ඔසප් වීම කියන්නේ ගර්භාෂයේ ඇතුළත පටලය ගැලවී රුධිරයත් සමග යෝනි මාර්ගය දිගේ ඇවිත් ශරීරයෙන් බැහැර වීමයි. ඔසප් වීම, ඔසප් චක්‍රය නමින් හැදින්වෙන ස්ත්‍රී ප්‍රජනන චක්‍රයේ එක් අවස්ථාවක්. පහතින් දැක්වා ඇත්තේ ඔසප් චක්‍රයේ අවස්ථා හතරක්.

ස්ත්‍රී ප්‍රජනන බීජ හැදින්වෙන්නේ ඩිම්භ යන නමින්. ගැහැණු දරුවෙක් උපදින විට ඇගේ ඩිම්බ කෝෂ වල නොමේරූ ඩිමිබ දහස් ගණනක් පවතිනවා. ගැහැණු දරුවන් වැඩිවියට පත් වන කාලයේදී මේ ඩිම්බ මේරීම ආරම්භ වනවා. මෙම මෝරන ඩිම්බ වරකට එක බැගින් ඩිම්භ කෝෂයෙන් පැලෝපීය නාලය වෙත මුදාහැරීමද මේ කාලයේදී ආරම්භ වනවා.
ඔසප් චක්‍රයේ පළමුවන සතිය තුළ ඊස්ට්‍රජන් හෝර්මෝනය වැඩිපුර ශ්‍රාවය වීම නිසා ගර්භාෂයේ ඇතුළත බිත්තියේ (එන්ඩෝමෙට්රියම) මතුපිට ස්ථරය වැඩෙනවා. ඉන්පසුව මේරූ ඩිම්භයක් ඩිම්භ කෝෂයේ මතුපිටට පැමිණෙන අතර, පැලෝපීය නාලයේ අග ඇති තන්තු මගින් එම ඩිම්භය පැලෝපීය නාලය ඇතුළට ගමන් කිරීමට සලස්වනවා. මේ කාලය තුළ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය මගින් ගර්භාෂයේ බිත්තිවල රුධිරවාහිනී තව දුරටත් වර්ධනය කරනවා. මෙසේ ගර්භාෂ බිත්තිය රුධිරවාහිනී වලින් පෝෂණය වෙමින් වැඩෙන්නේ ඩිම්භ කෝෂයෙන් පිටවූ ඩිම්භය සංසේචනය වී ගැබ් ගැනීමක් ඇති වුවහොත් වැඩෙන කළලයට පෝෂණය සැපයීමට සුසුදු පරිසරයක් ඇති කිරීමටයි.
ඩිම්භය සංසේචනය නොවූ විට, ඔසප් චක්‍රයේ මීලග අදියර වන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන ශ්‍රාවය වීම පහළ යාමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ගර්භාෂයේ ඇතුළු බිත්තිය ගර්භාෂයෙන් ගැලවීමට පටන් ගන්නා අතර රුධිරයත් සමග එම ශ්ලේෂ්මල පටල යෝනි මාර්ගය දිගේ ශරීරයෙන් පිටතට පැමිණෙනවා. ඔසප් වීම ලෙස හැදින්වෙන්නේ මෙයයි. මෙම ක්‍රියාවලිය චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වන නිසා එය ඔසප් චක්‍රය ලෙස හැදින්වෙනවා.
ඔසප් චක්‍රය මේ එක් අවස්ථාවක සිට ආපසු නැවත එම අවස්ථාව දක්වා ඒමට ඇතැම් අයට දින 21ක් වැනි සුළු කාලයක්ද ඇතැම් අයට දින 35ක් වැනි දිගු කාලයක්ද ගත වීමට පුළුවන්.
ඔසප් චක්‍රය ක්‍රියාත්මක වන්නේ ඊස්ටජන් සහ ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන වල බලපෑමෙන්.
ඔසප් වීමේදී පිට වන රතු පාට ද්‍රාවණයේ අඩංගු වන්නේ,
- ගර්භාෂ බිත්ති පටක
- රුධිරය
- යෝනි ශ්රාවයසහ ශ්ලේෂ්මලයි
ඔසප් රුධිර වහනය ආසන්න වශයෙන් දින 2-7 ක් අතර කාලයක් පවතින්න පුළුවන්. ඔසප් රුධිරයේ වර්ණය හා ස්වභාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීමට පුළුවන්. ඔබේ ඔසප් රුධිරය වෙනදාට වඩා වෙනස් පැහැයක් ගන්නවානම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට වඩාත් සුදුසුයි.
ඔසප් වීම ජීවිතයේ ස්වාභාවික අංගයක් වන අතර, ඒ පිළිබඳ අධ්‍යාපනය අප සියළු දෙනාටම ලැබිය යුතුයි. ඔසප් චක්‍රය සහ හෝර්මෝන වල ක්‍රියාකාරීත්වය හොදින් තේරුම් ගැනීමෙන් අපට ඔසප් කාලය ඵලදායී ලෙස කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා.
ඔසප්වීම ආරම්භ වන්නේ සහ අවසන් වන්නේ කවදාද?
වැඩිවියට පත්වන කාලයේ (Puberty) එක් අවස්ථාවකදී ඔබගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීමට පටන්නවා. එය ඔබගේ පළමු ඔසප් වීමයි.
බොහෝ දෙනෙකුට පළමු ඔසප් වීම වයස අවුරුදු 12ත් 14ත් අතර සිදු විය හැකි අතර, ඇතැමුන්ට එය ඒ වයසට පෙර හෝ පසුව ආරම්භ විය හැකියි. ඔබට ඔසප් වීම හරියටම ආරම්භ වන්නේ කවදාදැයි කලින් දැනගැනීමට ක්‍රමයක් නැහැ. කෙසේ වෙතත්, එය ආරම්භ වීමට දින කිහිපයකට පෙර ඔසප් වීමට පෙර ඇතිවන ලක්ෂණ (PMS) කිහිපයක් ඔබට දැනෙන්නට පුළුවන්.
ඔබට වයස අවුරුදු 16 වන විටත් ඔසප් වීම ආරම්භ වී නොමැති නම්, ළගම ඇති MOH කාර්යාලයෙන් උපදෙස් ලබා ගන්න.
බොහෝ දෙනෙකුට ඔසප් වීම වයස අවුරුදු 45ත් 55ත් අතර නතර අවසන්වනවා. මෙය ආර්ථවහරණය (Menopause) ලෙස හදුන්වනවා.
ආර්ථවහරණය සම්පූර්ණයෙන්ම සිදුවීමට වසර කිහිපයක් ගත වීමට පුළළුන්. මේ කාලය තුළ ඔසප් වීම ක්‍රමයෙන් වෙනස් වන අතර ආර්ථවහරණය අවසන් වූ පසු ගැබ් හැකියාවක් නැහැ.
ඔබගේ ඔසප් වීම ආරම්භ වන වයස සහ අවසන් වන වයස, ඔබගේ මව හෝ සහෝදරියන්ගේ ඔසප් චක්‍රය ආරම්භ වූ සහ අවසන් වූ වයසට සමාන වීමට ඉඩ තිබෙනවා.
ගැබ් ගැනීමක් සිදු වන්නේ ඔසප් චන්රයේ කුමන කාලයේදීද?
ඩිම්බ මෝචනය (Ovulation) සිදුවීමට පෙර දින කිහිපය තුළ ගැබ් ගැනීමේ හැකියාව ඉහළයි. ඩිම්බ මෝචනය යනු ඩිම්බ කෝෂයෙන් (ovary) පරිණත ඩිම්බයක් (egg) නිකුත් වීමයි. මෙම දින සරු කාලය (fertile days) ලෙස හැඳින්වෙනවා.
සාමාන්‍යයෙන් ඩිම්බ මෝචනය සිදුවන්නේ ඔබගේ ඊළඟ ඔසප් වීම ආරම්භ වීමට දින 14කට පමණ පෙරයි. නමුත් එක් එක් පුද්ගලයාගේ ශරීරය වෙනස් බැවින්, ඔබගේ ඔසප් චක්‍රයේ දිග අනුව ඩිම්බ මෝචනය මීට පෙර හෝ පසුව සිදුවීමට පුළුවන්.
ඩිම්බ කෝෂයෙන් නිකුත් වූ ඩිම්බය සාමාන්‍යයෙන් පැය 24ක් පමණ පැලෝපීය නාලයේ ජීවීව පවතින අතර, ශුක්‍රාණු වලට ගර්භාෂය සහ පැලෝපීය නාල (Fallopian tubes) තුළ දින 6ක් පමණ ජීවත් වීමට පුළුවන්.
ඒ නිසා, එක් ඔසප් චක්‍රයක් තුළ සාමාන්‍යයෙන් දින 6ක පමණ කාලයක් ගැබ් ගැනීමේ හැකියාව තිබෙනවා. එනම්:
ඩිම්බ මෝචනයට පෙර දින 5, සහ
ඩිම්බ මෝචනය සිදුවන දිනය.
ඩිම්බ මෝචනයෙන් දිනක් පමණ ගත වූ පසුවත් ගැබ් ගැනීමේ හැකියාවක් තිබිය හැකි නමුත්, එය සාපේක්ෂව අඩුයි.
බොහෝ දෙනා තමන්ගේ ඔසප් චක්‍රය සහ සරුබව පෙන්නුම් කරන වෙනත් ශාරීරික ලක්ෂණ නිරීක්ෂණය කරමින් ඩිම්බ මෝචනය සිදුවන කාලය හඳුනා ගැනීමට උත්සාහ කරන අතර මෙය සරුබව පිළිබඳ දැනුවත්භාවය (Fertility Awareness) ලෙස හදුන්වනවා. සමහර අය මෙම ක්‍රමය, ගැබ් ගැනීමක් වැළැක්වීම සඳහා භාවිතා කරන අතර, තවත් සමහර අය ගැබ් ගැනීමට උත්සාහ කරන විට භාවිතා කරනවා.
සමහර පුද්ගලයින්ගේ ඔසප් චක්‍රය සෑම මාසයකම ක්‍රමවත්ව සිදු වන අතර, තවත් සමහර අයගේ චක්‍රය මාසයෙන් මාසයට වෙනස් විය හැකියි. විශේෂයෙන්ම යොවුන් වියේදී අක්‍රමවත් ඔසප් චක්‍ර තිබීම ඉතා සාමාන්‍ය දෙයක්.
ඔබගේ ඔසප් වීම අක්‍රමවත් නම්, ඩිම්බ මෝචනය සිදුවන්නේ හරියටම කවදාදැයි නිශ්චිතව දැන ගැනීම අපහසුයි.
ඔබ ගැබ් ගැනීමක් බලාපොරොත්තු වන්නේ නැති නම්, යෝනි මාර්ගික ලිංගික ඇසුරක් පවත්වන සෑම අවස්ථාවකදීම විශ්වාසදායක ප්‍රතිසංධිවිරෝධක ක්‍රමයක් භාවිතා කිරීම වැදගත්.