කබලෙන් ලිපට වැටුණු ලංකාවේ දෙමල LGBTQ සමාජයේ කඳුළු කතාව

2021 ඔක්තෝබර් 27.

අසංක ජයවීර විසිනි.

ශ්‍යාම් සෙල්වදුරේගේ නවකතාවක් ඇසුරෙන් දීපා මේතා අධ්‍යක්ෂණය කළ funny boy චිත්‍රපටය නැරඹීමට මට අවස්ථාවක් හිමි විය.චිත්‍රපටය ඇරඹෙන්නේ එහි ප්‍රධාන චරිතය වන ‘අර්ජි’ නම් පිරිමි දරුවා මනමාලියක ලෙස සැරසී ගැහැනු ළමුන් සමග සෙල්ලම් කරන දර්ශනයකිනි.අර්ජිගේ මෙම සෙල්ලම, අවසානයේදී පවුලේ සාමාජිකයන්ට හෙලිදරව් වීමෙන් සිය ඥාතීන් ඉදිරියේ ‘ලැජ්ජාවට’ පත්වුණු අර්ජිගේ පියා ඉන්අනතුරුව ඔහුට ගැහැනු ළමුන් සමග සෙල්ලම් කිරීම තහනම් කරන අතර ඉන්නොනැවතී අර්ජිව වෙනත් පිරිමි පාසලකට යැවීමටත් තීරණය කරයි.මේ පිළිබඳව අර්ජි සිය පියාගෙන් විමසු විට ඔහුට ලැබෙන්නේ මෙවැනි පිළිතුරකි.

“මේ පාසල ඔයාට මිනිහෙක් වෙනහැටි උගන්වාවී”

අර්ජි දෙස බලන මට හැඟුණ දෙය නම් මේ විදිහට අන්අයගේ බලපෑමෙන් තමන්ගේ ලිංගික අනන්‍යතාවය සඟවාගැනීමටත් වෙනස් කිරීමටත් උත්සාහ කිරීමෙන් දැඩි මානසික පීඩනයකට ලක්වන තවත් අර්ජිලා කීදාහක් නම් අපේ සමාජය තුළ ජීවත් වනවාද කියන කාරණාවයි.

වැඩිමහල් සහෝදරයෙකු සහ සහෝදරියකගෙන් යුත් පවුලේ බාලයා වන කොළඹ දිස්‌ත්‍රික්‌කයේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි (22) සුදාකරන්*  කියන්නේ අර්ජි වගේම ස්වකීය සංක්‍රාන්ති ලිංගික අනන්‍යතාවය හේතුවෙන් පවුල තුළත් සමාජය තුළත් දැඩි හිංසනයකට ලක් වූවෙකි. නමුත් සුදාකරන්ගේ කතාව,අර්ජිගේ සෙලොලොයිඩ් කතාවට වඩා බොහෝසෙයින් වෙනස් සංකීර්ණ මුහුණුවරක් ගනියි.

“ඇත්තටම ගොඩක් අය මට විහිලු කරන නිසා මට මං ගැනම තිබුණේ ලොකු අප්පිරියාවක්,කලකිරිමක්.මං නිතරම දේවාලෙට ගියහම දෙවියන්ගෙන් ඇහුවේ එක දෙයක් විතරයි.ඒ තමයි දෙයියෝ මට මේ වගේ ජීවිතයක් දුන්නේ ඇයි කියලා?”

“තාත්තා සමහරවිට බීලා ආවම කෑ ගහනවා-උඹ මගේ එකෙක් නෙමෙයි කියලා.තාත්තා කියනවා ‘භගවද් ගීතාව කියවපන්,නිතරම දෙවියෝ වැඳපන්’ එතකොට උඹේ ඔය ගෑනු ගතිය නැති වෙලා යාවි කියලා.අවුරුදු 15-16 වගේ වයසේදී තමයි මට මං ගැන ලොකු අප්පිරියාවක් ඇති වෙන්නට පටන් ගත්තේ.මං යන්නේ මූණ හංගං බිම බලාගෙන.මොකද මාව දැක්කොත් ඉස්කෝලේ අය ‘කලවත්තු’ කියලා විහිලු කරන නිසා”  

“ඔහොම ඉන්නකොට මගේ තාත්තාගේ යාලුවෙක්ගේ මාර්ගයෙන් තාත්තා මාව එක්කන් ගියා දේවාලෙකට.ඒ දේවාලෙට පුළුවන්ලු පිරිමි-ගෑනුකම වෙනස් කරන්න”

මදක් සිනාසී බිම බලාගත් සුදාකරන් ආයෙමත් සිය අඳුරු අතීතයට පිවිසුණේය.

“දේවාලෙට යන්න ඉස්සෙල්ලා සතියක් මට මස්-මාලු නොකා පේවෙලා ඉන්න කිව්වා,මාස හයෙන් පිරිමියෙක් වෙන්න පුළුවන් කියලත් කිව්වා”

කෙසේවුවද සුදාකරන්ගේ පියා බලාපොරොත්තුවූ ආකාරයෙන් මාස හයකින් ‘නියම පිරිමියෙකු’ වීමට සුදාකරන් අපොහොසත් විය.මේ සිදුවීම සුදාකරන්ගේ ජීවිතය වෙනස් කරන හැරවුම් ලක්ෂයක් වේ යැයි ඔහු නොසිතන්නට ඇති.

“තාත්තා දවසක් බීලා ඇවිල්ලා මට ගැහුවා-උඹ මස්-මාලු හොරෙන් කන්න ඇති,ඒක නිසා තමයි හරි ගියේ නැත්තේ,උඹ ඔහොම ඉන්නවට වඩා හොඳයි වහ ටිකක් කාලා මැරියන් කියලා.ඉතින් එදා මට මං ගැන තීරණයක් ගන්නට සිද්ධ වුණා”

ඒ විදිහට ‘තමන්ව’ ප්‍රශ්නයක් කරගත් ලෝකයාට සුදාකරන් පිළිතුරු දුන්නේ සිය ජීවිතය නැතිකර ගැනීමට උත්සාහ කිරීමෙනි.

*සුදාකරන්ගේ ලෝකයෙන් එහාට

සුදාකරන්ගේ ගැටලුව විමර්ශනය කරන විට අපට පෙනි යන්නේ LGBTQ සමාජභාවී අනන්‍යතාවය රෝගයකි,මෙය සුව කළ හැකි දෙයකි යනුවෙන් ‘වැරදි මතයක්’ අපේ සමාජයේ මුල්බැසගෙන ඇති බවයි.

මෑතකාලීනව එවැනි වැරදි මතයක් පලවූ අවස්ථාවක් වූයේ (2021) අගෝස්තු මාසයේදී මනෝ උපදේශකවරියක් යැයි පැවසෙන අමා දිසානායක නමැති කාන්තාව ඒ සම්බන්ධයෙන් පළකළ අදහස් සහිත වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වීමේ සිදුවීමයි.නුවර පොලිසිය වෙනුවෙන් පැවැත්වූ වැඩමුළුවකදී සමලිංගිකත්වය මානසික රෝගයක් වශයෙන් හුවා දැක්වූ ඇයගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වුණු අතර ඊට ප්‍රතිචාරයක් වශයෙන් ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය විද්‍යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේ සමලිංගිකත්වය මානසික රෝගයක් නොවන බවත් යම් අයෙකුගේ ලිංගික දිශානතිය ප්‍රශ්න කරන එවැනි ආචීර්ණ කල්පික මතවාද සහ නීති-රීති අහෝසි කර “සමලිංගිකත්වය සාපරාධී වරදක් ලෙස හැඳින්වීම අත්හිටුවිය යුතු” බවත්ය.

 

සම ලිංගිකත්වය මානසික රෝගයක් නොවේ

LGBTQ සමාජභාවය සම්බන්ධව ප්‍රචාරය වන මෙවැනි විකෘති අදහස් සහ වෛරී ආඛ්‍යාන හේතුවෙන් අපේ රටේ ලිංගික සුළුතරය දැඩි පීඩනයකටත්  ආන්තිකරණයටත් ලක්වී ඇති අතර එහි අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ ඔවුන් මානසික අවපීඩනයට ගොදුරු වීමත් එම නිසා සියදිවිනසා ගැනීම වැනි විකල්ප ක්‍රියාමාර්ගවලට අවතීර්ණ  වීමත්ය.සුදාකරන්ගේ කතාවෙන් කියවෙන්නේ අපේ රටේ LGBTQ ලිංගිකයන් මුහුණ දෙන ඒ දුක්බර යථාර්ථයයි.

LGBTQ පිරිස් මුහුණ දෙන මානසික ගැටලු සම්බන්ධයෙන් විමර්ශනය කරඇති ඇමරිකාවේ The National Suicide Prevention Lifeline සහ Trevor Project Survey 2020 අනාවරණය කරන්නේ LGBTQ පිරිස් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන බවත් ඒනිසා ඔවුන් අතරින් 40%ක ප්‍රතිශතයක් සියදිවි හානිකර ගැනීමේ අවදානමට ලක්වී ඇති බවත්ය.

ඇමරිකාවේ LGBTQ ප්‍රජාවේ තත්වය මෙසේ නම් ලංකාවේ LGBTQ ප්‍රජාවේ මානසික සෞඛ්‍ය තත්වය කෙබඳු මුහුණුවරක් ගන්නවාද?

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී    ඉක්වයිටි සමුහයේ (Equite Group) විධායක අධ්‍යක්ෂ අදිල් සුරාජ් මහතා කියා සිටියේ ඇමරිකාවේ එවැනි පර්යේෂණ සිදුවුණත් ලංකාවේ LGBTQ පිරිස් මුහුණදෙන මානසික ගැටලු සම්බන්ධයෙන් එවැනි පුළුල් පර්යේෂණයක් තවමත් සිදුවී නොමැති බවය.

“ඇත්තටම ලංකාවේ LGBTQ පිරිස් මුහුණපාන මානසික සංකූලතා සම්බන්ධයෙන් මේ වගේ ජාතික මට්ටමින් පර්යේෂණයක් තවමත් සිද්ධ වෙලා නැහැ.නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපේ රටේ ලිංගික සුළුතරය මානසික රෝගවලින් සම්පූර්ණයෙන් විනිර්මුක්තයි කියන එක”

ලංකාවේ ලිංගික සුළුතරයට එරෙහිව මෙවැනි ව්‍යාජ තොරතුරු සහ වෛරී ආඛ්‍යාන ප්‍රචාරය වන්නේ ඔවුන් ගැන සමාජයේ පවතින නොදැනුවත්භාවය නිසයි.මේ කියන ‘නොදැනුවත්භාවයත්’ LGBTQ ප්‍රජාවේ පීඩනයට හේතුවී තිබේ.

මේ බව තහවුරු කළ එක් සමීක්ෂණයක් වන්නේ 2021 West Minister Foundation for Democracy  සමීක්ෂණයයි.

ලංකාවේ ලිංගික සුළුතරය ගැන සමාජයීය ආකල්පය පිළිබඳව සිදුකළ මෙම සමීක්ෂණයේදී අනාවරණය වුණු කරුණු කිහිපයක් තුළින්ම අපට පැහැදිලි වන්නේ LGBTQ ලිංගිකත්වය සම්බන්ධයෙන් අපේ සමාජයේ තිබෙන දැනුවත්භාවයේ තරම සහ ආකල්පමය දරිද්‍රතාවයයි.LGBTQ ප්‍රජාව පිළිබඳව අපේ සමාජයට ‘මනා දැනුවත්භාවයක්’ තිබුණා නම් මෙම සමීක්ෂණ ප්‍රතිඵල මීට වඩා වෙනස් වන්නට තිබුණි.

 

LGBTQ ආගමික විරෝධී බව විශ්වාස කරන පිරිස

51.4%

LGBTQ පිරිස් සමාජ මාධ්‍ය වල පීඩනයට ලක්වන බව පිළිගන්නා පිරිස

89%

LGBTQ පුද්ගලයෙකුට සිය කුලිනිවස ලබා දීමට අකමැති පිරිස

59.5%

*LGBTQ දරුවෙකු සිටීම ලැජ්ජාවට කාරණයක් බව පිළිගන්නා පිරිස

44.4%

මූලාශ්‍රය-westminister foundation,2021

මේ සමීක්ෂණයේදී අනාවරණය වුණු වඩාත්ම අවාසනාවන්ත කරුණ වන්නේ LGBTQ දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන් දක්වන ආකල්පයයි.එහිදි 44.4%ක පිරිසක් පවසා ඇත්තේ LGBTQ දරුවෙකු සිටීම ලැජ්ජාවට කාරණයක් බවය.ඉතින් දෙමව්පියන්ගේ මේ නොදැනුවත්භාවය නිසා සුදාකරන් වැනි තරුණ LGBTQ දරුවන්ට ගැටලු දෙකකට මැදිවීමට සිදුවී තිබේ.පලමුවැන්න නම් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයයි.දෙවැන්න නම් පරිවර්තන චිකිත්සාවයි (Conversion therapy).

“අපේ රටේ ගොඩක් දෙමව්පියෝ හිතන්නේ LGBTQ කියන්නේ මානසික රෝගයක් සහ ඒක විවිධ ප්‍රතිකාර ක්‍රම වලින් හොඳ කරන්න පුළුවන් කියලා.ඉතින් ඒ නොදැනුවත්කම නිසා තමයි අපේ දෙමාපියන් LGBTQ දරුවන්ව පරිවර්තන චිකිත්සා සඳහා යොමු කරන්නේ”

පරිවර්තන චිකිත්සාව සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ අදිල් සුරාජ් මහතා-

“අපේ රටේදී පරිවර්තන චිකිත්සාව ක්‍රම දෙකක් යටතේ ක්‍රියාත්මක වනබව අපි දැනට හඳුනාගෙන තියෙනවා.එකක් තමයි,ආගමික චිකිත්සාව.අනිත් එක තමයි වෛද්‍ය චිකිත්සාව.ආගමික චිකිත්සාවේදී සිද්ධ වෙන්නේ දේවාලයක කපුවෙක් හරි වෙනත් පූජකයෙක් හරි පුදපූජා වලින් ලිංගිකත්වය වෙනස් කිරීමට කටයුතු කිරීම.සමහර වෙලාවට මේ වගේ පූජා අතරවාරයේදී කට්ටඩියන් අතින් දරුවන් ලිංගික අතවරයට ලක්වෙන අවස්ථා පවා අපිට වාර්තා වෙලා තියෙනවා”

පරිවර්තන චිකිත්සාවේ ඇති වෛද්‍ය ක්‍රමවේද පිළිබඳව අදිල් මහතා විස්තර කළේ මේ විදිහටයි.

“වෛද්‍ය ක්‍රමවේද වලින් සිදුකරන පරිවර්තන චිකිත්සාවෙදී ඉලෙක්ට්‍රික් ෂොක් ලබාදීම සිද්ධ වෙනවා.ඊට අමතරව ඩිප්රෙෂන් වලදී නින්ද යාම සඳහා ලබාදෙන පෙති වර්ගත් ලබා දෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.ඒ වගේම හෝමෝන ප්‍රතිකාරත් මෙහිදි සිද්ධ වෙනවා”

අදිල් මහතා පවසන විදිහට පරිවර්තන චිකිත්සාව නියාමනය කිරීම සඳහා ලංකාව තුළ දැනට ශක්තිමත් නෛතික රාමුවක් නොමැත.ඒවගේම මෙවැනි ප්‍රතිකාර ක්‍රම නියාමනය කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය ක්ෂේත්‍රය තුළ පවතින්නේද ඇල්මැරුණු උනන්දුවක් බව පෙනේ.මේ බව තහවුරු වුණේ අදාල පරිවර්තන චිකිත්සා සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැක්වූ ප්‍රතිචාරයෙනි.එහිදි ඔවුන් පැවසුවේ මේ සම්බන්ධව වැඩිදුර කරුණු පැවසීමට දැනුවත් අයෙක් ඔවුන්ට නොමැති බවයි.

එයින් අපට එක්දෙයක් පැහැදිලි වේ.එනම් පරිවර්තන චිකිත්සාව සම්බන්ධයෙන් මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින දැනුමේ රික්තකය සහ එම චිකිත්සාවට වෛද්‍ය  ආයතන තුළින්ම හිමිවී තිබෙන අප්‍රකාශිත අනුමැතියයි.

කෙසේවෙතත් සුදාකරන් වැනි දෙමල සුළුතර ලිංගිකයන්ගේ පැවැත්ම අභියෝගයට ලක්වී තිබෙන්නේ ඔවුන්ගේ ‘ලිංගික අනන්‍යතාවය’ නිසාම පමණක් නම් නොවේ.

*ලිංගික සහ වාර්ගික අනන්‍යතාවය අතරට මැදිවූ ලංකාවේ ‘දෙමල’+’ලිංගික සුළුතරය’ 

ලිංගික අනන්‍යතාවය හේතුවෙන් වෙනස්කම්වලට මුහුණපාන දෙමල ලිංගික සුළුතරයට මුහුණදෙන්නට සිදුවී තිබෙන අනෙක් ගැටලුව තමයි වාර්ගිකත්වය.

දශක තුනක් පුරා පැවති ලංකාවේ සිංහල-දෙමල වාර්ගික යුද්ධය 2009දී අවසන් වුවත් වාර්ගික වෙනස්කම් පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව (CERD) පවසන විදිහට තවමත් ලංකාවේ දෙමල ජනතාව වාර්ගික වෙනස්කම්වලට ලක්වෙමින් සිටිති.මේ නිසා ලංකාවේ දෙමල ජනතාව වාර්ගිකත්වය අතින්  ‘තිරස් අසමානතාවයකට’ (Horizontal Inequality) මුහුණදෙන බව පෙන්වා දිය හැකිය.

ඉතින් මෙවැනි අන්ත දෙකකට මැදිවීමෙන් සිදුවන්නේ දෙමල ලිංගික සුළුතරය තවතවත් ආන්තිකරණයට ලක්වීමක් නේද?

“ඔව් අනිවාර්යයෙන්ම.මේ වගේ තත්වයකදී අපේ රටේ දෙමල ලිංගික සුළුතරයට දෙයාකාර වෙනස්කමකට (double discrimination) මුහුණ දෙන්නට සිද්ධ වෙනවා”

ශ්‍රී ලංකා මානව හිම්කම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුනනාදන් මහත්මියගෙන් අප කළ විමසීමකදී ඇය ලබා දුන්නේ එවැනි පිළිතුරකි.

සිංහල-බෞද්ධ ලිංගික සුළුතරය අපේ රටේ බහුතර ජනවාර්ගික කොට්ඨාසයට අයත්වන නිසා ‘වාර්ගිකත්වය’ කියන සාධකය ඔවුන් මත අතිරේක පීඩනයක් පටවන්නේ නැත.නමුත් දෙමල ලිංගික සුළුතරයේ තත්වය මීට හාත්පසින්ම වෙනස් වේ.

“ජාතිකත්වය මුල්කරගෙන වෙනස්කම් සිද්ධ වෙනවා,ඊට පසුව ලිංගිකත්වය මුල් කරගෙනත් වෙනස්කම් සිද්ධ වෙනවා.මේ වගේ දෙයාකාර වෙනස්කමකට මුහුණ දෙනවිට සිද්ධ වෙන්නේ දෙමල ලිංගික සුළුතරයේ අවදානම් තත්වයත් දෙයාකාර බවක් (double vulnerability) ගැනීමයි”

තමන්ගේ වාර්ගික ඉල්ලිම් දිනාගැනීමට ඇපකැපවන දෙමල සමාජය තුළ LGBTQ අයිතීන් සම්බන්ධයෙන් පවතින්නේ  බොහෝම ඍණ මට්ටමක සංවාදයකි.නමුත් දැන්දැන් එම සංවාදය  වෙනස් වෙමින් පවතින බවයි අම්බිකා මහත්මිය පවසන්නේ.

“ඇත්තටම දෙමල සමාජය ඇතුළේ දේශපාලන අයිතීන් දිනා ගැනීම ගැන සංවාද සහ සාමුහික ප්‍රයත්න ඇති  වුණත් LGBTQ අයිතීන් දිනා ගැනීම සම්බන්ධයෙන් එවැනි ක්‍රියාදාමයක් සිද්ධ වෙන්නේ බොහෝම අඩුවෙන්.ඇත්තටම කිව්වොත් දෙමල සමාජය ඇතුළේ බොහෝම අඩු දැනුමක් තමයි මේ ගැන තියෙන්නේ.හැබැයි දැන් කුඩා LGBTQ කණ්ඩායම් කිහිපයක් යාපනය සහ මඩකලපුව වගේ ප්‍රදේශ වල ඇති වෙලා තියෙනවා”

වාර්ගිකත්වය අතින් ද පීඩාවට ලක්වන  සුදාකරන් වැන්නවුන්ගේ පීඩිත ලිංගික අනන්‍යතාවය පිළිබඳව ධනාත්මක ප්‍රතිරූපයක් මෙවැනි සංවිධාන තුළින්වත් ගොඩනැගිය  හැකි වේද?

ඒ ඔස්සේවත් ඔවුන්ට කිසියම් සහනයක් ඔවුන්ගේම සමාජය තුළින් හිමි වේද?

ඔවුන්ගේ අයිතීන් මෙතනින් කොයිබට ගමන් කරාවිද?

එය තීරණය කිරීම අපි අනාගතයට බාර කරමු.

*නැවතත් සුදාකරන්ගේ ලෝකයට

“මට ප්‍රතිකාර කරන මනෝ වෛද්‍යතුමා බොහෝම කාරුණික කෙනෙක්.මට තියෙන සෙෂන්වලදී එතුමා පවුලේ අයවත් සහභාගි කර ගන්නවා.දැන් මගේ පවුලේ අයටත් මේ ගැන පොඩි හරි වටහා ගැනීමක් තියෙනවා කියලා මට හිතෙනවා.මගේ ලෙඩේ හොඳ කර ගන්නයි මට දැන් ඉක්මනින්ම ඕන කරන්නේ.ඊට පස්සේ මම වැඩිදුර අධ්‍යාපන කටයුතුවල නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා” 

එහෙම කියද්දි සුදාකරන්ගේ මුහුණ, බලාපොරොත්තුවේ හසරැල්ලකින් විකසිත වන ආකාරය අපි දුටුවෙමු.

ඒත් සුදාකරන් සුවවී නැවත යථා තත්වයට පත් වුණත් ඔහු හෙට දවසේ පාතබන LGBTQ නොතකන සමාජය ඔහුගෙන් මේ සතුට නැවතත් උදුරා ගනිවිද?මේ ගැන අපිට තියෙන්නේ නම් ලොකු ප්‍රශ්නාර්ථයක්.

 

*අදාල පුද්ගල නම වෙනස් කර ඇති බව කරුණාවෙන් සලකන්න.

Social Share: