සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම මගින් පුරුෂ ආක්‍රමණශීලීත්වය බාල කිරීම

2019 මැයි 13.

තුෂාර මනෝජ් විසිනි. 

පසුගිය ඉරිදා දිනක (2019 මැයි 05) අරුණ පුවත්පතට තිලක් සේනාසිංහ යන මාධ්‍යවේදියා විසින් “බටහිර වීදි ඇඳුමෙන් මාර්කට් යන කුරුඳුවත්තේ අලුත් නෝනලා ” යනුවෙන් ලිපියක් ලියා තිබුණි. එමගින් ඔහු උත්සාහ කර තිබුණේ සාම්ප්‍රදායික ගැමි සංස්කෘතික ආකල්ප වලින් පිට පනින ගම්පහ කාන්තාවන්, කුරුඳුවත්තේ කාන්තාවන් ලෙස හැසිරෙන ආකාරය හුවා දැක්වීමයි. ඔහු ලිපිය ආරම්භයේදීම දක්වා ඇති ආකාරයට  “ගම්පහින් මතුවන කුරුඳුවත්තේ මහත්වරු ගැන කතා නොකොට කුරුඳුවත්තේ නෝනලා පිළිබඳව පමණක් විශේෂයෙන් කතා කරනුයේද කිසියම් සමාජමය නිරූපණයක දී පුරුෂ පක්ෂයට වඩා කාන්තා පක්ෂය පෙරටුවන බැවිනි. වත්මන් ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාවේදී ‘‘බුර්කාව’’ නම් කාන්තා ඇඳුම පෙරමුණට ඒම එක් නිදසුනකි.”   සමාජමය නිරූපණයකදී කාන්තාවන් සම්බන්ධව පුරුෂයින්ට වඩා සාකච්ඡා කළ යුතුවේ. එහෙත් මෙම සමාජ නිරූපණය කුමක්ද යන්න ඔහු අපට පහදා දෙන්නේ කාන්තාව ගර්හාවට හා සමච්චලයට ලක් කරවන ආකාරය පිළිබඳව විනා සමාජ නිරූපණයක් ගැන නොවේ.

IMG_1936

ගම්පහ ප්‍රදේශයේ කාන්තාවන් රූපලාවන්‍ය කෙරෙහි උනන්දු වීම ඔහුට අනුව ප්‍රශ්නයකි. යොවුන් වියේ කාන්තාවන් සම්බන්ධයෙන් මඳ බුරුලක් පෙන්වුවත් මැදි වියේ කාන්තාවන්ට රූපලාවන්‍ය කටයුතු තහනම්ය. එය නිවනට හෝ ස්වර්ගයට හෝ යාම පමා කිරීමක් විය හැකිය. බටහිර සංස්කෘතිය තුළ වීදි ඇඳුම් කියා වෙනමම දෙයක් තිබේ දැයි අප නොදන්නා නමුත්, ඔහුට අනුව සති අන්තයේ සුපිරි වෙළෙඳසැලවල් වලට ගොඩ වදින කාන්තාවන් අඳින්නේ එලෙසය. එය අපගේ සාරධර්ම වලට පටහැනිය. සුපිරු වෙළෙඳසැලට පැමිණි පසු මෙම කාන්තාවන් තම ඇඳුම් පැළඳුම් වලින් පමණක් නවීනත්වය ප්‍රදර්ශනය කිරීමෙන් සෑහීමට පත් වන්නේ නැත. ඔවුන් ඇස පැළඳි අව් කන්ණාඩි යුවළ හිස් පළඳනාවක් බවට පත් කර ගනී. ඒ නවීනත්වය චර්යාවෙන් ද පෙන්වීමටය.  ඉංග්‍රීසි දැනුම ඇති බව පෙන්වීම හා භාෂාව හසුරවන විලාසයෙහි ඇති ලාලසාව ඔහුට අනුව පට්ට පදිරි බටහිර සංස්කෘතික ලක්ෂණය.  අවසානයේ ඔහු කාන්තාවන්ගේ හැසිරීම, ඇඳුම් පැළඳුම් සියල්ල අධි පරිභෝජනවාදී සමාජයක විනාශයට හේතු ලෙස දක්වන ඔහු පරාභව සූත්‍රයටත් එහා ගිය ආකාරයෙන් කාන්තාව ඇතුළු සමස්ත සමාජයම බිමටම සමතලා කර දැමීමට තරම් පහත් ක්‍රියාවක් උපුටා දක්වන්නේ  “තවද රට පුරා ඉස්මතු වී තිබෙන නව නාගරික ඉහළ මධ්‍යම පාන්තිකයන්ගෙන් පිරිසක් මේ වන විට සාම්ප්‍රදායික ගැමි සංස්කෘතික ආකල්පවලින් කෙතරම් පිට පැන තිබේද? කිවහොත් රට පුරා සුපිරි වෙළෙඳසල්වලින් මිලට ගනු ලබන කාන්තා සනීපාරක්ෂක තුවා, පැකට්ටු ද එහි මුදල් අයකැමි ඉදිරියේ අවට සිටින සැමට පෙනෙන සේ තබා ඉන් පසු ඒවායේ වටිනාකම ද ක්‍රෙඩිට් කාඩ් මගින්ම ගෙවන අවස්ථා තිබේ”.යනුවෙනි.

තිලක් සේනාසිංහගේ ලිපිය ආරම්භයේ සිට අවසානය දක්වාම කියවන පාඨකයාට දැනුම සම්බන්ධයෙන් ගත හැකි කිසිවක් නොවූව ද, මාධ්‍ය භාවිතයේදී තවමත් පවතින පුරුෂාර්ථයන් මෙන්ම කාන්තාවන් පාලනය කිරීම මතු නොව  ඇය තැලීමට, පෙළීමට, හිංසාවට භාජනය කිරීමට අවශ්‍ය  ආයුධ හීන වෙමින් යන විට ඇතිවන ආවේගය ද කියා පායි. ඔසුසළකට ගොස් විළි බියෙන් තොරව උපත් පාලන කොපුවක් ගැනීමට නොහැකි බහුතර පිරිමින් ප්‍රමාණයක් සිටින රටක් තුළ, ලිංගිකත්වය සම්බන්ධයෙන්  තබා ලිංගික යන වචනය  පවා පැවසීම කකුල් වෙව්ළුම් කවන තරම් ලැජ්ජාවක්, අපරාධයක් කර ඇති රටක්  තුළ තිලක් සේනාසිංහ වැනි වියපත් මාධ්‍යවේදීන්ගේ මෙවැනි ලිවීම් සම්බන්ධව පුදුම විය යුතු නොවේ.  පාසල තුළදී මල්වර වූ ගැහැණු ළමයාට අපහාස කිරීමට ඇය බලහත්කාරයෙන් ජම්බු ගසට නග්ගවන, පාසල් වේලාවේදී මාස් ශුද්ධිය නිසා ඇති වූ ලේ පැල්ලමක් දැක ගැහැණු ළමයෙකුට ජපන් කොඩිය දම්මවන පිරිමි දරුවන් සිටින සමාජයක  මෙවැනි ලියවීම් ගැන පුදුම විය යුතු නොවේ.  මාසික ඔසප් වීම යනු නොමේරු ඩිම්බ පුපුරා ගොස් රුධිරය  වශයෙන් පිටවීම යැයි දරුවන්ට උගන්වන සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ගුරුවරුන් සිටින රටක මෙවැනි ලිවීම් ගැන පුදුම විය යුතු නොවේ. පුදුම  විය යුතු වන්නේ කාන්තාවගේ ලිංගිකත්වය සම්බන්ධයෙන් පුරුෂයාගේ ආකල්ප වල වෙනස් කමක් සිදු කරවන ආකාරයේ ලිපියක් පළ වූ විටය. එවැනි ලිපියක් පළ කිරීමට තරම් කතෘවරයා හෝ පුවත්පත් ආයතන ප්‍රධානියා සංවේදී වූ විටය.

IMG_1937 IMG_1938 IMG_1939

 

එහෙත් සේනාසිංහ මහතා විසින් ඉදිරිපත් කරන අදහස් හුදෙක් ඔහු විසින් දොඩවන විකාර යැයි සිතා බැහැර කළ යුතු නොවේ. එයට හේතුව පසුගිය කාලය පුරාම මාධ්‍ය සාක්ෂරතාවය, මාධ්‍ය ආචාරධර්ම සම්බන්ධ පුළුල් කතිකාවත් ඇතිව තිබියදීත්, මාධ්‍යවේදීන්  පුහුණු වැඩමුළු, ආකල්ප වෙනස් කරවන ආකාරයේ සංවේදීකරණ වැඩමුළු බොහෝ ප්‍රමාණයක් සිදු වෙමින් තිබියදීත් තවදුරටත් මෙවැනි ලිපි ලියවීම හා ඒවා පළ කිරීම මගින් සිදුකරන සංස්කෘතික විනාශය සම්බන්ධව සලකා බැලිය යුතු නිසාය.  එමෙන්ම බොහෝ මාධ්‍ය භාවිතාවන් මගින් තවමත් කාන්තාවන් පෞද්ගලික අවකාශයකට කොටු කිරීමට හා එම අවකාශය තුළ ඔවුන් සම්බන්ධ තීරණ ගැනීමට හා ඔවුන්ව මට්ටු කිරීමට පිරිමින්ව පොළඹවීම සිදු කිරීම නිසාය.  මනුෂ්‍ය සංහතිය බිහිකිරීමට අවශ්‍ය ප්‍රාථමික හැකියාව ගැහැණිය ලබන්නේ මල්වර වීමත් සමග නම්, මාසික ඔසප් වීම මගින් කියවෙන්නේ ඇය දරු ගැබක් දැරීමට හැකියාව ඇත්තෙකු බව නම්, පිරිමි පුතුන් වැඳීමට, හැදීමට පමණක් නොව රජුන් කිරීමටත් අම්මලාට සිදු වනවා නම්, මව්කුස තුළ පිළිසිඳගැනීමට ලැජජ නැති පිරිමින්ට, ගැහැණියක ගැබනියක කරවීමට අවශ්‍ය කාර්යය කිරීමට ලැජ්ජ නැති පිරිමින්ට කාන්තාවන් සනීපාරක්ෂක තුවා පැකැට්ටුවක් මිලදී ගැනීම හා එයට ණය කාඩ්පතක් මගින් මුදල් ගෙවීම ලැජ්ජාවක් වන්නේ කෙසේද යනුවෙන් ඇසිය යුතුය.

ගැහැණියගේ සඵලතාවය පාලනය කරන, ලිංගික රුච් අරුචිකම් පාලනය කරන, තමන්ගේ ශරීරය සම්බන්ධව තීරණ ගැනීම පාලනය කරන සමාජ ක්‍රමයක් පැවතියදීත් ඇයට අඩුම තරමේ තමන්ගේ සාමාන්‍ය ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධ තීරණ ගැනීමටවත් අවස්ථාවක් ලබා නොදීමට සමාජය පෙළඹවීම මෙවැනි ලිපි මගින් සිදුවේ. කොළ කැබැල්ලක ඔතා රහසිගත යමක් දෙනවා සේ උපත් පාලන කොපු ලබා දීම හා කාන්තා සනීපාරක්ෂක තුවා ලබා දීම කාලයක පටන් සිදුවෙමින් පවතින්නකි. මෙවැනි ලිපි  මගින් සිදුවන්නේ යහපත් සෞඛ්‍ය භාවිතයකට මිනිසුන් පෙළඹීම වැළැකී මිනිසුන් උපත් පාලන කොපුවක්, සනීපාරක්ෂක තුවායක්  මිලදී ගැනීම පවා ලැජ්ජාවක් අවමානයක් ලෙස සැලකීමයි.

1985දී, කැරොල් වෑන්ස් විසින්  තෘප්තිය සහ භයානකත්වය : කාන්තාවන්ගේ ලිංගිකත්වය ගවේෂණය කිරීම (Pleasure & Danger: Exploring Female Sexuality by Carole S. Vance, 1985 )නැමැති  ලිපිය මගින් ප්‍රශ්න පෙළක් අසන ලදී:

·      පිරිමි සහ කාන්තා ලිංගිකත්වයේ ස්වභාවයන් සැබැවින්ම වෙනස්ද, එසේත් නැත්නම් එය ඇතැම් ඓතිහාසික සහ සංස්කෘතික තත්ත්වයන්ගේ ප්‍රතිඵලයක්ද?

·      කාන්තාවන්ගේ ලිංගිකත්වය පීඩනය මගින් නිශ්ශබ්ද කොට ඇත්ද, එසේත් නැත්නම් එය පිරිමින්ගේ ලිංගිකත්වයෙන් වෙනස්ද?

·      කාන්තාවන් කෙරෙහි ඇතිවන ලිංගික උවදුරුවල මුලාශ්‍රය පවතින්නේ ආක්‍රමණශීලී හෝ ප්‍රචණ්ඩශීලී පුරුෂ ගතිගුණ තුළ ද, එසේත් නැත්නම් පුරුෂ ලිංගිකත්වය ආක්‍රමණශීලී බව සමගත් කාන්තා ලිංගිකත්වය අනුමත කිරීම හා යටහත්පහත් බව සමගත් සමාජගත කරන පුරුෂමුලිකත්වය වාතාවරණයන් තුළ ද?

·      පුරුෂ ලිංගික ප්‍රචණ්ඩත්වය අඩුකිරීම හෝ මුලිනුපුටා දැමීම කළ හැක්කේ කෙසේද?

·      ප්‍රජනනය සඳහා සිදුකරන ලිංගික ක්‍රියා, ලිංගිකත්වය සම්බන්ධයෙන් කාන්තාවන්ගේ අත්දැකීමට ඇතුළත් වන්නේ කෙසේද?

·      ස්ත්‍රීවාදය හරහා ලිංගිකත්වයේ උපරිම හෝ අවම වෙන්කොට දැක්වීම ප්‍රචලිත කළ යුතුද, එම එක් එක් දැක්ම කුමන අකාරයක් ගත යුතුද?

 

කාන්තාවන් සම්බන්ධව අපහාසාත්මකව හා අසංවේදී ආකාරයෙන් ලියැවෙන මෙවැනි ලිපි මගින් අප හඳුනාගත යුත්තේ  කාන්තාවන්ගේ ලිංගිකත්වය අනුමත කිරීම හා යටහත් පහත් බව සමග සෘජුවම සම්බන්ධ වන බවයි. ඔවුන් සමාජය සමග විවෘත වීමට දරන ප්‍රාථමික උත්සාහය පවා පුරුෂ ලිංගිකයින්ගේ ආක්‍රමණශීලීත්වයට තර්ජනයක් ලෙස ඔවුන් දකින බවයි. ඉතින් තිලක් කුරුඳුවත්තේ මහත්වරු ගැනත් ලියන්න.

Social Share: