සමනලයෝද ඡන්ද දායකයෝය

2018 නොවැම්බර් 15.

තුෂාර මනෝජ් විසිනි.        

ශ්‍රී ලංකා දේශපාලනය වෙන කවරදාවත් නැති තරම් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. පාර්ලිමේන්තුව, ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව. නීතිය හා අවනීතිය, අගමැතිවරයා , එහාට මෙහාට පනින ගෙම්බන් යනාදී වචන පසුගිය සති දෙක පුරාවටම නිතර දෙවේලේ අසන්නට ලැබුණි. දේශපාලන කාරණා සම්බන්ධයෙන් වහා කිපෙන හා උනුවෙන හදවත් ඇති මිනිසුන් පවත්නා තත්ත්වය සම්බන්ධ විශාල වුවමනාවකින්, විශාල කුතුහලයකින් සිටින අතර, තමන්ගේ ජීවිත සම්බන්ධයෙන් හා තමන්ගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් කුමක් වේ දැයි සිතමින් සිටින මිනිසුන් ප්‍රමාණයක් ද සිටී. ඉහතින් දැක්වූ නිතර භාවිත වන වචන මාලාව අතරට එකතු වූණ අලුත්ම වචනය වූයේ සමනළ ජීවිතය හා සමණල රෑනයි. පසුගිය පස් වෙනිදා පාර්ලිමේන්තු වට රවුමේ පැවති එක්තරා රැළියකදී ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයා විසින් මෙම වචන දෙක භාවිතා කරමින් කියා සිටියේ පසුගිය කාලයේදී රටට හා ආර්ථිකයට සිදු වූ බොහෝ හානි සම්බන්ධයෙන් සෘජුවම රනිල් වික්‍රමසිංහ මහතා වග කිව යුතු බවයි. ඔහු රටේ දේශීයත්වය, සංස්කෘතිය, අපේ කම යනාදිය පසෙකට ලා නව ලිබරල් වාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවයි. දේශපාලනය වෙනුවට ඔහු සමනළ ජීවිතයකට ඇතුළත් වූ බවයි. එමෙන්ම කැබිනට් මණ්ඩලයේ තීරණ ගත්තේ රජයේ ඡ්‍යෙෂ්ඨ ඇමතිවරුන් නොව, රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ සමනළ රෑන බවයි. ජනාධිපති වරයාගේ මෙම ප්‍රකාශය එම වේදිකාවේ සිටි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයින්ට මෙන්ම පැමිණ සිටි ආධාරකරුවන්ටද මහත් වින්දනයක් ලබා දුන් අතර, එම ප්‍රකාශය  රැලියට මහත් උද්යෝගයක් ලබා දෙන ආකාරයද වීඩියෝ දර්ශනවලින් දැකිය හැකි විය.

මෙයට ප්‍රතිචාර වශයෙන්   සමරිසි ප්‍රජාව හා සමරිසි අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටින ක්‍රියාධරයින් විසින් මාධ්‍ය හමුවක් හා ලිබර්ටි වට රවුමේ නිහඞ උද්ඝෝෂණයක් පවත්වා ජනාධිපති වරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය පළ කරන ලදී. රජයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා විසින් පැවසූයේ ජනාධිපති වරයාගේ ප්‍රකාශය සමරිසි ප්‍රජාව ඇතුළු විවිධ ලිංගික ප්‍රජාව ඉලක්ක කරගෙන සිදු කළ එකක් නොව, ඔවුන්ට අපහාස කිරීමේ අරමුණින් සිදු කළ එකක් නොව, රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීමට සිදු කළ එකක් බවයි. එහෙත් ශ්‍රී ලංකාවේ ජීවත්වන සමරිසි ප්‍රජාව, සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව එම සාධාරණීකරණය පිළිගැනීමට කැමති නැත.

ජනාධිපතිවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් කළේ පළමු වරට නොවේ.  ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීම සම්බන්ධයෙන් යුරෝපා කොමිසම විසින් නිර්දේශ කර තිබුණු මානව හිමිකම් යෝජනා අතර එකක් වුයේ ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 හා 365 අ වගන්ති යටතේ එන සමරිසිභාවය අපරාධයක් ය යන්න නිර් අපරාධිකරණය කිරීමට පියවර ගත යුතුය යන්නයි.  මේ සම්බන්ධ සාකච්ඡාව 2017 ජනවාරි මාසයේදී පැවති අතර, එවකට විදේශ අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ එම යෝජනාව ජනාධිපති වරයා විසින් ප්‍රතික්ෂේප කළා පමණක් නොව ඒ සම්බන්ධයෙන් මාධ්‍යවලට පවා අදහස් දැක්වීය. පසුගිය වසරේදී සම්පාදනය කළ 2017-2021 වර්ෂ සඳහා වූ ජාතික මානව හිමිකම් සැලැස්මට ඇතුළත් කිරීමට යෝජනා කර තිබූ සමරිසි පුද්ගලයින් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත වූවන්ගේ මානව හිමිකම් පිළිගැනීම හා ප්‍රවර්ධන කිරීම සම්බන්ධ යෝජනා වාර්තාවට එකතු කිරීම ප්‍රතික්ෂේප වූවා පමණක් නොව මාධ්‍යවලට ඒ සම්බන්ධ අදහස් දැක්වීය. ඒ සියලු අවස්ථාවලදී ජනාධිපති වරයා ගේ අදහස වූයේ අප සමාජය තුළ පවතින ශිෂ්ටත්වය, සදාචාරය, දේශියත්වය යනාදී දේවල් සමරිසිභාවය නිර් අපරාධීකරණය කිරීම වැනි දේවල් වලින් නැති විය හැකි බවයි.  ලෝක සෞඛ්‍ය සංවිධානය, අන්තර් ජාතික මනෝ විද්‍යා සංගමය හා ලෝකයේ මානව මිහිකම් දර්ශක වල හා සංවර්ධන දර්ශක වල පෙරමුණේ සිටින රටවල් සමරිසිභාවය අපරාධයක් නොවන බවට තීන්දු කර ඇති පමණක් නොව තමන්ට දැනෙන, තමන්ගේ මනසට හැගෙන පුද්ගලයාට ආදරය කිරීමට , ලිංගික කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබා දී තිබියදීත් 2015 ට පෙර පැවති රජයේ කීර්තිමත් සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි ඔහුට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ හා අන්තර් ජාතික මනෝ විද්‍යා සංගමය විසින් සමලිංගිකත්වය අතිශය සාමාන්‍ය මනෝ භාවයක් හා හැසිරීමක්ය යනුවෙන් දක්වා ඇති නියමයන් පිළිපැදීමට අපහසු වී තිබේ. ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස වන්නේ එම නියමයන්ට වඩා අප රටේ පවතින ශිෂ්ටත්වය, සංස්කෘතිය, සදාචාරය හා අපේ කම වටිනා බවයි.

ජනාධිපති වරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමරිසි ප්‍රජාව හා සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් වලට ගරු කරන, එහෙත් සමරිසි ප්‍රජාව නොවන දහස් සංඛ්‍යාත මිනිසුන් කම්පාවට පත් වූයේ ඇයි ද යන්න අප සිතා බැලිය යුතුය. පසුගිය වසර දෙකකට අධික කාලයක් තිස්සේ ඉරිදා දිවයින පුවත්පත මගින් අප සාකච්ඡා කළේ සමරිසියන් යනු මිනිසුන්ය යන මූලික අඩිතාලමේ සිටය. විවිධ ජන වර්ග, විවිධ ලිංගික අනන්‍යතාවන්, ජාති, ආගම්, කුල මේ සියල්ලට වඩා වටින්නේ මිනිසා ය යන මූලික කරුණ බව අප විසින් පසුගිය කාල සීමාවේදී තහවුරු කර ඇත. විශේෂයෙන් සමරිසි පුද්ගලයින් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත වූවන් සම්බන්ධව කතා කිරීමේදී හා ලිවීමේදී නිවැරදි භාෂා භාවිතයක් යොදාගන්නේ කෙසේද, ඔවුන් සම්බන්ධ නිවරැදි හා යථා ස්වරූපය තේරුම් ගනිමින් ඔවුන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කළෙමු. සමරිසි ප්‍රජාවට අපහාස කිරීමේ අදහසින් හා ඔවුන් සමච්චලයට පත් කිරීමේ අදහසින් සමනළයා යන වචනය භාවිතා කිරීමේ වැරැද්ද පමණක් නොව එහි ආදීනව පවා සාකච්ඡා කළෙමු. ජනාධිපති වරයාගේ ප්‍රකාශය මගින් ඔහු උත්සාහ කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන නොහැකියාව හා ඔහුගේ ලිංගික දිශානතිය එකට සම්බන්ධ කිරීම බව එම අවස්ථාව දුටු ඕනෑම පුද්ගලයෙකුට තේරෙන කරුණකි. ඒ ඔවුන්ගේ දේශපාලනයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ජීවත් වන සමරිසි ප්‍රජාවට දේශපාලනයක් නොමැත. ඔවුන්ට රනිල් වික්‍රමසිංහ මහතා ද මහින්ද රාජපක්ෂ මහතා ද යන්න වැදගත් නැත. ඔවුන් තුළ තමා දරන දේශපාලන අදහස හා තමන් කැමති දේශපාලනඥයා සම්බන්ධයෙන් පෞද්ගලික අදහසක් පැවති හැකි නමුත්, රටේ ජනාධිපති වරයා විසින් පිරිසක් කුල්මත් කිරීමට සමනළ වචන භාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රසාදයක් නැත.

ජනාධිපති වරයා හෝ කිසියම් ඕනෑම පුද්ගලයෙකු ප්‍රසිද්ධියේ මෙම වචන භාවිතා කිරීමේ ඵල විපාක විඳීමට සිදුවන්නේ අහිසංක සමරිසි ප්‍රජාවට බව ඔවුන් මොහොතකට වත් සිතන්නට නැතුව ඇත. මේ දැන් පාසලේ ඉගෙනුම ලබන සමරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවීය දරුවා මොන තරම් ප්‍රමාණයකින් අපහාසයට හා සමච්චලයට ලක් වෙනවා දැයි ඔවුන් සිතන්නේ නැත. විශ්ව විද්‍යාලයේදී, කාර්යාලයේදී, පවුල තුළදී, ආගමික ස්ථානවලදී. හමුදා බැරැක්ක වලදී, පොලිස් ස්ථානවලදී පමණක් නොව, රෝහල් සායනවලදී පවා ඔවුන් අපහාසයට හා සමච්චලයට ලක් වන බව සිතන්නේ නැත. ශ්‍රී ලංකාවේ නීතියෙන් පමණක් නොව, මූලික මිනිස් අයිතිවාසිකම් වලින් පවා පළවා හැරෙන සමරිසි ප්‍රජාව සම්බන්ධයෙන් සමාජය කතා කරන දේවල් සිතන්නේ නැත. ජනාධිපති වරයාගේ ප්‍රකාශය බරපලත වන්නේ එහෙයිනි. සමරිසි පුද්ගලයින්ට අපහාස කිරීමේ, සමච්චල් කිරීමේ පූර්වාදර්ශය සපයන්නේ රටේ පළමුවැනි මිනිසා නම්, 2015 ජනවාරි මස 08 වැනිදා ශ්‍රී ලංකාවේ ලක්ෂ 62 කට වැඩි මිනිසුන් වැඩියෙන්ම විශ්වාස කළ පුද්ගලයා නම් බරපතල භාවය ඇත්තේ එතැන බව පැවසිය යුතුමය. පසුගිය කාල සීමාව තුළ සමරිසි ප්‍රජාවගේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අංශු මාත්‍රයක හෝ උත්සාහයක් ගත්තේ නම්, එම සියලු උත්සාහයන් ගඟට කැපු ඉණි බවට පත් වන්නේ මෙවැනි ප්‍රකාශ හරහා නැවත වතාවක් සමරිසි ප්‍රජාව ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවට හිරිහැර කිරීමට හා ඔවුන්ව හිංසනයට ලක් කිරීමට සමලිංගික භීතිකාවෙන් පෙළෙන මිනිසුන් ධෛර්යවත් වන නිසාය.

පැවසිය යුතු විශේෂ කරුණක් ඇත. ශ්‍රී ලංකාවේ ජීවත් වන සමරිසි ප්‍රජාව ජනාධිපති වරයා සම්බන්ධයෙන් විශාල විශ්වාසයකින් පසු විය. 2014 නොවැම්බර් මාසයේදී ඔහු ආරම්භ කළ නව දේශපාලන ගමනේ කොටස් කරුවන් රාශියක් අතර, සැඟවුණු අහිංසක බලාපොරොත්තු ගොන්නක් සමග සමරිසි ප්‍රජාවද සිටියහ. ඔවුහු දේශපාලන රැස්වීම් සංවිධානය කළහ. සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමග එක්ව ජනාධිපති වරණය වෙනුවෙන් වැඩ කළහ. ජනාධිපති වරයා විසින් ලබාදුන් පොරොන්දු අතර, වැදගත්ම දෙය වූයේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමයි. සමහර විට  අප ඔහුව වරදවා වටහා ගත්තා විය හැකිය. ඔහු මානව හිමිකම් යනුවෙන් අදහස් කළ කට්ටලය තුළ සමරිසි ප්‍රජාව නොසිටින්නට ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණයෙන් 3%ක් පමණ වන සමරිසි ප්‍රජාව තවමත් දෑස් දල්වා බලා සිටී. ගරු ජනාධිපති තුමණි! ඡන්ද දායකයින්ගෙන් 3% ක් යනු පොඩි ප්‍රමාණයක් නොවේ. මිලියන 15.7 ක් පමණ වන සමස්ත ඡන්ද දායකයින්ගෙන් 3% ක් යනු ලක්ෂ පහකට ආසන්න පිරිසකි. අද දින සමහර විට ඔවුන්ගේ ඡන්ද ප්‍රමාණය ඔබට නොවැදගත් විය හැකිය. එහෙත් ඔබගේ ලක්ෂ 62 ක ඡන්ද අතර ඔවුන්ගේ ඡන්ද විශාල ප්‍රමාණයක් තිබුණ බව පමණක් මතක තබා ගන්න. පෙර සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවට දේශපාලන පක්ෂයක් නැත. ඔවුන්ගේ දේශපාලනය යනු තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ දේශපාලනයයි. ඔවුන්ගේ දේශපාලනය යනු 1883 දී සංග්‍රහ කරන ලද විකාර දණ්ඩ නීති සංග්‍රහයට අනුව සමලිංගික මිනිසුන් දඩයම් කිරීමට පොලීසියට අවසර ලබා දී ඇති, 365 හා 365 අ වගන්ති වෙනස් කිරීමේ දේශපාලනයයි. දණ්ඩ නීති සංග්‍රහයේ පැවසෙන පරිදි ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ සිදුකරන තදබල අශෝබන ක්‍රියා යනු කුමක් දැයි තේරුම් කර ගැනීමේ දේශපාලනයයි.  අප ඔබගෙන් බලාපොරොත්තු වුයේ අපගේ දේශපාලනයට ඔබ සම්බන්ධ කර ගැනීමයි. ඒ අප ඔබව විශ්වාස කළ බැවිණි. ඉදිරියේදී හෝ රටේ තිබෙන කුමන හෝ පක්ෂයක්, කුමන හෝ දේශපාලන කතිකාවක් ප්‍රසිද්ධියේ ඔවුන් සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පැවසුවහොත්, ඔවුන් සමග අත්වැල් බැඳ ගැනීමට අප සූදානම් බව ද මතක් කරනු කැමැත්තෙමි. අවසානයේ මතක් කළ යුතු වන්නේ මානව හිමිකම්, සමරිසි අයිතිවාසිකම් සියල්ල පසෙකින් තැබූවද, සමනළයින් යැයි ඔබ පවසන්නේ සමරිසි ප්‍රජාවට නම් එය ඔවුන්ට අභිමානයක් බවයි. සමනළයින් ද ඡන්ද දායකයින් බවයි.

උපුටා ගැනීම ඉරිදා දිවයින. 

Social Share: