2019 මාර්තු 22.
විඳිත අසාදිතයා විසිනි.
“ආදරය” හරි ලස්සන වචනයක්. ලස්සන කතාවක්. සියලු දෙනා මෙලොව එලිය දුටු දා පටන් යම් යම් මට්ටම් වලින් විද තිබෙනා ආදරය ඇත්තෙන්ම විටෙක ඖශධයකි. මෙලොව පැවැත්මක් තිබිමටනම් ආදරය අනිවාර්ය අංගයක් බව මගේ මතය වුවද පැවැත්ම යනුවෙන් මා අදහස් කලේ වර්ගයා බෝ කිරීම පමණක්ම නොවේ. එය එසේ පැවසීමට පදනම් වූ කාරනාවක් මා සතුව ඇත. අලුත ඉපදුන දරුවකුට එම මව පන මෙන් ආදරය කරයි.දරුවාද කුඩා කල සිටම තම මවට වඩා දෙයක් නොමැති ලෙස හැසිරෙන්නේ සැබෙවින්ම තම මවට ඇති අප්‍රමාන ආදරය නිසාවෙන්මය. යම් යම් ගුරුහරුකම් මත වැඩෙන දරුවා ගුරුවරුන්ට ආදරය කරයි. ඒ ගුරු ගෞරවයටයි.
ගුරුවරුන්ගෙන්ද ආදරය ලබයි. යහළුවන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් ආදරය ලබනවා මෙන්ම ඔවුන්ටද ආදරය බෙදනා ඔහු අවට පරිසරයට සතා සිවුපාවුන්ට පවා ආදරය කරයි.කාලයත් සමගම ඔහු හෝ ඇය තමන්ට සුදුසු ජීවන සහකරුවකු සොයන්නේ ආදරයේ සිහින මාලිගා රාශියක් සිත දරාගෙනයි. නමුත් මේ මොහොතේදී සමාජය අවධානය යොමුකරන්නේ ඔහුගේ ලස්සන ආදරයට නොව ඔහු තෝරාගන්නා සහකරුවා කවුරුද යන ඉලක්කයටයි.
විටෙක පිරිමි දරුවකු තවත් ගැහැණු දරුවකුට හෝ තවත් පිරිමි දරුවකුට ආදරය කරයි. ගැහැණු දරුවකු තවත් පිරිමි දරුවකුට හෝ ගැහැණු දරුවකුට ආදරය කරයි.කෙසේවෙතත් මෙහිදී ගැහැණු පිරිමි ආදර කතා අනුමත කරන ඇතැම් සමාජ කොටස් පිරිමි පිරිමි හෝ ගැහැණු ගැහැණු ආදර කතා ප්‍රතික්ෂේප කරන්නේ හේතු විරහිතවයි.ඉතින් කෙසේ හෝ සමකාමී ආදරයට තිත තබනා බොහෝ පුද්ගලයන් පසුව ද්විරිසි විවාහයකට මුලපුරන්නේ තමාගේ සිතේ ආදරයකින් හෝ කැමැත්තකින් නොවන අතර බොහෝ විට සමාජය හෝ වෙනත් පාර්ශවයක් සතුටු කිරීමට පමණි.කෙසේ හෝ දරුමල්ලන් වර්ධනය කරන ඔවුන් තම අවංක ආදරය යටපත්කොට පවුල් කන්නේ ඉහතදී මා කියූ “ ලෝක පැවැත්මට ආදරය අවැසි වුවද වර්ගයා බෝ කිරීමට ආදරය අත්‍යාවශ්‍ය නොවන බව” පෙන්වමිනි.
බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ පාසලක සේවය කරන උපාදිධාරී ගුරුවරයකු පැවසු සංවේදී අත්දැකීමක් ඔබට පැවසීමට කැමැත්තෙමි. මෙතැන් පටන් ඔහු සමන් යන අන්වර්ථ නාමයෙන් හදුන්වමු. සමන් තම පාසල් කාලය තුලදීම තමන් කවුද යන්න හරිහැටි හදුනාගත් පුද්ගලයෙකි .තමාගේ කැමැත්ත පිළිබද හොද අවබෝධයකින් සිටි ඔහු වැඩිදුර අද්‍යාපනය සදහා විශ්වවිද්‍යාලයට ඇතුළුවන්නේ සියලුදෙනගේ ආශීර්වාද මැද්දෙනි.එහිදී ඔහුට තවත් සමකාමී තරුණයකු සමග සම්බන්ධයක් ඇතිකරගැනිමට ඉඩකඩ ලැබිණි. සම්බන්ධය දුරදිග ගොස් ලස්සන ආදර කතාවකට එය පෙරලුනේ කාටත් රහසිනි. කෙසේවෙතත් විශ්වවිද්‍යාලයේ මිතුරන් අතර කතාබහට ලක්වූ ආදරය සමන්ගේ නිවසට යාමට පාර සොයාගන්න ලදී.
කෘර වූ නිවෙසේ ආමන්ත්‍රණ සමන්ගේ වචන වලින්ම කියනවානම් “කොල්ලෝ ආදරය කරන්න ඕන කෙල්ලන්ට.එත් උබ?ගෙදර මිනිස්සු පාරේ බැහැලා යන්නේ කොහොමද? කාගෙන් බෝවුන ලෙඩක්ද ඕක? නවත්තාපන් ඉක්මනට කවුරුත් දැනගන්න කලින්.”යනුවෙනි. සමන්ගේ ආදරයට පළමු අකුල්හෙලිම සිදුවුනේ එතැනින්ය.කෙසේහෝ නිවැසියන්ගේ දැඩි පෙරත්තයට මනමාලියක් සේවුණු අතර අකමැත්තෙන් හෝ සමන්ට එම පලහිලවුවේ පැටලෙන්නට විය.
විවාහ උත්සවය ජයට සැමරුණු නමුත් විවාහ පත්වන පුද්ගලයා පසුවුනේ දැඩි කලකිරීමකිනි.වසර කිහිපයක් ගත වෙත්ම සමාජය නැගු අනෙක් ප්‍රශ්නය “ ඇයි මෙයාලට ළමයි නැත්තේ. මොකක්හරි ප්‍රශ්නයක් ඇති දෙන්නට” යන්නයි. සමන්ගේ ඉවසීම තවදුරටත් වලංගු නොවුයෙන් සිය බිරිද සමග කොළඹ පදිංචියට පැමිණ කාලයේ ඇවෑමෙන් සියලු අන් කොන් සිය බිරිදට පැවසීමට ඔහුට සිදුවිය.මුලදී සිය බිරිදගෙනුත් ආඩපාලි ඇසීමට සහ අඩදබර කිරීම් වලට මුහුණදීමට සිදුවූ සමන්ට කාලයත් සමග බිරිදගේ පාර්ශවයෙන් ඉල්ලීමක් ආකාරයේ යෝජනාවක් ඉදිරිපත්විය. “ අපි මෙහෙම අසතුටෙන් ඉදල වැඩක් නැහැ. ඔයා ආදරය කරපු කොල්ල තම ඉන්නවද ? ඉන්නවනම් එයාව එක්කන් එන්න මෙහෙට.මම කියන දේවල් එයාටත් කියන්න.එය කැමතිනම් මෙහෙටවෙලා එයාටත් ඉන්න පුළුවන්.මට ඔයාගෙන් දික්කසාද වෙන්න ඕන නැහැ. හැබැයි පාරේ බැහැල යනකොට ඔයයි මමයි ගෑනියි මිනිහයි. ගෙදරදී ඕන මගුල්ක්, යෝජනාව කනවැකුනු සමන්ගේ සතුට ඉහවහ ගියද සිතේ කුඩා දුකක්ද පැනනැගිනි. ඒ “මගේ ජිවිතේ සතුට ගැන හිතල එයා එයාගේ ජිවිතේ අපායක් කරගත්තද මන්ද” යන සිතුවිල්ල නිසාවෙනි. පිළිතුර සුසුමක් පමණක් වුවත් සමන්ගේ ආදරවන්තයා සිය නිවසට කැන්දගෙන එන සමන් වෙනදට වඩා සතුටින් කාලය ගතකරන බව දැක බිරිදද සතුටට පත්විය. “ඇත්තටම මම අදටත් ඔහු සමග ගොඩක් සතුටෙන් කාලය ගතකරනවා.මගේ බිරිදට මම වෙනසක් කරන්නෙත් නැහැ. බිරිදත් අපි දෙන්න එක්කම සහයෝගයෙන් ඉන්නවා. වෙලාවකට මට එයා ගැන පුදුමයි. ගැහැනියකුට එහෙම කැපකිරීමක් කරන්න පුළුවන් වුනා කියද්දීත්. ඇත්තටම මම එයා ගැන ආඩම්බර වෙනවා වගේම එයට මම ස්තුති කරනවා.” සමන්ගේ අදහස් වචන බවට පෙරලුනේ එලෙසිනි.
අවංක සිතින් හටගත් ආදරයකට සමාජයේ ඇතැමුන් විසින් නොදැනුවත්කමට හෝ සිදුකරන බදාවන් නිසා අනාගතයේදී දුක් විඳීමට සිදුවන්නේ චුදිතයාට පමණක් නොව ඔහුගේ අවට සිටින්නන්ටත් එක්වය. ඉහත සමන්ගේ කතාබසින් එය මානව පිලිබිබු වේ.ඔහුගේ බිරිදට යම්තාක් දුරට හෝ සමාජ දැනුමක් තිබු නිසාවෙන් ඇයගේ ගතානුගතික අදහස් අමාරුවෙන් හෝ යටපත් කරගැනීමට ඇයට හැකිවිය. සෑම ආදර කතාවක්ම මෙසේ විසදේවිද? ඇතැම් සමකාමී පුද්ගලයන් විෂම ලිංගික විවාහයකට ගොස් දරුවන් සාදා ලොවට පෙනෙන්නට උත්කෘෂ්ට රංගනයක යෙදෙන්නේ තමාගේ හෘද ශාක්ෂියට එකගවද? තවත් සමකාමී කාන්තාවන් බලෙන් සිදුවූ විවාහයන් තුල සිරවී දුක් විදින්නේ තමන් සිහින මැවු ආදරය අමු අමුවේ මරා දමා සමාජයෙන් එල්ලවන අනේකවිද අපවාදයන් හමුවේ අසරණ වීමට අකමැති නිසාවෙනි.
කුසගින්නක් දැනුනු විට සුදුසු ආහාරයක් තෝරාගැනීමට,ඇදහීමට ආගමක් තොරගැනිමට,ගමන්බිමන් යාමට සුදුසු ප්‍රවාහනයක් තොරගැනිමට මෙන්ම තමාට සංවේදී ආදරයක් තෝරාගැනීමට ද මිනිසෙකුට අයිතියක් තිබිය යුතුය. සමාජයකින් තෝරාදීමක් අවශ්‍ය නොවන ආදරය පුද්ගලයකුට තෘප්තිමත් ද නැද්ද යන්න තීරණය කල යුත්තේ ආදරය විදින පුද්ගලයාමය. ලොව අන් රටවල කෙමෙන් සාමාන්‍යයට ලක්වන මෙම කාරනාව අප රට තුල සාමන්යිකරණය නොවන්නට පුද්ගලයන්ගේ තෙරුම්ගැනිමට ඇති අකමැත්ත බලපා ඇති බව විටෙක සිතේ. එය එසේ වන අතර පුහු මතිමතාන්තර සමාජගත කරනා වගකිවයුතු නිලධාරීන් සමාජය තුල සිටීමද කණගාටුවට කරුණකි.රාජ්‍ය සේවයේ නියුතු උගත් බුද්ධිමත් ඇතැම් වෛද්‍යවරුන් අතරද අතරින් පතර හමුවන වෛද්‍යවරුන් ද එසේ වනවිට අනෙකුත් පුද්ගලයන් පිළිබද කවර කතාවක් ද. එවන් වෛද්‍යවරයකුගේ මුවින් දිනක් මා හටම ඉදිරිපත්වුනේ මෙවන් වචන සමුදායකි. “කොල්ලන්ට පුලුවන්ද ආදරය කරන්න, අවංකව ආදරය කරන්නේ කෙල්ලෝ විතරයි. ඔය පුරුදු අත්හරින්න.බලන්න ඔයාගේ පෙනුම.කෙල්ලෙක් හොයාගන්න බැරිකමක් නැහැනේ. ටික ටික කෙල්ලෝ ගැන හිතන්න පටන්ගන්න “ මට එම වදනින් ගැටළු 2ක් හටගත් අතර පළමුවැන්න පිරිමියකුට තවත් පිරිමියකුට ආදරය කල නොහැක්කේ මන්ද යන්නයි.අනික නම් සමාජයෙන් “පිරිමියා” යනුවෙන් පවසන පෙනුමක් ඇති අයෙකු සමකාමියකු විය නොහැකිද යන්නයි.වගකිවයුතු ලිංගාශ්‍රිත රෝග මර්ධන ඒකකයක වෛද්‍යවරයකු සමාජයට ලබාදිය යුත්තේ එවන් පණිවිඩයක්ද? විෂය පිළිබද මනා අවබෝධයක් තිබියයුත්තන් එසේ පවසන්නේනම් සමාජයේ අනෙක් පුද්ගලයන් සමරිසි ආදරයට අකුල් හෙලීම විමතියට කාරනාවක් නොවේ.
ද්විරිසි ආදරය සුන්දර ගැඹුරු කාරනාවක් යයි වදන් කවි සපයනා ඇතැමුන්ට සමරිසි ආදරය ද එවැන්නක් බව දැකීමට ඇති බාධාව කුමක්ද?අතීතයේ ලොව අන්රටවල් වල මෙන්ම අප ශ්‍රී ලංකාව තුලද සමරිසි ආදරකතා කොතෙක් තිබී තිබුනද ඒවාගෙන් කීයෙන් කියක් නම් අනාගත පරපුරට කියාදෙන්නට ඇත්ද.ඇතැම්විට එකක්වත් සමාජයට නොපැමිණියේ සංස්කෘතිය නම් සළුවෙන් එම ආදර කතාන්දරයන් වැසි තිබු නිසා වන්නට ඇත. නැතිනම් ආලේප කරගත් පුහු නම්බුව සේදී යාවිදෝ යන සැකය නිසා වන්නට ඇත.පටු අරමුණු නිසාවෙන් වෙනස් කොට ඇති ආගම් තුල “සමරිසිබව ,සමරිසි ආදරය ආගමට හෝ දෙවියන්ට කරන අපහාසයක්” යනුවෙන් පෙන්වන්නේ කුමකටදැයි මටනම් අපැහැදිලි කරුණකි. එසේනම් “සමරිසි පුද්ගලයන් මෙලොව මවා තිබෙන්නේ අහවල් එකකටද” යන පැනය ඉදිරිපත් කිරීම අසාධාරණ නැතැයි මම සිතමි. කෙසේවෙතත් අසත්‍ය ආගමික මතිමතාන්තර බිද හෙලීමට අවස්ථාවන් අවම වුවද එමගින්ද පහරදී ඇත්තේ තවත් ආදර කතාවකටයි.
සුන්දර විවිධාකාර ආදර කතා තුල සමරිසි ආදරයටද සමාජයේ තෝතැන්නක් නිර්මාණය වන්නේනම් අකාලයේ දුම්රියට,සාගරයට බිලිවන සමකාමී තරුණ තරුණියන්ට මෙන්ම නොගැලපෙන ජිවන ගමනකට බලෙන් පාර කපාගෙන අනේකවිධ දුක් උසුලන සමරිසි පුද්ගලයන්ටද සැනසුම් සුසුම් හෙලීමට අවස්ථාව උදාවනු ඇත.එමෙන්ම ඔවුන් මුළුමහත් සමාජයටම ස්තුතිවන්ත වන අතර ඔවුන්ගේ ජීවිතද සුවදවත් කරගන්නවා නොඅනුමානය.
| ආසාධිත වින්දිතයා | එච්අයිවී සමග ජිවත් වන පුද්ගලයන් ගේ අයිතිවාසිකම් සහ විවිධ ලිංගික දිශානතීන් සහ සමාජභාවී අනන්‍යතාවයන් සහිත පුද්ගලයන්ගේ අයිතීන් පිළිබද ක්‍රියාකාරිකයෙකි. |
![]() |
Voices & Changes අරමුදලේ
|
![Two Blues [Converted]](http://old.bakamoono.lk/siadmin/wp-content/uploads/2018/10/Two-Blues-Converted-2.png)