සමානාත්මතාවයේ පරම්පරාවක් අපට නැහැ

2020 අගෝස්තු 16.

1993 වසරේ සිට 2019 දක්වා අමාත්‍යාශයක්ව පැවති ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය නව රජය විසින් අහෝසි කර ඉන් ආවරණය කෙරුණු ක්ෂේත්‍ර අධ්‍යාපන අමාත්‍යංශය යටතට පවරා තිබේ. ළමා කටයුතු පිළිබද විෂය අධ්‍යාපන අමාත්‍යංශය යටතට පවරා ගන්නා බව මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබුණද, කාන්තා කටයුතු පිළිබද විෂය අධ්‍යාපනය අමාත්‍යංශය යටතය පවරා තිබීම අප සැමට විස්මය සහ කණගාටුව දනවන පියවරකි.

මෙතෙක් පැවති කාන්තා කටයුතු අමාත්‍යංශයට රාජ්‍ය අයවැයෙන් වෙන් වූයේ 1%කටත් වඩා අඩු මුදලකි. මෙතෙක් පත් වූ කිසිදු අමාත්‍යවරයෙකු හෝ අමාත්‍යවරියක කාන්තා කටයුතු අමාත්‍යංශය වෙනුවෙන් වැඩි ප්‍රතිපාදන ලබා ගැනීමට අපොහොසත් විය.

කෙසේ වුවත් කාන්තා කටයුතු අමාත්‍යංශය මුළුමණින්ම ඉවත් කිරීම ඉන් සාධාරණීකරණය කළෙ නොහැකිය. කාන්තා කටයුතු අමාත්‍යංශයක් නිර්මාණය වීම ස්ත්‍රී අරගලයේ සන්ධිස්ථානයක් වන්නේ පුරුෂ මූලික සමාජය තුළ ස්ත්‍රිය වෙනස්කොට සැලකීම් වලට ලක් වන වබත්, ඒ පිළිබද රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය බවත් ව්‍යුහාත්මක වශයෙන් පිළිගැනීමකට ලක් වන නිසයි.

ප්‍රමුඛ පෙළේ ස්ත්‍රී ක්‍රියාකාරිණියක් වන නිමල්කා ප්‍රානාන්දු අදහස් දක්වමින් මෙසේ පැවසීය.

කාන්තා කටයුතු අමාත්‍යංශයක් පැවතීම තුළ ස්ත්‍රීන් බල ගැන්වීමට රාජ්‍ය වශයෙන් පිළිගැනීමක් ලැබුණා. කාන්තා කටයුතු අමාත්‍යංශය ක්‍රියාත්මක වුණේ සංවර්ධන න්‍යාය පත්‍රය ඇතුළතයි. ප්‍රතිපත්ති සම්පාදකයන් සමග සාකච්ඡාවක් ගොඩනැගීමට හැකි  අවකාශයක් මෙමගින් ශ්‍රී ලංකාවේ ස්ත්‍රීන්ට ලැබුණා. නව රජයෙන් සිදු කර ඇති ආකාරයට කාන්තා කටයුතු වෙනත් අමාත්‍යංශයක් සමග එකතු කිරීම මගින් ස්ත්‍රි ගැටළු වලට ලැබූ තිබුණු පිළිගැනීම  අහෝසි වනවා.

මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන පක්ෂ කිසිවක් ස්ත්‍රීන්ගේ ගැටළු ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශණ තුළ ඇතුළත් කර තිබුණේ නැහැ. දරුවන් අත්රුදහන් වූ මව් වරුන් හෝ පියා නැතිව දරු පවුල් නඩත්තු කරන ස්ත්‍රීන් පිළිබදව වත් කිසිම විටෙක සදහන් වුණේ නැහැ. එමෙන්ම ප්‍රඹාන පක්ෂ වලට ඇත්තේ ස්ත්‍රීන් පිරිමින් විසින් ආරක්ෂා කළ යුතු කණ්ඩායමක්ය යන හැගීම මිස, ඔවුන් සමානයන්ය යන හැගීම නොවේ. ස්ත්‍රීන්ගේ ගැටළු වලට එවැන් ප්‍රවේශයක් ගන්නා විට සමානාත්මතාවය පිළිබද ස්ත්‍රීන්ගේ අරගලය නොපෙනී යනවා.

විශේෂයෙන් කෝවිඩ්19 වසංගතය නිසා ස්ත්‍රීන් දැඩි පීඩාවන්ට පත් වනවා. විශේෂයෙන්ම ගෘහස්ථ හිංසනය ඉහල ගොස් තිබෙනවා. ඒ වාගේම දිළිදු භාවය ඉහල ගොස් තිබෙනවා. මේවා රජයකට නොසලකා හැරිය නොහැකි ගැටළු. අධ්‍යාපන විෂය පථය ඇමතිවරුන්ගේ මුළු කාලයම වැය වන්නක්. මේ අමාත්‍යංශය යටතට කාන්තා කාටයුතු පැමිණවීමෙන් ඒ ගැන ලැබිය යුතු අවධානය විශාල වශයෙන් පහල යනවා. ඒ නිසා, ස්ත්‍රී න්‍යාය පත්‍රයක් සහිත වෙනම අමාත්‍යංශයක් පිහිටූම ඉතාමත් වැදගත්.

තීරණ ගන්නා ස්ථර වල ස්ත්‍රී නියෝජනය තවත් පහළ යන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරියන් ගණන පිළිබද සෑහීමකට පත් වීමට බැහැ. ඒ වාගේම ප්‍රධාන පක්ෂ ස්ත්‍රීන්ට නාම යෝජනා ලබා දුන්නේ ඉතාමත් අඩුවෙන්. සමහර දිස්ත්‍රික්ක වලින් ස්ත්‍රීන් ඉදිරිපත් වුණේම නැහැ. අභියෝගයක් අද මතු වී තිබෙනවා ආණ්ඩුකරණ ක්‍රියාදාමය කෙතරම් දුරට ස්ත්‍රින්ගේ සමානාත්මතාවය යන මතවාදය පිළිගන්නවාද පිළිබදව. ඒ හරහා සම පාර්ශවකරුවන් වශයෙන් සැබවින්ම රෙට් දේශපාලන ජීවිතයට එක් කර ගැනීමට නොහැකි වනවා.  දේශපාලනයේ නියැලෙන සහ නියුලුණු ස්ත්‍රීන් තුළත දේ කාරණාව සම්බන්දයෙන් පැහැදිළි මතයක් නැති අතර එය ඉතාම කණගාටුවට කරුණක්.

 

කාන්තාව හා මාධ්‍ය සැමූහිකයේ අධ්‍යක්ෂිකා සේපාල කෝට්ටේගොඩ ප්‍රකාශ කළේ “දීර්ග කාලයක් තිස්සේ කැබිනට් අමාත්‍යංශයක්ව පැවති කාන්තා කටයුතු අමාත්‍යංශය කැබිනට් නොවන අමාත්‍යංශයක් ලෙස පහල හෙලීම තුළ පෙනෙන්නේ ස්ත්‍රීන් ගැටළු  වලට දෙන වටිනාකම පහළ දමා ඇති බවයි.”

කාන්තා කටයුතු අධ්‍යාපන අමාත්‍යංශය යටතට පත් කිරීම පිළිබදවත් ලොකු ගැටළුවක් තිබෙනවා, ප්‍රායෝගිකව ස්ත්‍රී ගැටළු වලට මැතිහත් වන්නේ කෙසේද යන්න ගැන. උදාහරණයක් විදියට ස්ත්‍රීන්ට එරෙහි හිංසනය ගත්තොත් අධ්‍යාපනය කියන්නේ හිංසනය වැළැක්වීමේ එක් ප්‍රවේශයක් පමණයි. හිංසන වලට මුහුණ දෙන ස්ත්‍රීන් වෙනුවෙන් කොහොමද අධ්‍යාපනය මගින් පහසුකම් සලසන්නේ?

පැවති කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය පිළිබදවත් තිබුණු මතවාදී ගැටළුවක් තමයි ඇයි කාන්තාවන් හා ළමයින් එක් අමාත්‍යංශයක් යටතේ පවත්වා ගන්නේ කියන එක. මොකද ඉන් අදහස් වෙනවා ළමයින් පිළිබද කටයුතු ස්ත්‍රීන්ගේ වගකීමක් බව. අධ්‍යාපන අමාත්‍යංශය යටතට ළමා කටයුතුත් පවරලා තියෙනවා. පවුල පිළිබද ඇති වගකීම් සැම දෙනාටම තිබෙනවා. ස්ත්‍රීන්ට විතරක් නෙමෙයි.

 

කැබිනට් අමාත්‍යශය නැවත පිහිටුවන ලෙස ඉල්ලා විවිධ මට්ටම් වල ස්ත්‍රී ක්‍රියාකාරිණියන් තිස් දෙදෙනෙකු විසින් අත්සන් කරන ලද ලියවිල්ලක් අගෝස්තු 13 වන දා ජානාධිපතිවරයා වෙත භාර දී තිබේ.

“අප සියලු දෙනනා පුදුමයට පත් කරමින් 40 වසරක ඉතිහාසගේ ප්‍රථම වතාවට නව රජයක් විසින් කාන්තා හා ළමා කටයුතු පිළිබද අමාත්‍යංශය කැබිනට් මට්ටමේ අමාත්‍යංශයක විෂය පථයෙන් බැහැර කර තිබේ.

ඉතා ඉහළ වැදත්කමක් ඇති මෙම අමාත්‍යංශය රාජ්‍ය අමාත්‍යවරයෙකුට පවරා ඇති අතර, ඔහුගේ විෂය පථය තුළට කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා වන පුළුල් විෂයන් රැසක්  ඇතුළත් කර ඇත.

මෙයින් ඇගවෙන්නේ අවම සම්පත් හා සීමිත මැදිහත්වීම් අවශ්‍ය වන කෘෂිකාර්මික බෝග වගා කිරීම, කිතුල් සහ කජු හෝ බතික් වැනි සුළු කර්මාන්තත වලට සමාන තත්ත්වයක්, කාන්තාවන් හා රටේ අනාගතය වන දරුවන් යන දෙපාර්ශවය වෙත ලබා දී ඇති බවයි.

කාත්තාවන් සහ දරුවන් ආශ්‍රිත නොවිසදුණු ගටළු රාශියක් රට තුළ පවතින තත්ත්වයක් තුළදී මෙලෙම එම අමාත්‍යංශය වෙනත් අමාත්‍යංශයක් කටතට ගැනීම කිසි සේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවකි. යෝජිත රාජ්‍ය අමාත්‍යංශය කාර්යක්ෂම සහ ප්‍රගතශීලී සේවාවක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය.” යනුවෙන් එම ලියැවිල්ලේ සදහන් වේ.

මෙවර මැතිවරණ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදන ව්‍යුහය තුළ ස්ත්‍රී සහභාගීත්වය තව දුරටත් පහළ ගොස් ඇත. කැබිනට් හා රාජ්‍ය අමාත්‍යංශ දෙවර්ගයේම සිටින්නේ ස්ත්‍රීන් තිදෙනෙකු පමණි. මෙය දශක ගණනාවක් පුරා කාන්තා සංවිධාන විසින් සමානාත්මතාවය උදෙසා ගෙන යන අරගලය පිටුපසට ඇදීමකි. කැබිනට් අමාත්‍යංශය ඉවත් කිරීම තුළ ප්‍රතිපත්ති සම්පාදකයන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට ස්ත්‍රීන්ට තිබුණු ඉඩ ඉඩද මේ රජයෙන් අහිමි කර තිබේ.

සමානාත්මතාවය පිළිබද  අපගේ සිහිනය සැබෑ කර ගැනීමට නම් නැවත මුළ සිටම සිතිය යුතු කාලය පැමිණ ඇති බව පෙනේ. සමානාත්මතාවය සහිත සමාජයක මූලික අඩිතාලම අපගේ ඉගෙනීමයි. නමුත් අපේ රජයේ ඇත්තේ ගැහැණු පිරිමි කියා වෙන් වුණු පාසල්ය. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් කියා බෙදුණු පාසල්ය. සිංහල දෙමල කියා වෙනස් කෙරුණු පාසල්ය. උගන්වන්නේ ගැහැණු වැඩ පිරිමි වැඩ කියා වෙන් කරලාය.

එකම විෂය මාලාව ඉගෙන ගත්තත්, එකම විභාගයට පෙනී සිටියක් පිරිමි දරුවන් හා ගැහැණු දරුවන් වැඩෙන්නේ වටිනාකම් පද්ධති දෙකක් තුළය. ඒ වටිනාකම් පද්ධති දෙකට මග පෙන්වන්නේ ගැහැණු කම හා පිරිමි කම පිළිබද ඇති පුරුෂ මූලික ඉගැන්වීමය. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ ගමන් කරන ස්ත්‍රීන් 90%ක් ලිංගික හිංසන වලට බස් හා දුම්රිය තුළ ලක් වන්නේ මේ වෙනස් වටිනාකම් පද්ධති දෙක නිසාය. බස් රථයක් තුළදී කාන්තාවකගේ පස්ස මිරිකීම “කමක් නැහැ – කරේ නැත්තං පිරිමියෙක් නෙමෙයිනේ” යන බලපුළුවන්කාරම ගොඩ නංවන්නේ ඒ වටිනාකම් පද්ධතියයි.

ඒ නයින්, සමානාත්මතාවය ඇති කිරීම සදහා අධ්‍යාපනයට ඇති කාර්යභාරය අති මහත්ය. ස්ත්‍රීන්ගේ ගැටළු වලට තිරසාර විසදුම් ගෙන ආ හැක්කේ ඒ ගැටළු වලට තිරසාර විසදුම් අවශ්‍ය බව විශ්වාස කරන ප්‍රතිපත්ති සම්පාදකයන් හරහා පමණි. ඒ පරම්පරාව ගොඩ නැවීම ස්ත්‍රී ව්‍යාපාරයේ මූලෝපායක් වනවානම්, අධ්‍යාපන අමාත්‍යංශය අපටම කියාපු තැනයි.

පුරුෂ මූලික ආයතන, ව්‍යුහ හා ප්‍රතිමාන මගින් ස්ත්‍රීන් මත පටවා ඇති පීඩනය නැති වන්නේ පුරුෂ මූලික ක්‍රමය කඩා බිද දැමීමෙන් පමණි. එය බිද දමන පරම්පරාවක් ගොඩනංවමු.

පබා දේශප්‍රිය.

Social Share: