2019 පෙබරවාරි 25.
ඉමාෂා පෙරේරා විසිනි.
ආදරය යනු හුදෙකුත් දෙදෙනෙකු මත ඔවුන් ඔවුන්ගේ ආකල්ප, රුචි අරුචි, අන්‍යෝන්‍ය අවබෝධය, සෙනෙහස හා දයාව, රැකවරණය ආදී වශයෙන් කාරනා ගණනාවක් හෝ එක කාරණාවක් පදනම් කොටගෙන දෙදෙනා විසින් දෙදෙනා වෙනුවෙන් කටයුතු කිරීම හා හදවතින් ඇති කරගන්නා බැදීමකි. ආදරයේදී නිරන්තරයෙන් ලග වෙසීම හෝ දෑස මානයේ සිටීම අවශ්‍ය නොවන අතර හදවතින් හා මනසින් එකිනෙකා සම්බන්ධ වීම වැදගත් වේ. ආදරය යනු ලබා ගැනීම හා ලගා කරගැනීමම නොව විටෙක එය පරිත්‍යාගයක්ද විය හැක. ශ්‍රී ලාංකික ජන සමාජය තුල ස්ත්‍රියකගේ ආදරය බහුතරයක් අවස්ථා වලදී විවාහයෙන් කෙලවර වුවද සංක්‍රාන්තික තරුණියන් සුලබව තම ආදරය පරිත්‍යාගයකින් නිම කරනු ලබයි. එමෙන්ම විවාහය යනු නීතිමය වශයෙන් දෙදෙනෙකු එක් කිරීමේ ලියකියවිල්ලක් වන අතර මින් එක් පුද්ගලයෙකු තවත් එක් පුද්ගලයෙකුට පමණක් ජිවිත කාලයටම සීමා කිරීම අපේක්ෂා කලද විවාහයෙන් පසුවද වෙනකෙකුට ආදරය කිරීම, ලිංගිකව එක්වීම හා දික්කසාදය යන මාතෘකා ඇතිවීම මනුෂ්‍ය සොබාවය මත සිදුවිය හැක. ශ්‍රී ලංකාව තුල තම ස්ත්‍රී පුරුෂ සමාජභාවය නීතියෙන් වෙනස්කොටගත් සංක්‍රාන්තික කාන්තාවකට නම් විවාහ වීමට වරම් හිමි වී ඇති අතර එනමුත් සංස්කෘතිය, ආගම් හා සමාජයේ බලපෑම මත නැවතත් තම ආදරය පරිත්‍යාග කිරීමට සිදු වේ. ආදරය හදවත් හා තේරුම් ගැනීම මත සිදුවන්නක් නිසා බොරුව හා හිත රිදීම් නිසාත් රැවටීම නිසාත් අවසානයක් දකින අතර විවාහය නීතිමය රාමුව හේතු කොටගෙන රදා පවතී. ආදරය නොමැතිව බලපෑම් මත විවාහය වුවද ඉන් පසු ආදරය ඇති වූ අවස්ථාද නැතුවාම නොව, එනමුත් ආදරය සෑම විටකම ආදරයෙන් කෙළවර නොවේ. මෙය ලාංකික සංක්‍රාන්තික කාන්තාවට විශේෂයෙන් පොදු කරුණකි.
බොහොමයක් සංක්‍රාන්තික කාන්තාවන්ගේ ප්‍රථම ආදර සම්බන්ධතාවය පාසල් අවදියේදී තම සම වයස් පිරිමි ළමයෙකු හා හෝ ඉහල පන්ති වල පිරිමි ළමයෙකු අතර ආරම්භ වේ. මිට අමතරව මුහුණු පොත වැනි සමාජ ජාලා වෙබ් අඩවි තුලින් හා අවට අසල්වැසියෙකුද විය හැක. විශේෂයෙන් පිරිමි පාසලක ළමුන්ගේ විරුද්ධ ලිංගිකයන් හට ආකර්ෂණයක් ඇති වන වයස් සීමාවේදී පාසැල තුළ ගැහැණු ළමුන් නොමැති වීමෙන් එසේ හැසිරෙන පිරිමි මිතුරන් මගින් තම ලිංගික තෘප්තිය සැනසවීම මුලික කරගෙන සම්බන්ධතා ආරම්භ කලද නිතර මුණ ගැසීම, මිත්‍රත්වය හා කතා කිරීම මත හටගන්නා විශ්වාසය මත එය ආදරයකට පෙරලේ. මීට අමතරව රැකියා කරන ස්ථානයේ, මගතොටේදී අහබු ලෙස දැන හදුනාගන්නා පුද්ගලයෙකු සමග ආදර සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමද සිදුවිය හැක. තරුණ අවුරුදු 22ත් 28ත් අතර කාලය තුල දී නම් බහුතරයක් සංක්‍රාන්තික තරුණියන්ට එම වයස් කාණ්ඩයනට අයත් පිරිමි ළමුන් ආකර්ෂණය වනුයේ සංක්‍රාන්තික තරුණියගේ බාහිර ලස්සනට හා ඇය සමාජයෙන් ලේබල් කරන ලද කාන්තාවට කෙතරම් දුරකට සමාන වීමත් මත හා ලිංගික තෘප්තිය සදහාත්ය. මිට අමතරව මා පොද්ගලිකව ලද අත්දැකීම් මත හා ඇසු පිරු වෙනත් සංක්‍රාන්තික කාන්තවන්ගේ ආදර සම්බන්ධතා මත දැනගත් එක කරුණකි තම පෙම්වතාට ඔවුන් සිදු කරන ලබන තෑගි බෝග පරිත්‍යාගය, මුල්‍යමය සහය මතද පිරිමි දරුවන් මෙම වයස් සීමාවේදී බහුතරයක් සංක්‍රාන්තික තරුණියන් හා සම්බන්ධතා ආරම්භ කරයි. එනමුත් කාලයත් සමගම “පවුලක් දරු මල්ලන්” යන මාතෘකාවත් සමග සංක්‍රාන්තික තරුණිය අතහැර තරුණියක් සරණපාවා ගැනීමට පෙළබේ. එසේත් නැත්නම් සංක්‍රාන්තික තරුණිය විවාහයෙන් පසුව තම අනියම් අබුව ලෙස තබා ගැනීමටද විටෙක ඔවුන් තැත් කරයි. මිට අමතරව ඇසීමට ලැබුණු තොරතුරු වලට අනුව විවාහයෙන් පසුව තම බිරිදගේ ආදරය දරුවන් ලැබීමෙන් පසු අඩු වීමත් සමග, දරුවන් මත කාර්යය බහුල වීමත් සමග, ස්වාමියා වෙනත් කාන්තාවකට හෝ සංක්‍රාන්තික කාන්තාවකට ආදරය කිරීම හා අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය අවස්ථාද වේ. ගර්භණි නොවීම, තම පවුල් ජිවිතයට ප්‍රශ්නයක් නොවීම වැනි දෑ මත ඔවුන් මෙම සම්බන්ධතා ආරම්භ කරනු ලබයි. නැවතත් පෙර සදහන් කල ආකාරයටම කාලයත් සමගම ආදරය පරිත්‍යාග කිරීමට සංක්‍රාන්තික තරුණියට සිදු වේ.
සෑම විටම සංක්‍රාන්තික තරුණිය පමණක් මෙම කාරණාව නිසා දුක් වීමට හා කම්පා වීමට ලක්වන බව කිව නොහැක, පෙම්වතාද කම්පනයට හා හිත වේදනාවට පත්වන අවස්ථාද වේ. තවද තම භාර්යාව මිය යාමෙන් පසු තම දරුවන් රැකබලාගෙන , තමන්ටද ආදරයක් ලබා දීමට හැකි සංක්‍රාන්තික කාන්තාවක් සමග ආදරයෙන් වෙලි ජිවත් වන අවස්ථාද අසන්නට ලැබී ඇත. මිට අමතරව ආදරයෙන් කිහිපවරක් පැරදුනු තරුණයන් හා පුරුෂයන් තරුණියන් හා කාන්තාවන් එපා වීමත් නිසා සංක්‍රාන්තික තරුණියන්ට ලං වූ අවස්ථාද වේ.මා සමග සාකච්ඡා කල හා මගේ මිතුරන්ගෙන් ලද තොරතුරු මත මා වටහාගත් දෙයක් වනුයේ පිරිමි ළමුන් සිතනුයේ සංක්‍රාන්තික තරුණියන් හදවතින්ම ආදරය කරන බවත්, එය පිවිතුරු බවත් එනමුත් ලාංකික සමාජය තුල විවාහයකට ඔවුන් හා යාමට නොහැකි බවත් මොවුන් ගර්භණි වනවානම් විවාහ වීමට අවස්ථාවක්ද ඇති බවත්ය. තම සංක්‍රාන්තික පෙම්වතියගේ අනන්‍යතාවය සගවා පවුල තුලට ගෙනගොස් ඇයව දෙමව්පියනට හදුන්වා දී මිත්‍රකමක් ඇතිකළ අවස්ථාද නැතුවම නොවේ.
එනමුත් ලංකාව තුල ආගම් හා සම්බන්ධ පවුල් සංස්ථාවක් බිහිවීම හේතු කොටගෙන වර්ගයා බෝ කිරීමේ අරමුණ ආගම් වාදය තුලින් බිහිවීම නිසා බහුතරයක් සංක්‍රාන්තික කාන්තාවන් හා සරණපාවා ගැනීමට නොව සම්බන්ධතා පටන් ගැනීමටවත් ආගමික සාස්තෘවරයන් ඉඩ කඩ නොදේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම් හතර ගත් කල මෙවැනි සම්බන්ධතාවයක් තම විහාර භුමිය අසලින් අනාවරණය වුවහොත් සාස්තෘවරයා විසින්ම නිවෙසටම ගොස් මව පියා මෙයට විරුද්ධ කරගැනීමට පොලබවන ලද අවස්ථාද ඇත.මිට අමතරව ආගමට අනුව මෙම සම්බන්ධතා පවට කරුණක් බවට ඒත්තු ගන්වා පිරිමි ආත්මයක් ලැබීමේ භාග්‍ය උකහා දක්වමින් හොදින් හෝ නරකින් සම්බන්ධය කැඩීමට උත්සහ කරයි.එපමණක් නොව සංස්කෘතික වටපිටාව පදනම් කොට මෙවැනි සම්බන්ධතා පහත් කටයුතු බවත් තම නම්බුවට හා ගෞවරවයට හානිවන කරුණක් බවත් පාදක කොටගෙන සංක්‍රාන්තික තරුණිය විවාහ කර නොගනී. කොතෙක් දුරකට ඇය සංක්‍රාන්තික ක්‍රියාවලියේ සිටීද යන්න මත මෙය වීමේ බලපෑම අඩු වැඩිය තීරණය වේ. සාමාජිය මට්ටමෙන් අවට අසල්වාසීන්, නැදෑ හිත මිතුරන් හා අනෙකුත් ඇසුරු කරන සියළුම පාර්ශවයන් මෙය කෙසේ පිළිගනීද යන්න මත සංක්‍රාන්තික කාන්තාව පිළිනොගැනීම සිදු වේ.
තම පෙම්වතාගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, නැදෑ හිතමිතුරන්, රැකියා ස්ථානය හා අසල්වාසීන් ආදී ලෙස ගත් කල මින් 1% පිරිසක්වත් තම පුත්‍රයා සංක්‍රාන්තික කාන්තාවක් සමග සම්බන්ධකමක් පැවැත්වීම පිලිබදව කැමැත්ත පල නොකරයි. ප්‍රථමයෙන් සමාජයෙන් ඔවුනට විය හැකි ලැජ්ජාව හා තම තත්වයට විය හැකි හානිය පාදක කොටගෙන මුලිකව අවවාද කරන අතර එසේ කිරීමෙන් සම්බන්ධය නොනවතිනම් තර්ජනය කිරීම, පහර ගැසීම් වලින් පවා සම්බන්ධය නැවත්වීමට උත්සහ ගනු ලබයි. මීට අමතරව ඇයගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වර්ගයා බෝකිරීම පදනම් කොට ගෙන ඇයට නින්දා කරන අතර තම පුතු වද වුවද, කාන්තාවක් බැද ඇයට වර්ගයා බෝ කිරීමට නොහැකි වුවද, සන්ක්‍රාන්තික තරුණියව ඇයගේ පෙර ජිවන රටාව හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත ඇයව ප්‍රතික්ෂේප කරනු ලබයි. ඇයට රැවුල වැවෙන්නේද, පිරිමි ඇග තිබේද, කෙතරම් දුරකට සමාජය විසින් පිළිගන්නා කාන්තා ලක්ෂණ තිබේද යන්නා සොයා බලයි. එසේ සිදු කරන කිසිම විටෙක ඔවුනොවුන් අතර ඇති ආදරය, අන්‍යොන්‍ය අවබෝධය හා ගතිගුණ පිළිබද තැකීමක් නැත. කාන්තාවක් විවාහ කර දීමේදී ඇයගේ ගතිගුණ හා හැදියාව ගැන පෙර විපරම් කලද තම පිරිමි දරුවා සංක්‍රාන්තික තරුණියක් සමග සම්බන්ධකමක් පවත්වාගෙන යන්නේනම් එම සොයනා ගතිගුණ හා හැදියාව කොතෙකුත් තිබුනද ස්ත්‍රී පුරුෂ සාමාජභාවය මත ඔවුන් ඇයව පිලි නොගනී.
ඉහත සදහන් මෙම කරුණු හේතු කොටගෙන තරුණයෙක් වුවද තමන් සංක්‍රාන්තික තරුණියක් සමග ඇසුරක්, සම්බන්ධතාවයක් පටන් ගත්තද නිවසෙන්, තම සහෝදර සහෝදරියන්ගෙන්, දෙමව්පියන්ගෙන්, නෑදෑයන්ගෙන්, රැකියා ස්ථානයෙන්, මිත්‍රයන්ගෙන් ඇතුළු මුළු මහත් සමාජයෙන්ම වසන්කොට රහසක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරයි. ඇය සමග ප්‍රසිද්ධ ස්ථාන වල ගැවසීම පවා ප්‍රතික්ෂේප කරන අතර හෝටල් කාමරයකට, හුදෙකලා ස්ථානයකට පමණක් ඇය සමග පියනැගීමට කටයුතු කරයි. මෙසේ බහුතරයක් සිදු කලද තම හෘද සාක්ෂියට අනුව කටුතු කරන, සංක්‍රාන්තික තරුණියට තිබෙන ආදරය නිසා ඇය සමග ප්‍රසිද්ධ ස්ථාන සියල්ලටම පාහේ පියනගන, මිත්‍රයන්ට මේ තමන්ගේ පෙම්වතිය යැයි පවසන තරුණයන්ද නැතුවාම නොවේ. වරද පටවා සම්බන්ධය කටු ගා දමයි. අතලොස්සක් පමණ දෙදෙනාගේම ආදරයේ ඇති ශක්තිමත්භාවය නිසා විවාහයෙන් පසු අනියම් ලෙස ඇසුර පවත්වගේනයාමටත් කටයුතු කරයි. මෙමගින් විවාහය දෙදරා ගොස් නැවත සංක්‍රාන්තික තරුණිය වෙත පැමිණි වගේම කලක් යෑමෙන් දරුවන් ඉපදීමෙන් සංක්‍රාන්තික තරුණිය අතහැර දැමු අවස්ථාද වේ. සිතන්න සංක්‍රාන්තික කාන්තාවන්ට වේදනාව හිතක් පපුවක් නැත්තේද? නිවසේ සුරතලයට සාදාගනු ලබන සුනඛයෙකුට පවා වේදනාව දුක දැනේන්නේනම් ආදර සම්බන්ධතාවයක් තමන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පැරදුනේ නම් ඇයට එය කෙසේ හැගෙන්නේද? ඇයව තම පුතුගෙන් ඈත් කරන ඔබ කිසි විටෙකත් තම පුතු එසේ විනම් යනුවෙන් සිතා බලා තිබේද? නුතන තාක්ෂණයත් සමග අසල්වැසි නිවෙසක එසේ වුවහොත් එය පිළිගන්නා ඔබ එම ප්රශ්නය ඔබ හා ඔබේ දරුවෙකුට වුවහොත් විටෙක ප්‍රතික්ෂේප කරනු ඇත.
සංක්‍රාන්තික තරුණියක් වන මා ඔබට සිතීමට යමක් මින් ඉතිරි කරමි.
![]() |
ජාතික සංක්‍රාන්ති සමාජභාවී ජාලයේ ක්‍රියාකාරී සාමාජිකාවකි. මේ වන විට විවෘත විශ්ව විද්‍යාලයේ විලාසිතාකරණය පිළිබද උපාධිය හදාරමින් සිටී. |
![]() |
Voices & Changes අරමුදලේ සහයෝගයෙනි. |



![Two Blues [Converted]](http://old.bakamoono.lk/siadmin/wp-content/uploads/2018/10/Two-Blues-Converted-2.png)