මානව හිමිකම් කිසිවකු විසින් අපට ලබා දෙන දෙයක් නොවේ. අප සෑමට මානව හිමිකම් ලැබෙන්නේ උපපත්ති අයිතියක් ලෙසනි. මානව හිමිකම් කෙළෙසීමට කිසිවකුට අයිතියක් නැත්තේ එනිසා ය.
මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනය එක්සත් ජාතීන් විසින් සම්මත කරනු ලැබුවේ 1948 දෙසැම්බර් 10 දා ය. එතැන් පටන් එම දිනය ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ලෙස සැළකේ.
ඊට පෙරද මානවයාගේ අයිතීන් පිළිබඳ අදහස්, දේශනා මෙන්ම ලියැවිලිද පැවතුණි. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සැළකෙන්නේ එකී සියලු අදහස් කැටි කොට මුදුන් පැමිණවීමක් ලෙස ය.
එහි සදහන් ප්‍රථම වගන්තිය මෙසේ ය.
“සියලු මනුෂ්‍යයෝ නිදහස්ව උපත ලබා ඇත. ගරුත්වයෙන් හා අයිතිවාසිකම්වලින් සමාන වෙති. යුක්ති අයුක්ති පිළිබඳ හැඟීමෙන් හා හෘදය සාක්ෂියෙන් යුත් ඔවුන්, ඔවුනොවුන්ට සැළකිය යුත්තේ සහෝදරත්වය පිළිබඳ හැඟීමෙනි.”
දෙවන වගන්තිය මෙසේ ය.
“ජාති, වංශ, වර්ණ, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව, ආගම්, දේශපාලන ආදී කවර භේදයක් හෝ සමාජ, ජාතික, දේපළ, උපත ආදී කවර තත්ත්වයක විශේෂයක් හෝ නොමැතිව මේ ප්‍රකාශනයේ සඳහන් සියලු හිමිකම්වලට හා ස්වාධීනත්වයන්ට සෑම පුද්ගලයකුම උරුම වන්නේය.”
ස්ත්‍රිය සහ පුරුෂයා යන දෙදෙනාටම සමාන අයිතීන් ලැබිය යුතු බව එනයින් විශ්ව ප්‍රකාශන යළිත් තහවුරු කරයි.
එසේ නමුත් කල් යාමේ දී ස්ත්‍රියගේ මානව හිමිකම් වඩාත් හොඳින් දක්වා සෑම ක්ෂේත්‍රයකදීම ඇයගේ අයිතිය සහ නිදහස තහවුරු කරනු පිණිස එක්සත් ජාතින්ගේ සංවිධානය 1967 දී ස්ත්‍රීන්ට එරෙහි වෙනස්කම් තුරන් කිරීමේ ප්‍රකාශනය සම්මත කරන ලදී. එනමුත් එයට නීතිමය බැඳීමක් තිබුණේ නැත. එබැවින් 1979 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ත්‍රීන්ට එරෙහි සියලූ ආකාරයේ වෙනස්කම් තුරන් කිරීමේ සම්මුතිය (සීඩෝ) සම්මත කරන ලදී. එහි පූර්විකාවෙහි මෙසේ සඳහන් වෙයි. “වෙනත් මානව හිමිකම් මෙවලම් තිබුණ ද ස්ත්‍රිය තවමත් පිරිමියාට සමානව අයිතීන් භුක්ති විදින්නේ නැත”.
මේ වනාහී යළි යළිත් රාව ප්‍රතිරාව දිය යුතු වචනය. ස්ත්‍රියට අද දක්වාමත් ස්ත්‍රියක වීම නිසාම ලොව සෑම තැනකම අසමානතාවයන්ට ද අසාධාරණයක්ට ද මුහුණ දීමට සිදුව තිබේ. සීඩෝ සම්මුතිය විසින් ප්‍රධාන කොට දක්වන ලද පොදු සහ දේශපාලන අවකාශයෙහි, ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය අරභයා, ප්‍රමාණවත් ජීවිකාවක් , ස්ත්‍රියට එරෙහි ප්‍රචණ්ඩත්වය, සහ යුක්තිය ලබා ගැනීම යනාදී ක්ෂේත්‍රයන් පුරා මෙම අසාධාරණයන් පැතිර තිබේ.
නිදහස සහ සමානාත්මතාවය සඳහා අරගලයට අවසානයක් නැත. ස්ත්‍රී විමුක්ති අරගලය ද සදාකාලිකව පවතිනු ඇත. ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරන අද අපිදු සියලු මානව හිමිකම් සියලුදෙනාටම අයත්ය යන ධජය ඔසවා ලෙළවමු!
සම්පූර්ණ සගරාව කියවන්න – බාගත කරන්න
