2017 ඔක්තෝබර් 16.
… කෙනෙකුට පෞද්ගලිකව ලිංගික අයිතිවාසිකම් බලපාන්නේ කෙසේද සහ එම අයිතිවාසිකම් කෙනෙකුගේ දේශීය සංස්කෘතික පද්ධතිය තුළම වලංගු වීම හෝ කඩ කිරීම සිදු වෙන්නේ කෙසේ ද සම්බන්ධයෙනි.
සාමාන්‍යයෙන් සියලු දෙනා භුක්ති විඳින දෙයක් ලෙස අයිතිවාසිකම් නොපවතින සන්දර්භයක් තුළ, ලිංගිකත්වය ගැන කතා කිරීම තහංචි කරන ලද සමාජයක, ලිංගික අයිතිවාසිකම් ගැන කතා කිරීම පවා, මට අපහසු ය.
මගේ රට වෙන ලංකාවේ, උදාහරණයක් වශයෙන්, මගේ ලිංගික ඉතිහාසය සහ ලිංගික චර්යාව පිළිබඳ එක්තරා දුරකට ප්‍රසිද්ධියේ සිදු වෙන කතා බහ තිබෙන අතර, ඒවා විසින් මගේ සමාජ ක්‍රියාකාරීත්වයේ සියලු පැතිවලින් මා නිෂේධනය කරනු ලබයි. තනි අම්මා (සිංගල් මදර්) කෙනෙකු වශයෙන්, වසර ගණනාවක් තිස්සේ මගේ දරුවන් පිළිබඳ ප්‍රශ්න ද, ඔවුන්ගේ පියවරුන් පිළිබඳ ප්‍රශ්න ද, ඔවුන්ගේ පියවරුන් සමග ඇති සම්බන්ධතාවය පිළිබඳව ප්‍රශ්න ද, ඔවුන්ගේ උපත ‘පාරිශුද්ධ’ කරන උප්පැන්න සහතික නැතිවීම පිළිබඳ ප්‍රශ්න ද ආදී ප්‍රශ්න ගණනාවක් සමග වසර ගණනක් තිස්සේ ගනුදෙනු කරන්නට මට සිදු විය. මට දැනුනේ මේ කාරණා විසින් මගේ ලිංගික අයිතිවාසිකම් මෙන්ම, මගේ දරුවන්ගේ අයිතිවාසිකම් ද කඩ කරමින්, මගේ පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කළ බව යි. එනමුදු, අපේ සංස්කෘතීන් තුළ මේ ආකාරයේ ආක්‍රමණයන්ට අනුමැතියක් ඇත. හැමෝම හිතන්නේ ඔබේ ජීවිතය ගැන විශේෂයෙන් පෞද්ගලික/ ලිංගික චර්යාව ගැන ඔවුනට යමක් පැවසිය හැකි බවයි.
මා වෙතින් නික්ම නොයන එක් මතකයක් වන්නේ මගේ දුවට අවුරුදු 10ක් පමණ වෙද්දී සිදුවීමකි. මම සගරාවක් කියවමින් සිටි අතර – මෙය ප්‍රකාශයට පත් කර තිබුනේ රැඩිකල් සහ පශ්චාත් නූතනවාදී යැයි කියා ගන්නා පිරිසක් විසිනි. මේ සඟරාවේ මගේ ජීවිතය විවේචනය කර තිබුනේ මම වේදිකාවක තනපටයක් නොමැතිව ගී ගැයූ කාරණය ද ඇතුළත්වය. ඇය මගේ උරහිසට උඩින් එය කියෙවූවාය. ඒ දවස්වල මං දැන් ඉන්නවාට වඩා කෙට්ටුය, රැඩිකල් ය, මගේ තන සඟවා ගැනීමට හේතුවක් මා නොදුටු අතර, එබැවින් මා තනපට ඇන්දේ නැත.
මේ සඟරා ලිපියෙන් හැඟවුනේ තනපටක් හැඳ නොසිටීම යනු යට-ඇඳුමක් ඇඳ නොසිටීම යන කාරණයට වඩා වැඩි දෙයක් බවත් – එයින් අදහස් වූයේ මම ලිංගිකව නිදහස් සහ ලිංගික කටයුතු සඳහා යොදා ගැනීමට හැකි කෙනෙක් බවත්, වේදිකාවක් උඩ උඩඟු ලෙසින් ඒ බැව් රඟපා පෙන්වන ආකාරයකින් හැසිරෙන බවත්ය. මෙම රැඩිකල් පුද්ගලයන්ට පවා මෙය ඉවසා ගත නොහැකි විය. ඉතින් මගේ දුව මගෙන් ඇසුවේ ‘අම්මි, ඔයා බ්‍රා එකක් ඇන්දෙ නැහැ කියලා, ඒ අයට තියෙන ප්‍රශ්නෙ මොකක්ද?’. ඇත්තටම, ප්‍රශ්නය එයයි.
මේ වර්ගයේ කෙනෙකුගේ පෙනුම සම්බන්ධ මහජන කතා බහ බොහෝ විට සම්බන්ධ වෙන්නේ පුද්ගලයන්, බොහෝ විට කාන්තාවන් ‘ලිංගිකකරණය’ කිරීමටය. සමහර අවස්ථා සහ සිදුවීම් ලිංගික ස්වභාවය සමග සම්බන්ධ කරන්නේ, ඇත්ත වශයෙන්ම ලිංගික යැයි කිසිසේත්ම නොසිතූ කාරණා සම්බන්ධයෙන්ය. මගේ ‘ලිංගික’ අයිතිවාසිකම සම්බන්ධයෙන් මෙය කඩ කිරීමක් වෙන අතර, මට හිතෙන්නේ ගැහැණියක් වීමට මට ඇති අයිතිය, ලිංගිකව, මගේම අයිතිවාසිකමට අනුව, මගේ ශරීරය විඳීමට සහ එහි සියලුම විවිධ විභවතා යොදා ගැනීමට මට ඇති අයිතිය, පිටස්තරයන් විසින් මගේ ශරීරය මෙසේ යොදා ගත යුතු යැයි මට උපදෙස් දීමෙන් තොරව භුක්ති විඳීමට හැකි විය යුතුය.
ලිංගික අයිතිවාසිකම් යනු ලිංගිකව හැසිරීම සම්බන්ධයෙන් නොවේ, ඔබ ලිංගිකව හැසිරෙන්නේ කා සමග යන්න සමඟත් නොවේ, එසේ නැත්නම් කෙසේද හෝ කොතන ද යන්න සම්බන්ධවත් නොවේ. එය ඔබේ ජීවිතය නිදහස්, ලිංගික සත්ත්වයකු ලෙස එනම් තවත් බොහෝ දේවල් ඇතුළුව – මවක ලෙස, සහෝදරියක ලෙස, යෙහෙළියක ලෙස, මිතුරියක ලෙස, එකට වැඩ කරන සේවකයකු ලෙස ජීවත් වීම සම්බන්ධවයි. මට ලිංගික අයිතිවාසිකම් ඇතැයි ප්‍රකාශ කරන සෑම මොහොතකම, මා යෙදෙන්නේ එක්තරා සටනකය. මගේ සටන ලිංගිකරණය කිරීමට, ලිංගික භාණ්ඩයක් බවට පත් කරනු ලැබීමට, පාලනය කරනු ලැබීමට එරෙහිව කරන සටනකි.
සුනිලා අබේසේකර විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද ලිපියේ කෙටි පරිවර්තනයකි. පර්වර්තනය කලේ දමිත් චන්දිමාල්ග
ඉංග්‍රීසි පිටපත සදහා මෙතැන ක්ල්ක් කරන්න.