අන්තර්ජාලය + ලිංගිකත්වය + සූරාකෑම = ? මෙය සිදුවුයේ කෙසේද ? සිදුවන්නේ කෙසේද ? – අවසාන කොටස

2019 පෙබරවාරි 21.

හැරවුම් ලක්ෂයකින් කොතරම් දේවල් වෙනස් කල හැකිද ?. මෙතෙක් දුර අපි කතාකළ අන්තර්ජාලය + ලිංගිකත්වය + සූරාකෑම = ?යන ගැටළුවත් එවැනිම හැරවුම් ලක්ෂයකි. මගේ රටේ ජනගහනයෙන් 40% වැඩි පිරිසක් නොදැනුවත්වම හෝ දැනුවත්වම වෙනස් කරන පහත් නින්දිත ක්‍රියාවලියකි.මේ ගැටළුවෙන් ලිංගිකත්වය හා සූරාකෑම  ඉවත්කළ විට ඉතිරිවන්නේ අන්තර්ජාලයයි.එවිට එහි ගැටළුවක්ද නොමැත.ගැලපෙන දේවල් එකතුවී ගොඩනැගෙන නිර්මාණ කොතරම් සුන්දරද. ලස්සන වර්ණවලින් හැඩගැන්වුනු සුවපහසු පුළුන් වලින් පිරුන Mattressඑකක නිදාගන්න අපි ඉතාමත් කැමති. පුළුන් වෙනුවට කළුගල්, ඇල්පෙනෙති හා විදුරු කටුවලින් පිරුන Mattress එකක නිදාගන්න ඔබ කැමතිද ? ඔබට පුලුවන්ද ?. නොගැලපීම් නිසා අප සැමටම මුහුණ පාන්නට සිදුවන කරදරත් හරියට ඒ වගේ. සියලු සිදුවීම් කාලයාගේ ඇවෑමෙන් සිදුවන්නා සේම මිනිසාගේ ඇවෑමෙන් සියල්ල වෙනස් වෙනු ඇත. මොනයම් හේතුවක් හෝ නිසා සියල්ල වෙනස් වුවත් එය විය යුත්තේ යහපත් දෙයක් සඳහාම පමණි. හරියට අපිවැනි ජීවින් සඳහා පෘතුවිය නිර්මාණය වූවාක් මෙන් එය සිදුවිය යුතුය. පෘතුවිය නිර්මාණය වී වසර දසලක්ෂ ගණනකට පසුව මිනිසා බිහිවිය. එකවරම මිනිසාම නිර්මාණය වුයේ නැත. ප්‍රථමයෙන්ම ජිවින්ට හිතකර පරිසරයක් පෘතුවිය මත ගොඩනැගුන අතර ඊට වසර දසලක්ෂ ගණනකට පසුවයි මිනිසා නිර්මාණය වූයේ. වර්තමාන මිනිසා නිර්මාණය වීමට ගත වූ කාලය මෙපමණයි කියා කියන්නට බැරිතරම් අපරිමිතය. ඒ ගතවූ කාලයේ වැරද්දක් නැත. කාලයාගේ ඇවෑමෙන් මනසින් උසස් මිනිසා නිර්මාණය වූවා. උසස් මනසක් හිමි මිනිසා විසින් බොහෝ අපූරු දෑලොවට බිහි කරනු ලැබුවා. දිනෙන් දින පැයෙන් පැය තප්පරයෙන් තප්පරය මිනිසා නවින දේ සොයා අලුත් අලුත් දෑ තනමින් ලෝකය ජයග්‍රහණය කරයි. අජටාකාශ තරණය, හදවත් බද්ධය, පරිගණක තාක්‍ෂණය, අන්තර්ජාලය ආදී සියල්ල විද්‍යාත්මක තාක්ෂණය උපයෝගී කර ගනිමින් මිනිසා ලද ජයග්‍රහණයන්ය. සත්‍ය වශයෙන්ම මේ සියල්ල මිනිසා සංවර්ධනය කරා යන ගමනේ පිය සටහන් ලෙසත් සංධිස්ථාන ලෙසත් සනිටුහන් කල යුතුය.

මේ සොයාගැනීම වල වැදගත්ම භාවිතය ලෙස අන්තර්ජාලය වර්තමානය අතික්‍රමණය කර ඇත. නමුත් ඒ භාවිතය අවභාවිත වී ඇත. එය සිදුවී ඇති ආකාරය අපි මීට පෙර සාකච්ඡා කළෙමු. එනම් අන්තර්ජාලය ඔස්සේ ලිංගිකත්වය සූරාකෑමයි.සූරාකෑමකින් තොරව අන්තර්ජාලය පරිහරණයට අප යොමු විය යුත්තේ වෙන කිසිදු කරුණක් නිසා නොව ඒ එය අපගේම සාර්ථකත්වය සදහා ඉවහල් වන නිසාමය. ලොව සුඛිත මුදිත කිරීමේ අරමුණු පෙරදැරිව නව සොයාගැනීම් අත්හදා බැලීම් හා නිපදවීම් කල මිනිසා මේවා මිනිසාගේම විනාශය සඳහා පටු අරමුණින් යොදා ගනු ඇතැයි කිසිවිටකවත් සිතන්නට නැතුව ඇත. එහෙත් බල ලෝභයත් ආත්මාර්ථයත් පෙරදැරි වූ විසි එක්වන සියවසේ මිනිසා සියල්ල අවභාවිත කලේ තමාගේ අනාගතයද විනාශයට ඇදදමා ගනිමිණි. නමුත් මෙහි වටිනාකම හදුනාගෙන ඊළග තප්පරයටත් පෙර තමාගේ ජීවිතය පමණක් නොව අන් සැමගේ ජීවිතද ආරක්ෂා කරගැනීම හා සාර්ථක කර ගැනීම ඔබ සැමදෙනාගේම වගකිමකි. වර්තමානය වන විට අන්තර්ජාලය පරිහරණය නොකරන්නන් අප අතර සිටීද යන්න සිතාගත නොහැකි තරමට සියලු දෙනාම අන්තර්ජාලය තුල තම ජිවන රටාවන් පවා වෙනස් කර ගැනීමට පුරුදු වී සිටිති. ස්මාර්ට් දුරකථනයකින්ම පමණක් නොව විවිධ මාදිලියේ පරිගණක( Laptops ,Tabs ) මේ සඳහා යොදා ගත හැක. මේ මොහොත වනවිට ස්මාර්ට් නොවන ජංගම දුරකථන හරහාද අන්තර්ජාලය භාවිතයට ඉඩ සැලසී ඇත.අන්තර්ජාලය අන්තර් පුද්ගල සන්නිවේදනය සඳහාම පමණක් නොව ලෝකයේ සමස්ත ක්‍රියාවලිය සඳහාද අවශ්‍ය වැදගත් මිලකළ නොහැකි දෙයකි. සිහිනයෙන්වත් දකින්නට නොහැකි වුනු බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව පමණක් නොව ජපාන වැනි රටවල් වල තොරතුරු දැනගැනීමට තරම් අවකාශයක් අපට ලැබී ඇත්තේ අන්තර්ජාලය නිසාවෙනි. එපමණක්ද නොව හිමාල කදු වැටියේ සිටත්, ඇමසන් වනාන්තරයේ සිටත්, සූවස් ඇල්ලේ සිටත්, ලංකාවේ හෝර්ටන් තැන්නේ සිටත් ලොව පුදුම හත දක්වා තොරතුරු පමණක් නොව ඡායාරූපද සියසින් දැකබලාගැනීමට හැකියාව ඇති වුයේ අන්තර්ජාල නිසාවෙනි. රසායන විද්‍යාවේ සිට ජිව විද්‍යාව දක්වා තොරතුරුත්, කව් සිළුමිණේ සිට මහා භාරතය දක්වා තොරතුරුත් දැනගැනීමට පහසු මග අන්තර්ජාලය වුවාය. එපමණක්ද නොව සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් බලාසිටියා වෙනුවට විදේශ ගත වූ තම ආදරණීයයන් එක මොහොතකින් දැකගැනීමට අවශ්‍ය සහයෝගයද ලබා දුන්නේ අන්තර්ජාලයෙනි. ඔබත් මමත් අතර මේ කතාබහටද ඉඩහසර ලබා දී ඇත්තේ අන්තර්ජාලයයි. මෙය දෙවියන්ගේ හෝ මායකරුවන්ගේ නිර්මාණයක් නොව සඳ තරණයේ ඡායාරුපද අපේ ඇස් ඉදිරියට ගෙනදුන් එකම දෙවියන් වුයේද මායකරුවන් වුයේද මිනිසාය. විශ්වීය දැනුම දෙපා මුලටම ගෙනඑන මේ අන්තර්ජාලය අපේ දැනුම යාවත්කාලීන කරන අපූරු මිතුරෙකි. මෙතරම් ප්‍රයෝජන රැසක් ලබාදෙන අන්තර්ජාලය අවභාවිතය කිරීමෙන් වැලකී සිටීම ඔබේ යහපතට බලපානු ඇත. පළමු, දෙවන, තෙවන හා සිව්වන කොටස් හරහා ඔබට ඔබේ ජිවිතයට මතක් කරදුන් අමිහිරි සිදුවීම්, නුවණක්කාර ක්‍රියා, අතහැරෙන බලපොරොත්තු පිළිබඳව සිතන්නට කාලය ගන්න. නවීන තාක්ෂණික මෙවලම් යොදාගෙන ජීවිතය අසාර්ථක කරගැනීමට යෑම කොයිතරම් අනුවන ක්‍රියාවක්ද යන වග පිළිබඳව සියලු දෙනාවම දැනුවත් කරන්න.

අන්තර්ජාලය + ලිංගිකත්ව + සූරාකෑම = ? යන ගැටලුවෙන් දැන් අපට වෙන් කරගැනීමට ඇත්තේ සූරාකෑමයි. මොකක්ද මේ සූරාකෑම ? හොරෙන් උදුරාගෙන කෑමද ? නැත්නම් බලෙන් කෑමද ? එසේත් නැත්නම් ඉල්ලගෙන කෑමද ? මදක් සිතන්න මේ සූරාකෑමනම් ඉහත සදහන් කල කිසිදු ආකාරයකට සමාන වන්නේ නැත. මේ වචනය නම් ලෝකය විනාශ කිරීමට ගොඩනැගුනු කිසිදු අර්ථයක් නොමැති ප්‍රයෝජනයක් නොමැති නොවටිනා හිස් වචනයකි. අන්තර්ජාලය තරම් වටිනා තාක්ෂණයට මේ වචනය යොදා ගැනීමද ලැජ්ජාවකි. මේ ක්‍රියාව පිළිබඳව නිවැරදිව කියනවා නම් එය හරියට ඔබේ පසුම්බියෙන් ඔබම මුදල් සොරකම් කරනවා වැනිය. අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලිංගික සූරාකෑම කොයිතරම් පහත් නින්දිත ක්‍රියාවක්ද යන්න ඔබට දැන් හොදින්ම වැටහෙනවා ඇති. අන්තර්ජාලය භාවිතයේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ඇත. එනම්,

  1. ව්‍යාජ ඊ-මේල් ගිණුම්, සමාජ ජාල වෙබ්අඩවි සෑදීමෙන් වලකින්න.
  2. අන් අයගේ අනුදැනුමෙන් තොරව ඔවුන්ගේ තොරතුරු අන්තර්ජාලයට එක් නොකරන්න
  3. අන්තර්ජාලය තුල පුද්ගලිකත්වය ආරක්‍ෂා නොවන තොරතුරු භාවිත නොකරන්න.
  4. පුද්ගලයෙකුට, ආයතනයකට, ආගමකට අපහාස වන අයුරින් අන්තර්ජාලය භාවිත නොකරන්න.
  5. පුද්ගලයකු ගේ සේයාරුව වෙනස් කිරීම, බද්ධ කිරීම, එවැනි දේ Fb එකට හෝ වෙනත් වෙබ් අඩවි වලට ඇතුලත් නොකරන්න.

මෙම ආචාර ධර්ම නිර්මාණය වුයේ කොළ පිරවිමටවත් කියවා සිනාසීමටවත් නොව. අපකීර්තියට පත්ව අන් අයගේ හාස්‍යට ඔබ පත්වීම වැළැක්වීම සඳහාය. ඔබේ විද්‍යුත් තැපෑල දුරකථනයට ලියාපදිංචි වී ඇත්නම් ඔබ නොදැනුවත්වම ඔබගේ ස්මාර්ට් දුරකථනයේ ඇති තොරතුරු අන්තර්ජාලය මුසුවේ. එසේ වීම අවාසිදායක වන්නේ එම දුරකථනයේ ඔබගේ අතිශය පෞද්ගලික, ඡායාරූප, වීඩියෝ හෝ මුරපද ගබඩා කළහොත් පමණි. එවැනි දේ ජංගම දුරකතනයේ තබා නොගැනීමට වගබලා ගන්න. ඉදි කටුවකට පාට පාට නූල් දැමීමෙන් අලංකාර මෝස්‌තර මැසිමට අපට පුළුවන්. වෙන කල්පනාවක සිටිමින්, වුවමනාවකින් තොරව හෝ අවබෝදයකින් තොරව ඉදිකටුව භාවිත කල නොහැක. එවිට ඔබේ ඇගිලි තුවාල වෙයි. ලේ ගලයි. අන්තර්ජාලය භාවිතයද එලෙසය. මෙය අන්තර්ජාලයට පමණක් නොව ජිවිතේ ඕනෑම අවස්ථාවකදී සිදුවිය හැකිය. නමුත් අලංකාර නිර්මණයක ඇති වටිනාකම අමතක නොකරන්න. එනම් අන්තර්ජාල නිසි ලෙස භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන සියයට අනූනවයක වටිනාකම උරගා බලන්න. සියයට එකක් වූ අවභාවිතය නැතිකරදමන්න. එක පහනකින් ලැබෙන ආලෝකය මෙන් අනූනව ගුණයක එළියක් පහන් අනූනවයකින් ලැබෙන බව සිහියේ තබාගෙන අන්තර්ජාලයේ උපරිම ප්‍රයෝජන ලබගන්න. පාලකයා ඔබ මිස අන්තර්ජාලය නොවේ.අන්තර්ජාලය + ලිංගිකත්වය + සූරාකෑම = ?දැන් ගැටළුවක් නොමැත. උත්තරයක් නොමැතිව ගොඩනැහුණු මේ ගැටලුවෙන් අපි අන්තර්ජාලය බේරාගෙන අවසන්ය. සූරාකෑම විනාශ කර අවසන්ය. ප්‍රයෝගිකව මෙය ක්‍රියාවට නැංවීම ඔබ සතු වගකීමයි. ප්‍රශ්නයෙන් ඉබේම ගැලවුණු වචනය වුයේ ලිංගිකත්වයයි. නොගැල පෙන වචන දෙකක් අතර සිරවී සිටි මේ වචනයනම් දැන්නම් නිදහසේ හුස්මගන්නවා ඇති. ලිංගිකත්වය යනු විශේෂීකරණය කොට හුවාදැක්විය යුත්තක් නොවේ. එය ඕනෑම ජීවියෙකු සතුවූ ස්වභාවයකි. එවැනි වචනයක්වත් නොඅසා ඇති දරුවන් පවා අන්තර්ජාලය ඔස්සේ ලිංගික සූරාකෑමට ලක්කරන මිනිසුන්ද අප අතර නැතුවා නොවේ. අන්තර්ජාල + ලිංගිකත්වය + සූරාකෑම = ? ගැටලුව විසදී අවසන්ය. වැළැක්වීම හෝ ආරක්ෂා කිරීම හෝ නැවත ගොඩනැගීම ඔබ අතින් සිදුවන්නකි. ජයග්‍රාහී ජිවිතයකට අන්තර්ජාලය ප්‍රයෝජනයට ගැනීම ඔබේ සාර්ථකත්වයයි. පදික වේදිකාවේ සිටින මහල්ලෙකුගේ ඡායාරුපයක් සමග ලොකු වචන දමා like, comments බලපොරොත්තු වන්නේ ඔබ පමණක් බව සිහියට ගන්න. ඔවුනට likeවලින්හෝ comments වලින් කුසගින්න නිවාගත නොහැකි බව තේරුම් ගන්න. අන්තර්ජාලය වටිනා දෙයක් වෙනුවෙන් යොදාගන්නට අමතක නොකරන්න. නොගැලපෙන දේවල් එකතු කරගැනීම මගින් පිරිසුදු ජලය පවා අපවිත්‍ර වෙන බව ඔබ අසා ඇත. ඔබේ ආදරණීයයන් අන්තර්ජාලය ඔස්සේ නාදුන පුද්ගලයින්ට හෝ දන්නා පුද්ගලයින්ට රැවටීමට ඇති අවස්ථාවන් පිළිබඳ සියලු දෙන දැනුවත් කරන්න. මෙවැනි පුද්ගලයන් නිසා නවීන තාක්ෂනය භාවිත නොකර සිටීමට අපට හැකියාවක් නොමැත.එබැවින් ඔබේ දැනුවත් කිරීම පැහැදිලි මෙන්ම ප්‍රයෝගික වීම වැදගත්ය. ඔබේ අධ්‍යාපනයට, ඔබේ දක්ෂතාවන් ඉදිරිපත් කිරීමට, ව්‍යාපාර කටයුතු සදහා, වෙනස් වන ලෝකය පිළිබඳ තොරතුරු දැනගැනීමට, නිර්මාණාත්මක ලිපි පල කිරීමට , යහපත් මිතුරු සබදතා ඇතිකර ගැනීමට, වැරදි ක්‍රියා වෙනුවෙන් එරෙහි වීමට වැනි ඕනෑම ක්‍රියාවක් අන්තර්ජලය ඔස්සේ ඔබට සිදුකල හැක. ඔබට ලැබී ඇති වටිනාම දායාදය වූ මනුෂ්‍යත්වය මේ ලෝකයේ ලස්සන වෙනුවෙන් පරිත්‍යාග කිරීම ඔබට කල හැක. ඔබ කුමන ආගමක කුමන ජාතියක වූවත් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලිංගික සූරාකෑමට එරෙහිවීම ඔබේ යුතුකමයි. ඒ මන්දයත් අපි සැමදෙනාම මිනිසුන් නිසාය. මේ පහත් නින්දිත ක්‍රියාව සිදුකරන්නන් විනාශ කිරීමට මනුස්සකම හැර වෙන කිසිදු ආයුධයක් පාවිච්චි කල නොහැක. ඔබේ වටිනාකම ඔබේ වැදගත්කම මෙන්ම ඔබේ ශක්තියත් පිළිබඳව අවබෝදයෙන් සිටින්න. දැයේ ජීවය වූ ආදරණීය දරුවන්ට පමණක් නොව ඔවුන්ගේ ආරක්ෂකයින් වූ ඔබටත් ලස්සන ලෝකයක්, ලස්සන අනාගතයක් අවැසි වේ. ඒ ලෝකය ඒ අනාගතය ගොඩනැගීමට නම් අපි අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලිංගික සූරාකෑම වැනි පහත් නින්දිත ක්‍රියා විනාශ කල යුතු වේ. සතුට ලුහු බැදීම වෙනුවට අපි කල යුත්තේ සතුට ආරක්ෂා කිරීමයි. අලුත් යමක් බාලාපොරොත්තුවෙන් කාලය අපතේ යවනවා වෙනුවට අප කල යුත්තේ ලෝකයාට වැඩදායී අලුත් යමක් නිර්මාණය කිරීමයි. සියල්ල සමානව ලැබිය යුතුයි කියා පුරසාරම් දෙඩවීම වෙනුවට අප කලයුත්තේ අප වෙනුවෙන් ඉදිරියට යාමයි.

ඔබේ වටිනාකම පමණක් නොව නවීන ලෝකයේද නවීන තාක්ෂනයේද වටිනාකම හදුනාගෙන සිටීම තුල ඔබට අධ්‍යාපනයේ ඔටුන්න පමණක් නොව දැනුමේ ආභරණද ලැබෙනු ඇත. ආදරණීය මිත්‍රයිනි වටිනාකම රදා පවතින්නේ ඔබේ පෙනුමේ නොව ඔබේ ක්‍රියාව තුලයි. නිමකල නොහැකි වටිනාකමක් ඇති මේ අන්තර්ජාලය , ලිංගිකත්වයට හෝ සූරාකෑමට එකතු කර නොගන්න. ආදරය පින්තූර වලින්, නිරුවතින් මනින්නට නොරැවටෙන්න. එය සැබෑ ආදරය නොවන බව සිහිතබාගන්න. අවැසි කල ඔබ වෙනුවෙන් දසදහසින් පොදිබැදි රන්, රිදී, මුතු, මැණික් වුවද ලැබෙනු ඇත. ජීවිතය දින්නට කෙටිමර්ග වල පිහිට නොපතන්න. ඔබේ වටිනාකමත් ඔබේ අනන්‍යතාවයත් රැකගන්න. අභිමානවත් ජිවිතයකට ඔබේ යොවුන්විය රැගෙන යන්න. අන්තර්ජාලය ඔබේ සාර්ථකත්වයේ හොඳම සහයකයා කරගන්න.

බඳ අපි කදු නොවෙමු

උනුන් පරයා නැගෙන

සුනිල දිය දහර වෙමු

එකම ගගකට වැටෙන……

වියරු ගිනිදැල් නොවෙමු

වනය අවුලා තබන

සිහිල දෙන වැස්ස වෙනු

දැවෙන කැලයට වහින……

නපුරු හීනය නොවෙමු

ළමුන් නිදි සුව බිදින

සොදුරු අඩහැරය වෙමු

දනන් නින්දෙන් මුදන……

( පද රචනය : දර්ශන මේදිස් මහතා, තනුව හා සංගීතය : ගුණදාස කපුගේ සූරීන්)

 

ධනය මෙන්ම බලය ඔබේ සොහොන් කොත ලගින් නතරවන බව මතක තබා ගන්න. කිර්තිය මෙන්ම අපකිර්තියද ඔබ පසුපස හබා එනවග සිහියට ගන්න.

 

උමා  ප්‍රනාන්දු තරුණ ක්‍රියාකාරිණියකි. ඇය අන්තර්ජාලය තුළ ළමා ලිංගික සූරාකෑම පිළිබද සහෘද සන්නිවේදිකාවක් ලෙස කටයුතු කරන අතර උසස් අධ්‍යාපන ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටී.

 

 

Two Blues [Converted]

Voices & Changes අරමුදලේ සහයෝගයෙනි.

Social Share: