අත්වැල කතුවැකිය: ඵලදායී ප්‍රජාතන්ත්‍රවාදයක් කරා රට ගෙන යමු!

2019 සැප්තැම්බර් 30.

මෙරටෙහි දේශපාලන පක්ෂ වනාහි තරුණයන් සහ කාන්තාවන් නායකත්වයට නොගන්නා පුරුෂ මූලික සංවිධානයයි. මේවා තුළ සිටින ඉතා සුලු ප්‍රමාණයක් වූ කාන්තාවන්ට ස්වාධීනත්වයක් නැත. පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය පසුගිය වසර ගණනාවක් තුළ 6%කට වඩා වැඩි නොවීය. ලෝකයේ වෙනත් රටවල් සමග සන්සන්දනය කර බලන විට, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව කාන්තා නියෝජනය අඩුම පාර්ලිමේන්තු අතර ඇති බව පැහැදිලිය. 2018 පළාත් පාලන ආයතන වල 25% කාන්තා නියෝජනය වුවද එය යතාර්ථයක් කරගත නොහැකි විය. එය වර්තමානයේදී  22.8%ක් පමණ වේ. මෙය පැවති තත්වයට වඩා එය සාධනීය තත්වයකි. දේශපාලනය තුළ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම මේ රටේ සියලු පුරවැසියන්ගේ වගකීමක් විය යුතුය. යුක්තිය සහ සාධාරණය සඳහා දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහල නැංවීම වැදගත් වේ. පළාත් පාලන ආයතන තුල මෙන්ම පළාත් සභා සහ පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය 25% දක්වා වත් ඉහල නැංවීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපති තනතුරට තෝරා පත් කර ගැනීමේ ජනාධිපතිවරණය 2019 නොවැම්බර් 16 දින පැවැත්වෙන බව ප්‍රකාශ කර ඇත. ජනාධිපති අපේක්ෂකත්වය සදහා දැනට නම් කර ඇති අය අතර සිටින්නේ එක් කාන්තාවක් පමණි.

මානව ඉතිහාසයේ මුල් කාලීනව රටක සමස්ත අයිතිය හිමි වූයේ පාලන බලය හිමි රජුට හෝ පාලකයාටය. නමුත් ජනරජ සංකල්පය බිහි වීමත් සමග රාජ්‍ය නායකත්වය ජනතා කැමැත්ත මත තීරණය විය. රටක අයිතිය එම රටෙහි පුරවැසියන් සතුය යන සංකල්පය බිහිවිය. මේ අනුව ජනරජයක පරමාධිපත්‍ය පුරවැසියන් සතුය. මෙම පරමාධිපත්‍ය බලයේ කොටස් 3ක් දැක්වේ. එනම් පාලන බලතල, ජන්ද බලය, සහ මානව හිමිකම්ය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට අනුව  පුරවැසියන් සතු පාලන බලතල භාවිතා කරනු ලබන්නේ රජය විසිනි. එනම් විධායක බලතල, ව්‍යවස්ථාදායක බලතල, සහ  අධිකරණ බලතලය. මේ අනුව පුරවැසියා ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ බලතල රජයට ලබා දී ඡන්ද බලය සහ මානව හිමිකම් කිසිවෙකුටත් නොදී තමන් සතුව තබා ගනී. රජයට ලබා දෙන බලතල නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සහ නියාමනය කිරීම පිණිස පුරවැසියන් ඡන්දබලය හා මානව හිමිකම් භාවිතා කරයි.

රජය යනු පුරවැසියන්ගේ ආයතනයක් බැවින් සෑම රාජ්‍ය නියෝජිත ආයතනයක් හා නිලධාරියෙකුම පුරවැසියන් සතු ඡන්ද බලයට හා මානව හිමිකම් වලට ගරු කළ යුතුය. ඡන්ද බලය මානව අයිතිවාසිකමකි. ජනතා පරමාධිපත්‍යයේ පාලන බලතල රජයට ලබා දෙන පුරවැසියන් එම බලතල ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය මුදල් හා වෙනත් සම්පත් රජය වෙත ලබාදෙයි. රජය විසින් එම පාලන බලතල, මෙන්ම මුදල් හා සම්පත්, අල්ලස් හා දූෂණයෙන් තොරව, විනිවිද භාවයෙන්, වගවීම් හා වගකීම් සහගත ලෙස ජනතා අභිලාශයන් මුදුන්පත් වන පරිදි යොදා ගත යුතුය.

මේ රටේ ඡන්ද දායකයින්ගෙන් 52%ක් වූ කාන්තාවන් මෙදින අපගේ අයිතියක් වූ ඡන්දය පාවිච්චි කිරීම සදහා ඡන්දපලට යාම අත්‍යවශය්‍යය. ඡන්දය පාවිච්චි කළ යුත්තේ මැතිවරණ කාර්යාලය දෙන උපදෙස් අනුවය. මෙම  මැතිවරණය සාමකාමී වූත්, සාධාරණවූත්, ප්‍රචණ්ඩත්වයෙන් තොර වූත් මැතිවරණයක් බවට පත් කිරීම අප කාගේත් වගකීමකි. ඉහත කී ආකාරයෙන් රජයට ජනතාව ලබා දෙන බලය අපයෝජනය නොකර මහජන හිතකාමී පාලනයක් ගෙන යාමට සුදුසුකම් ඇති අපේක්ෂකයෙකු තෝරා ගැනීමද අපගේ වගකීමකි.

අප අපගේ ඡන්දය භාවිතා කළ යුත්තේ අන් අයගේ බලපෑමකින් තොරව බුද්ධිමත්ව දුරදක්නා නුවණකින් යුක්තවය. පියාගේ හෝ සැමියාගේ කීමට හෝ පවුලේ පුරුද්දට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ගොඩනැගෙන්නේ පුරුෂ මූලික දේශපාලනයකි. පලදායී ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා සියලු පුද්ගලයන් දැනුවත් දී දේශපාලන අවබෝධයකින් යුතුව ස්වාධීනව චන්දය ප්‍රකාශ කිරීම වැදගත් ය. සුලුතර ප්‍රජාවන්ගේ  අයිතීන් ආරක්ෂා වන ලෙස කටයුතු කරන, යුද වින්දිතයන් සදහා සාධාරණය ඉෂ්ඨ කරන, මානව හිමිකම් ආරක්ෂා කරන, බලය බෙදීමට කැප වන ජනාධිපතිවරයෙකු රටට අවශ්‍ය වී තිබේ. එවැන්නකු පත්කර ගැනීම අද දවසේ අපගේ කාර්යයයි.

අත්වැල කතු වැකිය (සැප්)

Social Share: