සමලිංගික අයිතිවාසිකම් පිළිබද සාකච්ඡාව මානව හිමිකම් පිළිබද සාකච්ඡාව දක්වා ගෙන යා යුතුයි

2019 අප්‍රේල් 30.

කැරලිකාර සමනලයා විසිනි.

පළමුවෙන් මා සදහන් කළ යුතු දෙයක් ඇත. ශ්‍රී ලාංකාව වැනි කුඩා රටක පොඳු අයිතිවාසිකම් අමු අමුවෙි ප්‍රසිද්ධියේ උල්ළංඝණය වීම අනුමත කරන හා ඒ දෙස කට ඇරං කිසිවක් නොකර උඩ බලං සිටින රටක සමලිංගිකයාගේ අයිතිවාසිකම් දිනාගැනීම සිහිනයකට සමකල හැකිය යන්නයි. නමුත් අප සටන අත්හෑරිය යුතු නොවෙි. සිහිනයෙන් කොටසක් හෝ ඉදිරි පරපුර වෙනුවෙන් දිනාගැනීම හා ඔවුනට කසිම පීඩාවකින් තොරව නිදහසේ තම අරමුණු වලට ගමන් කිරීමට මාර්ගය තනා දීම වර්ථමාන අපගේ යුතුකම බැවිනි. එක් ආකාරයකින් මෙය මනුෂ්‍යත්වය රටක් තුළ ස්ථාපනය කිරීමට ගන්නා උත්සහයකි.

 

මා විසි හතර හැවිරිදි තරැණයෙකු වෙමි. මා මාගේ ලිංගික අනන්‍යතාවය තහවුරු කරගන්නා විට මා ඉතා කුඩා අවධියේ සිටි බව සදහන් කිරීමට කැමැත්තෙමි. මා අටවන ශ්‍රේණියේදී පමණ මා කවුද යන්න පිළිබදව අවබෝධයක් මා තුළ විය. එතැන් පටන් සමාජයෙන් සමලිංගිකයෙකු උදෙසා එල්ල කරනු ලබන සියලුම තාඩණ, පීඩණ සහ අවමන් වැනි කුණාටු හමුවෙයි. පොරබැද අද දක්වා ආවෙමි. තවද මාගේ ජීවිතයේ එම අත්දැකීමී පිළිබදව මා කිසිම සිත් තැවුලකින් නොබලමි මන්ද එවා මාගේ ජීවිතයට මහත් පන්නරයක් වු බැවිනි. කෙසේ වෙතත් මාගේ ජීවිත කතාව ලිවීම මෙම ළිපියේ අරමුණ නොවෙි.

 

එම කෙටි හැදින්වීම මා යොදා ගත්තේ තවත් වැදගත් යමක් ඔබට පසක් කර දීමටයි. යමෙකුට අයිතිවාසිකම් හෝ තමාට සිදුවන අසාධාරණයක් වෙනුවෙන් පෙනී සිටීමට හෝ කතා කීරීමට මානව අයිතිවාසිකමි පිළිබද උපාධියක් අවශ්‍ය නැත යන්න පෙන්වා දීමටයි. මෙම ලිපිය ලියන මට එවැනි කසිම උපාධියක් නැති අතර ජිවිතයෙන් මා ලද අත්දැකීම් සමූදාය පමණක්ම අවිය විය. මාගේ අත්දැකීම් දෙස මා සිත් තැවුලෙන් නොබලන්නේ එම නිසායි.

 

ශ්‍රී ලාංකික සමලිංගිකයා ගෙවී ගිය අවුරුදු කිහිපය දෙස බලන විට යමිතාක් දුරකට බැද තිබු අත්තටු නිදහස් කොට පියාඔා යෑමට උත්සහ දරති. රට තුල සිදුවූ දේශපාලනික හා තාක්ෂණික දියුණුව ( සමාජ ජාලා මාර්ගයෙන් ලෝකයේ දැනුම රට තුලට ගලා ඒම.) මෙම වෙනසට හේතුව බව මාගේ මතයයි.

 

විෂම ලිංගිකත්වය මූලික කරගත් සමාජයක් තුල සමලිංගිකයෙකු වශයෙන් පෙනීසිටීමට ඉමහත් ධෛර්යක් අවශ්‍ය බව මා සදහන් කළ යුතු නොවෙි. එය උඩු ගම් බලා යෑමකට සමකළ හැකිය. එම ශක්තිය කෙනෙකුට ලැබෙනුයේ ජීවිතයෙන් ලද අත්දැකීම අනුවය. සමාජයෙන් එල්ල වන තාඩණ  පීඩණ හමුවෙි තම ජීවිතය තොර කරගත් සමලිංගිකයන්ද නැතුවාම නොවෙි. එවැනි අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් අය වෙනුවෙන් ශ්‍රී ලාංකික විශමලිංගිකයා පමණක් වගකිව යූතු යෑයි ඔබ සිතනවා විය හැකිය නමුත් සමලිංගික ජන කොටිඨාසයද එම ජීවිතවලට වග කිවයුතු බව මං තරයේ සදහන් කරමි.

 

ශ්‍රී ලාංකික සමලිංගිකයා තම අයිතිවාසිකම් දිනා ගන්නේ කෙසේද? කවදාද? කණගාටුවෙන් වුවද මට පැවසිය හැක්කේ නුදුරු දිනකින් එය ඉටු නොවන බවයි. මෙළෙස මා පවසන විට ඔබ මට දොස් නගන්නටද ඉඩ ඈත. නමුත් ඔබට ගිලීමට අපහසු පෙත්ත මෙයයි ඉතින් අමාරුවෙන් වුවද ඔබට එය ගිළීමට සිදු වෙි.

 

එදාට වඩා අද වන විට ශ්‍රී ලාංකික සමලිංගිකයා තම අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරීමට පටන් ගෑනීම ආරම්භ කර ඇත. එහෙත් විෂමලිංගිකයා සමග සටන් කිරීමට පෙර තම සමලිංගික කණ්ඩායම  හදුනා ගැනීමට අවශ්‍ය බව මාගේ මතයයි මන්ද වීදුරු කාමර තුළ සිට ගල් ගැසීම සාර්ථක නොවන හෙයිනි. පිටතින් එන ගල් මුල් වෙඩි හමුවෙි නොසැලී ඉදිරියට යෑමට අපට පවුරක් එසෙත් නැත්නම් ශක්තිමත් බලකොටුවක් අවශ්‍ය වෙී. එය තැනීමට නමි අප අපව තේරුමි ගත යුතුය. අප අපට ගෞරව කළ යුතුය.

 

කණගාටුවෙන් වුවත් සදහන් කළයුතු කරුණ නම් එවැනි එකමුතුවක් අපතුල තිබෙි ද යන්නයි. අවම වශයෙන් එකිනෙකාට කළ යුතු ගෞරවයවත් බොහෝ දෙනා තුළ නැති බව මා සදහන් කරමි.

 

බොහෝ සමලිංගිකයන් තමාගේ ලිංගික අනන්‍යතාවය කුමක්ද යන්න ලොවට පෙන්වීමට ලැජජා වෙති. මෙම ලැජජාව කොතරම් ද යත් තවත් සමලිංගිකයෙකු ඉදිරියෙදී පවා තමාගේ නියම ලිංගික අනන්‍යතාවය ඔවුන් සගවා ගනිති.  “GRAINDER”වැනි සමාජ ජාලා තුල මවාගත් විෂමලිංගික ප්‍රතිරූප වලින් අපගේම සහෝදරයන් අපට හමුවන්නේ එබැවිනි. වරක් මෙවැනි මවාගත් විෂමලිංගික දේවඳූතයෙකුගෙන්  “GRAINDER”වැනි සමාජ ජාලාවක් භාවිතා කරන්නේ ඇයි?”දැයි විමසූ කළ ඔහුගේ පිළිතුර වුයේ තම පෙමිවතිය විදෙස්ගත වී සිටින බවත් ඇය ළග නැති අඩුව පුරවා ගැනීමට එය භාවිතා කරන බවත් ය. තවකෙක් පවසා සිටියේ ගැහැණුන්ට වඩා සමලිංගික පිරිමි  SEXතුළදි ක්‍රීයාශීලී බවයි. මා මේ සදහන් කරන ලද අත්දැකීම දෙක තුළදිම තමාගේ ලිංගික අනන්‍යතාවය කුමක්ද යන්න කෙලින් පැවසීමට කොන්දක් ඔවුනට නොවීය. අඩුමතරමින් තමා ද්විලිංගික කියාවත් ඔවුන් පිළිගත්තේ නැත. තවද බොහෝ අවස්ථාවල තම ලිංගික අනන්‍යතාවය සගවා ගැනීමට තවත් සමලිංගිකයෙකු විෂමලිංගිකයෙකු ඉදිරියේ නිරුවත් කිරීම (පාවා දීම) මා කිහිපවරක් දැක ඇති ක්‍රියාවකි.

මා පෞද්ගලිකව  මෙවෑනි සිද්ධියකට වරක් මුහුණ දුන්නෙමි. එම අවස්ථාවෙි මට ඇති වූ හැගීමි මට වචනයෙන් විස්තර කළ නොහැක. අවස්ථාවක් ලැබුනොත් සමලිංගිකත්වයේ රස බැලීමට මෙවැනි විෂමලිංගිකයන් දෙවරක් සිතන්නේ නැත. එවැනි ක්‍රියාවලට හවුල් වන සමලිංගිකයන් කෙරෙහි මා තුළ ඇත්තේ දැඩි පිළිකුලකි. තවත් සමලිංගිකයෙකු පාවා දී විෂමලිංගිකයන්ගෙන් ලැබෙන හුරෙ දැමීම ඔහුට හෝ ඇයට රෙදි ඇදන් භාර ගත හැකිද?

 

LGBTප්‍රජාව තුළ මිතුරන් ඇතිකර ගැනීමෙිදී බොහෝ දෙනෙක් විවිධ සාදක භාවිතයට ගනිති. ඔබ දැං මා පිස්සු විකාර දොඩවනවා කියා මුවට සිනහවක් නගා ගන්නවා විය හැකිය. නමුත් ප්‍රජාව තුළ කී දෙනෙක් තම මාන්නය අනෙකාගේ මුහුණ මත උලනවාද?ඔවුන් රූපය, අධ්‍යාපන මටිටම, විටෙක කුළය පවා මැන බලති (තව බොහො සාදක ඇත). ප්‍රජාව යම්දෙයක් උදෙසා එක් වූ අවස්ථා වලදී සියලු දෙනා එක් රොක් වී කටයුතු කරනවා වෙනුවට කී දෙනෙක් වෙනම කල්ළි ගැසී සිටින්නෙද? මානව ක්‍රියාකාරීන්ඳාක්‍රියාකාරිනියන් යැයි කියාගන්නා පිරිස පවා මෙම ක්‍රීයාවෙී නිරත වීම මා දැක ඇත. කෙනෙකු මෙවැනි ලෙස හැසිරීමෙන් තවත් අයෙකුගේ ආත්ම ශක්තිය කෙතරමි දුරට කඩා වැටෙන්නට සලස්වනවාද යන්න ප්‍රශ්ණයකි. තවද අප මුහුණ පා සිටින්නේ මාන්නයෙන් කටයුතු කලයුතු අවස්ථාවකටද? මෙළෙස හැසිරීමෙන් අපට ලගා කර ගත හැකි අයිතිවාසිකමක් නැත හැමදාමත් විශමලිංගිකයා ඉදිරියේ පාචිචල් වෙනවා හැර.

 

මාස කහිපයකට ඉහත ජනපති හා ඔහුගේ සහයක කල්ලිය කළ  “සමනළයා” ප්‍රකාශය ඉදිරියේ කිසිවක් නොකර ඔහේ සිටි හා ඔවුන් වෙනුවෙන් හුරේ දමමින් සහය දැක් වූ සමලිංගිකයන් මා දුටුවෙමි. ඔවුන් කෙසේ එළෙස ඇස් කන් පියා සිටියාද යන්න මට නම් ගැටලුවකි. එය නම් කුකුළා විසින් නරියාට අත වැනීමකි. සමලිංගික අයිතිවාසිකම් විනා මිනිස් අයිතිවාසිකම් පිළිබද සරල අදහසකවත් ඔවුන්ගේ ඔලු තුළ තිබුණාද යන්න මා මගෙන් ම ප්‍රශ්ණ කරපු වාර අනන්තය.

 

අවසාන වශයෙන් සමලිංගිකයාගේ අයිතිවාසිකම් විෂමලිංගිකයා විසින් රිදී බන්දෙසියේ දමා පළිගන්වනතුරු බලා සිටීම නිශඵල ක්‍රියාවකි. අපගේ අයිතිවාසිකම් වෙනුවෙන් අප සටන් වැදිය යුතුය. එ පිළිබදව අප සමාජය හැකිතාක් දැනුවත් කළ යුතුවෙි. එසේ කිරීමට ඔබට බැනර් පෝස්ටර් උස්සා ගිරිය යටින් කෑ ගසමින් පාරට බැසිය යුතු නැත. අසාධාරණය ඉදිරියේ පෙනී සිටීම, තම ප්‍රජාව පිළිගැනීම, එකිනෙකාට ගෞරව කිරීම, පන්ති භේද දුරු කිරීම වැනි ඉතා කුඩා ක්‍රියා වලින් පවා ඔබට මේ අරගලයට සහභාගී විය හැකි බව මා සදහන් කරමි. තම ප්‍රජාවෙි පුද්ගලයන් හමු වූ විට සිනහ වී ඔවුන් සමග කතා කරන්න, ඔවුන්ගේ සැප දුක් විමසන්න, ඔවුන්ව දිරිමත් කරන්න තවද මේ පුංචි දූපත තුළ අපි තනිවී නැති බව ඔවුනට වටහා දෙන්න.

Two Blues [Converted]

Voices & Changes අරමුදලේ සහයෝගයෙනි.

Social Share: