ඔවුහු කවරහුද? – ශ්‍රී ලංකාවේ කාන්තා ලිංගික ශ්‍රමිකයන් පිළිබද විග්‍රයක්

2017 දෙසැම්බර් 06.

Simone De Beauvoir ඇගේ “Second Sex” නමැති කෘතියේ වරක සඳහන් කර සිටියේ, ගැහැණිය, ඇයගේ ශරීරය පදනම්කොටගෙන කිසි ලෙසකින් අවතක්සේරුවට හෝ අවමානයට ලක්නොවිය යුතු බවය. Simone, ස්ත්‍රීන්ගේ සම අයිතිවාසිකම් වෙනුවෙන් උත්සුකුව ලීවිමෙන් සහ ගැහැණිය පීඩාවට පත්කෙරුණු සමාජ ක්‍රමයන් දැඩි ලෙස විවේචන කල තැනැත්තියකි. පවතින සාමාජීය,  සංස්කෘතික, ආගමික, දේශපාලනික සහ පංති විෂමත්වය තුළ ලාංකීය ගැහැණියගේ භූමිකාව නොයෙක් ලෙස දෝලනය වෙමින් ඇත.  ඒ භුමිකාවන් අතුරින් කාන්තා ලිංගික වෘත්තිකයන්ගේ පසුබිම් කතා ඉතා දුක්මුසු වන අතරම, ලාංකීය “ශිෂ්ට” යයි උපකල්පනය කරන සාමජයේ ඇය නිස්සාරය,  කටුකය.

කාන්තා ලිංගික වෘත්තිකයෝ යනු කවරහුද? ඔවුන් සමාජයේ අනිකුත් වෘතිකයන්ගෙන් වෙනස්වන්නේ කෙසේද?  “ලිංගික වෘත්තිකයා” යන නාමය භාවිතයට පැමිණීමට පෙර, සමාජය ඔවුන් හැදින්වුයේ, “ගණිකාව”  (prostitute)ලෙසය. තවමත් අප “ශිෂ්ට” යයි උපකල්පනය කරන ලාංකික සමාජය තුළ ‘ඇය ගණිකාවකි’. ලිංගික වෘතිකයන් නොවන ගැහැණුන් පවා බොහෝ අවස්ථාවල ලංකාව තුළ සිටින “ශිෂ්ට” පිරිමින්ට සහ “ශිෂ්ට” ගැහැනුන්ගේ හුදු උපකල්පනයන් මත “ගණිකාව” යන කොටසට එක් වී ඇත.

මලලසේකර ඉංග්‍රීසි, සිංහල ශබ්ද කෝෂයට අනුව ( 2002 මුද්‍රණය), “prostitute” යනු, ‘ගණිකා වෘත්තිකයා’, ‘පෞද්ගලික වාසිය තකා ආත්ම ගෞරවය කෙලෙසා ගන්නා තැනැත්තා’, ‘පහත්  දේට යොමුවන්නා’,  යනුවෙනි.  Oxford ශබ්ද කෝෂයෙහිද මීට සමාන අර්ථකතනයක් මෙම වෘත්තිකයන්ට ලබා දී ඇත.  මෙම අර්ථකථනයන්ට අනුව නම්, පොදු සමාජයෙහි අප බොහෝදෙනා “ගණිකාවන්ය”.කෙසේද යත්, වචනයෙන් හෝ ක්‍රියාවෙන් “පහත් දෙයකට” යොමු නොවුන මිනිසුන් අප අතර සිටීද? ඔවුන් සිටින්නේ කොහේද?  එසේම, මෙම අර්ථයන්ට අනුව, ‘ගණිකාවන්ගෙන්’ සේවය ලබාගන්නා මිනිසුන් උස්සස්ද?  මීට හොඳම උදාහරනයක්  ගෞතම බුදුන් වහන්සේගේ ධර්මයෙන් උපුටා දැක්විය හැකිය. උන්වහන්සේ  තම බිළිදා මළ  සෝකයෙන් තැවුණු පටාචාරාට පැවසුවේ,  කිසිම කෙනෙකුන් නොමළ නිවසකින් අබ මිටක් සොයාගෙ එන පරිදිය. එය ඇයටඅපහසු විය. ඒ සමානවම,  කිසියම් විදියකින්,වචනයෙන් හෝ ක්‍රියාවෙන් “පහත්” දෙයක් නොකළ මිනිසුන් ලාංකීය සමාජයෙන් සොයා ගත හැකිද?

මෙම ලිපියෙහි අරමුණ වන්නේ ශබ්ධ කෝෂයන් සහ ඒවායෙහි අර්ථකතනයන් විවේචනයට ලක්කිරීමත්, බුදු දහමට අවමන් කිරීමත්  නොවේ. නමුදු, සාමාජීය අර්ථකතන පැන නගින  ප්‍රබවයන් දැන සීටීම වරදක් ලෙසෙ මම නොදකිමි.

මෙම ලිපිය ලිවීමට මා අරමුණු කොට ගත්තේ,  ශ්‍රී ලංකා රතුකුරුස ආයතනය ඔස්සේ, කාන්තා ලිංගික වෘත්තිකයන් කිහිප දෙනෙක් මුණගැසී  මා විසින් කරනු ලැබූ කෙටි සමීක්ෂණයක් පදනම් කොටගෙනයි. එහිදී, මා විසින් ප්‍රධාන කරගත් ගැටළු කිහිපයක් වුයේ කුමන සාධක නිසාවෙන් ඇය මෙම වෘත්තියට යොමුවිනිද, ඇයගේ පවුල් සහ සාමාජීය, ආර්ථික පසුබිම, ඇය මෙම වෘත්තීය දකින්නේ කෙසේද යන කරුණු කිහිපයකි.  මාස දෙකක කාල පරාසයක් තුළ මා විසින් කතා කරනු ලැබූ කාන්තා ලිංගික වෘත්තිකයන් මගේ ජීවිත කාලය අතරතුර මා හට මුණගැසුණු ජීවිතය ජයගත්  සහ දෛනික ජීවන අරගලයෙහි සිටිමින් ජීවිතයට නොබියව මුහුණ දෙන ඉතාමත්  ශක්තිමත් කාන්තාවන් අතුරින් කිහිප දෙනෙකි. සමාජයේ තමා නිවැරදියැයි සිතන පිරිමින්ගෙන් සහ ගැහැණුන්ගෙන් අසීමිත ලෙස බැට කා ඇති මොවුන්ගේ පසුබිම කතා කටුකය. මෙම ගැහැණුන් බොහෝ දෙනා ලිංගික වෘතිකයන් වී ඇත්තේ බොහෝ දෙනා පවවසන පරිදි “ශරීරය විකුණා කෑම”  පහසුවන නිසා නොවේ. අනෙක ‘ශරීරය විකුණා කෑම’ පහසු වන්නේ කෙසේද ? එය දැනගැනීමට මොවුන්ට අර්ථකතනයන් දෙන සාමජය මොවුන්ට කතා කරන්නේද?

ලංකාවේ බොහෝ දෙනා නොදන්නා සහ නොදන්නා ලෙස සිටින කාරණයක් වන්නේ, ලාකීය ඉතිහාසය තුළ රජවරුන්ට සහ ඔවුන්ගේ මැති ඇමතිවරුන්ට විශාල පරිමාණයෙන් ලිංගික වෘත්තිකයන් සිටි බවයි. ඔවුන්ට, “නාට්‍යාගනාවන්” ලෙස වෙනත් නාමයන් දී තිබු අතර,  ඔවුන්ට ඉපදුන දරුන්වන්ද රජ මාලිගයේම සිටි අතර, ඔවුන් වැඩිවියට පත්වී ලිංගික වෘතිකයන් වී ඇත.  අප බොහෝ දෙනා ලංකා ඉතිහාසයෙහි රජුන්ගේ “අන්තප්පුරයන්” පිළිබද ඉතාමත් ආස්වාදෙයන් සහ ප්‍රෞඩතත්වයෙන් කතා  කරයි. එසේනම්, ලංකාවෙහි, පළමුවෙන්ම  ලිංගික වෘත්තියට අත ගසා ඇත්තේ රජවරුන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් නොවේද?  එම ලිංගික වෘතිකයන් සහ වර්තමාන ලිංගික වෘතිකයන් අතර කිසිදු වෙනසක් නැත. වෙනසක් ඇත්තේ වී නම්, අද සමාජයෙහි “අන්තප්පුරයන් “ රහසිගතව ක්‍රියාත්මක වෙන අතර, ඒවා රදල සමාජ ස්ථර වල සිටින පුද්ගලයන්ගේ  බලය සහ ධනය මත ක්‍රියාත්මක වේ. රජවරුන්ද ධනය සහ බලය අසීමිතව යොදා ගත මුත්, ඔවුන්ගේ අන්ත්ප්පුරයන් ඉතිහාස කතා පොත් වලට එකතු වුවා පමණක් නොව, කවියන් ඒ පිලිබඳ කවියට නැගු අවස්ථා ඇත.

වර්තමානයෙහි, කාන්තා ලිංගික වෘතිකයන් වෙනුවෙන් කවි ලියන්නට කවුරුත් නැත. ඇයගේ ජීවිත කතාවන්ට සවන් දෙන්නට මිනිසුන් “ශිෂ්ට” සම්පන්න වැඩිය. මම කතා කළ ගැහැනුන්, බීමත් පිරිමින්ගේ තාඩන පීඩන වලට ලක්ව, තම සහෝදරයන් විසින් ඇයගේ අකමැත්තෙන් තම මිතුරන්ට විවාහ කර දී, ඔවුන්ගේන් බැට කා, ඉඩකඩම් සම්ම්බන්ධන් ඔවුන් නිවෙස් වලින් පන්නා දැමු පසු, ඔවුන්ට පිහිට වීමට පැමිණි ගැහැනුන් සහ පිරිමින්ගෙන් අයුතු ප්‍රයෝජනයන්ට ලක්වී, නැවත නැවත තාඩන පීඩන වලට ලක්වූ චරිත විය. ඔවුන් අනෙක් සෑම ගැහැණියක් ලෙසම තමන්ගේ දෙමාපියන්ට සලකමින්, සැමියාට සලකමින්, දරුවන්ට මහත් සේ ආදරය කරමින් සිටියවුන්ය.

මගේ තර්කය වන්නේ,  වත්මන් ලාංකීය සමාජය, ලිංගික වෘතිකයන් අදීන කොටසක් ලෙස සැලකීමට තරම් ශිෂ්ට සම්පන්නම්, මිනිසුන් වැරදි නොකරන්නේ නම්, ආගමික, සංස්කෘතික සාධකයන් ගෙන් අතිමහත් නිවැරදි , පිරිපුන් පුද්ගලයන්නම්, ලිංගික වෘත්තීය  සමජයෙහි බිහිවුයේ කෙසේද?

මා කතා කළ එක් කාන්තාවක් පැවසුයේ ඇගේ සහෝදරයා  තමා සහ මව නිවසින් ඇද දමා පැන්නු බවත්  මව ඇගේ ගමට තනිව ගිය බවත් තමා කැටුව නොගිය නිසා පාරවල් ගානේ ඇවිදමින් ඉන්නට තැනක් සහ කෑමට දෙයක් සොයා දවස් ගණන් සිටි බවය. ඒ වන විටඇයට අවුරුදු 17ක් වන අතර, ඒවන විට පාසල් ගමන නැවතී තිබුණ බැවින්  සමාජය පිළිබඳ කිසිදු ආකාරයේ දැනීමක් නොතිබූ බවයි. මේ අතරතුර ඇයට, ඇය පිළිබඳ අනුකම්පාවෙන් පිහිටට පැමිණි කාන්තාවක් කිහිප දවසකින් මුදලට තමාව විකුණු බව ඇය කියා සිටියාය.  ඇයට දැන් වයස 55 කි.

මා සමග කතා කළ අනෙක් ලිංගික වෘත්තික කාන්තාවක් පැවසුවේ බොහෝ අවස්ථාව වලදී ඔවුන්ගේ සේවා දායකයන්ගේ ගුටි බැට වලට ලක්වන බවය. ඒ අතරම, ඔවුන්ට සපයන සේවයට ලබා දෙන මුදල නැවත බලහත්කාරයෙන්  ලබා ගැනීමට සේවා දායකයන් තැත් කරන බවයි. එසේම තවත් අවස්ථා වලදී, තමන්ට තම සේවා දායකයින්ට ‘උපදේශන’  ( role of a counselor) සේවාව ලබා දී, ඔවුන්ගේ විවාහ ජීවිතයේ ඇතුලු සියලු දුක් කම්කටොලු ඇතුළත් කතාන්තර අසා සිටීමට සිදුවන බවයි.  මේ සියල්ල සලක බලන විට,  සිංහල, ඉංග්‍රීසි ශබ්ධ කෝෂයනට අනුව, “ තමාගේ පෞගලික වාසිය තකා  ආත්ම ගෞරවය කෙලෙස ගන්නා තැනැත්තන්” කවරහුද?  ලිංගික වෘතික්යන්ද? නැතහොත්, ලාංකීය “ශිෂ්ට” සමාජයෙහි පිරිමින්ද? නැතහොත්, මුදලට තමාගේම සගයන් විකුණන අනෙකුත් ගැහැණුන්ද? තවද, මොවුන් පැවසු පරිදි  මොවුන්ගේ සේවා දායකයන් බොහොමයක් සමාජයෙහි “උසස් වෘත්තිකයන්” ලෙස සලකන දොස්තරවරුන්, නිතීවේදින්, ඉංජිනේරුවරුන්ය.

කාන්තා ලිංගික වෘතිකයන්, ලාංකීය කාන්තා සමාජයෙහි සෑම (නැතහොත් ) බොහෝ කාන්තාවන් නියෝජනය කරන්නියන්ය. මන්ද යත්, වැසුන කාමරවල, නිවෙස්වල, ජීවත් වන,  තම ජීවිත “ශිෂ්ට” යැයි ලෝකෙට හඬ නගා නමුත් මනසින් පීඩිතව, පෑගුණු  ජීවිත ගත කරන “ ශිෂ්ට” ගැහැණුන්ට වඩා, කාන්තා ලිංගික වෘත්තිකයන් තම අයිතිවාසිකම් වෙනුවෙන්  හඬ නගති.  ගුටිබැට කමින් ජීවිතයට මුහුණ දෙති. දරුවන් වෙනුවෙන් මහපාරේ සිඟා කති.  අසීමිත දුක් කම් කටොලුවලට උර දෙති. එසේ බලන කල,  වචනයෙහි පරිසමාර්ථ අර්ථයෙන්ම  ඔවුන් ශිෂ්ටය. ශක්තිමත්ය.

ඩිනිෂිකා විතානගේ

Social Share: