ඔසප් වාරයක් මග හැරුණොත්?

ඔසප් වාරයක් මඟ හැරීම ගැබ්ගැනීමේ මුල් ලක්ෂණවලින් එකක් විය හැකි නමුත්, එයින් ඔබ අනිවාර්යයෙන්ම ගැබ්ගෙන ඇති බව අදහස් වන්නේ නෑ.

විශේෂයෙන්ම ඔසප් වීම ආරම්භ වී පළමු වසර කිහිපය තුළ, කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව ඔසප් වාරයක් මඟ හැරීම සාමාන්‍ය දෙයක්.

ඔබගේ ඔසප් චක්‍රය වෙනස් වීමට හෝ ඔසප් වීමේ කාලය ප්‍රමාද වීමට හේතු විය හැකි තවත් කරුණු කිහිපයක් පහතින් දැක්වනවා:

  • හෝර්මෝනමය ප්‍රතිසංධිවිරෝධන ක්‍රම භාවිතා කිරීම (උපත් පාලන පෙති, පැච්, යෝනි වළල්ල (Ring), Implant සහ හෝර්මෝනමය IUD වැනි ක්‍රම).
  • හදිසි ගැබ් ගැනීම් වළක්වන පෙත්ත (Morning-after Pill) ලබා ගැනීම.
  • ශරීරයේ හෝර්මෝනවල වෙනස්කම්.
  • අසනීප වීම.
  • ඇතැම් ඖෂධ භාවිතා කිරීම.
  • අධික ලෙස ව්‍යායාම කිරීම.
  • ප්‍රමාණවත් හෝ සමබර පෝෂණයක් නොලැබීම.
  • මානසික ආතතිය.
  • හදිසියේ බර වැඩිවීම හෝ අඩුවීම.
  • ශරීරයේ මේද ප්‍රමාණය ඉතා අඩුවීම (ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හෝ ආහාර ගැනීමේ ආබාධ ඇති පුද්ගලයන්ට මෙය සිදුවිය හැකිය).
  • ආර්තවහරණය (Menopause) – ඔසප් වීම ස්ථිරවම නතර වන අවධිය.

අනාරක්ෂිත ලිංගික ඇසුරකින් පසුව ඔසප් වාරයක් මඟ හැරී ඇත්නම්, ගැබ්ගැනීමේ පරීක්ෂණයක් (Pregnancy Test) සිදු කිරීම සුදුසුයි.

ඔසප් වාරයක් මඟ හැරීම පමණක් ඔබ ගැබ්ගෙන ඇති බව තහවුරු කිරීමට ප්‍රමාණවත් වන්නේ නෑ. ඔබ ගැබ්ගෙන ඇත්දැයි නිශ්චිතවම දැනගැනීමට ඇති එකම ක්‍රමය ගැබ්ගැනීමේ පරීක්ෂණයක් සිදු කිරීමයි.

ගැබ් ගෙන ඇති දැයි නිවැරදිව දැන ගත හැකි වන්නේ රුධිර පරීක්ෂණයකින් හෝ අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයකින් පමණයි.

නිවසේදී ම මුත්‍රා පරීක්ෂණයක් සිදු කර ගැනීම සඳහා අවශ්‍යය වන ගර්භණීත්ව පරීක්ෂණ කූරක් (pregnancy stick) ඕනෑම ෆාමසියකින් මිලදී ගැනීමට ඔබට පුළුවන්. එහි ප්‍රථිඵලය කුමක් වුවත්, සැක හැර දැන ගැනීමට වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු වීම නුවණට හුරුයි.

හෝර්මෝනමය ප්‍රතිසංධිවිරෝධක ක්‍රම ඔබගේ ඔසප් චක්‍රයට බලපාන අතර, සමහර විට ඔසප් වීම සම්පූර්ණයෙන්ම නතර වීමටද හේතු විය හැකිය.

ඔබ ප්‍රතිසංධිවිරෝධක ක්‍රමය නිවැරදි ලෙස භාවිතා කර ඇත්නම් හෝ IUD හෝ Implant වැනි ඉතා කාර්යක්ෂම උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්නේ නම්, ඔසප් වාරයක් මඟ හැරීම ගැබ්ගැනීමක් නිසා වීමේ හැකියාව ඉතා අඩුය.

ඔබ ගැබ් ගෙන ඇතැයි ඔබ සිතනවා නම්, හෝ ඔබගේ ඔසප් චක්‍රයේ වෙනස්කම් ගැන ඔබට ගැටළුවක් ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවන්න. ඔබේ ගමේ පවුල් සෞඛ්‍යය නිලධාරීතුමියගෙන් හෝ MOH කාර්යාලයෙන් වැඩි දුර තොරතුරු හා උපදෙස් ලබා ගන්න හැකියාව තිබෙනවා.

 

Social Share: