2021 දෙසැම්බර්

2021 නොවැම්බර් 20 වෙනි දින පාර්ලිමේන්තුවෙහි අයවැය විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි විසින් රෝහිනී කුමාරි විජේරත්න මන්ත්‍රීවරිය එල්ල කර සිදු කරන ලද වාචික ලිංගික හිංසනය පසුගිය කාලය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් විය.

මෙම ප්‍රකාශයට විරුද්ධව  පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ දැඩි විරෝධය එල්ල වු අතර, විපක්ෂ මන්ත්‍රීවරු නොවැම්බර් 25 වෙනි දින “ කාන්තාවන්ට එරෙහි හිංසනය නවත්වනු”. යන පාඨය සඳහන් ස්ටිකරයක් පැළඳ පාර්ලිමේන්තුවෙදී විරෝධතාවයක් දැක්වුහ.

මෙම නිර්ලජ්ජිත ප්‍රකාශයට විරෝධය පෑම් සමාජය තුළද වෙනදාට වඩා දක්නට ලැබුණි. විවිධ සංවිධාන ප්‍රකාශන මගින් ද, තනි තනි අය සමාජ මාධ්‍ය තුළ ද විරෝධය දැක්වීම් බොහෝ සෙයින් දක්නට ලැබුණි. එයට පෙත්සම් අත්සන් කිරීම්ද, කතානායකවරයාට ලිපි යැවීම්ද ඇතුළත් විය. සමගි ජන බලවේගයේ කාන්තා අංශය විසින් රට පුරා උද්ඝෝෂණ දියත් කරන ලදී.

‍මේ පියවරයන් සියල්ල විසින් ස්ත්‍රීන්ට එරෙහි ලිංගික හිංසනය සම්බන්ධයෙන් පසුගිය කාලයෙහි ඇති වූ වඩාම පැතිරුණු විරෝධතාවයක් ගොඩ නගන ලදී. එය ප්‍රශංසා කටයුතු සහ දිරිමත් කරවන වර්ධනයකි. මෙය පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන් හිංසනයට පත් වු ප්‍රථම අවස්ථාව නොවු අතර අවසාන අවස්ථාව නොවනු ඇති බවද අප මතක තබා ගත යුතුය.

දේශපාලනය හෝ සමාජ ක්‍රියාකාරිත්වයට පැමිණි   ස්ත්‍රීන්ගෙන් හිංසනයට පත් නොවු ස්ත්‍රියක් සොයා ගැනීම දුෂ්කරය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සාරිය ගලවා බිම දිගේ ඇදගෙන යන බව කීවේ දැනටත් පාර්ලිමේන්තුව තුළ සිටින මහජන නියෝජිතයෙකි. රෝසි සේනානායක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මන්ත්‍රීවරියන්ටද වාචික ලිංගික හිංසනයන්ට මුහුණ දීමට සිදු විය. සිරිමාවෝ බණ්ඩාරනායක ද මෙවැනි අත්දැකීම් වලට මුහුණ දුන්නාය. එපමණක් නොව මහාබ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් ද, ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි ද මෙවැනි අත්දැකීම් වලට මුහුණ දුන්හ.

මෙම සිදුවීම් සියල්ලෙන්ම ගම්‍ය වන්නේ සමාජයේ අස්සක් මුල්ලක් නෑර පවතින ස්ත්‍රී  විරෝධී ආකල්ප වල ප්‍රබලත්වයයි. දේශපාලන ක්ෂේත්‍රය තුළ පවත්නා ස්ත්‍රී හිංසනය සමාජයේ යහ පැවැත්ම සහ ඉදිරිගමන කෙරෙහි මහත් බලපෑමක් ඇති කරයි.

ජනගහනයෙන් 52 % ක්  ද, ඡන්ද දායකයන්ගෙන් 56% ක්ද  ස්ත්‍රීන් ජීවත්වන  ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන් සිටින්නේ 5% ක් පමණක් වීම එහි භයානක ප්‍රතිඵලයකි.

පසුගියදා මෙරට ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියට දෙවර්ෂය පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේ දී අගමැතිට සහ ජනාධිපතිට (පිරිමි නිසා )  උස පුටු දෙකකුත්, බිරින්ඳෑවරු දෙදෙනාට මිටි පුටු දෙකකුත් තබා තිබු අයුරු මුලු රටම දකින්නට ඇත.  මෙයින් පෙනී යන්නේ මෙරට දේශපාලන නායකත්වයට ස්ත්‍රී පුරුෂ සමානත්වය ගැන මෙලෝ හසරක්  නැති බවයි. එමෙන්ම ස්වකීය පුරුෂකම උජාරුවට හේතුවක් සේ සලකන බවයි.

අනෙක් අතින්  මෙය ස්ත්‍රීන් පහත් කොට සැලකීමේ  ආකල්පය සමාජගත කිරීමේ තවත් කණගාටුදායක සංකේතයකි.

මෙරට පාර්ලිමේන්තුව පත් වන්නේ ඡන්ද දායකයන්ගෙන් වැඩි ප්‍රමාණයක් වු ස්ත්‍රීන්ගේ ඡන්දයෙනි. එහෙත් මෙවර අය වැය දෙස බලන්න.  2022 වර්ෂය සඳහා මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ අය වැය යෝජනා පනස් දෙකෙන් ස්ත්‍රීන් වෙනුවෙන් එක් යෝජනාවක්වත් ඉදිරිපත් වී නොමැත. එහෙත්  ඔවුන් මැතිවරණ සමයෙහි වේදිකාවල ස්ත්‍රීන්ගේ ඡන්ද උදෙසා බෙරිහන් දෙයි.

වඩාම වැදගත් ප්‍රශ්නය වන්නේ පවතින මෙම තත්වය ගැන කළ හැක්කේ කුමක්ද යන්නයි?

ස්ත්‍රී විරෝධී ආකල්ප මෙන්ම ස්ත්‍රී විරෝධී භාවිතයන් සමාජයෙන් තුරන් කිරීම කළ යුතුය. එය පහසු කාර්යයක් නොවන නමුත් ලෝකයේ බොහෝ රටවල් එම මාවතෙහි බොහෝ දුර ගොස් තිබේ.

මුලික වශයෙන්ම අවශ්‍ය වන්නේ සමාජ දේශපාලන ක්ෂේත්‍රයන්හි ස්ත්‍රී විරෝධී මතවාද පරාජය කළ හැකි ප්‍රබල දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ඇති කිරීමයි.

එය තනි තනි සංවිධාන වලට හෝ කවර හෝ තනි තනි අයට හෝ  මුදුන් පමුණුවා ගත නොහැකිය. ඒ සඳහා සාමූහිකව අනවරත අරගලයක යෙදෙන ව්‍යාපාරයක් අවශ්‍යය.

අනෙක් අතට අපට හැකි ස්ථානය වන  නිවසින් මෙම වෙනස ආරම්භ කළ හැකිය. පාසල සහ අධ්‍යාපනය තුළින් එය ව්‍යාප්ත කළ හැකිය. සිවිල් සමාජ සංවිධාන තුළ ස්ත්‍රී නායකත්වය සහතික කිරීම  භාවිතයට නැගිය හැකිය.

ස්ත්‍රී අයිතිය සඳහා  නීති රීති මෙන්ම ආයතනික රටාවන් රටකට අවශ්‍යය. මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීම සඳහා ආරම්භ වී ඇති ව්‍යාපාරය එවැනි උදාහරණයකි. සෑම ක්ෂේත්‍රයකම ස්ත්‍රී සහභාගිත්වය සහ ස්ත්‍රී නායකත්වය වර්ධනය කළ යුතුය.

එමෙන්ම දේශපාලනය තුළ ස්ත්‍රී භූමිකාව ඉහළට ගෙන යනු පිනිස වඩ වඩා ස්ත්‍රීන් දේශපාලනයට පැමිණීමත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තුළ ස්ත්‍රී නියෝජනය සහතික කරන ක්‍රම සහ විධි ඇති කර ගැනීමත් අවශ්‍ය ය.

සම්පූර්ණ සගරාව කියවන්න – බාගත කරන්න

Social Share: