සමකාමී, ද්වීකාමී සහ සංක්රාන්තිභාවී භීතිකාව – 1 කොටස කියවන්න.
2020 ජූනි 01.
පාවිච්චි කරන්නා සහ පාවිච්චි වෙන්නා
භීතිකාව යනු කෙටියෙන් පුද්ගලයෙකුට යම් කිසි තත්ත්වයක්, ජීවියෙක්, ස්ථානයක් හෝ වස්තුවක් පිළිබඳ ඇති අතිශය සහ අතාර්කික ‘බිය’ නිසා ඇති වන අවුල් සහගත බවයි. එය මානසික අබාධයක් වෙනවා.

එමනිසා සමකාමී, ද්වී කාමී හෝ සංක්රාන්තිභාවී භීතිකාව යනු මෙම අනන්‍යතා නිසා තමන්ගේ පුද්ගලික හෝ සමාජයීය පැවැත්මට මානසික, ශාරීරික හෝ සමාජයීය තර්ජනයක්, වේදනාවක් හෝ හානියක් සිදු වේ යැයි ඇති භීතිකාවයි. එහි ප්‍රතිඵල ලෙස සමකාමී, ද්වී කාමී හෝ සංක්රාන්තිභාවී අනන්‍යතා දරණ පුද්ගලයන්ට හෝ පුද්ගල කණ්ඩායම්වලට වාචික, මානසික හෝ ශාරීරික කොන්කොට සැළකීමටකට, වෙනස් කොට සැළකීමකට, අපහාස කිරීමකට, තර්ජනය කිරීමකට, බිය වැද්දීමකට, ප්‍රචණ්ඩත්වයකට හෝ ජීවිත අහිමි වීමකට පවා මුහුණ දෙන්නට සිදු වෙනවා.
ලෝකයේ භීතිකාවන් බොහෝමයක් තිබෙන නමුත් කෙනෙකුට සමකාමී, ද්වී කාමී හෝ සංක්රාන්තිභාවී භීතිකාවක් ඇති වීමට නිශ්චිතව සාධක නොමැත. එහෙත්, මුලික වශයෙන් පහත හේතුන් දෙක ගන්නට පුළුවන්.
(1) පුද්ගල, සමාජ හෝ සංස්කෘතිකමය නොදැනුවත්භාවය නිසා මතුවන බිය –
1-1 අධ්‍යාපන ක්‍රමය –
පසුගාමී අධ්‍යාපන ක්‍රමයක් හෝ චින්තනයක් ඇති ප්‍රජාවන්වල, ප්‍රදේශයන්වල, රටවල්වල දැනුම යනු එක තැන පල්වෙන දෙයක්. එබැවින් ඉතිහාසයේ වැරදි යැයි විශ්වාස කළ දේ තවමත් එසේමයි යන අවිද්‍යාත්මක මත මුල් බැස ගත් සමාජයක කොපමණ නම් නිවැරදි දැනුම තිබුනද, සාම්ප්‍රදායික මත හා විශ්වාසයන් නිසා සමාජයීයව බොහෝ ප්‍රජාවන් අවතක්සේරුවකට ලක් වෙනවා. ශ්‍රී ලංකාව තුළ තවමත් ඇත්තේ වික්ටෝරියානු සදාචාරය මත ගොඩ නැගුණු මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට සම්බන්ධ අධ්‍යාපන ක්‍රමයක්. එමඟින් ගොඩ නැගුණු නීති පද්ධතියක්. දශයකටත් වඩා පැරණි මෙම අධ්‍යාපන ක්‍රම හා නීති පද්ධති පුද්ගල සමානාත්මතාවයට විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. නීතිය ඉදිරියේ මූලික මිනිස් අයිතිවාසිකම් (Fundamental Rights) අහිමි වීමේ සිට අන් පුරවැසියන් සේ පුද්ගලික ජීවිතයකට ඇති අයිතිය සමකාමී ප්‍රජාවට මෙන්ම ආන්තීකරණයට ලක්වෙන අනෙකුත් ප්රජාවන්ටද (Oppressed communities) අහිමිව තිබෙනවා. විශේෂයෙන් එවැනි සමාජයක මෙම ප්‍රජාවන් දෙවැනි පෙළ පුරවැසියන් (Second Class Citizens) සේ ඕපපාතිකව සැළකුම් ලබන අතර පුද්ගල ගරුත්වය ඔවුන්ට හිමි වන්නේ නැහැ.
1-2 පුරුෂ මුලික (Patriarchal) සමාජභාවය හා ලිංගික ක්‍රියාව –
වික්ටෝරියානු සදාචාරය මත ගොඩනැගුණු තවත් පිළිලයක් වන්නේ ලෝක ඉතිහාසයේ සිට මුල් බැස ගත් ආගමික ආන්තීකරණයෙන් (Religious Extremism) බිහිවුණ පුරුෂ මූලික, පුරුෂ ආධිපත්‍ය (Male dominance) දරණ සමාජ ක්‍රමයයි. ස්ත්‍රී පුරුෂභාවය කියූ වහාම බොහෝ ශ්‍රී ලාංකිකයන් සිතන්නේ එය ලිංග භේදය (Biological Sex) කියායි. ඒ මන්ද අප අධ්‍යාපන ක්රමයේද මේවා හරි හැටි නිර්වචනය කර නොමැති නිසා.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු කිසියම් සමාජයක ගැහැණු, පිරිමි, සහ ඒ දෙකටම අයිති නොවන අය හැසිරිය යුත්තේ කෙසේද, ඇඳුම් ඇඳිය යුත්තේ කෙසේද, ඔවුන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක් ද, පිළිබඳව ඇති සමාජීය විශ්වාසයන්, ප්රමිතීන් සහ ලක්ෂණ මත පදනම් වන ඔවුන්ගේ සමාජ භූමිකාවන්, අනන්‍යතාවයන්, සහ ප්රකාශනයන් ගැන වන පුළුල් සංකල්පයක්. (ලින්කුව පහළින්)
එබැවින් ස්ත්‍රී පුරුෂභාවය යන්න සමාජමය ගොඩනැගීමක් වන අතර එය ලිංග භේදය අනුව ස්ත්‍රියට (Female) සහ පුරුෂයාට (Male) සීමා නොවේ. සිංහල පරිවර්තනයේ දී ජෙන්ඩර් (Gender) යන්න ස්ත්‍රී පුරුෂ බව පිලිබඳ ලෙස සඳහන්ව ඇතත් ‘ගැහැණු’ හෝ ‘පිරිමි’ නොවන සංක්‍රාන්ති සමාජභාවය ද (Transgender) සමාජමය ගොඩනැගීමක් බව වටහා ගත යුතු වෙනවා. නමුත් මෙම වැරදි නිර්වචන නිසා ශ්‍රී ලංකාවේ පුරුෂභාවය ලෙස හඳුනා ගැනෙන්නේ ‘ශිෂ්ණය’ (Penis) වන අතර ස්ත්‍රීභාවය ‘යෝනියක්’ (Vagina) වෙනවා. එය වැරදි මතයක්. ශිෂණයක් ඇති පිරිමින්ටද, යෝනියක් ඇති ස්ත්‍රීන්ටද, ස්ත්‍රී පුරුෂ සමාජභාව අඩු වැඩි වශයෙන් පවතින්නට පුළුවන්.
එසේම පිරිමිකම හා ගැහැණුකම තනි ආකෘතියක් (Stereotypical) ලෙස නොපවතිනවා. ඒ ඒ සංස්කෘතිය අනුව, කාලයට අනුව, ප්‍රදේශ අනුව එහි යම් යම් වෙනස්කම් ඇති වෙන්නට පුළුවන්. නමුත් ශ්‍රී ලංකාව තුළ අදටද දක්නට ඇත්තේ සහ පෝෂණය කරනු ලබන්නේ අධිරාජ්‍යවාදී සංස්කෘතියක පිහිටුවනු ලැබූ ස්ත්‍රී පුරුෂ සමාජභාවයන්ය. එයට පෙර ලංකාව හා පෙරදිග තුළ ලිංගික ක්‍රියාව හා පොදුවේ ලිංගිකත්වය පිලිබඳ තිබූ විවෘත ආකල්ප සහ පුද්ගල හා සමාජ හැසිරීම් දැන් අපරදිග රටවල දක්නට ඇති අතර ලංකාව වැනි රටවල් තවමත් ‘අපේ’ යැයි අදටද හඳුන්වනු ලබන්නේ ඉපැරණි අධිරාජ්‍යවාදී ආකෘතීන්ය. මෙහිදී ස්ත්රීන්ට හිමිවන්නේ අව තක්සේරු කරන ලද පිළිගැනීමක්.
එමනිසා අප වාගේ රටවල සමකාමී ප්රජාවන්ටද හිමි වන්නේ ස්ත්රීන්ට අත්ව ඇති දෙවැනි පෙළ පිළිගැනීමම සහ භාවිතයන්. (උදා – ගෑනු ඉන්නේ පිරිමින්ගේ භාවිතයට. ඒ නිසා ගෑනු පහත්) එමනිසා මෙය බැලූ බැල්මට ලිංගික දිශානතිය පිලිබඳ කාරණාවක් මෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ලිංගික ක්‍රියාව පිලිබඳ ප්‍රශ්නයක්.
බොහෝ ශ්‍රී ලාංකිකයන් සිතන්නේ සමකාමී වීම යනු විරුද්ධ ලිංගික පිරිමියෙක් අතින් ‘පාවිච්චි’ වනු ලැබීමක් ලෙසයි. ඔවුන් එසේ සිතන්නේ විෂමකාමී පිරිමින්ට පමණක් ලිංගික ප්‍රාණවත් වීම තිබෙන අතර සමකාමී පිරිමි යනු ලිංගික ප්‍රාණවත් වීමක් නොමැති පුරුෂයන් යැයි මුල් බැස ඇති මිත්‍යාව නිසයි. ලිංගික අප්‍රාණිකත්වය යනු ජීව විද්‍යාත්මක දෙයක්. එය විෂම විරුද්ධ ලිංගිකයෙකුටද පවතින්නට පුළුවන්. එමනිසා ලිංගික ප්රාණවත්වීම හේතුකොටගෙන සාමාන්‍ය වහරේ පවසන පරිදි ‘පාවිච්චි කරන්නාට’ බලය (Power) ඇති බවත් එසේ නොමැති ‘පාවිච්චි වෙන්නා’ දීන (Destitute) යැයි සිතනවා. (ගැහැණුන් පිළිබඳවද එසේමයි) සමකාමී ස්ත්‍රීන් පිළිබඳවද ඇත්තේ මේ මතයයි. ඔවුන් පිරිමින්ගේ බලය හිමි යැයි ශිෂ්ණයේ පහස නිසි පරිදි නොලැබුවන් යැයි සමාජ මිත්‍යාවක් පවතිනවා.
සමකාමී, ද්වීමකාමී හා සංක්රාන්තිභාවී භීතිකාවට පුරුෂ මූලික මානසිකත්වයේ තවත් කදිම උදාහරණය සමකාමී ප්‍රජාව තුළින්ම ගන්නට පුළුවන්. පුරුෂභාවය ඇති සමකාමී පුරුෂයන් හා ස්ත්‍රීන්, ස්ත්‍රීභාවය ඇති සමකාමී පුරුෂයන්ට හා ස්ත්රීන්ට කරනු ලබන වාචික, මානසික හා ශාරීරික හිංසනයන් බොහෝ දක්නට ලැබෙනවා. ස්ත්‍රීභාවය යනු එහිදීද ගැනෙන්නේ දීන, අවමන් සහගත දෙයක් ලෙසයි. බලය මුලික කරගත් මෙම පුරුෂ මුලික ආකල්ප නිසා බොහෝ පුරුෂභාවය ඇති පිරිමින් හා ස්ත්‍රීභාවය ඇති ස්ත්‍රීන් තමන් සමකාමී හෝ ද්වීකාමී ලෙස හඳුනාගැනීම හෝ ප්‍රකාශ කිරීම සිදු නොකොට ජීවත් වීමට ලෙහෙසිම ක්‍රියා මාර්ගය ලෙස ‘රහසිගත ජීවිත’ තෝරා ගන්නවා.
(2) තමන් සමකාමී, ද්වීකාමී හෝ සංක්රාන්තිභාවී යැයි අන් අය හඳුනාගනී යැයි හෝ තමන් එසේ වීමට ඇති ඉඩ පිලිබඳ ඇතිවිය හැකි බිය (Internalized Homophobia)
පුරුෂ මූලික මත දරණ පුරුෂ ආධිපත්‍ය දරණ සමාජයක තමන් සමකාමී යැයි පැවසීම අවමන් සහගත දෙයක්. එය පුරුෂයෙකුට, ගැහැණියෙකු කියා ඇමතීමට වඩා පහත් දෙයක් ලෙස සැළකෙනවා. පිරිමින් අවමන් කිරීමට ‘පොන්නයා’ යන වචනය යොදා ගැනෙන්නේ මේ නිසයි. එය ඇති වන්නේ පෙර සාකච්ඡා කළ ස්ත්‍රී පුරුෂ සමාජභාවී කරුණු නිසා. එමනිසා බොහෝ සමකාමී පිරිස් තමන් සමකාමී යැයි සමාජයට වසන් කිරීමට උත්සාහ කරනවා.
නමුත් තම අභ්‍යන්තරයේ ඇති හැඟීම් නිසා ඔවුන්ට එය සැඟවීම මානසිකව බරපතල ලෙස බලපානවා. මෙසේ දිනපතා ලෝකයට වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටීමට සිදු වීම හේතු කොට ගෙනම සමකාමී ප්‍රජාවේ පුද්ගලයන් කෙරෙහි ඔවුන්ට ඇත්තේ වෛරයක්. ඔවුන් සිතන්නේ ඔවුන්ට එසේ සිදු වී ඇත්තේ ස්ත්‍රීභාවය හිමි පුරුෂ සමකාමී ප්‍රජාව නිසා බවයි. තමන් සමකාමියෙකු ලෙස හෙළි වුවහොත් ඔවුන්වද ස්ත්‍රී භාවය හිමි පුද්ගලයෙකු ලෙස අවමානයට ලක් වීමට ඇති බියෙන් ඔවුන් පත්ව සිටින අතර මෙම බිය, භීතිකාවකට පෙරලී අතිශය භයානක ක්‍රියාවන්වලට මුල් පාදනවා. තමන් විෂමකාමී යැයි සමාජයට හඳුන්වාදෙන සමකාමී භීතිකාව ඇති පුරුෂයන් යොදා ගෙන කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ඔවුන් බොහෝ දෙනෙක්ට සැබෑවටම පුරුෂයන් වෙත ලිංගික ආකර්ෂණයක් පවතින බවයි. (ලින්කුව පහළින්) ඉතින් අද අප සමාජයේ දකින බොහෝ සමකාමී භීතිකාව ඇති පිරිමි සැබවින්ම සමකාමී වීමේ සම්භාවිතාවක් තිබුණත් ඔවුන්ව එසේ ලේබල් කිරීමට කිසිවෙකුට නොහැක. මන්ද තමන්ගේ ලිංගික දිශානතිය පිළි ගැනීම හෝ නොපිළිගැනීම අතිශය පුද්ගලික කාරණාවක් සහ අයිතියක් වෙන නිසා.
එබැවින් සමකාමී, ද්වී කාමී හෝ සංක්රාන්තිභාවී භීතිකාව ඇති වන්නේ හුදෙක් විරුද්ධ ලිංගික දිශානතියක් ඇති පුද්ගලයන් විසින් අනෙක් ලිංගික දිශානතියක් ඇති පුද්ගලයන්ට පමණක් නොවේ. එය ඕනෑම පුද්ගලයෙකුට ඇති වන්නට පුළුවන් සමාජයීය හා පුද්ගල හේතු නිසා ඇතිවන මානසික ආබාධයක්. සමාජයෙන් වසන් වී සිටින සමකාමියෙකුට, තමන් සමකාමියෙකු යැයි පිළිගැනීමට කැමති නැති පුද්ගලයෙකුට මෙන්ම තමන් සමකාමී වුවත් පුරුෂ මුලික ආකල්ප උත්කෘෂ්ඨයට නංවන්නට උත්සාහ කරන සමකාමී පුද්ගලයෙකුගෙන් වුවද එය මතු වන්නට පුළුවන්.
සමකාමී, ද්වීකාමී හෝ සංක්රාන්තිභාවී භීතිකාව නැති කිරීමට නම් ‘දැනුවත්භාවය’ ලබා දීම මෙන්ම ලබා ගැනීම වැදගත් වෙනවා. තවද සියලු පුරවැසියන්ට සමානව සලකන නීති පද්ධතියක් හා පුද්ගල කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් මෙරටට අවශ්‍ය වෙනවා. එය සමකාමී ප්‍රජාවට මෙන්ම සියලු ආන්තීකරණයන්ට ලක්වෙන ප්‍රජාවන්ට (Oppressed communities) ලැබෙන අවමන් සහගත සැළකුම් අවම කිරීමට දිගු කාලීනව උදවු වෙනවා. එමඟින් තමන්ගේ අනන්‍යතාවයන් තමන් විසින්ම පිළිගෙන ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට හැකි පරිසාරයක් උදා වීම මඟින් වෛරය අහවර වී එකිනෙකා තේරුම් ගෙන ජීවත් වීමට හැකි සමාජයක් එදිනට අපට උදා වෙනවා නියතයි.
– ඩෙනී
මුලාශ්‍ර –
අභ්‍යන්තරික සමකාමී භීතිකාව යනු කුමක්ද? (What is Internalized Homophobia?) (ඉංග්‍රීසි) – https://www.rainbow-project.org/internalised-homophobia
සබැදි ලිපි
සමාජීය ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය යනු කුමක්ද?
ජාන සැකැස්ම විසින් සමහර අයව සමරිසි කරනවා, අපි ඉන්නේ දරුවෝ වදන්න නෙමෙයි දරුවො හදන්න – සෆ්රාන්