නාගරීක කාන්තාව තුළ ගෘහස්ථ හිංසනය පිළිබද දැනුවත්භාවය කොතැනද?

2019 ජනවාරි 25.

ආර්.කේශානි විසිනි

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කියූ සැනින් අපේ හිතට නැගෙන්නේ ගෘහස්ථ  හිංසනයට  ලක්වෙන්නේ පිටිසර, නූගත්, බේබදු සැමියන් සිටින අසරණ  කාන්තාවන්  පමණක්  කියායි. නමුත් ගෘහස්ථ  ප්‍රචණ්ඩත්වයට  ලක් වන්නේ නූගත්  කාන්තාවන් පමණක් මද? මගේ විශ්වාසයේ හැටියට නම් ලංකාවේ  60% පමණ උගත්, නගරබදව ජීවිත්වන, දිනපතා සුරාපානය නොකරන සැමියන් සිටින, කාන්තාවන්  ගෘහස්ථ හිංසනයට නිතර ලක් වන බවත් ඒවා බොහෝ විට අප්‍රසිද්ධ ව පවතින බවත්ය .

12265795_1053192831369141_7469973020191374353_o

ඇත්තටම  ගෘහස්ථ  හිංසනය , ගෘහස්ථ  ප්‍රචණ්ඩත්වය කියලා  ගොඩක් බර වචන වලින් අපි කතා කළාට මෙහි සරලම තේරුම තමයි නිවසක් තුළදී ( විවාහය  හෝ එකට වාසය කිරීම වැනි ගෘහස්ථ  පරිසරයකදී) එක් පුද්ගලයෙකුට සිදු විය හැකි කරදරයක් (ප්‍රචණ්ඩත්වයක් හෝ අපයොජනයක්). දෙමාපියන්ට, දරැවන්ට, වැඩිහිටියන්ට එරෙහි හිංසනය ද මෙයට අයත් වෙනවා. ශාරීරික ,මානසික, වාචික, චිත්තාවේගත්මක, ආර්ථික, ආගමික, හා ලිංගික  අපයෝජන ඇතුළු කාරණා ගණනාවක්  ගෘහස්ථ  හිංසනයට ලක්වෙන පැතිකඩවල් කිහිපයක්  ලෙස පෙන්වා දීමට පුළුවන් .

මෙහිදී බලාපොරොත්තු වනුයේ විවාහක කාන්තාවට තම සැමියා විසින් සිදුවන ප්‍රණ්ඩත්වයට එරෙහිව ගතයුතු  ක්‍රියාමාර්ග  පිළිබඳව  දැන සිටියත්, ඇය කිසිදු  ක්‍රියාමාර්ග යක් නොගෙන, එයට එරෙහිව නොනැගී සිටීමට  හේතු  වී ඇත්තේ මොනවාද? යන්න පුළුල්  පැතිකඩක්  ඔස්සේ විග්‍රහ  කිරීමට යි.

බොහෝවිට ග්‍රාමීය නූගත් දුප්පත්  කාන්තාවගේ අව්‍යාජත්වය නිසා ඇයට වන හිංසනය ඇය නොවළහා පැවසුවත්, උගත් නාගරික කාන්තාව ඒ සියල්ල  යටපත් කරගෙන  ජීවත් වන ස්වරෑපයක් බොහොමයක් අවස්ථාවල දක්නට ලැබෙන බව නම් පැවසිය යුතුමයි. මෙවැනි කාන්තාවක් මුණ ගැහුණුවිට ඔබ මා ඇයට පවසාවි “ඔබ මානව හිමිකම් යන්න ,  පොලිසිය ට ගොස් පැමිණිලි කරන්න , කාන්තා සංවිධානය කට පවසන්න” වැනි දහසකුත් දේ. ඒත් ඇය ඒ කිසිදෙයක් නොකරාවි. මේ පිළිබඳව සිතන ඔබ මා සිතාවි ඇය උගත් වූවාට මෝඩ තැනැත්තියක් ලෙසට, නැතිනම් ඇයගේ කර්මයලෙසට. මෙහීදී අප ඇයට  මෙවැනි දෑ පවසමින් ඇගිල්ල දික් කිරීමට පෙර ඇය ඒ සියල්ල  වසාගෙන ජීවිතය ගත කිරීමට හේතු වූයේ මොනවාදැයි  සොයාබැලීමට අවශ්‍යමය.

ඒ අතරින්,

විවාහය  දෙකඩ වේ යැයි බිය

බොහෝ විවාහක  කාන්තාවන්  ගෘහස්ථ  ප්‍රචණ්ඩත්වයට  එරෙහිව  නැගී නොසිටින්නේ තමාගේ විවාහය  දෙදරා යාවි යැයි ඇති භිය නිසාමය. පොලීසියකට, කාන්තා කාර්යංශයකට හෝ කාන්තා සංවිධානය කට ඔවුන් නොයන්නේ ඔවුන් සිදු කරන කාර්‍යභාරය නිසි දැනුවත්  වීමක් නොමැති කම නිසාමය. බොහෝ කාන්තාවන්  සිතනුයේ ඔවුන්ට  දික්කසාද  වීමට  උපදෙස්  දෙන බවකි. ඒ කාර්යාල  හරහා විවාහය  රැකගෙන හිංසනයන් ගෙන් මිදීමට අවශ්‍ය  වාතාවරණය  සකස්  කර දෙන බවක් බොහෝ නාගරීක  උගත්  කාන්තාව  වුවද දන්නේ නැත. නිසි දැනුවත්  වීමකින් තොර නිසා සියලු  හිංසනයන් ට ලක් වෙමින් මුළු ජීවිත කාලයම ගතකරන කාන්තාවන්  අපට දැක ගත හැකි වෙයි.

දෙමාපියන්ගෙන් නෑදෑ යින්ගෙන් වන බලපෑම්  සහ අසන්නට  සිදු වන බැනුම් ,කතන්දර වලට ඇති බිය

තම ස්වාමියාගෙන් සිදුවන හිංසනයන්ට එරෙහිව නැගීසිටීමට  ශ්‍රී ලාංකික  කාන්තාව ට තවමත් නොහැකි වී ඇති තවත් කාරණයක් නම් දෙමාපියන් සහ නෑදෑයන්  අතර බැම්ම ‍ය. ඇය කොතරම් උගත් වුවත් මෙමෙ සමාජය තුළ ඇයට ඇගේ දෙමාපියන්ට  නෑදෑයන් ට යටත් වීමටම නිරන්තරයෙන්  ඇයට සිදුවෙයි. දෙමාපියන් දරැවන් අතර මිත්‍රශීලී සම්බන්ධතාවයකට වඩා දෙමාපියන්  විසින් දරුවන් පාලනය කර තම අභිමතය දරුවන් ලවා ඉටු කර ගැනීමට කටයුතු  කරන තත්වයක්  බොහෝවිට  දක්නට ලැබෙයි. ශ්‍රී ලාංකික  සමාජය  තුළ  අදටත් මුල් බැස ගිය අදහස වන්නේ යෝජිත විවාහය ප්‍රේම සම්බන්ධතාවයක් තුළින් ඇති කරගන්නා විවාහය ට වඩා සුදුසු බවය. බොහෝ කාන්තාවන්  තමාගේ දෙමපියන්ට හෝ තම සනුහරේ  කිසිවකුට ඇයට සිදු වන හිංසනය  පැවසීමකටවත් නොයන තත්වයක්  දක්නට ලැබෙයි. එයට ප්‍රධාන  හේතුව තම පාර්ශවයෙන් පවා සිදුවන  සිත් රිදවීම් විය හැකිය. ප්‍රේම සම්බන්ධයක් මුල් කරගෙන සිදු වූ විවාහය ක් තුළ දී නම් ඇයට අසන්නට  සිදුවන බැනුම් තවත්  උග්‍ර වනවා නොඅනුමානය .

“තමන්ගේ කැමැතටනේ කරගත්තේ.,”

” ගියා නම් විදගෙන ඉන්න”,

” අපි ඕවා කලින් කිව්වනේ, දැන් කරන්න  දෙයක් නෑ”

“බැදලා ගියාට  ප්ස්සේ මහ ගෙවල් නෑ”,

“පවුල්  කඩාගෙන  ඇවිත්  පොඩි එවුන්ව හොද තැනකට දෙන්න තියෙන එකත් නැති කරන්න  හදන්න එපා. “.

මෙවැනි කතා කියමින් තමාගෙම ලෙයින් උපන් දරුවා අසරණ  කරන්න  තරම් අපේ දෙමාපියන් හරිම කුරිරු ය.

මෙවැනි දෙමාපියන්  ඥාතින් ඉන්නා තම පාර්ශවයකට ඇය ඇගේ අසරණ  කම පවසාවි ද? තමන්ට සිදුවන  හිංසනය කොතරම් දරුණු වුවත් ඇය ඒවා විද දරා ගනිමින් ජීවිතය ගතකිරීමට පෙළඹෙන්නේ  නිතැතින්මය. එවිතරක්ම නොවේ ඥාතින් සිදුකරන සිහින් අපහාසාත්මක උපහාසාත්මක දෑ විද දරා ගැනීමට ද ඇයට  සිදු වෙයි. තමන්ගෙ ම මිනිසුන්  එසේ කරද්දී ඇය සමාජය ට කේසේ ශක්තිමත් ව මුහුණ  දෙන්නද? ඇයට යා යුතු දිශාවක් ඇයට මග පෙන්වීමක් ආදරණීය ලෙස අවශ්‍ය  නොවන්නේද?

රැකියා ස්ථාන යේදී සිදුවන  අපහසුතා  නිසා

වර්තමාන ය වන විට ශ්‍රී  ලාංකික කාන්තාව  ගෙදර  ආර්ථික ‍ය ශක්තිමත්  කිරීමට  රැකියාවල්  වල නිරත වනවා බොහෝ විට අපට දක්නට  ලැබෙයි. එය ඉතාමත්  හොඳ  ප්‍රවණතාව යකි. ඇයට යම් තරමක හෝ නිදහසක් ඒකාකරි බවින් මිදීමට  එය කදිම අවස්ථාව කි. නමුත් ඇයට නිවස තුළ සිදුවන හිංසනයන් ඇය සැගවීමට උත්සාහ  දරනු නොඅනුමානය. ඒ රැකියා ස්ථානය  තුළ දී ඇය ගොඩ නගාගෙන සිටින ප්‍රතිරෑපයට යම් හානියක් සිදු වේ යැයි  යන බිය නිසාවෙනි.  ඇය පිළිබඳව  විවිධ  කට කතා පැතිරවීමට එය තියුණු ආයුධ යක් විය හැකිය. එසේම එවැනි තත්වයක්  දැන ගත් සැනින් කාන්තාව ගේ අසරණ  කමින් අයුතු ප්‍රයෝජන  ගන්න ට උත්සාහ  කරන බොහෝ පිරිමින්  අප සමාජය  තුළ  සිටිනා නිසාවෙනි. ඉතින් එම කාන්තාව  සියල්ල දරාගනිමින් ජීවිත් වීමට උත්සාහ  ගන්නේ තවත් නැති  කරදර පටලවාගෙන තමාගේ  ජීවිතය  නූල් බෝලයක් කර ගැනීමට  ඇති අකැමැත්ත නිසාමය.

තමාට ආදායම්  මාර්ගයක් නොමැති  නිසා

උසස් රැකියාවල්  වල නිරත වූවන් ,   විශ්වවිද්‍යාලය අධ්‍යාපනය  පවා ලැබූ බොහොමයක්  කාන්තාවන් තම දරුවන්  නිසා, තම සැමියා නිසා, තම රැකියාව අත් හැර නිවසට වී ගෘහණිය න් ලෙසට සිටිනවා  දැක ගැනීමට  පුළුවන් . එහෙත් කාලයාගේ  ඇවෑමෙන්  දරුවන්  ලොකු මහත් වෙද්දී  මව ට රැකියාවක්  සොයා ගැනීමට  ඇති වයස් සීමාව ඉක්මවා ගොසිනි .මෙවන් පරිසරයක්  තුළ  ඇය ගෘහස්ථ  ප්‍රචණ්ඩත්වයට  ලක් වුවහොත් එය කෙතරම්  ඛේද ජනකද? ඇයට නිසි ආදායම්  මාර්ගයක්  නොමැති  නිසා ඇය ස්වාමියා ගෙන් යැපෙන  තත්වය ට පත්ව  ඇත. ඇයට ස්වාධීන ව ජීවත් වීමට ආර්ථික  ශක්තිය ක් නොමැති පසුබිමක හිංසනයට  එරෙහිවීමක් ඇයගෙන් අපට බලාපොරොත්තු  විය හැකිද? නැත. ඇය ඔහුට එරෙහි වුවහොත් ඇයට ජීවත්වීමට  විදිහක් නැත. ඇය කේසේ ඇගේ දරැවන්  පෝෂණය  කරන්නද? කෙසේ අධ්‍යාපනයක් ලබා දෙන්නද? එවන් පසුබිමක දී ඇය සියල්ල  දරා සිටිනවා හැර කුමක් කරන්න ද?

දරුවන් සිටී නම් ඔවුන්  අසරණ  වන නිසා

දරුවෙක් කියන්නේ දෙමාපියන්ට  සම්පතක්. ඒ දරුවන් ගේ අනාගතය සුරක්ෂිතභාවය පෝෂණය  ආදරය  මේ හැමදෙයක්ම අම්මා තාත්තා  දෙන්නම ගොඩක්  වෙලාවට හිතන දේවල් කීවොත් නිවැරැදි යි.  දරුවෙක්ට කුඩා කළ සිටම දෙමාපියන්  දෙදෙනාගේම ආදරය රැකවරණය  අවශ්‍යවන්නේ නිතැතිනි. මවගේ ආදරයත් පියාගේ රැකවරණයත් ලබන දරුවා සතුටින් කුරැල්ලෙකු සේ ජීවිත් වුවත් හිංසනයට  ලක් වන මවක් සිටින දරුවකු බොහෝවිට ප්‍රකෝපකාරී හැසිරීමක් හෝ දැඩි නිශ්ශබ්දතාවක් පෙන්නුම් කිරීමක් දක්නට  ලැබෙයි. ප්‍රචණ්ඩකාරී  පසුබිමක්  දරුවෙකුගේ මනසට හානිකර ලෙස බලපාන බව නම් කිව යුතුමය. විවාහය  දෙදරා ගිය පවුල් වල වැඩියෙන් ම මානසික  ආතතියට ලක් වන්නේ දරුවන් ය.

අප කෙසේ කීවත් දරුවකුට ඔහුගේ මවත් පියාත් දෙදෙනාම අත්‍යවශ්‍යය. ඔහු මේ දෙදෙනටම එක සේ ආදරය දක්වයි. දරුවන් යහපත් මානසික  මට්ටමකින් යුක්තව සමාජයේ යහපත් පුරවැසියන් කීරීම මවකගේ ඒකායන ප්‍රාර්ථනයයි. යහපත් පුරවැසියන් ලෙස තම දරුවන් සමාජගත කිරීමේ අවශ්‍යතාවය දන්නා බොහෝ උගත් නාගරීක  කාන්තාව තම වේදනාවන් දරාගනිමින් ඒවා දරුවන් ට ඒවා නොපෙන්වා ජීවත් වනුයේ දරුවගේ යහපත නිසාමය. දරුවන් ලොවක් ඉදිරියේ අසරණ  කරන්නට ඇති ඇකැමැත්ත නිසාමය. තමන් ගෘහස්ථ  හිංසනයට  එරෙහි වූ කළ ඒ සියල්ල තම දරුවන් කෙරෙහි ද අහිතකර ලෙස බලපායි යන අනියත භිය  නිසාමය. පාසල් යන වයසේ පසු වන දරුවන් සිටින මවක්  නම් ඇය මේ තමන්ට  සිදුවන හිංසනයන් නොපවසන්නේ මේ පිළිබඳව  දැනගතහොත් දරුවාගේ යහළු මිත්‍රාදීන් ඔහුව අසරණ භාවයට පත් කරයි කියනා බිය නිසා වන්නට පුළුවන. එසේම ගැහැණු  දරුවන්  සිටිනා මවක් අනාගතයේ දරුවන් ගේ විවාහය කදී ඒවා අනිසි ආකාරයෙන් බලපා දරුවන්ගේ අනාගතයට කුමන් ආකාරයෙ බලපෑමක්  හෝ සිදුවෙතැයි  කල්පනා  කරන නිසාවෙන් තමන්ට සිදුවන සියලු හිංසනයන් දරාගනිමින්  ජීවිතයට මුහුණ  දෙයි

ආදරය  නිසාවෙන්

තවත් සමහර කාන්තාවන් තමාට කුමන ආකාරයේ හිංසනයකට ලක් කළද මේ මගේ සැමියා මට පොඩි කාලේ ඉදන් ආදරය කරපු කෙනා, එයා මගෙ දරුවන්ගෙ තත්තා, එයාට කේන්තිය පාලනය කරගන්න බැරි  වෙන්න ඇති, එයාට වැඩ කරන තැන ප්‍රශ්නයක් ඇති වගේ කාරණා තමා තුලින්ම හිතාගෙන ඇයට සිදුවන ශාරීරික  හිංසනයන් පවා නොසලකා  හරිමින් ජීවිතය  ගතකරන ආකරයක් දක්නට ලැබෙයි. ඇයව  කෙතරම් ශාරීරික  මානසික හිංසනයට  ඔහු ලක් කළත් ඇය නිරන්තරයෙන්  ඔහුට ඇයගේ සිත තුලින්ම සමාව දෙන්නට ඇය දෙපාරක් නොසිතයි. ඔහු ඇයට කොතරම්  හිරිහැර  කළද ඇය ඔහුට පණ ලෙස ආදරය  කරනා කාන්තවන් මුණගැසී ඇති බවත් කිව යුතුමය. මෙවන් කාන්තාවන් ද කිසි විටක ගෘහස්ථ  ප්‍රචණ්ඩත්වයට  එරෙහි වන්නේ නැත. ඔවුන් ඒ සියල්ල ආදරයේ නාමයෙන් ඉවසාගෙන සිටියි.

තමාගේ අරක්ෂාවට තර්ජනයක්  වේ යැයි ඇති භිය  නිසා

යම් හෙයකින් තමන් නීති මාර්ගයකට පිවිසුණහොත් නැතිනම් කාන්තා සංවිධානය ක පිහිට ඉල්ලා සිටියහොත් ඇයට තම ස්වාමියා කුමන ආකාරයකින් ප්‍රතිචාර  දක්වයි දැයි ඇය තුළ සාධාරණ  සැකයක්  ඇතිවනවාමය. ඔහු ඇය සමග වෛර බැදගෙන ඇයගෙන් පළිගන්නට සිතයිද එසේත්  නැතිනම් දරුවන්ට  කරදරයක්  හිංසාවක්  කරයිද යන සැකය තුළ ඇය සියල්ල දරාගනිමින්  ජීවිතය ට මුහුණ  දෙයි.

තමාගේ පවුලේ ගරැත්වයට හානියක්  වේ යැයි  භිය  නිසා

තවත් බොහොමයක් කාන්තාවන් තමන් එවැනි  හිංසනයකට ලක් වෙමින් ඒ පිළිබඳව  සගවාගනිමින් ජීවත්වීමට උත්සහ කරනුයේ තම පවුලේ  ප්‍රතිබිම්යට ඇයගෙන් හානියක්  සිදු වේ යැයි  සිතන නිසාවෙනි. ඇගේ පියා සැමියා සමාජයේ උසස් යැයි සම්මත  රැකියාවක නිරත වන්නේ නම් ඇය ඇයට  සිද්ධ  වෙන හිරිහැරයන් සගවා  ගන්නේ  ඔවුන් ගේ රැකියාවලට  ඒ හරහා යම් බලපෑමක්  සිදු  වෙතැයි  සිතන නිසාවෙනි. සමහරක්  දෙමාපියන්  තම දරුවන්ට  පවසන්නේ

” අපේ පවුල්  වල දැලි ගාන්න එහෙම ලෑස්ති  වෙන්න එපා. ”

“අපේ පවුල් වල වෙච්ච දේවල් ද මේවා. ඕවා කාටවත් ඇහෙන්න කියන්න එහෙම එපා ”

කියලායි .ඉතින් එවන් දෙමාපියන්  සිටින කාන්තාවක්  කුමක් කරන්න ද සියල්ල දරා සිටිනවා හැර?

පවුලම යැපෙන්නේ තම ස්වාමියා ගේ මුදල් මත වීම නිසා

සමහරක් නිවාස වල මවට පියාට නිසි ආදායම් මාර්ගයක්  නොමැති  නිසා ඔවුන්  දෙදෙනා, බාල සහෝදර සහෝදරියන්  යැපන්නේ  ඇයගේ සැමියාගේ ගේ ආදායම්  මත විය හැකිය. ඇයගේ බාල සහෝදර  සහෝදරියන්  අධ්‍යාපනය  ලබයි නම් ඇය තවත් අසරණ වෙයි. ඇය ඇයට සිදුවන හිංසනයට  එරෙහිව  නැගී සිටියහොත්  ඇයගේ දෙමාපියන්ව රැක බලාගන්නේ කෙසේද ? බාල සහෝදර සහොදරියන්ට උගන්වන්නේ කෙසේද ? යන ගැටලු  රාශියක්  ඇගේ සිතේ පැන නගියි. තම දියණියට සිදුවන  හිංසනයන් දැක දැකත් එයට එරෙහි  වීමට ඔවුන්ට  නොහැකිව  ඇත්තේ ඔවුන්  යැපෙන්නේ  දියණියගේ ස්වාමියා  මත වීම නිසාවෙනි. සමහරවිට  එයම හේතු වක් කරගෙන  කාන්තාව  සැමියන්ගේ අඩන්තේට්ටම්  වලට ලක් වනවා විය හැක. එවන් විටක දී ඇය දරාසිටිනවා හැර කුමක් කරන්න ද?සියලු බර ඇගේ උරමත පැටව තිබියදී.

සමාජයේ කොන් වෙතැයි බිය

විවාහය  දෙදරා ගිය කාන්තාව ශ්‍රී ලාංකික  සමාජය තුළ කොන් වන්නේ නිතැතින්මය. ලෝකයේ දියුණුව කතා කරන ඒ පසු පස හඹා යන ලාංකිකයා මිත්‍යාමය  අදහස් වල ගිලී  මනුෂ්‍යත්වය  අමතක කරමින් තවත් කෙනෙකුගේ හිත් පාරන්නේ පුදුම සහගත අයුරිනි. සුභ ගමනක් පිටත් වන්නට සූදානම් වීමකදී දික්කසාද වුණ කාන්තාවක් මුණ ගැසීමම ඉතාම අසුභ දෙයක් ලෙස සලකන්නට තරම් අපේ ලාංකික යා තවමත් නොදියුණු ය. සමහරවිට එවැනි කාන්තාව ක් මුහුණ ට මුහුණ  හමුවුවහොත් එම ගමන නොගොස් නැවත  ගෙදර යන පිරිස්ද  තවමත් අප සමාජයේ නැතුවාම නොවේ. එවන් පරිසරයක් තුළ ශ්‍රී ලාංකික  කාන්තාව ගෘහස්ථ  හිංසනයට  එරෙහිව  නැගී සිටියිද? විවාහය  දෙදරා ගියහොත්, සමාජය තුළ ඇය මෙවැනි මානසික  හිංසනයකටත් විවාහය  තුළ ඇය ගෘහස්ථ  හිංසනයටත් ලක් වෙයි නම් ඇය අසරණ  නොවන්නේද? ඇය කුමන තීරණය කට එළඹුණත් ඇය සෑම අතින්ම පීඩනයක්ට පත් නොවන්නේද? මෙවැනි තත්වයකදී ඇය ඇගේ සිතත් සමගින් නිරන්තරයෙන් පොරබදන වා විය හැකිය . ඇය කුමන තීරණය ක් ගත යුතුද යන්න පිළිබඳව .මෙවැනි සමාජ පසුබිමක් තුළ ඇය හිංසනයට එරෙහි නොවී එය විද දරාගනිමින් ජීවිතය  ගතකිරීමට පෙළඹීම  අරැමයක් නොවෙයි .එබැවින් අප ශ්‍රී  ලාංකික  සමාජය තුළ  මුල් බැහැගත් මෙවැනි  පහත් මිත්‍යාවන් අතුගා දැමීමට දැන් කාලය එළඹ ඇත.එසේම සෑම දෙයක්ම සමසිතින් දරාගනිමින් ප්‍රචණ්ඩත්වය ට එරෙහිව නැගීසිටීමට අප කාන්තාව  ශක්තිමත්  කළ යුතුමයි. මෙය සමාජ අවශ්‍යතාවක්මය.

මේ අයුරින්  බලන කළ විවිධාකාර  හේතූන්  මත උගත් නාගරීක  කාන්තාව  ඇයට සිදුවන  ගෘහස්ථ  ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් නොකර, ඒවා කිසිවකු සමගින් සාකච්ඡා  නොකර, සියල්ල  තනිව දරාගනිමින් ඉතා කටුක  ජීවිත ගතකරන ආකාරය ක් දැක ගැනීමට  පුළුවන. එහෙත් සමාජය ඉදිරියේ ඒ කිසිවක් නොපෙන්වා දසන් පෙන්වා සිනාසෙමින් තමා ඉතා සුන්දර  ජීවිතය ක් ගත කරන බව ලොවට පෙන්වන කාන්තාව න් කී  දාහක් නම් මේ මිහිතලය මත සිටිනවා ඇත්ද?

සයිබර් අවකාශයේ  සැරිසරන  අපට මුහුණු පොත හොදට හුරැපුරැදුය .සමහර විවාහක  යුවළ වල් එහි පළකරන  ජායාරූප දුටු විගසින් අපට සිතෙනුයේ ඔවුන්  ඉතාම සතුටින් ජීවිත් වන බවයි. නමුත්  යථාර්ථය  එය නොවේ. එහි පිටුපස  ඉතා ඛේද්නීය කතන්දර යක් තිබිය හැක. එහෙත් ඇය ඒ කිසිවක් ලොවට පෙන්වන්නේ නැත.එවැනි කාන්තාවන්  සමාජය  ඉදිරියේ කිසිවක් කතා නොකරන  නිසා ලෙහෙසියෙන් සැබෑතතු එළිකර ගැනීමට අපහසුය.

ඔවුන්  එය දරාගැනීමට ම නොහැකි තැන ජීවිතයෙන් වන්දි ගෙවනවා  විය හැකිය.එසේත් නොමැති නම් ඇය මානසික රෝගියෙකු විය හැකිය. මෙසේ දරාගනිමින්  මානසික  ආතතියකින් ජීවිතය  ගෙවනවාට වඩා නිදහස් මනසකින් සතුටින් ජීවිතය  ගතකිරීමට  සෑම  මනුෂ්‍යයෙකුම කැමති ය. එය සෑම මනුෂ්‍ය යෙකුගේම අයිතියකි.

 

එසේ අසරණව සිටින කාන්තාවට සතුට සැනසීම ලබාදීමට  හැකිනම් එය කෙතරම් අගනා කාරනයක් වන්නේද? එවන් කාන්තාවන් ගෘහස්ථ  ප්‍රචණ්ඩත්වයට  එරෙහිව නැගී සිටීමට අවශ්‍ය  නම් අප මුලින්ම පොලිසිය , කාන්තා සංවිධාන වැනි කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනා ආයතන පිළිබඳව  විශ්වාසයක් ගොඩ නැගිය යුතුය. ඒ ආයතන හරහා සිදුවන්නේ  කුමක්ද  කාන්තාව ට  සරණ වන්නේ කුමන  ආකාරයකින්ද යන්න ඇය පුළුල් ව දැනුවත්  කළ යුතුමය. ඇයට ඉහත කී තත්වයන් මගහරවාගෙන ජීවිතයට ශක්තිමත් ව තනිවම හෝ මුහුණ  දීමට හැකිය යන විශ්වාසය ඇය තුළ  වර්ධනය  කර, එයට එම ආයතන  සහයෝගය නිරන්තරයෙන්  ලබාදෙන්නේ නම් ,නාගරීක  උගත් කාන්තාව වුවද ගෘහස්ථ  ප්‍රචණ්ඩත්වයට  එරෙහිව නොපැකිලව  ඉදිරිපත්  වනවා නොඅනුමානය .

 

ආර්.කේශානි      තරුණ මවකි. කලක් බැංකු  නිලධාරීනියක ලෙසද කටයුතු  කළ ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරීනියකි.

 

Two Blues [Converted]

Voices & Changes අරමුදලේ සහයෝගයෙනි.

 

Social Share: