PrEp (පූර්ව නිවාරණ ප්‍රතිකාර)

එච්අයිවී සමග ජීවත් වන සහකරුවෙක් හෝ සහකාරියක් සිටිනවා නම් හෝ එච්අයිවී බෝ වීමට වැඩි අවදානමක් ඇති ලිංගික ඇසුරේ නිරත වනවා නම් එච්අයිවී බෝ වීම වැළැක්වීම සදහා භාවිත කළ හැකි ඖෂධ වර්ගයක් PrEP යනුවෙන් හැදින්වෙනවා. එනම්, Pre-Exposure Prophylaxis යන්නට කෙටි යෙදුමකි. 

PrEP නිවැරදි ලෙස භාවිතා කළහොත් එය HIV ආසාදනය වැලැක්වීම සඳහා ඉතා ඵලදායී බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා. දැනට ශ්‍රී ලංකාවේ එච්අයිවී නිවාරණ වැඩසටහන මගින් ලබා දෙන්නේ ඖෂධ දෙකක සංයෝගයකින් යුතු (Tenofovir DF සහ emtricitabine) පෙති වර්ගයක්. 

අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා නිසා ශරීරගත විය හැකි HIV වෛරසය මුළු ශරීරය පුරා පැතිරීමට පැය 72ක පමණ කාලයක් ගත වනවා. PrEP ඖෂධ මගින් HIV වයිරසයේ බෙදීම සහ ව්‍යාප්තිය වළක්වන නිසා, එච්අයිවී ශරීර ගත වන අවස්ථාවේ PrEp ඖෂධ සිරුරේ තිබේ එමගින් එච්අයිවී බෝ වීම වළක්වනවා. 

PrEP ඖෂධ වලින් එච්අයිවී බෝ වීම වැළකුණත් අනෙකුත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන බෝ වීම වළකින්නේ නැහැ. ඒ නිසා ඔබ PrEP ලබා ගත්තත් ලිංගික ඇසුරකදී කොන්ඩමයක් භාවිතා කිරීම අනිවාර්ය බව අමතක කරන්න එපා.

 

PrEP ඖෂධ අවශ්‍ය වන්නේ කාටද? 

ඔබට PrEP අවශ්‍ය දැයි තීරණ කරන්නේ වෛද්‍යවරුන්ය. ජාතික එච්අයිවී නිවාරණ වැඩසටහනේ දත්වා ඇති ආකාරයට ඒ සදහා සලකා බැලෙන නිර්ණායක කිහිපයක් පහතින් දැක්වෙනවා. 

1. පිරිමි (MSM) හෝ සංක්‍රාන්ති ලිංගික කාන්තා ප්‍රජාව සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන පිරිමින්.

2. පසුගිය මාස 3 තුළ පිරිමි සහකරුවෙකු සමඟ අනාරක්ෂිත (කොන්ඩම් රහිත) ගුද මාර්ග සංසර්ගය සිදු කර තිබීම.

3. පසුගිය මාස 6 තුළ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන බෝ වී තිබීම.

4. ලිංගික සම්බන්ධතා වලදී මනෝ-ක්‍රියාකාරී (මත් වීමට ලබා ගන්නා ඖෂධ – අයිස්, කැටමීන්, ගැමා වැනි) ඖෂධ භාවිතා කිරීම.

5. රුධිරයේ HIVවෛරස ප්‍රමාණය හොඳින් පාලනය නොවූ HIV සමග ජීවත් වන ලිංගික සහකරුවෙකු සිටීම.

ඔබ අවුරුදු 18ට අඩු PrEp අවශ්‍ය පුද්ලයෙකු නම්, අස්ථි වලට වැඩි බලපෑමක් නැති PrEp ඖෂධ සංයෝගයක් ලබා ගැනීම පිළිබද වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කරන්න.

PrEP ආරම්භ කිරීමට පෙර මම කුමක් කළ යුතුද? 

PrEP ආරම්භ කිරීමේදී පහතින් දැක්වෙන පරීක්ෂණ සදහා යොමු වීම වැදගත්ය. රජයේ එච්අයිවී නිවාරණ වැඩසටහන මගින් මේ පරීක්ෂණ නොමිලේ සිදු කරනු ලබනවා. 

1. HIV rapid පරීක්ෂණය සහ සාමාන්‍ය ELISA පරීක්ෂණය

2. වකුගඩු ක්‍රියාකාරිත්වය: මුත්‍රා වල ප්‍රෝටීන් පරීක්ෂාව/UFR

3. වකුගඩු ක්‍රියාකාරිත්වය: රුධිරයේ Creatinine සහ eGFR සඳහා පරීක්ෂණය

4. හෙපටයිටිස් B සහ C : රුධිර පරීක්ෂණ

5. ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන

6. ගොනෝරියා culture පරීක්ෂාව

7. ක්ලැමීඩියා පරීක්ෂාව

8. Syphilis ආසාදනය සඳහා පරීක්ෂණ

ඔබට PrEP ලබා ගැනීමට අවශ්‍ය නම්, ජාතික එච්අයිවී නිවාරණ වැඩසටහනේ PrEP ක්ෂණික ඇමතුම් අංකය අමතන්න 0716379192 / 0112667163

PrEP ඖෂධ භාවිත කළ යුත්තේ කෙසේද? 

PrEp ඖෂධ වලින් සම්පූර්ණ ආරක්ෂාවක් ලැබීමට නම් ඒවා නිවැරදිව භාවිත කළ යුතුයි. ඔබට එච්අයිවී වලින් ආරක්ෂාවක් අවශ්‍ය වන අවස්ථාවේදී මේ ඖෂධ ඔබේ ශරීරයේ ප්‍රමාණවත්ව නොතිබුණොත් සම්පූර්ණ ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඔබ PrEP ඖෂධ පෙති ආකාරයෙන් ලබා ගන්නවානම්, ඉතා කලාතුරකින් පෙති වාරයක් අමතක වූවාට ඉන් ලොකු බලපෑමක් වන්නේ නැහැ. නමුත්, නිරන්තරයෙන් ඖෂධ ගැනීම අතපසු වනවා නම් PrEp ගැනීමෙන් ඔබ බලාපොරොත්තු වන ආරක්ෂාව නොලැබී යනවා. PrEP ඖෂධ එන්නත් මාර්ගයෙන් ලබා ගන්නවානම්, ඔබට ලබා දී ඇති දිනයට සායන සදහා සහභාගී ඒ එන්නත් නියමිත දිනයට ලබා ගත යුතු වනවා.

යෝනි මාර්ගයේ රඳවා තැබිය හැකි වලලක් ආකාරයේ (Vaganal ring) PrEp ලබා ගන්නා ක්‍රමයක් ද ඇතුම් රටවල් වල භාවිත වනවා. නමුත් මේ ක්‍රමය තවම ශ්‍රී ලංකාවේදී ලබා ගැනීමට හැකියාවක් නැහැ.

PrEP ඖෂධ වල කාර්යක්ෂමතාවය

සමරිසි සහ ද්වී රිසි පිරිමින් ආශ්‍රිතව සිදු කළ පර්යේෂණ වලින් පෙන්වා දී ඇත්තේ Tenofovir DF සහ emtricitabine සංයේගය සහිත ඖෂධ වලින් ඔවුන්ට එච්අයිවී ආසාදනය වීමට ඇති අවදානම 86-87%ක් අවම කරන බවයි.

පිරිමි සහකරුවන් සිටින ස්ත්‍රීන්ට මෙම සංයෝගය සහිත PrEP ඖෂධ වලින් 75-77%ක පමණ ආරක්ෂාවක් ලැබෙන බව අධ්‍යයන දෙකක් මගින් පෙන්වා දී තිබුණත්, ස්ත්‍රීන්ට ඉන් හොද ආරක්ෂාවක් ලැබෙන බව ඔප්පු කිරීමට ඒවැනි අධ්‍යයන ගණනාවක් අපොහොසත් වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඔබට එච්අයිවී බෝ වීමේ අවදානමක් ඇතැයි සිතනවානම්, ඔබ ස්ත්‍රියක් වුවත්, පුරුෂයෙකු වුවත්, සංක්‍රාන්ති පුද්ගලයෙකු වුවත් ජාතික එච්අයිවී නිවාරණ වැඩසටහනේ සායනකට ගොස් PrEP ඖෂධ පිළිබද දැන ගැනීමට පුළුවන්.

Social Share: