මේ කොටසේ ඇති තොරතුරු

No sub articles found.

සමාජභාවී අනන්‍යතාවය තේරුම් ගැනීම.

සමාජභාවී අනන්‍යතාවය කියන්නේ පුද්ගලයෙකු තමන් කවුරුන් ද යන්න පිළිබඳව තමන් තුළම ඇති අභ්‍යන්තර හැඟීමයි. සමහර අවස්ථාවල, උපතේදී පුද්ගලයෙකුට පවරන ලද ජීව විද්‍යාත්මක ලිංගය (sex assigned at birth) ඔහුගේ හෝ ඇයගේ සමාජභාවී අනන්‍යතාවය සමඟ නොගැළපෙන්න පුළුවන්. එවැනි පුද්ගලයන්ගෙන් සමහරෙක් තමන් transgender ලෙස හඳුන්වා ගන්නවා. Transgender පුද්ගලයන් අතර, තම සමාජභාවී අනන්‍යතාවය සමඟ තම ශරීරය වඩාත් ගැළපෙන පරිදි හෝර්මෝන ප්‍රතිකාර (hormone therapy) ලබාගන්නා අයත්, ලිංගික අනන්‍යතාව තහවුරු කිරීමේ ශල්‍යකර්ම (gender-affirming surgery) සිදුකරන අයත් සිටිනවා.

කෙසේ වෙතත්, transgender පුද්ගලයන් සියලු දෙනාම “පිරිමියෙක්” හෝ “කාන්තාවක්” යන ද්විමය (gender binary) අතරින් එක් අනන්‍යතාවකට මාරු වීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. සමහර පුද්ගලයන් තමන් non-binary ලෙස හඳුන්වා ගන්නවා. එනම්, තමන් පිරිමියෙක් හෝ කාන්තාවක් ලෙස පමණක් අර්ථ දැක්වීමට ඔවුන් කැමති නැහැ. මෙයද පිළිගත් සහ වලංගු සමාජභාවී අනන්‍යතාවයක්.

මේ පිළිගැනීම සමාජයේත් ක්‍රමයෙන් දක්නට ලැබෙනවා. 2015 වසරේදී Oxford English Dictionary ශබ්දකෝෂයට Mx යන gender-neutral ගෞරව නාමය එක් කෙරුණා. Mr, Mrs, Ms සහ Miss වැනි ආමන්ත්‍රණවලට අමතරව, තම Gender එක සඳහන් කිරීමට අකමැති හෝ තමන් පිරිමි හෝ කාන්තාවක් ලෙස හඳුන්වා නොගන්නා පුද්ගලයන්ට එය භාවිත කළ හැකියි.

මෙහිදී තවත් වැදගත් වෙනසක් තේරුම් ගැනීම අවශ්‍යයි. සමාජභාවී අනන්‍යතාවය සහ ලිංගික දිශානතිය එකම දෙයක් නොවෙයි. සමාජභාවී අනන්‍යතාවය කියන්නේ පුද්ගලයෙකු තමන් කවුරුන් ලෙස හඳුනාගන්නවාද යන්නයි. ලිංගික දිශානතිය කියන්නේ ඔවුන් ආදරයෙන් හෝ ලිංගිකව ආකර්ෂණය වන්නේ කාටද යන්නයි. මේ දෙක සෑම විටම සම්ප්‍රදායික ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතා (heteronormative expectations) අනුව ගැළපෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස, උපතේදී ගැහැණු ලෙස හඳුනාගත් නමුත් පසුව තමන් පිරිමියෙකු ලෙස ජීවත් වන transgender පිරිමියෙකු, වෙනත් පිරිමින් වෙත ආදරයෙන් සහ ලිංගිකව ආකර්ෂණය විය හැකියි. එවැනි පුද්ගලයෙකු තමන් gay ලෙස හඳුන්වා ගැනීම ස්වාභාවිකයි.

ශ්‍රී ලංකාව තුළත් පුද්ගලයෙකුට තම සමාජභාවී අනන්‍යතාවය සමඟ ගැළපෙන පරිදි නීත්‍යානුකූලව තම ලිංගය සංශෝධනය කර ගැනීමට හැකියාව තිබෙනවා. 2016 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශය “Issuing a Gender Recognition Certificate for the Transgender Community” යන චක්‍රලේඛය නිකුත් කරමින් එම ක්‍රියාවලිය සඳහා පහසුකම් සලසා දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකාවේ transgender ක්‍රියාකාරීන් සහ ඔවුන්ගේ සහායකයන්ගේ උත්සාහයන් හේතුවෙන් උප්පැන්න සහතික, ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර සහ අධ්‍යාපන සහතික වැනි නිල ලේඛන තමන්ගේ සමාජභාවී අනන්‍යතාවය අනුව සංශෝධනය කර ගැනීමට අද හැකියාව ලැබී තිබෙනවා.

2018 වසරේදී ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය  (Sri Lanka College of Psychiatrists – SLCP) ප්‍රකාශ කළේ සමලිංගික, ද්විලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ඇතුළු විවිධ ලිංගික දිශානතීන් (sexual orientations) සහ සමාජභාවී අනන්‍යතාවය මානසික රෝග නොවන බවයි.

එවකට SLCP උප සභාපතිවරයාව සිටි වෛද්‍ය කපිල රණසිංහ මේ පිළිබඳ මෙසේ සඳහන් කළේය:

“සමාජභාවී අනන්‍යතාවය සහ ලිංගික දිශානතිය යන දෙකම පිරිමි සහ ගැහැණු අතර පමණක් සීමා වූ ද්විමය සංකල්ප නොවේ. බොහෝ දෙනා තමන් heterosexual ලෙස හඳුනාගත්තත්, ලිංගික දිශානතිය සහ සමාජභාවී අනන්‍යතාවය යන පරාසයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි. ලෝකයේ බොහෝ වෛද්‍ය ක්ෂේත්‍රවල මේ පිළිබඳ නව විද්‍යාත්මක දැනුම පිළිගෙන තිබුණද, අපේ රටේ ඇතැම් වෛද්‍යවරුන් තවමත් ඒ දැනුම යාවත්කාලීන කරගෙන නොමැත.”

Transgender සහ non-binary පුද්ගලයන් පිළිබඳ විද්‍යාත්මකව නිවැරදි තොරතුරු සමාජයට ප්‍රමාණවත් ලෙස නොලැබීමත්, ඒ වටා ගොඩනැගී ඇති වැරදි විශ්වාස සහ මිථ්‍යා මතත් හේතුවෙන්, ඔවුන් අදටත් අපකීර්තියට (stigma) සහ වෙනස්කොට සැලකීමට (discrimination) මුහුණ දෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රැකියා අහිමි වීම, නිවාස අහිමි වීම, දේපළ සහ උරුම අයිතිවාසිකම් අහිමි වීම වැනි තත්ත්වයන්ට පවා ඔවුන් මුහුණ දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඇතැම් transgender කාන්තාවන් සහ පිරිමින් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ අතින්ද ලිංගික හිංසනයට ලක් වී තිබෙනවා.

Transgender සහ non-binary පුද්ගලයන් පිළිබඳ සමාජයේ පවතින ප්‍රධාන මිථ්‍යාවක් වන්නේ, ඔවුන්ට අවශ්‍ය වන්නේ අනෙක් සියලු දෙනාත් උපතේදී තමන්ට පවරන ලද ලිංගය ගැන ප්‍රශ්න කළ යුතු බවට බලපෑම් කිරීමයි. නමුත් transgender පිරිමින් සහ කාන්තාවන් සමඟ කතා කළහොත්, එය සත්‍යයෙන් දුරස් වූ අදහසක් බව ඉක්මනින්ම පැහැදිලි වෙනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ අනෙක් අය වෙනස් කිරීම නොව, තමන් කවුරුන් ද යන්නට ගරු කරමින් නිදහසේ ජීවත් වීමට ඇති අයිතියයි.

පිරිමියෙක් සහ කාන්තාවක් යන ද්විමය (gender binary) පමණක් සාමාන්‍යය ලෙස සලකන, විෂමලිංගිකත්වය (heteronormativity) මත ගොඩනැගුණු සංස්කෘතියක හැදී වැඩුණු කෙනෙකුට, එම සීමාවෙන් ඔබ්බට පවතින ලිංගික අනන්‍යතා තේරුම් ගැනීම පහසු කාර්යයක් නොවෙයි.

21 වන සියවසේ සමාජ මාධ්‍ය යුගයේ, වෛරය සහ වැරදි තොරතුරු තව තවත් ශක්තිමත් කරන ඇල්ගොරිතම (algorithms) මෙන්ම, “ලිංග දෙකක් පමණයි” යන අදහස නැවත නැවතත් ප්‍රවර්ධනය කරන, විශේෂයෙන්ම එක්සත් ජනපදයෙන් මතුවන පසුගාමී ප්‍රතිපත්ති ද මේ තත්ත්වය තවත් උග්‍ර කරනවා. එවැනි පසුබිමක් තුළ, වෛද්‍ය සහ විද්‍යාත්මක ප්‍රජාව තුළ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබුණත්, ශ්‍රී ලංකාවේ transgender සහ non-binary පුද්ගලයන් තවදුරටත් මානසික පීඩනයට, ප්‍රචණ්ඩත්වයට සහ වෙනස්කොට සැලකීමට මුහුණ දීම පුදුමයට කරුණක් නොවේ.

වසානයේ අප මතක තබා ගත යුතු වැදගත්ම දේ වන්නේ, අපට වඩා වෙනස් පුද්ගලයන්ට ගරු කිරීමත්, ඔවුන්ගේ මානව ගෞරවය පිළිගැනීමත්ය. එහෙත් අපෙන් බොහෝ දෙනෙක් හැදී වැඩී තිබෙන්නේ එම වෙනස්කම්වලට ගරු කිරීමට නොව, ඒවාට බිය වීමට හෝ වෛර කිරීමට ඉගෙන ගනිමිනි. ඇත්තෙන්ම, ජානමය වශයෙන් බලන විට ලෝකයේ මිනිසුන් අතර ඇති වෙනස්කම්, අප්‍රිකාවේ එකම ගඟක දෙපස ජීවත් වන චිම්පන්සි කණ්ඩායම් දෙකක් අතර ඇති ජානමය වෙනස්කම්වලටත් වඩා අඩු බව පර්යේෂණ පෙන්වා දෙනවා.

Transgender සහ non-binary පුද්ගලයන් අලුතින් බිහි වූ පිරිසක් නොවෙයි. ඔවුන් සෑම කාලයකම, සෑම සමාජයකම සිටි මිනිසුන්ය. ඔවුන්ගේ මනුෂ්‍යත්වය, අපේ මනුෂ්‍යත්වයට වඩා අඩු එකක් නොවේ.

Social Share: