මාධ්‍ය සමාචාරයට තුළ සංක්‍රාන්ති පුද්ගලන් කොතනද?

2019 ජනවාරි 08

ඉමාෂා පෙරේරා විසිනි.

ප්‍රජාවේ සිටින සියල්ලන්ම වර්ථමානයේ තාක්ෂනය දියුණු වීමත් සමගම මුහුණ පෑමට සිදු වන අපහසුතාවයක්නම්  ජන මාධ්‍ය තුලින් සිදුවන වෙනස්කොට සැලකීම් හා අපහාසාත්මක ප්‍රකාශයන්ය. ජන මාධ්‍ය යනු වර්ථමානයේ ලොකු, කුඩා, බාල, මහළු භේදයකින් තොරව සියලු දෙනා විසින් පරිහරණය කරනු ලබන තාක්ෂණයකි. ජන මාධ්‍ය තුලින් හරවත් නැණවත් දේ මෙන්ම එසේ නොවන දේ ප්‍රචාරය වීමත් සිදු වන අතර සමාජය තුල බහුතරයක් මතකයේ රදා පවතිනුයේ බැහැර කල යුතු දේය.

අතීතයේදී ජනමාධ්‍ය යනු මුලිකව පුවත්පත්, රූපවාහිනිය තුල සිදු කරන දෛනික පුවත් විවරණය වූ අතර ජන මාධ්‍ය යනු යම් තොරතුරක්, පුවතක් හෝ පණිවුඩයක් විශාල ප්‍රේක්ෂක ජනකායකට සුළු කාල පරාසයක් තුල එකවර සම්ප්‍රේෂණය කිරීමයි. එක් ස්ථානයකින් සංවාද ගණනාවක් ගොඩනැගීමට ජන මාධ්‍යට හැකියාව හිමි වන අතර ප්‍රවෘත්තිය නිර්මාණය කරන්නා, සංස්කාරක හා ප්‍රචාරය කරන්නා හෝ නිවේදකයාගේ වචන භාවිතය, භාෂාව යොදාගන්නා ආකාරය හා හසුරවන ආකාරයත්, විටෙක පුද්ගලිකව ඔහු හෝ ඇය එම පණිවුඩය දෙස බලන කෝණය මත පණිවුඩය පවසන ආකාරය, මුහුණෙහි ඉරියව් මත හා අර්ථයද මත  එය සමාජයට යන ආකාරය පිළිබදවද තීරණය වේ. එමගින් එම පණිවුඩය සමාජගත වන ආකාරය එකිනෙකට වෙනස් වේ. වර්ථමානය වන විට ජන මාධ්‍ය යනු රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත්, බිල් බෝර්ඩ්, චිත්‍රපට, විවිද සංදර්ශන, අන්තර්ජාලය, සගරා, සමාජ ජාල වෙබ් අඩවි, දුරකථන, කෙටි පණිවුඩ හා ඊ මේල් වන අතර මුලිකවම රූපවාහිනිය හා පුවත් පත් තුලින් සිදු කරන ප්‍රචාරයන් මගින් පුද්ගලයෙකුට විය හැකි අනිසි බලපෑම හා හානිය ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටක් තුල ඉතා ඉහලය.එයට උදාහරභයක්නම් බහුතරයක් වැඩිහිටි සමාජය පුරුදු වී සිටින ටෙලි නාටක විකාශය වන හෝරාවන් තුල වැඩිපුර  ප්‍රචාරයන් සිදුවන අතර මෙමගින් වැඩිහිටි මොළ මොට කරන අතර ඔවුන්ගේ යල් පැන ඇති අදහස් හා ආකල්ප තව තවත් මුවහත් කොට බාල පරපුරද ආකල්ප තුලින් බාල කිරීමට ඔවුන් පෙලබවීමයි.

ශ්‍රී ලංකාව තුල දේශපාලනයද, සංස්කෘතියද, ආගම් හා ආකල්ප බහුතරයක් රදා පවතිනුයේ අද වන විට  මෙම ජන මාධ්‍ය මත සිදු කරන කථිකාවත් හා සංවාද මත වීම එක්තරා ආකාරයට සමාජය විනාශ වීමටද හේතුවකි. එක් නාලිකාවක් තමන්ට අවැසි දේ හරි යයි පවසන විට තවත් නාලිකාවක් එය එසේ නොව මෙය එසේ විය යුතු යැයි පැවසීමෙන් ඇතිවන සංවාදයන් මත සමාජයද දෝලනය වේ. මීට හොදම උදාහරණයක් නම් නාලිකා කිහිපයක් හා පුවත්පත් කිහිපයක් රුපලාවන්‍ය ආලේපන කිහිපයක් ප්‍රවර්ධනය සදහා එක් නිළියක් හෝ එක් සන්නාම තානාපතිවරියක් යොදා ගැනීමයි. මෙමගින් ගුණවත් නිෂ්පාදන මෙන්ම අගුනවත් නිෂ්පාදනද වෙළද පොලට යන අතර එමගින් සමාජය අවශ්‍ය දේ පමණක් නොව අනවශ්‍ය දෙයද වැලද ගනු ලබයි.

එය සංක්‍රාන්තික කාන්තාවන් ඇතුළු ප්‍රජාව ගත් කලද එසේ සිදු වේ. ජන මාධ්‍ය ලෙස මා විසින් තෝරා ගනු ලැබූ රූපවාහිනිය තුලදී නිරන්තරයෙන් නාලිකා අතර ඇති තරගකාරිත්වය මත තම නාලිකාවේ ප්‍රවර්ධනය ඉහලට ගෙනයෑමට වර්ථමානය වන විට මාධ්‍ය සදාචාර පවා බිද දමමින් කටයුතු කිරීමට ශ්‍රී ලංකික නාලිකාවන් බහුතරයක් කටයුතු කරනු ලබයි. ඔවුන්ගේ වචනයෙන්ම පවසන්නේ නම් මාර්කට් කිරීමට හැකි සියලුම දේ තම නාලිකාව සතු කරගැනීමට ඔවුන් පෙළබේ. මේ සදහා ඔවුන් එම අවස්ථාවේදී සමාජය තුල ප්‍රචලිත ප්‍රධාන ගැටලුව සොයා ගන්නා අතර එය හාස්‍ය උත්පාදනයට හෝ ප්‍රශ්නය උග්‍ර කොට නාලිකාවට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට උත්සහ කරනු ලබයි. ජන මාධ්‍ය සමරිසි පුද්ගලයන් හා සංක්‍රාන්තික කාන්තාවන් මුලිකවම හාස්‍ය උත්පාදනය කරන කාණ්ඩය, විවේචනයන් සිදු කල හැකි සුළු තරය, ප්‍රවෘත්ති මවන්නන් ලෙස වර්ග කිරීමට පෙළබි තිබෙන අතර එමගින් දෛනික වැඩසටහන් පෙළගැස්මෙහි එක් වැඩසටහනක සුළු ජවනිකාවකට හෝ ප්‍රජාව සම්බන්ධ කරගැනීමට උත්සහ ගනු ලබයි. පෙරදී මෙම හාස්‍ය ජවනිකා හෝ ප්‍රජාවට නිගරු වන දේ සදහා ප්‍රජාවේ නොවන පිරිස යොදා ගනිමින් ඔවුන් හරහා ප්‍රජාව අනුකරණය සිදු කලද අද වන විට ප්‍රසිද්ධිය සදහා ප්‍රජාවේ පිරිසම පෙනී සිටීම ලැජ්ජාවට කරුණකි.

මෙවැනි ජවනිකා බහුතරයක් ප්‍රජාව හැල්ලුවට ලක් කිරීමට හා වෙනස්කොට සැලකීමට යෝග්‍ය වන සේ නිර්මාණය වී ඇත. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත ටෙලි නාටක හෝරාවන් වන රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුල විකාශය වන බහුතරයක් දේශීය ටෙලි නිර්මාණ තුල දෛනික කොටස තුල සුළු වශයෙන් හෝ ප්‍රජාව නියෝජනය වන රංගනයක් අන්තර්ගත කොට ඇත. සැම විටම මෙම චරිත සුළු චරිත වන අතර කිසිදු විටක සමාජයට ඔවුන් පිලිබදව් පැහැදීමක් ඇති වන සේ එම චරිතයන් නොලියන අතර චරිතාංග නළු නිළියන් යොදා නොගැනේ.

මෑතකදී වූ ප්‍රධානතම උදාහරණයක් නම් සිරස නාලිකාව තුල රාත්‍රී 8.30 ට විකාශය වූ දැනට විකාශය වී නිමි වූ එක්තරා ටෙලි නාටකයක ප්‍රජාව නියෝජනය වන සේ චරිතයක් නිර්මාණය කර පෙන්වීම හා එම චරිතය සමාජ විරෝධී ක්‍රියා සිදු කරන මත් ද්‍රව්‍ය බෙදා හරින්නෙකු ලෙස පෙන්වා ඔහු නිසා එක්තරා චරිතයක් විනාශ වන බව නාටකය තුල පෙන්වේමයි. මෙයට ප්‍රජාවෙහි පුද්ගලයෙකුම සහභාගී කොට ගැනීමටද ඔවුන් පෙළබි ඇත.එමගින් සමාජය තුලට ප්‍රජාව අසම්මත යැයි ප්‍රකාශයක් ඉදිරිපත් කරනු ඇත.

එපමණක් නොව දෙරණ නාලිකාව තුල ඉරිදා දින රාත්‍රී 9.30 ට විකාශය වන විනෝදාත්මක වැඩසටහන තුලද එම වැඩසටහන මෙහෙයවන පුද්ගලයා විසින් නිතර ප්‍රජාව නියෝජනය වන සේ අංගචලන සිදු කිරීම, හඩ කැවීම හා සංක්‍රාන්තික ප්‍රජාව අපහසුතාවයට පත් වන සේ හැසිරීම සිදු කරයි. එපමණක්ද නොව වැඩසටහන තුල සංගීතය සපයන එක් වාදක ශිල්පියෙකු “සිගිති” ලෙස ආමන්ත්‍රණය කොට ඔහු හා පැමිණෙන අමුත්තන් අතර දෙබස් නිර්මාණය කොට කාන්තා අංගචලන හා කටහඩින් ඒවා සිදු කිරීමත් සිදු කරයි. එක් එක් දිනට තේමාවකට අනුකුලව ඔවුන්ගේ වැඩසටහන සිදු කරන අතර එක් දිනක් එය රුපලවන්යාගාරයක් වූ අතර නිවේදකයා කාන්තා ලාලිත්‍ය හා අංගචලන වලින් හෙබි පුද්ගලයෙකු ලෙස පෙනී සිටීමත් රුපලාවන්‍ය හා විලාසිතාකරුවන්ට නිගරු වන සේ ඔවුන් අනුකරණය කරමින් නිතර පුරුෂයන් පිලිබදව පවසන අතර අසබ්‍ය අරුත් ගැබ්ගත් දෙබස් පැවසීමත් සිදු කල අතර මෙමගින් ප්‍රේක්ෂකයන් හට සමාජයේ සිටින සමරිසි හා සංක්‍රාන්තික ප්‍රජාව වනචාරයන්, හැදියාවක් හා චාරයක් නොමැති ඇසුරු කිරීමට නුසුදුසු පිරිසක් ලෙස ඒත්තු ගැන්වීමට උත්සහ ගෙන ඇත. හාස්‍යට කරුණක් වන්නේ මෙම නිවේදකයා රජයේ විශ්‍යවිද්‍යාලයක අචර්යවරයෙකුද වීමය. එමෙන්ම ජන මාධ්‍ය තුලින් දේශපාලනිකව පහර දීමටද ප්‍රජාව යොදා ගනු ලබයි. උදාහරණයක් ලෙස “ සමනලයා” “ මායා” යනුවෙන් පැවසීමද ප්‍රජාව උකහා දක්වමින් දේශපාලකයෙකුගේ පුද්ගලිකත්වය හෙළි කිරීමද ජන මාධ්‍ය තුලින් කිසිදු චාරයක් නොමැතිව සිදු කරන කටයුත්තයකි.

තවද සම්බාහන ආයතන, ලිංගික ශ්‍රමය ඇතුළු ශ්‍රී ලංකික ජන සමාජය පිළිගැනීමට අකමැති රැකියාවක් වුවහොත් කිසිදු තැකීමකින් තොරව ජන මාධ්‍ය සදාචාර ධර්මයන් පසෙකලා නින්දිත ලෙස එය ප්‍රචාරය කිරීම සිදු කරනු ඇත. උදාහරණයක් වශයෙන් මෑතකදී සිදු වූ සංක්‍රාන්තික තරුණිය ඝාතණය සිදු වීමේදී ඇයගේ අනන්‍යතාවය හා පවුලේ ගෞරවයද අවසරයද නොමැතිව “ කාන්තා ඇදුම් ඇද සිටි තරුණයා” ලෙස මාතෘකා ගතකොට පුවත්පත් බහුතරයක මුල් පිටුවෙහි පල කෙරෙනි. මෙමගින් මානුෂිකත්වය පසෙකලා පුවත්පත්කරුවන් තම පුවත්පත සමාජයේ ඉදිරියට ගෙන එම පමණක් සිතා ඇත. මෑතකදී එක්තරා පුවත්පතක වූ ඝාතන සිදුවීමක් ප්‍රචාරය කර තිබුනේ “සමලිංගික ආදරය මරණින් කෙලවර වේ” යනුවෙනි මෙම පුවත දුටු මාගේ ප්‍රජාවේ නොවන මිතුරෙකු මාගෙන් පැවසුවේ ප්‍රජාව මෙතරම් පහත්ද එම නිසයි සමාජය ඔවුන් පිළිගැනීමට මැලි වනුයේ හා ඔවුන් මිනීමරුවන් බවත්ය.සිතන්න මෙම පුවත පල කරන ආකාරය වෙනස්කොට මානුෂිය කෝණයකින් එය සිදු කලේනම් මෙසේ සිදු වේද?

මෙලෙස පුවත් මැවීම හා සමාජය තුල ප්‍රජාව පිලිබදව අනිසි බියක් ඇති කිරීමද, ප්‍රජාව පිලිබදව ප්‍රචාරය කරන්නා, කතෘ හෝ නිවේදකයා තුල ඇති පුද්ගලික බිය හා අකමැත්ත මත පවසන නිවේදනයේ ගුණ අගුණ එම පුවත සමාජය තුලට ගිය පසු සමාජය විසින් පෙරලා ප්‍රජාවට සිදු කරන වෙනස්කොට සැලකීම හා හිංසනයන්ද තුලින් ජන මාධ්‍ය සතු වගකීම හා එය පැහැර හැරීමද, මාධ්‍ය සදාචාරයන් උල්ලංඝණයක්ද දිස් වේ.

53817018_2145887228832968_3046277778858049536_o ජාතික සංක්‍රාන්ති සමාජභාවී ජාලයේ ක්‍රියාකාරී සාමාජිකාවකි. මේ වන විට විවෘත විශ්ව විද්‍යාලයේ විලාසිතාකරණය පිළිබද උපාධිය හදාරමින් සිටී.

 

Two Blues [Converted]

Voices & Changes අරමුදලේ සහයෝගයෙනි.

Social Share: