
ඔබට එච්අයිවී ආසාදනය වී ඇතැයි විනිශ්චය කළ විට මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ එච්අයිවී සමග සෞඛ්‍යයමත් දීර්ග ජීවිතයක් ගත කිරීමට හැකියාව ඇති බවයි.
2017 ජාත්‍යන්තර ඒඩ්ස් සමාජයේ සම්මේලනයේදී ඉදිරිපත් කළ අධ්‍යයන වාර්තා වලට අනුව එච්අයිවී ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයෙකුගෙන් වෛරසය වෙනත් කෙනෙකුට සම්ප්‍රේෂණය වන්නේ නැහැ.
පොසිටිව් හෝප්ස් එලායන්ස් වැනි එච්අයිවී සමග ජීවත්වන පුද්ගලයන්ගෙන් සැදුම් ලත් සහය කණ්ඩායම් සමග සම්බන්ධ වී එච්අයිවී සමග ජීවත් වීම පිළිබද දැන ගැනීමට පුළුවන්. එච්අයිවී රෝග විනිශ්චයෙන් පසු සෞඛ්‍යයමත් ජීවිතයක් ගත කිරීමට ඔබට හැකියාව ඇති බව පමණක් නොව එය සැබෑවක් බව තේරුම් ගැනීමට ඔවුන් ඔබට සහය වේවි.
එච්අයිවී රෝග විනිශ්චයක් ලැබුණු විට අප අනුගමනය කළ යුතු සහ සිතා බැලිය යුතු කරුණු කිහිපයක් පහතින් දැක්වෙනවා.
1. ප්‍රතිකාර ලබා ගැනීම
එච්අයිවී ප්‍රතිකාර වල ඇති වී තිබෙන දියුණුව නිසා ඔබට සෞඛ්‍යයමත් සම්පූර්ණ ජීවිතයක් එච්අයිවී සමග ගත කළ හැකියි. මෙම ප්‍රතිකාර ශ්‍රී ලංකා රජයෙන් නොමිලේ ලබා දෙනවා. ඔබ වෛද්‍යවරයෙකු හමු වීම සහ ඔවුන්ගේ උපදෙස් නිවැරදිව අනුගමනය කිරීම විශේෂයෙන්ම ඖෂධ පිළිපැදීම පිළිබද උපදෙස් ඉතා වැදගත් බව අමතක කරන්න එපා. නිවැරදි ප්‍රතිකාර ලබා ගන්න පුද්ගලයෙකුගේ වෛරස් මට්ටම හදුනාගත නොහැකි තත්ත්වයට පත් වන අතර, එවැනි පුද්ගලයෙකුගෙන් වෙනත් කෙනෙකුට එච්අයිවී සම්ප්‍රේෂණය වන්නේ නැහැ.
2. එච්අයිවී තත්ත්වය හෙළිදරව් කිරීම
ඔබේ එච්අයිවී තත්ත්වය ඔබට අවශ්‍ය නැති කිසිම කෙනෙකුට හෙළිදරව් කළ යුතු නෑ. ඔබේ එච්අයිවී තත්ත්වය හෙළදරව් කිරීමෙන් වැළකී සිටීමට ඔබේ වෛද්‍යවරයා සහ සෞඛ්‍යය සේවා සපයන්නන් බැදී සිටිනවා. ඔබට හැර වෙනත් කිසිම කෙනෙක්ට ඔබේ එච්අයිවී තත්ත්වය හෙලිදරවු කිරීමට අයිතියක් නැහැ. ඔබගේ එච්අයිවී තත්ත්වය පවසන්නේ කා සමගදැයි ඔබ සිතා බලන්න.
පවුලේ අය, සහකරු/සහකාරිය, මිතුරන් ඔබට සහය වෙතැයි සිතනවා නම් ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ට ඔබේ එච්අයිවී තත්ත්වය හෙළදරවු කිරීම වැදගත්ය.
නිවැරදි ප්‍රතිකාර සහ සත්කාර ඔබට ලබා දීම සදහා ඔබගේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍යය සේවා සපයන්නන් ඔබේ එච්අයිවී තත්ත්වය දැන සිටිය යුතුයි.
ඔබේ එච්අයිවී තත්ත්වය පිළිබද විවෘතව කතා කරනවා නම් එය රහසක් වශයෙන් පවත්වාගැනීමේ බර ඔබට දැනෙන්නේ නැහැ.
කෙසේ වුවත් ඔබේ එච්අයිවී තත්ත්වය හෙළි කිරීමෙන් ඇති විය හැකි ඍණාත්මක ප්‍රතිඵල ද නැතුවාම නොවේ. එච්අයිවී තත්ත්වය පසු කාලයකදී හෙළදරවු කළ හැකි වුවත් හෙළදරවු කිරීමෙන් පසු එය ආපසු ගන්නට බැරි බව සහි තබා ගන්න.
ඔබට එච්අයිවී සමග ජීවත් වන බව හෙළදරවු කිරීම අභියෝගාත්මක විය හැකියි. එච්අයිවී පිළිබදව ඇති නොදැනුවත්කම සහ එච්අයිවී පිළිබදව ඇති මිත්‍යා සහ වැරදි අදහස් නිසා තමන්ගේ එච්අයිවී තත්ත්වය හෙළි කිරීම බෙහෝ අයට තවමත් විශාල අභියෝගයක්.
උපදෙසක් – ඔබේ එච්අයිවී තත්ත්වය හෙළි කිරීමට පෙර අදාල පුද්ගලයා සතුව එච්අයිවී පිළිබද නිවැරදි සහ අළුත් තොරතුරු ඇති ව සහතික කර ගන්න.
2017 එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන්ගේ දර්ශකය පෙන්වා දෙන පරිදි සමීක්ෂණයට ලක් වූවන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් (9.3%; n=14) බිරිදට/ සැමියාට හෝ දීර්ඝකාලීන සහකරැ/සහකාරියට සිට එච්අයිවී තත්ත්වය හෙලි කර නැහැ. එච්අයිවී සමග ජීවත් වන තවත් පුද්ගලයෙකු සමග සිය එච්අයිවී තත්ත්වය හෙලි කිරීමට වැඩි ප්‍රවණතාවයක් (80%) දක්වා තිබෙනවා.
ඔබගේ එච්අයිවී තත්ත්වය හෙළිදරවු කිරීමට හැකියාව ඇත්තේ ඔබට පමණක් බව සිහි තබා ගන්න. ඔබේ තත්ත්වය හෙළි කිරීමට වෙනත් කිසිම කෙනෙකුට, ඔබේ වෛද්‍යවරුන්ට හෝ සෞඛ්‍යය සේවා සපයන්නන්ටවත් අයිතියක් නැහැ.
3. වෛරස් මට්ටම දැන ගැනීම
නිවැරදි ප්‍රතිකාර ලබා ගන්න පුදගලයෙකුගේ වෛරස් මට්ටම හදුනාගත නොහැකි තත්ත්වයට පත් වන අතර, එවැනි පුද්ගලයෙකුගෙන් වෙනත් කෙනෙකුට එච්අයිවී සම්ප්‍රේෂණය වන්නේ නැහැ. ඔබට දරුවන් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා හොදම කාලය කුමක්දැයි (ඔබේ වෛද්‍යවරයා සමග ) තීරණය කිරීමට ද වෛරස මට්ටම දැන සිටීම සහය වනවා. ශ්‍රී ලංකාවේදී එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන්ට එච්අයිවී වලින් තොර දරුවෙකු ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා.
4. සම්ප්‍රේෂණය වැළැක්වීම
කොන්ඩම් සහ නිවැරදි තොරතුරු සමගින් නිවාරණය සදහා ප්‍රතිකාර යොදා ගැනීම හරහා ඵලදායී ලෙස එච්අයිවී සම්ප්‍රේෂණය වළක්වා ගත හැකියි.
මතක තබා ගන්න – 2017 ජාත්‍යන්තර ඒඩ්ස් සමාජයේ සම්මේලනයේදී ඉදිරිපත් කළ අධ්‍යයන වාර්තා වලට අනුව එච්අයිවී ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයෙකුගෙන් වෛරසය වෙනත් කෙනෙකුට සම්ප්‍රේෂණය වන්නේ නැහැ.
එය හේතු ගණනවාක් නිසා ඉතා වැදගත් සහ අපූර්ව සොයා ගැනීමක් බව ටෙරන්ස් හිගින්ස් ට්‍රස්ට් පෙන්වා දේ. එනම්,
පළමුවෙන්ම නව ආසාදන ඇති විය නොහැකියි. එච්අයිවී පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා ගැනීමට ජනතාව ධෛර්යමත් කිරීම මගින් අපට එච්අයිවී සම්ප්‍රේෂණය වැළැක්විය හැකියි.
දෙවනුව, එමගින් කොන් කිරීම වැළැක්විය හැකියි. ඒ වාගේම, බියෙන් තොරව මානව සම්බන්ධතා පවත්වමින් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන්ට ඉඩ සැලසෙනවා.
එච්අයිවී සමග ජීවත් වන සහකරුවෙකු හෝ සහකාරියක් සිටිනවා නම් කොන්ඩම් භාවිතයට අමතරව සම්ප්‍රේෂණය වළක්වා ගත හැකි ඖෂධ වර්ගයක් වන පූර්ව නිවාරණ ප්‍රතිකාර PrEP ගැන කියවන්න
5. සෞඛ්‍යමත්ව, ධනාත්මකව සිටින්න
එච්අයිවී ප්‍රතිකාර වලට අමතරව හොද මානසික සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව, ප්‍රමාණවත් පෝෂණය (ආහාර සහ දියර) , මත් පැන් සහ මත් ද්‍රව්‍ය මග හැරීම, සහ විවේකය සහ ව්‍යායාම හොදින් ලබා ගැනීම සෞඛ්‍යයමත් ජීවිතයක් ගත කිරීමේ රහසයි.
6. සහය ලබා ගැනීම
එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන්ගෙන් සැදුම් ලත් සහය කණ්ඩායම් වෙත යන්න. ශ්‍රී ලංකාවේ දී එච්අයිවී සමග ධන්තාමත ජීවිතයක් ගත කිරීමට ඇති අභියෝග වලට ඔවුන් මුණු දෙන්නේ කෙසේදැයි ඉගෙන ගන්න.
