තිත වැඩුණු හතේ පොත, අහෝ මැදගොඩ නොදුටු මොක් පුර!

2020 ජනවාරි 30.

හතේ පොත ඔබ මෙතෙක් කියවා නැත්නම් මෙතැන ක්ලික් කර පොත ලබා ගන්න. 

‘කබර කෙල්ලෝ‘ 

‘කෙල්ලන්ගේ ඇඟේ කබර තියෙනවා, කෙල්ලොන්ගේ ඇඟේ ගෑවෙන්න එපා‘ යනුවෙන් නිරන්තරයෙන් සිය සම වයස් මිතුරන්ට පැවසූ කොළුවෙකු මා සමග පහ වසර අකුරු කළා මතකය.   නිරතුරුව ගැහැණු ළමුන්ගේ සිරුරේ ස්පර්ෂ නොවී සිටින්නට වගබලාගත් මේ කොළු ගැටයා වැරදීමකින් හෝ ඔහු සිටි මේසයේ ගැහැණු ළමයෙකුගේ අතක් ස්පර්ෂ වූ විට පවා එය පිසදැමීමේ වියරුවකින් ද පෙළුණේය. ඔහු විසින් අනෙක් කොළුවන්ගේ මනසට කාවැද්දූ මේ මතය අනෙක් අයගේ මුවින් ඇසෙන්නට ද විය. සතියේ දිනවල සවස ගැහැණු පිරිමි භේදයක් නැතිව ශිෂ්‍යත්ව පංති පැවැත්වෙන තෙක් සෙල්ලම් කරන සමයේ පවා ඔහු ඊට සහභාගී වූවාදැයි යන්න ගැන හරිහැටි මතකයක් නැතිමුත් ඔහුගේ මාපියන් දෙදෙනාම රජයේ ගුරුවරුන් බවත් ඔහුට ගැහැණු සහෝදරියන් නොසිටි බවත් පහ වසර ශිෂ්‍යත්වය සමත්වී මොහු  නගරයේ පිරිමි විද්‍යාලයකට ඇතුළත් කළ බවත් යාන්තමින් මතකය. මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව අධ්‍යාපන කලාපයේ පිහිටි ගම්මානයක කණිෂ්ඨ පාසලේ 1 වසර සිට 5 වසර දක්වා අකුරු කරනා සමයේදී අත්විඳි අත්දැකීමකි.

මීට වසර 20කට එහා ගිය ඒ අත්දැකීම හිටිහැටියේ සිහිපත් වූවේ මෑතකදී අහන්නට ලැබුණු ‘හතේ අපේ පොත‘ ගැන කතාවත් සමගිනි. එදා මා සමග අකුරු කළ මේ කොළුවාට තමන් හා සම වයසේ පසුවන අනෙක් විරුද්ධ ලිංගිකයින් ද තමන් වැනිම වූ මිනිස් සත්වයන් බව පිළිගැනීමට තරම් ශක්තියක් නොතිබුණාද ?, නැත්නම් නිවසින්, පාසලින් හෝ ගෙදර වැඩිහිටියන් පවා සිය විරුද්ධ ලිංගිකයින්ට ද ගෞරව කළයුතු බව කියා නොදුන්නාද ? යන්න තවමත් ගැටළුවකි.

මැදගොඩ අභයතිස්ස 

‘හතේ අපේ පොත‘ අභිමානවත් ලාංකීය සංස්කෘතිය විනාශ කිරීමේ වෑයමක් බවත් නව යොවුන් දරුවන්ට මෙය නුසුදුසු බවටත් අර්ථ දක්වමින් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය, මැදගොඩ අභයතිස්ස හිමි පැවසුවේ,

‘‘ලෝකේ තියෙනවා සෞඛ්‍ය අධ්‍යාපනය, විශේෂයෙන්, ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනය ලබාදීම දරුවන්ට සිදුකරනවා යම් අවස්ථා වලදී. හැබැයි මේක ඒ වයසේ දරුවන්ට නොගැළපෙන, විශේෂයෙන්ම, ඔවුන්ගේ ගුණ ධර්ම වලට බරපතල විදියට බලපාන, ඔවුන්ගේ ජීවිතයට අනවශ්‍ය කුතුහලයක් ජනිත කරවන ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අපේ මේ සමාජයේ තියෙන සම්බන්ධතා පිළිබඳව ටිකක් නරක පැත්තට මිනිස්සු අරගෙන යන කතාවකුත් මේකේ තියෙනවා.

අපේ සමාජය ඔය කියන වනචර, රාජිත සේනාරත්න හා අකිල විරාජ්ගේ වනචර සිතුවිලි තියෙන සමාජයක් නෙමෙයි. මේ සමාජේ අතලොස්සක් සිද්ධ වෙන ඇතැම් සිද්ධි දිහා බලලා, සමස්ත සමාජයට මේක ගළපන්න ගිහිල්ලා, අපේ සංස්කෘතික බැඳීම විනාශ කරන්නට මොවුන් ගන්නා උත්සහය හරි බරපතලයි. මේක හුදෙක් අධ්‍යාපන අමාත්‍යංශයට වැරදිලාවත්, සෞඛ්‍ය අමාත්‍යංශයට වැරදිලාවත් සිද්ධ කරපු එකක් නෙමෙයි. මේක හිතාමතාම ඔවුන් සිද්ධ කරන සංස්කෘතික විනාශයක කොටසක්. අධ්‍යාපන ඇමතිවරයට අපි ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ පොත තහනම් කරන්න ඕන…‘‘ යන්නයි.

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 

මිශ්‍ර පාසලක ඉගෙනගත් සිසුන් ලෙස සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය අත්පොතේ අවසන් භාගයේ තිබූ නව යොවුන් වියේ ඇතිවන ශාරීරික වෙනස්කම් ගැන ඉගෙනගන්නා සමයේදී ගැහැණු හා පිරිමි ළමුන්ට ශාරීරික වශයෙන් ඇතිවන වෙනස්කම් ගැන කෙටි සටහන් තබන්නට විෂයභාර ගුරුවරයා පැවසුවා විනා ඉන් ඔබ්බට යමක් පැහැදිලි කරදීමේ අවශ්‍යතාවය ඔහුට නොවුණි. පංතියේ සිටි කටකාර සිසුන් පවා මේ ගැන විමසන්නට උත්සුක වූවේ නැත්තේ එය කතා කරන්නට අසභ්‍ය මාතෘකාවක් ලෙස සලකමිනි. ගැහැණු ළමුන් වැඩිවියට පත්ව මාසිකව ඔසප් වීම සිදුවන බව පැවසුවා විනා ඔසප් වීම යනු කුමක්ද ? යන්න මල්වර වූ දැරිවියන් පවා නොදැන සිටි කරුණක් විය. නමුත්, පිට්ටනියේ එහා කෙළවරක පිහිටා තිබුණු ගැහැණු වැසිකිළියට නොගොස් සුදු ගවුමේ ගෑවුණු රත් පැහැ ලේ සෝදා හරින සහෝදර සිසුවියන් අප සිටි 9 – 10 පංති කාමරයට එපිටින් ගැවසෙනු දැකීම බාලිකාවන් වූ අපට නම් අරුමයක් නොවුණි. මේ කුමක් සිදුවන්නේද යන කුතුහලයෙන් පංති කාමරයේ උස තාප්පයෙන් එබිකම් කරන පිරිමි ළමුන් ද විටින් විට විමසා බලයි. ඉතිං, පිරිමි ළමුන්ගේ මේ කුතුහලයට උත්තර දෙන්නට ගුරුවරුන් මෙන්ම සහෝදර සිසුවියන් ද අසමත් විණි.

මැදගොඩ අභයතිස්ස හිමි පවසන අන්දමට ‘හතේ අපේ පොත‘ තුළින් සැබැවින්ම ලාංකීය සංස්කෘතිය විනාශ වෙනවාද ?, සාමාන්‍ය පෙළ දක්වා උගන්නා ළමුන්ට මීට පෙර ලබාදුන් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂය නිර්දේශයේ එන නව යොවුන් විය ආශ්‍රිත කරුණු අතිශය සරළ කර දරුවන්ට වැට‍හෙන භාෂාවකින් ඉදිරිපත් කර ඇති බව ‘හතේ අපේ පොත‘ අන්තර්ගතය විමසා බැලූ විට හඳුනාගත හැකිය.   රජයෙන් ලබාදී ඇති සෞඛ්‍ය අධ්‍යාපනයට අදාළ මුද්‍රිත පොතේ ඇති කරුණු පවා සවිස්තරව උගැන්වීමට ගුරුවරු අකමැති මොහොතක ‘හතේ අපේ පොත‘ අවශ්‍යතාවය නිතැතින්ම මතුවීම ස්වභාවිකය.

අභයතිස්ස හිමියනි, සංස්කෘතිය විනාශ වී හමාරය. මේ බලන්න.

පොදු ප්‍රවාහණය කුළ ගමන් කරන කාන්තාවන් 90%ක් ලිංගික අතවරයන් වලට ලක් වේ. 

2018 වසරේ පෙලීසියට වාර්තා වී ඇති ස්ත්‍රී   දූෂණ සංඛ්‍යාව 345කි. 

2018 වසරේ පෙලීසියට වාර්තා වී ඇති ව්‍යවස්ථාපිත දූෂණ සංඛ්‍යාව 1447කි. 

2018 වසරේ ජාතික ළමා ආරක්ෂක අධිකාරයි වෙත ලැබී ඇති ළමා අපයෝජන සංඛ්‍යාව 9500 ඉක්මවයි.  

ගෘහස්ථ හිංසනය, පාසල් වල දරුවන්ට සිදු කරන පහර දීම, විශ්ව විද්‍යාල වල සිදු කරන අතිශය කෘර නවක වද හිංසා ආදී වශයෙන් අපේ සංස්කෘතියේ පිරිහීම ගැන ඕනෑ තරම් උදාහැණ දිය හැකිය.

නව යොවුන් වියේදී ශාරීරික වශයෙන් ඇතිවෙන වෙනස්කම්, ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන් ද සමාජයීය වශයෙන් ආරක්ෂා විය යුතු අන්දම, ගැහැණු පිරිමි දෙපිරිසම සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කම හා පෝෂ්‍යදායී ආහාර රටා ආදිය ගැන ද මේ කෘතියේදී අවධානය යොමුකර තිබේ. ‘හතේ අපේ පොත‘ තුළින් ඉදිරිපත් කර තිබෙන්නේ 7 ශ්‍රේණියේ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපන විෂය මාලාවේ දැනටමත් ඇතුළත් වී තිබෙන කරුණුමය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අසන්ති ප්‍රනාන්දු, වෛද්‍ය ගාමිණී සමරවික්‍රම, ජීවරංග ගුණසේකර විසින් රචනය හා සංස්කරණය කර ඇති මේ කෘතියට මඟ පෙන්වීම සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන හා අධ්‍යාපන අමාත්‍යංශයේ රේණුකා පීරිස් ගෙනි.

‘හතේ අපේ පොත‘  ගැන අවශ්‍යතාවය මතුවන්නේ ඇයි ? 

පාසල් සිසුන් සඳහා ප්‍රජනන සෞඛ්‍යය ඉගැන්වීම ගැන කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති වෛද්‍ය තුසිතා විජේමාන්න විසින් 2019 මාර්තු 27 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ හැඳින්වීමේ දක්වා තිබේ. දරුවන් තුළ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ නිසි දැනුම්වත්භාවයක් නොමැතිකම ළමා පරපුර මුහුණපාන සමාජ ගැටළු වලට හේතුව වන බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමෙන් මේ ගැටළු අවම කරගත හැකි බවත් හඳුනාගෙන ඇති බව පෙන්වා දේ. මේ ගැන කාරක සභාවේදී විද්වත් මණ්ඩලයක් හමුවේ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පාසල් සිසුන් සඳහා ප්‍රජනන සෞඛ්‍ය ඉගැන්වීමේ අත්පොතක්, ජාතික අධ්‍යාපන ආයතනයේ හා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සහය ඇතිව අධ්‍යාපන අමාත්‍යංශය විසින් සම්පාදනය කරන ලද බව පවසයි.

ළමාවියේ සිට වැඩිහිටිවියට පැමිණෙන තෙක් දරුවන්ට සිය සිරුරේ සිදුවන ජීව විද්‍යාත්මක වෙනස්වීම් හා ලිංගිකත්වය සම්බන්ධයෙන් නිසි දැනුමක් ලබාදෙන පිළිගත් විධිමත් ආයතනයක් හෝ මාධ්‍යක් නොමැතිවීම, මෙරට සංස්කෘතිය අනුව මාපියන් දරුවන් සමග මෙන්ම ගුරුවරුන් පාසල් සිසුන් මේ ගැන විවෘත සංවාදයක නොයෙදීම, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ඉගැන්වීමට පුහුණු ගුරුවරු ප්‍රමාණවත් නොවීම, 50 පමණ ප්‍රතිශතයක් විරුද්ධ ලිංගිකයින්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ගැන දැනුම්වත්භාවයක් නොමැතිවීම, අඩු වයසින් ගැබ් ගැනීම් වැඩි ප්‍රමාණයක් වාර්තා වීම හා මේ නිසාම සිදුවන ගබ්සා කිරීම් වැඩිවීම, නොනිසි ක්‍රම වලින් අත්හදා බැලීම් තුළින් ලිංගික දැනුම ලබාගැනීමට පෙළඹීම මෙන්ම නොදැනුවත්භාවය නිසා ලිංගික අපයෝජනයන්ටද ගොදුරුවීමේ ප්‍රවණතාවය ආදිය ‘හතේ අපේ පොත‘ සම්පාදනයට බලපෑ මූලික කරුණකි.

2016 ඔක්තෝබර් මසදී මේ ගැන පැවති කාරක සභාවේදී ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ඉගැන්වීම පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීමට අත්පොතක් නිර්මාණය කිරීම, පාසල් වල දැනට සිටින උපදේශකවරුන්ට වඩාත් හොඳ පුහුණුවක් ලබාදීම, කිසිදු සැකයකින් හා පැකිලීමකින් තොරව ඉගැන්වීමට ගුරුවරුන් දිරිමත් කිරීම, ළමුන් සමග සාකච්ඡා කිරීමට අපහසු ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධ මාතෘකා අධ්‍යාපනික වීඩියෝ යොදා ඉගැන්වීම, ගුරුවරුන් 5400 ක් විෂය ඉගැන්වීමට පුහුණුව ලැබුවද ඔවුන් ප්‍රමාණවත් නොවන බව පෙන්වාදීම ආදිය සාකච්ඡාවට ලක්වූ කරුණු බව එහි දක්වා තිබේ.

මේ කරුණු කාරණා මුල්කරගනිමින් ‘හතේ අපේ පොත‘ පාසල් සිසුන්ට ලබාදීමට අවශ්‍ය පියවර ගත්තද එය සැබැවින්ම ඔවුන් අතට පත්වුණාද ?, පාසල් වලින් මෙම පොත බෙදානොහැර සිටියාද ?,  පොත පරිශීලනය කළ සිසුන් එය ග්‍රහණය කරගත්තේ කෙලෙසින්ද යන්න ගැන විනිවිදභාවයක් ඇතිව සොයාබැලිය හැකි නිසි ක්‍රියාවලියක් ඉන්පසු සම්පාදනය නොවුණි.

උදා වූ යෞවනය නම් වූ මෙවැනිම පොතක් 1990 ගණන් වලදී සෞඛ්‍යය අත්‍යංශය විසින් නිර්මාණය කළ අතර ගුරුවරු හා විදුහල්පතිවරු ඒ පොත බෙදා දීම ප්‍රතික්ෂේප කළහ.

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය පොතේ අවසානයට සටහන් වී තිබෙන පාඩම උගැන්වීමට පවා ගුරුවරු අකමැති වන පසුබිමක එය දරුවන් ඔවුන් ‘හතේ අපේ පොත‘ දරුවන් අතර බෙදාදීමට පවා උනන්දු වේද ?.

ලිංගිකත්වය ගැන දරුවෝ දැනගන්න ඕන ඇයි ?

ළමා මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන අන්දමට කුඩා වියේදී පටන්ම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදිය යුතු අතර එය එකිනෙක වයස් පරාසයන් අනුව ද ලිංගික අධ්‍යාපනය ලබාදිය යුත්තේ කෙලෙසින්ද යන්න පවා බෙදා දක්වා තිබේ. උපන් දා සිට වයස අවුරුදු  දෙක දක්වා කාල පරාසයේදී ලිංගික අවයව වලට යොදන නම ද ඇතුළුව ඔවුන්ගේ සිරුරේ අවයව වලට යෙදෙන නම් කියාදීම, ඒ ඒ අංගයන් වල ක්‍රියාකාරීත්වය  කියාදිය යුතුවේ.

මෙය සැබැවින්ම, ලිංගික අධ්‍යාපනය ලබාදීමක් නොව ඔවුන්ගේ  සිරුර ගැන කියාදීමකි. වයස අවුරුදු 2 – 5 අතර වියේදී පුද්ගලිකත්වය ගැන ඔවුන්ට කියාදීම ද වැදගත් වේ. නිවසේදී නිරුවතින් නොසිට ඇඳුම් ඇඳීම, අනෙකුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම ද කුඩා වියේදී සිටම කියාදීම වැදගත් වේ. අනවශ්‍ය ලෙස වැඩිහිටියෙකු ඔවුන්ගේ සිරුර ස්පර්ෂ කළේ නම් ඒ ගැන පැවසීමට තරම් දැනුමක් දරුවන්ට තිබිය යුතුවීම මීට හේතුවයි.

පවුල, මිත්‍රත්වය, ලිංගික හැසිරීම, අනෙකාට ගරු කිරීම, ලිංගිකව එක්වීම, සිරුර වයස්ගත වන බව, එකිනෙකාගේ කුසලතා, එකිනෙක කටයුතු වලදී සහයෝගයෙන් වැඩ කිරීමේ අවශ්‍යතාව ද  කුඩා කල පටන්ම දරුවන් දැන සිටිය යුතුය. එකිනෙකාට ගරු කළ යුතු බව කුඩා කල සිටම දැන සිටින දරුවන් වැඩිවියට පත්වූ පසුවද සිය සමාජ සම්බන්ධතා වලදී ආවේගශීලීව කටයුතු නොකරනු ඇත. ‘හතේ අපේ පොත‘ වැන්නක මෙවැනි කරුණු ද ඇතුළත් කිරීම වැදගත් වන්නේ එයයි.

‘හතේ අපේ පොත‘ ගැන කියවෙන කතා

‘හතේ අපේ පොත‘ කියවා තිබෙන මෙවර හත වසරට සමත් වූ දරුවන් සිටින මාපියන් කීපදෙනෙකුගෙන් සිය දරුවන්ට එම පොත ලබාදීම යෝග්‍ය ද අයෝග්‍ය ද යන්න ගැන අදහස් විමසීමු. මේ සියලුම  දෙනාගේම පාහේ අදහස වූවේ මැදගොඩ අභයතිස්ස හිමි පවසන අන්දමින් සංස්කෘතියට හානිකරන ලිංගික අධ්‍යාපනයක් මෙහි නොමැති බවත් මෙය ද ලිංගික අධ්‍යාපනය උගැන්වීමෙහිලා දැරූ ප්‍රාථමික උත්සාහයක් බවත්ය. අනෙක් අතට මාපියන්ගේ අදහස වී තිබෙන්නේ දරුවන්ට අවශ්‍ය මූලික ලිංගික අධ්‍යාපන දැනුම නිවසේදී ලබාදෙනු වෙනුවට පාසල තුළින් හෝ දරුවන්ට එම දැනුම ලබාදිය යුතු බවයි.

‘ළමයි ඉස්කෝලේදී වත් මේවා ගැන ඉගෙනගන්නේ නැතුව කොහෙන් ඉගෙන ගන්නද ?‘

‘අද කාලේ ළමයි නරක දේවල් වලට පුරුදු වෙන්න කලින් ගෙදරින් බැරිනම් ඉස්කෝලෙන් හරි මේ ගැන කියලා දෙන්න ඕන‘

‘මේ වගේ පොතකින් කොහොමද ? සිංහල සංස්කෘතිය නැතිවෙන්නේ ?‘ ආදී ප්‍රශ්න මාපියන්ගේ මුවින් නැගෙන්නට විය.

ගුරුවරුන් ලෙස සේවය කරන මාපියන් කීපදෙනෙකු පැවසුවේ දරුවන් අතර බෙදාහැරි පොත හදිසියේම නැවත පාසලට භාරගත් බවත් ඉන්පසු සිදුවූවේ කුමක්දැයි යන්න ගැන තමන් නොදන්නා බවත්ය. මෙවැනි පොතක් දරුවන්ට කියවීමට සුදුසු බව ඔවුන්ගේ ද අදහස විය.

‘හතේ පොතෙන් අපේ සංස්කෘතිය විනාශ කරන්නේ නෑ‘ – අකුරැටියේ නන්ද හිමි

මැදගොඩ අභයතිස්ස හිමිගේ ප්‍රකාශයෙන් පසුව  ඒ සම්බන්ධයෙන් පසුගිය 9 වැනිදා පැවති ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අදහස් දක්වමින් රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති අකුරැටියේ නන්ද හිමි පෙන්වා දුන්නේ ලිංගික අධ්‍යාපනය ගැන දරුවන් තුළ පවතින දැනුම මදකම නිසාම බොහෝ අතවරයන්, දූෂණයන් සිදුවන බවත් මෙරට සංස්කෘතිය විනාශ කරන කරුණු ‘හතේ අපේ පොත‘ තුළ නැති බවත්ය.

‘ලිංගික අධ්‍යාපනය ලබානොදිය යුතු බව යම් භික්ෂූන් වහන්සේ නමක් පවසනවා නම් මම හිතන්නේ ඒ හාමුදුරුවන්ගේ කල්පනා ශක්තිය ගැන දෙවරක් හිතන්න සිද්ධ වෙනවා‘ යන්න මීට පෙර ද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නන්ද හිමි අවධාරණය කළේය.

කෙසේවුවත්, ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමුවූ තවත් විශේෂ කරුණක් වූවේ ලිංගික අධ්‍යාපනය ගැන කතාබහ කිරීම තහනම් මාතෘකාවක් වී ඇති පසුබිමක මේ පොත බෙදාහැරීම ද අභියෝගයක් වී ඇති බවයි.

කෙසේ වුවත් අවසානයේදී හතේ පොතට තිත වැටුනේය. ජනවාරි 21 වන දින පැවැත්වූ සාකච්ඡාවේදී නැවත මෙම පොත විද්වත් මණ්ඩලක් මගින් පරීක්ෂා කළ යුතු බව තීරණය කළ අතර මුද්‍රණය කළ පිටපත් 350000ක් අපතේ ගියේ එසේය.

වින්ද්‍යා ගම්ලත් විසිනි. 

කර්තෘ සටහන

හැම උත්සහයක්ම කඩාකප්පල් කරන්නේ කවුද?

ආගමික මැදිහත් වීමෙන් අධ්‍යාපන උත්සහයන් කඩා කප්පල් කළ පළමු අවස්ථාව මෙය නොවේ. හොදම උදාහරණය ‘සමව සිතමු’ (THINK EQUAL)  නමින් පෙරපාසල් දරුවන් වෙනුවෙන් හදුන්වා දුන් හැගුම් සංවේදී අධ්‍යාපනය සමලිංගිකත්වය පටලා කඩා කප්පල් කිරීමයි. මැදගොඩ අභයතිස්සගේ මුවෙන්ම පිට වූයේ එය පිටපස සිටින්නේ මැල්කම් කාඩිනල් රංජිත් බවය.මෙමෙ වැඩසටහන්ට  පාප් වහන්සේගේ ද ආශිර්වාදයලැබී ඇති බව එතුමා නොදන්නවාද?

The Pope

ලංකාවේ මිනිස්සුන්ට බලපාන හැම ප්‍රශ්ණයකටම ඇගිලි ගසන්නේ ආගමික නායකයන්ය. ගබ්සාව පිළිබද වෛද්‍ය වරු ඉදිරිපත් කළ යෝජනාව කුණු කූඩෙට දැමුවේ ද මොවුන්ය. දැං මිනී මරා හිර බත් කන දුමින්ද සිල්වා නිදහස් කරන්නැයි ඉල්ලන කණ්ඩායම් වල පෙරමුණ ගන්නේද හිමි වරුය.

හතේ පොතෙන් එහා ගිය ගැටළුවක් අප හමුවේ ඇත. ඒ විවෙචනාත්මක චින්තනෙය් අඩුවයි. එය පිරවීමට නම් අධ්‍යාපන ක්‍රමය දෙස විවෘත මනසිකින් බැලිය යුතුය. විවේචනාත්මකව බැලිය යුතුය. විවේචනාත්මකව සිතන පතන සමාජයක් තුළ ආගම හා රාජ්‍යය ඇතුළු බොහෝ පුරුෂ මූලික සමාජ ගොඩනැංවීම් බිද වැටෙනු ඇත. ඉතින් අපේ නායකයන්, ආගමික හෝ දේශපාලනික වෙවා, එවැනි වෙනසක් කිසි දිනක සිදු කරන්නේ නැත.

Social Share: