ගබ්සා කළ යුත්තේ කාදිනල්ට වුවමනා විදියටද?

උපුටා ගැනීමකි.

2017 සැප්තැම්බර් 03. රාවය.

කේ. ඩබ්ලියු. ජනරංජන

වෛද්‍ය විශේෂඥයින්ගෙන්  ඉදිරිපත් වී තිබෙන යෝජනාව පිළිගිනිමින් ඇමති මණ්ඩලය වහාම ගබ්සාවට අදාල නීතිය ලිහිල් කරන සංශෝධන අනුමත කළ යුතුය. ගබ්සාව ගැන තීන්දු ගන්නට විශේෂඥ වෛද්‍යවරුන් හැර අන් සුදුස්සෝ නැත. ඉන් පසු ආණ්ඩුව ගබ්සාව පිළිබද දණ්ඩ නීති සංග්‍රෙය් ඇති විධි විධාන ලිහිල් කරන එම නීති සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කළ යුතුය. ඒ ගබ්සාවට තිබිය යුතු අවම ඉඩ කඩ වත් නැති අපේ නීතිය පුළුල් කොට පීඩාවට පත් වන කාන්තාවන්ට සහන සැලසීමට පමණක් නොවේ. කතෝලික සභාවේ උද්දච්ඡකමද නැති කිරීමටය.

ත්‍රෛනිකායික නායක භික්ෂූන් සිතා ගෙන සිටින්නේ ඔවුන්ගේ ආචීර්ණ කල්පික වුවමනාවන්ට අනුව ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා වෙනත් නීති ගෙන ඒම හෝ නොගෙන ඒම තීරණය කළ යුතු බවය. මැල්කම් රංජිත් කාදිනල්ද සිතාගෙන සිටින්නේ ආචීර්ණ කල්පික කතෝලික සභාවට ඕනෑ ඕනෑ විදියට මේ රටේ සාමාන්‍ය නීතිය සෑදිය යුතු බවයි. මේ පූජ්‍යයන්ට හා පූජකයන්ට ඕනෑ ඕනෑ විදියට රටේ නීති හදන්නට, ගලවන්නට පිළිවන් නම් රටේ පරමාධිපත්‍ය හිමි සාමාන්‍ය ජනතාවක් සිටිය යුතු නැත.

ගබ්සා නීතිය පුළුල් කළ යුතු යැයි ඊයේ පෙරේදා යලි කීවෝ විශේෂඥ වෛද්‍යවරුය. අවම වශයෙන් අවස්ථා දෙකකදී වත් ගබ්සාවට ඉඩ දිය යුතු යැයි ඔවුන් කියති. පළමුවැන්න, කාන්තාවකගේ කුසෙහි මාරාන්තික ලෙස විකෘති වී ඇති කළලයක් පිළිසිද ගත් විටය. දෙවැන්න දූෂණයකට හෝ ලිංගික අතවරයකට ලක් වීමේ ප්‍රතිඵලයක් හැටියට කාන්තාවක් ගැබ් ගත් විටය. මේ අවස්ථා දෙකේදී ගබ්සාවට ඉඩ දිය යුත්තේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිර්දේශය ඇති විට පමණක් බවත්, කෙසේ වෙතත් එවැනි දරු ගැබක් පවා අවසන් කරනවාද යන්න තීරණය කිරීමේ අවසන් අයිතිය මවට ලබා දිය යුතු බවත් දැනට යෝජනා වී ඇති විධි විධාන අතර වෙයි. පොදුවේ මිනිස් අයිතිවාසිකම් ගැනත්, විශේෂයෙන් කාන්තාවන්ගේ ප්‍රජනන අයිතිවාසිකම් ගැනත් සලකන විට මේ අවස්ථා දෙකේදීවත් ගබ්සාවට ඉඩ නොදෙන්නේ නම් ඊට එරෙහි වන්නේ නම්, එවැනි රටක් ශිෂ්ඨ රටක් ලෙස සැලකිය හැකිද?

ශ්‍රී ලංකාවේ ගබ්සා සම්බන්ධ නීතිය ඉතා දැඩිය. දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය අනුව ගබ්සාවක් කළ හැක්කේ කළලයෙන් මවගේ ජීවිතයට හානියක් වන විටකදී පමණි. එහෙත් ලංකාවේ දිනකට සිදු වන ගබ්සා ප්‍රමාණය 750ත් 1000ත් අතර වේ යැයි ඒ පිළිබද පර්යේෂණ කියයි. මේ සියල්ලම ඉහත නීතියේ පරිදි මවගේ ජීවිතයට හානි වන කළල නිසා කරන ගබ්සාවන් නොවන බව අමුතුවෙන් පැහැදිළි කළ යුතු නැත. අනෙක් වැදගත් කරුණ මේ ගබ්සා වැඩි ප්‍රමාණයක් කරන්නේ විවාහක කාන්තාවන් විසින් බව වාර්තා වීමයි. ඒ ඔවුන් අනාචාරයේ හැසිරීම නිසා පිළිසිද ගත් කළල විනාශ කිරීමට නම් නොවේ. තම නීත්‍යනුකූල විවාහය තුළ පිළිසිද ගත් දරුවෙකු බිහි කිරීම, ආර්ථික හෝ වෙනත් විවිධාකාර හේතු මත පවුලට දැරිය නොහැකි බරක් වන නිසාය. ගබ්සා සදහා ඇති මේ විශාල සහ සාධාරණ ඉල්ලීම අපේ නීතියේ සීමිත රාමුව තුළ තෘප්ත කළ නොහැකි නිසා ඔවුන්ට යාමට සිදු වන්නේ පෞද්ගලික අංශයේ රෝහල වෙතය. ඒවායේ ගබ්සාවක් සදහා අය කරන මිල අධිකය. ඒ මිල ගෙවා ගත නොහැකි කාන්තාවන්ට යන්නට ඇත්තේ නීති විරෝධී, නුසුදුසු පුද්ගලයන් විසින් අඩු මිලක් අය කරන, කිසිම සනීපාරක්ෂක පහසුකමක් නැති ගබ්සා තිත්පොළවල් වෙතය. වැඩුණු කළලයක් විනාශ කිරීම සදහා ඒවායේ යොදා ගන්නා ක්‍රමය වන්නේ ලිංගේන්ද්‍රියෙන් ස්ත්‍රී සිරුරට ඇතුළු කරන තියුණු ආයුධ මගින් ගර්භාෂය තුවාල කර කළලය පිටතට ගැනීමයි.  මෙම වෑයම අවසන් වන්නේ සමහර විට අදාල කාන්තාව අධික ලෙස රුධිර වහනය වීමකට භාජනය වී මරණයට පත් වීමෙනි. නැතිනම් තවත් දරු ගැබක් දැරිය නොහැකි වන සේ ගර්භාෂය විනාශ වීමෙනි. මේ තත්ත්වයට මුහුණ දී අධික රුධිර වහනය සහිතව රජයේ රෝහලකට ඇතුළු කරන විටය, කාන්තාවට අත් වන ඉරණම ගැන මාධ්‍ය වල වාර්තා වන්නේ.

තම විවාහය තුළ පිළිසිද ගන්නා කළලයක් හදා වඩා ගත නොහැකි නිසා ගබ්සා කර ගැනීමට කාන්තාවට නීතිමය අයිතිය ලැබෙන තත්ත්වයක් මේ කපේදී ලංකාවේ උදා වන්නේ නැත. මේ යන විදියට කාන්තාවගේ ප්‍රජනන අයිතියට ඒ සා ගරු කරන සමාජයක් ලංකාවේ හැදෙන්නට තවත් කල්ප කීයක් බලා සිටින්නට වේ දැයි නොදන්නා නිසාය.

පසුගිය කාලයේ ඉදිරිපත් වී ඇත්තේ ඊට වඩා ඉතාමත් පටු පරාසයක සංශෝධනයන්ය. ඉන් ප්‍රමුඛ වන්නේ ස්ත්‍රී දූෂණයට ලක් වීමේ ප්‍රතිඵලයක් ලෙස කළලයක් පිළිසිද ගත් විට එය ගබ්සා කිරීමට අවස්ථාව දීමයි. එවැනි අවස්ථාවකදී, කාන්තාවගේ හෝ ගැහැණු දරුවෙකුගේ හෝ කුසේ පිළිසිද ගෙන ඇත්තේ තමා දූෂණය කළ පුද්ගලයාගේ දරුවෙකු වන විට තම කුසේ සිටින කළලය ගැන එම කාන්තාවගේ හැගීම කුමක් විය හැකිද යන්න අලුතෙන් කිව යුතු නැත. දරුවා බිහි වුණු පසු කාන්තාව දරුවා කෙරෙහි දක්වන ආකාල්පය කුමක් වනු ඇද්ද? ඒ අතවරය සිදු වී ඇත්තේ පියා, බාප්පා, මාමා තමාගේ ලගම ඥාතියෙකු අතින් නම්? හෙවත් ව්‍යභිචාරයක් සිදු වී ඇත් නම්? ඒවැනි කම්පනය වන සුළු අවස්ථාවකදීත් එම කාන්තාව දරුවා වැදිය යුතු යැයි, හැදිය යුතු යැයි අප කියනවා නම්?

මාරාන්තික ලෙස විකෘති වූ කළලයක් කුස පිළිසිද ගත් අවස්ථාවද ඒ තරම්ම කම්පනයක් ගෙන දෙන සුළුය. එවැනි දරුවන් බිහි වුණ පවුල් වල කාන්තාවන් විදින දුක, පීඩාව කෙතරම්ද? කාන්තාවද ඇතුළු අනෙකුත් පවුලේ සියළුම සාමාජිකයන්ගේ පහසුව මේ එක් අසම්පූර්ණ ජීවියෙකු වෙනුවෙන් ගත කරන්නටැයි බල කිරීමට අන් අයට ඇති අයිතිය කුමක්ද?

1995දී වවස්ථා තුනක් යටතේ ගබ්සා නීතිය ලිහිල් කිරීම සදහා දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් එවකට තිබුණු රජය විසින් සකසන ලදී. දූෂණයට ලක් වී ගැබ් ගත් විය, ව්‍යභිචාරයට හෙවත් ළගම ඥාතියෙකු නිසා ගැබ් ගත් විට හා විපරීත කළල ඇති වුණ විට නිසි වෛද්‍ය අධීක්ෂණය යටතේ ගබ්සා කිරීමට ඉඩ දිය යුතු යැයි ඒ අවස්ථාවේදී යෝජනා විය. එහෙත් කතෝලික පල්ලියත්, මුස්ලිම් පල්ලියත්, ඒ ආගම් වලට අයත් මන්ත්‍රින් ඇමතිවරුන් අකමැති වීම නිසා සංශෝධනය හකුලා ගන්නට ආණ්ඩුවට සිදු විය.

අදටත්, සාධාරණයව හා සීමා සහිතව හෝ ඉතා සුළු ප්‍රමාණයක් ලිහිල් කරන්නට හදන විටද, පරණ තර්ජනය කරමින් මැද්දට පැන ඇත්තේ කාදිනල්වරයා ඇතුළු කතෝලික සභාවත්, කතෝලික රදගුරු සම්මේලනයත්ය. කාදිනල් මැල්කම් රංජිත් පසුගිය දා කිව්වේ, කුමන හේතුවක් මත වුවත් තමන් ඇතුළු කතෝලික සභාව ගබ්සාවට ඉඩ දීමට විරුද්ධ බවයි. ‘කලින් රජයත් උත්සහ කළා ගබ්සා නීතිය පුළුල් කරන්න. මේ ආණ්ඩුවෙත් තැනින් තැන අහන්න ලැබෙනවා ගබ්සා නීතිය පුළුල් කරන හඩක්.’ ඔහු කීවේය. කාදිනල්වරයාගේ මේ අදහසේ ගැබ් වී ඇත්තේ තර්ජනයකි. එයින් කියවෙන්නේ ‘කලින් ආණුඩවත් උත්සහ කළා, අපි විරුද්ධ නිසා කර ගන්න බැරි වුණා. අදත් අපි විරුද්ධයි. ඒ නිසා මේ ආණුඩවටත් එය බැරි වේවි. හොදයි කරලා බලමුකෝ’ය කියන ආකාරයේ තර්ජනයකි. ආණුඩුව මේ අභියෝගය බාර ගත යුතුය. භාරගෙන ගබ්සාව පුළුල් කිරීමේ සංශෝධනය ඇමති මණ්ඩලයේදීද, පාර්ලිමේන්තුවේදී ද සම්මත කොට ඒ අභියෝගය කරන කතෝලික සභාවට ඔවුන්ගේ නොහැකියාව ඔප්පු කර පෙන්විය යුතුය.

ගබ්සාව කෙරෙහි කාද්නල්වරයා දක්වන ආගමික හේතු ගැන අප කතා කළ යුතු නැත. ඒ ආගමික විශ්වාස වලට තර්ක නැති නිසාය. එහෙත් ඊට අමතරව ඔහු දක්වන එක් ලාමක තර්කයක්ද තිබේ. එනම්, බටහිර ධනවාදී රටවලට ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල ජනගහනය පාලනය කිරීමේ වුවමනාවක් තිබෙනව බවත්, ගබ්සාව පිළිබද මේ සංශෝධන එන්නේ ඒ සදහා බවත්ය. ‘සමහර ධනවාදී රටවල් වල මිනිස්සු අනෙක් අයට කියනවා ලෝකයේ ජනගහනය බොහොම වැඩිය, අඩු කරන්න කියලා. තුන්වන ලෝකයේ දරුවන් ප්‍රමාණය අඩු කරන්න අපි මුදල් දෙනවා කියනවා. එන්ජීඕ අයට මුදල් දෙනවා මේ ප්‍රචාරණ කටයුතු ඉදිරියට ගෙන යන්න. යුරෝපාකරයේ සුදු මිනිස්සුන්ට ආත්මාර්කාමී වෙන්න අපේ දරුවන් බිලි දෙන්නට බැහැ.’ මේ කාදිනල්වරයාට අඩු ගණනේ ලංකාවටත්, පරිවාරයේ අනෙක් රටවල් වලටත් කතෝලික ආගම පැමිණියේ කොහොමද කියා වත් සිහි බුද්ධියක් තිබුණා නම් මෙවැනි අමනොඥ තර්ක ඉදිරිපත් කරන්නට පෙර දෙවරක් සිතා බලනවා නොඅනුමානය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේද කතෝලික සභාව මේ තර්ජනය වෙනත් විදියකින් කළේය. කාන්තාවන්ගේ ප්‍රජනන සෞඛ්‍යය හා පවුල් සංවිධානය ගැන වැඩ කරන ලෝක ප්‍රකට මාරි ස්ටෝප්ස් නම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයේ ලංකාවේ ශාකාව, ඉහත දැක්වුණු ආකාරයෙන් ලංකාවේ නීතිය යටතට නොවැටෙන, එහෙත් ගබ්සා කර ගැනීමේ සාධාරණ හේතු ඇති කාන්තාවන්ට ඒ සදහා ඉහල තත්ත්වයේ වෛද්‍ය පහසුකම් සපයන සේවාවක් පසුගිය කාලයේ පවත්වාගෙන ගියේය. ආරක්ෂිත ගබ්සාවක් කරගෙන සිය ජීවිතය බේරා ගැනීමේ හැකියාව මේ වෛද්‍ය මධ්‍යස්ථානය නිසා ලංකාවේ සාමාන්‍ය පංතියේ කාන්තාවන්ට ලැබී තිබුණි. කතෝලික සභාව, එවකට ජනාධිපති  බිරිද ශිරන්ති රාජපක්ෂගේ කතෝලික භක්තිය හරහා රාජපක්ෂ ජනාධිපතිවරයාට බලපෑම් කොට මේ මධ්‍යස්ථානය වසා දැමීමට වැඩ කළේය.

ගබ්සාව යහපත් දෙයක් හැටියට කිසිවෙකු සලකන්නේ නැත. එහෙත් විවිධාකාර හේතු නිසා ගබ්සාවට ඉඩ දීමට සිදු වෙයි. ලංකාවේ නීතියේ හැටියට මවගේ ජීවිතයට හානියක් වන අවස්ථාවේදී ගබ්සා කිරීමට ඉඩ දීම ඉන් එකකි. එය ලංකාවට දණ්ඩ නීති සංග්‍රහය ගෙන ආ ඉංග්‍රීසීන්ගෙන්ම අපට ලැබුණු අවස්ථාවකි. දැන් ගෙන එන්නට හදන සංශෝධනයද කිසි සේත්ම සෑහීමකට පත් විය නොහැකි, නමුත් අඩුම ගණනේ ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකි අත්‍යවශ්‍ය කල් පමා වූ එකකි. ලෝකයේ බොහෝ රටවල් ගබ්සාවක් කර ගැනීමට කාන්තාවට ඇති අයිතිය පිළිගෙන ඇති අතර දරු ගැබක් දරනවාද නද්ද යන්න ගැන තීරකයා අදාල කාන්තාවම විය යුතු බවට පිළිගන්නා තරමට සිය අයිතිවාසිකම් කතිකාව දියුණු කරගෙන ඇත. අපට ඒ තරම් දියුණු වීමක් ගැන දැන්ම සිතන්නට නොහැකි වුණත්, ගෙන එන්නට යන ඉතාම අඩු මට්ටමේ අත්‍යවශ්‍ය නීතිමය සංශෝධන පවා, කාදිනල්වරයෙකුවත්, රටේ ජනගහණයෙන් අතිශය සුළුතරයක් වන පූජකවරුන්වත්, කතෝලික සභාව වැනි ආගමික සංස්ථාවල වත් ඕනෑ එපා කම් අනුව ආපස්සට ගන්නට ඉඩ තැබිය යුතු නැත.

Social Share: