2019 ජනවාරි 08
සටහන උමා ප්‍රනාන්දු විසිනි
මේ ලෝකයේ ජිවත් වන සෑම පුද්ගලයෙක්ම තමන්ගේ ජීවිතය සාර්ථකව ගත කිරීමේ මුලික ආශාවෙන් පසුවේ. මෙම අපේක්ෂාව, මව් කුසින් බිහිවී මෙලොව එලිය දුටු පසුව, අප ජිවත්වන සමාජ පසුබිම විසින්, සිත තුල පැළපදියම් කරන ලද තොරතුරු වලට අනුව ගොඩ නැංවුණු, ආකල්ප සමුදායක ප්‍රතිපලයක් ලෙස හැදින්වීම වඩාත් නිවැරදිය. මිනිසාගේ නිරුවතට ඉහල ඉල්ලුමක් සහිත වෙළදපොලක් නිර්මාණය වී ඇති අන්තර්ජාලය ඔස්සේ මෙලෙස තවත් සටහනක් තබන්නේ ඔබට ඔබ කොතරම් වටිනවාද යන්න මතක්කර දීමේ අරමුණිනි. අන්තර්ජාලය ඔස්සේ පවා සිදුකරන මේ පහත් නින්දිත ලිංගික ජාවාරම තවමත් අවසන් වී නොමැත. මෙය සිදුකරන, තිරිසනුන්ටවත් සමකල නොහැකි මිනිසුන් තවමත් නිරුවතට මිලගණන් නියම කරමින් සිටි. මිනිසා තාක්ෂණයෙන්, විද්‍යාවෙන් ඉහළ ගිය බව කියමින් මිනිසුන්ම උදම් අනති. එහෙත් අද ලෝකය දෙස බලන විට වැඩිපුරම පෙනීයන්නේ ලෝකයට සිදුවූ පරිහානියයි. මුදල් පසුපසම යන්නට වෙර දරන අද සමාජය තරගකාරී ආර්ථික රටාව ඔස්සේ අයාලේ ගොස් වල්වැදී සිටියි. ස්වරීත්වය මිස පරාර්ථය නොපතන හෙයින් සභ්‍යත්වයක් හෝ සදාචාරයක් ප්‍රර්ථනා නොකරයි. අද සමාජයම ගමන් කරන අශ්ව වේගය මිනිසාගේ අවසානය කඩිනම් කර ඇත. මේ ළගා කරගෙන ඇති සෝචනීය අවසානයේ ප්රබලතම පිළිකාව ලිංගික සූරාකෑම බවට පත්ව ඇත්තේ වර්තමානයද අනාගතයද විනාශ කරමිනියි. අන්තර්ජාලය ඔස්සේ පවා ලිංගිකත්වය, නිරුවත විකිනීම හා මුදල් වෙනුවෙන් මිනිසා මෙතරම් නින්දිත වුයේ ඔවුන් තුල වූ ධනාත්මක ආකල්ප පිරිහීමත් ආකල්ප අමතක කිරීමත් නිසාම වේ. ඔබේ ආදරණීය පුතා, සැමියා, මිතුරා, අසල්වැසියා, සහෝදරයා විටක සහෝදරිය මෙවැන්නක් සිදුකරන තුරු ඔබට ඇතිවී තිබු තදබල නින්ද මුළුමහත් සමාජයේම පිරිහීම ළගා කරදී ඇත. ඔබ දුටු පළමු වැරැද්දේදීම මේ සදහා නිසි ක්‍රියාමාර්ග නොගත්ත හෙයින් අතීතයද, වර්තමානයද, අනාගතයද පිරිහී ඇත. නමුත් තවමත් අප ප්‍රමාදවී නැත. සියල්ල අවසන්වීද නොමැත. පිරිහී ගිය ආකල්ප අපි ජිවිතයට ළගා කරගත යුතුවම ඇත.
ආකල්ප යනු පිළි ගැනීම හෙවත් සම්මතයයි. සරලව කියනවානම් ඕනෑම පුද්ගලයෙකු ජිවත් වනුයේ ආකල්ප වල මෙහෙය වීමෙනි. නමුත් දැන් අපි ආකල්ප මෙහෙය විය යුතුය. ජීවිතය ජය ගැනීමට සිතන බොහෝ දෙනා යම් අරමුණු වලට අනුව වැඩ කිරීමට තීරණ ගනිති. එසේම, අදාල කටයුතු ආරම්භ කරති. එහෙත්, වැඩි පිරිසක් එම අරමුණු මතම පිහිටා ක්‍රියා කරනුයේ ඉතා කෙටි කාලයකි. ආදාල වෙනස අතහැර දමා යලිත් පුරුදු ජිවන රටාවම ගත කිරීමට පෙලැබේ. අනතුරුව, තමන් කරන කිසිවක් සර්ථක නොවන බව පවසමින්, අනුන්ට දොස් පවරමින් නොපෙනෙන බලවේග වල පිහිට පතමින්, තමන් සපයා ගන්නා දේ පවා විනාශ කර ගනිති. මේ සියලුම බිද වැටීම් වලට හේතුව ඔබේ ආකල්ප වේ. නිසැකවම ඔබ ඔබේ ආකල්ප වෙනස් කර ගත යුතුමය. සියල්ල වෙනස් කිරීම යනු පහසු කාර්යක් නොවේ. ඒ සදහා බොහෝවිට දැඩි තීරණ ගැනීමටත්, ඒ තීරණය ක්‍රියාවට නංවාලීමටත් අධික ලෙස වෙහෙසිමට සිදුවේ. පවත්වාගෙන ආ දෙයක් වෙනස් කිරීමට තීරණය කිරීම වුවද ඉතා අසීරු කාර්යයකි. එසේම, ඇතැම් දේ අත් හැරීමට සිදුවීම, යම් යම් අරමුණු සදහා වෙනස්කම් ක්‍රියාවට නැංවීම ආදී සියල්ල වෙහෙසකර කාර්යයන් ය. නමුත් නිවැරදි මාර්ගයක ගමන් කිරීමටනම් ඔබ අනිවාර්යෙන්ම ඔබේ ආකල්ප ධනාත්මක ලෙස වෙනස් කර ගතයුතුය. ඒ සදහා කැපවිය යුතුය. මේ ආකල්පත් කැපවීමත් නිසා ලෝක ඉතිහාසය තුළ සදාකාලිකව තම නම රදවා තැබීමට සමත් වුයේ මිනිස් සමාජය තුල වෙනසක් සිදුකල ඉතා සීමිත පිරිසක් පමණි. ඒ අතර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ගෞතම බුදු රජාණන් වහන්සේ, නබිනායක තුමා, කොන්පියුසියස් තුමා ආදී උතුම් ආගමික නායකයෝ ලෝක ඉතිහාසයේ ගමන් මග වෙනස් කොට, වන්දනීය හා පුජනිය තත්වයට පත් වුයේ උන්වන්සේලා තුල තිබු උත්තරීතර ආකල්පත්, මිනිසාට ළගාකරදුන් හා ළගාකරදීමට උත්සහා දැරූ ආකල්පත් නිසාම වේ. මහත්මා ගාන්ධි, මාටින් ලූතර් කිං, ඇරිස්ටෝටල්, සොක්රටීස් මේ සියලු දෙනා ලෝක ඉතිහාසය අපුරු අයුරින් වෙනස් කලේද තමන් තුල වූ ආකල්ප නිසාය. ඒබ්‍රහම් ලින්කන්, වින්සන්ට් චර්චිල්, නෙල්සන් මැන්ඩෙලා, වී.අයි.ලෙනින්, මා වෝ සේතුං, හෝ චේ මින්, පිදෙල් කැස්ත්‍රෝ ලෝක ඉතිහාසයේ මහා දේශපාලන පෙරැලි සිදුකළේද තමා තුල වූ ආකල්ප නිසා වෙනි. එපමණක්ද නොව ඇඩොල්ෆ් හිට්ලර්, වේලුපිල්ලේ ප්රභාකරන් ආදීන් ප්රචණ්ඩ ත්‍රස්තවාදය කරා ජනතාව මෙහෙයවා, කුරිරු ඝාතන සිදු කරමින් බිහිසුණු සමාජ වතාවරණ නිර්මාණය කරන්නට යොදා ගත්තේද තම ආකල්ප වේ. මේ අතුරින් ඔබ කවුරුන් විය යුතුද කෙසේ ක්‍රියා කල යුතුද කියා සිතිය යුතුමය.
ඔබේ ආකල්ප ඔබේ වටිනාකම වන්නාසේම එය සමස්ථ සමාජයටම ඍජුවම බාලපනු ඇත. එනම් සමාජය යනු තනි පුද්ගලයකුගේ නිර්මාණයක් නොව ඔබ වැනි පුද්ගලයින් පිරිසකගේ නිර්මාණයක් නිසාවෙනි. අටුවා ටීකා අවශ්‍ය නැත. අන්තර්ජාලය ඔස්සේ පවා ලිංගික සූරාකෑම සිදු කිරීමට තරම් ඔබේ ආකල්ප පහත් නින්දිත තත්ත්වයකට පත් නොකරගන්න. ඔබ හැසිරෙන ආකාරය ඔබ සිතන පතන ආකාරය ඔබේ ජිවිතයට වටින සම්පත් එක්කරන්නේ ඒවා ඔබේ මෙන්ම අනෙක් අයගේ පැවැත්මට යහපත් ලෙස බලපානවානම් පමණියි. තම ආකල්ප වුවමනාවෙන්ම විකෘති කරගත් පුද්ගලයින් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මේ ලිංගික සූරාකෑමේ නොමනා ක්‍රියාව නිසා ජිවිතයේ අවාසනාවන්ත සිදුවීම් වලට, කලකිරීම් වලට, සදාකාලික පසුතැවීම් වලටත් මුහුණ දීමට සිදුවූවන් අප අතර බොහෝ සිටි. (Sex මාකට් Part 02 ඔස්සේ ඒ බව උදාහරණ මගින්ම පැහැදිලි කරදී ඇත). විටක ඔවුන් කායිකව, සමාජීයව මෙන්ම මානසිකව වේදනාවන් විදී. ඒ අතර සමහර පිරිස් සදහටම ජීවිතය අතහැර ගොස් ඇත. මදක් සිතන්න ! අන්තර්ජය ඔස්සේ ලිංගික සූරාකෑම සිදු කරන්නන්ගේ ආකල්ප පමණක් නොව මේ ලිංගික සූරාකෑමට හසුවන්නන්ගේ ආකල්පද පරික්ෂාවට ලක්කල යුතුව ඇත. ඒ මන්දයත් අන්තර්ජාල ඔස්සේ සිදුකරන මේ ලිංගික ජාවාරම ඊයේ හෝ මීට සුළු මොහොතකට පෙර හෝ ආරම්භ වූවක් නොවේ. මේ නින්දිත ක්‍රියාවට හසුවන්නන් අන්තර්ජාලය ඔස්සේ සිදුවන ලිංගික සූරාකෑම පිළිබඳ නොදන්නවාද නොවේ. සියයට අනූ නව දෙනෙක්ම මේ ක්‍රියාවලිය පිළිබඳව හොදින්ම දැනුවත්ය. නමුත් ආශාවන්ට වහල් වීමත් ආදරයට අන්ද වීමත් තුල ඔවුන්ගේ ආකල්පද ඍණාත්මක වී ඇත. සියල්ල ඔබ සතු කරගැනීමට යාමෙන් සියල්ල ඔබට අහිමි වීමටද ඉඩ ඇත. එසේ සියල්ල අහිමි වුවන් ලොව නැතුවාම නොවේ. නමුත් අපි දැන් සියල්ල නිවැරදි කරගත යුතුව ඇත. එය සිදු කිරීමට අපිට හැකියාවක්ද ඇත. පිටකොටුවේ පේමන්ට් බඩුවක් මෙන් නිරුවත ලිංගිකත්වය අලෙවි කරන්නට අන්තර්ජාලය තුල නිර්මාණය කර ඇත මේ පහත් නින්දිත ජාවාරම විනාශ කිරීමේ හැකියාවද ඔබ සතුව ඇත. අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලිංගික සූරාකෑම අද ඊයේ වූවක්ද නොවේ. මේ ජාවාරම පිළිබඳව ඔබව දැනුවත් කරන පළමු අවස්ථාවද මෙය නොවේ. එක වසරක් තුල නොව වසර ගණනාවක් තුල මේ පහත් නින්දිත ක්‍රියාවලියට ඔබ හසුවී ඇත. මේ නින්දිත ජාවාරම නිසා සියයට පනහකගේම ජිවිත පසුතැවීමක් බවට පත්ව ඇත. කෙතරම් කාලයක් මින් ඔබ පිඩාවට පත් වූවානම්, මේ පිළිබඳව දැන දැනත් ඔබ එවන්නකට හසුවූවානම් දැන් ඔබ මේ පහත් නින්දිත ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් විය යුත්තේ ඔබේ ඇහැට ඔබේම ඇගිල්ලකින් ඇනගෙනම පමණි. පසුතැවීම් නැති ජිවිතයකට ඔබත් ආදරය කරනවානම් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මේ පහත් නින්දිත ක්‍රියාවලිය නැවැත්වීමට ඔබේ වටිනා ආකල්ප අවදි කරන්න.
“ අපේ පාසලේ දසනායක ගුරුතුමිය විශ්‍රාම ගත් දවසේ තුනේ පන්තියේ පොඩි එකෙක් පුංචි කඩදාසියක ගුලි කරපු යමක් ගෙනත් දෙනවා මා දුටුවා. ගුරුතුමිය මා ළගදී පොඩිවී ගුලිකර තිබු පුංචි කඩදහිය දිග ඇරියා. එකේ තිබුනේ සීනි කවලම් කරපු ත්‍රිපෝෂ කුඩු ටිකක්. මගේ හදවත හෝස් ගාලා දැවුනා. ඒ දරුවා දක්ෂයෙක්ද? අදක්ෂයෙක්ද? කියල මැනල වැඩක් තියනවද? ඔහු තුළ ගුරුතුමියට තිබුණු ආදරය නොවේද ත්‍රිපෝෂ කුඩු ටික තුල තිබුනේ. ” ( සරත් ජී. පුංචිහේවා ගුරුතුම්න්ගේ තක්සලාව කෘතිය ඇසුරෙනි.)
ඔබ තුල ඇති යහපත් ආකල්ප වලට වයසක් නොමැත. ඒවා වයස්ගත වන්නේද නැත. වටිනාම දෙයනම් සියල්ල රැකගැනීමට නම් ආකල්පද රැක ගැනීම වැදගත් වීමයි. ඔබ අන්තර්ජාලය ඔස්සේ ලිංගික සූරාකෑමට ලක්වූ අයෙක්නම් ජීවිතය අත්හල යුතු නැත. ඔබට මගහැරුණු බලාපොරොත්තු අත්හල යුතුද නැත. ඔබේ සිහින අමතක කල යුතුද නැත. දන්නවද? ඔබ වටිනවා, මිල කල නොහැකි තරම්. ඔබ වැදගත්, අන් කාටත් වඩා. ඒ වගේම ඔබ ශක්තිමත්, ලෝකයක් නිර්මාණය කිරීමට තරම්. ඔබේ වටිනාකම ඔබේ අනන්‍යතාවයි. අන්තර්ජාලය ඔස්සේ ලිංගික සුරාකෑමට ලක් වූ අයෙක්නම් ඔබ ප්රථමයේම කල යුත්තේ ඔබේ මනස නිරවුල් කර ගැනීමයි. එය පහසු දෙයකි. ඔබේ මනස ඔබේම පමණයි. එය ඔබ සතු දෙයක්. එය වර්ධනය කරගැනීමටත් විනාශ කර දැමීමටත් හැකියාව ඇත්තේ ඔබටම පමණයි. මෙවැනි ගැටළුවකට මුහුණදුන් විට ඔබ සිදු වූ අපහසුතාවත් ගැටළුවත් දෙස විමසිලිවත්ව බැලිය යුතුය. සියල්ල සිදුවූවාට පසුව ඊට කෝප වීමක් හෝ ප්රචණ්ඩ ක්‍රියා කිරීමක් තුල නැවත නැවතත් ගැටළු ඇතිවන්නේ ඔබටම පමණි. මෙවැනි අවස්ථාවකදී ඔබ ගනු ලබන තීරණ ප්‍රථිපල රහිත හෝ ප්‍රයෝගික නොවන තීරණ විය හැක. එම නිසා ඔබ මුලින්ම ක්‍රියාවට නැංවිය යුත්තේ ඔබේ මනසයි. හැගීම් වලට වහල් නොවී මදක් කල්පනා කර, ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම වඩා වැදගත්ය. අන්තර්ජාල ඔස්සේ ලිංගික සූරාකෑමට ලක්වන්නන් එකම වයස් කාණ්ඩ වල පිරිස් නොවේ. එමෙන්ම ඔබට මුහුණ පෑමට සිදුවන්නේ එකම ආකාරයේ ලිංගික සූරාකෑමද නොවේ. එම නිසා එවන්නකට මුහුණ දීමෙන් පසු ගන්නා තීරණ ද එකම ආකාරයේ නොවේ. මේ නිසා මිට පෙර අන්තර්ජාල ඔස්සේ ලිංගික සූරාකෑමට ලක්වුවන් සිදුකළ සියදිවි හානිකරගැනිමම ඔබටද විසදුම නොවේ. මෙසේ අන්තර්ජාලය ඔස්සේ ලිංගික සූරාකෑමට ලක් වූ අවස්ථාවේදී ඔබ ආතතියකට, වික්ෂිප්තතාවකට(Confusion), හැම දෙයක්ම පිළිබඳ කල කිරීමකට, තමා පිළිබඳ කෝපයකට, පළිගැනීමකට පෙළ බිමට ඔබේ සිත ක්‍රියාකිරීමට උත්සාහ දරනු ඇත. මේ සියලු සිතුවිලි ඔබ විසින් පරාජය කල යුතුමය. එය සිදු කිරීමේ හැකියාවද ශක්තියද ඔබ සතුව ඇත. එවිට ඔබේ ගැටලුවට නිසි ක්‍රියාමාර්ග ගැනීමට ඔබට හැකිවනු ඇත. මදක් සිතන්න! ඔබ වැනි අය ලොව ඇත්තේ එක් අයෙකු පමණයි. මෙතෙක් කල් ඔබ පැමිණි මග ඉතා දුෂ්කරය, පසුකල අභියෝග සංඛ්‍යත්මකව කිව නොහැක, ඒ අභියෝග, ප්‍රශ්න ජය ගැනීමට ඔබ සිදු කල කැපවීම, ඒ වෙනුවෙන් ඔබට අත්හැරීමට සිදු වූ දේවල්, ඔබ උපයාගත් ධනය මෙන්ම ඔබේ ආදරණිය පවුල තුලින්, යහළුවන් තුලින්, ගුරුවරු තුලින්, ආයත ප්‍රධානීන් තුලින් ඔබට ලැබුණු සහයෝගය, සතුට, ආදරය මතකයට ගැනීම ඔබට නිවැරදි තීරණයකට මග සලසනු ඇත. එක් වැරදි තීරණයකින් මේ සියල්ල අහිමිවී යනු ඇත. නොදැනුවත්කමින් ඔබ මුහුණ දුන් මේ ගැටලුවේ වරද ඔබේ පිටමපටවා නොගන්න. ගැටලුවට නිසි ක්‍රියාමාර්ග ගත්විට ඔබට කිසිම පුද්ගලයෙකු හෝ ඔබ සතු දේවල් අහිමි වන්නේද නැත.
ලෝකයේ ඇති වැලි කැට දෙකක්, මැස්සන් දෙදෙනෙකු, අත් දෙකක් හෝ නාසා දෙකක් කිසිදා එක සමාන නොවේ. අප ජිවත් වනුයේ අප විසින්ම නිර්මාණය කරගනු ලැබූ සිර කුටි තුළය. මෙම සිර කුටිය තුලට වී, හිලෑ වූ අලියෙකු සේ, ගසක බදින ලද ගවයෙකුසේ, ජීවිතය ගෙවීම අපගේ සම්ප්රදායයි. මෙවැනි සිර කුටියක් අප විසින්ම නිර්මාණය කර ගනු ලැබුවේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීම ඉතා අපහසුය. නමුත් මේ සියලුම සිරකුටිවලින් මිදීමේ නිවැරදිම මාර්ගය, ශක්තිය අපේ ආකල්පය. අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මේ ලිංගික සූරාකෑම නැවැත්වීමේ බලය, ශක්තිය ඔබ සතුව ඇත. මේ පහත් නින්දිත ක්‍රියාවලිය සිදුකරන්නන්ට ඔබ සතු වටිනාම පාඩම කියාදෙන්න. ඔබට මහත්මා ගාන්ධි, වී.අයි.ලෙනින්, පිදෙල් කැස්ත්‍රෝ ලෙස පමණක් නොව මේ පහත් නින්දිත ක්‍රියාවලියට එරෙහිව ඇඩොල්ෆ් හිට්ලර් ලෙසද ක්‍රියා කල හැකි බව ඔවුනට පෙන්වා දෙන්න. අන්තර්ජාල ඔස්සේ සිදුකරන මේ පහත් නින්දිත ක්‍රියාවලියට ඔබව විනාශ කිරීම ඉඩ ලබා නොදෙන්න. ඔබට මුහුණ පෑමට සිදුවූ ඒ පහත් නින්දිත ක්‍රියාවලිය නිසා ඔබට මගහැරුණු, අහිමි වුනු බලාපොරොත්තු සිහින වෙනුවෙන් ඔබ ඉදිරියටම යන්න. ඔබේ සිහින බලාපොරොත්තු වෙනුවෙන් තිබූ කාලය අහිමි කළ ඒ පහත් නින්දිතයින්ට එරෙහිව ඔබේ හඩත් අවදි කරන්න. ඔබේ ජයග්‍රහණ වෙනුවෙන් ලොව ප්රබලතම ශක්තිවන්තයා බවට පත් වන්න.
“ ඔබ සැබෑවටම මිනිසෙකු බවට පත් වනුයේ අභියෝග ඉදිරියේ මිනිසෙකු ලෙස නැගී සිටින්නට හැකි වූ දිනයේ සිටය.”
| උමා ප්‍රනාන්දු | තරුණ ක්‍රියාකාරිණියකි. ඇය අන්තර්ජාලය තුළ ළමා ලිංගික සූරාකෑම පිළිබද සහෘද සන්නිවේදිකාවක් ලෙස කටයුතු කරන අතර උසස් අධ්‍යාපන ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටී. |
![]() |
Voices & Changes අරමුදලේ සහයෝගයෙනි. |
පසු සටහන
ඔබ, ඔබේ දරුවා හෝ ඔබ දන්නා අයෙකු සයිබර් සූරාකෑමේ සහ හිංසනයේ වින්දතයෙකු නම්,
- ඒ සදහා ඇති සාක්ෂි කිසිවක් නොමකා ඒවාගේ ලින්ක් සේව් කර ගන්න.
- වින්දිතයා අවුරුදු 18 අඩු පුද්ගලයෙකු නම් 1929 ස්සේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා සම්බන්ධ වෙන්න
- වින්දිතයා අවුරුදු 18ට වැඩි අයෙකු නම් 011 232 6979 ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අංශය හා සම්බන්ධ වෙන්න. එසේ නැතිනම් 011 232 0141 අමතා සයිබර් අංශය ඉල්ලා සිටින්න. <dir.cid@police.lk> සහ <telligp@police.lk> යන විද්‍යුත් තැපෑල ඔස්සේද ඔබේ පැමිණිල්ලේ විස්තර ඉදිරිපත් කළ හැකියි.
- වෙබ් අඩවි බ්ලොක් කිරීම සදහා ශ්‍රී ලංකා සර්ට් ආයතනය හා සම්බන්ධ වෙන්න
- ඔබේ පැමිණිල්ල පිළිබද නීතිමය විග්‍රහයක් හෝ ඒ හා සමාන සහයක් අවශ්‍ය නම් 011 471 85 85 ඔස්සේ කාන්තා පිහිට ආයතනය සමග සම්බන්ධ වන්න.
වෙනත් සහය සදහා අපට කතා කරන්න – bakamoono@bakamoono.lk / trust@grassrooted.net/ වට්ස් ඇප් +94 763 488 622
![Two Blues [Converted]](http://old.bakamoono.lk/siadmin/wp-content/uploads/2018/10/Two-Blues-Converted-2.png)