ස්ත්‍රී පුරුෂ සමාජභාවය

අපි බොහෝ දෙනා Gender(ස්ත්‍රී පුරුෂ සමාජභාවය) සහ Sex(ස්ත්‍රී පුරුෂ භාවය) කියන වචන දෙක එකම අර්ථයෙන් භාවිත කරනවා. නමුත් ඇත්තටම ඒවා එකිනෙකට වෙනස් සංකල්ප දෙකක්.

Sex කියන්නේ ජීව විද්‍යාත්මක ලක්ෂණ. අපි උපත ලබන විට බාහිර ප්‍රජනන අවයව අනුව අපව පිරිමි හෝ ගැහැණු ලෙස වර්ගීකරණය කරනවා. සාමාන්‍යයෙන් ලිංගයක් සහ වෘෂණ තිබේ නම් පිරිමි ලෙසත්, යෝනි මාර්ගයක් තිබේ නම් ගැහැණු ලෙසත් සලකනවා. ජානමය වශයෙන් පිරිමි පුද්ගලයන් බොහෝ විට XY ලෙසත්, ගැහැණු පුද්ගලයන් XX ලෙසත් හඳුනාගන්නවා.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. එය සමාජය සහ සංස්කෘතිය විසින් ගොඩනගන ලද සංකල්පයක්. වෙනත් වචනවලින් කියනවා නම්, “පිරිමියෙක් විය යුත්තේ කොහොමද?”, “කාන්තාවක් විය යුත්තේ කොහොමද?” කියන අපේක්ෂාවන් සහ භූමිකා එකතුවක්. දරුවෙක් උපන් මොහොතේ සිටම මේ අපේක්ෂාවන් ඔහු හෝ ඇය වටා ගොඩනැගෙනවා. කුමන සෙල්ලම් බඩු ලබා දෙනවාද, කුමන ඇඳුම් අන්දවනවාද, කුමන හැසිරීම් ප්‍රශංසා කරනවාද කියන දේවල් හරහා දරුවන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අදහස් ඉගෙන ගන්නවා.

මාස 18ක් පමණ වයසේදී පවා දරුවන් “මේක පිරිමි ළමයින්ගේ”, “මේක ගැහැණු ළමයින්ගේ” වැනි අදහස් ගොඩනගා ගැනීමට පටන් ගන්නා බවයි. නමුත් ඒවා උපතින්ම ගෙන එන අදහස් නොවෙයි. ඒවා වැඩිහිටියන් සහ සමාජය විසින් නැවත නැවත ශක්තිමත් කරන පණිවිඩවල ප්‍රතිඵලයක්.

ස්ත්‍රී පුරුෂ සමාජභාවේ භූමිකා සහ ඒවාට අදාළ අපේක්ෂාවන් බොහෝ විට හැඩගැසෙන්නේ එම සමාජයේ හෝ සංස්කෘතියේ බලවත්ම ලිංගයට වාසිදායක වන ආකාරයටයි. ආගමික සහ ඓතිහාසික සාක්ෂි පෙන්නුම් කරන්නේ පිරිමි මූලික (patriarchal) සම්මතයන්, වටිනාකම් සහ ආකල්ප ලෝකයේ බොහෝ සමාජවල ප්‍රමුඛ බලවේගය බවට පත්වූ බවයි. එසේ වුවත්, මව් පාර්ශ්වික (matrilineal) සම්ප්‍රදායන් පවත්වාගෙන යන සමාජ කණ්ඩායම් කිහිපයක් අදටත් දක්නට ලැබෙනවා.

“Masculine” සහ “Feminine” යන පද සාමාන්‍යයෙන් පුරුෂ සහ ස්ත්‍රී Gender භූමිකා සමඟ සම්බන්ධ කරනු ලබනවා. කෙසේ වෙතත්, ලෝකයේ බොහෝ ප්‍රදේශවල මෙන්ම ශ්‍රී ලංකාවේද සමහර ප්‍රදේශවල Gender භූමිකා වඩාත් නම්‍යශීලී වෙමින් පවතිනවා. උදාහරණයක් ලෙස, පවුලේ ආදායම උපයාගෙන එන පුද්ගලයා පියා පමණක් විය යුතුය යන සංකල්පය අද වන විට අභියෝගයට ලක්වෙලා. ඒ වගේම දරුවන් ඇති දැඩි කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම මවට පමණක් අයත් විය යුතුය යන අදහසත් ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතිනවා.

එසේ වුවත්, අපේ කලාපයේ ඇතැම් පිරිමින් තම බිරිඳ තමන්ට වඩා වැඩි ආදායමක් උපයන අවස්ථාවල සම්බන්ධතාවලදී අපහසුතාවට පත්වන බව පර්යේෂණ සහ වාර්තා පෙන්වා දෙනවා. තවත් සමහරු නිවස තුළ රැකබලාගැනීමේ භූමිකාව භාර ගැනීමේදී අභියෝගවලට මුහුණ දෙනවා. නමුත් මේ ආකල්ප ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතින බව ද දැකගත හැකියි. ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාර සමූහයන්ගෙන් එකක් වන John Keells Holdings තම සේවකයින්ට සමාන මාතෘ සහ පිතෘ නිවාඩු ලබාදෙන්නේ “කුඩා දරුවන්ගේ රැකවරණයේදී මවගේ මෙන්ම පියාගේ භූමිකාවද එකසේ වැදගත්” යන අදහස පිළිගනිමිනි.

මේ අතර, “ගැහැණුන් එකතු කළා, පිරිමින් දඩයම් කළා” යන දීර්ඝකාලීන ස්ත්‍රී පුරුෂ සමාජභාවය සංකල්පවලට අභියෝග කරන නව පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික සාක්ෂි ද මතුවෙමින් පවතිනවා.

“දිගු කාලයක් තිස්සේ පවතින ජනප්‍රිය මතයක් වන්නේ ප්‍රාග් ඓතිහාසික ආහාර සෙවීමේ සමාජවල කාර්යයන් ස්ත්‍රී පුරුෂ භේදය අනුව බෙදී තිබූ බවයි. ඒ අනුව කාන්තාවන් ආහාර එකතු කළ අතර පිරිමින් දඩයම් කළ බව සැලකුණි. නමුත් නව පර්යේෂණ මඟින් මෙම  අදහසට අභියෝග කරමින් පෙන්වා දෙන්නේ ප්‍රාග් ඓතිහාසික කාන්තාවන් ද පිරිමින් මෙන්ම දඩයම් කිරීමේ සහ සතුන් මරා ගැනීමේ කුසලතා දරා සිටි බවයි. – Smithsonian Magazine  

පුරුෂ මූලිකත්වය (Patriarchy) ආරම්භ වූයේ කෙසේද යන්න පිළිබඳ BBC Future ලිපියක් තවත් සිත්ගන්නාසුලු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරනවා. එහි සඳහන් වන්නේ මුල්කාලීන රාජ්‍ය සහ සමාජ පාලකයන්ට තම සම්පත් ආරක්ෂා කිරීමට සහ යුද්ධ කිරීමට පිරිමි සටන්කරුවන් අවශ්‍ය වූ අතර, එම සටන්කරුවන් බිහිකරන කාන්තාවන් ද අවශ්‍ය වූ බවයි.

පිරිමින්ට වඩා වෙනස් ආකාරයකින් කාන්තාවන් වර්ගීකරණය කර සැලකූ බවට පැහැදිලි සාක්ෂි හමුවන්නේ මානව ඉතිහාසයේ තරමක් පසුකාලීන අවධියකයි. ඒ, අද ඉරාකය, සිරියාව සහ තුර්කිය යන රටවල කොටස් ආවරණය කරන ටයිග්‍රිස් සහ යුෆ්‍රටීස් ගංගා අවට පිහිටි පුරාණ මෙසපොටේමියාවේ බිහිවූ මුල් රාජ්‍යයන් තුළිනි. මීට වසර 5,000කට පමණ පෙර දකුණු මෙසපොටේමියාවේ පිහිටි සුමේරියානු නගරයක් වූ උරුක් (Uruk) නගරයෙන් හමුවූ පරිපාලන ලේඛනවලින් පෙනී යන්නේ එහි පාලකයන් ජනගහනය සහ සම්පත් පිළිබඳ ඉතා සවිස්තරාත්මක වාර්තා පවත්වාගෙන ගිය බවයි.

මුල් කෘෂිකාර්මික රාජ්‍යවල පර්යේෂණයේ යෙදුනු Yale විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාඥයෙකු සහ මානව විද්‍යාඥයෙකු වන James Scott පවසන පරිදි, “බලයේ මූලික පදනම මිනිස් බලයයි.” මෙම සමාජ වල පාලකයන්ට අවශ්‍ය වූයේ සම්පත් නිෂ්පාදනය කිරීමටත්, රාජ්‍යය ආරක්ෂා කිරීමටත් ප්‍රමාණවත් ජනගහනයක් පවත්වා ගැනීමයි. යුද්ධ කාලවලදී අවශ්‍ය නම් තම ජීවිතය පවා කැප කිරීමට සූදානම් පිරිසක් ඔවුන්ට අවශ්‍ය වුන නිසා ජනගහනය පවත්වාගෙන යාමේ වගකීම පවුල් මත පැටවුණා. කාලයත් සමඟ තරුණ කාන්තාවන්ගෙන් වැඩි වැඩියෙන් දරුවන්, විශේෂයෙන්ම අනාගතයේ සටන්කරුවන් විය හැකි පුතුන් බිහිකිරීම බලාපොරොත්තු වුණා.

මෙවැනි සමාජවලදී වැදගත් වූයේ පුද්ගලයෙකුගේ දක්ෂතා, අවශ්‍යතා හෝ ආශාවන් නොවෙයි. වැදගත් වූයේ ඔවුන්ට පවරා තිබූ “පිරිමි” හෝ “ගැහැණු” භූමිකාව ඉටු කිරීමයි. යුද්ධයට යාමට අකමැති තරුණයෙකු අසාර්ථකයෙකු ලෙස සලකුණ අතර දරුවන් නොලැබීමට කැමති හෝ මව්ත්වය කෙරෙහි උනන්දුවක් නොදැක්වූ තරුණියක් “අස්වාභාවික” අයෙකු ලෙස හෙළාදැකිය හැකි වුණා.

තවද, නවීන ස්නායු විද්‍යාව (neuroscience) පෙන්වා දෙමින් පවතින්නේ “රෝස = කාන්තාවන්” සහ “නිල් = පිරිමින්” ලෙස මොළය ගැන ගොඩනගා ඇති බෙදීමක්ද ඇත්තටම විද්‍යාත්මක පදනමක් නොමැති සමාජීය ගොඩනැගීමක් බවයි. මොළයන් අතර ඇති වෙනස්කම් පිරිමි සහ ගැහැණු අතර නොව, එක් එක් පුද්ගලයා අතර ඇති වෙනස්කම් බව වැඩිදුරටත් පැහැදිලි වෙමින් පවතිනවා.

ඇත්තෙන්ම මෙම “රෝස vs නිල්” බෙදීමත් ඉතා මෑතකාලීන ඉතිහාසයක නිර්මාණයකි. 19 වන සියවසේ අවසානය සහ 20 වන සියවසේ මුල් භාගය තුළ පවා, සමහර අවස්ථාවලදී රෝස වර්ණය පිරිමි දරුවන්ටත්, නිල් වර්ණය ගැහැණු දරුවන්ටත් සුදුසු බව සලකා තිබුණා.

උදාහරණයක් ලෙස, 1918 ජූනි මාසයේදී “Infant’s Department” නම් වෙළඳ ප්‍රකාශනයක් සඳහන් කර තිබුණේ මෙසේය:

“සාමාන්‍යයෙන් පිළිගත් නියමය වන්නේ රෝස වර්ණය පිරිමි දරුවා සඳහාත්, නිල් වර්ණය ගැහැණු දරුවා සඳහාත් ය. රෝස වර්ණය වඩා තීව්‍ර සහ ශක්තිමත් බැවින් එය පිරිමි දරුවාට වඩාත් සුදුසුය. නිල් වර්ණය වඩා සියුම් සහ මෘදු බැවින් එය ගැහැණු දරුවාට වඩා ලස්සන ලෙස සැලකේ.” – Smithsonian Magazine

21 වන සියවසේදී සමාජ මාධ්‍ය, ඇල්ගොරිතම (algorithms) සහ කෘත්‍රිම බුද්ධිය (AI) වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ, “Gender” පිළිබඳ සමාජ ගොඩනැගීම තවත් තදින් සහ බලවත් ලෙස ක්‍රියාත්මක වීමට පටන්ගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස පිරිමින් සහ කාන්තාවන්, පිරිමි ළමුන් සහ ගැහැණු ළමුන් මූලික වශයෙන්ම වෙනස් ලෙස සිතනවා, වෙනස් ලෙස හැඟීම් දැනෙනවා යන අදහස් තවත් ශක්තිමත් කරමින් පතුරුවා හැරේ. නමුත් යථාර්ථයේදී මානව අත්දැකීම බෙදීම්වලට වඩා එකමුතුවකට වැඩි ආසන්නතාවක් දක්වයි. එසේ වුවත්, මේ බෙදීම් සහ වෙනස්කම්ම “සාමාන්‍ය” සහ “සත්‍ය” ලෙස උත්කර්ෂයට නංවන්නේ ඇල්ගොරිතම මගින් නිර්මාණය වන තොරතුරු බුබුළු (algorithm bubbles) තුළය. එම බුබුළු තුළින් දරුවන්, තරුණයන් සහ වැඩිහිටියන් අතර පවා එකිනෙකාට හානි කරන සහ වේදනාව ඇති කරන ආකල්ප සහ හැසිරීම් වඩාත් ශක්තිමත් වේ.

සම්මානලාභී බ්‍රිතාන්‍ය නාට්‍යයක් වන Adolescence මෙවැනි බෙදීම්වල ප්‍රබල ප්‍රතිබිම්බයක් ලෙස දැකිය හැකිය. එය තරුණ පිරිමි ළමයෙකු විසින් තරුණ ගැහැණු ළමයෙකු ඝාතනය කරන සිදුවීමක් පදනම් කරගෙන, දෙමාපියන්ට, ගුරුවරුන්ට සහ රජයන්ට පවා අවදි වී මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සංකල්ප නැවත සලකා බැලීමට, අභියෝග කිරීමට සහ නැවත සිතා බලීමට කරන බලවත් ආරාධනයක් ලෙසද කියවිය හැකිය.

Social Share: