා ලග තිබුනෙ නෑ.හැබැයි ටික කාලෙකට පස්සෙ නම් අම්මා නංගිටයි මටයි දෙන්නටම පෑඩ් අරන් දුන්නා”
මෙසේ පැවසුවේ මගේ මිතුරියක්.
වෝටර්ඒඩ් (water Aid) සහ යුනිසෙෆ් සංවිධානය (2015) විසින් යොවුන් දැරියන් 720ක් සහ ගුරුවරියන් 282ක් යොදාගෙන සිදුකල සමීක්ෂණයකින් හෙලිවූ කරුණක් වන්නේ එයින් සිසුවියන් 66%ක් වැඩිවියට පත්වන තෙක්ම ඔසප්වීම පිලිබදව දැනුවත්ව නොසිටි බවයි.
කවුරුත් රහසේ කතාවෙන ඔසප් වීම හදුනාගනිමු.
නව යොවුන් වියට එළඹෙන විට සෑම දරුවෙකුගේම ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස්වීමට පටන් ගනී. එහි ප්‍රතිඵලයක් ලෙස ගැහැණු ළමයෙකුගේ ඔසප් චක්‍රය ආරම්භවේ. ඔසප් වීම ඔසප් චක්‍රයේ කොටසකි. ඩිම්භ මේරීම, ඩිම්භනීහරණය, ගර්භාෂ බිත්ති ඝණ වීම සහ ගර්භාෂ බිත්තිය ගැලවී ශරීරයෙන් ඉවත් වීම වන සිදුවීම් ඔසප් චක්‍රයට අයත් වේ. ඔසප් චක්‍රය දින 28ක් ලෙස සාමාන්‍යයෙන් සැලකුවද එයට වඩා දිගු හෝ කෙටි ඔසප් චක්‍රයක් ඇති ගැහැණුළමයි බොහෝ සිටිති.
ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ඩිම්බ කෝෂ, පැලෝපීය නාල සහ ගර්භාෂයකින් සමන්විතය. ඩිම්බ කෝෂ තුල ඇති ඩිම්භ වලින් එකක් පරිණතවී පිටතට පැමිණෙන විට පැලෝපීය නාලය එය ග්‍රහණය කර ගනියි. ඉන් පසු පැලෝපීය නාලය හා ගර්භාෂ ප්‍රදේශයේ පැය 24ක් පමණ ඩිමිභය සැරිසරයි. මේ කාලය තුළදී සරු ශුක්‍රාණුවක් මුණ ගැසුණොත් ගර්භණීභාවයක් හට ගැනීමට ඉඩ ලැබේ. පහත වීඩියෝවෙන් මේ ගැන පැහැදිළි කර ගනිමු.
ඔසප් කාලසීමාව තුළ හෝමෝන මට්ටම ( ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් ) වෙනස්වන අතර රුධිරය පිටවීම හැර ඔසප් වීම තවත් අපහසුතා ඇති කරයි.
- උදරය කැක්කුම හා වේදනාව
- කොන්දේ අමාරුව
- පියයුරු ඉදිමීම හා වේදනාව
- ආහාර අරුචිය
- මනෝභාවය වෙනස්වීම සහ නුරුස්නා ගතිය
- හිසරදය සහ තෙහෙට්ටුව
- දියර මළපහ පිටවීම
ආදිය ඉන් කිහිපයකි. සෑම ගැහැණු ළමයෙකුටම මේ සියළු අපහසුතා ඇති වන්නේ නැත. එක් එක් කෙනාගේ ශරීරයට ක්‍රියා කරන ආකාරය අනුව ඔසප් වීමේ අත්දැකීමද වෙනස් වේ.
බොහෝ කාන්තාවන්ට මගහැරෙන ඔසප් සනීපාරක්ෂාව හදුනාගනිමු
ඔසප් සනීපාරක්ෂාව යනු ස්ත්‍රියකගේ අයිතිවාසිකමකි.
“ඔසප් සමයේ පිටවන රුධිරය අවශෝෂණය කරගැනීමට පිරිසිදු ඔසප් කළමනාකරණ ද්‍රව්‍ය භාවිතා කිරීම ඔසප් සනීපාරක්ෂාව ලෙස අර්ථ දැක්විය හැකිය. (WHO / UNICEF 2012 )
සනීපාරක්ෂාව මාතෘකාව ඉතා පුළුල් එකක් වුවද රටක ජනතාවගේ සනීපාරක්ෂාවේ තත්ත්වය මත එරට ජනතාවගේ ජීවන තත්ත්වය, සෞඛ්‍යය තත්ත්වය, රජය ජනතාවගේ සුබසාධනය සම්බන්ධයෙන් මැදිහත්වන ප්‍රමාණය වැනි බොහෝ කරුණු නිරූපණය වේ. ඔසප් සනීපාරක්ෂාවද පුද්ගලයකුගේ සනීපාරක්ෂාවේම අංගයක් වුවද එය බොහෝ දෙනා මගහරින සැලකිල්ලක් නොදක්වන දෙයක් බවට පත්ව ඇත.
වර්තමානය වන විට ස්ත්‍රීන් එදිනෙදා ගෙදර දොර සහ රැකියා ආශ්‍රිත වගකීම් වැනි කාර්යබහුලත්වය හා ආර්ථික තත්ත්වය හේතුවෙන් කාන්තාවන් බොහෝ ප්‍රමාණයක් සිය සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව කෙරෙහි ප්‍රමුඛතාවයක් නොදක්වයි. එසේම ග්‍රාමීය ප්‍රදේශ වල බොහෝ කාන්තාවන්ට ඔසප් සනීපාරක්ෂාව ගැන නිසි අවබෝධයක් නොමැති අතර සනීපාරක්ෂක තුවා භාවිතය පිළිබදව දැනුමක්ද නැත.
ඔසප් සමයේදී සනීපාරක්ෂාව නිවැරදි ලෙස පවත්වාගෙන යාම ඉතාම වැදගත් කාරණයකි. එය අපගේ සෞඛ්‍යයට සෘජුවම බලපාන කරුණකි.
ඔසප්වීම කලමණාකරනය කිරීමට අපට අවශ්‍ය වන්නේ කුමක්දැයි හදුනාගනිමු.
ඔසප් වීම පමණක් නොව ස්ත්‍රීන් සහ ගැහැණු ළමයින්ට විශේෂයෙන් බලපාන සෞඛ්‍යය තත්ත්වයන් වන ගැබ් ගැනීම, දරු ප්‍රසුතිය, පශ්චාත් ප්‍රසව වෙනස්වීම්, ආර්තවහරණය වැනි දෑ ගැන බොහෝ විට වෛද්‍ය ආයතන පවා නොසලකා හැර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ස්ත්‍රීන් සහ ගැහැණු ළමයින් බොහෝවිට ඔවුන් අත්විදින වෙනස්කම් ගැන දන්නේ අල්ප වශයෙනි. බොහෝ ගැහැණු ළමයින් ඔසප්වීම ගැන ඉගෙන ගන්නේ වැඩිවියට පැමිණෙනවිට පමණක් වන අතර එහිදි වුවද බොහෝ විට දැනගන්නේ මිත්‍යා මත සහ වැරදි අදහස් පමණි. එම නිසා ඔසප් වීම් කළමණාකරනය කිරීමට අපට අවශ්‍ය වන්නේ කුමක්දැයි සලකා බැලීම ඉතා වැදගත්වේ.
- ඔසප් රුධිරය අවශෝෂණය කරගැනීමට හෝ එකතු කිරීමට පිරිසිදු ද්‍රව්‍ය සදහා ප්‍රවේශයක් තිබිය යුතුය.
- භාවිතා කරන ලද ඔසප් සැපයුම් බැහැර කිරීමට හෝ නැවත භාවිතා කළ හැකි සැපයුම් සේදීමට ස්ථානයක් තිබිය යුතුය.
- ඔසප් වීම සිදුවන විට ආරක්ෂිතව සහ පුද්ගලිකව සබන් හා වතුර යොදාගෙන පිරිසිදුවීමට හැකිවිය යුතුය.
- ඔසප් චක්‍රය සහ අපහසුතාවයකින් සහ බියකින් තොරව ඔසප් වීම කලමණාකරනය කරන්නේ කෙසේද යන්න පිලිබදව මූලික අධ්‍යාපනයක් තිබිය යුතුය.
- ඔසප්වීම සිදුවන අවස්ථාවේදී සෞඛ්‍යය තොරතුරු සහ රැකවරණය සදහා ප්‍රවේශ තිබිය යුතුය.
ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන මොනවාදැයි හදුනාගනිමු
ඔසප් සනීපාරක්ෂක තුවා – sanitary pads

ලොව කාන්තාවන් තමන්ගේ ඔසප් කාලයේදී වැඩි වශයෙන් යොමු වන්නේ සනීපාරක්ෂක තුවා වෙතයි. සනීපාරක්ෂක තුවා විවිධ සන්නාම යටතේ වෙළදපොළේ ඇති. දියරමය ස්වභාවය හොදින් උරාගැනීමට හැකි කෘතීම ද්‍රව්‍යක් යොදා මේවා නිෂ්පාදනය කර තිබේ. මුල් කාලයේදී කපුවලින් නිෂ්පාදිත තුවා වෙළදපොලට පැමිණියත් වර්තමානය වනවිට සනීපාරක්ෂක තුවා වල කාර්යක්ෂමතාවය එහි අවශෝෂණය කිරීමේ හැකියාව මත රදා පවතින බැවින් අවශෝෂණය වැඩි කරගැනීමට නිෂ්පාදකයන් විවිධ ද්‍රව්‍ය භාවිතා කරයි. කැටිති ස්වරූපයෙන් හෝ සංයුක්ත රෙදි ස්ථරයක් ලෙස මේවා සනීපාරක්ෂක තුවා තුළට ඇතුළු කරයි.
දිනෙන් දින විවිධාකාර නම්වලින් සනීපාරක්ෂක තුවා වෙළදපොලට පැමිණේ. අදවනවිට හොදම සනීපාරක්ෂක තුවා වර්ගය කුමක්දැයි සිතාගැනීමට නොහැකි තරමට නිෂ්පාදන වෙළදපොල තුල තිබේ. සනීපාරක්ෂක තුවා මිලදීගැනීමේදී නිසි ප්‍රමිතීන්ට අනුකූලව නිසි ප්‍රමිති සහතිකයක් තිබේදැයි සොයාබැලිය යුතුය.
ටැම්පෝන්

ටැම්පෝන් යනු තෙතමනය උරා ගන්නා ද්‍රව්‍ය යොදා ගෙන නිෂ්පාදනය කරන ලද යෝනි මාර්ගයට ඇතුළු කරන කුඩා බටයකි. ටැම්පෝනයට උරා ගන්නා රුධිරය යෝනි මාර්ග බිත්තියේ ගෑවෙන නිසා පැය කිහිපයකට වඩා එක් ටැම්පෝන් එකක් පැලද සිටීම සනීපාරක්ෂාවට ඉතා අහිතකරය. ඒ නිසා පැය කිහිපයකින් එය ඉවත් කර අළුත් ටැම්පෝනයක් පැළදිය යුතුය.
ඔසප් කෝප්ප – menstrual cup

කුඩා, නම්‍යශීලී ලෙස නිර්මාණය වූ මේ කප් එක ශරීරයට හිතකර වෛද්‍ය අනුමැතිය තිබෙන සිලිකන්, රබර් හෝ ප්ලාස්ටික් භාවිතයෙන් නිෂ්පාදනය කර තිබේ. එසේම ඔසප් කාලය තුළ මේ කප් භාවිතා කිරීම වඩාත් පහසු වේ.යෝනි මාර්ගයට ඇතුළු කළ හැකි පුනීලයක් වැනි මෙම ඔසප් කොප්පය වසර දහයක් පමණ භාවිත කළ හැකිය. මෙය පැය 6 – 12 ත් අතර කාලයක් පැලද සිටිය හැකි අතර එය ඉවත්කර එයට එකතුවී තිබෙන රුධිර තරල සෝදා නැවත යෝනි මාර්ගයට ඇතුළු කළ හැකිය. ඔසප් කෝප්පය භාවිත කරන විට රුධිරය එහි රැදෙන නිසා යට කලිසමේ රුධිර පැල්ලම් ඇති වන්නේද නැත.
එසේම භාවිතා කල පසු පරිසරයට මුදාහැරීමක් සිදු නොවන නිසා පරිසර හිතකාමී නිෂ්පාදනයක් ලෙසද හදුනාගත හැකිය. මේ කප් එක නැවත භාවිතා කිරීමට පෙර උණුවතුරේ මිනිත්තු 5 – 10 ක් තම්බා ගැනීම මගින් විෂබීජහරණය වඩාත් යෝග්‍ය වේ.
නැවත භාවිතාකළ හැකි සනීපාරක්ෂක තුවා
සෝදා නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා සකස් කර ඇත්තේ කපු රෙදි යොදා ගෙනය. තෙතමනය යට කලිසමට ඒම වැළැක්වීමට කෘතිම බාධකයක් මේ පෑඩ් වල ඇතුළත්ය. මෙම සනීපාරක්ෂ තුවා නැවත නැවත භාවති කළ හැකි නිසා පසුම්බියටද පහසුය. රෙදි වලින් සකස් කළ සනීපාරක්ෂක තුවා හොදින් ඉර අව්වේ වේලා ගත යුතුය.
ඔසප් කාලයට නිර්මාණය වූ යට ඇදුම් – period panties

ඔසප් කාලය තුළදී භාවිත කළ හැකි සනීපාරක්ෂික තුවායක් ඇතුලත් කර සකස් කරන ඇති පීරියඩ් ජංගි සාමාන්‍ය යට කලිසමක් ලෙස භාවිත කළ හැකිය. ඒ නිසාම ඔසප් කාලය තුළ මෙය ඉතා පහසුවෙන් භාවිතා කිරීමේ හැකියාව පවතී. එමෙන්ම ඔසප් කාලයේදී කාන්තාවන් බහුල ලෙස බිය වන කාන්දුවීම් ගැන මේ යටඇදුම් භාවිතයේදී පහසුවෙන් අමතක කල හැකි අතර එය වඩාත් පහසු සනීපාරක්ෂක සැපයුමක් වේ.
ඔසප් වීම නිසි ලෙස කලමණාකරනය කිරීමට නොහැකිවූ විට සිදුවන්නේ කුමක්දැයි දැනගනිමු
නිවැරදි ඔසප් නිෂ්පාදන සදහා ප්‍රවේශ නොමැතිකම සහ ඒවා පිළිබද නොදැනුවත්කම ආසාදන ඇති වීමේ වැඩි අවධානම ඉහළ දමයි. බොහෝ අවස්ථාවල අපිරිසිදු ඔසප් සනීපාරක්ෂක ද්‍රව්‍ය භාවිතා කිරීම මෙයට හේතුවේ. උදාහරණයක් ලෙස නියමිත ප්‍රමිතියක් නොමැති පෑඩ් භාවිතය, නැවත නැවත භාවිතා කළහැකි සනීපාරක්ෂක තුවා හොදින් වියලාගැනීමට නොහැකිවීම ආදිය ඔසප් සනීපාරක්ෂාට අභියෝග එල්ල කරයි.
“ඒවා පාවිච්චි කරල නම් නෑ කවදාවත්. රෙදි කෑලි තමයි පාවිච්චි කරන්නේ”
ඔසප් සනීපාරක්ෂාව සම්බන්ධයෙන් ඉබ්බාගමුව ප්‍රදේශයේ ග්‍රාමීය කාන්තාවකගෙන් විමසීමේදී ඇය ඉතා ලැජ්ජාශීලී වෙමින් පැවසුවේ එසේය.
සමහර අවස්ථා වලදී කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ඔසප් නිෂ්පාදන සදහා කිසිසේත්ම ප්‍රවේශවීමට හැකියාවක් නැත. ඔවුහු ඔසප් රුධිරය අවශෝෂණය කරගැනීමට හෝ එකතුකරගැනීමට පරණ රෙදි හෝ වෙනත් තාවකාලික අයිතම වෙත යොමු වෙති.
ඔසප් සමයේදී පිරිසිදුවීමට හෝ සනීපාරක්ෂක අයිතම වෙනස් කිරීමට නොහැකිවූ විට ආසාදන වලට වැඩි අවධානමක් ඇති කරයි. ගැහැණු ළමයින්ට ඔවුන්ගේ ඔසප් සැපයුම් නිතිපතා වෙනස් කිරීමට හෝ පිරිසිදු කිරීමට නොහැකිවූ විට මුත්‍රා ආසාදන ඇති වීමේ අවධානම වැඩිය. මෙලෙස නිතර නිතර මුත්‍රා ආසාදන ඇතිවීම ගැබ්ගෙල පිලිකා ඇතිවීමේ අවධානම තීව්‍ර කරයි.
එසේම වැඩි පැය ගනනක් එක සනීපාරක්ෂක තුවා භාවිතය කුෂ්ඨ සහ එවැනි වෙනත් ගැටලු ඇති කරවිය හැකිය. විශේෂයෙන් අධික රුධිර වහනය ඇති දිනකදී දහඩිය සහ අනෙකුත් ශරීර තරල ක්ෂුද්‍රජීවීන් සදහා හිතකර අභිජනන ස්ථාන නිර්මාණය කරන බැවින් සෑම පැය කිහිපයකටම වරක්ම සනීපාරක්ෂක තුවා මාරු කිරීම වැදගත්වේ. තවද මෙම නිෂ්පාදන ලිංගික ප්‍රදේශයේ සංවේදී සම සමග ස්පර්ශ වන බැවින් ඒවා භාවිතයට පෙර පිරිසිදු ලෙස තබාගැනීමට වගබලා ගත යුතුය. එමෙන්ම සනීපාරක්ෂක තුවා සදහා විකල්ප ලෙස පැරණි ඇදුම් හෝ අපරිසිදු රෙදිපිළි භාවිතයෙන් වැලකී සිටීම වඩාත් යෝග්‍ය වේ. රෙදිපිළි සනීපාරක්ෂක තුවා මත ඇති ද්‍රව්‍ය මෙන් ක්‍රියානොකරන අතර අඛණ්ඩ භාවිතය සමග බරපතල ආසාදන ඇතිවිය හැකිය.
ඔසප් කාලය තුළ යෝනි ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීමද ඉතා වැදගත් වේ. අහිතකර බැක්ටීරියා සම මත රැදී සිටිය හැකි බැවින් සනීපාරක්ෂක තුවා වෙනස්කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. එම නිසා සේදීම ඉතා වැදගත්වේ. යෝනි ප්‍රදේශය රළු ලෙස සේදිමද යෝග්‍ය නොවේ. මේ සදහා සබන් හෝ වෙනත් සුවදවත් නිෂ්පාදන භාවිතා නොකළ යුතු අතර මෘදු සුවද නොගැල්වූ සබන් වර්ගයක් භාවිතා කිරීම උචිත වේ. නැතිනම් ඇල් මැරුණු ජලයෙන් සේදීමද සුදුසුය.
සනීපාරක්ෂක තුවා භාවිතයෙන් පසු ඒවා බැහැර කිරීමේදී පරිසරයට සහ අවට සිටින හැමදෙනා ගැන සැලකිලිමත්ව නිවැරැදිව හා වගකීමෙන් බැහැර කිරීමට වගබලා ගත යුතුය. මෙහිදී භාවිතා කරන ලද සනීපාරක්ෂක සැපයුම කඩදාසියක ඔතා බැහැර කිරීම් යෝග්‍ය වේ. නමුත් එක් වරක් භාවිතා කර ඉවත දමන පෑඩ් දිරාපත් වන්නේ නැත. ඒවා පිළිස්සීමෙන්ද විෂදුම වායුගෝලයට එක් වේ. ඒ නිසා ඔසප් නිෂාපදනයක් තෝරා ගන්නා විට පරිසර හිතකාමී, ශරීරයට පහසු නිෂ්පාදනයක් තෝරා ගැනීම අප සැමගේ වගකීමක් වේ.
ඔසප් වීම මිත්‍යා අදහස් පවතින්නේ ඇයි?
ඔසප් වීම පිළිබදව විද්‍යාත්මක තේරුම් ගැනීමක් නිර්මාණය වූයේ දහඅට වන සියවසේ මැද භාගයේදීය. මේ කාලයට පෙර ඔසප්වීම පිළිබදව සාකච්ඡා කළේ නිරීක්ෂණ පදනම් කරගෙනය. යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම, උදරයේ වේදනාව වැනි ඔසප්වීම ආශ්‍රිත සිදුවීම නිරීක්ෂණය කරමින් විවිධ පුරාණ සමාජවල ඔසප්වීම විවිධකාරයෙන් විස්තර කර තිබේ. ඇතැම් අවස්ථාවලදී ඔසප් රුධිරය ජීවිතය සහ සරුබව නියෝජනය කර ඇති අතර ඇතැම් අවස්ථා වලදී රුධිරය සහ වේදනාව අවධානය යොමු කළ යුතු අනතුරක් ලෙස නිරූපණය වී තිබේ.
ඔසප් වීම පිළිබදව මිත්‍යා මත ඇති වන්නේ, විද්‍යාත්මක තොරතුරු වලින් තොරව මෙම පුරාන අදහස් අපේ සමාජයේ සැරිසැරීමෙනි.
බොහෝ සමාජ වල ඔසප්වීම තවමත් විවෘතව කතා නොකරන මාතෘකාවකි. අපි අතර ඔසප් වීම පිළිබද අවබෝධය සහ නිවැරදි තොරතුරු හිග නිසා ඔසප් වීම පිළිබද ඇති මිත්‍යා දිගින් දිගටම ජීවත් වේ. ඒවා පරම්පරාවෙන් පරාම්පරාවට ගලා වන් නිසා මිත්‍යා අදහස් ප්‍රශ්ණ කිරීමට කිසිවෙකුත් පෙළඹෙන්නේ නැත.
අපි මෙම මිත්‍යා අදහස් වලින් බැහැර වන්නේ කෙසේද යන්න පිළිබද සිතා බැලීම වැදගත් වන්නේ මේ මිත්‍යා අදහස් නිසා ස්ත්‍රීන්ගේ සහ ගැහැණු දරුවන්ගේ ජීවිත වලට ඒවා ඍණාත්මකව බලපාන නිසාය.
ඔසප් වීම පිළිබද විවෘතව කතා කිරීම ඒ පිළිබද ඇති මිත්‍යා අදහස් බැහැර කිරීමට අපට ගත හැකි පියවරයි. ඔබගේ ඔසප් වී පිළිබද ඔබට ලැබෙන තොරතුරුවලට විද්‍යාමත පදනමක් ඇත්දැයි විමසන්න. විද්‍යාත්මක තොරතුරු මිත්‍යා අදහස් වෙන්කර හදුනා ගැනීමට ඔබට හැකි වූ විට නිවැරදි තොරතුරු ගබා දීම මගින් ඔබගේ සහෝදරියන්ටද මිත්‍යා වලින් මිදීමට ඔබට සහය විය හැකිය.
මේ ගැන කතා කිරීමට ඔබට තවමත් ලැජ්ජාවක් තිබෙනවානම්, පාසලේ 7 වසර සෞඛ්‍යය පෙළපොතේ ඇති පහත දැක්වෙන තොරතුරු යොදා ගන්න.
ඔසප් දරිද්‍රතාවය ජයගැනීම සදහා අපිට කළ හැක්කේ කුමක්ද – දෙවන ලිපියෙන් බලාපොරොත්තු වන්න.


