දමිත් චන්දිමාල් විසිනි.
ඔල්ගා දේවි සහ නිහාල් නෙල්සන්
“සරමට හරි හැඩයි එයා
කලිසමටත් හැඩයි එයා
සාරියටත් ආස එයා
දන්නවාද කවුද කියා
පිරිමියෙකුත් නෙමෙයි එයා
ගෑණියෙකුත් නෙමෙයි එයා
වල්ග තරුව වගෙයි එයා
දෙපැත්තටම නෑනෙ එයා…
උකුළු මුකුලු තාලෙට පේවී
ඔමරි පපා ගමනේ යාවී
අගර දගර බැල්මල් දාවී
එයාට අපි කියන්නෙ ඔල්ගා දේවී…”
නිහාල් නෙල්සන් ගයන ඔල්ගා දේවී ගීතයෙන් කියවෙන්නේ වසර 2000 ගණන්වල මුල දී මියගිය කොළඹ ආශ්‍රිතව ජීවත් වූ ‘ඔල්ගා දේවි’ අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඔස්ටින් මාමාගේ චරිතය ගැනයි. ඔහු ගැන තොරතුරු සොයමින් ඔහු ජීවත් වූ ප්‍රදේශයට ගිය මට මේ ගීතයෙන් කියවෙන පිරිමියෙකුත් නොවන – ගෑණියෙකුත් නොවන නච්චි ගණනාවක් හමු වුනා. මේ ලිපිය ලියවෙන්නේ ඒ ගැනයි. [ඔවුන්ගේ ආරක්ෂාව තකා මෙම ලිපියේ ඔවුන්ගේ ඇත්ත නම් ගම් සඳහන් වෙන්නේ නැහැ.]
නිහාල් නෙල්සන් ගායකයා ඔල්ගා දේවි ගීතය ගැයුවේ මොන කාලයේ ද මොන කැසට් පටියට අයිති වුනාද යන්න නිශ්චිතව මට තොරතුරක් හොයා ගන්නට බැරි වුනත්, 1970 ගණන්වල මුලින්ම ගැයූ මේ ගීතය කැසට්පටියකට පැමිණියේ 70 දශකයේ අග හෝ 1980 දශකයේ මුල බවත් මෙය නිහාල් නෙල්සන් විසින් නිකුත් කළ මුල්කාලීන ගීතයක් වෙන බවත් මට කිහිප දෙනෙක් කීවා.
“ඔල්ගා කියන්නෙ මගෙ මාමා. ඒ මගෙ අම්මාගෙ අයියා. ඔය ඉස්සරහ තැනක් තියෙනවා … කියලා. එතන තමයි එයාගෙ ගෙවල් තිබුනෙ. ඔල්ගා දේවි කිව්වම එයා සෑහෙන්න ප්‍රසිද්ධයි. අර නිහාල් නෙල්සන් සින්දුවක් හැදුවෙ. එයා නටනවා දැකලා තමයි එවෙලෙම ඒ සින්දුව හැදුවෙ. ඒත් අපි පාටි ගෙදරකට ගිහිල්ලා තමයි (ඒක වුනේ). එයා උයනවා, මම ඩාන්ස් කරනවා. තව තුන්දෙනෙක් වෙනම ඩාන්ස් කරනවා.”
ඔල්ගා දේවි ගීතය ගැන ආනන්ද සිය මතකය අවදි කළේ එහෙමය [ආනන්ද සමග සාකච්ඡාව, නොවැම්බර් 12, 2026 කොළඹ). ආනන්ද කී අන්දමට නිහාල් නෙල්සන් ඒ ගීතය මුලින්ම ගායනා කර ඇත්තේ ඔවුන් ඉවුම් පිහුම් සහ නර්තනය සඳහා ගිය උත්සව ගෙදරක් අතරතුර ඒ අවස්ථාවේ ඔල්ගා දැක කතාබහ කිරීමෙන් පසුව ආ අදහසක් අනුවයි.

රූපය – තරුණ නිහාල් නෙල්සන් (1977). ඡායාරූපය ඩන්ස්ටන් වික්‍රමරත්න. සිල්වර්ලයින් රෙකෝඩ් බාර්.
තමන්ගේ ලිංගිකත්වය විෂම ලිංගික නොවන, සාම්ප්‍රදායික ගැහැණු පිරිමි රාමුවලට හිර කළ නොහැකි මිනිස්සු හැම රටකම හැම සමාජයකම හැම කාලයක දීම ඉන්නවා. හැබැයි ඒ අය බොහෝ විට ඉතිහාසයට අයිති වෙන්නේ නැත්තෙ ඒ අයගෙ ජීවිතවල ඒ කොටස ඉතිහාසය විදියට කවුරුවත් ලියන්නේ නැති නිසයි. ජාතික මට්ටමේ වැදගත්කමක් ඇති මනුස්සයෙක් එහෙම වුනොත්, ඒ කියන්නෙ ප්‍රසිද්ධ කලාකරුවෙක්, දේශපාලනඥයෙක් වගේ කෙනෙක් වුනොත් ඒ අයගෙ විෂම ලිංගික නොවන ලිංගිකත්වය හෝ පවරන ලද පුද්ගල සමාජභාව අනන්යතාවෙයන් ඔවුන් වෙනස් වෙන එක ගැන ඇති තොරතුරු සලකන්නේ ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු, ලේඛන ගත නොකළ යුතු, අපහාස කරන්නට අවශ්‍ය වුනොත් විතරක් එළියට ඇදිය යුතු ආවුදයක් විදිහටයි. ප්‍රසිද්ධ නැති මනුස්සයෙක්ගෙ විෂම ලිංගික නොවන, සාම්ප්‍රදායික ගැහැණු පිරිමි රාමුවලට හිර කළ නොහැකි ජීවිතය ඉතිරි වෙන්නෙ ඒ මනුස්සයා දන්න අඳුරන මිනිස්සුන්ගෙ හිත්වල මතකයක් විදියට විතරයි.
ලංකාවේ නච්චි මිනිස්සු සෑහෙන කාලයක් තිස්සෙ ලංකාවේ ජීවත් වුනත්, පළමු වතාවට එහෙම කෙනෙකුගේ ජීවිතය ගැන ලංකාවේ කලා නිර්මාණයක සඳහන් වෙන්නෙ ඔල්ගා දේවි ගැන මේ නිහාල් නෙල්සන් කියපු ගීතයෙනුයි. බොහොම මෑත කාලීනව 2023 දී විෂ්ණු වාසු ලියපු සාරි ඇඳපු පිරිමි පොතේ ආයෙත් මේ නච්චින්ගෙ මුඛ පරම්පරාගත 70-80 දශකවල ඉතිහාසය කතන්දරයක් විදියට ලියැවුනා. නිහාල් නෙල්සන් මේ ගීතය ගායනා කළේ නැත්නම් ඔල්ගා කියන චරිතය ජීවත් වුනාද නැද්ද කියන එකවත් අපි කවුරුවත් නොදැන හිටින්නට ඉඩ තිබෙනවා.

රූපය- සාරි ඇඳපු පිරිමි පොතේ පිට කවරය.
නච්චි කියන්නෙ කවුද?
නච්චි කියන්නෙ කවුරුද කියන එක ගැන කෙටියෙන් විස්තර කළොත් මෙහෙමයි.
නච්චි ආදරය කිරීමට සහ ලිංගිකව එකතු වීමට ආසා කරන්නේ පිරිමින් සමගයි. තමන්ට ගැහැණු ගති ඇති බවත්, ගැහැනු සිතුම් පැතුම් ආශාවන් ඇති බවත් ඔවුන් විශ්වාස කරනවා. ඔවුන්ට තමන් තෝරා ගත් කාන්තා නමක් වගේම උපතේදී ලැබුන පිරිමි නමකුත් තිබෙනවා. ඒ අයගෙන් බොහෝ අය එදිනෙදා ජීවිතයේ දී සම්පුර්ණයෙන් ගැහැනු ඇඳුම් අඳින්නේ නැති නමුත් තමන්ගේ ස්ත්‍රී ලාලිත්‍යය, ආශාවන් ආදිය, විලාසිතා, මේකප්, ගමන් විලාසය, කතා විලාසය ආදිය හරහා පෙන්වමින් තමන් ගැහැනු හා පිරිමි දෙකටම අයිති වන හා නොවන බව බාර ගන්නවා. ගමේ ප්‍රජාව ඇතුලේ ද ඔවුන්ට ඒ නිසා කිසිදු කොන් කිරීමකට ලක් වන්නේ නැහැ. ඔවුන් බොහෝ දෙනාගේ නච්චි අනන්‍යතාවය ගමේ කාටවත් රහසක් නොවෙයි. නැටුම් ගැයුම් සිදු කිරීම, අභිචාර කටයුතු සිදු කිරීම, උත්සව අවස්ථාවන් සඳහා ඉවුම් පිහුම් කිරීම, මේකප් කිරීම, කොණ්ඩ සැකසීම, මනාලියන් ඇන්දවීම ආදි විවිධ කටයුතු ඔවුන් සාම්ප්‍රදායිකව සිදු කර තිබෙන අතර, බොහෝ දෙනා ගුරු පරම්පරාවෙන් පරම්පරාවට ඒ දේවල් ඉගෙන ගෙන තිබෙනවා.
ඒ වගේම ඔවුන්ට ආවේණික නච්චි භාෂාව යැයි කියන පිටස්තර අයට නොතේරෙන ලෙස සන්නිවේදනය කිරීමට ප්‍රයෝජනවත් වන වචන සමූහයක් ද තිබෙනවා. ඉන්දියාවේ හිජ්රා ප්‍රජාවටත් මෙවැනි උපභාෂාවක් තිබෙන අතර මොවුන්ට මෙන්ම මාතෘ මූලික පවුල් ක්‍රමයක් ද තිබෙනවා
ඔල්ගා දේවි කියන චරිතයෙන් අද වන විට නියෝජනය වෙන්නෙ කොළඹ ඉන්න නච්චි ප්‍රජාවේ සියවසකට කිට්ටු ඉතිහාසයයි. සම්ප්‍රදායික ගැහැණු පිරිමි අනන්‍යතාවලින් වෙනස් වෙන මේ අය තමන් ජීවත් වූ ප්‍රජාවන් ඇතුළේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ වූ පිරිසක් වූවා.
නිහාල් නෙල්සන්ගේ ගීතයේ ඉතුරු පද ටික ඇහුවොත් මේ කාර්යභාරය මොකක්ද කියන එක තවත් පැහැදිලි වෙනවා.
භෘංගසේන බැඳපු දවසෙ කෑම හදන්නටත් ආපු
ප්‍රින්සි නංගි බැඳපු දවසෙ කොණ්ඩෙ හදන්නටත් ආපු
විලි මාමා මැරුණු දවසෙ වෙස්සන්තර කවි කියාපු
වල්ගාතරුව ඔල්ගා දේවි
පව්ඩර් මූණේ අලවලා බොරුවට ගෙම්බර් දමාපු
ගමේ තිබුන තොවිල්පොලක් ගම්මඩුවක් නෑර ආපු
පිරිමි අස්සෙ රිංග රිංග ගෑනුන්ගෙන් බැනුම් අහපු
වල්ගතරුව ඔල්ගා දේවී
පහළ වත්තෙ පිරිත් ගෙදර පිරිත් මණ්ඩපේ හදාපු
අවුරුද්දට උඩහ ගෙදර ගෑණු එක්ක රබන් ගහපු
වෙසක් එකට බජව් පොළේ ගෙජ්ජි දාමාගෙන නටාපු
වල්ග තරුව ඔල්ගා දේවී…
තව යාළුවො කැන්දාගෙන ගමේ පෙරහැරෙත් නටාපු
සදඑලියේ සැනකෙළියේ මැරිගො රවුමෙ රවුම් ගහපු
පිරිමි අස්සෙ රිංග රිංග ගෑණුන්ගෙන් බැනුම් අහපු
අනේ අපේ ඔල්ගා දේවී… ගෑණුන් හට වෛර කරාවී….
මේ කියන විදියටම උත්සව අවස්ථාවල කෑම සැකසීම, කොණ්ඩා සැකසීම, මේකප් කිරීම, ආගමික සහ සංස්කෘතික අභිචාර කටයුතු, යාතුකර්ම, සම්ප්‍රදායික කලා කටයුතු ඉටු කිරීමේදී නච්චි සුවිශේෂී දායකත්වයක් දක්වා තිබෙනවා. මළගෙදරක දී වෙස්සන්තර කවි කීම, අලුත් අවුරුද්දට රබන් ගැසීම, සාමූහිකව එකතු වී පිරිත් මණ්ඩප සැකසීම සහ පිරිත් ගෙවල් පැවැත්වීම, වෙසක් කාලයේ පැවැති බජව් පොළ බොහෝ දේ දැන් අතීතයේ මතක බවට පත්වී හමාරයි. පව්ඩර් මූණෙ ගෑම පවා දැන් වැඩිහිටියෝ කරන දෙයක් නොවෙයි. මේ විදියට ගත්තම මේ ගීතය තුල මේ වෙන කොට අපට නැති වී ගිය යම් සංස්කෘතික අභිචාර විධි, උත්සව, හැසිරීම් ආදිය ගැන කරුණු රැසක් කියනවා. ඒ කාලයේ වුනත් යම් පමණකට දුර්වල වෙමින් තිබූ මේ සංස්කෘතික අභිචාර විධි අද වෙනකොට තවදුරටත් දුර්වල වෙලා ගිහින්. ඉතිහාසය සම්බන්ධ කාරණා ලෙස හැරුණු විට නච්චි කියන අනන්‍යතාවයට තවදුරටත් සුවිශේෂී වැදගත්කමක් අහිමි වෙමින් පවතින කාලයක අපි ජීවත් වෙනවා.
මට හමුවූ තවත් ආකර්ෂණීය චරිත දෙකක් වූයේ සොබනී සහ සමුද්‍ර දේවීය. අප ඇගේ නිවසට ඇතුලු වෙන විට සෝබනී උඩුකය නිරුවතින් කොට කලිසමක් පිටින් භූමිතෙල් ලිපේ කෑම උයමින් සිටි අතර, ඇගේ දුව සමුද්‍රා දේවි උයන තැන සිට අඩි හත අටක දුරෙන් තිබූ ඇඳේ වාඩි වී සිටියා. නිවසින් ඇතුලු වෙන විටම පෙනෙන්නේ ඇඳට උඩින් එල්ලා ඇති ‘මිහිරි සිහින – පොඩි අය’ (sweet dreams-little ones) යනුවෙන් ඉංග්‍රීසි බසින් සඳහන් වෙන රෝස පාට පසුබිමකින් යුතු සුරතල් බබෙකුගේ ලොකු පින්තූරයකි. බිත්ති සරසා තිබුනේ ප්ලාස්ටික් පැදුරුවලිනි. අනෙක් පස ඇතුළු වෙන දොර ලගම ‘මෙම නිවසට බුදු සරණයි’ වැකිය සමග බුදුන්ගේ පින්තූරයක් ද දේවරූප කිහිපයක පින්තූර ද ලෑලි බිත්තියේ අමුණා තිබුනා.

පින්තූරය – සෝබනී ඇගේ භූමිතෙල් ලිපේ ඌරු මස් කරියක් උයන පිහන අතරතුර සාකච්ඡාවට සහභාගි වුනා
“ඉස්සර පුතේ කේටරින් සර්විස් නෑනෙ. හොඳට රසටම ඉව්වෙ අපේ කට්ටිය. තුනපහ ඇරුනම රසකාරක දැම්මෙ නෑ (රසකාරක තිබුනෙත් නෑ). අතින් පදම අරගෙන තමයි රසට ඉවුවෙ” සෝබනී උයන අතර සමුද්‍ර දේවි ඉවුම් පිහුම් සංස්කෘතිය ගැන විස්තර කළා (2026 නොවැ 15 දින සමුද්‍ර දේවි සහ සෝබනී සමග සිදු කළ සාකච්ඡාව, කොළඹ).
උත්සව අවස්ථාවල ඉවුම්පිහුම් සඳහා ඔවුන් කණ්ඩායම් ලෙස දායක වූ ආකාරය ගැන විස්තර සම්මුඛ සාකච්ඡාවලට සහභාගි වූ නච්චි හැමදෙනාම වාගේ සඳහන් කල අතර, කේටරින් සේවා ආයතන වැනි වෙළෙඳ ආයතනවලට, තාක්ෂණයන්ට ඉවුම්, පිහුම් ඇතුළු අනෙකුත් සංස්කෘතික කටයුතු යොමු වීමත් සමග මෙවැනි දේවල්වල දී නච්චින්ට තිබූ සංස්කෘතික වැදගත්කම විතැන් වී තිබෙනවා. සෝබනී, ආනන්ද සහ සෝබනීගේ නිවස පහල ජීවත් වෙන මාලක්කා එකතු වී මගුල් ගෙවල්වල උයන්නට ගොස් ලැබෙන සුලු ආදායම එකිනෙකා අතර බෙදා ගත් ආකාරය ගැන ඔවුන් විස්තර කලා. නච්චි උයන පිහන වැඩවලට දක්ෂ බවට ඒ කාලයේ සමාජ මතයක් තිබූ බවත් ඔවුන් කීවා. ඔල්ගා දේවී ඉස්සර රුපියල් විස්සක මුදලකට මගුල් ගෙදර කෑම සැකසීම සහ මනමාලියට ඇන්දවීම දෙකම සිදු කල බවත් ඔවුන් තවදුරටත් කීවා.
නච්චි කෙල්ලන් යනු නාච් කෙල්ලන්ද?
නච්චි අනන්‍යතාවය ගැන පර්යේෂණ සිදු කල ජෝඩි මිලර් සහ නිකලස් අන්ඩ්‍රියා (2012)ගේ අදහස වන්නේ නච්චි යන්න ඉන්දියාවේ නාච් කෙල්ලන් (nautch girls) යන්නෙන් නිරුක්ති වෙන්නක් වෙන බවයි.
සමුද්‍ර දේවි (2026 නොවැ 15 දින සමුද්‍ර දේවි සහ සෝබනී සමග සිදු කළ සාකච්ඡාව, කොළඹ) කීවේ විශේෂයෙන්ම ටවර් හෝල් යුගයේදී සහ ඒ ආසන්න කාලයේ නාට්‍යවල රගපෑමට ගැහැනු අය සංස්කෘතික කාරණා මත අකැමැති වීම නිසා බොහෝ විට ඒ රංගනයන්ට දායක වුනේ නච්චි පුද්ගලයන් බවයි.
නෙලුෆර් ද මැල් (2001) කියන ආකාරයට 1917 දී ඇනී බොතේජු ටවර්හෝල් රගහලට එකතු වන්නට පෙර වෘත්තීය නිලියන් ලංකාවේ සිටියේ නැහැ. 1885 දී ඇනා පෙරේරා නම් නිලියක් සී දොන් බස්තියන්ගේ රොමිලින් නම් නූර්තියේ රගපා ඇති නමුත් ඇය වෘත්තීය නිලියක් බවට පත් වී නැහැ. නමුත් ඒ සංසිද්ධිය පහත වචනයෙන් එකල පුවත්පතක වාර්තා කර තිබුනා. (ආරියරත්න, එස්. 2008).
“පරණ සිරිත් වූ පුරුෂයෝ ස්ත්‍රීන් මෙන් පෙනීම වෙනස් කර ස්ත්‍රියක්ම පෙනී සිටීම සිංහල නෘත්‍ය මණ්ඩලයක 1 වැනි වරට සිංහල කන්‍යාවක් නෘත්‍ය දක්වමින් ලංකා කථාන්තරය සම්පූර්ණ කිරීමේ 1 වෙනි අලංකාර රාත්‍රිය…. නම්බුකාර යෞවනියන් ම නෘත්‍ය මණ්ඩලයට ගෙන ඒම” 1885 සැප් 18. සරසවි සඳරැස
එකල කාන්තාවන්ට රංගන ශිල්පිනියක් වීම ලේසි පහසු දෙයක් වූයේ නැහැ. එක් අතකින් නිලියන් වෙන කාන්තාවන් ‘වල් ගෑනු’ යන අදහස පුළුල්ව පැවතුනු අතර, අනෙක් අතට ස්ත්‍රී චරිත රගපෑ පිරිමින් සමග සතුරුකම් ඇති කර ගන්නටත් සිදු වුනා (ද මැල්, 2001. පිටු 60.) ඉහත සරසවි සඳරැස උපුටනය තුල ඇති ‘කන්‍යාව’ සහ ‘නම්බුකාර යෞවනිය’ යන වචනවල රැදී ඇත්තේ මේ කතන්දරයමයි. මේ කියන කාරණා සමග මම එකග වෙන අතරම මේ අය හුදු ‘ගැහැනු වෙස්ගත්’ ‘පිරිමි’ යන කාණ්ඩය යටතේ පමණක් වර්ගීකරණය කිරීම ගැන මම එතරම් එකග වන්නේ නෑ. 1917ට පසුව ලක්ෂ්මී බායි, දේවී සකුන්තලා, රෙජීනා පෙරේරා, සුසිලා ජයසිංහ සහ ඩොරීන් පෙරේරා වැනි කාන්තා නිලියන් ක්‍රමිකව ටවර් හෝල් සහ අනෙකුත් රංගන අවකාශයන්ට ඇතුලු වීම සිදුවෙතත් තවත් දශක කිහිපයක් යනතුරුම පුරුෂ ශරීර සහිතව ඉපදුනු අය (නච්චි හෝ පිරිමි) ගැහැනු චරිත රගපෑමේ දිගටම නියුතු වුනා. විශේෂයෙන්ම සරලා බායි, ලීලා බායි, කමලා බායි, පර්සි පෙරේරා වැනි නිලියන් මීට හොඳ උදාහරණයි. සරලා බායි වේදිකාවට පැමිණෙන්නේ කාන්තාවන් කාන්තා චරිත රගපාන 1940 දශකයේ වීමත්, 50 දශකයේ අතිශයින්ම ජනප්‍රිය වීමත් මෙහිදී සදහන් කල යුතුයි
19වන සියවසේ අග සහ 20 වැනි සියවසේ මැද භාගය ද පසු වෙන තෙක් සිදුවන මේ ක්‍රියාදාමය අද අපට හමුවෙන සහ මේ ලිපියේ කතාවෙන නච්චි අනන්‍යතාවය හැඩ ගැස්වීමට සෑහෙන බලපෑමක් කරන්නට ඇති බව මගේ අදහසයි.
ඔල්ගා දේවී යනු සරලා බායිගේ සමකාලීන ටවර්හෝල් නිලියක් වූ බවට සමුද්‍ර දේවි මා සමග කී නමුත් ඔල්ගා දේවි නමින් රග පෑ ටවර්හෝල් නිළියක ගැන විස්තර මට සොයා ගැනීමට නොහැකි වුනා. සමුද්‍ර දේවි තවදුරටත් කීවේ සරලා බායි ඔල්ගා හමුවීමට ඉදහිට පැමිණෙන නමුත් අනෙකුත් නච්චි සමග වැඩි කතාබහක් නොකරන බවයි. ඔල්ගා දේවි උපත ලබන්නේ 1927 දී වෙන අතර සරලා බායි උපත ලබන්නේ 1924 දීය. ඔල්ගා ටවර් හෝල් නිලියක් වූවා හෝ නොවූවා ඇය අඩුම තරමේ ප්‍රාදේශීය මට්ටමේ නාට්‍යවල රගපෑවා විය යුතුයි. ඒ අනුව දෙදෙනාගේ වයස්, ජීවත් වූ ප්‍රදේශ සහ ඔවුන්ගේ කලා ක්ෂේත්‍ර සලකන කල ඒ දෙදෙනා අතර මිත්‍රත්වයක් තිබුනා යැයි විශ්වාස කළ හැකි බව මගේ හැගීමයි.
ලංකාවේ නූර්ති සහ අනෙකුත් වේදිකා නාට්‍යවලට සහ නැටුම්, ගැයුම් සහ සංගීතයට ඉන්දීය පාර්සි නාට්‍ය කණ්ඩායම් ඇතුලු වෙනත් සංචාරක සංගීත සහ නාට්‍ය කණ්ඩායම්වල ආභාෂය ලැබුනු බව ඉතා ප්‍රකට කාරණයක් වෙනවා. එපරිද්දෙන්ම ලංකාවේ නාච් උත්සව සඳහා ද මේ සංස්කෘතික හුවමාරුව සිදු වන්නට ඇති.
නාච් කෙල්ලන් (nautch girls) යන්න උතුරු ඉන්දියාවේ මෝගල් රජ සමයේ ටවාඉෆ් (tawaif) නම් හැඳින්වූ රාජකීය අබිසරුලියන්, සහ දකුණු ඉන්දියාවේ දේවදාසී කතුන් හැඳින්වීමට ඉංග්‍රීසි යටත්විජිත සමයේ හඳුන්වා දෙන පොදු වචනයකි. නාච් කියන්නේ නැටුමට යි. නාච් යනුවෙන් නැටුම් උත්සව ලංකාව ඇතුලුව දකුණු ආසියාවේ විවිධ රටවල එකල සංවිධානය වී තිබෙනවා. දකුණු ආසියාවේ අනෙකුත් රටවලටත් වඩා ලංකාවේ දී නාච් නැටුම්වල යෙදුනේ ස්ත්‍රී ශරීර ඇති අය නොව පුරුෂ ශරීර ඇති අය විය යුතු යැයි මට පෙර කී කරුණු සලකා බැලීමේදී තදින්ම ඒත්තු ගියා.
ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි නාච් නර්තන කණ්ඩායම්වල සහ හින්දු කෝවිල් ආශ්‍රිතව සිටි දේවදාසී කතුන් අතර සිස්-සමාජභාවී කාන්තාවන් ඇතැම්විට වැඩිපුර ඉන්නට ඇතැයි අනුමාන කල හැකි නමුත් දේශීය වශයෙන් ජනප්‍රිය කලා අංගයක් වූ නාච් උත්සවවලදී අනිවාර්යයෙන්ම ගැහැනු ලක්ෂණ සහිත පිරිමි සඳහා වැඩි ඉඩකඩක් ලැබීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. ඉතින් ලංකාවේ නාච් නර්තනයේ යෙදුනු අය සදහා යෙදුනු නමකින් නච්චි වචනය නිරුක්ති වන්නට ඇති බව සිතීම බොහෝ දුරට සාධාරණයි.

රූපය – කොළඹ කොටුව අසල මුහුදු වීදියේ හින්දු කෝවිල සිට වැල්ලවත්ත හින්දු කෝවිල වෙත යන කාවඩි සහ නාච් කෙල්ලන්ගේ නැටුම් සහිත වේල් පෙරහැර අරලියගහ මන්දිරය ඉදිරිපිටින් ගමන් ගනිද්දී අගමැති ඩී ඇස් සේනානායක මහතා සහ මැතිණිය එය නරඹන අයුරු. ඔවුන් ඉදිරියේ නටන්නේ නාච් කෙල්ලකි. (Times of Ceylon. 1948 ජූලි 19.)
ලංකාවේ පැවැති නාච් උත්සවයක් ගැන මට ලැබුනු පැරණිම සටහන වූයේ වික්ටෝරියා රැජිනගේ දෙවැනි පුතා වන එඩින්බර්ග් ආදිපාද ඇල්ෆ්‍රඩ් කුමරු 1870 දී ලංකාවට පැමිණි අවස්ථාවේ දින කිහිපයක් පැවැති සුවිසල් නාච් උත්සවයක් මොරටුව චාල්ස් ද සොයිසා මහතාගේ එවකට අලුතෙන්ම ඉදිකරනු ලැබූ කොළඹ බගතලේ පිහිටි මහ මන්දිරයේ පැවැත්වුනු බවයි. එයට ඉන්දියාවෙන් ද නාච් කණ්ඩායම් පැමිණ තිබුනු අතර ලංකාවේ මහජනයා දහස් ගණනක් එය නැරඹීමට එක් රැස් වී තිබෙනවා. පැරණි පුවත්පත්වල සදහන් වන විවිධ සටහන් දෙස බැලීමේ දී පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ අඩුම තරමින් 1950 දශකය අවසාන වෙනතෙක් නාච් උත්සව ලංකාවේ ප්‍රසිද්ධ සංස්කෘතික උත්සවයක් වූ බවයි. නමුත් 1950 දශකයේ දී නාච් සංස්කෘතික අංග සදාචාරමය වශයෙන් නොගැලපෙන යන අදහස ජනප්‍රිය වෙන බවක් පෙනෙනවා. එයත් එක්කම නාච් නැටුම් කාලයත් සමග මැකී යන්නට ඇති. එසේ වුවත් නච්චි අයගේ සුවිශේෂී සංස්කෘතික අංගයක් වෙන ජෝගි නැටුම් ජනප්‍රිය සංස්කෘතිය තුලින් මැකී ගියත් තවමත් යම් පමණකට ලංකාවේ සමහර අවකාශවල ඒවා යම් මට්ටමකින් තවමත් රැකී තිබෙනවා. අපි ඒ ගැන ඊළඟ ලිපිය තුලින් කතා කරමු.