පූර්ව ඔසප් ඩිස්ෆෝරික් ආබාධය (Premenstrual dysphoric disorder – PMDD) යනු පූර්ව ඔසප් ලක්ෂණ (Premenstrual Syndrome – PMS) වල වඩා තදබල ස්වරූපයක්.
PMDD ඇති පුද්ගලයින්ට ඔසප් වීම ආරම්භ වීමට පෙර සති දෙකක පමණ කාලය තුළ මානසික අවපීඩනය (depression), කනස්සල්ල (anxiety) සහ වෙනත් ශාරීරික හා මානසික රෝග ලක්ෂණ ඇති වීමට පුළුවන්.
මෙම ලක්ෂණ සමහර විට ඉතාමත් තදබල විය හැකි අතර, රැකියාව, පාසල් අධ්‍යාපනය, දෛනික කටයුතු සහ පවුල් හෝ සමීප සබඳතා පවත්වාගෙන යාමට පවා ඉන් බාධා ඇති කිරීමට පුළුවන්.
සාමාන්‍යයෙන් PMDD රෝග ලක්ෂණ ඔසප් වීම ආරම්භ වී දින කිහිපයක් ඇතුළත අඩු වී යනවා.
PMDD ඇති වීමට හේතුව කුමක්ද?
PMDD ඇතිවීමට නිශ්චිත හේතුව තවමත් සොයාගෙන නැහැ.
කෙසේ වෙතත්, විද්‍යාඥයින් විශ්වාස කරන්නේ එය:
ඔසප් චක්‍රය තුළ සිදුවන හෝමෝන වෙනස්කම්, සහ
මනෝභාවය පාලනය කිරීමට වැදගත් වන සෙරටොනින් (Serotonin) නම් මොළයේ රසායනික ද්‍රව්‍යයේ වෙනස්කම් සමඟ සම්බන්ධ විය හැකි බවයි.
PMDD ලක්ෂණ මොනවාද?
ඔසප් වන බොහෝ දෙනෙකුට ඔසප් වීමට පෙර හෝ ඔසප් සමයේදී:
උදරයේ කැක්කුම,
බඩ පිම්බීම,
පියයුරු වේදනාව,
මනෝභාවයේ වෙනස්කම් වැනි PMS රෝග ලක්ෂණ ඇති වීමට ඉඩතිබෙනවා.
බොහෝ විට, මෙම ලක්ෂණ ස්වයං රැකවරණය ක්‍රම (self-care) මඟින් පාලනය කර ගැනීමට පුළුවන්.
නමුත්, PMDD ඇති විට මෙම ලක්ෂණ වඩාත් දරුණු වන අතර, දෛනික ජීවිතයට ඉන් සැලකිය යුතු බලපෑමක් එල්ල කරනවා.
පහත සඳහන් ලක්ෂණ ඔසප් වීමට පෙර සතියක හෝ සති දෙකක කාලය තුළ සෑම මාසයකම නැවත නැවත ඇතිවනවා නම්, හෝ එම කාලයේදී ඒවා ඉතා දරුණු වන්නේ නම්, වෛද්‍යවරයෙකු හෝ ඔබේ පවුල් සෞඛ්‍යය නිලධාරිනිය සමඟ පිළිබඳ සාකච්ඡා කිරීම වැදගත්.
PMDD ලක්ෂණ
- මානසික අවපීඩනය (Depression)
- අධික කනස්සල්ල හෝ නොසන්සුන් බව (Anxiety)
- හදිසි බිය (Panic attacks)
- අධික ලෙස වෙහෙස දැනීම
- නින්ද නොයාම
- අවධානය යොමු කර ගැනීමට අපහසු වීම
- පියයුරු වේදනාව
- හිසරදය
- උදරයේ කැක්කුම
- සන්ධි වේදනාව
- බඩ පිම්බීම
- විශේෂ ආහාර සඳහා දැඩි ආශාවක් ඇතිවීම (Food cravings)
PMDD සඳහා ප්‍රතිකාර මොනවාද?
ඔබට PMDD ඇති බව ඔබ සැක කරන්නේ නම්, මාස කිහිපයක් ඔබගේ ඔසප් චක්‍රය සහ ඒ ආශ්‍රිතව මතුවන ලක්ෂණ සටහන් කරගෙන වෛද්‍යවයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
එහිදී,
රුධිර පරීක්ෂණ,
වෙනත් වෛද්‍ය පරීක්ෂණ,
සිදු කර ඔබගේ රෝග ලක්ෂණ සඳහා වෙනත් හේතු තිබේදැයි සොයා බලනු ඇත.
එමෙන්ම, ඔබට මීට පෙර:
කනස්සල්ල,
මානසික අවපීඩනය,
වැනි මානසික සෞඛ්‍ය ගැටලු තිබුණාදැයිද වෛද්‍යවරයා විසින් විමසිය හැකියි.
PMDD සඳහා ප්‍රතිකාර ක්‍රම
සෑම පුද්ගලයෙකුටම එකම ප්‍රතිකාරයක් සුදුසු වන්නේ නැහැ.
ඔබට ගැළපෙන ප්‍රතිකාර පිළිබඳව ඔබගේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට පුළුවන්.
ඒ ප්‍රතිකාර වලට පහත දැක්වෙන ඒවා ඇතුළත් විය හැකියි.
- SSRIs ලෙස හඳුන්වන මානසික අවපීඩනය සඳහා භාවිතා කරන ඖෂධ
- හෝමෝන සහිත ප්‍රත්සංධිවිරෝධක ක්‍රම
- වේදනා නාශක ඖෂධ (උදාහරණයක් ලෙස අයිබුප්‍රොෆෙන් හෝ ඇස්පිරින්)
- ආහාර රටාවේ වෙනස්කම්
- නිතිපතා ව්‍යායාම කිරීම
- ආතතිය පාලනය කිරීම සඳහා භාවනාව සහ වෙනත් ස්වයං රැකවරණ ක්‍රම
මානසික අවපීඩනය, කනස්සල්ල හෝ වෙනත් මානසික රෝග ලක්ෂණ වලින් සුවයක් ලබා ගැනීමට මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකුගෙන් සහාය ලබා ගැනීම වැදගත්.
එසේම, ඔබ විශ්වාස කරන:
පවුලේ සාමාජිකයෙකු,
මිතුරෙකු,
හෝ සමීප පුද්ගලයෙකු
සමඟ ඔබට දැනෙන හැඟීම් පිළිබඳව කතා කිරීමද උපකාරී විය හැකියි.
ඔබට ඔබටම හානි කර ගැනීමේ සිතුවිලි ඇති නම්,
ඔබට ඔබටම හානි කර ගැනීමට හෝ ජීවිතය නැති කර ගැනීමට සිතුවිලි ඇති නම්, වහාම විශ්වාසදායක පුද්ගලයෙකු, වෛද්‍යවරයෙකු, මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු හෝ ළඟම ඇති රෝහලෙන් හදිසි වෛද්‍ය සහාය ලබා ගන්න.
මතක තබා ගන්න
PMDD සමඟ ජීවත් වීම අභියෝගාත්මක විය හැකි නමුත්, ඔබ මේ තත්ත්වයට තනිවම මුහුණ දිය යුතු නැහැ.
මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකුගේ සහාය ලබා ගැනීමත්, වෛද්‍යවරයෙකු සමඟ එක්ව ඔබගේ රෝග ලක්ෂණ කළමනාකරණය කිරීමත් මඟින් මෙම තත්ත්වය සමඟ ජීවත් වීම වඩාත් පහසු කර ගැනීමට පුළුවන්.
