ඔසප් වීමට පෙර සහ ඔසප් වීම අතරතුර විවිධ ශාරීරික සහ මානසික අපහසුතාවයන්ට අපි මුහුණ දෙනවා.
- ඔසප් වීමට පෙර දින කිහිපය තුළ හිසරදය ඇති වීම
- කෑම අරුචිය
- කලවා සහ කකුළවල වේදනාව
- කොන්දේ වේදනාව ආදිය එවැනි පොදු පහසුතා කිහිපයක්.
ඔසප් වීම සදහා ගර්භාෂ බිත්තිය ගැලවිය යුතු වන අතර, එය සිදු වන්නේ ගර්භාෂ සංකෝචනය වීමෙන්. ගර්භාෂ පේෂීන් සංකෝචනය වීමේදී සහ ගර්භාෂ බිත්තිය ඉරීමේදී අපට යටි බඩේ සහ කොන්දේ කැක්කුම ඇති වනවා. සාමාන්‍යයෙන් වයසින් වැඩි වීමත් සමග මේ වේදනාව අඩු වන බව වෛද්‍යවරුන් පවසනවා.
ව්‍යායාම, විවේකය, ස්වයං වින්දනය, උණු වතුර නෑම, හෝ පැනඩෝල් වැනි වේදනා නාශක ඔසප් වීමේදී මස් පෙරලීම් නිසා ඇති වන වේදනාවෙන් සහනයක් ලබා ගැනීමට පුළුවන්. වේදනාව අධික වන්නේ නම්, එය ඔබගේ දෛනික කටයුතු වල යෙදීම වළක්වන්නේ නම්, වෛද්‍යවරයෙක් සමග සාකච්චා කරන්න.
ඩිස්මෙනෝරියාව යනු කුමක්ද?
ඩිස්මෙනෝරියා (Dysmenorrhea) යනු ඔසප් වීමේදී නැවත නැවත ඇතිවන දරුණු උදර කැක්කුම සහ වේදනාව සඳහා භාවිතා කරන වෛද්‍යමය පදයක්.
ප්‍රාථමික ඩිස්මෙනෝරියාව සාමාන්‍යයෙන් පළමු වරට ඔසප් වීම ආරම්භ වූ කාලයේ සිටම ඇති වන අතර, බොහෝ විට දිගු කාලයක් පවතිනවා. ගර්භාෂය දැඩිව හැකිළීම (contractions) හේතුවෙන්, මෙසේ ඔසප් වීමේදී දරුණු උදර කැක්කුම ඇති වීමට පුළුවන්.
වෙනත් ශාරීරික හෝ වෛද්‍යමය තත්ත්වයක් හේතුවෙන් මෙවැනි දරුණු උදර කැක්කුමක් ඇති වනවානම් එය ද්විතීයික ඩිස්මෙනෝරියාව නමින් හදුන්වනවා. ශ්‍රෝණි ප්‍රදාහ (උකුළ ආශ්‍රිතව ඉදිමීම) රෝගය (Pelvic Inflammatory Disease – PID) හෝ එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) වැනි තත්ත්වයන් එයට හේතු වීමට පුළුවන්.
ඩිස්මෙනෝරියා ඇති පුද්ගලයින් අතර බහුලව දක්නට ලැබෙන ලක්ෂණ:
- පහළ උදරයේ කැක්කුම
- පහළ උදරයේ වේදනාව
- පහළ පිටේ වේදනාව
- පාද දක්වා පැතිරෙන වේදනාව
- ඔක්කාරය
- වමනය
- පාචනය
- අධික වෙහෙස
- දුර්වල බව
- සිහි නැති වීම
- හිසරදය
ඔබට දරුණු ඔසප් වේදනාවක් තිබෙනවානම් නිවැරදි රෝග විනිශ්චයක් සහ සුදුසු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍යවරයෙකු හෝ වෙනත් ළගම පිහිටි MOH කාර්යාලය වෙත යන්න.
සාමාන්‍ය ඔසප් චක්‍රයක් යනු කුමක්ද?
ඔබගේ ඔසප් චක්‍රය ආරම්භ වන්නේ ඔසප් වීමේ පළමු දිනයේ සිට වන අතර, ඊළඟ ඔසප් වීමේ පළමු දිනය දක්වා පවතිනවා.
සාමාන්‍යයෙන් ඔසප් චක්‍රයක් දින 25–30ක් පමණ පවතින නමුත්, සමහර පුද්ගලයින්ට එය දින 21ක් තරම් කෙටි හෝ දින 35කට වඩා දිගු වීමටත් පුළුවන්. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනවා. එමෙන්ම, ඔබගේ ඔසප් චක්‍රයේ දින ගණන මාසයෙන් මාසයටද සුළු වශයෙන් වෙනස් වීම සාමාන්‍ය දෙයක්.
ඔසප් වීමේදී, දින 2 සිට 7 දක්වා රුධිර වහනය සිදුවීම සාමාන්‍ය ලෙස සැලකෙනවා.
සාමාන්‍යයෙන්, එක් ඔසප් වාරයකදී පුද්ගලයෙකුගේ ශරීරයෙන් මේස හැඳි 1 සිට 6 දක්වා පමණ ඔසප් තරලයක් පිටවනවා. මෙම තරලය සිහින් හෝ කැටි සහිත විය හැකි අතර, එහි වර්ණය තද රතු, දුඹුරු හෝ රෝස පැහැය දක්වා වෙනස් වීමටද පුළුවන්.
ඔබට පළමු වරට ඔසප් වීම ආරම්භ වන කාලයේදී, එය දින කිහිපයක් පමණක් පැවතීම හෝ ඉතා සුළු රුධිර වහනයක් තිබීම සාමාන්‍ය තත්ත්වයක්.
කෙසේ වෙතත්, ඔබට සෑම පැයකටම විශාල සනීපාරක්ෂක තුවායක් (Maxi Pad) මාරු කිරීමට සිදුවන තරම් අධික රුධිර වහනයක් තිබේ නම්, වෛද්‍යවරයෙකු හමුවී හෝ MOH කාර්යාලයෙන් උපදෙස් ලබා ගැනීම වැදගත්.
අපගේ ශරීරය එකිනෙකට වෙනස් නිසා, අපගේ ඔසප් චක්‍රද එකකින් එකකට වෙනස්. එබැවින්, “සාමාන්‍ය” යන්න පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි අතර, ජීවිතයේ විවිධ අවස්ථාවලදීද වෙනස් වීමට පුළුවන්.
එමෙන්ම, සමහර ප්‍රතිසංධිවිරෝධක ක්‍රම හෝ ඇතැම් සෞඛ්‍ය තත්ත්වයන් ද ඔබගේ ඔසප් චක්‍රයට බලපෑම් කළ හැකියි.
ඔසප් වීම අක්‍රමවත් නම් කුමක් කළ යුතුද?
ජීවිතයේ යම් අවස්ථාවකදී අක්‍රමවත් ඔසප් චක්‍ර ඇතිවීම ඉතා සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම, ඔබට පළමු වරට ඔසප් වීම ආරම්භ වන කාලයේදී මෙය ඉතා සුලභයි.
අක්‍රමවත් ඔසප් වීමේ උදාහරණ කිහිපයක්:
- ඔසප් වාරයක් සම්පූර්ණයෙන්ම මඟ හැරීම.
- ඔසප් වීම නියමිත දිනට වඩා කලින් හෝ පසුව පැමිණීම.
- සෑම මාසයකම වෙනස් PMS (ඔසප් වීමට පෙර ඇතිවන රෝග ලක්ෂණ) අත්විඳීම.
- සාමාන්‍යයට වඩා වැඩි හෝ අඩු රුධිර වහනයක් තිබීම.
- සාමාන්‍යයට වඩා වැඩි දින ගණනක් ඔසප් වීම පැවතීම.
- මාසයෙන් මාසයට ඔසප් වීමේ කාලය අනාවැකි කිව නොහැකි ලෙස වෙනස් වීම.
ඔබගේ ඔසප් වීමේ දින සහ රෝග ලක්ෂණ ඔසප් චක්‍ර දින දර්ශනයක හෝ ජංගම දුරකථන යෙදුමක (App) සටහන් කර තබා ගැනීමෙන්, ඔබගේ ශරීරයට සාමාන්‍ය දේ කුමක්ද යන්න තේරුම් ගැනීමටත්, කිසියම් වෙනසක් සිදුවන්නේ නම් එය පහසුවෙන් හඳුනා ගැනීමටත් හැකියාව ලැබෙනවා.
සමහර පුද්ගලයන්ගේ ඔසප් චක්‍ර නිතරම අක්‍රමවත් විය හැකිය. එය ඔවුන්ගේ ශරීරයේ ස්වාභාවික ලක්ෂණයක් විය හැකි අතර, නැතහොත් යම් සෞඛ්‍ය ගැටලුවක් නිසාද ඇති විය හැකියි.
ඔබගේ බොහෝ ඔසප් වාර අක්‍රමවත්, අනාවැකි කිව නොහැකි හෝ අසාමාන්‍ය නම්, සෑම දෙයක්ම සාමාන්‍ය තත්ත්වයේ තිබේදැයි තහවුරු කර ගැනීම සඳහා වෛද්‍යවරයෙකු හෝ සුදුසු සෞඛ්‍ය සේවා සපයන්නෙකු හමුවීම වැදගත් වනවා.