2019 ජනවාරි 25.
සචින්ත දුලංජන විසිනි.
2018 වසරේ පැවති පළාත් පාලන ආයතන මැතිවරණයත් සමඟ ක්‍රම ක්‍රමයෙන් උණුසුම් වී එතැන් සිට කලින් කලට මතු වන විවිධාකාර වූ නව මාතෘකා හා පුවත් සමඟින් එම උණුසුම තවමත් රඳවා ගෙන සිටින මෙරට දේශපාලන කරළිය තුළ ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ ඉරණම කොයිබටද යන්න පිළිබඳව කතිකාවක් ගොඩ නැඟීම ඉතාමත් කාලීන යැයි මම විශ්වාස කරමි. ඒ මක් නිසාද යත් එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන 2014 වසරේ එළි දැක්වූ ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ තරුණ ජනගහණය එනම් වයස අවුරුදු 15ත් 29ත් අතර පුරවැසියන්ගේ ප්‍රමාණය රටේ මුළු ජනගහණයෙන් 23%කට අධික බව සඳහන් වන නිසාවෙනුත්, ප්‍රධාන වශයෙන්ම එවන් වූ රටේ මුළු ජනගහණයෙන් සැළකිය යුතු ප්‍රතිශතයක් ගන්නා තරුණ ජනගහණයක් හිමි වීම යම් රටක් සතු ජන විකාස වාසියක් ලෙසින් සැළකෙන නිසාවෙනුත්, ශ්‍රී ලංකාවේ අනාගතයත් වර්තමානයත් පිළිබඳව කුමන හෝ ක්ෂේත්රයක් අළලා සංවාදයක් ගොඩ නැඟීමේදි මෙරට තරුණ පරපුර අමතක කොට එය කළ නොහැකි බැවිනි. එමෙන්ම රටේ පුරවැසියන් වෙනුවෙන් ඔවුන්ව ප්රජාතන්ත්රවාදි ලෙස නියෝජනය කරමින් සියලූ සංවර්ධන කටයුතු පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමටත් ඒවා නිසි පරිදි ක්‍රියාවට නැංවීමටත් මුල් විය යුතු යැයි අප විශ්වාස කරන දේශපාලන ක්ෂේත්රය තුළ එකී තරුණ පරපුරට ඇති ඉඩකඩ නිතැතින්ම සංවාදයට තුඩු දෙන මාතෘකාවකි.
සිව් වන යොවු පාර්ලිමේන්තුවේ සමාජික සමාජිකාවන්
පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණය පවත්වනු ලැබූයේ එය පැවැත්වීමට නියමිතව තිබූ කාලය ද පසු වී බොහෝ කලකට පසුව බව අප සියලූ දෙනා දන්නා කරුණකි. වඩාත් අවධානයට ලක්විය යුතු කරුණ වන්නේ එකී විරාමයෙන් අනතුරුව පැවැත්වුණු පළාත් පාලන ආයතන මැතිවරණය ව්‍යුහාත්මක වශයෙන් බොහෝ වෙනස්කම් වලට භාජනය වී තිබුණ ද ඒ බව රටේ අති බහුතරයක් ඡුන්ද දායකයන් මෙන්ම එම මැතිවරණයට ඉදිරිපත් වූ 56000කට අධික අපේක්ෂක අපේක්ෂිකාවන් පවා හරි හැටි දැන සිටියා ද යන්න පිළිබඳවය. එහිදී ඡන්ද දායකයන් සිය ඡන්දය භාවිතා කළ අයුරු, මැතිවරණය ජයග්‍රහණය කර තේරී පත් වූ පළාත් පාලන ආයතන නියෝජිතයන් සමහරෙකු කළ යම් යම් ප්‍රකාශ හා ඔවුන්ගේ හැසිරීම් රටා මීට කදිම නිදසුනකි.
පසුගිය වර්ෂයේදී එනම් 2017 වසරේදී පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමයට ප්‍රධාන වශයෙන්ම සිදු කළ සංශෝධනය වන්නේ පැවති සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනුවට සමානුපාතික මෙන්ම කේවල ක්රමයේ මිශ්‍රණයක් හඳුන්වා දෙනු ලැබීමය. ඒ අනුව ඡන්ද දායකයන්ට තමන්ගේ කොට්ඨාශයට වග කියන පළාත් පාලන ආයතන නියෝජිතයෙකු පත් කර ගැනීමේ අවස්ථාව හිමි වූ අතර එසේ කොට්ඨාශ පදනම මත පත් වන නියෝජිතයන්ට අමතරව යම් මැතිවරණ කොට්ඨාශයක් තුළ දේශපාලන පක්ෂයක් ලබාගත් මුළු ඡුන්ද ප්‍රමාණය අනුව සමානුපාතික ක්‍රමය යටතේ හිමි වූ මන්ත්‍රී ආසන ප්‍රමාණයක් ද අදාළ පළාත් පාලන ආයතන තුළ පවතී. සෑම කොට්ඨාශයකටම නියෝජිතයෙකු පත් කරගැන්මට ඡන්ද දායකයන්ට මෙවර මැතිවරණයේ දී අවකාශ විවර වූ හෙයින් ( කෙසේ වෙතත් ඡන්ද දායකයන් තමන්ට ලැබුණු එම අවස්ථාව කෙලෙස භාවිතයට ගත්තා දැයි යන්න වෙනම සංවාදයට බඳුන් කළ යුතු මාතෘකාවකි) සාපේක්ෂව පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයේදි භාවිතයට ගත් මෙම නව මැතිවරණ ක්‍රමය තුළ බැලූ බැල්මට පෙනෙන සාධනීය ලක්ෂණ රාශියක් පවතී. ඒ කෙසේ වෙතත් පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමය සඳහා නව සංශෝධන ගෙන ඒමේ දී රටේ තරුණ තරුණියන්ට නම් දැඩි අසාධාරණයක් සිදු වූ බව මගේ හැඟීමයි.
ඒ මක් නිසාද යත් 88/89 යුගයේදී තරුණ තරුණියන් මුල් වී දියත් කෙරෙනු රාජ්‍ය විරෝධී කැරලි වලින් අනතුරුව ඒ පිළිබඳව සොයා බැලීමට රජය විසින් පත් කෙරුණු විශේෂ තරුණ අසහන කමිටුවේ නිර්දේශ මත තරුණ තරුණියන්ගේ දේශපාලන සහභාගිත්වය තහවුරු කරනු වස් 1990 දී හඳුන්වා දෙනු ලදුව 1991, 1997, 2002, 2006 හා 2011 යන පළාත් පාලන ආයතන මැතිවරණ වලදී ක්‍රියාත්මක වූ පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කෙරෙන නාම යෝජනා තුළ තරුණ නියෝජනයට සලසා තිබූ ඉඩ කඩ 2017 ජුනි 02 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු 2012 අංක 22 දරණ පළාත් පාලන ආයතන මැතිවරණ ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතෙන් ඉවත් වීම හරහාය.
මෙහි විමතියට තුඩු දෙන කාරණය වන්නේ 2017 ජුනි 02 වනදා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන විට තරුණ නියෝජනයට අදාළ වගන්ති සහිතව එය ඉදිරිපත් වුවත් 2017 අගෝස්තු 25 වනදා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සම්මත වන විට එසේ තරුණ නියෝජනයට සලසා තිබූ ඉඩකඩ ඉන් ඉවත් වීමය. එමෙන්ම එම අවස්ථාවේදි කිසිදු දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත ඒ වෙනුවෙන් යම් කිසි ආකාරයකින් දැනෙන පරිදි විරෝධය පළ කිරීමක් ද දක්නට නොලැබුණේ වත්මන් සාම්ප්‍රදායික දේශපාලන ප්‍රවාහය තුළ රටේ තරුණ තරුණියන්ගේ දේශපාලන සහභාගිත්වය පිළිබඳව ප්‍රතිපත්තිමය කාරණාවක් තීරණයෙහිලා ප්‍රදර්ශනය කල ඇල් මැරුණු ස්වභාවය මොනවට පැහැදිලි කරමිනි.
කෙසේ වෙතත් ජාතික තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුව එතෙක් පැවති තරුණ කෝටාව ඉවත් කරමින් 2017 වසරේදී සම්මත කර ගැනුණු අංක 22 දරණ පළාත් පාලන ආයතන මැතිවරණ ඡන්ද විමසීම් සංශෝධන පනතට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් 2017 අගෝස්තු 25 වන දින තරුණ තරුණියන්ගේ දේශපාලන අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කටයුතු කිරීමටත් ඒ සඳහා අදාළ පාර්ශව දැනුවත් කිරීමටත් විශේෂ යෝජනාවක් ද ඒකමතිකව සම්මත කර ගත්තේය. ඒ අනුව ක්‍රියාත්මක වුණු #YouthToLead වැඩසටහන හරහා සමාජ ජාල මාධ්‍යයන් ඔස්සේ තරුණ තරුණියන්ගේ දේශපාලන සහභාගිත්වයේ ඇති වැදගත්කම ගැන මහජන අවධානය යොමු කර ගන්නා අතරම මෙරට ලියාපදිංචි සියලූම දේශපාලන පක්ෂ වලට සෘජුව බලපෑම් කිරීම සඳහා ද කටයුතු කෙරිණි. එමෙන්ම ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ නියෝජිතයන් කිහිප දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාපති වරයා හමුව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කර මේ පිළිබඳව දේශපාලන පක්ෂ නියෝජිතයන් දැනුවත් කරන ලෙස ඉල්ලිමක් ද සිදු කෙරිණි. එතුමා එහිදි තරුණ තරුණියන්ගේ දේශපාලන සහභාගිත්වයේ ඇති වැදගත්කම පිළිබඳව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් ද සිදු කරන ලදී. තවද #YouthToLead වැඩසටහන යටතේ පළාත් පාලන ආයතන මැතිවරණයේ දි තරුණ අපේක්ෂක අපේක්ෂිකාවන්ට සැළකිය යුතු ඉඩක් වෙන් කරන ලෙස මෙරට දැනට ක්‍රියාත්මක සියලූම ලියාපදිංචි දේශපාලන පක්ෂ වලින් ලිඛිත ඉල්ලීමක් සිදු කෙරුණු අතර ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් හමු වී දැනුවත් කිරීම් ද සිදු කෙරිණි.
එමෙන්ම සංශෝධිත මැතිවරණ ක්‍රමය තුළ සාපේක්ෂව වඩාත් ප්රගතිශීලි මෙන්ම සාධනීය ලක්ෂණයක් මෙන් පෙන්වා දිය හැකිව තිබූ පළාත් පාලන ආයතන තුළ අනිවාර්ය කාන්තා නියෝජනයකට සැලසූ ඉඩකඩ වෙත මෙවර සියලූ දෙනාගේ වැඩි අවධානයක් යොමු වූයෙන් පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා සකස් කිරීමේදී එතුළ එතෙක් සලසා තිබූ තරුණ නියෝජනය ඉවත් වීම යන කරුණ වැඩි ජනතා අවධානයට ලක් නොවී යට ගිය ද අවසානයේ අනිවාර්ය කාන්තා නියෝජනය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේදී ද ඇති වූ ගැටලූ රාශියකි. මේ නිසා පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා යොදා ගත් මෙම නව මැතිවරණ ක්‍රමය ඉදිරි මැතිවරණ සඳහා යොදා ගන්නේ ද නැද්ද යන්න තවමත් විවාදයට තුඩු දෙන කරුණකි.
එමෙන්ම කිසිදු දේශපාලන පක්ෂයකට තරුණ කෝටාව සම්බන්ධ කරුණ පිළිබඳව පැහැදිලි ප්‍රතිපත්තිමය ස්ථාවරයකට පැමිණ රටේ තරුණ පරපුරේ දේශපාලන අයිතිය දිනා දීම උදෙසා හඬක් නැඟීමේ අවශ්‍යතාවයක් ද තිබූ බවක් පෙනෙන්නට නොතිබුණේ පළාත් පාලන ආයතන මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී එලෙස අනිවාර්ය තරුණ නියෝජනයකට ඉඩකඩ සංශෝධිත පනත හරහා සලසා තිබුණහොත් සිය නාම යෝජනා ප්‍රතික්ෂේප වීමේ අවදානම ඉහළ යාමට එය යම් ආකාරයකින් බලපාවිදෝ යන්න පිළිබඳව දේශපාලන පක්ෂ වලට තිබූ අනියත බිය නිසා විය හැකිය.
ඒ කෙසේ වෙතත් අවසන් වරට සම්මත කර ගැනුණු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනතින් මැතිවරණ ක්‍රියාවලිය තුළ කිසිදු අවස්ථාවක නිශ්චිත තරුණ නියෝජනයකට ඉඩ සලසා නොමැති බැවින් ඒ හරහා බිම් මට්ටමේ සක්‍රියව සිය ප්‍රජාවන්හි සංවර්ධන කටයුතු වලට දායක වන තරුණ නායක නායිකාවන්ට දේශපාලනයට ප්‍රවිෂ්ට වීම සඳහා ඇති ඉඩකඩ ඇහීරීමක් සිදු වී ඇති බව මගේ හැඟීමයි. බැලූ බැල්මට දේශපාලන පක්ෂ රැුසක් සිය ගම දිනන සටනේදි තරුණ අපේක්ෂක අපේක්ෂිකාවන්ට අවස්ථාව ලබාදී ඇති බව පෙනෙන්නට තිබුණත් ඒ පිළිබඳව නිශ්චිත වශයෙන් අදහසක් පළ කළ හැක්කේ මැතිවරණ කොමිෂන් සභාව පැවති පළාත් පාලන ආයතන මැතිවරණයට ඉදිරිපත් වූ තරුණ අපේක්ෂක අපේක්ෂිකාවන් පිළිබඳව නිශ්චිත සංඛ්‍යාත්මක දත්ත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
මෙවර මැතිවරණයට එලෙස දේශපාලන පක්ෂ විසින් තරුණ අපේක්ෂක අපේක්ෂිකාවන්ට යම් අවස්ථා ලබාදී තිබුණ ද පනත හරහා ඊට සලසා තිබූ නිශ්චිත ප්‍රතිපත්තිමය ප්‍රතිපාදන ඉවත් වීම හරහා අනාගත මැතිවරණයකදී තරුණ අපේක්ෂක අපේක්ෂිකාවන් කිසිවෙකු හෝ නොමැතිව පවා ඕනෑම දේශපාලන පක්ෂයකට යම් පළාත් පාලන ආයතනයක් සඳහා කිසිදු බාධාවකින් තොරව සිය නාම යෝජනා පත්‍රය භාර දීමට හැකියාව තිබෙන බව අප අමතක නොකළ යුතුය. කාලයේ ඇවෑමෙන් එලෙස තරුණ තරුණියන්ට දේශපාලනයට බිම් මට්ටමෙන් ප්‍රවේශ වීමට ඇති ඉඩ හසර සීමා වන්නට පටන් ගතහොත් යම් දිනෙක මෙරට දේශපාලන ප්රවාහයට එක් වීම තරුණ තරුණියන් සඳහා නොවන තරම් යැයි ද ඒ සඳහා වැඩිහිටි වියට එළැඹෙන තෙක් ම සිටිය යුතු යැයි ද සමාජ මතයක් ඇති වීමටද කාලයත් සමඟ එම මතය සමාජයේ මුල් බැස ගැනීමට ද පැහැදිලි අවදානමක් ඇත.
සැළකිය යුතු තරුණ ජනගහණ ප්‍රතිශතයක් පැවතීම හේතුවෙන් ජන විකාස වාසියකට පවා උරුමකම් කියන රටක් වශයෙන් මෙරට දේශපාලනයෙන් තරුණ තරුණියන් එලෙස ඈත් වීමේ අවදානමක් තිබීම පවා යම් ආකාරයක සෘණාත්මක ප්රවණතාවයකි. උදාහරණ වශයෙන් ගතහොත් මැතිවරණ ක්රමයේ නව සංශෝධන වලට අනුව පැවති පළාත් පාලන ආයතන මැතිවරණයේදි නාම යෝජනා ලබා දීමේදි ඉදිරිපත් කෙරෙන අමතර ලැයිස්තුවට බොහෝ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් තරුණ තරුණියන් ද ඇතුළත් කර ඇති බව පෙනෙන්නට තිබුණත් මෙලෙස ඉදිරිපත් කෙරුණු තරුණ තරුණියන්ට පළාත් පාලන ආයතන වල අසුනක් හිමි වන්නේද නැද්ද යන තීරණය රඳා පැවතියේ යම් පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට අමතර ලැයිස්තුවෙන් පත් කිරීමට හිමි වූ ආසන ප්‍රමාණය මත මෙන්ම ඒ සඳහා කවුරුන් පත් කරන්නේද යන්න පිළිබඳව පක්ෂ ලේකම්වරයා හෝ ස්වාධීන කණ්ඩායම් නායකයා ගත් තීරණය මතය. කෙසේ වෙතත් මෙලෙස මැතිවරණයෙන් අනතුරුව අමතර ලැයිස්තුවෙන් පත් කරන බවට දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මහත් බලාපොරොත්තු ලබාදී දේශපාලනයට යොමු කර ගත් තරුණ තරුණියන්ගෙන් මැතිවරණය සඳහා උපරිම ශ්‍රම දායකත්වයක් ලබා ගෙන ඉන් අනතුරුව ඔවුන්ව නොසළකා හැර වෙනත් අපේක්ෂකයන් අදාළ පළාත් පාලන ආයතන සඳහා පත් කෙරුණු අවස්ථාද නැතිවා නොවේ. එවන් සිදුවීම් වලින් දැඩි අපේක්ෂා භංගත්වයට පත්ව බිඳ වැටෙන එම තරුණ තරුණියන්ගේ මානසිකත්වය ඔවුන්ට දේශපාලනය පිළිබඳ මහත් කළකිරීමක් ඇති කරවනු ඇති මෙන්ම එය අනාගතයේදී පවා ඔවුන්ට දේශපාලනයට සම්බන්ධ වීමට ඇති ඇල්ම අහිමි කරවනු ඇත. ඒ නිසාවෙන් මෙය විශේෂයෙන් අප අවධානය යොමු කළ යුතු කාරණාවකි.
එමෙන්ම අවාසනාවකට වර්තමානය වන විට රටේ බහුතර තරුණ තරුණියන්ගේ සෘජු දේශපාලනික සහභාගිත්වය මැතිවරණයකින් යම් අපේක්ෂකයෙකු ජයග්‍රහණය කරවා මැතිවරණයෙන් අනතුරුව ඔහු හෝ ඇය හරහා රැකියා අවස්ථාවක් හෝ යම් කිසි වෙනත් පෞද්ගලික ප්‍රතිලාභයක් ලබා ගැනීමේ අරමුණට සීමා වී පවතින බැවින් එවන් දේශපාලන සහභාගිත්වයක් තුළින් රටට පුළුල් දැක්මක් සහිත තරුණ නායක නායිකාවන් බිහි වීම උගහටය. අනෙක් අතට බලන කල පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා හඳුන්වා දුන් නව මැතිවරණ ක්‍රමයත් සමඟ ඉහළ යන දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ සහ ප්‍රදේශයේ පක්ෂ සංවිධායකවරුන්ගේ බලයට සාපේක්ෂව නාම යෝජනා ලබා ගැනීම සඳහා දේශපාලනට සමර්ථයක් හා ඇල්මක් දක්වන තරුණ තරුණියන්ට අඩු වැඩි වශයෙන් බොහෝ විට තම නායකත්ව පෞරුෂයන් පවා බිඳ වැටෙන අයුරින් සිය දේශපාලන පක්ෂයේ ප්‍රාදේශිය සංවිධායකවරයාගේ පසුපසින් යාමට සහ කත් ඇදීමට සිදු වන ප්‍රවණතාවය ඉහළ යාම වැළක්වීම ඉතා අපහසු කරුණක් වනු ඇත්තේ බොහෝ විට දේශපාලන පක්ෂ වල ප්‍රාදේශිය සංවිධායකවරුන් පවා එවන් ගැති හැසිරීම් රටාවක් තරුණ තරුණියන්ගෙන් අපේක්ෂා කරන තැනට පත් වී ඇති හෙයිනි.
ඒ නිසාවෙන් කිසිවෙකු මත බයාදු ලෙස යැපෙමින් එවන් දේශපාලන ප්‍රවේශයක් ගන්නා තරුණ නායක නායිකාවන්ට ඉන් අනතුරුව පවා කොතරම් දුරට ස්වාධීනව සිය ප්‍රතිපත්ති මත පිහිටා තමන්ගේ නායකත්ව කුසලතා හා අත්දැකීම වලින් ප්‍රයෝජන ගැනීමට හැකියාව ඇත්තේ ද යන්න ඉතාමත් ගැටලූ සහගතය. මේ නිසාවෙන් වත්මන් දේශපාලන ප්‍රවාහය තුළ රටේ තරුණ තරුණියන්ගේ දේශපාලන සහභාගිත්වය තහවුරු කිරීමට නම් කළ යුත්තේ බිම් මට්ටමෙන් ගොඩ නැෙඟන තරුණ නායක නායිකාවන්ගේ ධාරිතාවය වර්ධනය කර දේශපාලනයට ප්‍රවිෂ්ට වීම සඳහා ඔවුන්ට හැකි තාක් අවස්ථා ලබා දීමට කටයුතු කිරීමයි. මෙහිදි එම අවස්ථා හිමි වීමේ තීරණය කිසිවෙකුගේ දේශපාලන අතකොලූවක් වනවාද නැද්ද යන්න මත කිසිසේත්ම තීරණය විය යුතු නැත. එමෙන්ම එම අවස්ථා ඔවුනට හිමි කරලීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගැනීම ද ඉතා වැදගත් වන්නේ එවන් තීරණයක් ගන්නා තුරු තරුණ දේශපාලන සහභාගිත්වය පිළිබඳ නිසි රක්ෂණයක් වත්මන් දේශපාලන සම්ප්රදාය තුළ කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි බැවිනි. ඒ නිසාවෙන් අනිවාර්ය කාන්තා නියෝජනය මෙන්ම අනිවාර්ය තරුණ නියෝජනයක් පළාත් පාලන ආයතන වල හා ඉන් ඉහළ දේශපාලන ව්‍යුහ වලට හඳුන්වා දීම අත්‍යවශ්‍ය කරුණකි.
නමුත් මෙලෙස අනිවාර්ය තරුණ කෝටාවක් හඳුන්වා දෙනු ලැබුවහොත් එය අනිසි ලෙස දේශපාලන පවුල් විසින් සිය පුත්‍රයන් හෝ දියණියන් දේශපාලනයට ඇතුළත් කිරීමට භාවිතා කරනු ලැබිය හැකි බවට උලූප්පා පෙන්වමින් හා අනතුරු අඟවමින් එවන් කෝටාවක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය දේශපාලන නායකත්වයන් විසින් පහසුවෙන් මඟ හැර යන වග පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයේදී වැඩි වශයෙන් පෙනෙන්නට තිබිණි. එහෙත් අප අමතක නොකළ යුතු කාරණය වන්නේ වත්තේ ඇති පළතුරු ගසක ගෙඩි හොරු කැඩූ පමණින් එම ගස කපන සිරිතක් අප අතර නොමැති බවයි. සාමාන්‍යයෙන් කළ යුත්තේ එම ගස හා එහි පළතුරු සොරුන්ගෙන් ආරක්ෂා කිරීමට උපක්‍රම යෙදීමයි. අනෙක් අතට යථාර්ථය වන්නේ දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන තරුණ තරුණියන්ට දේශපාලනයට පිවිසීමට අවශ්‍ය නම් එය කෙසේ හෝ ඉටු කරගන්නා බවයි. එමෙන්ම දේශපාලනයට මනා පරිචයක් ඇති හා සැබෑ ලෙසම මිනිසුන් උදෙසා සේවයට කැප වීමට හැකි නම් දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන්නේද නැද්ද යන්න දේශපාලනයට පිවිසීම සඳහා අදාළ නොවන කාරණාවකි. ඒ මක් නිසා ද යත් දේශපාලන පවුල් පසුබිමක හැදී වැඞී තිබූ පමණින් එය දේශපාලනයට ප්‍රවිෂ්ට වීමට නුසුදුසුකමක් ද නොවන නිසාය.
අවසාන වශයෙන් කිව යුතු කාරණය වන්නේ යම් දිනෙක නැවුම් දේශපාලන සාම්ප්‍රදායක් වෙනුවෙන් උඩුගං බලා යන පුළුල් දැක්මක් සහිත දේශපාලන නායකත්වයක් මෙරට තරුණ පරපුර අතරින් බිහිවීම පිළිබඳව තවමත් මේ රටේ මිනිසුන් තුළ සියලූ බලාපොරොත්තු වියැකී ගොස් නැති වගයි. ඒ නිසාවෙන්ම පොළවේ පය ගසා සිටින මෙන්ම මිනිසුන් වෙනුවෙන් මිනිසුන් අතරින්ම ඉදිරි කලෙක බිහි කර ගනු ලබන එවන් තරුණ දේශපාලන නායකත්වයක් පක්ෂ පාට භේදයකින් තොරව සියලූ දෙනා විසින් වැළඳගනු ඇති බව මගේ ඒකායන හැඟීමයි.
![]() |
Voices & Changes අරමුදලේ සහයෝගයෙනි. |


![Two Blues [Converted]](http://old.bakamoono.lk/siadmin/wp-content/uploads/2018/10/Two-Blues-Converted-2.png)