එච්.අයි.වී සමග ජීවත් වන පුද්ගලයෙකුගේ රුධිරය, මව් කිරි, ශුක්‍ර තරල, යෝනි ශ්‍රාව සහ ගුද තරල යන තරල වලින් එකක් තවත් පුද්ගලයෙකුගේ රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වීම මගින් එච්.අයි. වී ආසාදනය වනවා. එසේ වීමට සමෙහි කැපුමක්, තුවාලයක් හෝ කිසියම් ආකාරයේ රුධිර සංසරණ පද්ධතියට ඇතුළු විය හැති දෙරටුවක් තිබිය යුතුයි. යෝනි මාර්ගයේ, ගුද මාර්ගයේ සහ මුත්‍රා මාර්ගයේ ඇති සිළුටු ශේෂමල පටල නිතර මෙවැනි කැපුම් සීරීම් වලට ලක් වන අතර අනාරක්ෂිත ලිංගික හැසිරීම් මඟින් එච්.අයි.වී සම්පේෂණය වීම ඉහල අගයක් ගන්නේ ඒ නිසායි.
කෙල වැනි ශරීරයේ ඇති වෙනත් තරල වලද එච්.අයි.වී වෛරසය පවතන නමුත් එම තරල වල ඇති වෛරස පිටපත් ප්‍රමාණය වෙනත් පුද්ගලයෙකුට වෛරසට සම්ප්‍රේෂණය කිරීමට තරම් ප්‍රමාණවත් වන්නේ නැහැ. හොදින් මතක තබා ගන්න, එච්.අයි.වී වෛරස සම්ප්‍රේෂණය වන්නේ රුධිරය, මව් කිරි, ශුක්‍ර තරල, යෝනි ශ්‍රාව සහ ගුද තරල යන තරල පහෙන් පමණයි.
නිවැරදි ප්‍රතිකාර ලබා ගන්නා එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයින්ගෙන් මේ තරල පහ මගින් වෛරසය සම්ප්‍රේෂණය වන්නේ නැහැ.
මවගෙන් දරුවාට එච්අයිවී සම්ප්‍රේෂණය වීම
ශ්‍රී ලංකාවේ සියළුම ගර්භණී ස්ත්‍රීන් එච්අයිවී පරීක්ෂණයක් සදහා යොමු කරන බැවින් මවගේ දරුවාට එච්අයිවී සම්ප්‍රේෂණය වීම සම්පූර්ණයෙන් වළක්වා තිබෙනවා. ඒ බව 2020 වසෙර්දී ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් සහතික කර තිබෙන අතර එච්අයිවී සමග ජීවත් වන යුවලවලට දැන් එච්අයිවී වෛරසයෙන් තොර දරුවන් බිහි කිරීමට ශ්‍රී ලංකාව තුළ හැකියාව තිබෙනවා.
ලිංගික හැසිරීම් මගින් එච්අයිවී සම්ප්‍රේෂණය වීම
එච්අයිවී සම්ප්‍රේෂණය වීමට වැඩිම අවදානමක් ඇත්තේ අනාරක්ෂිත ගුද සංසර්ගය මගින්. ගුද මාර්ගය, යෝනි මාර්ගය මෙන් ස්වභාවිකව තෙත් වීමක් සිදු නෙවන නිසා එහි ඇති ඝර්ෂනය ඉහළයි. එම නිසා සීරීම් ඇති වීමට වැඩි අවදානමත් පවතිනවා. එම සීරීම් වෛරසයට රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වීමට හැකි දොරටුය.
අනාරක්ෂිත යෝනි සංසර්ගයේදී යෝනි ශ්‍රාවය ලිහිසි මාධ්‍යයක් ලෙස ක්‍රියා කළද කොන්ඩමක් පළදින්නේ නැතිව සංසර්ගයේ යෙදුණොත් ලිංගික අවයව වල සිළුටු ශේෂමල පටල සීරීම නිසා එච්අයිවී සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇත බව අමතක කරන්න එපා.
අනාරක්ෂිත මුඛ සංසර්ගයෙන්ද එච්අයිවී සම්ප්‍රේෂණය වීමේ අවදානමක් පවතිනවා. මුඛයේ හෝ උගුරේ ඇති සීරීම්, තුවාල මගින් යෝනි ශ්‍රාවය, ශ්‍රක්‍ර තරලය හෝ ගුද තරල රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වීමට ඉඩ තිබනවා.
කොන්ඩමය පිට පැත්තේ තැවරෙන යෝනි ශ්‍රාවය හෝ ගුද තරල මගින්ද එච්අයිවී සම්ප්‍රේෂණය විය හැකියි. කොන්ඩමය අල්ලන විට ඔබේ අතේ කැපුමක් සීරීමක් වැනි රුධිර සංසර්ණ පද්ධතියට දෙරටුවක් ඇත් දැයි අවධානයෙන් සිටින්න. කැපීම් සීරීම් සිදු වන්නේ සිළුටු ශේෂමල පටල වල පමණක් නොවේ.
එමෙන්ම ඔබ ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට හෝ කන්‍යාභාවය ලෙස ඔබ සිතන දෙන ආරක්ෂා කර ගැනීමට කළවා සංසර්ගයේ යෙදෙන විටදී, කළවා ප්‍රදේශයේ කැපීමක්, සීරීමක් හෝ තුවාලයක් සිදුවී ඇත් නම් එම දොරටුව මගින් ද එච්අයිවී සම්ප්‍රේෂණය වීමට හැකියාවක් ඇත.
ලිංගිකව එච්අයිවී සම්ප්‍රේෂණයේදී බලපාන ප්‍රධාන සාධකය වන්නේ ලිංගික සහකරුගේ ශරීරයේ ඇති වෛරස පිටපත් ප්‍රමාණයයි. නිවැරදිව ප්‍රතිකාර ලබා ගන්නා අයගේ රුධිරයේ වෛරස මට්ටම හදුනාගත නොහැකි මට්ටමට ( undetectable) පත් වන නිසා ඒ අයගෙන් එච්අයිවී සම්ප්‍රේෂණය වන්නේ නැහැ.
රුධිරය මගින් එච්අයිවී සම්ප්‍රේෂණය වීම
ශරීරයේ වෛරස් මට්ටම ඉහල ප්‍රමාණයක් ඇති එනම්, නිවැරදිව ප්‍රතිකාර නොගන්නා පුද්ගලයෙකුගේ රුධිරය මගින් එච්අයිවී සම්ප්‍රේෂණය විය හැකියි.
එවැනි අවස්ථාවකට උදාහරණයක් වන්නේ මත් ද්‍රව්‍ය විද ගනීම සදහා හවුලේ එන්නත් භාවිත කිරීමයි.
රුධිර පාරවිලනය හරහා එච්අයිවී ආසාදනය වීමට හැකියාවක් තිබුණත් ශ්‍රී ලංකාව තුළ සිදු කරන නිරන්තර පරීක්ෂණ නිසා එවැනි සිදුවීම් දැන් වාර්තා වන්නේ නැහැ. ලේ බැංකුව මගින් රෝගීන්ට ලබා දෙන රුධිරය එච්අයිවී සදහා පරීක්ෂණයට ලක් කරන අතර, ඒ ගැන සැකයක් ඇත්නම් එච්අයිවී පරීක්ෂණයක් සිදු කර ඇත් දැයි ඇසීමට රෝගීන්ට හෝ ඔවුන්ගේ පවුලේ අයට අයිතියක් තිබෙනවා.
රුධිර පාරවිලනය මගින් එච්අයිවී බෝ වීම ගැන ජනප්‍රිය මාධ්‍ය තුළ නිතර මතු වන දෙයක්. ඒ වටා නිර්මාණය වුණු චිත්‍රපට ඔබ නරඹා ඇති. නමුත් යථාර්තය ඊට වඩා සුභදායී බව අමතක කරන්න එපා.
PEP ඖෂධ
සෞඛ්‍යය සේවාවන් අතරතුරදී අනතුරක් මගින් එච්අයිවී ආසාදිත රුධිරය ශරීර ගත වූ බවට සැකයක් ඇත්නම්, PEP ඖෂධ (post-exposure prophylaxis) ලබා ගැනීමට හැකියි. පැය 72ක් ඇතුළත මේ ඖෂධ ලබා ගත යුතු අතර එමගින් එච්අයිවී වෛරසය ශරීරයේ T සෛල වලට ඇතුළු වීම වළක්වනවා.
ඔබට එච්අයිවී සම්ප්‍රේෂණය වී ඇතැයි සැක සිතනවා නම් know4sure.lk වෙබ් පිටුව වෙත ගොස් පරීක්ෂණයක් සදහා වෙලාව වෙන් කරවා ගන්න.
එච්අයිවී සම්ප්‍රේෂණ වලක්වාගැනීම සදහා PrEp ඖෂධ භාවිත කළ හැකි ආකාරය ගැන කියවන්න.