2019 නොවැම්බර් 11.
2015 දී පත්වූ යහපාලන ආණ්ඩුවට සමුදෙමින් එළඹෙන නොවැම්බර් දා අළුත් ජනාධිපතිවරයෙකු තෝරාපත්කර ගැනීමට නියමිතය. ප්‍රධාන දේශපාලන පක්ෂ වලින් තරග වදින ජනාධිපති අපේක්ෂකයින් මේ වනවිටත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශන ජනතාවට ඉදිරිපත් කර හමාරය.
මෙරට ඡන්ද දායකයින් සිය අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ කියවා බලා ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කරනවාද ?, නැද්ද ? යන්න ගැන තීරණය කරනවාදැයි යන්න ප්‍රශ්නයක් වුවත් සෑම ජනාධිපති අපේක්ෂකයෙකුම පාහේ සමාජයයී, ආර්ථික හා දේශපාලනික වශයෙන් වැදගත්කමක් ලබාදෙන ප්රතිපත්තීන් ඉදිරිපත් කිරීම සාමාන්‍ය තත්ත්වයකි. මෙවර ප්‍රධාන පක්ෂ වලින් ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ විශේෂයෙන්ම, කාන්තාවන්, සමාජයේ නිරන්තර කොන් කිරීමට ලක්වන LGBT ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කරලීමට ඉදිරිපත් කර ඇති නව යෝජනා මොනවාද ?, එම යෝජනාවන් සැබැවින්ම මෙරට තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිදැයි යන්න විමසා බලමු.
සජිත් ප්‍රේමදාස
සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ විශේෂ කරුණු අතර කාන්තාවන් දිරිගැන්වීම යන ශීර්ෂයෙන් යුතුව දක්වා තිබෙන්නේ කාන්තා ප්රඥප්තිය ක්‍රියාවට නංවන බවයි. පළාත් සභා වලට, පාර්ලිමේන්තුවට හා ජාතික ලැයිස්තුවටත් කාන්තාවන් වෙනුවෙන් 25% ක කෝටාවක්, කාන්තාවන්ට සුරක්ෂිත පොදු ප්‍රවාහනයක් ලබාදෙන බව දක්වා තිබේ.
සජිත් ප්‍රේමදාස යෝජනා කරන කාන්තා ප්රඥප්තියේ අන්තර්ගත කර තිබෙන කරුණු
- කාන්තාවන් සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් යෝජනා කර ඇති අතර ඔවුන්ට වෙනස්කොට සැලකීම් පිටුදැකීම මෙමගින් සිදුවන බවට යෝජනා කර තිබේ
- ස්ත්‍රී-පුරුෂ භාවය සහ අනන්‍යතාව, ජාතිය, වර්ගය, කුලය හෝ සමාජ සම්භවය, මාතෘත්වය, වයස, භාෂාව, මානසික හෝ ශාරීරික දුබලතා, ගර්භණී බව, විවාහක-අවිවාහක බව, ආර්ථික මට්ටම, වැන්දඹුභාවය මත කාන්තාවන්ට වෙනස් කොට සැලකීම් නොකළ යුතු බවට ද මෙමගින් යෝජනා කර තිබේ
- ආර්ථික, නීතිමය අතින් කාන්තාවන්ට සිදුවන අසාධාරණකම් නොසලකා හැරීම ද මේ අතරට අයත්ය
- සජිත් ප්‍රේමදාස බලයට පත්වුවහොත් ශ්‍රී ලංකාවේ ම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ගිනි පොළියට යටත්ව පීඩාවට ලක්වූ කාන්තා පරපුරේ ණය කපාහැරීම
- කාන්තා මූලිකත්වයෙන් කරනු ලබන ආදායම් උත්පාදන ව්‍යාපෘතීන් සඳහා සහන ක්‍රමයට ණය ලබාදෙන ජාතික කාන්තා බැංකුවක් ස්ථාපිත කිරීම
- ස්ත්‍රී පුරුෂ සමානාත්මතා සංකල්පය පෙරපාසල් සිට තෘතීයික අධ්‍යාපනය දක්වාත් පසුව වෘත්තීය පුහුණුව දක්වාත් සියලූ පාසල් විෂයමාලා තුළට ඇතුළත් කිරීම
- කාන්තාවන් සඳහා වෙන්වූ මානසික සෞඛ්‍ය සේවා සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව වඩාත් පුළුල් කිරීම
- සියලූ ගර්භණී සහ කිරි දෙන මවුවරුන්ගේ සහ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම
- ජ්‍යෙෂ්ඨ පුරවැසි කාන්තාවන් වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණයක් හඳුන්වාදීම
- පළාත් සභා හා පාර්ලිමේන්තුව තුළ ද කාන්තා නියෝජනය ඉහළ නැවීමට පියවර ගැනීම
- කාන්තාවන්ට එරෙහිව සිදුවන කවර හෝ ආකාරයක ප්‍රචණ්ඩකාරී හෝ හිංසාකාරී චර්යාවන් ප්‍රතික්ෂේප කරමින් ඊට එරෙහිව කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කටයුතු කිරීම
- සෑම පොලිස් ස්ථානයකම ළමා හා කාන්තා කාර්යාංශය පැය 24ම විවෘතව තබන අතර සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන් ම කටයුතු කළ හැකි නිලධාරිනියන්ගේ සේවය අනිවාර්යය කිරීම
- කාන්තාවන් සඳහා වෙන් වූ නීති ආධාර, වෛද්‍ය සහය, මනෝ සමාජයීය උපදේශන සේවා සහ අනෙකුත් සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකි වන සේ උපකාරක මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම
- රාජ්‍ය/පුද්ගලික අංශවල මෙන්ම සිවිල් සමාජ/රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියළු රැකියා ස්ථානවල ලිංගික හිංසනයට මුළුමනින් ම එරෙහි වීමේ ප්‍රතිපත්ති සහ සක්‍රීය වන්දි ලබාදීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම
- 2005 ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැලැක්වීමේ පනතට සංශෝධන ගෙන එමින් ඒවා නීතිගත කිරීම
- යුද්ධයෙන් වැන්දඹුභාවයට පත් වූ කාන්තාවන් සහ කාන්තවන් ගෘහ මූලිකත්වය දරණපවුල්වල අවශ්‍යතවයන් වන ඉඩම්, නිවාස, ජීවනෝපාය මාර්ග, කුසලතා, ණය පහසුකම් සහ නීති සහය හා අනෙකුත් සේවා සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- ‘සතුටු පවුල’ සංකල්පය පෙරදැරි කරගනිමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- කාන්තා ප්රඥප්තිය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට හා කාන්තා අයිතීන් සුරැකීම වෙනුවෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ම එහි එ්කකයක් බැගින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව දක්වා තිබේ
සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්රකාශනය තුළ ‘ජනතාවගේ ව්‍යවස්ථාව‘ යන ශීර්ෂයෙන් දක්වා තිබෙන්නේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වන ව්‍යවස්ථා සංශෝධනය මත ගොඩනැගෙන බවත් ජාතික ලැයිස්තුවෙන් පත්වන නියෝජිතයින්ගෙන් අවම වශයෙන් 25%ක්ම කාන්තාවන් බව නියම කිරීමෙන් පාර්ලිමේන්තුවේ කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම නීතිගත කෙරෙන බවයි.
ගර්භණී කාන්තාවන්ට මේ වනවිට රජයෙන් පිරිනමන රු. 20,000 ක දීමනාව මසකට රුපියල් 30,000 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවද පවසා තිබේ.
‘පනස් දෙකේ ප්‍රතිශතය, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ අභිමානය සහ සමාන අවස්ථා’ (පිටුව 64) යන තේමාව යටතේ කාන්තාවන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය ඇතිකිරීමට
- ස්ත්‍රී දූෂණ හා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් ඉක්මන් දඬුවම් ලබාදීම සහතික කරන අතර නැවත වැරදි සිදුකරන වැරදිකරුවන්ට වඩාත් දැඩි දඬුවම් ලබාදෙන බව දක්වා තිබේ
- වෛහාහක දූෂණය අපරාධ වරදක් බවට පත්කර ඒ ගැන දැනුවත්භාවය ඇති කිරීම
- කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට සිදුවන වීදි හිංසනයන්ට එරෙහිව නඩු පැවරීමට ලිංගික හිරිහැර ගැන නීතිමය අර්ථ දැක්වීම පැහැදිලි කිරීම
- පොදු ප්‍රවාහනයන් තුළදී සිදුවන ලිංගික අපයෝජන ඇතුළු ලිංගික හිරිහැර ගැන පමණක් විමර්ශනය කිරීම හා වැළැක්වීමට කැපවූ ජාතික පොලිස් ඒකකයක් පිහිටුවීම
- 1938 දුරකථන උපකාරක මාර්ගය ප්‍රසිද්ධියට පත් කිරීමට අරමුදල් ආයෝජන කිරීම
- අපයෝජනයට ලක්වූ කාන්තාවන්ට නවාතැන් හා ආරක්ෂිත නිවාස ජාල පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම මගින් නීති ආධාර, වෛද්‍ය පහසුකම් හා මනෝ සමාජීය උපදේශන සමග ඒකාබද්ධ අර්බුද මධ්‍යස්ථාන බවට ඒවා පත් කිරීම
- ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය මාධ්‍ය විසින් වාර්තා කරන ආකාරය ද මෙම ප්‍රතිපත්තිය මගින් පාලනය වේ
- සමාන වැඩ සඳහා සමාන වැටුප් නීති සම්පාදනය කෙරේ
- කාන්තාවන් අතර විශේෂයෙන් යුද වැන්දඹුවන් අතර ඉහළ ණයගැතිභාවයේ ගැටළු විසඳනු ඇති අතර අතුරු සහන පියවරක් ලෙස සූරාකෑම් පොලී අනුපාත යටතේ කාන්තාවන්ට ලබාදෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහරිනු ඇත
- මෙරට ළමා මන්දපෝෂණය අවසන් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවීම, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්, පෝෂණ ඌනතාවයෙන් පෙළෙන ගර්භනී කාන්තාවන් හා මව්කිරි දෙන මව්වරුන්ට ත්‍රිපෝෂ අතිරේක නොමිලේ ලබාදීම
- රජයේ ආයතන වල ළමා ආරක්ෂණ ඒකක පිහිටුවීම, පෞද්ගලික අංශය ද ඒ සඳහා දිරිමත් කිරීම
- 2019 අයවැයෙන් දක්වා ඇති පරිදි මාතෘ නිවාඩු ආවරණයට කාන්තා කාර්යමණ්ඩලයට ස්ථාවර සම වැටුප් යෝජනා ක්‍රම ලබාදීමට පෞද්ගලික අංශය දිරිමත් කිරීම
ගෝඨාභය රාජපක්ෂ
ඵලදායී පුරවැසියෙක් හා සතුටින් ජීවත්වන පවුලක් යන තේමාව යටතේ දරුවන් ගැන පවසමින් දක්වා තිබෙන්නේ, කවර හේතුවක් නිසා හෝ ළදරුවන් මහමඟ දමා යාම, මරා දැමීම වැළැක්වීමට පියවර ගන්නා අතර දරුවන්, දරුකමට හදාවඩා ගැනීම සඳහා ඇති සංකීර්ණ ක්‍රමවේදය සරළ කෙරෙන බවයි.
සමාජ ආර්ථිකයට දායක වන කාන්තා පරපුරක් යන තේමාව යටතේ මෙම ප්‍රතිපත්ති ප්රකාශනයේ දක්වන්නේ දරුවෙකු ඵලදායී පුරවැසියෙකු කිරීමේ අත්පොත තබන්ගේ මව බවත් රැකියාවේදී මෙන්ම ගෙදරදොර ජීවිතයේදී ද ඇගේ දායකත්වය වැදගත් බවයි. මෙහිදී සිදුකර ඇති යෝජනා (පිටුව 27)
- කුඩා දරුවන් ඇති කාන්තාවන් රැකියාව කරන කාලය තුළ ඔවුන්ගේ දරුවන් රැකබලා ගැනීමේ පහසුකම් රට පුරා ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති අතර එවැනි මධ්‍යස්ථාන විධිමත් නියාමනයකට
- වැඩෙන දරුවෙකුට මවකගේ සෙනෙහස රැකවරණය අත්‍යවශ්‍ය නිසා තරුණ මව්වරුන්ට තම දරුවන් රැකබලා ගැනීමට තාවකාලිකව රැකියාවෙන් ඉවත්වීමට හා යළි රැකියාවකට එකතුවීමට ක්‍රමවේදයක් සකස් කෙරෙනු ඇත
- හෙද සේවය වැනි අංශ සඳහා කාන්තාවන් පුහුණු කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීම
- රැකියාවක යෙදීම වෙනුවට ගෘහස්ථ ව්‍යවසායන් හරහා ආදායම් ඉපයීමට ග්‍රාමීය කාන්තාවන්ව විවිධ ව්‍යවසායන්ට යොමුවීමට ඇති අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට අඩු පොලී ණය පහසුකම් සලසා දීම. ඊට අදාළ පුහුණුව හා වෙළඳපොල උපදෙස් ලබාදීමේ ක්‍රමවේද සැකසීම
- මෙරට කාන්තා හිංසනය හා ළමා අපචාර වැඩිවී ඇති නිසා හා පොදු ප්‍රවාහන සේවාවල කාන්තාවකට නිදහසේ ගමන් කළ නොහැකි තරමට සදාචාරය පිරිහී ඇති බැවින් මේ තත්ත්වය පාලනය කොට කාන්තාවගේ ගෞරවය සුරකින, විනයගරුක, ගුණගරුක, සදාචාරසම්පන්න සමාජයක් ඇති කිරීම
- කාන්තාව සමාන අයිතිවාසිකම් ඇති තැනැත්තියක ලෙස නොසලකා නීතිය ක්‍රියාත්මක කරන නිළධාරීන්ට විරුද්ධව නොපමාව විනය ක්‍රියාමාර්ග ගැනීමට වෙනම ඒකකයක් පොලිස් කොමිසම තුළ පිහිටුවීම
- යම් කාන්තාවකට කිසියම් ගැටලුවක්, මානසික ව්‍යාකූලත්වයක්, චිත්ත පීඩාවක්, පීඩනයක් ඇතිවූ විට ඒ ගැන පවසා උපදේශනයට යොමුවිය හැකි ජංගම දුරකථනය මගින් දවසේ ඕනෑම වෙලාවක සම්බන්ධ විය හැකි උපදේශන සේවාවක් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය යටතේ ආරම්භ කිරීම
සුරක්ෂිත රටක් යන තේමාව යටතේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ උන්නතිය වෙනුවෙන් ඉටුකරලීමට බලාපොරොත්තු වන කාර්යයන් ගැන දක්වා තිබේ. මෙහිදී පොලිස් සේවයේ නියැලී සිටින කාන්තා නිළධාරිනියන් ඇතුළු සියලු දෙනාට උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදය සංශෝධනය කරන බවයි.
පසුගිය සමයේදී ග්‍රාමීය කාන්තාවන් දැඩිව පීඩාවට පත්කළ ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් යෝජනා කර තිබෙන්නේ, ක්ෂුද්‍ර මූල්‍ය ණය වලින් ගොවීන් මුදවා ගැනීමට අවම පොලී අනුපාත සරල ණය ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගන්නා බවයි.
ධීවර කාන්තාවන් කේන්ද්‍රකරගත් ධීවර කර්මාන්තය ආශ්රිත ගෘහස්ත කර්මාන්ත හඳුන්වාදීමේ වැඩසටහනක් ධීවර නිෂ්පාදන සමූපකාර හරහා ක්‍රියාත්මක කෙරෙන බවට යෝජනා කර තිබේ
ප්‍රතිපත්ති ප්රකාශනයේ 10 වන කොටසේදී ‘ගැමි ලියට රටේ සවිය‘ යන තේමාවෙන් යුතුව දක්වන්නේ ග්‍රාමීය කාන්තාවන්ගේ ශ්රමයට නිසි වටිනාකමක් ලබාදීම අත්‍යවශ්‍ය බවයි.
අනුර කුමාර දිසානායක
අසමානතාවෙන් යුතු සමාජය ප්‍රතික්ෂේප කර සියලුදෙනාට සමානාත්මතාව තහවුරු වූ, හිංසනයෙන් හා පීඩාවන්ගෙන් තොරව ජීවත්විය හැකි සමාජයක් ඇතිකිරීමට ස්ත්‍රී සහභාගීත්වය තහවුරු කිරීමට කටයුතු කළයුතු බව දක්වයි. (පිටුව 44)
මේ යටතේ අරමුණු ලෙස දක්වා තිබෙන්නේ,
- අවදානම් සහගත ආර්ථික කණ්ඩායම් හා අවිධිමත් ආර්ථික ක්ෂේත්රය මත පදනම් වූ ආර්ථිකයකට තිරසාර විසඳුම් ලබාදීම
- ශ්‍රම බලකායට ස්ත්‍රී දායකත්වය ලබාගැනීමට පවතින බාධා ඉවත් කිරීමට හා ප්‍රජනන කාර්යයන් හා සම්බන්ධ භූමිකා සමාජ වගකීමක් ලෙස සලකා ඒ අනුව එම භූමිකා පවත්වාගෙන යාමට පහසුකම් සැලසීම
- රැකියාවන්ට විදෙස්ගත වීමේදී එම ශ්‍රමිකයන්ට අදාළ පුහුණුව විදේශගත වීමට පෙර ලබාදීම හා රටට විදේශ විනිමය සපයා දෙන පිරිස ලෙස ඔවුන්ට හා ඔවුන්ගේ පවුල් වලට අවශ්‍ය රැකවරණය හා පහසුකම් සැලසීමේ ක්‍රමවේද සැකසීම
- ස්ත්‍රී සිරුර හා දරුවන් හදාවඩා ගැනීම ගැන අයිතිය ස්ත්‍රිය සතු අයිතියක් ලෙස පිළිගෙන ඒ අනුව අදාළ නීති සංශෝධනය කිරීම
- විවාහ හා දික්කසාද නීති පුද්ගල අයිතිවාසිකම් තහවුරු වන අයුරින් සංශෝධනය කිරීම
- නීති පද්ධතිය යොදාගෙන සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමට විරුද්ධ වීම
- දෑවැද්ද, කාන්තා හා පිරිමි ලිංගේන්ද්‍ර අංග ඡේදනය වැනි පාරම්පරික පරිචයන් නිසා පීඩාවට සහ හිංසනයට ලක්වීම නැවැත්වීම සඳහා නීති සකස් කිරීම
- ලිංගික අපයෝජන සම්බන්ධව පවතින පුනරුත්ථාපන හා ආරක්ෂණ සේවාවන්හි අඩු ලුහුඬුතා ඉවත් කර කාර්යක්ෂම ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම
- ලිංගික දිශානතිය සහ සමාජභාවී අනන්‍යතාව අපරාධකරණයට ලක්කරන නීති ප්‍රතිශෝධනය කිරීම සහ තෝරාගත් රැකියාව කුමක් වුවත් එයට අවශ්‍ය සමාජ රැකවරණය සැලසීම
- අයාල ආඥා පනත අහෝසි කිරීම
- ස්ත්‍රී ගෘහමූලිකයන්ගේ ඉඩම් අයිතිය තහවුරු වන ලෙස නීති සංශෝධනය කිරීම
- ළමයින් යනු වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු ලෙස සලකමින් ඒ අනුව නීති සම්පාදනය
- ස්ත්රීන්ගේ දේශපාලනික නියෝජනය, සහභාගීත්වය හා භූමිකාව මූලප්රවාහයේ සාකච්ඡාවට ලක්කිරීමට දේශපාලනික සහයෝගය ලබාදීම
- ස්ත්‍රීන් දේශපාලන පක්ෂ තුළ තීරණ ගැනීමේ භූමිකාවන්ට අවතීර්ණ කරගැනීමට දේශපාලන පක්ෂ තුළ සක්‍රිය ක්‍රමවේද සකස් කිරීම
- ප්රචණ්ඩත්වය හා හිංසනය ප්රමුඛ කරගත් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමෙන් ස්ත්‍රිය දේශපාලනිකව ප්රවාහයට ඇද ගැනීමට සහාය වීම
- සියලු මැතිවරණ වලදී කාන්තා අපේක්ෂකයන්ට 50%ක කෝටාවක් ක්‍රියාත්මක කිරීම
- රටේ ප්‍රධාන තීන්දු හා තීරණ ගන්නා ආයතන තුළ කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම
- ආයතනගත හිංසන ව්‍යුහයන් ඇතුළුව සියලු ආකාරයේ හිංසනයන්ට විරුද්ධ වීම හා ලිංගික හිංසනය, ගෘහස්ථ හිංසනය, නවක වධය, සේවා ස්ථානයේදී හා ප්‍රවාහනයේදී සිදුවන හිංසනයන්ට එරෙහිව නීති යාවත්කාලීන කිරීම
- අධ්‍යාපනය, ආගම්, ජනමාධ්‍ය ආදී විවිධ ආයතන විසින් ප්රතිනිෂ්පාදනය කොට පවත්වාගෙන යනු ලබන ස්ත්‍රී පුරුෂභාවය ගැන ඒකාකෘතීන්ගේ අගතිගාමී ස්වරූපයන්ට එරෙහි වීම සහ විකල්ප මතවාද ගොඩනැංවීම හා ස්ත්‍රීන්, පුරුෂයන් විසින් කරපින්නාගෙන යනු ලබන අගතිගාමී හා ගතානුගතික විශ්වාස, ආකල්ප හා මිථ්‍යා මතයන්හි වාහකයන් වැළැක්වීමට අවශ්‍ය මැදිහත්වීම් සිදුකිරීම
- උත්සන්න වෙමින් පවතින ආගමික හා වාර්ගික ජාතිවාදයන් පරාජය කිරීමට විවිධ ජනවර්ග අතර අවබෝධය වර්ධන වන වැඩපිළිවෙලක් සැකසීම හා එවැනි ප්‍රවණාවන්ට විරුද්ධ වන ස්ත්‍රීන් බලගැන්වීම
‘යෞවනත්වය හා සමාජ ප්රගමනය’ යන ශීර්ෂයෙන් යුතුව දක්වන්නේ,
- දෑවැදි ක්‍රමය තහනම් කිරීම හා දරුවන් වැදීම පිළිබඳ තීරණ ගැනීමේ පූර්ණ අයිතිය කාන්තාව සතු කිරීම
- ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව පිළිබඳ මතවාද මූලප්රවාහීකරණය කිරීම හා යල් පැන ගිය යටත්විජිත නීති අහෝසි කිරීම
‘දුප්පත්කම තුරන් කිරීම’ ට ගන්නා පියවර අතර දක්වා තිබෙන්නේ දළ වශයෙන් කාන්තාවන් 2,400,000 ක් ඇතුළු 2,800,000ක පමණ පිරිසක් ණය ලබාගෙන ඇති 190 දෙනෙකු පමණ සියදිවි හානිකරගෙන ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ජනතාව මුදවා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.
‘රැකීරක්ෂා හා ශ්‍රම වෙළඳපොල’ යන තේමාවෙන් යුතුව දක්වන්නේ, කාන්තාවන්ට විධායක හා කළමනාකරණ ක්ෂේත්‍ර වල ඵලදායී ලෙස රැකියාවේ නියැලීමට ඇති බාධා ඉවත්කොට ඔවුන්ගේ සේවය ඵලදායී ලෙස ආර්ථිකයට ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම හා දිරි ගැන්වීම.
‘කාන්තා, වැඩිහිටි හා ආබාධ සහිත මගීන්ගේ ආරක්ෂාව හා යටිතල පහසුකම්’ යන ශීර්ෂයෙන් යුුතුව (පිටුව 89) තුල දක්වන්නේ,
- කාන්තාවන්ට ආරක්ෂිතව හා ගෞරවාන්විතව පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කිරීමේ ඇති අයිතිය පිළිගනිමින් පොදු ප්‍රවාහන සේවාවන්හිදී ඔවුන් මුහුණ දෙන විවිධ අතවර වෙනුවෙන් මැදිහත් වන විශේෂ ඒකකයක් හඳුන්වා දීම
- ප්‍රවාහන සේවාවන්වලදී මුහුණ දෙන හිංසන හා ගැටළු ක්ෂණිකව දැනුවත් කිරීමට යෙදවුම් මෘදුකාංගයක් හඳුන්වා දීම
- දුර ගමන් වලදී කාන්තාවන් මුහුණ දෙන ගැටළු වන පිරිසිදු වැසිකිළි පහසුකම් හා පිරිසිදු ආහාර සපයන සේවාවන් නොමැතිකමට විසඳුම් ලෙස අදාළ පහසුකම් ඇති කිරීම ආදිය ගැන දක්වා තිබේ.
අධිකරණ යන ක්ෂේත්රය (පිටුව 95) යටතේ ස්ත්‍රී දූෂණ, බලා අපරාධ ආදී විවිධ නඩු වර්ග අනුව විසඳීමට ගතවන කාලය අවම කිරීමට අවශ්‍ය නීතිමය සංශෝධන ගෙනඒමට පියවර ගන්නා බව දක්වා තිබේ
රාජ්‍ය පරිපාලනය (පිටුව 96) යටතේ සේවා නියුක්ත මව්වරුන්ගේ බාල වයස් දරුවන්ට දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම,
- ස්ත්‍රීන් හා මව්වරුන්ගේ අයිතිවාසිකම් – අවශ්‍යතා කෙරෙහි මූලිකත්වය ලබාදෙන වඩා නම්‍යශීලී හා විනිවිද පෙනෙන ආකාරයේ ස්ථාන මාරු ප්‍රතිපත්තියක් සකස් කිරීම
- ස්ත්‍රීන් හා දරුවන් සිටින මව්වරුන්ට නිවසේ හිඳ රාජකාරි ඉටු කිරීමට හැකි රාජ්‍ය සේවයේ හඳුනාගත් කාර්යයන් නිවසේ සිට ඉටු කිරීමට හැකිවන ක්‍රමවේදයක් සැකසීම
- ස්ත්රීන්ට මසකට දිනක ඔසප් නිවාඩුවක් ලබාදීම
- රජයේ නිළධාරිනියන් ළමුන් හදාවඩා ගැනීමේදී දරුවාගේ වයස් මට්ටම සැලකිල්ලට ගනිමින් ප්‍රසූත නිවාඩු හා සමාන ක්‍රමවේදයක් හඳුන්වා දීම
‘සමරිසි ප්‍රජාව‘ (පිටුව 50) යන ශීර්ෂයෙන් දක්වන්නේ මෙම ජන කොටස් වල ජීවවිද්‍යාත්මක වෙනස්කම් පිළිගනිමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් ප්‍රධාන සමාජ ප්‍රවාහය තුළ ආන්තීකරණයට ලක්වීමට ඉඩ නොදී කටයුතු කිරීමත් අත්‍යවශ්‍ය බවයි. මේ වෙනුවෙන් සිදුකිරීමට නියමිත නීතිමය වෙනස්කම් ගැන දක්වා තිබෙනේනේ මෙලෙසිනි,
- ඒ අනුව, දණ්ඩ නීති සංග්‍රහයේ 365 හා 365 A වගන්ති සමරිසි ප්‍රජාවට අදාළ නොවන පරිදි සංශෝධනය කර ඒවා වැඩිහිටි තැනැත්තන් අතර ස්වකැමැත්තෙන් පෞද්ගලික අවකාශයේ සිදුවන ලිංගික ක්‍රියාවන් සේ පිළිගන්නා බව දක්වා තිබේ.
- සමරිසි ප්‍රජාව වෙනස් කොට සලකා අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන දඬුවම් පැනවීම වැළැක්වීමට අදාළ ආඥා පනත සංශෝධනය කිරීම
- නීතිය ඉදිරියේ ඔවුන්ට සමාන සැලකුම් ලබාදීම, ඔවුන්ට සුවිශේෂී වූ අයිතීන් හඳුනාගෙන බලාත්මක කිරීම
- මෙම ප්‍රජාව සම්බන්ධයෙන් සිදුකෙරෙන වෛරී ප්‍රකාශන හා ප්රචණ්ඩත්වය වැළැක්වීමට විශේෂ පනතක් සම්මත කිරීම
- සමරිසි ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට හා එම ප්‍රජාවගේ දුක් ගැනවිලි ආමන්ත්‍රණය කළ හැකි නිසි බලය ලත් ලේකම් කාර්යාලයක් පිහිටුවීම
මෙරට දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තියේ ‘අස්වාභාවික වැරදි’ යටතේ දක්වා තිබෙන්නේ
- ‘(365) ස්වභාව ධර්මයට විරුද්ධව ස්ත්‍රියක, පුරුෂයකු හෝ සතෙකු සමග කාමුක සංසර්ගයේ යෙදෙන (එනම් මුඛ සංසර්ගය හෝ ගුද සංසර්ගය සිදු කරන) පුද්ගලයෙකුට අවුරුදු 10 දක්වා සිර දඩුවම් ලබා දිය යුතුය.
- (365 අ) ප්‍රසිද්ධියේ හෝ අප්රසිද්ධියේ වෙනත් පුද්ගලයකු සමග බරපතල අශෝභන ක්‍රියා (සමලිංගික ලිංගික ක්‍රියා සහ බරපතල ලෙස අශෝභන යැයි ඕනෑම ලිංගික ක්‍රියාවක්) සිදු කරන, එබඳු ක්‍රියාවකට පාර්ශ්වකරුවන් වන, හෝ එසේ කරවීමට තැත් කරන පුද්ගලයකුට අවරුදු දෙක දක්වා බරපතල සිර දඩුවම් ලබා දිය යුතුය.‘ යන්නයි.
2020 ජනාධිපතිවරණ අපේක්ෂකයින් වෙත ලිංගික ශ්‍රමිකයින් සිය අයිතිවාසිකම් තහවුරු කිරීමට ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කර තිබේ. අභිමානී කාන්තා එකමුතුව, ප්‍රජා දිරිය පදනම, ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ලංකා, ලිංගික අයිතිවාසිකම් සුරැකීමේ මධ්‍යස්ථානය, මානව විමුක්තිය උදෙසා සංවර්ධනය, ශ්‍රම අභිමානී කේන්ද්‍රය, සාධාරණය උදෙසා පොදු කම්කරු හඬ, මානව විමුක්තිය උදෙසා සංවර්ධනය මෙම ඉල්ලීම් ඉදිරිපත් කර ඇති සංවිධාන අතරට අයත්ය.
මොවුන් ඉල්ලා සිටින ඉල්ලීම් වන්නේ,
- ලිංගික ශ්‍රමිකයින් සඳහා නෛතික පිළිගැනීමක්
- ලංකාව තුළ දැනට ක්‍රියාත්මක නීතියක් වන අයාලයේ යෑමේ පනත ඉවත් කිරීම
- දැනටමත් ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇති එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි සියළු ආකාරයේ වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ සම්මුතියෙහි (CEDOW) ප්‍රතිපාදන ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම
- සංක්‍රාන්ති ලිංගික තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිගැනීම ආදියයි.
මීට අමතරව ජනාධිපතිවරණයට තරග කරන පිරිස වෙත ‘52% ක බලය’ යෝජනා පෙළක් ඉදිරිපත් කර තිබේ.
මෙරට ජනගහනයෙන් 52% ක් හා ඡන්ද දායකයින්ගෙන් 56% ක් වන කාන්තාවන් මෙවර ජනාධිපතිවරණයේදී තීරණාත්මක සාධකයක් වන බවත් විදේශ විනිමයට ද සුවිශේෂී දායකත්වයක් දරන මේ පිරිස ස්ත්රීන්ගේ අභිවෘද්ධිය හා ගරුත්වය ආරක්ෂා කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනා අතරින් කීපයක් මෙහිලා දැක්වේ.
- පළාත් සභා හා පාර්ලිමේන්තුව තුළ ස්ත්‍රී නියෝජනය 33% ක පංගු ක්‍රමයක් දක්වා වැඩි කිරීමට මැතිවරණ පනත සංශෝධනය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විශේෂ විධිවිධාන යෙදීම
- අයවැයෙන් ස්ත්රීන්ගේ අභිවෘද්ධියට ප්‍රතිපාදන ප්‍රමාණාත්මකව වැඩි කිරීම
- විදේශ සංක්‍රමණික සේවය, ඇගලුම්, වතු, ගොවි, ධීවර, වැටුප් නොලබන සුරැකුම් වැඩ හා වෙනත් ක්ෂේත්‍ර වල නියුතු සෑම ස්ත්‍රියක්ම කිසිදු වෙනස්කමකට ලක් නොකර පිළිගැනීමක් හිමිකරදීම, ස්ත්රීන්ට සමාන වැටුප් ලබාදීම, ඔවුන්ට විශ්‍රාම වැටුපක් හා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම
- විදෙස්ගත සංක්‍රමණිකයින්ට ඡන්දය පාවිච්චියට අවස්ථාව ලබාදීම
- CEDAW කාන්තා ප්රඥප්තිය නීතියක් බවට පත්කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීම, ස්ත්‍රී කොමිසමක් ස්ථාපිත කිරීම
- වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප පෞද්ගලික අංශයට ලබාදීමට නීති සම්පාදනය
- විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම ආදිය එහිලා මූලික වේ
ජනාධිපති අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අතර වඩාත් කතාබහට ලක්වී තිබෙන ජනප්‍රිය මාතෘකාවන් වූවේ,
- විශේෂයෙන්ම, ග්‍රාමීය මට්ටමේ කාන්තාවන් ලබාගෙන තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහැරීම
- සජිත් ප්‍රේමදාස විසින් යෝජනා කළ සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම
- සමරිසි ප්රජාවන්ගේ අයිතීන් තහවුරු කිරීමට අනුර කුමාර දිසානායක විසින් ලබාදී තිබෙන ප්‍රතිපත්ති ආදියයි.
ජනාධිපතිවරණ වේදිකාව තුළදී සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම කාලෝචිත කටයුත්තක්දැයි යන්න ගැන සජිත් ප්‍රේමදාසගෙන් විමසන මට්ටමට මෙන්ම එම ප්‍රතිපත්තිය යොදාගනිමින් ඔහුව හාස්‍යයට ලක්කිරීම ද ප්රබලව සිදුවිය. අවසානයේදී, සැබෑ ‘පෑඩ් මෑන්‘ වන ඉන්දීය ජාතික අරුණාචලම් මුරුගනාදම් පසුගියදා (2) සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සජිත් ප්‍රේමදාසව අගය කළේය.
මේ ගැන අරුණාචලම් පැවසුවේ,
”ලොව පුරා සිටින නායකයින් කාන්තාවන්ගේ ඔසප් සනීපාරක්ෂාවේ වැදගත්කම මනාව වටහාගෙන තිබීම හොඳ වෙනසකි. මෙවැනි නායකයින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ මේ වෙනුවෙන් වූ විවිධ මුල පිරීම් නිවේදනය කරයි.
මෑතකදී ලංකාවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දැරිය හැකි ඔසප් සනීපාරක්ෂාව ගැන දැනුවත් කිරීමේ වැදගත්කම ගැන හඬ අවදි කළේය. ඔහු එරට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමතිවරයා වේ. තමන්ව ‘පෑඩ් මෑන්‘ ලෙස හැඳින්වීම ගැන ඔහු සතුටු වන අතර කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීම ඔහුගේ මැතිවරණ පොරොන්දුවකි.
මේ ජාතික නායකයින් ඔසප් සනීපාරක්ෂාව ගැන හඬ අවදි කරන නියෝජිතයන් වීමට කාලයයි. දැන් බංග්ලාදේශය තුළ ද සරණාගත කාන්තාවන් හා ගැහුණු දැරිවියන් උදෙසා ඔසප් සමයේ සනීපාරක්ෂාව ගැන දැනුවත් කිරීමට පෙළඹී තිබේ”
බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂිකා ආචාර්ය අජන්තා පෙරේරා පවසන්නේ,
“කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සම්බන්ධ කාරණය තිබුණේ මගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ. අන්තර්ජාලය ඔස්සේ මගේ ප්‍රතිපත්ති ප්රකාශනය මම එළිදක්වුවේ දැන් සති හතරකට විතර කලින්. කාන්තාවක් විදියට මම ඒ ගැන කතා කළා. අම්ම කෙනෙක් මේ දේවල් ගැන කතා කිරීම ප්‍රශ්නයක් නෑ. නමුත් මම හිතන්නේ වෙනත් පාර්ශ්වයක් මේ දේවල් ගැන කතා කළොත් ඒකෙන් සමාජයට පහරක් වදිනවා. අපිට ඕනේ, කෙනෙක්ගෙන් ගරුත්වය, ආදරය ලබාගන්න. නමුත් ඒක වේදිකාවක කතා කරලා විහිළුවට ලක්වෙන්න පුළුවන් බව දැන දැන ඒ ගැන කතා කරනවා කියන්නේ මම හිතනවා අනුවණ කමක් කියල.”
මේ පිළිබද සජිති ප්‍රේමදාස පැවසුවේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් තමන් දිගට පෙනී සිටින බවත් ඒ සදහා පැඩ්මෑන් ලේබලය සතුටින් බාර ගන්නා බවත්ය.
ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ දැක්වෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 හා 365 A වගන්ති සමරිසි ප්‍රජාවට අදාළ නොවන පරිදි සංශෝධනය කර ඒවා වැඩිහිටි තැනැත්තන් අතර ස්වකැමැත්තෙන් පෞද්ගලික අවකාශයේ සිදුවන ලිංගික ක්‍රියාවන් සේ පිළිගන්නා බවයි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ කාන්තා ප්රඥප්තිය ඇතුළු කාන්තාවන්ට අතිශයින් වැදගත් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වූ ලිහිණි ප්‍රනාන්දුගෙන් අප විමසා සිටියේ, මෙම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ වැඩපිළිවෙල කුමක්ද ? යන්නයි.
‘‘ජනාධිපතිවරණයේදී ප්‍රධාන කඳවුරු දෙකක් පැහැදිලිව දැකගන්න පුළුවන්. මෙහිදී කාන්තා ප්රඥප්තිය තුළින් යෝජනා වී තිබෙන කරුණු කාන්තා කමිෂන් සභාව හරහා ක්‍රියාවට නැංවෙනු ඇති. 1994 දී ඉඳන් මේ කරුණු වරින්වර සාකච්ඡාවට ලක්වුණා. CEDAW කාන්තා ප්රඥප්තිය තුළින් ලංකාව මේවා ක්‍රියාත්මක කරන්න දක්වන කැපවීම ගැන කලින් කලට සොයා බලනවා. කාන්තාවන්ගේ කෝටාව 25% කට ගෙනඒම පවා සිදුවුණේ මේ හරහා. කාන්තා අයිතීන් ගැන කතාකරන්න අපේ සමාජය පෙළඹිලා නැහැ. ජනාධිපතිවරණ අපේක්ෂකයෝ ගත්තත් මේ ගැන සුවිශේෂී අවධානයක් යොමුකරන්නේ නැහැ. කාන්තාවන්ට කාන්තා පක්ෂයක් තියෙන්න ඕන. ඒ හා සම්බන්ධ නීති, සමානාත්මතාවය, කාන්තා අයිතීන් අනිවාර්යයෙන්ම තහවුරු වෙන්න ඕන”
ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සමරිසි අයිතීන් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වූ වරදාස් ත්‍යාගරාජ් පැවසූ අදහස්.
‘‘සාමාන්‍යයෙන්, ප්‍රතිපත්ති ප්‍රකාශයක් ක්‍රියාත්මක වෙන්න නම් දිනන්න ඕන. දැනට තියෙන ක්‍රමය තුළ දණ්ඩ නීති සංග්‍රහයේ 365 හා 365 A වගන්ති සමරිසි ප්‍රජාවට අදාළ නොවන පරිදි සංශෝධනය කිරීමේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති අතර තියෙනවා. මෙහිදී පාර්ලිමේන්තුවේ බහුතරය මීට හිමිවෙන්න ඕන. මහලේකම් කාර්යාලය හරහා මෙය ක්‍රියාත්මක වෙන්න ඕන. මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න සමරිසි ප්‍රජාවගේ ජන වරම හිමිවෙනවා. ජනතාවගෙන් වරමක් ඉල්ලන්නේ, බලය ලැබුණොත් එහෙම තමයි කෙරෙන්නේ. කොහොමත් මැතිවරණයෙන් එහාට ගිහිං කටයුතු කිරීම සිදුවෙනවා. ඡන්දය දිනුවත් නැතත් මේ වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමේ වාතාවරණයක් තියෙනවා”
කෙසේ වුවත් මේ ප්‍රතිපත්ති සියල්ලේම පවතින විෂම ලිංගික රාමුව විවේචනය නොකර බැහැ. කාන්තාවන් සම්බන්ධ කොටසට දරුවන් ඇතුළු කිරීමෙන් මේ සියළු ප්‍රතිපත්ති අනුමාන කරන්නේ කාන්තාවක් නම් එතැන් දරුවෙක්ද සිටින බවයි. දරුවෙක් නැති කාන්තාවන් ගේ අගය දරුවන් ඇති කාන්තාන්ට වඩා වැඩි බවයි. සජිත් ප්‍රේමදාසගේ සතුටු පවුල සංකල්පය සහ ගෝඨාභය රාජපක්ෂගේ ඵලදායී පුරවැසියෙක් හා සතුටින් ජීවත්වන පවුලක් සංකල්පය මෙන්ම අනුර කුමාරගේ ස්ත්‍රී ගෘහ මූලිකත්වය පිළිබද ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්තිය ආදී බෙහෝ කොටස් රාජ්‍ය අනුග්‍රහය ලබන විෂම ලිංගික පවුලට සුවිශේෂී ස්ථානයක් ලබා දී තිබේ.
ගබ්සාව වැනි කාන්තාවන්ට සුවිශේෂීව බලපාන කරුණ පිළිබද සටහනක් හෝ ඉදිරිපත් කරනනේ ජාතික ජන බලවේගය පමණි. නමුත් ජාතික ජන බලවේගයට ජනාධිපතිවරණය ජයගැනීමේ හැකියාවක් නැත. ඒ නිසා සැබෑ පරීක්ෂණය වන්නේ මීලග මහා මැතිවරණයේදී මේ කුමන ප්‍රතිපත්ති ඉතිරිපත් කරනවාද යන්නයි.
මේ සන්ධර්භය තුළ, පවුලෙන් ඔබ්බට යන කාන්තා දේශපාලනය කතිකාවක් මේ කිසිදු පුරුෂ මූලික පක්ෂයක් තුළ ඇති විය හැකිද යන්න බරපතල ගැටළුවක් වන අතර පොදුවේ මානව අයිතිවාසිකම් පිළිබද මැකිවරණ වලින් ඔබ්බට යන සාකච්ඡාවක් ඇති විය යුතුව ඇත.
වින්ද්‍යා ගම්ලත් බකමූණෝ වෙනුවෙන්
