2019 සැප්තැම්බර් 26.
“ කුඹුරෙ නියර රහින තැන ඉදල ගොයම් කපල, පාගල , වී ගෙට ගන්න තුරු තියන වැඩ ඔක්කොම පිරිමි සමග හරි හරියට කාන්තාවොත් කරනව. පැළ සිටවීම,වල් නෙළීම, ගොයම් කැපීම,කොළ එකතු කිරීම, බැත ගෝනි වලට දැමීම මේ සියලු වැඩ එයට ඇතුලත්“
මෙසේ පැවසුවේ නැගෙනහිර එක්සත් කාන්තා සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන තුෂාරි සංජීවනී මහත්මියයි. ඇය දෙදරු මවකි. වයස අවුරුදු 48 කි. ඇගේ පවුලේ ආදායම් මාර්ග වන්නේ වී ගොවිතැන හා කිරිහරකුන් ඇති කිරීමයි. නිවසේ වැඩත්, කුඹුරු වැඩත් කරන ඇය ඉඩ ලද සෑම අවස්ථාවක දීම කාන්තා සංවිධානයේ වැඩ කරයි.
තුෂාරි පවසන ආකාරයට කාන්තාවන් පිරිමින් හා සම සමව වැඩ කළත් කාන්තාවන්ට ලැබෙන වැටුප් හා සැලකිල්ල පිරිමින්ට වඩා අඩුය කාන්තාවන්ට දිනක වැටුප වශයෙන් රු 1000.00 හෝ රු. 1200.00 ක් ලැබෙන විට පිරිමින්ට රු. 1500.00 ක් ගෙවයි. උදේ සවස තේ සහ දිවා ආහාරය හැමෝටම ලැබේ. පිරිමි වැඩ කරන්නේ නම් තේ සමග පාන්, බනිස් වැනි කෑමක් දෙයි. කාන්තාවන් පමණක් වැඩ කරනවානම් තේ පමණක් හෝ අග්ගලාවක් වැනි සුලු කෑමක් ලබා දෙයි. පිරිමි බීඩි බොන්න, බුලත්විට කන්න විවේක ගන්නා අතර, කාන්තාවන් දිගටම වැඩෙහි නිරත වෙයි. ඒ අනුව කාන්තාවන්ට වැටුප අඩුවෙන් ගෙවනවාට අමතරව ඔවුන් වැඩියෙන් වැඩත් කර අඩුවෙන් සැලකිලිත් ලබයි.
මේ ප්රශ්නය සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියා මාර්ග ගැන විමසූ විට ඇය පවසා සිටියේ කුඹුරු හිමියන් සමග මේ ගැන කතා කරන්නට ගියොත් වැඩ නොදී ඉන්න නිසා ඒ බයට කවුරුත් කතා නොකරන බවයි.
ලංකාවේ කෘෂි කර්මය තුළ කාන්තාවන්ට අසමාන වැටුප් ගෙවීමට අමතරව තවත් ගැටලු ගණනාවක් පවතී.ගෝලීය උණුසුම නිසා ඇතිවන දේශගුණික විපර්යාස කෘෂි කර්මය කෙරෙහි විශේෂයෙන් බලපායි.වගාවන්ට වැළදෙන කෘමි උවදුරු මර්දනය කිරීම සදහා කෘමි නාශක යෙදීම නිසා ඇති වන සෞඛ්‍ය හා ශාරීරික ගැටලු වලින් මිදිය නොහැකි තත්වයක් උද්ගත වී තිබේ.එමෙන්ම ග්‍රාමීය ණය ගැති භාවය, කෘෂි නිෂ්පාදන වල මිල අඩු වීම, යන්ත්‍ර සූත්‍ර භාවිතය සදහා ගෙවිය යුතු මිල අධික වීම ආදී වශයෙන් පොදුවේ කෘෂි කර්මය මුහුණ පාන ගැටලු ගණනාවක් ඇත.
ප්‍රධාන වශයෙන් ලංකාවේ කෘෂි කර්මය ආශ්රිත රැකියා හා වෙනත් රැකියා සදහා කාන්තාවන්ට හා පිරිමින්ට ගෙවන ගැටුප් පිළිබද විවිධ ප්‍රදේශ වලින් සපයා ගත් තොරතුරු පහත දැක්වේ.
| ප්‍රදේශය | කාර්යයන්හි ස්වභාවය | කාන්තා | පිරිමි |
| කුරුණෑගල දිස්ත්‍රික්කය(ඉබ්බාගමුව,දොඩම්ගස්ලන්ද, මඩහපොල, වාරියපොල) | ඉගුරු වගාව,ගොයම් කැපීම, පොල් වතු සුද්ධ කිරීම,ගම්මිරිස් වගාව,අන්නාසි වගාව, එළවලු වගාව, කුලී වැඩ. | රු.800
රු.800 |
රු. 1500
රු.1200 |
| පොල්වතු සුද්ධ කිරීම, පොහොර දැමීම. |
රු.800 |
රු.1300 |
|
| හෝටල් වේටර්වරු | රු.700 | රු.1200 | |
| කොහුබත් පැකට් කිරීම | රු.670 | රු.1000 | |
| ඇගලුම් කර්මාන්තය | රු.650 | රු.1000 | |
| පොළොන්නරුව දිස්ත්‍රික්කය | ගොයම් කැපීම, වල් පැළ නෙලීම, පැළ සිටවීම, නියර කෙටීම | රු.1000
රු.800 |
රු.1500
රු.1000 |
| කන්තලේ | ගොයම් කැපීම, නියර කෙටීම,කොළ එකතු කිරීම
|
රු.1000
රු.1200 |
රු.1500
රු.1500 |
| කටුනායක | කර්මාන්ත ශාලා කම්කරු | රු.1000
රු.800 |
රු.1200
රු.1000 |
| ගාල්ල | උදලු ගෑම, රබර් කිරි කැපීම,ගොයම් කැපීම |
රු.1000
රු.750 |
රු.1500
රු.1000 |
|
මොණරාගල |
ඉරිඹු කැඩීම, හේන් සුද්ධ කිරීම, ගොයම් කැපීම,කොළ එකතු කිරීම, නියර සුද්ධ කිරීම | රු.1200 | රු.1500 |
|
මන්නාරම |
|
||
|
කොළඹ |
නිවාස පිරිසිදු කිරීම
|
රු.800 | රු.2000 |
වැටුප් ගෙවන ආකාරය සහ සේවා තත්වය අනුව ශ්‍රී ලංකාවේ රැකියා නියුක්තිය තුළ ක්ෂේත්‍ර දෙකක් පෙන්වා දිය හැකිය.පළමුවැන්න විධිමත් රැකියා ක්ෂේත්රයයි. රජයේ, දෙපාර්තමේන්තු, සංස්ථා, සමාගම් මෙයට අයත් වේ.මේවායෙහි කාන්තාවන්ට සහ පිරිමින්ට සමාන වැටුප් ගෙවයි.එහෙත් කාන්තාවන් ලබන ආදායම පිරිමින් ලබන ආදායමට වඩා අඩු බව කිවහැකිය.එය එක්තරා අන්දමකින් සංකීර්ණ තත්වයකි. මනා ශරීර සෞඛ්‍යය, පුහුණුව, අත්දැකීම්, පෞරුෂය, කාලය කැප කිරීමේ හැකියාව වැනි සුදුසුකම් ඉහළ වැටුප් ලබන රැකියා සදහා අවශ්‍යය.මෙවැනි සුදුසුකම් පහසුවෙන් ලබා ගත හැකි කණ්ඩායම වන්නේ පිරිමින්ය. කාන්තාවන් රැකියා කරන අතරම ගෙදර දොර වැඩ වල වගකීම දැරීම, දරුවන් බලා ගැනීම නිසා එවැනි සුදුසුකම් සපුරා ලීම අපහසුය. එමෙන්ම දරුවන් ලැබීම ආශ්රිත සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දීමත්, පුහුණු සහ අධ්‍යාපනය සදහා කාලය කැප කිරීමට නොහැකි වීමත් නිසා කාන්තාවන්ට ඉහළ වැටුප් තල කරා යාමට නොහැකි වී ඇත.
දෙවැන්න, අවිධිමත් කේෂ්ත්රයයි. අවිධිමත් ශ්‍රමය සදහා ගෙවන්නේ අවම වැටුප්ය.රැකියා සුරක්ෂිතභාවයක් නොමැත.අදාල නීතියක් හෝ අර්ථ සාධක ක්‍රමයක් නොමැත.යහපත් සේවා තත්වයක් නොමැත.සියල්ල තීරණය වන්නේ සේවා යෝජකයාගේ කැමැත්ත පරිදිය. වැටුප් අතර ඇති අසමානතාවයට අමතරව කාන්තාවන්ට හා පිරිමින්ට සැලකීමේ අසමානතාවයන් මේ ක්ෂේත්රය තුළ තව දුරටත් වැඩි වෙයි.
2018 දෙසැම්බර් 17 වන දින ලෝක ආර්ථික සම්මේලනය විසින් නිකුත් කර ඇති වාර්තාවක ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය සම්බන්ධයෙන් රටවල් 149ක් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයේ පවතින බව දැක්වේ.
මෙම තත්වය වෙනස් කළ හැකිවන්නේ ප්‍රධාන වශයෙන් කාන්තාවන් දේශපාලනයට සහ පරිපාලනයට සම්බන්ධ වීමෙනි.කාන්තා අයිතිවාසිකම් අරභයා වැඩ කරන කාන්තා සංවිධාන එකතු වී හඩක් නැගීමද කළ යුතුවේ.කාන්තා, පිරිමි ශ්‍රමිකයන් සියලු දෙනා තම හාම්පුතුන් සමග කේවල් කිරීමට යා යුතුය.මන්ද, කාන්තාවන්ට අඩුවෙන් වැටුප් ගෙවීම නිසා සිදුවන්නේ පවුලේ ආදායම අඩු වීමයි.එනයින් කාන්තාවක් සදහා වැටුප් වැඩි කර ගැනීම පවුලේ සටනක් වීම අත්‍යවශ්‍යය.
(ඒ ඒ ප්‍රදේශවල වැටුප් පිළිබද තොරතුරු ලබා දුන් සැමට ස්තූතිය)
ඊ.එම්.බී මැණිකේ
