2018 පෙබරවාරි 27
ජන මාධ්‍යය යනු සමාජය තුළ එක වර බොහෝ දෙනෙකුන් වෙත පණිවිඩයක් ගෙනයා හැකි, සමාජ ආකල්ප වෙනස් කිරීමෙහි ලා විශාල බලපෑමක් ඇති කළ හැකි ක්‍රම වේදයකි. ඍණාත්මක හෝ ධනාත්මක ආකල්පයක් ඉතා ඉක්මනින් සමාජගත කිරීමේ හැකියාවක් මාධ්‍යයට ඇත. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සුළුතර ලිංගික ප්‍රජාව පිළිබද දක්වන ආකල්ප සහ ඒවා මාධ්‍ය නිර්මාණ වලට යොදා ගන්නා ආකාරය නිසා සුළුතර ලිංගික ජ්‍රජාව පිළිබද සමාජය තුළ ඇති ඍණාත්මක ආකල්ප තව තවත් ස්ථාපිත කරයි. සිය මාධ්‍ය නිර්මාන වල ප්‍රසිද්ධිය ඉහල නංවා ගැනීම සදහා සුළුතර ලිංගික ප්‍රජාවේ පුද්ගලයන් විකටයන් ලෙස නිරූපණය කිරීම මෙන්ම ඔවුන් රෝග වාහකයන් ලෙස හුවා දැක්වීම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය තුළ මම දකින ප්‍රධාන ගැටළුවයි.
විශේෂයෙන් විද්‍යාත්මක දත්ත නොමැතිව සිය පෞද්ගලික ආකල්ප උළුප්පා දක්වන පුවත් පත් ලිපි නිසා විශේෂයෙන් සමකාමී ප්‍රජාව සහ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව වෙනස් කොට සැලකීම් සහ කෙන්කිරීම් වලට ලක් වෙයි.
උදාහරණයක් ලෙස මුඛ්‍ය ධාරාවේ මාධ්‍ය සමාකාමී පිරිමින් සහ සංක්‍රාන්ති පුද්ගලයන් එච්අයිවී වාහකයන් ලෙස පෙනවා දෙයි.
2017 වසරේ මාර්තු මස 19 වන ඉරිදා මව්බිම පුවත් පත “අලුත්ගම සිසුන්ට ටොපි චොකලට් දීලා ඒඩ්ස් තෑගී දුන්න නපුංසක නරුමයෝ” යන හිසින් යුතු ලිපියක් පල කර තිබුණි.
අප වැඩි අවධානයක් යොමු කළ යුතු කරුණක් වන්නේ එච්අයිවී ආසාදනය වන්නේ ලිංගික චර්යාව අනුව මිස කෙනෙකුගේ ලිංගික දිශාතිය අනුව නොවන බවයි.
සුළුතර ලිංගික ප්‍රජාවන්ට අපහාසයට ලක් කරන මෙවැනි පුවත්පත් ලිපි මගින් සිදු වන්නේ සමාජය තුළු ඇති ඍණාත්මක ආකල්ප නැවත තහවුරු වීමයි. විශේෂයෙන්ම පුවත් පත් මෙවැනි අපහාසාත්මක වැක්‍ය යොදා ගන්නේ පුවත පනප්‍රිය කරවා පුවත් පත් වැඩි ප්‍රමාණයක් අලෙවි කර ගැනීමේ අරමුණ ඇතිවයි. එමෙන්ම ලිපි සදහා වෛද්‍යවරුන්ගේ සහ ක්ෂේත්‍රයේ කටයුතු කරන පුද්ගලයන්ගෙන් අදහස් ලබා ගෙන ඒවා හිතු මතේ වෙනස් කරන පළ කරන අවස්ථාද ඇත. ලෝක සෞඛ්‍යය සංවිධානය සම ලිංගිකත්වය සහ සංක්‍රාන්ති භාවය මානසික රෝගයක් නොවන බව තහවුරු කර තිබියෙදීත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ඔවුන්ව මාධ්‍ය තුළ පෙන්වන්නේ පිස්සන් කොට්ටාශයක් ලෙසයි.
පසු ගිය දිනක දඹුල්ල නගරයේදී සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු පහරදී මරාදමා තිබු අවස්ථාවේදී මරණයට පත්වූ පුද්ගලයාගේ පෙර හා පසු ඡායාරූප හා එම පුද්ගලයාගේ පවුලේ පුද්ගලයන් පිළිබඳව අනවශ්‍ය ලෙස අනාවරණය කිරීම මඟින් පමණක් නොව එම පුද්ගලයාගේ සමාජභාවී අනන්‍යතාවය උපහාසාත්ම ආකාරයෙන් දක්වා තිබුණි. මරා දැමූ පුද්ගලයාව විකුණාගෙන කෑමක් එහිදී මාධ්‍ය ආයතන සිදු කළ බව මගේ අසහසයි. මාධ්‍යයක් විසින් සිද්ධියක් සත්‍යය වශයෙන් වාර්තා කළයුතු වන අතර එම සිදුවීම වවාගෙන කෑමක් හෝ අනවශ්‍යය තොරතුරු මවා පාමින් පෞද්ගලිකත්වයට අනවශ්‍යය අවදානයක් ලබානොදිය යුතු බවයි මාගේ අදහස. උදාහරණයක් ලෙස 2017 සැප්තැම්බර් මස 17 වන ඉරිදා ලංකාදීප පුවත් පතේ පළවුණු “ කාන්තා ඇඳුමින් රාත්‍රී නගරයේ සැරිසැරූ තරුණයාගේ ඝාතනය හෙළිකරගත් හැටි” නැමති හිසින් යුතු පිලිය මගින් මනුෂ්‍ය ඝාතනයට වඩා හිංසනයට ගොදුරු වූ පුද්ගලයාගේ සමාජභාවයට වැඩි අවධානයක් ලබා දී ඇත.
මුද්‍රිත මාධ්‍යයන් පමණක් නොව විද්‍යුත් මාධ්‍යයන් හරහාද මෙම වැරදි වාර්තාකරණය ඉතා ලස්සනට කරගෙන යනු ලබයි. සමකාමී පුද්ගලයන් හා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ජීවිත හෑල්ලුවට ලක්කරන චරිත හා දෙබස් යොදාගනු ලබමින් තම වැඩසටහන් වෙත හාස්‍යමය රසයක් ලබාගැනීමට තරම් පහත් මට්ටමකට මාධ්‍යය පැමිණ ඇත. ගැහැණු වගේ කතා කරන පිරිමින් චරිත යොදා ගෙන හාස්‍යරසය ගෙනඒමට මේ නාට්‍යකරුවන් දගලයි. එවැනි චරිත වලට යොදා ගන්නේද සැබෑ ජීවිතයේ විෂම ලිංගික, සමප්‍රදායික පිරිමි සමාජභාවයක් සහිත පිරිමින්ය. එසේ වූ විට එම චරිත හරහා නිරූපණයන වන්නේ සංක්‍රාන්ති පුද්ගලයන් ගේ සැබෑ ස්වරූපය නොව සංක්‍රාන්තා පුද්ගලයන් පිළිබද සමාජය සිතා සිටින ආකාරයයි. මෙවැනි නිරූපණ වලින් සිදු වන්නේ සමකාමී සහ සංක්‍රාන්ති පුද්ගලයන් සැබෑ ජීවිතයේදී මුහුණ දෙන කොන් කිරීම් තව තවත් ඉහල යාමයි.
2017 ජනවාරි මස 22 වන දින ලංකාදීප පුවත්පතේ පළවුණු “සමලිංගිකත්වයට නීතිමය පිළිගැනීමක් ලබාදීම භයානකයි” යන ලිපිය මගින් පෙන්වන්නේ අපේ රටේ ජනමාධ්‍ය තුළ ඇති යල්පැණ ගිය අදහස් නොවේද?
මේ සමකාමී ප්‍රජාව හා සංක්‍රාන්ති ප්‍රජාව අපහාසයට හා කොන්කොට ලියවුනු ලිපි වලින් කිහිපයක් පමණි. මෙවැනි ලිපි මඟින් සිදුවන්නේ කටුක ජීවිත ගෙවමින් ජීවත්වන හා සමාජයෙන් කොන්වෙමින් සිටින සමාජයේම පුද්ගල කොට්ඨාශයක් තව තවත් හෑල්ලුවට ලක්වීමය. හිංසනයට ලක්වීමය. මාධ්‍යය වෙත සම්මුඛ සාකච්ඡා ලබාදුන් පුද්ගලයෙකු ලෙස මා ලබාදුන් තොරතුරු නිවැරදි ලෙස පල නොවීම, මාගේ ලිංගික ජීවිතය පුන පුනා ඇසීම, සිරස්තල ලෙස “පිරිමි රූමතිය”/ “සංක්‍රාන්ති තරුණිය” වැනි හාස්‍යාත්මක සහ අනවශ්‍යය අවධානයක් ලබාදෙන වදන් පලකිරීම වැනි දෑ මා පුද්ගලිකව මුහුණ දුන් අත්දැකීම්ය.
මාධ්‍යය ආචාරධර්ම පද්ධතීන් පොතට පමණක් සීමාවෙද්දී සමහර මාධ්‍යය කරුවන් පුද්ගලයන්ගේ කකුල් දෙක මැද්දේ තිබෙන්නේ කුමක්ද යන්නත් නිදන කාමරයට එබී බලා එහි සිටින්නේ කාත් සමඟද යන්නත් සොයාබැලීමට උත්සුකු වී ඇත. සමාජය ගමන් දරන දිශාව කෙරෙහි විශාල බලපෑමක් සිදු කළ හැකි ජනමාධ්‍ය සුළුතර ලිංගික ප්‍රජාව පිළිබද දරණ ආකල්ප කෙතෙරම් වැරදි ඒවාද යන්න පෙන්වා දීමට තවත් උදාහරණ අවශ්‍ය නැත. තමන්ට වඩා වෙනස් වූ පුද්ගලයන් දෙස වපර ඇසකින් බැලීම අප ජීවත් වන සමාජයේ පුරුද්දකි. කෙසේ වුවත් මගේ අදහස වන්නේ සුළුතර ලිංගික ප්‍රජාව දෙස ජනමාධ්‍ය මීට වඩා ධනාත්මක සහ දැනුවත් ඇසකින් බැලීම ආරම්භ කළ යුතු බවයි.
භූමි හරේන්ද්‍රන් විසිනි