ශ්‍රී ලංකාව තුළ කොවිඩ්19 වසංගතය පැතිරීම ආරම්භ වුයේ පසුගිය වසරේ මාර්තු මාසයේය. අද වන විට එය අපේ සමාජයට විශාල බලපෑමක් සිදු කර ඇති බව අවිවාදිතය. ඉන් ජනතාවගේ ආර්ථිකයට සහ සෞඛ්‍යයට කර ඇති බලපෑම අතිවිශාලය.
වසංගතය හේතුවෙන් වරින් වර පාසල්, විශ්වවිද්‍යාල, කාර්යාල වසා තැබීම නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් මාර්ගගත අධ්‍යාපනයට යොමු වීමත්, කාර්යාල සේවක සේවිකාවන් නිවසේ සිට රැකියාවේ රාජකාරි වල නිරත වීමත් නිසා අන්තර්ජාල භාවිතය වැඩිවීමද වසංගතය විසින් සමාජයට ඇති කරන ලද බලපෑමකි. විශේෂයෙන් එම බලපෑම අවාසි සහගත ලෙස ඍජුවම එල්ල වන්නේ ස්ත්‍රීන් සහ ගැහැණු දරුවන් වෙතය.
මන්ද? මේ සමාජයේ පවතින පුරුෂ මූලික හර පද්ධතිය තුළ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතිකමය වශයෙන් ස්ත්‍රිය වෙනස් කොට සැලකුම් ලබන බැවිනි. එසේ ස්ත්‍රීන් වෙනස් කොට සලකනු ලබන්නේ ජාති, ආගම්, පංති , තරාතිරම් ආදි කිසිදු භේදයක් නොසලකමිනි. මේ නිසාම ස්ත්‍රිය ලිංගික බලහත්කාරකම් වලට, ගෘහස්ථ හිංසනයට, පහත්කොට සැලකීම්වලට නිරන්තරයෙන් ලක් වන්නේය. ස්ත්‍රිය පිළිබඳ සමාජ ආකල්ප වෙනස් නොකරන තුරු ස්ත්‍රියට සමාන පුරවැසියකු ලෙස ජීවත් වීමට ඉඩක් ලැබෙන්නේ නැත. ස්ත්‍රිය සම්බන්ධයෙන් සමාජයේ පවතින පහත් කොට සැලකීමේ ආකල්ප නිසාම ඇය අන්තර්ජාලය තුළද හිංසනයට පත්වීම නව ප්‍රවනතාවයක් බවට පත් වී තිබේ.
මෙරට ස්ත්‍රීන් සහ ගැහැණු දරුවන් අන්තර්ජාලය තුළ හිංසනයට ලක් වන සිදුවීම් අද නිරන්තරයෙන් වාර්තා වේ. පසුගිය මාසය තුළ රටේ දැඩි අවධානයට ලක් වු එවැනි සිදුවීමක් වුයේ පහන්තුඩාව සිද්ධියයි. විවාහක යුවලක් පහන්තුඩාව නම් වු දිය ඇල්ලක් අසළ දී ලබා ගත් ඡායාරූප කිහිපයක් විකෘති කර කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලයට මුදාහැර තිබුණි. එයින් මහත් අපහසුතාවයට පත් වු එම යුවල නීතියේ පිහිට පතා තිබුණි. අප සමාජයක් වශයෙන් මෙවැනි සිදුවීම් වලට කිසිසේත් ඉඩ නොතැබිය යුතුය. ස්ත්‍රීන්ට ලැබී ඇති අවාසි සහගත තත්වය නිසාම මෙවැනි සිදුවීම් වලින් වඩාත් අපහසුතාවයට පත් වන්නේද ස්ත්‍රීන්මය. එහි බරපතලකම කොතෙක්ද යත් ඔවුන් සිය දිවි නසා ගැනීමට පවා පෙළඹෙන අවස්ථා අප අත්දැක ඇත.
නීතියේ පිහිට පැතීමට සිදු වු ඕනෑම අවස්ථාවක ප්‍රථමයෙන් පුරවැසියන් යායුතු වන්නේ පොලීසියටය. එහෙත් සමහර පොලිස් ස්ථාන වල රාජකාරියේ නියුතු නිලධාරීන්ගේ හැසිරීම නින්දා සහගතය. එයට නිදසුන් සිය දහස් ගණන් ඉදිරිපත් කළ හැකි අතර, ඉන් එකක් වන්නේ පසුගියදා පානදුර පොලීසියේ සිදුවු සිදුවීමයි. පාසල් යන වයසේ පසු වන තම දියණියට මාර්ගගත අධ්‍යාපනයෙහි යෙදී සිටි අවස්ථාවන්හි දී අන්තර්ජාලය තුළ සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පොලීසියට ගිය මවකට ලිංගික අතවර ඇතුලු මහත් හිංසනයන්ට ගොදුරු වීමට සිදු වු බව මාධ්‍ය වාර්තා පල විය.
ස්ත්‍රීන්ට එරෙහි හිංසනයක් නොමැති අවකාශයක් නැති තරම්ය. නිවස, සේවාස්ථානය, පොදු ප්‍රවාහනය, වීථිය මේ සියළු අවකාශයන්හි හිංසනය ඇත. අන්තර්ජාලය හෙවත් සයිබර් අවකාශය එවැනි තවත් එක් අවකාශයකි. ඒ නිසා, ස්ත්‍රීන්ට සහ දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමට නම් මේ සෑම අවකාශයකම ඇති පුරුෂ මූලික බලයට අභියෝග කළ යුතුය.
