2020 ජූනි 22
අභිමාන මාසය වෙනුවෙනි.
‘ඇමරිකාවේ වෙසෙන සමකාමී පුරුෂයින්ට හා කාන්තාවන්ට, ද්වීලිංගික පුද්ගලයන්ට සහ සංක්‍රාන්ති ලිංගිකයන්ට ඔවුන්ගේ ලිංගික දිශානතිය (Sexual Orientation) හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාව අනන්‍යතාව (Gender Identity) නිසා රැකියා ස්ථානයේ වෙනස් කොට සැලකීමට නොහැකිය’ යන්න 2020 ජූනි 15 වන දින එරට ඓතිහාසිගත නඩු තීන්දුවක් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්නා. එක් ලෙසකින් මෙය අමෙරිකානු LGBTIQ ප්‍රජාව ලද ජයග්‍රණයක් පමණක් නොව ස්ත්‍රී පුරුෂ සමාජභාව අනන්‍යතාව (Gender Identity) නිසා රැකියාවකට සුදුසුකම් නොලැබීමට, අභිමානවත් ලෙස රැකියාවේ නියුතු නොවීමට, රැකියාවෙන් නෙරපා දමනු ලැබීමට සහ අන් අය හා සමානව වැටුප් හා දීමනා නොලැබීමට ලක්වෙන ඕනෑම පුද්ගලයෙකුගේ ජයග්‍රහණයක්. එය ස්ත්‍රී පුරුෂ සමාජභාව අනන්‍යතාව වෙනස් විෂමකාමී ස්ත්රීන්ට හා පුරුෂයන්ටද අදාළ වෙනවා.
වැඩිදුර කියවන්න – සම ලිංගිකත්වය මානසික රෝගයක් නොවන බව ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය පිළිගනියි
ලොව පුරා වෙසෙන LGBTIQ ප්‍රජාවට අයත් පුද්ගලයින් දිනපතා තම අනන්‍යතා හේතුවෙන් රැකියාවක් සඳහා සුදුසුකම් නොලැබීමට, රැකියා ස්ථානයෙන් නෙරපීමට යනාදී ලෙස නොයෙකුත් අසාධාරණයන්ට ලක්වෙනවා. මේ හේතුවෙන් ඔවුන්ගේ ජීවිතය ගෙන යාමට තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යාමට, එම ප්‍රජාව වැඩි වශයෙන් නියුතු වෙන ඒකකෘත රැකියාවක (Stereotype Jobs) නියුතු වීමට හෝ සමාජය විසින් අසම්මත යැයි ලේබල් කරන රැකියාවන්හි නියුතු වීමට හෝ නීති විරෝධී රැකියාවල නියුතු වීමට සිදු වෙනවා. නමුත් මෙම ගැටලුව LGBTIQ ප්‍රජාවට පමණක් බලපාන ගැටළුවක් පමණක් නොව බොහෝ සුළු ජන ප්‍රජාවන්ට මතු වෙන ගැටළුවක්. (ජනවර්ග, කුල, ආබාධිත, සංක්‍රමණික, සරණාගත යනාදී ලෙස). රැකියාවක අවශ්‍යතාව පුරවැසියෙකු ලෙස අභිමානවත් ලෙස ජීවත් වීමට විශාල ලෙස බල පානවා. එය ඕනෑම පුරවැසියෙකුගේ අයිතියක්ද වෙනවා.
ඕනෑම ශ්‍රී ලාංකීය පුරවැසියෙකුට අභිමානවත් ජීවිතයක් ගත කිරීමට තමන් සුදුසුකම් ලබන, තමන්ට හැකි ජීවනෝපාය මාර්ගයක නියැලීමට අවස්තාව තිබිය යුතුයි. එය අප ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ‘මුලික අයිතිවාසිකම්’ අඩංගු 3 වන පරිච්ඡේදයේ 14 (උ) වගන්තියෙන් සඳහන් වෙනවා. එයට අනුව ‘ එකලාව හෝ අන් අය හා සමඟ යම් නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළෙඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්තවීමේ නිදහසට හිමිකම ඇත්තේය’ ලෙස සඳහන් වෙනවා.
නමුත් LGBTIQ ප්‍රජාවට මෙන්ම සුළුතරයක් නොවන ස්ත්රීන්ට, ශාරීරික හා මානසික අබාධ සහිත පුද්ගලයන්ට, නීතිය මඟින් දඬුවම් ලබා සිටි පුද්ගලයන්ට, සම අධ්‍යාපන අවස්ථා අහිමි පුද්ගලයන්ට යානාදී ලෙස මෙරට බොහෝ පුද්ගලයන්ට වෘත්තීය සමානාත්මතාවය නොලැබෙන තරම්. එකම වෘත්තියක නියුතු ස්ත්‍රීයකට හා පුරුෂයෙක්ට ලැබෙන වැටුප් දෙයාකාර වෙනවා. වෘත්තීය සඳහා කොපමණ සුදුසුකම් තිබුනද, ආබාධිත බව නිසා බොහෝ පුද්ගලයන්ට රැකියාවල් අහිමි වන්නේ ඔවුන් අසමත් යැයි කියමින්. තම ලිංගික දිශානතිය හේතුකොට ගෙන බොහෝ සමකාමී පිරිස් රැකියාවෙන් නෙරපීමට හා අන් අය භුක්ති විදින වරප්‍රසාද නොලැබී යනවා. තම ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා සම්මුඛ පරීක්ෂණ නොපවත්වාම බොහෝ සංක්‍රාන්ති සමාජභාවී පිරිස් හරවා යැවෙනවා.
තමන්ගේම කියා ව්‍යාපාරයක් හෝ පටන් ගැනීමට නොහැකි සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවන්ට (Transgender) අයත් බොහෝ පිරිසට ලිංගික ශ්‍රමිකත්වය තම රැකියාව ලෙස තෝරා ගැනීමට සිදු වෙනවා. එම නිසාම ඔවුන් ‘ලිංගික වෘත්තිකයන්’ (Sex Workers) ලෙස සමාජයෙන් ලේබල් වී තිබෙනවා. තවද සමාජ හා පුද්ගලික උත්සව අවස්ථාවන්වල නර්තනයේ යෙදීමට, විවාහ හා අවමංගල්‍යයන්හි කෑම පිසීමට සහ නොයෙකුත් නීති විරෝධී රැකියාවල නියුතු වීමට සිදු වෙනවා. තවද තම පුද්ගල කැමැත්ත ඇතිව හෝ නැතිව මෙම ප්‍රජාවන් නිරායාසයෙන්ම තල්ලු වන ඒකකෘත රැකියාවන්වල නියුතු වීමට මොවුන්ට සිදුවෙනවා. උදාහරණයක් ලෙස රුපලාවන්‍ය, කොණ්ඩා කැපීම, ඇදුම් මැසීම, මල් සැකසුම් වැනි වෘත්තීයන්. මෙම වෘත්තීයන්හි කිසිම අඩු අවතක්සේරුවක් හෝ අඩු වටිනාකමක් නොමැති වුවද, LGBTIQ ප්‍රජාවේ පුද්ගලයන්ට මෙම රැකියාවන් පමණක් උරුම බව තීන්දු කළේ කවුද?
LGBTIQ ප්‍රජාවේ පුද්ගලයින්ද අනෙකුත් පුද්ගලයන් සේම විවිධාකාර වූ දක්ෂතාවයන්ගෙන්, සුදුසුකම්වලින් යුක්ත පිරිස්. නමුත් බොහෝ පිරිස් විවිධ රැකියාවල නියුතු වෙනවා. බොහෝ විට ඔවුන්ට තම අනන්‍යතාවයන් සඟවා ගෙන රැකියාවල නියුතු වීමට සිදුවන්නේ රැකියාවේ සුරක්ෂිතභාවය රදා පවතින්නේ එම හේතුව නිසා බැවින්. එබැවින් පුද්ගල අභිමානයකින් මෙන්ම වෘත්තීමය අභිමානයකින් තම වෘත්තියේ නියැලීමට ඔවුන්ට හැකි වන්නේ නැහැ. ඉහල සමාජ පිළිගැනීමක් ලද වෘත්තියක නියුතු වුවද, ඔවුන්ගේ ලිංගික දිශානතිය දැන ගත් වහාම ඔවුන් එතරම් වැදගත් නොවන, ගරු කටයුතු නොවන පුද්ගලයින් බවට සැළකුම් ලබනවා. පුරුෂභාවය උත්කෘෂ්ටයට නංවන පොලිසිය, හමුදාව වැනි රැකියාවල නියුතු LGBTIQ අනන්‍යතා ඇති පුද්ගලයින්ට සිදුවන්නේ තම ජීවිත කාලයටම තමන් නොවන අනන්‍යතාවලින් ජීවත් වීමටය.
ධනාත්මක ලෙස ලෝකයේ රටවල ඇතැම් රජයන් ලිංගික දිශානතිය හා ස්ත්‍රී පුරුෂ සමාජභාව අනන්‍යතාව හේතු කොට ගෙන වෘත්තීය වෙනස්කමකට භාජනය කළ නොහැකි බවට නීති සම්පාදනය කරනවා සේම ඇතැම් පෞද්ගලික ආයතනද එම ප්‍රතිපත්ති අනුගමනය කරන සෙයක් දැන් දැන් දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ඇතැම් සමාගම්ද තමන් එවැන් ප්‍රතිපත්ති අනුගමනය කරන බව ප්‍රකාශ කරනවා. නමුත් මේවා බහුතරයක් බහු ජාතික හෝ විශාල සමාගම් වෙන අතර බිම් මට්ටමේ වැඩ බිම්වලද මෙම අසමානතාවයන් දක්නට ඇත්තේ ඉතා අඩු වශයෙන්. ප්රශ්නය වැඩි වශයෙන් පවතින්නේ මධ්‍යම ආදායම් ලබන ප්‍රජාවන් තුළය.
සමකාමී ප්‍රජාවේ රැකියා සුරක්ෂිතභාවයට ඒ ඒ රටවල ඔවුන්ට විරුද්ධව තිබෙන නීතිද බලපානවා. මෙම බොහෝ නීති මඟින් ලිංගික ක්‍රියාවක් අපරාධයක් සේ සැළකුවද, එම නීති පුද්ගලයන්ගේ පුද්ගල ගරුත්වයට බලපාන නීතිද වෙනවා. ඒවා මඟින් ඔවුන් දෙවැනි පෙළ පුරවැසියන් සේ සැලකීම මඟින් රැකියා අවස්තාවන්හීද එලෙසම සැලකුම් ලබනවා. 2018 ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට සමකාමී ලිංගික ක්‍රියාව අපරාධයක් කරන, යල් පැන ගිය වික්ටෝරියානු නීතියක් වන එරට දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය ඉවත් කිරීමෙන් පසු ඉන්දියාවේ LGBTIQ ප්‍රජාවට ගරුත්වයකින් යුතුව ජීවත් වීමට, සමාජගත වීමට යම් තාක් දුරට අවස්ථාව ලැබී තිබෙනවා. නමුත් ඊට පෙරද ඉන්දියාවේ කේරලය, තමිල්නාඩු වැනි ප්‍රාන්තවල බොහෝ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවන්ට මෙන්ම සමකාමී පුද්ගලයන්ට සමාන රැකියා අවස්ථා ප්‍රාන්ත රජයන් විසින් ලබා දුන්නා. රටෙහි නීතිය කෙසේ වුවද ඇතැම් අවස්තාවන්හීදී ප්‍රාන්ත පොලිසිය මඟින් ඔවුන්ව ආරක්ෂා කළා. ඔවුන්ට වෘත්තීය සුදුසුකම් ලබා දුන්නා. තවද උත්තර ප්‍රදේශයේ කුෂිනාගර් දිස්ත්‍රික්කයේ සංක්‍රාන්ති සමජභාවී පුද්ගලයන් වෙනුවෙන්ම විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට නියමිතයි. පොලිසියේ රැකියාවන්ට පවා ඔවුන්ව බදවා ගත්තා. බටහිර බෙංගාලයේ සංක්‍රාන්ති සමාජභාවී ජොයිටා මොන්ඩාල් (Joyita Mondal) විනිසුරුවරියක් ලෙස සේවය කරනවා. බංග්ලාදේශයේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් මැතිවරණවලට ඉදිරිපත් වෙනවා. 2007 නේපාලයේ සමකාමීත්වය නිර්සාපරාධීකරණය කිරීමට මූලිකත්වය ගත්තේද සුනිල් බාබු පාන්ට් (Sunil Babu Pant) නමැති දේශපාලඥයා ය.
වැඩිදුර කියවන්න – සමරිසි භාවය ඉන්දියාව තුළ තවදුරටත් සාපරාධී ක්‍රියාවක් නොවේ
ලිංගික ක්‍රියාවක් නිසා නීතියෙන් අපරාධකරුවන් ලෙස හංවඩු ගැසෙන ප්රජාවකට අහිමි වන්නේ ලිංගික ක්රියාවේ යෙදීමේ නිදහස පමණක් නොවේ. දෙවැනි පෙළ පුරවැසියන් ලෙස සැලකුම් ලැබීමෙන් ඔවුන්ට අහිමිවෙන පුද්ගල ගරුත්වය හේතුවෙන් අභිමානවත් ලෙස සමාජයේ, තම පවුලේ හෝ තනිකඩව ජීවත් වීමට ඇති අයිතිය මෙම පුරවැසියන්ට අහිමි වෙනවා. ජීවනෝපාය ලෙස විශේෂයෙන් රැකියාවකට සුදුසුකම් නොලැබීම, රැකියාවේ වෙනස් කොට සැළකුම් ලැබීම, රැකියාවෙන් නෙරපා දැමීමට ලක් වීම මඟින් අන් අය හා සමානව සැළකුම් ලැබීමේ අයිතිය ඔවුන්ට අහිමි වෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් රැකියාවේ නිදහස පිලිබඳ සදහන් වුණද, එහිම ඇති බෙලහීනතාවය නිසා පවතින නීති අභියෝග කිරීමට ‘මූලික අයිතිවාසිකම්’ පනතින්ද බැහැ. එහෙවු මුලික අයිතිවාසිකමක් ඇති ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවකින් හෝ නීති පද්ධතියකින් ඇති ඵලය කුමක්ද? අභිමානය අවශ්‍ය වන්නේ මිනිසුන්ට දේදුනු කොඩි වනන්නට පමණක් නොවේ. සැණකෙළි පැවැත්වීමට පමණක් නොවේ. තම කලා කුසලතා පෙන්වීමට පමණක් නොවේ. ලිංගික ක්රියාවේ නියුතු වීමට පමණක් නොවේ. අභිමානය අවශ්‍ය මිනිසුන්ට මිනිසුන් ලෙස ජීවත් වීමටයි.
ඩෙන්ව මාක් විසිනි.