ලොව පුරා ප්‍රජනන වයසේ පසුවන ස්ත්‍රීන් මිලියන 190කට පමණ එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ඇති බව ඇස්තමේන්තු කර තිබේ. ලෝක ආර්ථික සංසදය සහ මැකින්සි සෞඛ්‍ය ආයතනය 2024දී නිකුත් කළ වාර්තාවක පෙන්වා දෙන්නේ රෝගය හඳුනා ගැනීමේ දුෂ්කරතා සහ දත්ත හිඟය නිසා මෙවැනි තත්ත්වයන් සඳහා අරමුදල් වෙන් කිරීමට ප්රමුඛත්වයක් නොලැබෙන බවයි.
මෙම වාර්තාවට අනුව, එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා විසඳුම් සොයන නව වැඩසටහන් අටකට 2019 සිට 2023 වසර දක්වා කාලය තුළ යොදවා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 44කි. එම කාලය තුළ ශිෂ්ණය ඍජු වීමේ අපහසුතා සහ පිරිමින්ගේ වෙනත් සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම් සොයන නව නව වැඩසටහන් 11 කට ලැබී ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.24කි.
රෝගය හඳුනා ගැනීම ප්‍රමාද වන විට, එම තත්ත්වය සමග ජීවත්වන සංඛ්‍යාව වාර්තා වන්නේ අඩුවෙන් බව එම වාර්තාව පෙන්වා දෙයි. මෙම අසම්පූර්ණ දත්ත වලින් සත්කාර අවශ්‍ය පිරිස නිවැරදි ලෙස හදුනා ගැනීමට නොහැකිය. සත්කාර වල සැබෑ අවශ්‍යතාවය නොපෙනන විට ඒ සදාහ වෙන් කෙරෙන අරමුදල්ද අවම වේ.
2026දීත් දරු ප්‍රසූතියේදී ස්ත්‍රීන් මිය යන්නේ ඇයි?
දරු ප්‍රසූතියේදී ඇති වූ සංකූලතා හේතුවෙන් ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය නිර්මාණ ශිල්පිනියක වූ නයෝමි චෑන් මිය ගිය බව සමාජමාධ්‍ය වල වාර්තා විය. ඇගේ මරණය, ගැබ් ගැනීම සහ දරු ප්‍රසූතිය වඩා ආරක්ෂිත කිරීමට අප කොපමණ ආයෝජනය කරනවාද යන පුළුල් ප්රශ්නය මතු කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, 2023දී ගැබ් ගැනීම හා දරු ප්‍රසූතිය ආශ්රිත හේතු නිසා ලොව පුරා ස්ත්‍රීන් 260,000ක් පමණ මිය ගිය අතර, ඒ මරණවලින් බොහොමයක් වළක්වා ගත හැකි බව එහි පෙන්වා දී ඇත.
දරු ප්‍රසූතියෙන් පසු ඇති වන දැඩි රුධිර වහනය මාතෘ මරණවලට ප්‍රධාන හේතුවකි. Impact Global Health ආයතනයේ G-FINDER සමීක්ෂණයට අනුව, මේ තත්ත්වය සඳහා 2023දී වාර්තා වූ පර්යේෂණ හා සංවර්ධන අරමුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 8.6කි. එම සමීක්ෂණයට අනුව, ඒ වසරේම HPV සහ ඒ හා සම්බන්ධ ගැබ්ගෙල පිළිකා පිළිබඳ පර්යේෂණ හා සංවර්ධනයට ඩොලර් මිලියන 125ක් ලැබී තිබිණි. එය දැඩි රුධිර වහනය සඳහා ලැබුණු අරමුදල මෙන් 15 ගුණයකට ආසන්නය. ශීතකරණ පහසුකම් සීමිත තැන්වල පවා භාවිත කළ හැකි ඖෂධ සහ රුධිර වහනය පාලනය කරන උපකරණ දියුණු කිරීම මේ ක්ෂේත්රයේ පර්යේෂණ අවශ්‍යතා අතර වන බව එම වාර්තාව පෙන්වා දේ.
ගර්භණී සමයේ අධි රුධිර පීඩනය ආශ්රිත සංකූලතා සම්බන්ධයෙන් ද මෙවැනි හිඟයක් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය 2026දී පෙන්වා දුන්නේ පර්යේෂණ ආයෝජන වැඩි වශයෙන් යොමු වී ඇත්තේ එම සංකූලතා හඳුනා ගැනීමේ ක්‍රම සඳහා බවයි. ඒවා වළක්වා ගැනීමට සහ ප්‍රතිකාර කිරීමට නව ක්‍රම සොයා ගැනීම සඳහා දිගු කලක් තිස්සේ ප්‍රමාණවත් ආයෝජනයක් සිදු වී නැත. ගැබ් ගැනීම හා දරු ප්‍රසූතිය ආශ්රිත මරණ සහ දිගුකාලීන සෞඛ්‍ය හානි අවම කිරීමට නව ප්‍රතිකාර දියුණු කරන පර්යේෂණවලටත්, දැනට තිබෙන ජීවිතාරක්ෂක ප්‍රතිකාර නියමිත වේලාවට ලබා දීමටත් මුදල් අවශ්‍ය වේ.
සේවා ලබා දීමට ලැබෙන විදේශ ආධාර ප්‍රමාණවත්ද?
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සහ අයිතිවාසිකම් වෙනුවෙන් කරන වැඩ සඳහා ලැබෙන විදේශ ආධාර ද ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට බොහෝ විට ප්‍රමාණවත් නොවේ. ශ්‍රී ලංකාවේ දිත්වා සුළි කුණාටුවෙන් පසු මේ අරමුදල් හිඟය පැහැදිලිව දැකගත හැකි විය. ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා ලබා දීමටත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට මුහුණ දුන් අයට සහාය සැපයීමටත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) ඇමෙරිකානු ඩොලර් මිලියන 8.3ක් ඉල්ලා සිටියේය. එහි 2026 ජූනි වාර්තාව අනුව, ඒ වන විට රැස් කර තිබුණේ ඩොලර් මිලියන 1.21ක් පමණි. එය ඉල්ලා සිටි මුදලින් සියයට 15කි.
මේ ගැටලුවට දිගු ඉතිහාසයක් තිබේ. ගැබ්ගැනීමක් සදහා ප්‍රධාන කාර්යක් සිදු කරන ප්‍රෝජෙස්ටරෝන් හෝමෝනය හදුනා ගත්තේ හෝමෝන වල ක්‍රියාකාරිත්ව පිළිබද විද්‍යාත්මක සොයා ගැනීම් වලින් වසර 30කට පමණ පසුව 1928දීය. 1935 වන විට, ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝනය මගින් ඩිම්බ පිටවීම වැළැක්විය හැකි බව පර්යේෂකයන් හාවුන් යොදා කළ පරීක්ෂණවලින් පෙන්වා දී තිබිණි. එහෙත් ඒ දැනුම භාවිත කර ගැබ් ගැනීම වැළැක්වීමේ පෙත්තක් දියුණු කිරීම ඉලක්ක කළ පර්යේෂණ ඇරඹුණේ දශකයකට වැඩි කාලයකට පසු, 1951දීය. මාග්‍රට් සැන්ගර්ගේ මැදිහත්වීමෙන් ඒ සඳහා මුලින් ලැබුණේ කුඩා ප්‍රදානයකි. වැඩි අරමුදල් ඉල්ලා සිටි විට ඖෂධ සමාගමක් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර, පර්යේෂණ ඉදිරියට ගෙන යාමට කැතරින් ඩෙක්ස්ටර් මැකෝමික්ගේ මූල්‍ය සහාය වැදගත් විය. මේ ඉතිහාසය පෙන්වන්නේ, විද්‍යාත්මක සොයාගැනීමක් තිබුණත් ස්ත්රීන්ට තමන් ගැබ් ගන්නවාද, ඒ කවදාද යන්න තීරණය කිරීමට උපකාර වන ක්‍රමයක් දියුණු කිරීම සඳහා අරමුදල් සහ ආයතනික සහාය දිනා ගැනීමට දිගු කාලයක් සටන් කිරීමට සිදු වූ බවයි.
ශ්‍රී ලංකාවේ 2027 අයවැයෙන් වෙනස් විය හැක්කේ මොනවාද?
දැඩි ඔසප් වේදනාවට ප්‍රතිකාර ලබා ගැනීමට, දරාගත හැකි මිලකට ගැබ් ගැනීම වැළැක්වීමේ ක්‍රමයක් තෝරා ගැනීමට සහ ආර්තවහරණය සමයේ ඇති වන ලක්ෂණ සඳහා උපකාර ලබා ගැනීමට ජනතාවට හැකි විය යුතුය. ඒ සඳහා අවශ්‍ය සේවා ඔවුන්ට ළඟා කර දීමට රාජ්‍ය අරමුදල් වැදගත් වේ.
නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කළ 2027 අයවැය කතාවට අනුව, ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන සඳහා 2027 වසරට රුපියල් බිලියන 3.6ක් වෙන් කර තිබේ. එය 2027 සිට 2029 දක්වා කාලය තුළ එවැනි මධ්‍යස්ථාන 1,000ක් පිහිටුවීමේ සැලැස්මේ කොටසකි. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 952 දෙනකු දැනටමත් බඳවාගෙන ඇති බවත් අයවැය කතාවේ සඳහන් වේ. මේ මධ්‍යස්ථානවලින් ලබා දෙන ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා මොනවාද සහ ඒවාට මුදල් වෙන් කරන්නේ කෙසේද යන්න අයවැය කතාවේ සෞඛ්‍ය කොටසෙන් පැහැදිලි වන්නේ නැත.
යටිබඩ ප්‍රදේශයේ දිගින් දිගටම වේදනාවක් ඇති ඇඟලුම් සේවිකාවකට බෝඩිම ළඟින් සායනයක් තිබීම උපකාරයක් විය හැකිය. එහි පුහුණු කාර්ය මණ්ඩලයක් සිටීද? දවසක වැටුප අහිමි කර නොගෙන ඇයට සායනයට යා හැකි වේලාවක් තිබේද? අවශ්‍ය නම් ඇය විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරයිද? ගැබ් ගැනීම වැළැක්වීම ගැන උපදෙස් සොයන තරුණ අයකුට පෞද්ගලිකත්වය රැකෙන පරිදි ඒ ගැන කතා කළ හැකිද? මෙම ආයෝජනයෙන් ජනතාවට ලැබෙන්නේ මොනවාදැයි විමසිය යුත්තේ මෙවැනි ප්‍රශ්න හරහාය.
හෘද හා රුධිර නාල ආශ්රිත රෝග ද ඇතුළත් ස්ත්‍රී සෞඛ්‍යයයේ පුළුල් පරතරය අඩු කළ හැකි නම්, 2040 වන විට ලෝක ආර්ථිකයට වසරකට අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් එකතු විය හැකි බව ලෝක ආර්ථික සංසදය සහ මැකින්සි සෞඛ්‍ය ආයතනය ඇස්තමේන්තු කරයි. මෙය ආර්ථික විශ්ලේෂණයකි. ස්ත්රීන්ගේ ශරීර පිළිබද ආයෝජනය ආර්ථික වාසි වලට සීමා වූවක් නොවේ. එය සුවපහසු ජීවතයක සිට ජීවිත බේරා ගැනීම දක්වා දිගු වූ ප්‍රතිඵල ගෙන දෙන්නකි.
කාන්තා සෞඛ්‍යයට අරමුදල් අඩු වන්නේ ඇයි?
ඊට එක් හේතුවක් වන්නේ වෛද්‍ය පර්යේෂණ දිගු කලක් තිස්සේ පිරිමි ශරීරය මූලික කරගෙන සිදු කිරීමයි. ස්ත්රීන්ට වැඩි වශයෙන් බලපාන හෝ ඔවුන්ට වෙනස් ආකාරයකින් බලපාන සෞඛ්‍ය ගැටලු ගැන අප දන්නා දේ ඒ නිසා සීමිතය. දැඩි ඔසප් වේදනාව ‘සාමාන්‍ය දෙයක්’ ලෙස සලකන විට, එයට හේතුව හඳුනා ගැනීම ප්‍රමාද විය හැකිය. ඒ අත්දැකීම් සෞඛ්‍ය වාර්තාවල සටහන් නොවන විට, අරමුදල් වෙන් කරන අයට ගැටලුවේ සැබෑ ප්‍රමාණය පෙනෙන්නේ නැත. මේ නිසා වැඩි පර්යේෂණ අවශ්‍ය තත්ත්වයන්ටම අරමුදල් ලබා ගැනීම අපහසු විය හැකිය.
මේ තත්ත්වය වෙනස් කිරීමට නම්, රජය සහ ආධාර සපයන ආයතන ස්ත්රීන්ගේ සෞඛ්‍යය පර්යේෂණ සඳහා දිගුකාලීනව අරමුදල් වෙන් කළ යුතුය. පර්යේෂණ ප්‍රමුඛතා තීරණය කිරීමේදී මේ ගැටලු සමඟ ජීවත් වන අයගේ අත්දැකීම්වලටත් තැන දිය යුතුය. ශ්‍රී ලංකාවේ අයවැයෙහි එහ කැපවීම තිබෙනවාදැයි අප ප්‍රශ්ණ කළ යුතුය. එය අපගේ පුරවැසි වගකීමකි.
පබා දේශප්‍රිය විසිනි.