එකිනෙකාට ගෞරව කිරීම අතින් අපි තාමත් ඉන්නේ ගල් යුගයේ – භූමි හරේන්ද්‍රන්

2018 සැප්තැම්බර් 25.

සාකච්ඡාව සහ සටහන වින්ද්‍යා ගම්ලත් විසිනි. 

LGBTQ ප්‍රජාව අතරසිටින සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් එදිනෙදා සමාජ ජීවිතයේදී මුහුණදෙන කොන්කිරීම, ඔවුන් වෙනුවෙන් වූ නීතිමය ප්‍රතිපාදනයන් වෙනස්වීමේ අවශ්‍යතාවය, රැකියා ස්ථානයේදී විඳීමට සිදුවන දුෂ්කරතා මෙන්ම මේ පිරිසට අනන්‍ය වූ වෙනත් ගැටළු ගැන සමාජය අවධානය යොමුකළ යුත්තේ කෙලෙසින්ද සම්බන්ධව National Transgender Network හි විධායක අධ්‍යක්ෂිකාව වන භූමි හරේන්ද්‍රන්bakamoono සමග සංවාදයට එක්වූයේ මෙලෙසිනි.

ඔබ ඔබව හඳුන්වන්නේ කොහොමද ?

භූමි හරේන්ද්‍රන්. වෘත්තීමය වශයෙන් ගත්තොත් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ගේ මානව හිමිකම් වෙනුවෙන් ක්‍රියාකරන මානව හිමිකම් ක්‍රියාකාරිනියක්. පුද්ගලයෙක් වශයෙන් ගත්තම සරළ පුද්ගලයෙක්. පොළවේ පය ගහලා ඉන්න කෙනෙක්.

ඔබේ පාසල් සමය ගැන සිහිපත් කළොත් ?

මම ඉගෙනගත්තේ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයෙන්. අ.පො.ස. උසස් පෙළ දක්වා මං එහි අධ්‍යාපනය හැදෑරුවා අභියෝග, පිළිගැනීම අඩු වැඩි වශයෙන් තිබ්බ කාලයක්. හැබැයි, අද මං මේ තාක් දුරට ඇවිල්ලා තියෙන ගමනේ මූලික අඩිතාලම, හැරවුම් ලක්ෂ්‍යය මගේ පාසලයි.

පිරිමි පාසලක් තුළදී ගැහැණු දරුවෙකු ලෙස හැසිරෙන විට ගුරුවරු හා සම සිසුන්ගෙන්, ගුරුවරුන්ගෙන් ලැබුණු පිළිගැනීම වගේම අභියෝග ගැන කතාබහ කළොත් ? 

ඒවගේ හැසිරීමකදී මොනවගේ ප්‍රතිචාර ද ලැබෙන්නේ කියලා අපි හැමෝම දන්නවා. ලිංගික අධ්‍යාපනය කියලා එකක් දැන් අපේ පාසල් තුළ නැහැ. එතකොට ළමයි තමන්ගේ හැඟීම්, ආවේග හා ප්‍රේමය වගේ දේවල් කුමන හෝ ආකාරයකින් අත්හදා බැලීම් කරන කාලයක්. ඒ වගේ තත්ත්වයකදී සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෝ ගොඩක් වෙලාවට පාසල් කාලේදී ලිංගික අපයෝජන වලට ලක්වෙනවා. ඒ දේවල් ගැන කියන්න කෙනෙක් නැහැ. මොකද අපි දන්නවා ළමයෙක් ලිංගික අතවරයකට ලක්වුණාම ඒ ගැන කියන්න මැලිකමක් දක්වනවා. අද තියෙන පාසල් ක්‍රමය තුළ ළමයි එක්කගුරුවරු ඒ තරම් සමීප නැහැ. ඒ වගේම පිරිමි ළමයින්ට පමණක් සීමාවෙච්ච පාසලක සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙක් කියන කෙනාට ඒ ඉඩ ප්‍රස්ථාව, පිළිගැනීම ගෞරවය ගැන මං අමුතුවෙන් කතාකරන්න ඕන කියලා මං හිතන්නේ නැහැ. මොකද ඒ ළමයි පාසලේ ළමයින්ගෙන් විතරක් නෙමෙයි ගුරුවරුන්ගෙනුත් කොන්වෙනවා.

භුමි කියන චරිතය ලංකාවේ පොදු සමාජය හඳුනාගන්නේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක් නැත්නම් සංක්‍රාන්තික සමාජභාවී පිරිස් වල අයිතීන් වෙනුවෙන් හඬ නගන කෙනෙකු විදියට. මේ ගමන ගැන හා National Transgender Network  කෙරෙන කාර්යභාර්ය ගැන දැනගන්න කැමතියි

ශ්‍රී ලංකා ජාතික සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ජාලය ආරම්භ කිරීමට හේතුව ඇත්තටම කොයිම වෙලාවකවත්, කොතැනකදීවත් ලංකාවේ සිද්ධවෙන මේ මානව හිමිකම් ක්‍රියාදාමය තුළ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් මාර්කටින් පොයින්ට් එකක් විදියට ගත්තා වුණත් ඔවුන්ගේ හැබෑ අවශ්‍යතාවන් ගැන හොයාබලන්න, ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම යන්න කොතැනකවත් තිබිලා නැහැ. ඉතිං, මේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ගේ ජාතික ජාලය ආරම්භය වෙන්නේ දැනට ලංකාවේ ජීවත්වෙන සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ට කිසිම වෙනස්කොට සැලකීමකින් තොරව, ඔවුන්ට කැමති විදියට අධ්‍යාපනය ලබාගන්න අවස්ථාවන් ලබාදීම, වෘත්තීය පුහුණුව වෙත ඔවුන්ව යොමුකිරීම, ඔවුන්ගේ හැකියා වලට අදාළ රැකියාවක් ලබාගැනීම, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් ගෙවල් වලින් නෙරපා දැමීම වැළැක්වීමට පියවර ගැනීම, මානව හිමිකම් සුරක්ෂිත කිරීම පිළිබඳ ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීම වගේ කරුණු ගැන සැලකිලිමත් වීමයි. ඔවුන්ගේ ජීවිත වල ගුණාත්මකභාවය වැඩි කිරීම මෙවැනි වැඩසටහන් වල මුලිකම අරමුණ වී තිබෙනවා.

එහි විධායක අධ්‍යක්ෂිකාව හැටියට දැනට ලොකු කාර්යභාරයක් මගේ උරහිසේ තියෙනවා. මේක ආරම්භ කළා විතරයි. මේ අවුරුද්දේ මාර්තු මාසයේදී තමයි අපේ මේක ආරම්භ කළේමගේ සහෝදර කාර්ය මණ්ඩලය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහෝදරියන් මේ හැම කෙනාගේම දායකත්වයත් එක්ක ඉදිරියේදී වැඩසටහන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.ලොකු වැඩ සැලැස්මක් තියෙනවා. දැනට ඒකේ මුල් පියවර හැටියට ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන මධ්‍යස්ථානයන් එක්ක එකතු වෙලා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ව ආරක්ෂා කරන්න එච්.අයි.වී මර්දන ව්‍යාපෘතියේ කටයුතු කරනවා.

මේ වැඩකටයුතු වලට පවුලෙන් ලැබෙන සහයෝගය ගැන කිව්වොත් ?

මං මගේ දෙමව්පියන්ගෙන් වෙන්වෙලා ජීවත්වෙන්නේ. මොකද තවමත් කොච්චර දුර ජීවිතේ ඉදිරියට ආවත් ජීවත්වෙන ප්‍රදේශය තුළ මාව දියණියක් විදියට පිළිගන්න මගේ අම්මා කියන පුද්ගලයාට යම්කිසි අසීරුතාවක් තියෙනවා. ඉතිං, ඒ දේවල් නිසා අපි අතර විශාල ගැටුමක් ඇතිවී තිබෙනවා. නමුත්, දුරස්ථව ජීවත්වෙනකොට ඒ ආදරේ ගොඩක් දැනෙනවා. පාළුයි. ළඟ හිටියා නම් හොඳයි කියලා හිතෙනවා.

ඔයවගේ දේවල් තියෙනවා. නමුත්, ප්‍රතිචාරහොඳයි. එහෙම කියන්නේ හරි නියුට්‍රල් නිසා. ‘හා’ කියන්නේනෑ. ‘එපා’ කියන්නෙත් නැහැ. ‘හොඳයි’ කියන්නෙත් නැහැ, ‘නරකයි’ කියන්නෙත් නැහැ. යම්කිසි දෙයක් මම කරන්නේ තේරුමක් ඇතිව බව මගේ අම්මා දන්නවා. ඒ නිසා තනිකරන්නේ නැහැ. ඒත් පිටුපස්සෙන් ඉඳගෙන අනික් දරුවන්ට දෙමාපියන්ගෙන් ලැබෙන සහයෝගයක් අම්මගෙන් ලොකුවට ලැබෙන්නේ නැහැ. නමුත්, විරෝධයකුත් නැහැ.

මගේ අම්මා මගේ ජීවිතේ හැමදෙයක්ම වගේ දන්නවා. අතිශය පුද්ගලික දේවල් හැර මගේ හැමදෙයක්ම අම්මත් එක්ක බෙදාගන්න පුළුවන්. දැන් අම්මයි මායි හොඳ යාළුවෝ දෙන්නෙක් වගේ. තැන් දෙකක හිටියත් අපි හම්බවුණු වෙලාවක ‘උඹ, බං, බොලං‘ කියලා කතාකරන්න පුළුවන්. දෙන්නම ඊට පැකිලෙන්නේ නැහැ.

ට්‍රාන්ස්ජෙන්ඩර් කියන්නේ පුළුල්ව විහිදුණ යෙදුමක්. ඒක ඇතුළේ ඉන්න පුළුවන් විවිධ සමාජීය අනන්‍යතාවයන් තියෙන පුද්ගලයන්. ඒ අය මුහුණ දෙන ස්ථර ගත කොන් කිරීම ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?

සමහරක් වෙලාවට පංති භේදය ඇතිවෙනවා. උගත් නූගත්කම් මත වෙන්න පුළුවන්. ඒක මම LGBTQප්‍රජාව අතරේ විශේෂයෙන් දකින්නේ නැහැ. උදාහරණයකට ගත්තොත් වතු කම්කරුවන් අතර දකින්න පුළුවන්. දමිළ ජනතාව අතරෙත් තියෙනවා. යාපනය පැත්තේ කුල ප්‍රශ්නය තියෙනවා. ඉහළ කුලේ කෙනෙක් පයිප්පෙන් වතුර අරන් යනකල් පහළ කුලේ කෙනෙක් අල්ලන්න වත් බැහැ පයිප්පේ. එවැනි බොහොම සාම්ප්‍රදායික ගති මේ ප්‍රජාව තුළත් මං දකිනවා. සෑහෙන ලොකු කොන්කිරීමක් තියෙනවා

LGBTQ ප්‍රජාව සමාජය ඇතුළේ කොන්වීම (Stigma) ගැන දැවැන්ත කතාබහක් තිබෙනවා. මේ ගැන පැහැදිලි කිරීමක් කළොත් ?

මේක රෝගයක් කියලා පවුලේ අය දැනගත්තම සමහර ළමයින්ව චීන කටු ගහන්න එක්කන් ගිය අවස්ථාවන් තියෙනවා. මගේ හොඳම යාළුවෙක් මේ අත්දැකීමට මුහුණ පෑවා. සමහර වෛද්‍යවරු සංක්‍රාන්ති සමාජභාවී නැඹුරුව හා සමලිංගිකත්වය සුවකරන්න පුළුවන් කියලා බොරු දැන්වීම් දාලා තියෙන තැන් වලට අරන් ගිය කැඳවාගෙන ගිහිං ඔවුන්ව සුවකරන්න බලනවා, ප්‍රතිකාර දෙනවා, යාළුවෝ ආශ්‍රය කිරීම නවත්වනවා. දැන් මාත් එක්ක වැඩකරන කෙනෙක් ඉන්නවා, ළඟදි එයාගේ ලොකු තාත්තා අහලා තිබුණා ‘පිරිමි වුණාම මෙහෙම ඉන්න ඕන, ජිම් එකට යන්න ඕන. කෝ ගලවලා බලපං උඹේ ලිංගික අවයවය කොහොමද තියෙන්නේ, ඒක බලන්න ඕන කියලා‘.

ඒ වගේ දේවල් කියලා ඒ ළමයව මානසික පීඩනයකට ලක්කරලා තිබ්බා. ඒ වගේ දේවල් මේ ලංකාවේ තාම වෙනවා. හැබැයි, ගොඩක් වෙලා තියෙන්නේ මේවා වාර්තා වෙන්නේ නැහැ. කියන්නේ නැහැ. ගිහිල්ලා කාටද කියන්නේ.

ඒ අතින් ලංකාව කියන තැන ගත්තම කොන්කිරීම කියන දේ ගැන සලකලා බැලුවොත් අපි ඉතාමත් ඉහළ තැනක ඉන්නවා කියලා කියන්න පුළුවන්. මොකද, ශාරීරික වශයෙන් සිදුවන හිංසනයන් අනෙක් රටවල් එක්ක සංසන්දනය කරලා බලද්දි තරමක් අඩු වුණත් මානසික පීඩනය, කොන්කිරීම ඒ කියන්නේ චිත්තවේගී හිංසනය කියන එක ගොඩක් වැඩියි. කිසියම් තැලීමක්, සීරිමක් වුණොත් ඒක සනීප වෙනවා, නමුත්, පුද්ගලයෙක්ව මානසිකව මරනවා කියන්නේ, තාඩන පීඩන වලට ලක්කරනවා කියන්නේ ඒක හරි අමාරු දෙයක්. ඒ පුද්ගලයා නැවත යහපත් සෞඛ්‍යය තත්ත්වයට පත්වෙන්නේ නැහැ.

කොන්කිරීම යන්න රැකියා අවස්ථා වලට විතරක් නොවෙයි, උදේට නැගිටිලා පාරෙන් එළියට බැස්සම, ආයේ ගෙදර ඇවිල්ලා තමන්ගේ ඇඳට වැටෙනකල්ම තියෙන්නේ කොන්කිරීම. කඩේකට බඩු ගන්න ගියත්, පෝළිමක හිටියත්, සේවාවක් ලබාගන්න ගියත්, අඩුම ගානේ බස් හෝල්ට් එකක හිටන් හිටියත්, බස් එකක හිටගෙන හිටියත් අත්විඳින්න වෙන දෙයක්.

දැන් මම සමහර වෙලාවට බස් එකේ හිටගෙන ඉන්නකොට කොච්චර බර මල්ලක් උස්සගෙන හිටියත් මගේ බෑග් එක කිසි කෙනෙක් ගන්නේ නැහැ. හැබැයි, ඊට එහා පැත්තේ ඉන්න කාගේහරි මල්ලක් ගන්න පුළුවන්. සමහර වෙලාවට මං ඉන්නවා දැක දැකත් මං ගාව තියෙන සීට් එක තව කෙනෙක්ට අඬගහලා දීලා ගිය අවස්ථා තියෙනවා. ඒ වගේ මිනිස්සුන්ගේ, මට තේරෙන්නේ නැහැ, මම දකින විදියට ඒක කුහක ආකල්පයක්. ‘මම පිළිගන්නේ නැහැ, මට අදාළ නැහැ, මං ඒ දේවල් වලට කැමති නැහැ, ඒක නිසා මං මිනිස්සුන්ට වෛර කරනවා ඒ නිසා ඒ වගේ හිංසනයන්ට ලක්කරනවා කියන මතයේ බහුතරයක් ඉන්න සමාජයක අපි ඉන්නේ.

ඒ අතින් ගත්තම ශ්‍රී ලාංකීය ජන සමාජයක් වශයෙන් ගත්තම අපි තාමත් ඉන්නේ ගල් යුගයේ.

ලංකාවේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකුට රැකියාවක නියැලෙද්දී මුහුණදෙන්න සිද්ධවෙන්නේ මොනවගේ අභියෝග වලටද  ?

සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ට ඇත්තටම ලංකාවේ රැකියාවක් තියෙනවද කියලා අපි ඉස්සරලා බලන්න ඕන. ඔවුන්ට ඇත්තටම රැකියා අවස්ථාවන් නැහැ. තමන්ගේ අනන්‍යතාව සඟවගෙන ජීවත් වෙන සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ට නම් රැකියාවක් කිරීම ගැන විශාල ගැටළුවක් නැහැ. මොකද ඔවුන්ගේ අනන්‍යතාවය එළියට පේන්නේ නැති නිසා. හැබැයි, අනන්‍යතාවත් සමග එළිපිට ජීවත් වෙන පුද්ගලයින්ට සෑහෙන්න ප්‍රශ්න ඇතිවෙනවා. එක්කෝ ඔවුන්ට රස්සාවක් ලැබෙන්නේ නැහැ. එහෙම ආයතන තිබෙනවා නම් ඔවුන්ව පිළිගන්න ඕන, මොවුන්ට රස්සාවක් දෙන්න ඕන කියලා තියෙන නිසා රස්සාවක් සමහරවිට දෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒක හරිම අඩුයි. එහෙම දුන්නත් මං නම් හිතන්නේ නැහැ ඔවුන්ට නිදහසේ වැඩකරගෙන යන්න පුළුවන් වාතාවරණයක් එතැන තියෙනවා කියලා.

ගොඩක් වෙලාවට සැබෑ අනන්‍යතාවය දැනගත්තාම ඔවුන්ව රැකියා ස්ථානයෙන් අයින් කරලා දානවා. සමහරක් තැන් වලදී ඔවුන්ට හොරකම් කළා වැනි බොරු චෝදනා එල්ල කරන අවස්ථා තියෙනවා. මේවා බොරු චෝදනා, කිසිම පදනමක් හා සත්‍යතාවක් නැහැ.

සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයින් ලිංගික වෘතිකයන් ලෙස බොහෝ විට හංවඩු ගැහෙනවා. මේ ගැන කතා කළොත් ?

ලංකාව වගේ රටක් ගත්තම ගොඩක් වෙලාවට සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් ලිංගික වෘත්තියේ යෙදෙනවා. ඒකට මිනිස්සු ගොඩක් ඇගිල්ල දික්කරනවා. ‘මේ ජරා වැඩ කරන කට්ටිය, සෙක්ස් කරන කට්ටිය, මුදලට ඇඟ විකුණන කට්ටිය‘ කියලා. හැබැයි, කොයිම මොහොතකවත් ඒ මිනිස්සු හිතලා බලන්නේ නැහැ ඇයි මේ මිනිස්සු සෙක්ස් වර්ක් කරන්නේ, ඇයි මේ ගොල්ලෝ පාරේ හිටගෙන ඇඟ විකුණන්නේ කියලා. මොකද ඒ ගොල්ලෝ හිතන්නේ නැහැ මේ මිනිස්සුත් කාලාබීලා ජීවත්වෙන්න ඕන කියලා. රැකියා අවස්ථාවන් තියෙනවා නම් ඔවුන්ටත් අනික් අය වගේම තමන්ගේ ධාරිතාවයට, හැකියාවට, දැනුමට අනුව කරන්න රැකියාවන් තියෙනවා නම් මං හිතන්නේ නැහැ ලංකාවේ ගොඩක් වෙලාවට සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ට ලිංගික වෘත්තියේ යෙදෙන්න අවශ්‍යතාවක් තියෙනවා කියලා.

හැබැයි, ඉතිං මගෙන් අහනවා ගොඩක් වෙලාවට ‘ඇයි, ඔයාලා කියන්නේ නැද්ද සෙක්ස් වර්ක් කරන්න එපා කියලා‘. ඒ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න මට විසඳුමක් දෙන්න බැරිනම් මට කියන්න බැහැ ‘මුකුත් කරන්න එපා‘ කියලා.

වේදිකා නාට්‍යක රඟපාමින් (2016)

මෑතකාලීනව දඹුල්ල ප්‍රදේශයේදී මෙවැනි තරුණයෙකු ඝාතනයට ලක්වුණාම ඔබ ඒ වෙනුවෙන් හඬ නගා තිබුණා. මෙවැනි සිදුවීම් ඝාතනයක් දක්වා දුරදිග ගිය අවස්ථාවන් අපේ රටේ තිබෙනවා. ඒ ගැන කතා කළොත් ?

ඔව්, දඹුල්ල ප්‍රදේශයේදී තරුණයෙකු ඝාතනය කෙරුණා. මේ සිද්ධියත් අදාළ දෙන්නා අතර ඇතිවුණු ප්‍රශ්නයක් කියලා කියනවා. කතාවල් යටගහන්න පුළුවන්. නමුත්, කතාවක් දුරදිග ගිහිං පුද්ගලයෙකුව මරලා දාන තත්ත්වයට පත්විය යුතු නැහැනේ. විවාහක පුද්ගලයෙක් සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් සමග ආදරයක්, කිසියම් විදියක සම්බන්ධයක් ඇතිකර ගන්න කලින් ඒ පුද්ගලයා දැනගන්න ඕන ‘මං මේ සම්බන්ධෙට යන්න සුදුසුද ? නැත්ද ?‘ කියලා. ඒ වගේ දුරකට ගිහිං, ගනුදෙනු කරලා ඉවර වෙලා අවසානේදී තමන්ගේ ඇඟ බේරගන්න මනුස්සයෙක්ව මරනවා කියන එක නම් මං කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. ඒ වගේ තැනකදී නිරවද්‍ය වුණත් අදාළ පුද්ගලයාගේ පිට වැරැද්ද පැටවෙනවා. පුවත්පත් වල ඒ පිළිබඳ වාර්තා කරපු කැත. තමන්ගේ පුවත්පත් විකුණගන්න, ‘කාන්තා ඇඳුමක් ඇඳගත්ත පිරිමියා, රාත්‍රියේ සැරිසැරුවා, මරලා දාලා’ වගේ කතා දක්වා තිබුණා. මේ හැමතැනකදීම මං දකින්නේ කුහකත්වය. තමන් හරි, තමන්ගේ බලය තමයි රැඳෙන්න ඕන, තමන්ව පිළිගත යුතු යැයි හිතන කොට්ඨාසයක් විසින් සමාජයේ ඔවුන්ගේ පිළිගැනීමට, ඔවුන්ගේ රාමුවට නැති මිනිස්සු කොට්ඨාසයක් වෙනස් කොට සලකනවා. හිංසනයට ලක්කරනවා. මං ඒක දකින්නේ බලය පැතිරවීමක් විදියට.

ඉන්දියාවේ සමලිංගික පිරිස් තලා පෙළූ එර‍ට දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය මානව හිමිකම් වලට පටහැනි වැකියක් සේ සලකා පසුගිය සතියේදී ඉවත් කරා. මේ හා සමාන වෙන ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති තවම තියෙනවා. මේවා අධිරාජ්‍යවාදී සමයේදී දෙරටේම ස්ථාපිත වූ නීති. අපේ රට ඇතුළේදී සංක්‍රාන්ති සමාජභාවී අය වෙනුවෙන් පවතින නීති ක්‍රමය වෙනස් විය යුත්තේ කෙසේද ? ඉන්දියාවේ වගේ ට්‍රාන්ස් අයට වෙන් වුණු කැටගරි එකක් අවශ්‍යද ?

මගේ දැනුමේ හැටියට ඉන්දියාවේ නීති වෙනස් කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත, ඒ වගේම එය නැවත ප්‍රශ්න කරන්න පුළුවන් තවත් ප්‍රාන්තෙකින් ඒ පිළිබඳව නඩුවක් දැම්මොත් එහෙම. නමුත්, ලංකාවේ නීති සංශෝධනය කරන්න මගේ දැනුමේ හැටියට පාර්ලිමේන්තුව දක්වාම යා යුතුයි. පාර්ලිමේන්තුව කියන්නේ මොනවගේ තැනක්ද කියලා අපි දන්නවා. කොයිතරම් දුරට සමාජයේ පුළුල්, විවෘත දැනුමක් තියෙන පුද්ගලයෝද ඉන්නේ කියන එක දන්නවා. මොන විදිහට ඔවුන්ගේ ජීවිත ඔවුන්කුණු විදියට ගතකළත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔවුන් කතාකරන්නේ සංස්කෘතිය, රට, ධර්මය, සදාචාරය ගැන. මේ වගේ මානුෂීය දෙයක් ඉදිරිපත් කළාම, සමාජ දැනුමක් නැති කොට්ඨාසයක්නේ, මේකේ මනෝවිද්‍යාත්මක, ජීව විද්‍යාත්මක පසුබිම, සමාජ විද්‍යාත්මක පසුබිම මොකක්ද ? කියන කිසිදෙයක් නොදන්න පුද්ගලයෝ. ඉතිං, උගත් මිනිස්සු නෙමෙයි මෙතන ඉන්නේ. මේ වගේ මානුෂීය ඉල්ලීමක් එතැනට ගියාම ඒක කීපවතාවක්ම ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඉන්දියාවේ මම දකින විදියට මේ ජයග්‍රහණය සඳහා අවුරුදු ගාණක් තිස්සේ වෙහෙසුණා, ඔවුන්ට ඒකට ගොඩක් තමන්ගේ ප්‍රජාවේ මිනිස්සුන්ගේ වගේම මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කරන මානව හිමිකම් සංවිධාන වල සහයෝගය විශාල වශයෙන් ලැබුණා. හැබැයි ලංකාවේ තිරය පිටුපස්සේ ඉඳලා සද්දේ දාන්න ඕන තරම් කට්ටිය හම්බවෙනවා, මේවට උදව් කරන්නම්, කතා කරන්නම් කියනවා. නමුත්, වේදිකාව කියන තැනට ආවම මේ මාතෘකාව තමන්ගේ පුටුව, තැන බේරගන්න මිනිස්සු හරි පස්ස ගහන සමාජ ක්‍රමයක් තියෙන්නේ. ඒ කියන්නේ ‘ඕක ඉතිං අපි එළියට ඇවිල්ලා කතාකරන්න ඕන නැහැනේ. අපි උදව් කරන්නම්’ කියන කොට්ඨාසයක් ඉන්නේ. එහෙව් රටක මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක තව කොච්චර කාලයක් යයිද කියන එක,

ඒවගේම හරි ලොකුවට කියනවා මේක අපේ නීතිය කියලා. මං හිතන්නේ නැහැ ලංකාවේ මිනිස්සු භාගෙට භාගයක් දන්නවා කියලා මේක සුද්දා දීලා ගිය දේ, වික්ටෝරියා රැජිණගේ රේන්දේ කෑල්ලක් තමයි අපි මේ පාවිච්චි කරන්නේ කියලා. ඉතිං, ඒ රේන්දේ එල්ලීගෙන ‘මේක අපේ’ කියලා කියනවා මිසක් ඒ මිනිස්සු දන්නේ නැහැ මේක වික්ටෝරියාගේ කියලා.

අනිත් එක තමයි විදේශයෙන් එන ගොඩක් දේවල් මම දකින්නේ, ලංකාවේ දේවල් විදේශයට ගිහිං, විදේශීය දේවල් ලංකාවට ඇවිත්. හොඳ දේවල් ගන්නේ නැහැ. ගන්න පුළුවන් කුණු තමයි පිටරට වලින් ගන්නේ. හැබැයි, මේ වගේ මානුෂීය දේකට ආවම ‘ඕවා පිටරට දේවල්, එන්ජීඕකාරයින්ගේ දේවල්‘ කියනවා. කාගෙත් ලිංගිකත්වයක් වත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාවයක් වත් වපුරන්න බැහැ. ඒක ස්වභාවික දෙයක්. පිටරටින් ගෙනැල්ලා ජාන බෝකරන්න බැහැනේ, දාස්පෙතියා මල් පැළ කරනවා වගේ. ඉතිං ඔය වගේ පුහු තර්ක ගේන්නේ. මිනිස්සු කුහකයි. තමන් දකින කෝණයේ වැරැද්දක් තියෙනවා කියන එක පිළිගන්න කැමති නැහැනේ. එහෙම තියෙන තාක් කල් මං දන්නේ නැහැ මේ නීතිය කවදා කොයිතාක් දුරට වෙනස් කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවද කියලා.

නමුත්, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට පමණක් නෙමෙයි, තවත් බොහෝ නීති තියෙනවා දණ්ඩ නීති සංග්‍රහයේ මිනිස්සු වෙනස් කොට සලකන. අනිවාර්යයෙන්ම වරදට දඬුවම දෙන්න ඕන. නීතිය සර්ව සාධාරණව ක්‍රියාත්සක වෙන්න ඕන. හැබැයි ප්‍රජාවක් හැටියට, ජන සමාජයක් හැටියට ශ්‍රී ලංකාවේ ඉන්න හැමෝටම එකම වගේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන.ප්‍රජාවක් හැටියට ලංකාවේ ඉන්න හැමදෙනාටම එක හා සමාන නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන.පුද්ගලයින්ගේ කකුල් දෙක අස්සේ තියෙන එක බලලා හෝ නැත්නම් ඒ පුද්ගලයා වැඩිහිටියෙක් නම් කාමරයක් ඇතුළේ තාක් එකක්ද ඉන්නේ කියන දේවල් බලලා පුද්ගලයෙක්ට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් මං නම් හිතන්නේ නැහැ ඒ නීතිය සාධාරණයි කියලා. කාන්තා, පිරිමි විවාහක ජෝඩුවක් නැත්නම් ආදරේ කරන කාන්තා – පිරිමි දෙන්නෙක්ට තියෙනවා වගේම අයිතියක්, නිදහසක් තියෙනවා පිරිමි දෙන්නෙක්ටත් ආදරේ කරන්න, කාන්තාවෝ දෙන්නෙක්ටත් ආදරේ කරන්න. ආදරේ කියන්නේ හදවත මිස ලිංගිකත්වයක් නොවේ. ලිංගික  හැසිරීම කියන එක ආදරේ කියන එකේ කොටසක්වි තරයි. විවෘත මනසකින් ලෝකේ දිහා බලන ඕනම කෙනෙක්ට තියෙනවා, ලිංගික චර්යාව කියන්නේ පොඩි දෙයක්. ඒක කෙනෙක්ට ආදරේ කරනවා කියන එකට තියෙන සම්බන්ධතාවට බොහොම අඩුයි. ඒ කියන්නේ ආදරේ කියන දේ දී සීයට 2ක් 3 ක් තමයි ලිංගික චර්යාව කියන එක. නමුත්, අද වෙද්දි ආදරේ කියන එක ලිංගිකත්වය වෙලා හදවතින් කරන දෙයක් නෙමෙයි. ඉතිං, එහෙම කෝණෙකින් බලන කට්ටිය බලාපොරොත්තු කඩවූ අය කියන්නත් කැමතියි. ලංකාව හරිම බලාපොරොත්තු කඩවූ පිරිසක් ඉන්න, ලිංගිකත්වය සම්බන්ධයෙන් බලාපොරොත්තු කඩවුණු පිරිසක්. වේලි වේලී ඉන්නවා වගේ මිනිස්සුන්ගේ හැසිරීම් තියෙන්නේ.

මේ වෙනස් කිරීම කියන තැනට යනකොට මට ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ. හැබැයි ගොඩක් නීති තියෙනවා, මිනිස්සුන්ව වෙනස් කොට සලකන. ඒ නීති සංශෝධනය විය යුතුයි.

සමහර වෛද්‍යවරු සංක්‍රාන්ති ලිංගික පිරිස් පිළිගනිද්දි සමලිංගික නැඹුරුතාවය මානසික ව්‍යාධියක් විදියට දකිනවා. මේ ගැන කිව්වොත් ?

එහෙම ඔවුන් කියනවා නම් මට වර්ෂය මතක නැහැ නමුත්, ලෝක සෞඛ්‍යය සංවිධානය ප්‍රකාශයට 1992 දී ප්‍රකාශයට පත්කරනවා මේක මානසික ව්‍යාධියක් නොවේ කියලා. එහෙම පිළිගන්න වෛද්‍යවරුන්ට නැවත නැවතත් කියන්න කැමතියි කරුණාකරලා තමන්ගේ දැනුම අප්ඩේට් කරගන්න. එතනත් ආයේ දකින්න ලැබෙන්නේ වෛද්‍යවරුන් විදියට ඔවුන්ගේ දැනුම ඔවුන් විවෘත කරන්නේ නැහැ. දැනුම, විද්‍යාව, දත්ත පිළිගන්න වෙනවා. ඒකත් ආයේ කුහකත්වයනේ. විද්‍යාව වුණත් කමක් නැහැ මගේ පිළිගැනීම මේකනම්, මේක තමයි විද්‍යාව විය යුත්තේ කියලා හිතනවා. ඒකත් හරියට ඒ කාලේ විද්‍යාඥයෝ ලෝකේ රොටියක් වගේ තැටියක් කියලා කිව්වා වගේ තමයි.

කැට්ලින් ජෙනර් වගේ චරිතයක් ගත්තොත් තමන් ඉපදුණු විදියත් එක්ක ලබන්න හැකි ඉහළම ජයග්‍රහණ ලබා (ඔලිම්පික්), එක මොහොතකදී තීරණය කරනවා ‘මා තුළ ඉන්නේ හැබෑ මම නෙමේ. ඇත්තටම මම මීට වඩා වෙන කෙනෙක් කියලා’. ඒ තීරණයත් එක්ක අභියෝග භාරගනිමින් ඇය, ඇගේ අභිලාෂයන් ඉෂ්ට කරගන්නවා. සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයින්ව නියෝජනය කරමින් ලෝක නායකයින්ට පවා අභියෝග කරන මට්ටම ඇය අද පත්වෙලා ඉන්නවා.’තමන් තුළ තවදුරටත් ජීවත් වෙන්නේ ඇත්ත කෙනා නොවේ’ කියන දේ අවබෝධ කරගන්න එක නිශ්චිත මොහොතක් එනවද ඇත්තටම ? ඒ මොහොත ගැන කතාකළොත් ?

ඒක විශේෂයෙන් මෙන්න මෙදා මේ විදිහට දැනුණයි කියලා කියන්න බැහැ. ජීවිතේ මුල් කාලයේ, දැනුම් තේරුම් ඇති කාලයේ ඉඳලා මෑත කාලය වෙනකල් විවිධාකාරයෙන් අඩු වැඩි වශයෙන් දැනිච්ච හැඟීමක්. තමන් කියන පුද්ගලයා කවුද කියන එක හරියට අඳුර ගන්නකල් එහෙම ඒ අර වියවුලත් එක්ක ජීවත් වුණා. අවුරුදු 20 කට ආසන්න කාලයක් මං ඒ අරගලයත් එක්ක ජීවත් වුණා. කාන්තාව කවුද, කාන්තාවට මොනවද ඕන කියන දේවල් දැනගැනීම ගැන ලොකු අරගලයක් තිබුණා. ඉතිං, ඒක එක වෙලාවකට හරි ෆිල්මි ලෝකයක්. මධුර ඩික්සිත් වගේ යනවා පේනවා. එක වෙලාවකට හිතෙන දේවලුත් තියෙනවා. අනේ මන්දා වචනෙන් මෙහෙමයි කියලා විස්තර කරන්න හරි අමාරුයි. ඒක හරිම සංකීර්ණයි. එක වෙලාවකට ලස්සන, තවත් වෙලාවකට හිතට බරක් දැනෙන හැමදේම සම්මිශ්‍ර වුණු දෙයක්.

ඒ තීරණය ගන්නේ කොහොමද ?

මං කවුද කියන එක අදුරගත්තට පස්සේ ඒ තීරණය ගන්නේ 2010 දී. ඒ තීරණය ගද්දි ඒ ගැන ලොකුවට හිතලා පතලා නෙමෙයි ගත්තේ. මෙහෙම ලොකු ප්ලෑන් එකක් තියෙනවා, මෙහෙම කරන්න ඕන කියලා නොහිතා තියපු අඩියක්.

එක විදියකින් අවදානමක් භාරගැනීමක් ?

නොහිතා භාරගත්ත අවදානමක්

හැබැයි ආපහු හැරෙන්න බැහැ ?

මං සාමාන්‍යයෙන් දෙයක් කරනකොට ගොඩක් හිතනවා කියලා කියන්නත් බැහැ. හැබැයි නොහිතන්නෙත් නැහැ. හොඳක් වෙනවා කියලා හිතනවා නම් ගොඩක් වෙලාවට හිතන්නෙත් නැහැ. අඩිය තියනවා. ඉතිං, තිබ්බට පස්සේ හැබැයි මොන දේ ආවත්, අර යකා කොරහා බිඳගෙන යනවා වගේ ඒක මගේ ගතියක්. මං ඒක කඩාගෙන යනවා. ආයේ හැරීමක් නැහැ මගේ ජීවිතේ. මං ගත්ත හැම තීරණයකටම කලින් ඒ ගැන හිතුවා. තීරණේ ගත්තම ආපස්සට හිතලා ආයේ පසුතැවිලි වෙලා නැහැ.

ඔබ සාර්ක් සිනමා සම්මාන උළෙලේදී ‘ෆ්‍රැන්ජිපානි‘ සිනමාපටය වෙනුවෙන් ලද ජයග්‍රහණය අපේ රටට විශේෂයි. මේ ගැන කතා කළොත් ?

හඳුනාගත් සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවයකින් යුතු පුද්ගලයෙක් දකුණු ආසියානු සිනමා සම්මාන උළෙලකදී ඇගයුම් ලැබූ පළමු අවස්ථාව මෙයයි. ලාංකිකයෙකු විදියට ඒ ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඒ හැමදේටම වැඩියෙන් ගොඩක් සතුටු වෙන්නේ ලංකාවේ සිනමාව තුළ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ට යම්කිසි හෝ අනන්‍යතාවක් හඳුනාගැනීම, ඔවුන්ට සුළු හෝ පිළිගැනීමක් හිමිවීම ගැන සතුටක් තිබෙනවා.

මේ සිනමාපටයත් විශේෂයි ?

ඔව්, විශේෂයෙන්ම, ෆ්‍රැන්ජිපානි සිනමාපටය රූපගත වෙන්නේ 2013 දී. එය තිරගත වෙන්නේ 2016 අවුරුද්දේ. සම්මාන ලැබෙන්නේ 2017 දී හා 2018 දී. ෆ්‍රැන්ජිපානිසිනමාපටයේදී ලොකු ප්‍රශ්නයක් ආවා. මං එහි පිරිමි චරිතයක් රඟපෑවට, සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක්. මට ලැබෙන චරිතයේ සම්මානය හොඳම නළුවාට හිමි සම්මාන ත්‍රිත්වයන් එකක් හම්බෙන්නේ. ඒ ගැන ගොඩක් විවේචන ආවා. මගේ අනන්‍යතාවය පිළිබඳව. ඉතිං මම දකින විදියට හා මට ජූරියෙන් ලැබුණු දේ තමයි මගේ චරිතෙට හා හැකියාවට. මගේ ලිංගික අවයවය වත්, මං කියන පුද්ගලයා කවුරු විදියට සලකා නොවෙයි. ඒක නිසා මං ඒක ලොකුවට ගත්තේ නැහැ. මොකද ඒක මගේ හැකියාවට ලැබුණු දෙයක්. ජීවිතේ විවේචන තියෙන එක හොඳයි. අපි දන්නේ නැහැනේ අපේ අඩුපාඩු මොනවද කියන එක. විවේචන ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. මං ඇත්තටම කැමතියි විවේචන එනවා නම්. මොකද විවේචනයක් වෙන්නේ නැහැ කියන්නේ, ඒ වැඩේ කතාබහට ලක්වෙන්න තරම් වෙඩි වෙඩිල්ලක් නෙමෙයි. ඕනම වැඩක් වෙඩිල්ලක් වගේ තියෙන්න එපැයි. වෙඩිල්ලක් වගේ නැති නිසානේ විවේචන එන්නේ නැත්තේ. මිනිස්සු දන්නේ නැහැ, මිනිස්සු අතරට ගියාට මිනිස්සුන්ට දැනිලා නැහැ. මිනිස්සුන්ට දැනෙන්න යමක් කළාම තමයි විවේචන හරි ප්‍රශස්ති, චෝදනා වගේ දේවල් එන්නේ. ඕපදූප යනවා නම් ප්‍රවර්ධනය වෙනුවෙන් වියදම් කරන්න වෙන්නේ නැහැ.

ෆ්‍රැන්ජිපානි සිනමාපටයෙන් පස්සේ නිර්මාණ වලට තවත් ආරාධනා ආවද ?

සිනමාපට දෙක තුනකට ආරාධනා ආවා. මං ඒවා ප්‍රතික්ෂේප කරා. ගොඩක් වෙලාවට ඕවර් ඇක්ට් චරිත ලැබුණේ. ඔවුන් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු දැක්කොත් ඒ මිනිස්සු කවදාවත් ‘අනේ, මේ, මේ‘ කියලා කතාකරනවා මං නම් කවදාවත් දැකලා නැහැ ඇත්තටම. සාමාන්‍යයෙන් කාන්තාවකගේ ලක්ෂණ තියෙන බව අපි පිළිගන්නවා. ඒ චිත්‍රපටි වල නැති දෙයක් උළුප්පලා පෙන්වලා, හරි අමුතු විකට ස්වභාවයක් ආරූඪ කරලා, ඒක විකාරම දෙයක් කරලා. මේක අපහාස කිරීමක් විදියට මං දකින්නේ.

ඉස්සර මිනිස්සු ආබාධයක් ගත්තා මිනිස්සුන්ට හිනාවෙන්න, කාගේ හරි ගොතයක්, වපරයක්, අතපය කුදුවීමක්, නොන්ඩියක් වගේ දෙයක්. ඊට පස්සේ තව පුද්ගලයෙකුගේ දුර්වලතාවයක් ගත්තා. දැන් මේක ගන්නවා තව පුද්ගලයෙකුගේ අනන්‍යතාවයට. මේක සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ට වගේම සමලිංගික පුද්ගලයින්ටත් කරන දෙයක්. මලකුණු කනවා මීට වැඩිය හොඳයි. චිත්‍රපටයක් මාර්කට් කරගන්න පුද්ගලයෙකුගේ අනන්‍යතාවයක් අපහාසය ලක්කිරීම. අපි හැමදෙනාටම ආත්ම අභිමානයක් උරුමයි. මෙවැනි පහත්අන්දමට මිනිස්සු හැසිරීම විකාරයි. ආව චරිතත් ඒ වගේම දේවල්. මානව හිමිකම්, මගේ ප්‍රජාව වෙනුවෙන් වැඩකරද්දි ඔවුන් හාස්‍යයට ලක්කරන චරිත රඟපෑම වැඩක් නැහැ.  මං ඒවා ප්‍රතික්ෂේප කරා. දක්ෂ, ප්‍රවීණ, විවෘතව හිතන විචක්ෂණශීලී අධ්‍යක්ෂවරයෙකු යටතේ අලුත් සිනමා පටයකට දායක වෙන්න සූදානමින්ඉ න්නවා.

ඔබ නර්තනය, රංගනය හා ලේඛනයෙන් ද හැකියාවන් පෙන්වන කෙනෙක්. මේ හරහා ඔබේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න ලැබෙන පිටුබලය ගැන කිව්වොත් ?

ඔය කිසිම දෙයක් මං වෘත්තීමය මට්ටමින් ඉගෙනගත්ත දේවල් නෙමෙයි. ලියන්න හැමෝම ඉස්කෝලෙන් ඉගෙනගන්නවානේ. ඒක හැමෝටම තියෙන දක්ෂතාවයක්. ලිවීමේදී වැදගත් වෙන්නේ තමන් කියන්න උත්සහ කරන දේ කොහොම හරි දෙන එක. රංගනය මම හදාරලා සාමාන්‍ය පෙළට විෂයක් විදියට හදාරලා තියෙනවා. දැනට ඉන්න රංගන ශිල්පීන් බොහෝ දෙනෙකු වගේ කලායතනයකට ගිහිං නර්තනය, රංගනය ගැන විද්‍යාර්ථියෙක් විදියට ඒ ගැන හදාරලා නම් නැහැ. මං කොහොමත් ඉගෙනගන්න කම්මැලියි.

‘ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත‘ කියනවා. හැබැයි මං ඒ දේ විශ්වාස කරන්නේ නැහැ. පුද්ගලයෙකු තුළ විවිධ වූ මිශ්‍ර වෙච්ච හැකියාවන් තියෙනවා. ඒක හඳුනාගැනීම තමුන්ගේ වගකීමක්. මං අරමුණකට ජීවත් වෙන කෙනෙක්. ඒ අරමුණ මගේ ප්‍රජාව වෙනුවෙන් තියෙන අරමුණක්. මේ හැකියාවන් මං පාවිච්චි කරන්නේ අවියක් විදියට. ඕනම තැනකදී කිසියම් ආකාරයකින් අවධානයක් අප වෙත හරවාගත්තොත් තමයි අපිට දෙයක් කියන්න පුළුවන්. ‘First impression is the best impression’ කියනවානේ. අන්න ඒ වගේ මනුස්සයෙක්ට යම්කිසි හැකියාවක් තියෙනවානේ. පැහැදිලි, ධනාත්මක අවධානයක් අපේ පැත්තට යොමු වුණොත් එහෙම මං කියන දේ එතකොටයි මනුස්සයෙක් අහන්නේ, ඒ ගැන පොඩ්ඩක් හරි හිතන්නේ. ඔය දේවල් වලට තමයි මං මගේ හැකියාවන් පාවිච්චි කරන්නේ.

ඔබට ලැබුණු ඇගයීම්, සම්මාන ගැන සමාජජාලයන් තුළ තිබෙන LGBTQ සමූහ තුළ ඉන්න පිරිස් ආඩම්බරයෙන් කතාකරද්දි තවත් පිරිසක් ඝෘණාත්මක අදහස් දක්වා තිබුණු අවස්ථාත් දැකගන්න හැකිවුණා. මේ දේවල් ඔබ දකින්නේ කොහොමද ?

මං ඉතාමත් නිහතමානීව ඒ දේවල් භාරගන්නවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඕනම කෙනෙක්ට ඕනම චෝදනාවක් එල්ල කරන්න පුළුවන්. ඕනම හොඳ වැඩක් කරද්දි ඒකට ගල් මුල් ප්‍රහාර එනවා. බුදුන්ටත් ගල් පෙරළූ ලෝකයක්නේ මේක. මං බුදුන්ට මාව සමාන කරන්නේ නැහැ. ඕනම වැඩක් කරද්දි, විශේෂයෙන්ම අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතාකරද්දි ගල්මුල් ප්‍රහාර එල්ල වීම බොහොම සාමාන්‍යයි.

අධ්‍යාපන ක්‍රමය තුළ මේ දේවල් ගැන කතා නොකිරීම, ඉගැන්වීම් නොකිරීම, සමාජයේ මේ දේවල් කතා නොකිරීම සිද්ධ වෙනවා. මිනිස්සුන්ට දැනුම නැහැ. දන්නැති දේවල් ගැනනේ මිනිස්සු පණ්ඩිත කතා කියවන්නේ. දන්නවා නම් කියවන්න යන්නේ නැහැනේ. මං ඒක එච්චර ලොකුවට තකන්නේ නැහැ. බල්ලෙක් අපිට හැපුවා කියලා, අපි බල්ලව පෙරලගෙන හපන්නේ නැහැනේ. විවේචන කරන මිනිස්සුන්ට නැවතිලා, වාචිකව උත්තර දෙන්න තීරණය කළොත් මට කවදාවත් මගේ ගමන යන්න හැකිවෙන්නේ නැහැ. මගේ ප්‍රතිපත්තියක් තියෙනවා හැමතිස්සෙම ‘Let My Work Talk’. වැඩ වලින් උත්තර දෙනවා මිසක් නැවතිලා පැහැදිලි කිරීම් වලට යන්නේ නැහැ. ආයෙත් කියන්නේ ‘Wait and watch more to come’.

අපි මොන දේවල් ගැන කතා කළත් මේක සිංහල බෞද්ධ රටක්, 2500 කට අධික කාලයක අභිමානවත් ඉතිහාසයක් අපිට තියෙනවා කියල කෑගහන පිරිසක් ඉන්නවා. මේ තුළ අනිවාර්යයෙන්ම LGBTQ ප්‍රජාව අභියෝගයට ලක්වෙනවා. මේ ගැන කතා කළොත් ?

අපේ රටේ අපේ කියලා දෙයක් නැහැ. ඔක්කොම අපිට ප්‍රදානය කරපු දේවල්. නිදහස වුණත් ලැබිච්ච දෙයක්නේ. මම දන්න විදියට ඉන්දියාවටත් නිදහස ලැබුණා. ඒක නිසා අපිටත් නිදහස දායාද කළා. නැතුව අපි නිදහස ලබාගත්තේ නැහැ. ඒ වගේම බුද්ධ ධර්මය වුණත් අපිට දායාද කරපු දෙයක්. එය හිමිවුණෙත් ඉන්දියාවෙන්. මට තියෙන ලොකුම ප්‍රශ්නේ අපේ කියන දේවල් තියෙන්නේ මොනවද ?. සංස්කෘතියත් අද අච්චාරුවක්. මොකක්ද අපේ සංස්කෘතිය. එකගෙයි කෑම, බහු පුරුෂ, බහු භාර්යා විවාහය ඒවා අපේ සංස්කෘතිය.

ඉස්සර මිනිස්සුන්ට ලිංගිකත්වය ගැන බොහොම ස්වාධීන සමාජ වාතාවරණයක් තිබුණු රටක් මේක. සුද්දා ඇවිත් මේක විනාශ කරලා ඔවුන්ගේ දේවල් මෙරටට දාලා ගිහිල්ලා, ඔවුන්ගේ රටේ ලිංගිකත්වය ස්වාධීන කළා. ස්ත්‍රී පුරුෂ සමාජභාවයෙන් තොරව තමන් කැමති කෙනෙක්ට ආදරය කරන්න අවසරය දුන්නා. ඔවුන්ගේ නිදහස ඔවුන් හදාගත්තා, අපේ අනුවණ පිරිස අපේ දේවල් නැතිකරගෙන බටහිර දේවල් බදාගෙන ‘මේක තමයි අපේ දේ, මේක තමයි අපේ දේ‘ කියලා රසවිඳිනවා.

දූපත් මානසිකත්වය නැති නොවන තාක් කල්, කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී කිව්වත්, සංවර්ධිත රටක් කිව්වත්, බිල්ඩින් හැදේවි නමුත්, මිනිස්සු මනුෂ්‍යත්වය අතින් එන්න එන්නම පිරිහෙන රටක්. මම විවෘතව සමාජය ගැන බලනවා. මොකද පහර කාපු මිනිහනේ පහරේ සැර දන්නේ. මං දකින්නේ එන්න එන්නම කුහකත්වය පිරුණු, මනුෂ්‍යත්වය පිරිහුණු, වැඩිහිටියෙක්ට – මනුස්සයෙක්ට ගරුකරන්න දන්නේ නැති සමාජයක් මේක. පුද්ගලයෙකුගේ පුද්ගලිකත්වයට ගරු කරන්න දන්නේ නැහැ. සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින් ගැන හැමතිස්සෙම කියන්නේ ‘මුන් වේසියෝ, මුන් පොන්නයෝ, මුන් දන්නේ මේක කරන්න විතරයි, මුන්ට ජීවිතේ කිසිම අරමුණක් නැහැ, මුන් හොඳ මේකට විතරයි‘ වගේ ලේබල්ගත කරපු සමාජ ක්‍රමයක් තමයි මෙතැන තියෙන්නේ. මොන දේ වුණත් ඔය මිනිස්සු ඇතුළේ තියෙන කුණු ටික සුද්ද වෙනකල්, කුහකත්වය කියන දේ අයින් වෙනකල් සමාජයක් වශයෙන් අපි ඉස්සරහට යන්නේ නැහැ.

වේදිකා නාට්‍යක රඟපාමින් (2017)

අවසාන වශයෙන් අහන්න කැමතියි මනුස්සයෙක් විදියට මැරෙන්න කලින් ඉෂ්ඨ කරගන්න බලාපොරොත්තු වෙන විශේෂ අරමුණක් තිබෙනවාද ? ඒ මොකක්ද ?

අනිවාර්යයෙන්ම. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙක්ට තමන්ගේ පවුලේ අයත් එක්ක ජීවත්වෙන්න හැකි, පාසලේදී කිසිම හිංසනයකින් තොරව අධ්‍යාපනය ලබාගන්න පුළුවන්, ඔවුන්ට නිදහසේ රැකියාවක් කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම මැරෙන්න කලින් ඉටුකරගන්න ඉන්නමගේ එකම අරමුණ.

Windya pic කැළණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ සමාජීය විද්‍යාපති උපාධිය හදාරන   වින්ධ්‍යා ගම්ලත්  Sri Lanka Guardian වෙබ් අඩවියේ සංස්කාරකවරිය (සිංහල) ලෙස කටයුතු කරන අතර ‘අනිද්දා‘ පුවත්පතේ නිදහස් මාධ්‍යවේදිනියක ද වේ.  මානව අයිතීන්, කාලීන විදෙස් දේශපාලන ප්‍රවණතා මෙන්ම විදෙස් සාහිත්‍යය ඇගේ ලේඛනයන් තුළ මූලිකව අවධානයට ලක්කරන කරුණුය.

 

Two Blues [Converted]

Voices & Changes අරමුදලේ සහයෝගයෙනි.

Social Share: