අත්වැල කතුවැකිය – සමානාත්මතාවයේ පරම්පරාවක් ස්‍ත්‍රීන්ට නැහැ!

2020 මාර්තු 08.

මාර්තු 8 වැනිදා ලොවපුරා ස්ත්‍රීන්ගේ අයිතීන් වෙනුවෙන් හඩ නගන ජාත්‍යන්තර ස්ත්‍රී දිනයයි. ජාත්‍යන්තර වශයෙන් 1975 වසර ස්ත්‍රීන්ගේ වසර නම් කෙරුණු අතර 1980 සිට 1990 දක්වා ස්ත්‍රී දශකය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය. මේ කාලය තුළ ශ්‍රී ලංකාවේද ස්ත්‍රී සංවිධාන වල සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කළේය. එසේ බිහි වු ස්ත්‍රී සංවිධාන ගණනාවක් ඒකාබද්ධව ගොඩනගා ගත් කාන්තා ක්‍රියාකාරී කමිටුව මගින් 1983 මාර්තු 8 වෙනි දා කොළඹ නව නගරශාලාවේදී ස්ත්‍රී දින රැස්වීමක් පැවැත්වුණි. ශ්‍රී ලංකාවේ ස්වායත්ථ ස්ත්‍රී සංවිධාන විසින් ජාත්‍යන්තර ස්ත්‍රී දිනය සැමරූ ප්‍රථම අවස්ථාව මෙය විය.

මෙදින පොලීසිය ස්ත්‍රීන්ට පෙළපාලි යාමට ඉඩ නොදුන් බැවින් නව නගරශාලාව ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදුණි. එදින ස්ත්‍රීන් ඔසවාගෙන සිටි පුවරු වල සදහන් පාඨ කීපයක් තවමත් අප මතකයේ රැදී ඇත. ස්ත්‍රී දූෂකයන්ට දැඩි දඩුවම් ලබා දෙනු, සමාන වැඩට සමාන වැටුප්, බඩු මිල අඩු කරනු, රාත්‍රි සේවය අහෝසි කරනු, විදේශගත වන ස්ත්‍රීන්ගේ අයිතීන් තහවුරු කරනු, වතු කම්කරු වැටුප් වැඩි කරනු, ළමා ලිංගික හිංසනය පිටුදකිමු, ස්ත්‍රී ශ්‍රමය බාල්දු නොකරනු, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිටු දකිමු, ගබ්සාව නීතිගත කරනු යන ඒවා ඉන් සමහරකි. අදට අවුරුදු 37 ක් ගතවී ඇති 2020 වසරේ අපගේ ඉල්ලීම් ඒවායින් වෙනස් වන්නේ නැත. ස්ත්‍රී වාදී ඉල්ලීම් මගින් අභියෝගයට ලක් කරන පුරුෂ මූලික සංස්ථා තවමත් වෙනස් වී නොමැත.

පශ්චාත් යුධ සමයේ ස්ත්‍රීන් මුහුණ දෙන ගැටළු තවමත් විසදී නැත. උතුරේ ගෘහමුලික ස්ත්‍රීන්ගේ තත්වය ඉතා කණගාටුදායකය. දරුවන් අතුරුදහන් වූ මව් වරුන්ගේ වේදනාවට තවමත් නිමක් නැත. අහස උසට නැග ඇති බඩුමිල සහ රැකියා හිගය  උතුරේ මෙන්ම දකුණේත් ස්ත්‍රීන්ගේ හිසමත පතිතවී තිබෙන්නේ හෙණගෙඩියක් මෙනි.

ශ්‍රී ලංකා ආර්ථිකයට වැඩිම දායකත්වය ලබා දෙන විදේශ රැකියා, ඇගලුම් ක්ෂේත්‍රය සහ වතුකරය ගත් විට ස්ත්‍රීන්ගේ තත්වය ද එබදුය. අඩුපඩි, වැඩපලේ ලිංගික හිංසනය, ආරක්ෂිත ක්‍රම නොමැතිවීම, රාත්‍රි සේවය වැනි නොයෙතුක් තාඩන පීඩන යටතේ සේවය කිරීමට සිදුවී ඇත. වතුකම්කරු ක්ෂේත්‍රයේ දෛනික වැටුප තවමත් රු 1000 ක් වී නැත.  විධිමත් නොවන රැකියා ක්ෂේත්‍රයේ විශේෂයෙන් කෘෂිකර්මාන්තය තුළ ස්ත්‍රීන්ට සමාන වැඩට සමාන වැටුප් නොලැබේ. වැඩ ලෝකය තුළ හිංසනය දුරලීමේ ජාත්‍යන්තර ගිවිසුම තවමත් ශ්‍රී ලංකාව අපරානුමත කර නොමැත.

2020 වසරේ මුල් දින 15 තුළ ස්ත්‍රී දූෂණ 142ක් වාර්තා වී ඇත. ඝාතනය වන ස්ත්‍රීන්ගේ සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ තම පුරුෂයා හෝ පෙම්වතා අතින් ඝාතනය වීමයි. උසාවිවල විසදීමට බොහෝ ප්‍රමාද වන්නේ ස්ත්‍රීන් හා දරුවන් වින්දිතයන් බවට පත් වු නඩු බව පසුගියදා වාර්තා විය. 

1883 දී ඉංග්‍රීසීන් මෙරටට හදුන්වා දුන් ගබ්සා නීතිය තවම බලපවත්වයි. එහෙත් ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සා 800-1000ත් අතර සිදුවන බව වාර්තා වෙයි. මෙයින් ජීවිත තර්ජනයට ලක් වන්නේ ස්ත්‍රීන්ය. තම සිරුර පාලනය කිරීමට ස්ත්‍රියට ඇති අයිතිය ලොව බොහෝ රටවල් පිලිගනිමින් තිබියදී මෙරට ස්ත්‍රීහු අනවශ්‍ය ගැබ්ගැනීම නිසා පීඩා විදිති. නීතිය හදුන්වා දුන් බ්‍රිතාන්‍යයේ පවා මෙම නීතිය අහෝසි කර ඇත.

ගෘහය තුළ නොමිලයේ ශ්‍රමය වැගිරීම ඇතුලු දහසක් කම්කටොලු අතර ස්ත්‍රීන් මුහුණදෙන  ප්‍රධාන පීඩනයක් වන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයයි. මෙය පවුල් ජීවිතය, දරුවන්ගේ අනාගතය සහ ආර්ථිකය ගැන සිතා ස්ත්‍රීන් නිහඩව විද දරා ගැනීමට හුරුවී සිටී. ස්ත්‍රිය පිළිබද සමාජ ආකල්ප වල  වෙනසක් සිදු වී ඇත්තේම නැත. මෙයට ජනමාධ්‍ය ද බොහෝ සේ වගකිව යුතුය. පොදු ප්‍රවාහනය තුළ ස්ත්‍රීන් මුහුණ දෙන ලිංගික හිංසනය දවසින් දවස වැඩි වෙමින් තිබේ. ඒවාට දඩුවම් දීමේ ක්‍රමයක් පවා නැත.

දශක තුනකට අධික කාලය තුළ ස්ත්‍රීන් ලැබු ජයග්‍රහන අතර 1988 දී රාජ්‍ය සේවයේ නියුතු කාන්තාවන්ට මාස තුනක මාතෘ නිවාඩු හිමි වීම මුල් කාලීන ප්‍රගතියකි.  කෙසේ වුවත් පෞද්ගලික අංශයේ ස්ත්‍රීන්ට දින 84ක මාතෘ නිවාඩු හිමිකම් ලැබුණේ ඉන් වසර 30කට පසුව 2018දීය. මෑත කාලීනව ව්‍යුහාත්මක වශයෙන් ලැබූ ජයග්‍රහන වන්නේ 2005 ගෘහස්ථ හිංසන පණත සම්මත වීම සහ 2018 දී පළාත්පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය සදහා 25 % ක කෝටාවක් ලැබීමයි. 

මෙවැනි හුදකලා වූ ජයග්‍රහන වලින් අපට සෑහිමකට පත් විය නොහැකිය. එම නිසා  සමානාත්මතාවයේ පරම්පරාවක් ඇති කිරීමට අපට තවත් බොහෝ දුර යා යුතුව ඇත. අධ්‍යාපන, ජනමාධ්‍ය, සෞඛ්‍යය, දේශපාලන සහ ආර්ථික මේ සෑම ක්ෂේත්‍රයකම ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක් ඇති විය යුතුය.

අතවැල පෙබරවාරි – මාර්තු කලාපය

සම්පූර්ණ සගරාව කියවන්න මෙතැනින්.

Social Share: