
නඳුනි මධුමාලි විසිනි.
‘මැනෝස්ෆියර්’ යනු කුමක් ද?
එක්සත් ජාතීන්ගේ කාන්තාවන් පිළිබඳ සංවිධානයට (UN Women) අනුව “නියම පිරිමියෙකු වන්නේ කෙසේ ද සහ පිරිමිබවේ තේරුම පිළිබඳ පටු සහ අන්තගාමී අර්ථ දැක්වීම් ප්‍රවර්ධනය කරන අන්තර්ජාල කණ්ඩායම් ‘මැනෝස්ෆියර්’ යන පොදු පදයෙන් හඳුන්වයි”. ස්ත්‍රීවාදය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මුලිමනින් ම ප්‍රතික්ශේප කිරීම හා ඒවා තුළින් ‘නියම පිරිමියා’ පීඩාවට පත් කරන බව ද මෙම කණ්ඩායම් පොදුවේ විශ්වාස කරයි. ඔවුන් චිත්තවේග පාලනය (emotional control), මූල්‍යමය ධනය, භෞතික පෙනුම සහ කාන්තාවන් කෙරෙහි දක්වන ආධිපත්‍යය (autonomy over women) යන දෑ පිරිමිකමේ ප්‍රධාන අංග ලෙස හඳුනාගනියි. පුරුෂ ආධිපත්‍යය, බෙදා වෙන් කරගත් සාම්ප්‍රදායික ස්ත්‍රී-පුරුෂ භූමිකා (strictly divided gender roles) සහ කාන්තාවන් කෙරෙහි පවතින අමනාපය ප්‍රවර්ධනය කරන මොවුන්, අන්තර්ජාලය ඔස්සේ එකිනෙක සම්බන්ධ වී ඇති කණ්ඩායම් රැසකින් සමන්විත වන අතර මෙම මතවාදය ගෝලීව ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් සමාජ මාධ්‍ය තුළ content නිර්මාණය කරයි.

සමාජ මාධ්‍ය පරිශීලකයින්, පොඩ්කාස්ට් අසන්නන්, ක්‍රීඩක ප්‍රජාවන්, dating apps භාවිත කරන්නන් ඇතුළු ඩිජිටල් අවකාශයන්හි සැරිසරන සියලු පිරිමි පරිශීලකයින් ඉලක්ක කරගෙන ‘මැනෝස්ෆියර්’ තුළ මතවාද ගොඩනැගෙයි. පිරිමින්ගේ ගැටලු විවෘතව සාකච්ඡා කිරීමට හෝ ඉගෙන ගැනීමට ඇති සංසද තුළ පිරිමින්ගේ ආත්ම විශ්වාසය, පෞරුෂත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව පෙනෙන්නට තිබුණ ද, මෙම කණ්ඩායම් බොහොමයක් අන් අයව, විශේෂයෙන්ම කාන්තාවන් පහත් කිරීමෙන් තමන්ව ගොඩනඟා ගැනීමට පිරිමි ළමයින්ට සහ පිරිමින්ට උපදෙස් දීම ප්‍රවර්ධනය කරයි.
එහි වඩාත්ම දෘශ්‍යමාන උප සංස්කෘතීන් අතර ඉන්සෙල් (තම කැමැත්තෙකින් තොරව බ්රහ්මචාරීව සිටින – involuntary celibate) ප්‍රජාවන් ඇත, එහි දී සමහර සාමාජිකයින් විසින් කාන්තාවන්ගේ ආදරය, ඇසුර නොලැබීම හෝ කාන්තාවන් සමඟ ලිංගිකව එක්වීමට නොහැකි වීම හෝ ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් කාන්තාවන් කෙරෙහි දැඩි වෛරයක් ප්‍රකාශ කරයි; පිරිමින් මුහුණ දෙන හුදකලාබවට, තනිකමට හා ඔවුන්ට ලිංගික එක් වීමට නොහැකි වීමට හේතුව කාන්තාවන්ගේ වදර බව ප්‍රකාශ කරන පිරිමි ආධිපත්‍යය සහ ස්ත්‍රීන් කෙරෙහි වෛරය ප්‍රවර්ධනය කරන ‘රෙඩ් පිල්’ (red pill) ප්‍රජාවන් ද මෙම ‘මැනෝස්ෆියර්හි’ තවත් කොටසකි.

‘මැනෝස්ෆියර්හි’ ගෝලීය මුහුණුවර ඇන්ඩෲ ටේට් සහ මයිරන් ගේන්ස් (Andrew Tate and Myron Gaines) වැනි සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් (influencers) විසින් ද හැඩගස්වා ඇති අතර, ඔවුන්ගේ තම සමාජ මාධ්‍ය හරහා ආදර සබඳතා, ධනය, ලිංගික ප්‍රවේශය සහ පිරිමි අධිකාරිය ප්‍රවර්ධනය කිරීම වෙත අවධානය යොමුකර ඇත.

පෞරුෂත්ව පුහුණුව, සම්බන්ධතා ගොඩනඟා ගැනීමට උපදෙස්, පොඩ්කාස්ට්, ව්‍යායාම කිරීම සහ ජීවන රටා පවත්වාගෙන යෑම පිළිබඳ content හරහා, බැලුබැල්මට ස්ත්‍රී විරෝධී නොවන පෞරුෂ වර්ධනය, මූල්‍ය සාර්ථකත්වය, පුරුෂාභිමානය වැනි මාතුකා ඔස්සේ ඔවුන් පිරිමි ප්‍රේක්ෂක ආකර්ශනය ළඟා කරගනියි. විශේෂයෙන් ම මෙම බලපෑම්කරුවන් සතුව ඇතැයි ඔවුන් පෙන්වන වාහන, ධනය, සුවිසල් නිවාස, ඔවුන් ගත කරන සුඛෝපබෝගී ජීවිතය, විලාසිතා ආදිය නිසාවෙන් ඔවුන් ‘ජීවිතය දිනා ඇති නියම පිරිමින්’ ලෙස කුඩා පිරිමි ළමයින් හා තරුණයින් අතර ජනප්‍රියබවක් ලබා ගනියි. කෙසේ වෙතත් ‘මැනෝස්ෆියර්’ හරහා මෙම සමාජාකල්ප ප්‍රවර්ධනය කළ ඇන්ඩෲ ටේට් ඇතුළු ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ම මේ වන විට සමාජ මාධ්‍ය තහනමට හා අත්අඩංගුවට පත් ව ඇත.
ලාංකේය ‘මැනෝස්ෆියර්’ අවකාශය
‘මැනෝස්ෆියර්’ යන නමින් නොවුණ ද, සංකල්පමීය වශයෙන් ඊට සමාන අදහස් දරන හා පතුවරන කණ්ඩාම් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අවකාශය තුළ ද ක්‍රියාත්මක වේ. එම මත බටහිර ‘මැනෝස්ෆියර්’ මතවාදවලා බෙහෙවින් සමානවන්නාක් පමණක් නොව ලංකේය සමාජය තුළ දැනටමත් පවතින ස්ත්‍රී-පුරුෂ සමාජභාවය හා හැසිරීම් පිළිබඳ වන ගතානුගතික පිළිගැනීම් ද තවදුරටත් ත්රීව්ර කරන ඒවා වේ. ‘පිරිමින්ගේ බලය’ හෝ ‘නියම පිරිමි වීම’ අරමුණු කරගෙන නිර්මාණය වී ඇති මෙම සමාජ මාධ්‍ය සමූහ ඔවුන් පිරිමි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව හා ස්ත්‍රීවාදය ප්‍රතික්ෂේප කරන බව එළිපිට අඟවයි. මෙම කණ්ඩායම් තුළ අදහස් බෙදාගන්නා පිරිමින් බොහෝ විට ව්‍යාජ ගිණුම්වලින් (fake profiles) හෝ නිර්නාමික (anonymous participants) ලෙස පෙනි සිටිමින් තම සත්‍ය තොරතුරු වසන් කර තබා ගැනීමට පෙලඹීම ද පොදු වේ දක්නට ලැබෙන්නකි.
ගෝලීය ‘මැනෝස්ෆියර්’ තුළ දක්නට ලැබෙන කාන්තාවන්ගේ කැමැත්ත (consent) හා ඔවුන් සමඟ සබදතා ගොඩනගා ගැනීමේ දී ඇතිවන ගැටලු හා එම නිසා පිරිමින් තුළ හටගන්නා කනස්සල්ල හෝ කාංසිය පිළිබඳ සාකච්ඡා ලාංකේය කණ්ඩායම් තුළ ද දක්නට ලැබේ. ඊට ප්‍රතිචාර ලෙස එවැනි තත්තවයන් මඟ හරවා ගැනීමට අවශ්‍යවන සන්නිවේදන කුසලතා, ආත්ම ශක්තිය හෝ සමාජීය කුසලතා දියුණු කරගන්නා ආකාරය වෙනුවට කාන්තාවන් පහතට හෙලන, පිරිමින් යනු වටිනාකමින් වැඩි ලිංගික කොට්ඨාශයක් ය යන අදහස් හුවමාරු වේ.

කාන්තාවන් පිරිමින් සමඟ ඇසුරු පවත්වන්නේ පිරිමින් සතු ධනය හා මිල මුදල් පවතින තාක් කල් පමණක් බව ද ගෝලීය මෙන් ම ලාංකේය ‘මැනෝස්ෆියර්’ තුළ විශ්වාස කෙරෙන මතයකි. ඒ අනුව කාන්තා ඇසුරු ලැබීමට නම් පිරිමියා ධන්වත් විය යුතු බවටත්, ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා වැඩ කළ යුතු බවටත්, එසේ කළ ද එම කැපකිරීම් කාන්තවන් අගය නොකරන බව ද, කාන්තාවන් යනු මූල්‍යමය වාසි තකා පමණක් පිරිමින් සමඟ ඇසුරු පවත්වන පටු මානසිකත්වයක් ඇති පිරිසක් බව ද ඔවුන් විශ්වාස කරයි.


පොදු වේ ස්ත්‍රී විරෝධී ආකල්ප දැරුව ද තම මව්වරුන් උතුම් කොට සලකන මෙම කණ්ඩායම්, ඔවුන්ගේ මව්වරුන්ගේ පරම්පරාවේ කාන්තාවන්ව ‘නියම ගැහැනුන්’ ලෙස අගය කරන අතර, සීමීත අයිතිවාසකිම් සහිත ව, වැටුප් ලැබීමකින් තොරව මව්වරුන් සිදු කළ සුරැකුම් සේවා වත්මන් ගැහැනිය සිදු කිරීමට සූදානම් නොවීම පිළිබඳ වෛරයකින් පසුවෙයි. ඔවුන්ට අනුව ඒ ආකාරයේ සාම්ප්‍රදායික ‘නියම ගැහැනුන්’ වත්මන් සාමාජය තුළ නොමැති වීමට හේතුව ස්ත්‍රීවාදය හා ඒ තුළින් කාන්තාවට ලබා දී ඇති ආර්ථික අයිතීන් හා රැකියා අවස්ථා යි; එම නිසා ඔවුන් වැනි පිරිමින්ට විවාහ වීමට, සබඳතා පැවැත්වීමට, හා දරුවන් සෑදීමට ‘නියම ගැහැනුන්’ නොමැතිකමට, එම නිසා බිඳ වැටෙන විවාහ සංස්තාවට හා පහළ යන උපත් සංඛ්‍යාවට වගකිව යුත්තේ ස්ත්‍රීවාදීන් බව ‘මැනෝස්ෆියර්’ මතදාරීන්ගේ විශ්වාසය යි. ඔවුන්ට අනුව ඊට විසදුම කාන්තාවන් ආර්ථිකට දායක වීමෙන් හා වැඩිදුර අධ්‍යාපනය ලැබීමෙන් ඈත් වී ගෘහාශ්‍රිත කටයුතු පමණක් සිදු කරමින්, දරුවන් රැකබලාගැනිම යි.


සමලිංගික, හා සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව කෙරෙහි ඇති වෛරය ද ‘මැනෝස්ෆියර්’ තුළ ප්රබලව පිළිගැනෙන මතවාදයකි. විශේෂයෙන් ම සමලිංගික පිරිමි ප්‍රජාව කෙරෙහි දැඩි වෛරයක් හා පිළිකුලක් පෙන්නුම් කරන ‘මැනෝස්ෆියර්’ ප්‍රජාව, ඔවුන් පිරිමින් ලෙස උපත ලැබුව ද විෂම ලිංගික නොවීම නිසා එය ‘නියම පිරිමිකමට’ කරන නිගාවක් ලෙස සලකයි.

ඉහත මතවාදයේ ම දිගුවක් ලෙස සාම්ප්‍රදායිකව පුරුෂාර්ථ ලෙස ගැනෙන (උස වීම, මාංශපේෂී වර්ධනය වී තිබීම, රැවුල තිබීම, අධිපතිභාවී හැසිරීම) අන්දමේ බාහිර පෙනුමක්, හැසිරීමක් හෝ ගති ස්වභාවයන් නැති, කාන්තා චරිත ලක්ෂණ ලෙස සමාජයේ පිළිගැනෙන සංවේදීකම්, මටසිළුටු ස්වභාවය, ලාලිත්‍ය හෝ සිහින් සිරුරකින් යුතු පිරිමින්ව ඔවුන් හාසය්‍යට හා උපහාසයට ලක් කරයි; ‘නියම පිරිමියා’ එසේ නොවිය යුතු බව හා හැඩි දැඩි, රළු අයෙකු විය යුතු බව ඔවුන් විශ්වාස කරයි.

‘මැනෝස්ෆියර්’හි බලපෑම හා අවදානම
ස්ත්‍රී විරෝධී ‘මැනෝස්ෆියර්’ මතවාද හේතුවෙන් කාන්තාවන්ට සිදුවන සයිබර් හිරිහැර, ඡායාරූප/ වීඩියෝ යොදාගෙන කෙරෙන ලිංගික අපයෝජන, තර්ජන සහ තාක්ෂණය හා කෘතිම බුද්ධිය යොදාගෙන සිදු කරන චරිත ඝාතන හා නිරුවත් ඡායාරූප නිර්මාණය ඇතුළු අන්තර්ජාලය හරහා සිදුවන හිංසන ඉහළ යයි. එමෙන් ම මෙවැනි මතවාද හේතුවෙන් අන්තර්ජාලයෙන් ඔබ්බට ගොස් බාහිර සමාජය තුළ දී ද කාන්තාවන් මෙතෙක් මුහුණ දුන් හිංසන සාධාරණීකරණය වනවා මෙන් ම කාන්තවන් එසේ හිංසනයට ලක් විය යුතු අය ලෙස ද හැඟ වේ. පුරුෂාර්ථ හා පිරිමින් විසින් කාන්තාවන්ට එරෙහිව සිදු කරන හිංසනය පිළිබඳ සිදු කරන ලද පර්යේෂණයකට අනුව එවැනි හිංසන ක්‍රියා සිදුකළ පිරිමින් ‘මැනෝස්ෆියර්’ හා ඒ හා බැඳෙන ස්ත්‍රී විරෝධී මතදාරීන් බවට හෙළිවිය.
[එම අධ්‍යනය කියවන්න: https://www.tandfonline.com/doi/full/10.1080/18902138.2024.2430513 ]
සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය-ඇමරිකානු වාර්තාමය මාධ්‍යවේදියෙකු වන ලුවී තරෝ (Louis Theroux) විසින් සිදු කළ “Inside the Manosphere” නෙට්ෆිල්ස් වාර්තාමය වැඩසටහන (Netflix documentary) හා “Adolescence” නෙට්ෆිල්ස් ටෙලිකතා මාලාව හරහා ‘මැනෝස්ෆියර්’ මතවාද හරහා තරුණ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර කැමැත්ත (consent), තම ශරීරය කෙරෙහි ඇති ආධිපත්‍ය (bodily autonomy), ලිංගික අයිතීන් පිළිබඳ තොරතුරු වෙත ඇති ප්‍රවේශය, ප්‍රජනනය පිළිබඳ තීරණ ගැනීම අඩපණ කළ හැකි ආකාරය සහ හානිකර පුරුෂාධිපත්‍ය ප්‍රවර්ධනය කිරීම සිදුවන ආකාරය ඉස්මතු කරන ලද්දේ ගෝලීව මෙහි උග්‍ර බලපෑම පිළිබඳ ව රතු එළියක් දල්වමිනි.

එක්සත් රාජධානියේ විශේෂඥයන් පිරිසක් විසින් පසුගිය දින සිදු කළ අධ්‍යනයක් හරහා ‘මැනෝස්ෆියර්’ මතවාද හා ස්තී විරෝධී මතවාද පැතිරීම මහජන සෞඛ්‍ය තර්ජනයක් සේ සැලකිය යුතු බවට අනතුරු අඟවයි; දුම්කොළ භාවිතය සහ අධිකව කෘතිම ලෙස සැකසූ ආහාර (ultra-processed food) සම්බන්ධයෙන් ලොව පුරා මහජන සෞඛ්‍ය අංශය ගත් ක්‍රියාමාර්ගවලට සමානව රජයන්, පාසල්, සෞඛ්‍ය සේවා සහ ප්‍රජා සංවිධානවල සහභාගීත්වයෙන් යුත්, මනාව සම්බන්ධීකරණය වූ ප්‍රතිචාරයක් මෙම මතවාද මැඬලීමට අවශ්‍ය බව මෙම අධ්‍යනය මගින් පෙන්වා දෙයි.
[එම අධ්‍යනය කියවන්න: https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(26)02027-1/fulltext ]
‘මැනෝස්ෆියර්’ මතවාද හරහා කාන්තාවන් වින්දියතයින් බවට පත්වනවා සේ ම කුඩා පිරිමි දරුවන් ද වෙනත් ආකාරයකට එහි ගොදූරු බවට පත් වේ. පිරිමියෙකු කෙබඳු විය යුතු ද හා පිරිමියෙකු ලෙස ජීවත් විය යුත්තේ කෙලෙස ද යන්න පිළිබඳ නිවැරදි හා යහපත් මඟ පෙන්වීමක් නොමැති පසුබිමක ඒ සඳහා ‘මැනෝස්ෆියර්’ මතවාද හා කණ්ඩායම් වෙත ඔවුන් යොමු වේ. ‘මැනෝස්ෆියර්’ මතවාද ප්‍රවර්ධනය කළ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හා ප්‍රසිද්ධ පුද්ගලයින් විසින් මෙහෙයවනු ලැබූ පාඨමාලා, වැඩමුළු, පන්ති හා උපදෙස් මාලා හේතුවෙන් බාලවයස්කාර අන්තර්ජාල පරිශීලක පිරිමි දරුවන් නොදැනුවත්ව ම මෙම චින්තන රටාවට හැඩගස්වා ගැනීම සිදු වන බව ද විශ්ලේෂකයින්ගේ අදහස යි.
[වැඩිදුර කියවන්න: https://news.un.org/en/story/2025/03/1160876 ]
වෛරයට එරෙහි වීමෙන් ඔබ්බට
‘මැනෝස්ෆියර්’ විසින් ප්‍රවර්ධනය කරන වෛරී හා හානිකර මතවාද ප්‍රතික්ෂේප කර බැහැර කිරීමෙන් ඔබ්බට ගිය ප්‍රතිචාරයක අවශ්‍යතාව ගෝලීයව පැනගැනී ඇති ගැටලුවකි. එම හානිකර මතවාදයන්ට අභියෝග කරන අතරම එම මතවාද ප්‍රසිද්ධියට පත් කරන තත්වයන්ට ද විසඳුම් සෙවිය යුතු අතර එම විසඳුම් ස්ත්‍රීපුරුෂ සමාජභාවය හා ස්ත්‍රී පුරුෂ හැසිරීම් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව නිර්මාණය කළ යුතු ඒවා යි.
පිරිමින්ගේ කායික මානසික ගැටලුවලට විසදුමක් ලෙස ‘මැනෝස්ෆියර්’ අවකාශ නිර්මාණ වීමේ දී ගොඩනැගුනු එක් තර්කයක් නම් පිරිමින්ගේ ගැටලු ලොවට නොතේරෙන බව හා කාන්තාවන් ඒවාට සංවේදී නොවන බවයි; විශේෂයෙන් ම පුරුෂමූලික සමාජයක ධනවාදී ආර්ථික ක්‍රමයක් තුළ ගෝලීයව ඉහළ යන උද්දමනය හමුවේ මුදල් උපැයීමට පිරිමියාට එල්ලවන බලපෑම හා ඒ හරහා ගොඩනැගෙන මානසික පීඩනය අඩු කරගැනීමට අවශ්‍යවන කුසලතා හා මඟ පෙන්වීම ලබා දීමට හැකි අවකාශයන් නිර්මාණය කිරීම මෙයට විකල්පයක් විය හැකි ය.
‘මැනෝස්ෆියර්’ මතදාරීන් ස්ත්‍රීවාදය ඉතා තදින් හෙලා දැක්ක ද, ඒ හරහා යහපත් පුරුෂාර්ථ (healthy masculinities) ප්‍රවර්ධනය කරන ආකාරය හා හානිකර පුරුෂාර්ථ (toxic masculinities) ප්‍රතික්ෂේප කරන ආකාරයත් හරහා අවාසාන ඉලක්කය වන්නේ පිරිමියාට වඩා යහපත් ජීවන තත්ත්වයක් උදා කිරීම යි. ‘මැනෝස්ෆියර්’ මත ප්‍රවර්ධනය කරන්නන්ට අනුව එහි අරමුණ ද ස්ත්‍රීවාදය හා සමාන නම් එය ළඟා කරගැනීමට හැකිවන්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය (gender equality) උදා කිරීමෙන් හා වඩා නම්‍යශීලී ස්ත්‍රී පුරුෂ සමාජ භුමිකා (flexible gender roles) සහෛත සමාජයක් නිර්මාණය කරගැනීමෙන් විනා සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ සමාජ භුමිකා හරහා නොවන බව අවබෝධ කරගත යුතු ය; මන් ද යත් එක් ලිංගික කොට්ඨාශයකට (පිරිමින්ට) විමුක්තිය ලබා ගත හැක්කේ අනෙකා (ගැහැනුන්) යටපත් කරගෙන සිටීමෙන් නොව එකිනෙකා සමාන ලෙස සලකා සමානාත්මතාවය ඇති සමාජයක් බිහි කර ගැනීමෙනි.