2017 ඔක්තෝබර් 25.
අපි පුංචි කාලේ සිංහබාහු කතාව පාසැල් ඉතිහාස පොත්වල තිබුනු නමුත්, අද සිංහබාහු කතාව දමන්නේ ඉතිහාස කතා ගොඩට නොවේ, සාහිත්‍ය කතා ගොඩටය. බටහිර විද්‍යාවේ ආගමනයට පසුව, සිංහබාහු ඉතිහාසය ලෙස කියවීම අපි නතර කළ යුතුද? සිංහ ශුක්‍රාණුවක් සමග මනුෂ්‍ය ඩිම්භයකට එක්වී, කිසිසේත්ම මනුෂ්‍ය පැටවු බිහි විය නොහැකි නිසා එය මිථ්‍යාවක් ලෙස බැහැර කළ යුතුද? මිථ්‍යාවන්ට වර්තමාන ඉතිහාස කියවීම තුළ ඇත්තේ කුමන පිළි ගැනීමක්ද? ඉතිහාසය කියවීමේ දී අද ඇසිය යුතු ප්‍රශ්නය මෙයයි. මෙය මිථ්‍යාවක් නම්, තවත් බොහෝ මිථ්‍යාවන් තිබියදී මේ මිථ්‍යාවම තෝරා ගත්තේ කුමන කාරණා නිසාද? මෙය මිථ්‍යාවක් නොව සංකේතාත්මක යථාර්ථයක් නම් ඒ කියන්නට හැදූ යථාර්ථය කුමක්ද?

අපි සිංහබාහු කතාවේ පළමු කොටස කියවමු.
“අතීතකාලයෙහි වගුරට වගුනුවර වගුරජෙක් විය. කාලිංග දේශයේ රජ දුවක් එම රජු හට මෙහෙසිය වුවාය. ඔවුන්ට දුවක් ලැබිණි. අනාවැකි කියන්නෝ කිව්වේ මේ දුව කිසි යම් දිනක සිංහරාජයෙකු හා සංවාසයේ යෙදෙන බවයි. ඉතා රූමත්වු අතිශයෙන් කාමයෙන් ගිජුවු මේ දියණිය, රජු සහ දේවිය යන දෙදෙනා විසින් ලජ්ජාවෙන් පිළිකුල් කරණ ලදී.
තම නිදහස ප්‍රිය කළ ඇය, හුදකලාව අප්‍රසිද්ධ වේශයෙන් මගධරට බලා යන පිටත්ව වෙළඳසමුහයක් සමග තමන්ගේ රටින් පිටව ගියාය. එසේ යද්දී ලාටරට පෙදෙසෙහිදී සිංහයෙක්වෙළඳ සමුහයා වෙත දිව ආවේය. සැවොම හිස් ලූලූ අත දුවද්දී, කුමාරිකාව සිංහයා දෙසට දිව්වාය. සිංහයාට ඇය දැක ආසා හිතුනු අතර දුර සිටම නගුට වනමින් ඇය සමීපයට පැමිණෙද්දී, අනාවැකි කියන්නන්ගේ වදන් සිහි කර, සිංහයාගේ ලිංගේන්ද්‍රිය අත ගෑවාය. ඇගේ පහසින් ආශාවට පත් සිංහයා ඇයව පිට නංවා ගෙන ගුහාවට ගෙන ගොස් ඇය හා සංවාසයේ හැසුරුණේය. සිංහයා හා ඇය අතර සිදු වූ සංවාසයෙන් සුදුසු කාලයේ පුතකු හා දුවක ලෙසින් නිඹුල් දරු උපතක් ලැබිණි. පුතා සිංහබාහු ලෙස නම් කෙරුණි. දුව සිංහ සීවලී ලෙස නම් කෙරුණි.
දරුවන්ට අවුරුදු දහසයක් පමණ වෙද්දී, දරුවෝ තම මවගෙන් තම දෙමාපියන්ගේ අසමානතා ගැන විමසා සිටියෝය. මව තම දරුවන්ට සියලු විස්තර කියා සිටි අතර, කුමක් නිසා ආපසු මිනිසුන් වාසය කරන පෙදෙසට නොයන්නෙමු දැයි යැයි දරුවෝ ඇගෙන් ප්‍රශ්න කර සිටියහ. ඇය කිව්වේ සිංහයා ගුහාවෙන් පිටතට යද්දී ගුහා දොර තමන්ට පිටව යා නොහැකි සේ ගලෙකින් වසන බවයි. මේ වෙන විට ගතින් වැඩී සිටි සිංහබාහු ගුහාවේ දොර ඉවත් කළ අතර, එක් දවසකින් යොදුන් පණහක් ගොස් ආපසු ආවේය. ඉන්පසු සිංහයා ගොදුරු පිණිස යනතෙක් සිට, දකුණු උරහිස මත මෑණියන් ද, වම් උරහිස මත නැගණියන්ද තබාගෙන ගුහාවෙන් පළා ගියේය.
ඇඳුම් නොතිබූ බැවින්, ගස්වල කොළවලින් විළි වසාගත් ඔවුහු අසල තිබූ ගමකට පැමිණි අතර, රජුගේ සහෝදරයෙකු වූ, වගු රජු සෙනෙවියා එහි සිටියේය. තමන් කැලෑවේ සිට පැමිණි බව ඔහුට දැන් වූ අවස්ථාවේ, ඔහු ඔවුන්ට ඇඳුම් ද, භාජනවල දමා බත් ද දුන්නේය. එම බත් ලබා දුන් භාජන ඔවුන්ගේ පින නිසා රත්රන් බවට පත් වූ අතර, එයින් විස්මයට පත් සෙනෙවියා ඔවුන් කවුරුන්දැයි විමසීය. එවිට රජදුව තමන්ගේ ජාතිය, ගෝත්‍රය, පවුලේ විස්තර සම්බන්ධයෙන් ඇත්ත කීවාය. රජදුව නෑදෑකමින් තමන්ගේ ඇවැස්ස නෑනාගේ දුවෙකු වූ හෙයින් ඔහු ඇය විවාහ කරගෙන වගුනුවර පදිංචි විය.
සිංහයා ගුහාවට ගොස් මේ තුන් දෙනා නොදුටු නිසා බලවත් ශෝකයට පත් විය. ඔහුට කෑම කන්නට, ජලය බොන්නට පවා බැරිවිය. ඔහු ගමින් ගමට යමින් තම දරුවන් සොයන්නට පටන් ගත්තේය. ගම්වලට ඔහු පැමිණෙද්දී ගම්වැසියෝ පලා යති. මේ සිංහයාගෙන් බොහෝ කරදර පැමිණි හෙයින්, රට වැසියෝ මේ ගැන රජ්ජුරුවන්ට පැමිණිලි කළහ. ඉන්පසු රජතුමා සිංහයා මරන්නෙකුට කහවණු දහසක් දෙන බවත්, දෙවනුව දෙදහසක් දෙන බවටත්, එයත් හරි නොගිය තැන කහවණු තුන් දහසක් දෙන බවටත් අණ බෙර පැතිරවීය. පුතා විසින් පිය සිංහයා මරා මේ කහවණු තුන්දහස ලබා ගැනීමට එකඟ වූයේය. ඔහු ඊතල සහ දුනු රැගෙන ගුහාව වෙතට ගියේය. සිංහයා ඔහු දැක මහත් පුත්‍ර ස්නේහයෙන් සිය පුතා දකින්නට පැමිණියේය. එවිට ඔහු පළමු හීය විද්දේය. එහෙත් සිංහයා සිටියේ මහත් සෙනෙහසකින් බැවින් ඒ හීය වැදුනේ නැත. එහෙත් අවසානයේ සිංහයාට කේන්ති ගිය අතර, එවෙලේ ඔහු විද්ද හීය වැදිණි. සිංහයාගේ හිසත් රැගෙන ඔහු වගුරට පැමිණෙද්දී, වගුරජ මියගොස් තිබූ අතර, රජකමට උරුමක්කාරයෙක් නොසිටි බැවින් ඔහුගේ ප්‍රසිද්ධිය නිසා ඔහුව රජකමට පත් කර ගන්නා ලදී. ඔහු තම නුවර ලෙස තෝරා ගන්නේ වගුනුවර නොව තමන් උපන් සිංහයා විසූ ලාටරට ප්‍රදේශයයි ”
උපකල්පනය 1- සිංහබාහු කතාව ඇත්ත කතාවකි. එහි සංකේතාර්ථ ඇත.
උපකල්පනය 2 – සිංහබාහු කතාව මිථ්‍යාවකි. මිථ්‍යාව කීමට හේතුවක් තිබිය යුතුය.
ප්‍රශ්න
-
ජාතියක බිහිවීමට නෑයින් අතර විවාහ සම්බන්ධතා ගණනාවක් යොදා ගන්නේ ඇයි? එයින් ඔප්පු කරන්නට හදන්නේ කුමක්ද? ඇවැස්ස නෑනා මස්සිනා විවාහ මෑතක් වෙන තුරුම අප අතර තිබිණි. සහෝදර- සහෝදරියන් අතර විවාහ ද පිළිකුල් වී නොමැති බව ද පෙනෙන්නේ?
-
ජාතියක බිහිවීම සම්බන්ධ කතාන්දරයකට සතුන් සමග ලිංගිකව හැසිරීම තෝරා ගන්නේ ඇයි? එයින් කියවෙන්නේ ඒ ජාතියට සතුන් සමග ලිංගිකව හැසිරීම පිළිකුල් නොවූ බවද?
මෙම කතාන්දරයේ තවත් අභව්‍ය සිදුවීම ගණනාවක් ඇත.
| මිථ්‍යාව | කතාවේ චරිත ගැන හෙළි වෙන දෑ | කතුවරයා සහ එවක සමාජය ගැන හෙළි වෙන දෑ |
| සිංහයා නගුට වනමින් කුමාරිකාව දෙසට පැමිණීම | මේ කතාව ලියවෙන්නේ ලංකාවේය. ලංකාවේ සිංහයන් සිටියේ නැත. නමුත් බල්ලන් සිටියහ. කතුවරයා එතැනින් තේරුම් ගනී. | |
| සිංහයා හා මනුෂ්‍ය ගැහැණියක් සංවාසයෙන් මිනිස් දරුවන් ලැබීම. | රජකමට අවශ්‍ය කුල ගෝත්‍ර සුදුසුකම් සපුරන්නේ නැති කෙනෙක් රජකමට පත් කර ගැනීමට සුජාතකරණය කිරීම
රජකම ලැබීම සුදුසු වීමට අවශ්‍ය ජනප්‍රියතාවය ලැබේ. |
තම ජාතියේ ආරම්භයට නැති වීරත්වයක් ආරෝපණය කිරීම (ජාතිය සුජාතකරණය කිරීම)
තම ජාතියට රේඛීය ඉතිහාසයක් ලබා දීම සතුන් සමග ලිංගිකව හැසිරීම පිළිකුල් කළ යුත්තක් නොවේ. |
| සිංහයා ගැහැණිය සිර කර තබා ගනියි. | ඇය වෙන සතුන් හෝ පුද්ගලයන් සමග ලිංගිකව හැසිරෙන්නේ නැත.
ඇය පලා යන්නේ නැත. |
සිංහයා මනුෂ්‍ය පිරිමියෙකුගේ ආශාවන් නියෝජනය කරයි. ගැහැණිය සිංහයා සමග පමණක් සංවාසය කළ බව කියන්නට උත්සාහ දරයි. සිංහයා සමගත් සංවාස කර තිබියදී, තවත් මිනිස්සු ගණනාවක් සමගත් ඇයට සංවාසයේ යෙදෙන්නට හැකියාව ඇත. ජාතියේ සුජාතභාවය ආරක්ෂා කරයි.
ඇය කෑවේ අමු මස්ද? ඇය උයා පිහා ගත්තාද? යන්න කතුවරයාට හසු නොවේ. හෝ නිහඬය. |
| සිංහබාහු යොදුන් 50ක් ඇවිද එක් දිනකින් ආපසු පැමිණෙයි | රජකමට සුදුස්සෙකු වීමට ජනප්‍රියභාවය සහ සුජාතකරණය ලබා ගැනීම | කතා වීරයාගේ වීරත්වය පෙන්වීම |
| සිංහබාහු මවත්, සොයුරියත් උරහිස් දෙකේ තබා ගෙන පලා යයි. | රජකමට සුදුස්සෙකු වීමට ජනප්‍රියභාවය සහ සුජාතකරණය ලබා ගැනීම | කතා වීරයාගේ වීරත්වය පෙන්වීම
පිරිමිකම සහ ශක්තිමත්භාවය සම්බන්ධ පැතැලි අදහස් |
| ආහාර දුන් භාජන පින් බලයෙන් රත්තරන් බවට පත්වේ. | රජකමට සුදුස්සෙකු වීමට ජනප්‍රියභාවය සහ සුජාතකරණය ලබා ගැනීම | බෞද්ධකමට ඇති වැදගත්කම හාස්කම් සහ මිථ්‍යාව හරහා සමාජගත කිරීමට ඇති වුවමනාව |
| පිය සෙනෙහස නිසා විඳින ඊතල නොවැදේ. | බෞද්ධකමට ඇති වැදගත්කම හාස්කම් සහ මිථ්‍යාව හරහා සමාජගත කිරීමට ඇති වුවමනාව |
උපකල්පනය 1 මත පිහිටමින්,
1 වැනි විකල්ප කතාන්දරය
සිංහයා යනු සිංහ ගෝත්‍රිකයෙකි. රජදුව මෙම සිංහ ගෝත්‍රිකයා සමග පෙමින් බැඳිණි. ඇය ඔහු සමග රහසේ පැන ගියාය. ඔවුන් රහසිගතව කාලය ගත කර කිසියම් කාලයකට පසුව දරුවන් ලැබිණි.
මේ ඉපදුනු දරුවෝ රාජවංශයට සුදුසු අය නොවේ… වංග රජු කුමන්ත්‍රණයකින් මරා දැමෙන අතර, සිංහයාගේ කතාව නිර්මාණය කෙරෙන්නේ දරුවන්ට සුජාතභාවයක් ලබා ගෙන රජකම ලබා දීම උදෙසාය.
මේ ඉපදුනු දරුවෝ රාජවංශයට සුදුසු අය නොවේ. එනිසා ඇය සිංහ ගෝත්‍රිකයා හැර දමා ආපසු සිය මාමා කෙනෙකු හමු වන්නට පැමිණි අතර, මාමාට අවශ්‍ය වූයේ ඇය විවාහ කර ගන්නටයි. ඇය එයට කැමැති වූ අතර, එයට හුවමාරුවක් ලෙස තම දරුවාට රජකම ලබා දීමට උදව් කිරීමට කටයුතු කෙරිණි. වංග රජු කුමන්ත්‍රණයකින් මරා දැමෙන අතර, සිංහයාගේ කතාව නිර්මාණය කෙරෙන්නේ දරුවන්ට සුජාතභාවයක් ලබා ගෙන රජකම ලබා දීම උදෙසාය. ඔහු වගු නුවර වෙනුවට ලාටරට තම අගනුවර ලෙස තෝරා ගැනීමට හේතු වන්නේ මෙම කුමන්ත්‍රණය සම්බන්ධ විස්තර කිසියම් මොහොතක හෙළි වුවහොත් ආරක්ෂාවට ගැටළු පැන නැගිය හැකි බැවිනි.
2 වැනි විකල්ප කතාන්දරය
රජ දුවට විවිධ සහකරුවන් සිට ඇත. මහාවංශය විසින් ඇයව ‘ඉතා රූමත්වු අතිශයෙන් කාමයෙන් ගිජුවු’ යනුවෙන් හඳුන්වන්නේ ඒ නිසාය. ඇයට ලැබුනු දරුවන්ගේ පියවරුන් සොයා ගැනීම දුෂ්කරය.
ඇගේ ලිංගිකත්වය ඉවසා ගත නොහුණු රජ පවුල ඇයව පවුලෙන් ඉවත් කරන ලදී. රජුට වෙනත් දරුවන් සිටියේ නැත. ඒ නිසා ඇගේ දරුවෙකුට රජකම උරුම විය යුතුව තිබිනි. රජුගේ සොහොයුරකු, රාජ්‍යය සුජාතකිරීම උදෙසා ඇය විවාහ කර ගත් අතර, ඇගේ දරුවාගේ උපත සුජාත කිරීම උදෙසා සිංහ කතන්දරය නිර්මාණය කරනු ලැබිණි. සිංහයන් විසින් ගම්වලට පහර දීම සාමාන්‍ය කරුණක් විය හැකි අතර, කොහේ හෝ හිටි සිංහයකු ඝාතනය කර උගේ හිස ගෙනෙනු ලැබිණි. ඔවුන් වගුනුවර නොව, එවකට ග්‍රාමීය ප්‍රදේශයක් වෙන ලාටරට තම අගනුවර ලෙස තෝරා ගන්නේ මේ කාරණාවලින් ගැලවීමටයි.
උපකල්පනය 2 මත පිහිටමින්
3 වැනි විකල්ප කතාන්දරය
මෙවැනි කතාවක් සිදු නොවීය. එවකට තිබුනු කිසියම් ජනකතාවක් මත මේ කතාව ප්‍රතිනිර්මාණය කරන ලදී.
මෙය නිර්මාණය කරනු ලැබුවේ මහාවංශය රචනා කළ මහානාම නම් මහාවිහාරික බෞද්ධ හිමිනම විසිනි.
එවකට මහසෙන් රජු මහාවිහාරයට බොහෝ හානි සිදු කළ අතර, ඒ යුගය භික්ෂූන් අතර බොහෝ ගැටුම් තිබූ යුගයකි. භික්ෂූන්ගේ සදාචාරය පහළ වැටුණු යුගයක් විය. අභයගිරිය සහ මහාවිහාරය අතර බොහෝ ගැටළු තිබුනි. අභයගිරිය මහායානික අදහස් දැරූ එකක් වෙන අතර, මහා විහාරය දැරුවේ ථෙරවාද අදහස්ය.
අභයගිරිය අන්තර්ජාතික බෞද්ධාගමික සම්ප්‍රදායින්හි බලපෑමට ලක් වූවක් ලෙස කටයුතු කරද්දී, මහාවිහාරයට සිංහල රාජ්‍යය, බෞද්ධත්වය මූලික කර ගත් බෞද්ධ කතන්දරයක් නිර්මාණය කරන්නට අවශ්‍ය විය. මෙය සිදු වන්නේ රාජ්‍යය මහා විහාරයට විරුද්ධ වෙද්දීය. කතුවරයා රාජ්‍ය අනුග්‍රහයට නිසියාකාර උරුමය ඇත්තේ ථෙරවාද බුද්ධාගමට බැව් මෙයින් පැහැදිලි කරන්නට උත්සාහ දරයි.මෙය මහාවංශයේ මුල් කතන්දර කියවද්දී ඉතා පැහැදිලි වේ.
ඒ කෙසේ වුවද මහානාම හිමියන් විසින් මේ කතන්දරයම තෝරා ගත්තේ මන්ද යන්න ඇසිය යුතුය.
එකල සමාජයේ සතුන් සමග ලිංගිකව හැසිරීම ලොකු වරදක් ලෙස දුටු එකක් විය නොහැක. එසේම සහෝදර සහෝදරියන් අතර ලිංගික හැසිරීම හෝ විවාහය ද කිසිසේත්ම වරදක් විය නොහැක. පුද්ගලයන් ලිංගිකව හැසිරෙන්නේ කා සමග ද යන්න පදනම් කර ගෙන දඬුවම් කිරීමේ අදහසක් එකල සමාජයේ කිසිසේත් තිබුණේම නැති විය යුතුය.
එසේ වූවා නම් මෙවැනි කතාවක් සිංහල ජාතියේ සම්භවය සම්බන්ධ කතාන්දරයේ ඉදිරිපත් වෙන්නේ නැත.
මේ කතාව කියවන අතරම ක්‍රිව 8-10 ත් අතර කාලයට අයිති යැයි සැලකෙන නාලන්දා ගෙඩිගේ හි පිහිටා ඇති අර්ධ උන්නත මූර්තියක් ද අපගේ අවධානය දිනා ගැනීම වටී. නාලන්දා ගෙඩිගේ පල්ලව සම්ප්‍රදායට අනුව නිර්මාණය වූ බෞද්ධ පන්සලක් යැයි විශ්වාස කෙරේ.

නාලන්දා ගෙඩිගේ හි පිහිටි අර්ධ උන්නත මූර්තියක්
මේ රූපයේ දැක්වෙන්නේ සිංහයකු, සහ පිරිමින් දෙදෙනෙකු ලිංගික හැසිරීමක යෙදෙන ආකාරයයි. මේ රූපය සතුන් සමග ලිංගික හැසිරීමක් ලෙස, සමලිංගික හැසිරීමක් ලෙස මෙන්ම, කණ්ඩායම් ලිංගික හැසිරීමක් ලෙස ද කියවා ගැත හැකිය.
මේ අනුව බලන කල සතුන් සමග ලිංගිකව හැසිරීම මෙන්ම, සමලිංගික හැසිරීම් ද, කණ්ඩායම් ලිංගික හැසිරීම් ද අනුරාධපුර යුගයේ දී වරදකාරී, දඩුවම් දිය යුතු වැරැදි ලෙස නොසැලකුණේ යැයි තර්ක කළ හැකිය. ලිංගික කටයුතු බොහෝ විට රාජ්‍ය පාලනයෙන් පිටස්තර කාරණා ලෙස මේ යුගයේ පමණක් නොව යටත් විජිත යුගයට පෙර පැවැති ලාංකීය ඉතිහාසය පුරාම පැවතුනේ යැයි තීරණය කිරීම වරදක් නොවේ.
එසේ වුවද පුරුෂ මූලික සමාජයක් මෙකල පැවැතුණු බවට සිංහබාහු කතාව ද සිය ආඛ්‍යානයෙන් විවිධ අයුරින් සාක්ෂි සපයයි. සිංහබාහු කුමරා සිය මෑණියන් සහ සොහොයුරිය කර මත තබා ගෙන යෑම මෙහිදී බරපතල ඉගියක් සපයයි. ඔහු මේ දෙදෙනා කර මත තබා ගෙන යෑමෙන් ඔවුන් දුර්වල යැයි, ඔවුන්ව කර තබා ගෙන ගොස් රැක බලා ගත යුතු යැයි අදහස් වේ. එසේම සිංහ ගුහාවේ දොර විවෘත කිරීම පවා සිංහබාහු තනිවම සිදු කරන අතර, ස්ත්‍රීන් දෙදෙනාටම එකතු වුවත් එය කළ නොහැකිය යන අදහසක් සම්පූර්ණ ආඛ්‍යානයෙන් හඟවයි. තවදුරටත් ගැඹුරට කිය වුව හොත් බොහෝ තීරණ ගන්නේ පිරිමින්ය. සිංහයා සමග ලිංගික සංසර්ගය පවා සිංහයා විසින් කුමරියට කරන්නක් මිස දෙදෙනා එක්ව කරන්නක් ලෙස වාක්‍යය ලියැවෙන්නේ නැත. මෙය ඇතැම් විට මේ කතාව ලිව්වේ බෞද්ධ භික්ෂුවක් බැවින් එයින් එන අදහසක් ද විය හැකිය.
අවසානය
මේ ලිපියේ දී මා උත්සාහ කළේ අතීතයේ මිථ්‍යා කතන්දර බහු අර්ථ නිරූපණ සහිතව කියවිය හැකි බව සහ එම කතාන්දර හුදෙක් මිථ්‍යාවන් ලෙස බැහැර නොකළ යුතු බව යන කාරණය ඉස්මතු කිරීමටයි. මිථ්‍යාව පැහැදිලි බොරුවක් බව පෙනෙන කල්හි, කියවීම කළ යුත්තේ මෙවැනි බොරුවක් නිර්මාණය කළේ ඇයි ද යන්න පැහැදිලි කර ගැනීමටයි. කිසිදු මිථ්‍යාවක් සම්පූර්ණ හිස් දෙයක් නොවන අතර මිථ්‍යාවන් විශ්ලේෂණය විවිධ දෑ උගැන්මට අපට උදව් කරයි.
මිථ්‍යාව යනු කතාබහ කරන එක් ආකාරයකි. භාෂාවට මිථ්‍යාවක් බවට පත් වීමට සුවිශේෂි තත්වයන් අවශ්‍ය වේ.… මිථ්‍යාව යනු සන්නිවේදන පද්ධතියකි, එය පණිවඩුයකි. මෙයින් කිසිවකුට සිතන්නට ඉඩ දෙන්නේ මිථ්‍යාවක් යනු කිසියම් වස්තුවක්, සංකල්පයක් හෝ අදහසක් නොවන බවයි: එය සංකේතීයභාවයක, ආකෘතියක ක්‍රමයකි. පසුව අප විසින් එයට ඉතිහාස ගත සීමා, භාවිත කරන තත්වයන්, සමාජය නැවත හඳුන්වා දිය යුතුය. එසේ වුවද අපි එය ආකෘතියක් ලෙස විස්තර කළ යුතුය … සියල්ල මිථ්‍යාවක් විය හැකිය මන්ද යත් එය ඉදිරිපත් කරනු ලබන්නේ කතිකාවතක් විසින් වෙන බැවිනි.
රෝලන්ඩ් බාත්ස් (1957), මිථ්‍යාවෝ
මිථ්‍යාවක් කියවීමේ දී බලසම්බන්ධතා ගැන සංවේදී වීම ඉතාම වැදගත් වෙන අතර, උදාහරණ ලෙස පහත ප්‍රශ්න ඇසීම සිදු කළ හැකිය.
- මිථ්‍යාව ලිවීමෙන් වාසි සිදුවෙන්නේ කාටද?
- මිථ්‍යාව ලිවීමෙන් අවාසි සිදුවෙන්නේ කාටද?
- මෙය ලියන පුද්ගලයා හෝ ඔහුගේ සමීපතයන් මුහුණ පාන සමාජ දේශපාලනික හෝ වෙනත් ප්‍රශ්න මොනවාද?
- එම ප්‍රශ්නවලට මේ මිථ්‍යාවේ සම්බන්ධයක් තිබේද?
- මිථ්‍යාව විසින් හෙළි කරන සමාජ වටිනාකම් මොනවාද?
- මිථ්‍යාව විසින් හෙළි කරන අගතිගාමි අදහස්, කතුවරයාගේ පක්ෂග්‍රාහීත්වයන් මොනවාද?
විශේෂයෙන්ම ඉතා පැහැදිලි මිථ්‍යා කතන්දර නැවත කියවීම සහ නව ආඛ්‍යාන ගොඩනැගීම නිර්මාණශීලිත්වය, විවේචනශීලී බුද්ධිය මෙන්ම අතීතය සම්බන්ධ නව ඉගෙනීම් ලබා ගැනීමට උදව් කරයි. එම ආඛ්‍යාන මිථ්‍යා කතාවට පරිබාහිරව නොව එය තුළින්ම ලැබෙන විවිධ ඉඟි ඔස්සේ නිර්මාණය කළ හැකිය.
ඉතිහාසය සම්බන්ධ බොහෝ කතන්දර පුරුෂ මූලික බලය සම්බන්ධ දෘෂ්ටියකින් ලියැවී ඇති අතර, සෑම විටම පාහේ මුදල් ඇති, පොහොසත්, බලය ඇති, පිරිමි පාලකයන්ගේ සහ ආගමික නායකයන්ගේ ඉතිහාසය පමණක් නිරූපණය කරමින්, සාමාන්‍ය ජනතාවගේ විශේෂයෙන්ම ගැහැණුන්ගේ ඉතිහාසය ගැන කිසිවක් නොකියයි. මේ නොකියන දෑ ගැන විකල්ප ආඛ්‍යාන ගොඩ නැගීම ඉතිහාසය විසින් ගොඩනගා ඇති අසාධාරණ ආඛ්‍යාන ප්‍රශ්න කිරීමට අපට උදව් කරයි.
මීළඟ කොටසින් ‘සිංහබාහු’ යළි කියවීම (දෙවැනි කොටස)‘විජය’ගේ ලිංගිකත්වය කුමක්ද? බලාපොරොත්තු වන්න.
දමිත් චන්දිමාල් විසිනි.