අලි නැති අලි පා ගමන – දේශගුණික අනතුර ගැන කතා කිරීමට දරුවෝ පෙරමුණ ගනිති

2025 ජූලි 21.

මාධ්‍ය ප්‍රකාශය 

ඉබ්බාගමුවේ දරුවන් පෙරමුණට: දේශගුණික අනතුර පිළිබද දැනුවත් කිරීම සදහා පැවැත්වෙන   “අලි නැති අලි පා ගමන”

අලි මිනිස් ගැටුම්, ප්ලාස්ටික් දූෂණය සහ දේශගුණික හදිසි අවස්ථාව පිළිබඳ දැනුවත්බව ඉහල දැමීම සදහා.

ඉබ්බාගමුව අධ්‍යාපන කළාපයේ පාසල් 10ක් සමග එක්ව අත්වැල නිර්මාණ කවයේ දරුවන් විසින් මෙහෙයවන “අලි නැති අලි පාගමන” අගෝස්තු 10 වන දින සවස 3ට ඉබ්බාගමුව මධ්‍යමහා විද්‍යාලය අසලින් ආරම්භ වේ.

“අලි නැති අලි පා ගමන” දේශගුණික අනතුර හෙවත් හදිසි තත්ත්වය (Climate Emergency) පිළිබද  දැනුවත්භාවය ඉහල දැමීම සදහා සිදු වන  නිර්මාණාතමක, ප්‍රජා මූලිකත්වයෙන් සිදු වන වැඩසටහනකි.

 

අපගේ ස්වාභාවික පරිසර පද්ධතිය හා සමතුලිතව ජීවත්වීමේ අත්‍යවශ්‍යතාවය අලියා මගින් සංඛේතවත් කරන අතර  මෙහිදී වාසස්ථාන විනාශය ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් නිසා දැඩි බලපෑමකට ලක්ව සිටින තේජාන්විත අලියා කෙරෙහි ගෞරවය දැක්වීම සඳහා දිරාපත් වන සහ නැවත භාවිත කළ හැකි ද්‍රව්‍ය භාවිතයෙන් අලි රූප නිර්මාණය කර පාගමනේ රැගෙන යාමට බලාපොරොත්තු වේ.

මෙම පා ගමන සදහා පාසල් 10 ක දරුවන් නිර්මාණාත්මක ක්‍රියාකාරකම්  තරගයට ඉදිරිපත් වීමට ආරාධනා ලබා ඇත. පාසල් නර්තන කණ්ඩායම්  අලි නැටුම් ඉදිරිපත් කරන අතර, පාසල් නාට්‍ය කණ්ඩායම්, වීදි නාට්‍ය මගින් දේශගුණික හදිසි අවස්ථාවට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ගැන අවධානය යොමු කරයි. දරුවන් අලි වෙස් මුහුණු පැළඳ, දේශගුණික හදිසි අවස්ථාවට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ගැන බැනර් ඔසවාගෙන, විශාල රූකඩ අලින් සමඟ දඹුල්ල මාර්ගය ඔස්සේ පා ගමනේ යෙදීමට නියමිතයි.

මෙම තරඟයෙන් ජයග්‍රහණය කරන පාසල් 6 ක් සඳහා කසළ වෙන් කිරීම හා කළමනාකරණය පිළිබඳ පාසල් වැඩසටහන් ආරම්භ කිරීම වෙනුවෙන් මුදල් ත්‍යාග ලබා දීමට බලාපොරොත්තු වේ.

මෙම අලි නැති අලි පා ගමන, සංස්කෘතික උත්සව සඳහා සැබෑ අලි ඇතුන් යොදා ගැනීම වෙනුවට භාවිත කළ හැකි  නිර්මාණාතමක විකල්ප ඉදිරිපත් කරනු ඇත. පාසල්වලට අමතරව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරීන්, ශ්‍රී ලංකා පොලීසියේ පරිසර නිළධාරීන් සහ ඉබ්බාගමුවේ වෙලඳ ව්‍යාපාරික ප්‍රාජාවත් පාගමනේ යෙදීමට නියමිතය. වසර පුරා ක්‍රියාත්මක වන පරිසරය රැක ගැනීමේ වැඩසටහන් සඳහා අවශ්‍ය දේශීය හවුල්කාරිත්ව ගොඩනගා ගැනීමද අලි නැති අලි පෙරහැරේ තවත් අරමුණකි.

මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ ද ග්‍රාස්රූටඩ් ට්‍රස්ට්, දේවසරණ සංවර්ධන කේන්ද්‍රය, කාන්තා සංවර්ධන පදනම, සහනයිජල් බිලිමෝරියා අලි සංරක්ෂණ භාරය යන ආයතන ඇතුළත් අත්වැල එකමුතුව විසිනි.

අලි නැති අලි පෙරහැර, ස්වභාවික පරිසරය සමග සමබරව ගුණාත්මක ජීවිතයක් ගත කිරීම සදහා හැකියාව ලැබෙන අනාගතයක් වෙනුවෙන් ක්‍රියාක්මකවීමට මෙන්ම ඒ අනාගතයට අවශ්‍ය ප්‍රතිපත්ති සදහා බලපෑම් කිරීමට දරුවන්ව බලගන්වයි.

“මේක අලි ඇතුන් ගැන විතරක් කතා කරන දෙයක් නොවෙයි, ඊට වඩා පුළුල් දෙයක්. දේශගුණික විපර්යාස, ප්ලාස්ටික් දූෂණය සහ ජෛව විවිධත්වය නැතිවීම – මේවා සියල්ලක්ම එකිනෙකට බැඳී තිබෙනවා. අපේ ආහාරවල, වැදෑමහ තුළ, ඩිම්බකෝෂ ශ්‍රාවයන් වල සහ මව්කිරි වලද ක්ෂුද්‍ර ප්ලාස්ටික් හමුවෙලා තියෙනවා. බතලගොඩ වැව වටා ඉන්න සතුන්, කුරුල්ලන් මේ ප්ලාස්ටික් පොලිතීන් කාලා මැරෙනවා අපි දැකලා තියෙනවා. මේක දරුවන්ගේ අනාගතය ගැන ප්‍රශ්නයක්. මේ අපේ දරුවෝ ඔවුන් අද ඉස්සරහට ඇවිල්ලා අපිට අපේ වගකීම මොකක්ද කියලා මතක් කරලා දෙනවා.” ද  ග්‍රාස්රූටඩ් ට්‍රස්ට් අධ්‍යක්ෂිකා පබා දේශප්‍රිය පවසයි.

ප්‍රධාන තේමාවන්:

කසල වෙන් කිරීම සහ කළමනාකරණය – ප්‍රතිචක්‍රීකරණය නිවැරදිව සිදු වීමට  නම්, අපද්‍රව්‍ය වෙන් කිරීම සහ කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය.

ප්ලාස්ටික් දූෂණය: එක් වරක් භාවිතා කර ඉවත ප්ලාස්ටික් හේතුවෙන් වන ජීවීන්ට, පරිසර පද්ධතිවලට සහ මිනිස් සෞඛ්‍යයට ඇතිවන හානිය ඉස්මතු කිරීම.

දේශගුණික හදිසි අවස්ථාව – පෘථිවිය මතුපිට උෂ්ණත්වය ඉහල යාම සෙල්සියස් අංශක 1.5 ට වඩා අඩුවෙන් පවත්වා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු කිරීම.

විශේෂ අවස්ථා:

1. දරුවන් සහ ඔවුන්ගේ  ආධාරකරුවන් විසින් රූකඩ, ගීත, කලාකෘති, වීදි නාට්‍ය සහ නර්තන ඉදිරිපත් කරමින් දඹුල්ල – කුරුණෑගල මාර්ගය ඔස්සේ පවත්වන පරිසර හිතකාමී පා ගමන.

2. දේශගුණික හදිසි අවස්ථාවට ප්‍රතිචාර දැක්වීම පිළිබඳ වීඩියෝ/රීල්/ටික්ටොක් වීඩියෝ ජංගම ප්‍රදර්ශනය.

3. අත්වැල කාන්තා සමිති සාමාජිකාවන් විසින් ශුන්‍ය අපද්‍රව්‍ය ප්‍රවේශක් සහිතව පවත්වන දේශීය කෑම පොළ.

“2050 වන විට මුහුදේ මාළුන්ට වඩා ප්ලාස්ටික් වැඩි වෙනවා. ඒ කියන්නේ මට වයස අවුරුදු 35  වෙනකොට සාගරයේ ජෛව විවිධත්වය අඩු වෙනවා.  එතකොට ඔක්සිජන් නිෂ්පාදනය අඩු වෙනවා. ඒ නිසා මට මගේ අනාගතය ගැන බයයි, ඒ නිසා අපි අදම ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේක හදිසි අවස්ථාවක්.” අත්වැල නිර්මාණ කවයේ 12 හැවිරිදි ඉලෙක්යා පවසයි.

“අලි නැති අලි පා ගමන” අද අපගේ ක්‍රියාවන්හි ප්‍රතිවිපාක උරුම කරගන්නා දරුවන් විසින්  වැඩිහිටියන්, තීරණ ගන්නා අය සහ කර්මාන්තකරුවන් වෙත ගෙන යන ප්‍රභල පණිවිඩයකි.

🗓️ දිනය: 2025 අගෝස්තු 10 වන ඉරිදා
🕒 ආරම්භක වේලාව: පස්වරු 3.00
📍 ආරම්භක ස්ථානය: ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය
📍 අවසන් ස්ථානය සහ ආහාර ප්‍රදර්ශනය (ප.ව. 5 සිට): දේවසරණ සංවර්ධන කේන්ද්‍රය, යකල්ල, ඉබ්බාගමුව

📞 වැඩි විස්තර සඳහා අමතන්න: +94 727 777 183
📧 ඊමේල්: trust@grassrooted.net

Social Share: