2017 අගෝස්තු 29.
ඈ විවාහ වන දිනය, විවාහ වන වයස තීරණය කරන්නේ ඔබය, ඇගේ ගෞරවය සුදු රෙද්ද මත ඇතිලේ පැල්ලමකට සීමා කර ඇත. විවාහ වී දරුවන් නොවැදුවේ නම් ඈ වඳ එකියකයි ඔබ හංවඩු ගසයි. විවාහ නොවී දරුවෙකු වදන්නේ නම් ඈ වේසියෙකු යැයි ඔබ කියයි. ලිංගික අතවරයකට ලක් වූයේ නම්ද වරද ඇගේය. ඇය පිරිමියාව පොළඹවා ඇත.
ඇයට ගැබ් ගැනීමට, දරුවෙකු ලැබීමට වුවමනා දැයි ඔබ අසන්නෙ නැත. ශිෂ්ණය ඍජු වූ පමණින් එය යෝනි මාර්ගයට ඇතුළු කර තෘප්තියක් ලැබීම ඔබේ එකම පරමාර්ථයයි. තමාට අවශ්‍ය නැති ගැබ් ගැනීමක් අවසන් කිරීමට ඇයට කිසි සේත්ම නිදහසක් නැත.
නිසැකයෙන්ම ගර්භණිභාවය අවසන් කිරීම නැතහොත් “ගබ්සාව” යන වචනය ඇසු පමණින්ම ඇතමෝ එය ලොව සිදු වන්නා වූ විශාලම අපරාධය ලෙස සලකා යක්ෂාවේශ වනු නොඅනුමානය. එහෙත් එහි වූ කටුක යතාර්ථය හෝ ඒ සඳහා පාදක වූ පසුබිම් කතාව දන්නෝද අල්පය.

ශ්‍රී ලංකාවේ 1883 දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තියට අනුව ගබ්සාවක් දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර, මවගේ ජිවිතයට අනතුරක් සිදු වේ නම් පමණක් ගර්භනී භාවය අවසන් කිරීම සඳහා අවසරය ඇති බව සදහන් වේ. වෙනත් රටවල්වල මෙකි කාරනා උචිත පරිදි ප්‍රතිසංස්කරණය කර සමාජ සාදාරණීකරණය කෙරෙහි අවදානය යොමු කෙරෙද්දී, ලංකාවේ තවමත් අවුරුදු සිය ගණනක් පමණ යල් පැන ගියාවූ නීති වල එල්බගෙන කටයුතු කිරීම සුදුසුද යන්න අප නැගිය යුතු පැනයකි.
මෑත කාලීන ප්‍රගතිය
ශ්‍රී ලංකාවේ ගබ්සාව පිළිබද නීතිය වෙනස් කිරීම සදහා කාන්තා සංවිධාන ඇතුළු විවිධ කණ්ඩායම් දශක ගණනාවක් විවිධ ආකාරයේ වැඩ සිදු කර ඇත.
- 1995දී ශ්‍රී ලංකාවේ ගබ්සා නීතිය ලිහිල් කිරීමට යෝජනා වූ අතර ස්ත්‍රී දූෂණයකදී සහ ව්‍යභිචාරයක් මගින් සිදු වන ගැබ් ගැනීමකදී සහ බරපතල කළල විකෘතිතා පිහිටන අවස්ථා වලදී ගර්භණීභාවය අවසන් කිරීම සදහා නීතියෙන් ඉඩ ලබා දීම පිළිබද අවධානය යොමු විය. කෙසේ වුවත් අවසානයේදී එම සංශෝධන පත්‍රිකාවෙන් එම යෝජනාව සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලදී.
- 2011 දී කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය මගින් අවුරුදු 18ට අඩු ගැහැණු දරුවන්ට ස්ත්‍රී දූෂණයකදී සහ ව්‍යභිචාරයක් මගින් සිදු වන ගැබ් ගැනීමකදී සහ බරපතල කළල විකෘතිතා පිහිටන අවස්ථා වලදී ගර්භණීභාවය අවසන් කිරීම සදහා කෙටුම්පතක් ඉදිරිපත් කරන ලදී. එයට කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් වීමට පෙරම අතුරුදහන් විය.
- 2017 අගෝස්තු මාසයේදී ස්ත්‍රී දූෂණය සහ බලපතල කළල විකෘතිතා සහිත අවස්ථා වලදී ගර්භණීභාවාය අවසන් කළ හැකි වන පරිදි ගබ්සා නීතිය වෙනස් කිරීම සදහා සෞඛ්‍යය අමාත්‍යංශය සහ අධිකරණ අමාත්‍යංශය විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබුනි. ගබ්සාව පිළිබද ඇති නීති ලිහිල් කිරීම සදහා වූ යෝජනවාවක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දක්වා ගමන් කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර එය අප අගය කළ යුතුය. මෙම යෝජනාව නීතියක් බවට පත් වීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බහුතර එකගතාවයෙන් සම්මත විය යුතු අරත ඒ සදහා කෙතරම් කාලයක් ගත වේද යන්න අවිනිශ්චිතය. කෙසේ වුවත් දැනටමත් මෙම ක්‍රියාවලිය පිළිබද ශ්‍රී ලංකා කතෝලික සභාව සිය විරෝධය දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ පවතින මෙම ගර්භණිභාවය අවසන් කිරීමේ නිතිය තවදුරටත් ස්වාධින විය යුතු බව මගේ විශ්වාසයයි. කාන්තාවට සිය ශරීරය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය තිබිය යුතු අතර ගබ්සා නීතිය තව දුරටත් ලිහිල් කිරීම මගින් අනාරක්ෂිත ගබ්සාවන් නිසා සිදුවන ශාරීරික හා මානසික හානියද අවම කර ගත හැකි හැකි වනු ඇත.
ලංකාවේ දැනට දිනකට අනාරක්ෂිත ගබ්සාවන් 600-700 පමණ සිදුවන අතර විවාහක හා වයස අවු 25-39 අතර කාන්තාවන් වැඩි වශයෙන් ගබ්සා සදහා යොමු වන බව සමීක්ෂණ මගින් සොයා ගෙන ඇත. මේ අය ගබ්සා සිදු කර ගන්නේ ඉතාමත් අනාර්ක්ෂිත වටපිටාවන් තුළය. බෝහෝ විට ශ්‍රී ලංකාවේ අනාරක්ෂිත ගබ්සා සිදු කරන්නේ පුහුණු වෛද්‍යවරුන් විසින් නොවන අතර ඔවුන් භාවිත කරන උපකරණද නිවැරදි උපකරණ නොවේ. ඒ නිසා ඔවුන්ට බරපතල සංකූලතා වලටද මුහුණ දීමට සිදුවේ. පශ්චාත් ගබ්සා සත්කාර එනම්, ගබ්සාවකින් අනතුරුව ඇති වන සංකූලතා වලට ප්‍රතිකාර කිරීම රජයේ ප්‍රතිපත්තිය වන අතර ගබ්සාව නීති විරෝධී වුවත් ඉන් අනතුරුව ප්‍රතිකාර ගැනීම සදහා නිතී විරෝධී නොවේ. නමුත් ඒ පිළිබද දන්න් අල්ප දෙනෙකි.
පරිපුර්ණ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය නොමැතිකම ශ්‍රී ලංකාවේ අනපේක්ෂිත ගැබ් ගැනීම් සදහා මූලික හේතුව වන අතර කොන්ඩම් වැනි උපත් පාලන ක්‍රම භාවිත ක්‍රම පිළිබද ඇති ලැජ්ජාවද මේ සදහා තවත් හේතුවකි. එසේම සමාජයීය වටපිටාව, ආගමික න්‍යායන්, සම්ප්‍රදාය හා සදාචාරය යන්නා වූ එකී, නොකී සියලු පුරුෂ මූලික සීමාවන් මගින් ස්ත්‍රී ලිංගිකත්වයට සීමා පනවා තිබීම ඒ සැමට ඉහලින් පවතින හේතුවයි.
උදාහරණයක් වශයෙන් වතුකරයේ ජිවත් වන බහුතරය තුළ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබද අවබෝධය ඉතා අඩුය. එමෙන්ම වතුකරයේ අනපේක්ෂිත සහ බාල වියේ ගැබ් ගැනීම්ද ඉහල මට්ටමක පවතී. ඒ නිසා වතුකරයේ සිදු වන අනාරක්ෂිත ගබ්සාවන්ගේ සංක්‍යංවද ඉතා ඉහලය.
පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය පිළියමක්ද?
පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය යන වචනය ඇසූ සැණින්ම ඇතැමුන් බියට පත් වේ. ඒ මේ විෂය දරුවන්ට ලිංගිකව හැසිරෙන ආකාරය උගන්වන විෂයක් යැයි බොහෝ දෙනෙක් සිතති. ජාත්‍යන්තර මාපියභාවය පිළිබද සම්මේලනය ඉදිරිපත් කර ඇති වැඩ රාමුව අනුව පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය තුළ සමාජීය ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය සහ එච්අයිවී, ලිංගික පුරවැසිභාවය, ලිංගික තෘප්තිය, හිංසනය, විවිධත්වය සහ සම්බන්ධතා යන තේමා 07ක් ඇතුළත් වේ. එම නිසා සිය ජීවිත පිළිබද දැනුවත් තීරණ ගැනීම සදහා අවශ්‍ය දැනුම සහ කුසලතා වර්ධනය කිරීමේදී පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය අතිශය වැදගත් භූමිකාවක් ඉටු කරයි. කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රජනක සෞඛ්‍යය පාඩම් වත් හරිහැටි උගන්වන්නේ නැති වටපිටාවක් තුළ පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය පිළිබද සාකච්ඡාවක් ආරම්භ කිරීමත් අපහසුය.
දරුවාට පෙම් සබඳතාවයක් ඇත්නම් දෙමාපියන් කරන්නේ තාඩන පීඩන කිරීම මිස ආදර සම්බන්ධතා තුළ සිදු විය හැකි ලිංගික හැසිරීම් පිළිබද දරුවන් සමග දැනුවත් සහ විවෘත සාකච්ඡාවක් ආරම්භ කිරීම නොවේ.
අනපේක්ෂිත ගැබ් ගැනීම් හොදම පිළියම යන්නේ පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය ලබා දීම බව බොහෝ සමීක්ෂණ වලින් පෙන්වා දී ඇති නමුත්, පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපන ක්‍රමානුකූල විෂයමාලාවක් ලෙස සංකල්පගත කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ සංකීර්ණතා පවතී. පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය පාසල් තුළ ආයතන ගත කිරීම නියත වශයෙන් මතු වන අභියෝගකි. උදාහරණය වශයෙන් නිලධාරීවාදය, අමාත්‍යංශ අතර තීරණ ගැනීම සහ සම්බන්ධීකරණය ආදිය කාර්යක්ෂම ලෙස විෂය මාලාව ක්‍රියාත්මක කිරීමට බධා එල්ල කළ හැකි බව මෙම වාර්තාවේ දැක්වේ. එමෙන්ම නිවැරදි තොරතුරු සහ සුදුසු ශික්ෂණයක් සහිතව මෙම විෂමාලා නිර්මාණය කිරීමද ගුරුවරුන්ට සහ අධ්‍යාපන බලධාරීන්ට අභියෝගයක් වනු ඇත.
නැවත ගබ්සාව දෙස හැරෙමු.
ගබ්සාව පිළිබද සාකච්ඡාවේදී බොහෝ විට කියවෙන දෙයක් නම් ගබ්සාවට ඉඩ දී බටහිර න්‍යාය පත්‍රයක් බවයි. එහිදී අප අමතක කරන දෙය නම් දැනට පවතින ගබ්සා නීතිය අපට ලැබුණේ බටහිරින් බවයි. මෙම යල් පැන ගිය වික්ටෝරියානු නීතිය එංගලන්තයේ වෙනස් වූයේ 1967දීය. නමුත් අප තවමත් ඔවුන්ගේ පැරණි නීතියට වන්දනාමාන කරමින් සිටිමු.
ඇතැමෙක් ගබ්සාව මිනී මැරීමක් බව කියයි, නමුත් එම ගැබ් ගැනීම සිදු වූයේ ඇගේ දූෂකයා අතින් ඒ කළලය පවත්වා ගැනීම අමිහිරි අත්දැකීම නැවත නැවත සිහිපත් කරවන්නක් නොවේද? ඇය තවමත් පාසල් යන දැරියක් ඇගේ අධ්‍යාපනයට සිදු වන්නේ කුමක්ද?
ප්‍රශ්නය ඔබේ නොවන තාක් කල් පිළිතුරු බහුලය. ගබ්සාව පිළිබද වැදගත්ම කාරණය වන්නේ එය අවශ්‍ය කර තිබූ ගර්භණීත්වයක්ද නැද්ද යන්නයි. ස්ත්‍රී දූෂණයෙන් එපිටට ගෝස් ගබ්සාව පිළිබද අප කතා කළ යුත්තේ ඒ නිසාය. එය සිය ශරීරය පිළිබද කාන්තාවට ඇති අයිතියකි. නමුත් අපේ රටේ කාන්තාවන්ගේ ගර්භාෂය ගැන තිරණ ගන්නේ සංස්කෘතිය හා සදාචාරයේ ඇස් අන්ද කර ගෙන ඇති පිරිමින් කොට්ටාශයකි. ඒ නිසා ගබ්සාව පිළිබද යථාර්ය අවබෝධ කර ගැනීමට ඔවුන්ට හැකි වේද යන්න ගැටළුවකි.
Shashika Ruvini Weerasinghe completed her bachelor of social work in National Institute of Social Development 2013/2017. Shashika is a member of Youth Advocacy Network Sri Lanka and Youth Champion and member of Asia Pasific Safe Abortion Partnership. She is also aTrainer of Trainees on Sexual and Reproductive Health and Rights of YPEER.