2019 අප්‍රේල් 10.
වින්ද්‍යා ගම්ලත් විසිනි.
‘‘2009 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ අධ්‍යාපනය හැදෑරීමට මා වැනිම ඈත දුෂ්කර ගම් දනව් වලින් පැමිණි නවක සිසුන් පිරිස අපේ සීනියර්ස්ලා විසින් පිළිගත් අන්දම සිහිපත් වේ. එකල කොළඹට අලුත් වූ නිසාම පළමු වසර ගතකරන්නට වූවේද හොස්ටල් තුළය. නවක සිසුන්ට රැග් කිරීම සම්බන්ධයෙන් රජය එකල ද දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කෙරුණ ද එය අප සිතූ තරම් අමානුෂික නොවූ අතර නවක සිසුන් දැන හඳුනාගැනීම, විශ්වවිද්‍යාලයේ ඉතිහාසයේ කියාදීම, විශ්වවිද්‍යාල සාහිත්‍යය කියාදීම, ඉඳහිට කැට සෙලවීමට යාම හා සීනියර් සිසුන් විසින් සංවිධානය කරන කුඩා කුඩා උද්ඝෝෂණ ආදියට ද මෙකලදී සහභාගී වන්නට සිදුවිය. ‘වේදිකාවෙන් මහපොළවට‘ කලා උළෙලට පවා මුලින් අකමැත්තෙන් වුවද සහභාගී වන්නට සිදුවුවද විශ්වවිද්‍යාල ජීවිතයෙන් වසර 10 ගතවී ගෙවෙන අද දවසේදී එවැනි අත්දැකීම් ද අප ජීවිතය පොහොසත් කරන්නට හේතු වූ බව පසක් කර දෙයි.
‘අපි යන්නේ කොයිපාරේ – නිශ්මි බාලේ ගිය පාරේ‘
‘කපා කපා කෑලි කපා – අප වළකනු සිතනු එපා‘ යනුවෙන් කෑ මොරදෙමින් විටෙක ඉන් විනෝදයක් ද ලබමින් බෝඩ් ලෑලි උස්සාගෙන, දණහිස තෙක් දිගු සාය හා වැළමිට තෙක් දිගු බ්ලවුස් ඇඳගෙන මේ උද්ඝෝෂණ වලට එක්වීමු.
ලෙක්චර්ස් යාමට ප්‍රථම දවසේ පළමු රාජකාරිය වූවේ සුමංගලය ඉදිරිපිට තිබෙන විශ්වවිද්‍යාලයේ ආදී කර්තෘන් වූ හික්කඩුවේ සුමංගල හා වැලිවිටියේ සෝරත හිමිවරුන්ගේ ප්‍රතිමා ඉදිරිපිට නමස්කාර කිරීමය. ලෙක්චර්ස් අවසන් වී දවසේ ඉතිරි කාලය හොස්ටල් වලට යාමට අවකාශය නොතිබුණු අතර බශා (බණ්ඩාරනායක ශාලාව) ඉදිරිපිට ඇති තණකොළ වලින් පිරුණු බිමේ වාඩිවී එක බත්පත වටා පස්දෙනෙකු පමණ එකමුතු වී දහවල් ආහාර ගන්නට සිදුවිය. එක් දිනක කොළඹ ඉපද හැදුණු වැඩුණු අප වැනි නවක සිසුවියකට හැන්දකින් කන්නට ගොස් සීනියර් අක්කලාගෙන් බැණුම් අහන්නට සිදුවූ අන්දම ද මතකය.‘‘
නවකවදය යනු කුමක්ද ?
මෙරට උසස් අධ්‍යාපන ආයතනයන් හි බොහෝවිට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් කණිෂ්ඨ සිසුන් වෙත සිදුකරන සරදම්, ශාරීරික හිංසන, පරුෂ සැලකීමක් හෝ ඔවුන් තුළ මානසික අස්ථාවරත්වය, බිය හා චකිතය ඇතිකරවන සුළු සිදුවීමක්, නැතිනම් එදිනෙදා ජීවිතයේදී සිදුනොකරන ක්‍රියාවක් ඉටුකිරීමට කරන බලකිරීමක් නවකවදය ලෙස අර්ථ දැක්වේ.
සාමාන්‍ය ව්‍යවහාරයේදී නවකවදය එලෙසින් අර්ථ ගැන්වූවද නවකවදය මැඬලීම සඳහා 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවදය සහ වෙනත් ස්‌වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත තුළ මෙය දක්වන්නේ, අධ්‍යාපන ආයතනයක ශිෂ්‍යයකුට හෝ කාර්ය මණ්‌ඩලයේ සාමාජිකයකුට ශාරීරික හෝ මානසික හානියක් හෝ මානසික වේදනාවක් හෝ බියක් සිදු කරන හෝ සිදු කිරීමට ඉඩ ඇති යම් ක්‍රියාවක් යනුවෙනි. මේ අනුව වාචික බැණීම් පවා නවකවදය ලෙස අර්ථ දැක්විය හැකිය.
අන් රටවල් සමග සංසන්දය කර බැලීමේදී අතිශය දරුණු ලෙස මෙරට විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන පද්ධතිය තුළ නවකවදය දරුණු ලෙස මුල්බැසගෙන පවතී. ඉන්දියාව, බංග්ලාදේශය හා ලංකාව වැනි දකුණු ආසියානු රටවල තිබෙන උසස් අධ්‍යාපන ආයතන තුළ නවක සිසුන් සම්බන්ධයෙන් අනුගමනය කරන වතාවත (Ritual) මෙනමින් හැඳින්වෙන බව ද ඒ සම්බන්ධ අර්ථකතන තුළ දක්වා තිබේ. ප්‍රංශය, පෘතුගාලය හා උතුරු ඇමරිකාව ආශ්‍රිතව ද මෙවැනිම ක්‍රමවේදයක් භාවිත වේ. කෙසේවුවත්, ජ්‍යෙෂ්ඨ සිසුන් – නවකවදයට ලක්වන සිසුන් අපහාසයට ලක්කිරීම, ඔවුන්ට අඩන්තේට්ටම් සිදුකිරීම, අතිශය නින්දා සහගත වදන් වලින් ඔවුන්ව ඇමතීම සිදුවේ. මේ අඩන්තේට්ටම් ශාරීරික මෙන්ම මානසික වශයෙන් විඳින්නට සිදුවේ.
ලංකාවේ විශ්වවිද්‍යාල වල එය සිදුවෙන අන්දම
‘‘ඒයි ෆ්‍රෙෂී, කොහෙද යන්නේ, මෙහේ වරෙං, අර බලු පැටියාගෙන් අහපං, ‘අපි පැටියෝ ඔයා ඔතන ඉන්නේ කියලා‘, ඇයි උඹ පානිය දාන්නේ ?, ආ ?‘‘
- සුළු නවකවදය
මේ විශ්වවිද්‍යාල බිමකදී සුළු අන්දමින් නවකවදය ක්‍රියාත්මක වන ආකාරයයි. වාචික හිරිහැර වලින් පමණක් ක්‍රියාත්මක වන මෙවැනි අවස්ථාවකදී ප්‍රශ්න ඇසීම, තැති ගැන්වීම, බලහත්කාරයෙන් ගරු බුහුමන් ලබාගැනීම, කතා කිරීමේ අයිතිය සීමා කිරීම, කවට රංගනයන් ඉදිරිපත් කිරීමට පෙළඹවීම, නවක විද්‍යාර්ථීන්ට විශේෂිත ඇඳුම් ඇන්ඳවීමට කටයුතු කිරීම සිදුවේ. (උදා – සිසුවියන් දිගු සාය හා අත්දිග බ්ලවුස් පමණක් ඇඳිය යුතුවීම, සිසුන්ට කළු පැහැ කලිසම, අත්දිග කමිස ඇන්ඳවීම ආදිය)
- උග්‍ර නවකවදය
‘‘ඒයි, අර බලපං, කොල්ලෝ සෙට් එකක් ග්‍රවුන්ඩ් එක පැත්තට දුවනවා, ඇඟේ ඇඳුමක්වත් නැහැ වගේ, සීනියර්ස්ලා අපේ කොල්ලන්ට රෑ තිස්සේ වදදෙනවා‘‘
සිසුන් නිරුවත් කිරීම, ලිංගික හිංසන ක්‍රියාකාරකම් සිදුකිරීම, ලිංගික ක්‍රියාකාරකම් වල යෙදවීම, කටුක තත්ත්ව යටතේ ව්‍යායාම වල යෙදවීම හා කායික හිංසන ආදිය මීට ඇතුළත් වේ. (බොහෝවිට මෙවැනි ක්‍රියාකාරකම් වලට ගොදුරුවන්නේ නේවාසිකව නැවතී සිටින පිරිමි සිසුන්ය.)
කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුවෙකුගෙන් නවකවදය ගැන විමසු අවස්ථාවේදී ඔහු පැවසුවේ, පිරිමි ළමුන්ට සිදුවන කායික හිංසන අතිශය ප්‍රචණ්ඩකාරී බවයි. මේ ගැන වැඩිදුරටත් පැහැදිලි කරමින් ඔහු දැක්වූවේ,
‘රෑ 10 ඉඳන් 2, 3 විතර වෙනකල් ටවල් එක ඇඳගෙන පෝළිම් ගස්සවලා එක එක දේවල් කරන්න දෙනවා. ගොඩක් වෙලාවට ඇඟේ කිසිම ඇඳුමක් නැතිව ඩිප්ස් ගස්සනවා, ඩෙස්ක් උඩ නැගලා බයිසිකල් පද්දනවා, පුුටු අස්සේ බඩගාන්න දෙනවා, මේ නිසා ඇඟේ තුවාල හැදෙනවා වගේම විෂබීජත් ශරීරගත වෙනවා. ආයේ පාන්දර 4 ට විතර නැගිටින්න ඕන, නැගිට්ටේ නැත්නම් වතුර ගහලා නාවනවා. ඊට පස්සේ ‘රේඩියෝව‘ දානවා. හාස්‍යය වගේම කුණු හරුපත් තියෙන දේවල් මේකේදී කියනවා.
ප්‍රචණ්ඩත්වය
මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ හෝමාගම, දියගම තාක්ෂණික ආයතනයේ NDT පාඨමාලාව හදාරමින් සිටි සිසුවෙකු වූ 23 හැවිරිදි ශනිල්ක දිල්හාන් පසුගිය 31 වැනිදා ගෙළ වැළලාගෙන සියදිවි නසාගන්නට හේතුවූවේ නවකවදය නිසා ඇතිවුණු කම්පන තත්ත්වයයි. නවකවදය අතරතුරදී තමන්ට විඳින්නට සිදුවූ දැඩි මානසික කම්පනය දරාගත නොහැකිව ඒ සඳහා මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිටියදී ඔහු මෙලෙස සියදිවි නසාගෙන තිබේ. මරණයට පෙර ඔහු ලියු ලිපිය තුළින් ද නවකවදය නිසා විඳි දැඩි මානසික කම්පනය හෙළිදරව් කර තිබේ. මේ සිද්ධියත් සමග නවකවදය මෙරට විශ්වවිද්‍යාල පද්ධතියෙන් අතුගා දැමිය යුතු බවට වූ කතිකාව යළි ඉස්මතු වෙමින් පැවතීම සාධනීය ලකුණකි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හැදෑරූ අමාලි චතුරිකා 2015 වසරේදී පෙබරවාරි 16 වැනිදා සියදිවිනසාගන්නට හේතුවුවේද නවකවදයෙන් ඇතිවූ කම්පනයයි. ඇය ද සියදිවිනසාගන්නට පෙර තමන්ට අත්විඳින්නට සිදුවූ කෘර වදහිංසා ගැන ලිපියකින් පැවසුවාය. අමාලිගේ මව පොලිස් මූලස්ථානය, මානව හිමිකම් කොමිසමට ගොස් සිය දරුවාට සිදුවූ අසාධාරණය ගැන පැමිණිලි කළ ද මෙතෙක් සාධාරණයක් ඉටුවී නැත.
- විද්‍යාර්ථීන්ට නවකවදයේදී විඳින්නට සිදුවන අපහසුතා
දියගම තාක්ෂණික ආයතනයේ නම සඳහන් නොකළ සිසුවෙකුගෙන් එහි ක්‍රියාත්මක වන නවකවදය ගැන විමසීමු. එහිදී දෛනිකව සිදුවන නවකවදය ගැන ඔහු පැවසුවේ,
උදේ 6 වෙද්දි අපි කැන්ටිමට ගිහිං වාඩිවෙන්න ඕන. කෑම දෙන්නේ 7 ට විතර. මේ වෙලාවේදී ළමයි එකිනෙකාව දැනහඳුනාගන්න ඕන. අට දෙනෙක්ට විතර ඉඩ තියෙන තැනක හිරවෙලා ඉන්න වෙන්නේ. ඊට පස්සේ සීනියර්ස්ලා ඇවිත් මේ අතර ඉන්න එක ළමයෙක්ව නැගිටවලා අනික් හැම ළමයෙක්ම විස්තර කියන්න කියනවා. එකක් හරි බැරිවුණොත් කුණුහරුප වචන වලින් බණිනවා. කාලා පෝළිම් ගස්සවලා ලෙක්චර්ස් වලට යනවා. ලෙක්චර්ස් ඉවර වෙලත් වළට එන්න ඕන.
මෙතන ගැහැණු ළමයි, පිරිමි ළමයි හැමෝම ඉන්නවා. ලෙක්චර්ස් ඉවර වෙලා හොස්ටල් ගිහිං ආයේ හවස 6. 30 ඉඳන් අපි වළට එන්න ඕන. සාමාන්‍යයෙන් ගැහැණු ළමයි 9. 30 ට විතර වෙනකල් මෙතන තියාගන්නවා. පිරිමි ළමයි 10. 30 විතර වෙනකල් වළේ ඉන්න ඕන. කලා උළෙලවල් තියෙන දවස් වලදී පාන්දර 3 – 4 වෙනකල් වැඩ කළත් ආයේ උදේ 6 ට එන්න ඕන.
ලිංගිකත්වය පදනම් කරගත් නවකවදය
වෙනත් විශ්වවිද්‍යාල තුළ විශේෂයෙන්ම, නේවාසිකව නැවතී සිටින සිසුන්ට දැඩි දුෂ්කරතා වලට මුහුණදෙන්නට සිදුවේ. ඉහත විස්තර කළ අන්දමින් පිරිමි නේවාසිකාගාර තුළට පැමිණෙන ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් කණිෂ්ඨ සිසුන් නිරුවත් කිරීම පවා සිදුකරයි.
සමහර අවස්ථාවලදී සිය සහෝදර සිසුවියන් ඉදිරියේ අසභ්‍ය වදන් පැවසීමට පවා ජ්‍යෙෂ්ඨ සිසුන් අණකරන අවස්ථා ඇත. මෙවැනි අවස්ථාවකදී නවක සිසුන් දැඩි අපහසුතාවකට පත්වේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි අමාලි චතුරිකා සියදිවිනසාගන්නට පෙර ලිපියකින් පැවසුවේ ජ්‍යෙෂ්ඨ සිසුවියන් තමන්ව හුදෙකලා කොට අසභ්‍ය දර්ශන අඩංගු වීඩියෝ පට පෙන්වූ බවත් අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බවත්ය.
අප සමග අදහස් දැක්වූ අනන්‍යතාවය හෙළිකිරීමට අකමැති මොරටුව සරසවියට අනුබද්ධ දියගම තාක්ෂණික ආයතනයේ සිසුවා පැවසූ කරුණු අනුව නවකවදයේදී වඩාත් පීඩාවට පත්වන්නේ පිරිමි සිසුන්ය. ජ්‍යෙෂ්ඨ සිසුන් ලබාදෙන උපදෙස් අනුව ක්‍රියාත්මක නොවන අවස්ථා වලදී, නැතිනම් වට්ස්ඇප් කණ්ඩායම් ආදිය හරහා විශ්වවිද්‍යාලයේදී තමන්ට විඳින්නට සිදුවන අපහසුතා ගැන සිසුන් සංවාද කරනවිට එවැන්නක් ජ්‍යෙෂ්ඨයින්ට හසුවුවහොත්, එවැනි සිසුන් ‘අපාය‘ නම් ගොඩනැගිලි දෙකක් අතර පවති අඳුරු ස්ථානයකට ගෙනගොස් ‘මනෝ පුටුව‘ (පුටුවක් නොමැතිව පුටුවක හිඳගෙන සිටින අන්දමේ ඉරියව්වක හිඳීම) නම් කාර්යයේ නියැලිය යුතුවේ.
මෙම ‘මනෝ පුටුව‘ නම් විධි ක්‍රමය සිසුන්ට ශාරීරික අපහසුතා ගෙනදන කාර්යයක් වන අතර බොහෝ අවස්ථා වලදී සමබරතාවය පවත්වාගැනීමට නොහැකි සිසුන්, කොන්දේ ආබාධ පවතින සිසුන්ට පවා ජ්‍යෙෂ්ඨයින් අණදෙන්නේ ‘වැටෙනකල් ගහපං‘ යැයි පවසමිනි.
ජ්‍යෙෂ්ඨ සිසුන් කෝප වන අවස්ථාවලදී ‘පොන්නයා‘, ‘වේසි‘ වැනි වදන් වලින් පවා සිසු සිසුවියන් ආමන්ත්‍රණය කරනු ලබන අතර මෙවැනි අවස්ථාවකදී සමස්ත ශිෂ්‍ය කණ්ඩායම ඉදිරියේදී සිසුන්ගේ ආත්ම අභිමානයට හානිවන අතර පෞරුෂය ද බිඳවැටේ.
‘‘ෆිට් එක තියෙන අය, කොන්දේ අමාරු තියෙන අය මනෝ පුටු ගහද්දි සෑහෙන්න ලෙඩ වෙනවා. ලෙඩ වුණා කියලා එයාලට හොස්ටල් වලට යන්න දෙන්නෙත් නැහැ. රැග් එක අතරතුරදී ඇඬුවොත් තවත් බණිනවා‘‘ නම හෙළිකිරීමට අකමැති මොරටුව සරසවියේ තවත් සිසුවෙකු අප සමග පැවසුවේය.
අප හා සම්බන්ධ වූ කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුවෙකුගෙන් ලිංගිකත්වය පදනම් කරගත් නවකවදය ගැන විමසමින් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් සිසුවියන්ට ආමන්ත්‍රණය කරන්නේ කෙලෙසින්දැයි ඇසූ විට පැවසුවේ, ‘‘ලයින් වැඩි කෙල්ලොන්ට සමහර වෙලාවට හොඳටම බණිනවා. මං එක පාරක් කෙල්ලෙක්ට බැන්නා, ‘තොට ඔතනම ..අරිනවා‘ කියලා. පස්සේ මගේ හිතටත් අවුල් නිසා ‘සොරි‘ කිව්වා. අදටත් ඒ ළමයා මගේ දිහා බලන්නේ වත් නැහැ. ‘වේසි‘ කියලා පවා බැනපු අවස්ථා තියෙනවා‘‘ යන්නයි.
1975 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවූ නවකවදයෙන් ගැලවීමට නොහැකිව කෘෂි පීඨයේ ඉගෙනුම ලැබූ රූපා රත්නසීලී ‘රාමනාදන් ශාලාවේ‘ නේවාසිකාගාරයේ දෙවන මහලෙන් බිමට පැනීම නිසා ආබාධිත තත්ත්වයට පත්වූවාය. මහලෙන් බිමට පැනීමට මොහොතකට පෙර ඇගේ යෝනි මාර්ගයට ඉටිපන්දමක් ඇතුළු කොට තිබූ බව වාර්තාවන්හි සඳහන් වී තිබේ. මේ කම්පනය හේතුවෙන් 1997 දී ඇය සියදිවි නසාගත්තාය.
1993 රුහුණු විශ්වවිද්‍යාලයේ චමින්ද පුංචිහේවා, අගුණකොලපැලැස්ස කෘෂි පාසලේ ප්‍රසංග නිරෝෂණ, 1997 දී පේරාදෙණිය ඉංජිනේරු සිසුවෙකු වූ එස්. වරප්‍රකාශ්, 1997 දී රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවියක්, 1997 අම්පාර හාඩි තාක්ෂණික ආයතනයේ සිසුවෙකු වූ කැළුම් තුෂාර විජේතුංග, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඝාතනයට ලක්වූ (නවකවදයට විරුද්ධ වූ නිසා) සමන්ත විතානගේ ඝාතනය, 2011 වර්ෂයේදී රුහුණු විශ්වවිද්‍යාලයේ ආපනශාලාවක් තුළ දී නවකවදයට ගොදුරුවූ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ සිසුවියක්, ‘අංශ භාග’රෝගයට පත්වීම, 2016 වසරේදී නවකවද සිදුවීමක් අතර සිදු වූ ලිංගික හිංසනයකට අදාළව අධිකරණය ඉදිරියේ විභාග වුණු නඩුවක සාක්ෂිකරුවෙකු වූ ද නවකවදය හේතුවෙන් විශ්වවිද්‍යාලය හැරගොස් රැකියාවක් හැටියට ලොරියකට බඩු පටවමින් සිටි අඟුණකොලපැලැස්සේ, ආචාරිගම සිසුවෙකු වූ ඩී.කේ. නිශාන්ත පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමිය තුළ ම සියදිවි නසාගැනීම ආදිය නවකවදය හේතුවෙන් සිදුවූ ඛේදජනක සිද්ධි කීපයකි. නවකවදය හේතුවෙන් මේ වනවිට සිසුන් 15 දෙනෙකු පමණ මියගොස් ඇති බවට ගණන් බලා තිබේ.
දේශපාලනදැක්මක්නොමැතිවීම– ජ්‍යෙෂ්ඨයින්, කණිෂ්ඨසිසුන්නවකවදයටලක්කරන්නේ‘ඇරියස්‘ අල්ලන්නද?
සැබැවින්ම, නවකවදය අඛණ්ඩව දියත් වන්නේ විශ්වවිද්‍යාල සිසුන් අතර සමානාත්මතාවය දියත් කිරීමේ අරමුණින්ද ?, නැතිනම් තමන්ට පෙර සිටි ජ්‍යෙෂ්ඨයින්ගෙන් අත්විඳි නවකවදය ඊළඟ පිරිස ද අත්විඳිය යුතු බවට වූ වෛරී සහගත දැක්ම මීට බලපානවද ?
‘‘මං කෑවා නම් උඹලට දෙන්න ඕන”
කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් හි ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කලක් කටයුතු කළ අනන්‍යතාව හෙළිනොකරන සිසුවෙකුගෙන් නවකවදය ලබාදීමේ සැබෑ අරමුණ ගැන අප විමසූ විට පැවසුවේ,
‘‘එක්තරා විදියකින් මේක තමන්ට පහළින් ඉන්න සිසු පිරිස කෙරෙහි අධිකාරී බලය පැතිරවීමක් වෙනවා. ‘මං කෑවා නම් උඹලට දෙන්න ඕන‘ කියන මතයේ තමයි බොහෝදෙනෙකු ඉන්නේ. මේක කිසිම තේරුමක් නැති වැඩක් කියලා තේරෙන්න මැචුවර් වෙන්න ඕන. අපෙන් පස්සේ ආව සිසුන්ට ලොකුවට ෆිසිකල් ක්‍රියාකාරකම් නොදී ඉන්න අපි තීරණයක් ගත්තා. ඒ වුණත් ඔවුන්ට කෑමොර දෙන එකවත්, උපදෙස් පිළිපදින්නේ නැති වුණාම පහරදෙන එකවත් නැතිවෙන්නේ නැහැ.
අනිත් කාරණේ වෙන්නේ මේ රැගින් කරන්න බොහෝවිට එක්වෙන්නේ ගම්වල ඉඳලා ආපු අය. ගම්වලින් ආපු පිරිමි ළමයින්ටත් රැග් එක විඳින්න වෙන්නේ හොස්ටල් ඇතුළේ ඉන්න වෙන නිසයි. මොකද ‘අලයොන්ට‘ හොස්ටල් එකේ ඉන්න බැහැ. අවුරුදු 4 ක් බෝඩිම් වල ඉන්න තරම් අපිට සල්ලිත් නැහැ. ඉති අමාරුවෙන් හරි රැග් එක කාගෙන ඉන්න වෙනවා. කොළඹ ළමයි ලොකුවට සම්බන්ධ වෙන්නේ නැහැ. අනික විශ්වවිද්‍යාලය ඇතුළේ මේ අරගල කරන පිරිස ඒකෙන් එළියට ඇවිත් අනික් හැමදෙනාම වගේ බොහොම සාමාන්‍ය විදියට ජීවත්වෙනවා. ‘‘
‘‘අලවෙලා කැම්පස් එකේ ඉන්න බැහැ“
මොරටුව තාක්ෂණික ආයතනයේ අනන්‍යතාවය හෙළිදරව් කිරීමට අකමැති නවකවදයට ලක්වෙමින් සිටින පළමු වසර සිසුවෙකුගෙන් මේ ගැන විමසූ විට පැවසුවේ, ‘‘ළමයිගේ විස්තර අහගෙන එකිනෙකාව දැනහඳුනා ගැනීම නම් හරිම වැදගත්, මොකද නැත්නම් අපි කවුරුවත් අඳුරන්නෙත්වත් නැහැනේ. අනික ‘අලවෙලා‘ කැම්පස් එකේ ඉන්නත් බැහැ. ඒත්, කුණුහරුප කියලා, කෑගහලා, අතින් පයින් පහරදීම නම් අනුමත කරන්න බැහැ‘‘ යන්නයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසර අධ්‍යාපනය ලබන අනන්‍යතාව හෙළිදරව් කිරීමට අකමැති සිසුවියක් අප සමග පවසා සිටියේ, ‘‘රැග් සීසන් එකේදී ගොඩක් වෙලාවට කුණුහරුපෙන් අපට බණිනවා. සීනියර්ස්ලා අපෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න කලින්ම අපිට බැණලා ඉවරයි.
හැබැයි, ඒ දවස් වල මාධ්‍ය වලින් අපේ රැගින් ගැන හෙළිදරව් වුණු නිසා ලොකුවට වද විඳින්න වුණේ නැහැ.
අපිට පස්සේ ආව ළමයිට මම රැග් කරන්න අකමැතියි. ඒත්, අපේ සීනියර්ස්ලා බලාගෙන ඉන්න නිසා අකමැත්තෙන් වුණත් ඒ ළමයිට රැග් කරන්න අපිට යන්න වෙනවා. නැත්නම් ඒකටත් බැණුම් අහගන්න වෙනවා.‘‘ යන්නයි.
නවකවදය නිසා මෑතකාලීනව ඇතිවූ සිදුවීම්
මොරටුව විශ්වවිද්‍යාලයේ ශනිල්ක දිල්හාන්, සබරගමුව විශ්වවිද්‍යාලයේ අමාලි ගේ සියදිවිනසාගැනීම් නවකවදය නිසා මෑතකාලීනව ඇතිවූ ඛේදජනක සිදුවීම් වේ.
මීට අමතරව 2017 පෙබරවාරි 20 වැනිදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුන් 15 දෙනෙකු විසින් එම විශ්ව විද්‍යාලයේම පළමු වසරේ සිසුන් 8 දෙනෙකුට විශ්වවිද්‍යාල භූමියෙන් පිටත කුලී පදනම මත ගත් නිවසකදී විවිධ වදහිංසා පමුණුවමින් සිටියදී අත්අඩංගුවට ගැනුණි. මෙහිදී නවකවදයට ලක්වූ සිසුන් නිරුවත් කොට විවිධ ඉරියව් ආකාරයෙන් ව්‍යායාම්වල නිරත වන ලෙසද ලිංගික හෝමෝන උත්තේජක ඇති කරන ක්‍රියාවල නිරතවන අයුරින් විවිධ ක්‍රියාකාරකම් සිදුකරන ලෙසට පවසා ඇතැයි වධබන්ධනයට ලක්‌වූ සිසුන්ගේ ප්‍රකාශවලින් අනාවරණය විය.
නවකවදය මැඩලීම සඳහා පවතින නීතිමය ප්‍රතිපාදන
- සිවිල් පුරවැසියෙකු ලෙස සිය මානව අයිතීන් උල්ලංඝනය වීමකදී හෝ උල්ලංඝනය වීමට ආසන්න අවස්ථාවකදී ඒ බව දක්වමින් ව්‍යවස්ථාවේ 126 වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකළ හැකිය. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන් ද රටේ සාමාන්‍ය පුරවැසියන් වන බැවින් මේ අයිතිය නිතැතින්ම ඔවුන්ට හිමිවනු ඇත.
- නවකවදය මැඬලීම සඳහා 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවදය සහ වෙනත් ස්‌වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත ගෙන ආවේය. මෙම පනතින් ඉටු කරගැනීමට අපේක්‍ෂිත දේශපාලන අරමුණු ගැන මෙන්ම මෙහි භයානකත්වය පිළිබඳව ද මුල් අවස්‌ථාවේ විවිධ සංවාදයන් පැන නැඟුණ ද අද වන විට මෙය අප රටේ නීතියක් බවට පත් වී හමාර ය.
“අධ්‍යාපන ආයතනවලින් නවකවදය සහ වෙනත් ස්‌වරූපයේ සාහසික ක්‍රියා ද, කෲර, අමානුෂික සහ නින්දිත සැලකීම් ද තුරන් කිරීම සඳහා වූ පනතකි.” යනුවෙන් මෙම පනත පැනවීමේ පූර්විකාවේ සඳහන් වේ.
මෙම පනතේදී අධ්‍යාපන ආයතන යනුවෙන් අර්ථ ගන්වා ඇත්තේ,
- උසස් අධ්‍යාපන ආයතන
- 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ සයවන පරිච්ඡේදය යටතේ පිළිගත් යම් ආයතනයක්
- 1981 අංක 74 දරණ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනතින් පිහිටවූ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
- 1996 අංක 26 දරණ බුද්ධශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලය පනතින් පිහිටුවන ලද බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලය
- 1990 අංක 20 දරන තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන පනතේ 14 වැනි වගන්තිය යටතේ ලියාපදිංචි කරන ලද යම් ආයතනයක්
- 1995 අංක 29 දරන ශ්‍රී ලංකා උසස් තාක්‍ෂණ අධ්‍යාපන ආයතනය පනත යටතේ පිහිටුවන ලද යම් උසස් තාක්‌ෂණ ආයතනයක්
- 1979 අංක 64 දරන පිරිවෙන් අධ්‍යාපන පනත යටතේ පිහිටුවන ලද පිරිවෙන් අභ්‍යාස ආයතනයක් ද ඇතුළුව ඒ පනත යටතේ ලියාපදිංචි කරන ලද සහ රජයේ අරමුදලින් ආධාර ලබන පිරිවෙණක්
- ශ්‍රී ලංකා නීති විද්‍යාලය
- 1985 අංක 28 දරන ජාතික අධ්‍යාපන ආයතන පනතින් පිහිටුවන ලද ජාතික අධ්‍යාපන ආයතනය
- 1986 අංක 30 දරන අධ්‍යාපනික විද්‍යායතන පනතින් පිහිටුවන ලද අධ්‍යාපනික විද්‍යායතනයක් හෝ රජයේ අභ්‍යාස විද්‍යාලයක්, රජයේ පාසල් ආදිය
නවකවදය සිදුකරන පිරිසට හිමිවන දඬුවම් මෙම පනත තුළ දක්වා ඇත. ඒවානම්,
- පනතේ 2(1) වගන්තියට අනුව අධ්‍යාපන ආයතනයක් තුළ දී හෝ ඉන් පිටත දී හෝ නවකවදය සිදු කරන්නා වූ හෝ එහි ලා සහභාගි වන්නා වූ හෝ යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකරු වන අතර මහෙස්‌ත්‍රාත්වරයකු ඉදිරියේ පවත්වනු ලබන ලඝූ නඩු විභාගයකින් පසුව වරදකරු කරනු ලැබූ විට අවුරුදු දෙකක් නො ඉක්‌මවන කාලයක් සඳහා බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කරනු ලැබීමට යටත් විය යුතු ය
- වරද සිදු කරනු ලැබුවේ යම් තැනැත්තකුට එරෙහි ව ද ඒ තැනැත්තාට වූ හානිය වෙනුවෙන් වන්දි මුදලක් ගෙවන ලෙස ද නියෝග කළ හැකි ය
- පනතේ 2(2) වගන්තියට අනුව නවකවදය සිදු කරනු ලබන අතරතුර ලිංගික අතවරයක් හෝ බරපතල තුවාල හෝ සිදු කර තිබුණේ නම් සහ එවැනි වරදකට වරදකරු වීමේ දී අවුරුදු දහයක් නො ඉක්‌මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කළ හැකි අතර වන්දියක් ගෙවන ලෙස ද නියෝග කළ හැකිය
- පනතේ 3 වැනි වගන්තිය අනුව අධ්‍යාපන ආයතනයක යම් ශිෂ්‍යයකු හෝ කාර්ය මණ්‌ඩලයේ යම් සාමාජිකයකු හෝ තුළ බිය ඇති කිරීමේ චේතනාව ඇති ව එම තැනැත්තාට නීතියෙන් නියම කර නොමැති යම් ක්‍රියාවක් කරන ලෙස හෝ කිරීමට හෝ ඒ තැනැත්තාට අයිතිය තිබෙන යම් දෙයක් නො කර හරින ලෙස හෝ බල කිරීමේ චේනතාව ඇති ව එම ශිෂ්‍යයා ගේ හෝ කාර්ය මණ්‌ඩල සාමාජිකයා ගේ හෝ ශරීරයට, කීර්තියට හෝ දේපළට හානි කරන බවට වාචිකව හෝ ලිඛිතව හෝ තර්ජනය කිරීම වරදකි
- මෙවැන්නකට වරදකරුවකු වන අයෙකු වසර 05 ක් නොඉක්‌මවන කාලයකට බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කිරීමට හැකිය.
නවකවදයට එරෙහිව කිසිවෙකු කතා කරන්නේ නැද්ද?
නවකවදය හේතුවෙන් බුද්ධිමත් තරුණ ජීවිත රටට අහිමිවන විට, නවකවදයට ලක්වීමෙන් අනතුරුව විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තෙකු ලෙස නැතිනම් දරුණු මානසික කම්පනයෙන් යුතු අයෙකු ලෙස ජීවිතයේ ඉතිරි කාලය ගතකරන්නට සිදුවන පසුබිමකදී පවා නවකවදය මෙරට විශ්වවිද්‍යාල පද්ධතියෙන් අතුගා දැමිය යුතු බවට ඉස්මතු වන අදහස් අද අපට එතරම් අසන්නට නොලැබේ.
1996 වසරේදී පමණ පේරාදෙණිය විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගෙන නවකවදයට එරෙහි හඬක් නැගුණු අතර ඒ හා සමගාමීව දිවයිනේ අනෙක් විශ්වවිද්‍යාල තුළ ද නවකවද විරෝධී කතිතාවක් ඇතිවුණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තෙවන වසර කළමනාකරණ සිසුවෙකු වූ සමන්ත විතානගේ මේ ගැන හඬක් නැගූ අතර නවකවද විරෝධී හමුවකදී අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් 2002 නොවැම්බර් 7 වැනිදා ඔහුට සිය ජීවිතයෙන් වන්දිගෙවන්නට පවා සිදුවිය. නවකවදයට හිතවාදී ජවිපෙ විසින් මෙහෙයවූ මහා ශිෂ්‍ය සංගමයේ පිරිස හා නවකවද විරෝධී සමන්ත විතානගේ ඇතුළු පිරිස සමග සාකච්ඡාවක් ඇතිවුණි.
මේ රැස්වීම පැවැත්වෙන අතරතුරදී ජවිපෙ හිතවාදී 200 ක පමණ කලහකාරී පිරිසක් පැමිණ මොවුන්ට පහරදීමක් සිදුවී ඇති අතර මහා ශිෂ්‍ය සංගමයේ සුජිත් කුරුවිට නැමැත්තා සමන්තගේ හිසට පරිගණක මොනිටරයක් එල්ල කිරීමෙන් ඔහු මරණයට පත්වී තිබේ. ජවිපෙ මේ මරණයට වගකිවයුතු බව වික්‍රමබාහු කරුණාරත්න සෘජුවම චෝදනා කර සිටියේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර 2006 වසරේදී විශ්වවිද්‍යාලයෙන් නවකවදය පලවා හැරීමට ඔහු දුන් නියෝග වලට සිසුන් අනුකූල නොවුණු නිසා සිය තනතුරින් ඉල්ලා අස්වුණේය.
මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුවාගේ මරණයත් සමග පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්, පුබුදු ජයගොඩ ෆේස්බුක් සටහනක් තබමින් පවසන්නේ,
‘‘මමත් සිටියේ මොරටුව විශ්ව විද්‍යාලයේ. නවකවදය නැවත්වීම සඳහා අපි විශ්ව විද්‍යාලයේ සිටි අවධියේත් අරගලයක් කළා. නමුත් ශිෂ්‍ය සංස්කෘතියේ එය තදින් තහවුරු වෙලා තියෙන්නේ. එය හුදු ප්‍රචාරක ක්‍රම වලින් හෝ මර්දනයෙන් හෝ සිසුන්ට නින්දා අපහාස කිරීමෙන් ඉවත් කරන්න බෑ. ඒ සඳහා විධිමත් මතවාදී වැඩපිළිවෙලක් සහ විකල්පයක් නිර්මාණය කිරීම අවශ්‍යයි. මේ සිදුවීම සිදුවූ එන්.ඩී.ටී. පාඨමාලාවේ නවකවදය දිගු කාලයක සිට තිබුනා. එය වැලැක්වීම සඳහා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සමග එක්ව එන්.ඩී.ටී. ශිෂ්‍ය සංගමය වැඩපිළිවෙලක් දියත් කිරීම ආරම්භ කළේ මමත් ශිෂ්‍යයෙකුව සිටි 1995-97 වකවානුවේ. 1998දී නවක වදය නැවත්වීමට පියවර ගත් ශිෂ්‍ය සංගමයට පොදු ශිෂ්‍යයන් විරුද්ධ වුණා. අන්තරය නවකවදය නවත්වන ලෙස රැස්වීම් මගින් ශිෂ්‍යයන්ට කිව්වා. නවකවදය සංස්කෘතිකාංගයක් ලෙස දිගටම කරගෙන යා යුතු බවත්, නවකවදයට විරුද්ධනම් ශිෂ්‍ය සංගමය ඉල්ලා අස්විය යුතු බවත් පොදුවේ ශිෂ්‍යයන්ගේ මතය වුණා. 1998දී ශිෂ්‍ය සංගමයේ සියලු නියෝජිතයන් ඉල්ලා අස්වුණා. ඒ නවකවදයට එරෙහිව. එවිට නවකවදයට එකඟ අයගෙන් නව ශිෂ්‍ය සංගමයක් ශිෂ්‍යයන් විසින් පත්කර ගත්තා. එම ශිෂ්‍ය සංගමය මේ හේතුව මතම අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයෙන් ඉවත් වුණා‘‘ යන්නයි.
ඔහු මෙහි අවසානයේදී යෝජනා කර සිටින්නේ, යම් ප්‍රජාවක සංස්කෘතික සහ මානව විද්‍යාත්මක (Cultural and Anthropological) පදනම් මත දිගු කාලයක් තිස්සේ තහවුරු වූ වතාවතක් (Ritual) ඉවත් කිරීමේ මාර්ග ගැන වඩා ගැඹුරු සංවාදයක්, පර්යේෂණයක් සහ කියවීමක් අවශ්‍ය බවයි.‘‘
නවකදය වැළැක්වීමට රජයේ මැදිහත් වීමෙන් මෑතකාලීනව ගෙන ඇති පියවර
ඉන්දියාවේ උසස් අධ්‍යාපන ආයතන තුළ නවකවදය වැළැක්වීමට 2009 වසරේදී එරට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මෙවැනි සිද්ධි ගැන පැමිණිලි කිරීමේ ඉඩ ප්‍රස්ථාව ලබාදුණි.
මෙරට දී නවකවදයේ ගොදුරක් බවට පත්වන සිසුන්ට සිය පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසාදී ඇති අන්දම
- නවක වද සිද්ධියක් වූ වහාම ඒ පිළිබඳව පැය 24 පුරාම පවත්වා ගෙන යන 011-2123700 හදිසි දුරකථන අංකයට දැනුම් දීම
- නවකවද සිද්ධි පිළිබඳ විශ්වවිද්‍යාල බලධාරීන්ද දැනුම්වත් කොට අදාළ ප්‍රාදේශීය පොලිස් ස්ථානටද පැමිණිලි කිරීමේ අවස්ථාව සිසුන්ට ලබාදී තිබීම
- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ස්ථාපිත කර ඇති විශේෂිත ඒකකයට පැමිණිලි කිරීම
- 0112 123456 යන දුරකථන අංකයට හෝ http://eugc.ac.lk/rag/යන බිහිදොරට පිවිස පැමිණිලි ඉදිරිපත් කළ හැකිය
නමුත්, ප්‍රශ්නය වී තිබෙන්නේ විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය හදාරන සිසුන් මේ පහසුකම් එලෙසින්ම පාවිච්චි කරනවාද යන්නයි. මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුවාගේ සියදිවිනසාගැනීමත් සමග අප සමග අදහස් දැක්වූ නම හෙළිදරව් කිරිමට අකමැති පළමු වසර සිසුවෙකු පැවසුවේ,
‘‘විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණිලි ඉදිරිපත් කිරීම කිසිම තේරුමක් නැති වැඩක්. කෙහොමත් අපේ මොබයිල් වලට ඒ වගේ ඇප්ස් දාගන්න දෙන්නේ නැහැ. සීනියර්ස්ලාට අහුවුණොත් ගුටිකන්න වෙන්නේ හොඳටම. අනික ජී.පී.එස් වලින් ඉන්න තැන පෙන්නන්න ඕන නිසා ඒ වගේ දෙයක් කරන්න කොහොමටවත් ළමයි පෙළඹෙන්නේ නැහැ, ඒක රිස්ක් එකක් නිසා‘‘ යන්නයි.
නවකවදය සම්බන්ධයෙන් ආකල්පමය වෙනස ඇතිවීමේ අවශ්‍යතාවය
විශ්වවිද්‍යාල සිසුන්ව සදාකාලික මානසික රෝගීන් බවට පත්කරවන, සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදුවන නවකවදය ලාංකීය විශ්වවිද්‍යාල තුළ ඇති පිළිලයකි. ලංකාවේ දේශපාලනය තුළ මුල්බැසගෙන තිබෙන වංචාව, දූෂණය මෙන්ම නවකවදය ද පහසුවෙන් මැඩලිය නොහැකි වුවත් වර්තමානය තුළ ආචාර්ය, මහාචාර්යවරුන්ගේ පවා ප්‍රමුඛත්වයෙන් යුතුව නවකවදය මැඩලීම ගැන කතිකාවක් මතුවෙමින් තිබීම සැබැවින්ම සාධනීය ලක්ෂණයකි.
ලිංගිකත්වය මත පදනම් වෙමින්, ප්‍රචණ්ඩත්වය පතුරුවමින්, සිය සහෝදර සිසුන්ගේ මානසිකත්වය පහත හෙළමින් නවකවය ව්‍යාප්ත කිරිම වෙනුවට සැබැවින්ම සහෝදරාත්මක හැඟීමෙන් යුතුව අනෙකා දෙස බැලීමට හැකි, ඔවුන් වෙත සහෝදරත්වයේ දෑත් දිගු කළ හැකි විශ්වවිද්‍යාල සංස්කෘතියක් උදාකරලීම වෙනුවෙන් කළහැක්කේ කුමක්ද ?.
පවතින තත්ත්වය හමුවේ නවකවදයට ලක්වන සිසුන් ප්‍රචණ්ඩත්වය හා ලිංගිකත්වය මත පදනම් වූ සැලකුම් ප්‍රතික්ෂේප කරන නමුත්, තම සහෝදර සිසුන් එකිනෙකා දැනහඳුනාගැනීම අත්‍යවශ්‍ය වැදගත් බවත් ඒ තුළින් සාමූහිකත්වය හා කණ්ඩායම් හැඟීම් ද වර්ධනය වන බව ඔවුන්ගේ අදහසයි. එසේනම් නවකවදයේදී දියත් වන ප්‍රචණ්ඩකාරී හා වාචිකමය හිංසන පසෙක දමා ඒ වෙනුවට එකිනෙකා කෙරෙහි වෛරය හා ද්වේෂය පතුරුවන්නේ නැති දැනහඳුනාගැනීමේ හා විශ්වවිද්‍යාල පද්ධතියට අනුහුරු වීමේ කාර්යයක් දියත් කිරීම වටී.
දිගු කාලයක් පුරා විශ්වවිද්‍යාල පද්ධතියේ අංගයක් වී තිබූවක් එකවර ඉවත්කර දැමීම අසීරු වුවත් සියලුදෙනා සතුටින් ජීවත්වෙන යහපත් සමාජයක් උදාකරලීමේ කාර්යයේදී ඒ අපහසුතා මැඩපවත්වා ගනිමින් කටයුතු කළයුතුවේ.
මෙහිදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇතිකරමින්, ප්‍රචණ්ඩකාරී හා මානසික කම්පනය ඇතිකරවන කටයුතු වෙනුවට නිර්මාණශීලී හා බොහෝදෙනෙකුට පිළිගත හැකි අන්දමේ නිර්මාණශීලී, අවිහිංසාවාදය පතුරුවන ක්‍රියාමාර්ග අනුගමනය කළයුතු වේ.
![]() |
Voices & Changes අරමුදලේ සහයෝගයෙනි. |
කර්තෘ සටහන
නවක වදය ගැටළුවක් නොව ගැටළුවේ ප්‍රතිඵලයක්
ගෘහස්ථ හිංසනය, පොලිස් හිංසනය, නවක වදය, පාසල් තුළ ශාරීරික හිංසනය, ලිංගික හිංසනය මේ සියල්ලටම එරෙහි නීති ශ්‍රී ලංකාව තුළ ඇත. අපට නැත්තේ ගෞරවය, සහකම්පනය සහ ආත්ම අභිමානයයි. මේ වටිනාකම් සංවර්ධනය නොවන තාක් කල් හිංසනය, ප්‍රචණ්ඩත්වය, කොන් කිරීම සහ වෙනස්කෙට සැලකීම වැළැක්විය නොහැකි අපගේ විශ්වාසයයි.
ඔබ මා කියන දේ විශ්වාස නොකරනවා නම් අපි ශ්‍රී ලංකාවේ හිංසනය පිළිබද දත්ත කිහිපයක් විමසා බලමු.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට අනුව පොදු ප්‍රවාහණ සේවයේදී කාන්තාවන් 90%ක් ලිංගික අතවරයන්ට ලක් වේ. මෙම හිංසනය සිය රාජකාරියට අහිතකරව බලපෑ බව 37%ක් ප්‍රකාශ කළ අතර සිය අධ්‍යාපන කටයුතු වලට එය අහිතකර ලෙස බලපෑ බව 29%ක් ප්‍රකාශ කර ඇත. ඉන් කෝපයට පත් වූ බව 76%ක් ද, අවමානයට සඑ පැජ්ජායට පක් වූ බව 68%ක් ද, බියට පත් වූ බව 48%ක් ද, පහත් තත්ත්වයකට ඇද දමන ලද බව 45%ක් ද ප්‍රකාශ කළ බව එම වාර්ථාව පොන්වා දෙයි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් 2017දී සිදු කරන ලද පර්යේෂණයකට අනුව ශ්‍රී ලංකාවේ පාසැල් ශිෂ්‍යයන්ගෙන් 80%ක් පසුගිය පාසැල් වාරයේ දී ශාරීරික දඩුවමකට ලක්ව තිබේ. ඉන් 53%ක් දරුණු ශාරීරික දඩුවම් හෙවත් ශාරීරික අපයෝජනයට ලක්ව තිබූ බව සොයා ගන ඇත.
ඉන් 42%ක් කෝටුවකින් පහර දීම් වලට, 25ක් මුහුණට, හිසට හෝ කණට පහර දීම් වලට, 26%ක් අතට හෝ කකුල්වලට පහරදීම් වලට, 44%ක් කණ මිරිකීම් වලට, 33%ක් හිසට වැලමිටෙන් ඇනීම් වලට, 12ක් කොන්ඩයෙන් ඇදීමට ලක් වී තිබුණු අතර 36ක් දණ ගසාගෙන සිටීමට සහ 47ක් සිටගෙන සිටීමට මුහුණ පා ඇති බව සොයා ගන තිබුණි.
ශාරීරක අපයෝජනය යටතේ, 17%ක් මිට මොලවා හෝ පයින් ගසනු ලැබීමට, 3.6% ක් බෙල්ලෙන් ඇද හුස්ම හිර කරනු ලැබීමට, 16%ක් දිගින් දිගට හැකි තරම් තදින් පහර දීමට, 3.8%ක් පොල්ලක් හෝ පිහියක් පෙන්වා තර්ජනය කරනු ලැබීමට, 7%ක් බිමට වැටෙන සේ තල්ලු කර දැමීම හෝ පහර දීමට, 0.6%ක් හිතාමතා ගින්නෙන් හෝ හුමාලයෙන් හිතාමතා පිළිස්සීමට ද ලක් වී ඇති බව එම වාර්ථාව පෙන්වා දේ.
ශ්‍රී ලංකා පොලිස් දත්තවලට අනුව 2017 වසර තුළ කාන්තාවන් 148 දෙනෙක් සැමියාගේ හිරිහැර සහ පවුල් ආරවුල් නිසා සිය දිවි හානි කර ගෙන ඇත.
ආදර සම්බන්තා පිළිබද පැණ නැගුණු ගැටළු නිසා දිවා හානි කර ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 265ක් වන අතර ඉන් 168 දෙනෙකු අවුරුදු 25ට අඩු වසයේ පසුවූවන්ය. ආදර සම්බන්ධතා හේතුවෙන් දිවි හානි කර ගත් පිරි අතර පුරුෂයන් 169 දෙනෙකු සිටී.
හිංසනය අනුමත කරන සංස්කෘතිය වෙනස් වන තුරු, කොතරම් නීති ගෙන ආවත් හිංසනය වළක්වන්නට බැහැ. හිංසනය අනුමත නොකරන සමාජයක් ඇති කිරීමේ මූලික අඩිතාලම මුල් ළමා විය අධ්‍යාපනය බව අප ගේ විශ්වාසය වන අතර සාමාන්‍යකරනය කරන ලද විභාග ප්‍රශ්න පත්‍ර වලින් ඔබ්බට යන ආත්ම විශ්වාසය, සහකම්පනය, ගෞරවය සහ විශ්වාසය යන වටිනාකම් පදනම් කරගත් ඉගැන්වීමක් හරහා ආකල්ප සහ හැසිරීම් සංවර්ධනය කරන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම සදහා අපගේ සහය ලබා දෙන්නෙමු.

![Two Blues [Converted]](http://old.bakamoono.lk/siadmin/wp-content/uploads/2018/10/Two-Blues-Converted-2.png)