අප්‍රේල් 21 වන දා දිවයිනේ ප්‍රධාන පෙලේ හෝටල් සහ දේවස්ථාන වලට එල්ල වූ ප්‍රහාර ශ්‍රී ලංකාවේ සමාජීය, ආර්ථිකමය සහ දේශපාලනික වෙනස්කම් වලට හේතු වීය.
ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව, මහජනයාගේ බිය අවියක් කරගෙන මුස්ලිම් විරෝධී අන්තවාදී කණ්ඩායම් ශක්තිමත් වන්නට විය. මෙම කණ්ඩායම් කුරුණෑගල අවට ප්‍රදේශ කිහිපයකම මුස්ලිම් ජනතාවට, පල්ලි වලට, කඩ වලට ප්‍රහාර එල්ල කළේ ඉතාම අසාධාරණ ලෙසය. කණගාටුදායක කරුණ වූයේ මෙම ප්‍රහාර එල්ල කළ කණ්ඩායම්වල බහුලව සිටියේ අනාගතය හිමි තරුණයින් වීමයි. මේ තරුණ ප්‍රජාව කිසිදා නොබෙදුන ශ්‍රී ලංකාවක් දැක නැත. ජාති, ආගම් ලෙස බෙදුන අධ්‍යාපන ක්‍රමය සංහිඳියාව පුහුණු නොකරයි. සංහිඳියාව පිළිබඳවූ ක්‍රියාකාරකම් වලට සාමාන්‍යයෙන් තරුණයන් සහභාගී කර නොගනී. මේවා වෙනස් වීම අත්‍යවශ්‍යය.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව සිංහල, දමිල සහ වෙනත් ප්‍රජාවන් සමග දශක ගණනාවක් සාමයෙන් ජීවත්වුණ පිරිසකි. යුධ සමයේ LTTE යෙන් මෙන්ම පශ්චාත් යුධ සමයේ මුස්ලිම් විරෝධී කණ්ඩායම් වලින් මෙම ප්‍රජාව දිගින් දිගටම ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන්හ. මුස්ලිම් විරෝධී කණ්ඩායම් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණ කිසිදු අවස්ථාවක මුස්ලිම් ප්‍රජාව ප්‍රති ප්‍රහාර එල්ල කළේ නැත. 2018 දී අම්පාරේ මුස්ලිම් කෑම කඩයක පරාටාවක තිබු පිටි ගුලියක් වඳ පෙත්තක් බව සමාජ මාධ්‍ය ඔස්සේ වීඩීයෝවක් නිකුත් කිරීම නිසා බරපතල ගැටුම්කාරී තත්වයක් ඇතිවිය. රජයේ රස පරීක්ෂක වරයා එය පිටි ගුලියක් බව සනාථ කර තිබියදීත්, වදභාවය ඇති කළ හැකි පෙත්තක් ලෝකයේ කොහේවත් නැති බව 2018 මාර්තු මස වෛද්‍යවරු 100 කට අධික පිරිසක් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබියදීත්, තවමත් දිවයින පුරා කාන්තාවන් සහ පුරුෂයන් එය වඳ පෙත්තක්ම බව විශ්වාස කරන්නේ පුදුම සහගත ලෙසය.
මෙවන් ප්‍රචාර කාන්තාවන්ගේ ලිංගිකත්වය සහ ප්‍රජනනය ඈදාගෙන ජාතිවාදය පතුරවන්නේය. කාන්තාවන්ගේ ලිංගිකත්වය හා ප්‍රජනනය සම්බන්ධ කාරනා රහසිගත ලෙස සැලකෙන නිසා නිවැරදි තොරතුරු සොයා ගැනීමත් අපහසු වීම මෙවන් ව්‍යාපාරයන්ට රුකුලක් වන්නේය.
මුස්ලිම් කඩ වර්ජනය කිරීම මත පදනම් කරගත් ජාතිවාදී ව්‍යාපාරයක් දැනට පවතී. ඇතැම් පිරිස් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමට මහජනයාට බලපෑම් කරන්නේ විවිධ තර්ජන යොදා ගනිමිනි. මුස්ලිම් වරුන්ගේ ආර්ථික ශක්තිය ගැන විශාල වෛරයක් සහ ඊර්ෂ්‍යාවක් සමාජය තුළ ගොඩනැගී ඇත. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත් වල ජීවත් වන සිංහල ප්‍රජාවගේ සංස්කෘතිය කෘෂිකර්මාන්තය සමග බැදී ඇතිවා සේම මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතිය බැදී ඇත්තේ වෙළදාම සමගය. අතීතයේ ගමිවල මේ දෙකම කරගෙන ගියේ අන්‍යොන්‍ය සහයෝගයෙනි
ප්‍රචණ්ඩකාරී ප්‍රහාර වලට සහභාගී වුයේ වයස අවුරුදු 25 – 35 අතර තරුණයින් ය. යුද්ධයෙන් පසුව ඉපදුන මේ පරම්පරාව කිසිදා නොබෙදුන ශ්‍රී ලංකාවක් දැක නැත. සිංහල ජාතික අනන්‍යතාවයත්, සිංහල ජාතියට තර්ජනයක් ඇති බවත් ඔවුන්ගේ මනසට කා වැදී ඇත. ඉතින් නිතරම ඔවුන්ට පෙනෙන්නේ සතුරෙකි. මේ පරම්පරාව කළු ජූලිය දැක්කේ නැත. නිදහසින් පසුව ලංකාවේ දේශපාලන ඉතිහාසය ගැන අවබෝධයක් ඔවුන්ට නැත. රජයේ සහ රාජ්‍ය නොවන සංවිධාන වල මැදිහත් වීමෙන් සිදු කරන සංහිඳියා වැඩ සටහන් වලටද තරුණ පිරිස් සහභාගී කර නොගැනේ. වර්තමාන තත්වය පෙන්නුම් කරන්නේ මෙය විශාල අඩුවක් බවයි.
ශ්‍රී ලංකික ජාතිය ලෙස ඉදිරියට යාමට නම් අප ත්‍රස්තවාදය මෙන්ම ජාතිවාදය අවසන් කිරීමට අත්වැල් බැඳ ගත යුතුය. සමාජ ජාල ඔස්සේ පැතිරෙන දේ ප්‍රශ්න කළ යුතුය. වෛරීසහගත මාධ්‍ය වාර්තාකරණය හෙළා දැකිය යුතුය. විශේෂයෙන්ම, තරුණ ප්‍රජාව සහ දරුවන් සමග මෙවන් ගැටළු සකච්ඡා කිරීම වැදගත් ය.
