මානව ලිංගිකත්වය යන්නෙන් අදහස් වන්නේ අනුරාගී අත්දැකීම් ලැබීමටත් එවන් ප්‍රතිචාර දැක්වීමටත් මනුෂ්‍යයාට ඇති හැකියාවයි. පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු පිළිබඳ ලිංගික ආකර්ෂණයක් ඇති වීමත් මානව ලිංගිකත්වයට ඇතුළත් වෙනවා. කෙනෙක් ආකර්ශනය වන්නේ විරුද්ධ ලිංගික පුද්ගලයෙකු වෙතටද සමලිංගික පුද්ගලයෙකු වෙතට එසේත් නැත්නම් සමලිංගික මෙන්ම විරුද්ධ ලිංගික පුද්ගලයන් වෙතටද යන්න එක් එක් පුද්ගලයාට අනුව වෙනස් වනවා.
විෂම ලිංගිකත්වය – තමන්ට වඩා වෙනස් එනම් විරුද්ධ ලිංගික අවයව ඇති පුද්ගලෙයකු කෙරේ ආදර හෝ ලිංගික ආකර්ෂණයක් ඇති වීම විෂම ලිංගිකත්වය ලෙස හඳුන්වනවා.
සමලිංගිකත්වය – තමන්ගේ ලිංගික අවයව වලට සමාන අවයව ඇති පුද්ගලයන් කෙරේ ආදර හෝ ලිංගිකව ආකර්ෂණයක් ඇති වීම, සමලිංගිකත්වය ලෙස හඳුන්වනවා.
ද්විලිංගිකත්වය – විරුද්ධ ලිංගික මෙන්ම සමලිංගික පුද්ගලයන්හට, රොමාන්තික හෝ ලිංගිනව ආකර්ෂණයක් ඇතිවීම ‘ද්විලිංගිකත්වය’ ලෙස හඳුන්වනවා.
සර්ව ලිංගික – යම් පුද්ගලයෙකු ස්ත්‍රියකට, පුරුෂයන්ට මෙන්ම සංක්‍රාන්ති ලිංගික යන පුද්ගල කොට්ටාශ තුන කෙරෙහිම ලිංගික ආකර්ශනයක් දක්වනවා නම් එය සර්ව ලිංගික ලෙස හැදින්වෙනවා.
අලිංගික – කිසිවෙකු කෙරෙහි ලිංගික ආකර්ෂණයක් ඇති නොවීම, එසේත් නැතහොත් ලිංගිකව හැසිරීම කෙරෙහි උනන්දු නොවීම මින් අදහස් වනවා.
බොහෝ දෙනාට තමන්ගේ ලිංගික දිශානතිය හෝ තමන් කුමන ලේබලය යටතේ හදුන්වාගන්නවා දැයි එකවරම තෝරා බේරා ගැනීමට හැකි වන්නේ නැහැ. එහි කිසිම වරදක් නැහැ. ඇතැම් පුද්ගලයන්ට තමන්ගේ ලිංගික දිශානතිය හරිහැටි අවබෝධ කර ගැනීමට මුළු ජීවත කාලයම වුවත් ගත වීමට පුළුවන්.
සමහරු තමන් දැනෙන ආකාරයට තමන්ගේ ලිංගික දිශානතිය තීරණය කර පසුව එය වෙනස් කර ගන්නා අවස්ථාද තිබෙනවා. එයද සාමාන්‍ය දෙයක්.
මනුෂ්‍ය ලිංගිකත්වය ද්‍රවමය ස්වරූපයක් ගන්නා බවත්, ජීවිත කාලය තුළ මිනුසුන් ලිංගික දිශානතීන් එකක්ට වඩා අත්දැකීමට හැකි බවත් ඇල්ෆ්‍රඩ් කිංසි නැමති විද්‍යාඥයා පෙන්වා දී තිබෙනවා.

ලිංගික දිශානතිය අත් විදින්නේ මනුෂයන් පමණක් නොවේ. සත්ව ලෝකයේද විවිධ ලිංගික දිශානතීන් තිබෙන බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.
2019දී ලන්ඩන් ඉම්පීර්යල් විද්‍යාලය මගින් ප්‍රකාශයට පත් කළ වාර්ථාවකට අනුව විද්‍යාඥයින් විසින් සත්ව විශේෂ 1000කට අධික ප්‍රමාණයක් අතර සමලිංගික හැසිරීම් නිරීක්ෂණය කර තිබෙනවා. සම ලිංගිකත්වය සතුන් අතර පුළුල්ව පැතිරුණු ලිංගික දිශානත්යක් බවත්, ද්වී ලිංගිකත්වය ඊටත් වඩා බහුල බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා. [Imperial College London, 2019]


