2018 නොවැම්බර් 15.
සාකච්ඡාව සහ සටහන වින්ද්‍යා ගම්ලත් විසිනි.
සමරිසි තරුණයෙකු වන මොහොමඩ් සෆ්රාන් සිය ප්‍රජාවේ පිරිසට මෙරටදී අත්විඳීමට සිදුවන කොන්කිරීම, සමලිංගිකත්වය ගැන සමාජය තුළ ඇති නොදැනුවත්කම මෙන්ම දේශපාලන වේදිකාවේදී පවා සමරිසි බව හාස්‍යයට ලක්කිරීම ගැන අප සමග සම්මුඛ වූයේ මෙලෙසිනි.
ඔබ කවුද ?, මොනවද ? කරන්නේ යන්න ගැන මුලින්ම කිව්වොත් ?

මම මොහොමඩ් සෆ්රාන්. මම සමලිංගික පිරිමියෙක්. ඉංග්‍රීසියෙන් කිව්වොත් – Homo Sexual Person. දෙමළෙන් – ‘ඕර් ඉන සෙයර්කය්‘ කියලා කියනවා.
අපේ ප්‍රජාව වගේම සමාජයේ ඉන්න අනික් පිරිස් නොදැනුවත්කම නිසා සමලිංගිකත්වය සම්බන්ධයෙන් වැරදි වැටහීමක ඉන්නවා. ඔවුන්ව දැනුවත් කිරීම මගේ අරමුණයි.
සමලිංගිකත්වයට එරෙහිව නැගෙන මූලික චෝදනාවක් වෙන්නේ මෙය මානසික විකෘතියක් නිසා ඇතිවන තත්ත්වයක් බව. මේ ගැන කතා කළොත් ?
සමලිංගිකත්වය ලෙඩක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පිළි අරන් තියෙනවා. ඒත්, ලෝකේ ඉන්න බොහෝ දෙනෙකු මේ ගැන දන්නේ නැහැ. ලංකාවෙත් මෑතකදී ශ්‍රී ලංකා මනෝ චිකිත්සකවරුන්ගේ සංගමය මෙය අසනීපයක් නොවන බව තහවුරු කළා. සමලිංගිකත්වය නීතිගත කරනවා නම් ඔවුන් ඊට සහයෝගය දෙන බවටත් මාධ්‍ය වලට අදහස් දක්වා තිබුණා.
අවුරුදු 16 වගේ කාලේදී මටත් මේ ගැන නිසි දැනුවත්භාවයක් තිබුණේ නැහැ. පොඩි කාලේ ඉඳන්ම අපිව හැදුවේ ‘සමාජයේ තැන තියෙන්නේ විරුද්ධ ලිංගිකයින්ට ආකර්ශණය වෙන අයට‘ කියලනේ. එතකොට එහෙම තියෙද්දී මාත් හිතාගෙන හිටියේ කෙල්ලෙක් නම් කොල්ලෙක්ව විවාහ කරගන්න ඕන – කොල්ලෙක් නම් කෙල්ලෙක්ව විවාහ කරගන්න ඕන කියලා.
ඒ වයසේදී ලිංගික ඇසුරක් පවත්වලා තිබුණත් මේ ගැන දැනුවත් වෙලා හිටියේ නැහැ. සමලිංගිකත්වය ගැන වැඩිදුර කරුණු හොයාබලන්න පටන් ගත්තේ වැඩිහිටි වියට එළඹීමත් සමගිනුයි.ගොඩක් පිරිමි අතර ඉද්දී කාන්තාවක ගැන මට හැඟීමක් දැනෙන්නේ නැහැ. ආකර්ෂණයක් ඇතිවෙන්නේ පිරිමියෙකුට තමයි. ගර්ල් කෙනෙක්ට ට්‍රයි කරත් ඒක මට ෆීල් වෙන්නේ නැහැ.
එතකොට මං අවුරුදු 17 දී විතර ඉඳන් තමයි මේ ගැන හොයන්න පටන්ගත්තේ. දැන් වෙද්දි මේ ගැන බොහෝ දේ කියවන්න අවස්ථාව ලැබිලා තියෙනවා. දැන් මට වුවමනා වෙන්නේ මං වගේම කුඩා වියේදී මේ ගැන නොදැන ජීවත්වෙන අයට කියලා දෙන්න. සමලිංගිකයින්ට පමණක් නොවෙයි, විරුද්ධ ලිංගිකයින්, ද්වි ලිංගිකයින් මේ හැමදෙනාටම මේ ගැන ඇත්ත නැත්ත කියාදෙන්න ඕන.
මේ දැනුවත් කිරීමේ කටයුතු ඔබ කරන්නේ සමාජ මාධ්‍ය හරහා පමණද ? නැත්නම් පිරිස් LGBTQI ප්‍රජාවේ අය වගේම අනෙකුත් පිරිස්මුණගැහිලා ඔවුන් හා කතාබහේ යෙදෙනවද ?
සමහර අය ෆේස්බුක් මගින් මාව සම්බන්ධ කරගන්නා. ඒ අයට කියලා දෙනවා. සමහරු දුරකතනයෙන් කතා කරලා අහනවා. ‘මට මේක කියලා දෙන්න‘ කියලා. නැත්නම් එදිනෙදා මුණගැහෙන අය අහන ප්‍රශ්න වලට උත්තර මම දන්න විදියට ඔවුන්ට කියලා දෙනවා.
විද්‍යාත්මක පැත්තෙන් මේ සම්බන්ධයෙන් කරලා තියෙන පැහැදිලි කිරීම් හා අන්තර්ජාලය ඇසුරින් හොයාගන්නා විශ්වාස කළ හැකි මූලාශ්‍ර වලින් ලබාගන්නා තොරතුරු අධ්‍යයනය කරලා තමයි මං ඔවුන්ට කියලා දෙන්නේ.
සමහරවිට සමාජ මාධ්‍ය තුළ මේ ගැන කරන පළකිරීම් වලදී සමලිංගිකත්වය ලෙඩක්, බොරුවක් කියන අදහසේ එල්බ ගත්ත අයත් ඉන්නවා, මගේ අදහස් වලට එකඟ නොවන අයටත් මේ සම්බන්ධ ඇත්ත නැත්ත පැහැදිලි කරනවා.
සමලිංගිකත්වය, විරුද්ධ ලිංගිකයින්ට ආකර්ශණය වීම, ද්විලිංගිකත්වය, සංක්‍රාන්ති ලිංගිකත්වය, කියන්නේ පුරුදුවීමක් නෙමෙයි, ඉපදීමක්. ඒක දෙවියන් විසින් නිර්මාණය කරන ලද්දක්. (Gods create). එහෙම නැතුව ‘මම වෛද්‍යවරයෙක් වෙනවා, ඉංජිනේරුවෙක් වෙනවා කියනවා‘ වගේ ඒ අයට ලිංගිකත්වය වෙනස් කරගන්න බැහැ. එහෙම හිතනවා නම් ඒක පිස්සුවක්.
මේ ගැන නොදන්නා අයට මං වරදක් කියන්නේ නැහැ. ඒ අය නොදන්නා නිසයි විවිධ චෝදනා නගන්නේ.
ඔබ කිව්වා ඔබ දන්නා දැනුම අනෙක් අය සමග බෙදාහදාගන්නවා, උපදෙස් දෙනවා කියලා. මනෝවිද්‍යා උපදේශනය වගේ ක්ෂේත්රයක් ගැන හදාරන්න උනන්දුවක් තිබෙනවද ?
එවැන්නකට යොමුවෙන්න කැමතියි. නමුත්, තාම ඒකට කාගෙවත් සහයෝගය ලැබුණේ නැහැ.
ඔබ මීට කලින් සඳහන් කළා ඔබ LGBTQI ප්‍රජාව නියෝජනය කරන කෙනෙක් කියලා. මං දැනගන්න කැමතියි ලංකාවේ සමාජය ඇතුළේ LGBTQ දූ දරුවන් ගැන තේරුම්ගන්න වාතාවරණයක් තියෙනවද කියන කාරණේ ගැන ?
ගොඩක් දුරට මං අහලා තියෙනවා සමලිංගිකත්වය ලංකාවේ පිළිගන්නේ නැති නිසා, අඩුම තරමේ decriminalize කරලා වත් නැති නිසා කොච්චර කියලා දුන්නත් තාමත් මගේ දෙමව්පියෝ වුණත් හිතන් ඉන්නේ, ‘ඕක වැරදියි‘, ‘ඕක බොරුවක්‘, ‘ඕක ලෙඩක්‘, ‘අපිම හිතාගෙන කරන දෙයක්‘ කියලා. අපිම හිතාගෙන කරන්නේ මොකටද ?.
Hetro sexual නම් තරුණියක්ව බඳිනවනේ ?, තරුණියකට ආදරේ කරනවනේ ?. ඒ ගොල්ලෝ මේ තරම් කියලත් ඒ මතයේම තාමත් ඉන්නේ ඇයි ?. මගේ හැඟීම් වෙනස් කරගන්න බැහැනේ. ඒ වගේම මගේ අම්මා, තාත්තා වගේම කටයුතු කරන අය ගැන මං අහලා තියෙනවා. යාළුවන්ගේ මාපියන් පවා මේ විදියට හැසිරෙනවා දැකලා තියෙනවා. කොච්චර කීවත් ඒ අය පිළිගන්නේ නැහැ. ඇත්තටම, ඔවුන් වැරදියි කියන්නත් බැහැ. මොකද පොඩිකාලේ ඉඳන්ම ඒ අයගේ ඔළුවට කාවද්දලා තියෙන මතය වෙනස් කරගන්නේ නැහැ.
මෙවැනි පිරිස් වලට ගෙදරදී මුහුණදෙන්න වෙන්නේ මොනවගේ අත්දැකීම් වලටද ?
වෙනස්කම් තමයි.Heterosexual දරුවෙක් ගෙදර ඉන්නවා කියමු, මාපියන් එයාට සලකනවට වඩා අඩුවෙන් තමයි මෙවැනි දරුවන්ට සලකන්නේ, වෙනස්කම් කරනවා.
මේ වෙනස්කම් වල අවසානය සියදිවි නසාගැනීම් දක්වා යන බව මා අසා තිබෙනවා. මෙහි ඇත්තක් තියෙනවද ?
මං අහලා තියෙන විදියට බොහෝ විට එහෙම වෙන්නේ සංක්‍රාන්ති ලිංගික පිරිස් වලටයි.පිරිමියෙකු විදියට ඉපදිලා ගැහැණියක් විදියට ජීවත්වෙන්න ඕන කියලා හිතන්නේ සංක්‍රාන්ති ලිංගිකව ඉපදුණු නිසානේ. දැන් අපි එහෙම නෙමෙයිනේ. ඉතිං, එහෙම අයගේ අම්මලා, තාත්තලා හිතන්නේ කොල්ලෙක් වෙලා ඉපදිලා, කෙල්ලෙක් විදියට ජීවත්වෙන කොට මෙහෙම දරුවෙක් ඉන්න එක සමාජයේ ලැජ්ජාවට පත්වෙන්න හේතුවෙන කරුණක් කියලා. පවුලෙන් මෙවැනි පිරිස් ප්‍රතික්ෂේප වෙන්නේ ඒ නිසයි. සමහර අය ගෙදරින් එලවලත් තියෙනවා.
මේක බෙහෙත් හෝ මැජික් වලින් නවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාටවත්ම ඉපදීම වෙනස් කරන්න බැහැ. නමුත්, හිත වෙනස් කරන්න පුළුවන්.
උපදේශනය වැනි දේවල් වලින් හෝ එහෙම වෙනස් වුණු අයඔබ දැනුවත්ව ඉන්නවද ?
මනෝවිද්‍යාවෙන් වෙනස් කරන්න බැහැනේ. විද්‍යාවෙන් හෝ මනෝවිද්‍යාවෙන් කොහොමට වත් ලිංගික නැඹුරුතාව වෙනස් කරන්න බැහැ. අපේ අතපය, මූණ කටේ වෙනසක් කරන්න පුළුවන්, නමුත්, කවදාවත් හැඟීම් වෙනස් කරන්න බැහැ. ගුරුකම් කළත් ඒවගේ දෙයකින් පුළුවන් හිත වෙනස් කරන්න විතරයි, ඒකත් තාවකාලිකයි. එවැන්නක් මාපියන් දරුවන්ට කරනවා කියන්නේ කොයි තරම් නරක වැඩක්ද ?. මාපියන්ගේ තිබෙන ආත්මාර්ථකාමීත්වය නිසානේ දරුවන්ට එවැනි දෙයක් කරන්නේ. එතකොට ඒ දේවල් වලින් කොයිතරම් ලෙඩ හැදෙනවද ?. සිරුරටත් හානියක් ඒක. දරුවන්ට තමන්ගේ කැමැත්තට ජීවත්වෙන්න දෙන්නේ නැහැ.
තරුණයෙක් එක්ක මගේ සම්බන්ධයක් තිබුණා 2017 දී. අම්මා, තාත්තා එක්ක මම ගෙදර හිටියේ. මේ කාලේදී අපේ අම්මා මගේ කොට්ට උරේ යට තහඩුවක ලියපු දෙයක් දාලා තිබ්බා හිත වෙනස්වෙන්න. නමුත්, ඒක සාර්ථක වෙලා නැහැ මට.
සමාජ මාධ්‍ය තුළ පවා LGBTQ පිරිස් ගැන කතා කළොත් අනිවාර්යයෙන්ම ලේබල් වැදෙන තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන්ම, ආගම්වාදී පිරිස් මීට එරෙහි දැවැන්ත හඬක් නගනවා. ඔබ සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී කෙනෙක් විදියට මේ ගැන කතා කළොත් ?
කමෙන්ට් පමණක් නෙවෙයි, කෝල් කරලා පවා මට බැණලා තියෙනවා. එවැනි පිරිස් වලට මම ආගමික කරුණු පදනම් කරගෙන පැහැදිලි කරලා තියෙනවා.
ඔබ සමාජ මාධ්‍ය ඇතුළේ පළකර තිබෙන ප්‍රකාශ, පෝස්ට් සහ ලේඛන දකිද්දි බොහෝ දුරට දැකගන්න පුළුවන් එක පොදු දෙයක් තියෙනවා Allah Loves Equality කියන ප්‍රකාශය. සමරිසි පිරිස් වල අයිතීන් වෙනුවෙන් අරගල කිරීම ඇතුළේ ඔබ ඊට ආගමික මුහුණුවරක් දෙන්න උත්සහ කළේ ඇයි ?
ඉතාලියේ ජීවත්වෙන ඉස්ලාම් ජාතිකයෙකුගේ ෆේස්බුක් ගිණුමක දුටුවා, Allah Loves Equality කියන ප්‍රකාශය ඔහුගේ ෆේස්බුක් ගිණුමේ තිබුණා. ඔහු LGBTQ ඉස්ලාම් ජාතික LGBTQ ප්‍රජාවේ අය සම්බන්ධයෙන් වැඩ කරන කෙනෙක්. මමත් මගේ ඡායාරූප සංස්කරණය කරලා මේ අදහස දැම්මා. මේ සමග දුරකතනයෙන් විවිධ පිරිස් මට කතාකරලා කියන්න ගත්තා, ‘මේක අයින් කරන්න කියලා‘. මං අයින් කළේ නැහැ. මං නිරුවත් ඡායාරූපයක් දැම්මේ නැහැනේ. ඕනම කෙනෙක් කැමති සමානාත්මතාවයට. අල්ලා දෙවියන්ට වුණත් ඕන සමානාත්මතාවය. මට දෙන්න වුවමනා කරපු පණිවිඩය වුණෙත් ඒක, තවම ඒ ඡායාරූපය Stand Up for Homosexuality කියන මගේ පිටුවේ තියෙනවා. මේක අයින් කරන්න කියලා කිව්වත් මම තාම අයින් කරේ නැහැ, එහෙම කියන අයට මම අභියෝග කරන්නේ මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා. ඒ ප්‍රශ්න වලට ඔවුන්ට උත්තර දෙන්න බැහැ. ඔවුන් කියන එකම කතාව වෙන්නේ බයිබලයේ හා කුරාණයේ තිබෙන ‘තහනම්‘ කියන වචනය හා ඊට අදාළ කතාව පමණයි.
ආගමික පැතිකඩින් ගත්තොත් බොහෝ දෙනෙකු ඉස්ලාම් දහම දැඩි නීතිරීති වලින් මිනිස්සුන්ව බැඳ දමා තියෙන ආගමක් ලෙස හඳුන්වනවා. මේ පිළිගැනීමත් සමග තරුණයෙක් විදියට LGBTQ ප්‍රජාවේ අයිතීන් සම්බන්ධයෙන් ඔබ කටයුතු කරද්දි එල්ල වන අභියෝග මොනවද ?
ඔවුන් දිගින් දිගටම කියන එකම කතාව සමලිංගිකත්වය ‘තහනම්‘ බවට බයිබලයේ හා කුරාණයේ තිබෙන සඳහනයි. නමුත්, මට හරියට අදහසක් නැහැ මේ තැන් දෙකේදීම ‘තහනම්‘ වෙලා තියෙන්නේ සමලිංගිකත්වය ද ? නැත්නම් පිරිමි – පිරිමි අතර සිද්ධවෙන ලිංගික හැසිරීම් ද ? යන්න. මං ඒ ගැන තාම හොයනවා.
මේ දෙකේදීම මං දන්න තරමින් තහනම් කරලා තියෙන්නේ පිරිමි – පිරිමි අතර සිද්ධ වෙන ලිංගික හැසිරීම්. මොකද කාන්තාවන් – කාන්තාවන් අතර ලිංගික ඇසුරක් පැවැතෙද්දී එතැනදී ලෙඩ රෝග වැළඳෙන්න තියෙන ඉඩකඩ අඩුයි. කාන්තාවක් හා පිරිමියෙකු අතර ලිංගික ඇසුරක් පැවතෙනවා නම් තමයි ලෙඩ පැතිරෙන්නේ. පිරිමි – පිරිමි අතර සිද්ධවෙන ලිංගික ඇසුරකදී එක පිරිමියෙකුට ලෙඩක් තිබ්බොත් අනික් අයටත් ඒක පැතිරෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
මගේ විශ්වාසය වෙන්නේ පිරිමියෙකු – පිරිමියෙකු සමග සම්බන්ධ වෙන්න එපා කියලා මෙවැනි ලිංගික හැසිරීම් තහනම් කරලා තියෙන්නේ, මේ නිසා ලූත් නබිවරයගේ පිරිස අල්ලා දෙවියෝ විසින් විනාශ කරලා දැම්මා. ක්‍රිස්තියානි ආගමේ බයිබලයේ සඳහන් කරලා තියෙනවා සමලිංගිකත්වය‘තහනම්‘ කියලා. පිරිමි – පිරිමි එකතුවෙන්න එපා කියලා ලූත් නබිවරයගේ කතාව දාලා තියෙනවා.
අන්තිමට පහළ වුණු ආගම විදියට පිළිගැනෙන්නේ ඉස්ලාම් දහමයි. ලූත් නබිවරයගේ කතාව කුරාණයෙත් දාලා තියෙනවා. නබිවරු එක් ලක්ෂ විසිදාහක් ලෝකයට පහළ වුණු බව කියනවා, ලූත් නබිවරයා කීවැනි නබිවරයා ද කියලා මම දන්නේ නැහැ. නමුත්, ඉදිරියේදී මේ ගැන නිසි අධ්‍යයනයක් කරලා ඒ ගැන අනික් අයටත් කියාදෙන්න සූදානමින් ඉන්නවා. ඒක තහනම් කළේ අනාචාරයේ හැසිරෙන නිසානේ, අපි දැන් අනාචාරයේ හැසිරෙන්නේ නැත්නම් අපිට තහනම් නැහැනේ.
එක් අයෙකුට එක් අයෙක් නැත්නම් එක් සම්බන්ධතාවයක් පවත්වාගන්න කියලානේ කියන්නේ. තරුණියක හා තරුණයෙක් අතර සම්බන්ධතාවක් පවත්වාගත්තත් වෙන අය එක්කත් සම්බන්ධතා පවත්වාගන්න හැකියාව තියෙනවනේ. දෙවියෝ අනාගතය දන්න නිසා සමලිංගිකත්වය මෙහෙම තහනම් කරලා තියෙන්නේ ඒ කාලේ තිබුණු ලෙඩ වළක්වන්නයි.
හ්ම්, ඔබ ඉස්ලාම් ආගම කොයිම වෙලාවකවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ?
නැහැ, කොයිම වෙලාවකවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අල්ලා දෙවියන්ගේ නීතිය හරියටම හරි. එහෙම නීතියක් දැම්මේ නැත්නම් මේ වෙද්දි බොහෝ දෙනෙකුට ලිංගික ආසාධන පැතිරිලි තියෙන්න ඕන. විරුද්ධ ලිංගිකයින්ට ආකර්ෂණය වෙන තරුණයෙක් හෝ තරුණියක් ගැන සලකා බැලුවොත්, ඔවුන් එක් අයෙකු සමග පමණක් සම්බන්ධතා පවත්වාගන්න කියලා කිව්වත් ඔවුන් ද එක් අයෙකු පමණක් සම්බන්ධතා පවත්වාගන්නේ නැතිව තවත් සම්බන්ධතා පවත්වාගන්නවා. දෙවියෝ අනාගතය දන්න නිසා මෙවැනි නීතියක් දාලා තියෙනවා. ඒ නිසා ඒ නීතිය හරියටම හරි.
ඔබ ආගම අතහැරලා නැහැ කිව්වනේ. පල්ලියට එහෙම යද්දි ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාර ද ?
සමලිංගිකත්වය තහනම් කියන කාරණේ ගැන පල්ලියේදී නම් කවුරුත් කතාකරලා නැහැ. ඉස්ලාම් දහම අදහම නෑදෑයෝ, අඳුරන වෙනත් අය නම් සමාජ මාධ්‍ය තුළ මම පළකරන දේවල් දැකලා කතාබහ කරලා තියෙනවා. ‘ඉස්ලාම් ආගමේ තහනම් කියලා සඳහන් වුණාට පස්සේ ඇයි මෙහෙම දේවල් පළකරන්නේ, මේවා ගැන ඔයා කතාකරන්නේ ඇයි ?, සමලිංගිකයෙක් විදියට ජීවත්වෙන්නේ ඇයි‘ කියලා තමයි අහන්නේ.
‘අපි ඉපදුණු විදියට හරි දේ මොකක්ද, වැරදි දේ මොකක්ද කියලා හඳුනගෙන ජීවත්වෙන්නේ‘ කියලා මම කියනවා. මම ගොඩක් අය එක්ක සම්බන්ධතා පවත්වාගන්නේ නැහැ. සමලිංගිකයින් වගේම විරුද්ධ ලිංගිකයින්ට ආකර්ෂණය වන අයත් එක් අයෙකු එක්ක පමණක් සම්බන්ධතා පවත්වාගෙන ජීවත්වෙන්න කියලා තමයි මම කියන්නේ. ආගමෙන් පවා මෙහෙම නීති රීති දාන්නේ මිනිස්සුන්ගේම හොඳට.
එතකොට, ඔබේ විශ්වාසය වෙන්නේ දෙවියන් විසින් මිනිස්සුන්ව මවන ආකාරය මත තමයි ලිංගික නැමියාව තීරණය වෙන්නේ කියන එකද ?
දෙවියන් විසින් මිනිස්සුන්ව විවිධාකාරයෙන් මවනවා. ඒ අතරින් පිරිසක් විරුද්ධ ලිංගිකයින්ට ආකර්ෂණය වන අය හැටියටත්, තවත් පිරිසක් සමලිංගිකයින් විදියටත්, ද්වි ලිංගික වත් සංක්‍රාන්ති ලිංගිකවත් ඉපදෙනවා.
දෙවියෝ ලෝකය මැව්වේ නැහැ කියලා විශ්වාස කරන අයට මේ ගැන වෙනත් කතාවක් කියන්න පුළුවන්. විද්‍යාත්මක හේතු විග්රහ කරමින් මෙවැනි පිරිස් මේ ගැන කතාබහේ යෙදිය හැකියි. මේ ගැන කිව්වොත් ?
මේ විද්‍යාත්මක කතා කියන බොහෝ දෙනෙකු ක්‍රිස්තියානි අය නේද ?. එතකොට බයිබලයේ කියලා තියෙන්නෙත් දෙවියෝ ඉන්නවා කියලනේ. ආදම් හා ඒවා නිර්මාණය කළෙත් දෙවියෝ. ලෝකය වර්ධනය වෙලා තියෙන්නේ මේ දෙන්නා එක්කයි.
ඔබ දෙවියන් ගැන කතාකරනවා වගේම සමලිංගිකත්වය ගැන තිබෙන පරිණාමීය පැහැදිලි කිරීම ගැනත් කතාබහ කරන කෙනෙක්. මේ ගැන කතා කළොත් ?
මේ මං හොයාගත්ත කරුණු නෙමෙයි. පර්යේෂණ වල දාලා තියෙන විදියට, සමලිංගිකත්වය කියන දේ අද ඊයේ ඇතිවුණු දෙයක් නෙමෙයි. වසර දහස් ගාණක ඉඳන් පැවත ගෙන එන දෙයක්. මේක මිනිස්සු අතර පමණක් නෙමෙයි, ගොඩක් සත්ව විශේෂ අතරත් පවතිනවා. පරිණාමවාදයේදී කියැවෙන්නේ පරම්පරා ගාණක් ගතවෙද්දී යම්කිසි සත්ව විශේෂයක් පරිසරයට ගැළපෙන හොඳ ලක්ෂණ ඉතුරු වෙලා අනෙක් ලක්ෂණ නැතිව යනවා කියලා. මේකට සොබාදහම විසින් තේරීම හෙවත් වරණය (Nature Selection) කියලා කියනවා.
ළමයි උපදවන්නේ නැති සමරිසි බව සත්ව විශේෂයකට වැඩක් නැත්නම් පරිණාමය ස්වභාවික වරණයෙන් බේරිලා ඉතුරු වුණේ කොහොමද කියලා හොයලා බැලුවම, සමලිංගිකත්වය තවමත් බිහිවෙන්නේ ඇයි කියන පරීක්ෂණ වලදී හොයාගෙන තියෙන්නේ, සමරිසි ජාන සැකැස්ම කාන්තාවකට පිහිටන විට ඒ කාන්තාවට වැඩියෙන්ම දරුවන් ලැබීමේ හැකියාවක් ලැබෙන බව. ඒ කියන්නේ සමරිසි පිරිමින්ගේ සහෝදරයින්ගේ – සහෝදරියන් වැඩියෙන් දරුවන් බිහිකරන බවයි.
ගල් යුගයේදී දරුවන් රැකබලා ගැනීම, ඔවුන්ට කෑම බීම හොයා දීම ඉතාම අපහසු කාර්යයක්ව පැවතුණා. හුගක් පිරිමි දඩයම් වලදී මියගිය නිසා දරුවන් බිහිකරලා මදි ඔවුන් හොඳින් හදාවඩා ගත්තොත් විතරයි මිනිස්සුන්ට අනාගත පැවැත්මක් තියෙන්නේ. ඒ සඳහා අදාළ ජාන සැකැස්ම විසින් සමහර අයව සමරිසි කරනවා.
ඒ කියන්නේ සොබාදහම තමයි සමරිසි අයව බිහිකරන්නේ. තමන් පවුල් ඇති නොකරන නිසා තමන්ගේ සහෝදරයින්ගේ දරුවන් විශාල ප්‍රමාණයකට කෑම සොයාදී රැකගන්නවා. සමරිසි ජාන සෙබාදහම විසින් පවත්වාගෙන ඇවිත් තියෙන්නේ එහෙමයි. මිනිස්සුන්ට අනික් මිනිස්සුත් එක්ක සමාජ සම්බන්ධතා ඇතිකරගන්නත් සමරිසි බව හේතුවුණු නිසා ඒ හරහා මිනිස් විශේෂයේ පැවැත්ම තහවුරු වුණා.
LGBTQ ප්‍රජාව සම්බන්ධයෙන් පර්යේෂණ වල නිරත වෙන බොහෝ දෙනෙකු පවසන කාරණයක් වෙලා තියෙන්නේ ලංකාවේ දමිළ, මුස්ලිම් වැනි ප්‍රජාවන් අතරත් මේ ප්‍රජාවට අයිති අය හිටියත් ඔවුන් නිතැතින්ම සමාජයෙන් කොන් වෙන පිරිසක් බවට පත්වී තිබෙන නිසා ඒ ගැන කිසිවෙකු කතාබහ කරන්නේ නැහැ කියලා. මේ කතාව ඇත්තක්ද ?
ඒ කතාවේ සත්‍යයක් තිබෙනවා. ලෝකයේ වගේම ලංකාවෙත් Heterosexual, සමලිංගිකයින් හා සංක්‍රාන්ති ලිංගික පිරිස් කී දෙනෙක් ඉන්නවද කියලා අපි දන්නේ නැහැනේ. ලංකාවේ මේක නීතිගත කරලා නැති නිසා එවැනි පුද්ගලයින් අපහාසයට ලක්කරන නිසා ඔවුන් සමාජයට විවෘත වෙන්නේ නැහැ. සමහර අය සමලිංගිකයින් වගේම සංක්‍රාන්ති ලිංගිකයින් බව දැක්කම පේනවා. නමුත්, ඔවුන් කියන්නේ ‘නෑ මම Straight කොල්ලෙක්‘ කියලා. මිනිස්සුන්ගෙන් එල්ල වෙන ප්‍රශ්න ඊට හේතු වෙනවා. ඒක නිසා ඔවුන්ගේ sexual orientation එක පෙන්වන්න බය වෙනවා. සමහර සංක්‍රාන්ති ලිංගිකයින් තමන් සංක්‍රාන්ති ලිංගිකයෙකු බව පිළිගන්න කැමති නැහැ. සමහරු bi sexual විදියට ජීවත්වෙනවා. ඔවුන් පවා පිළිගන්න කැමති නෑ.
‘‘නෑ, නෑ, මම තරුණියක්ව විවාහ කරගෙන ඉන්නවා. ඒත්, මං කොල්ලෙක් එක්ක ලිංගික ඇසුරක් පවත්වනවා. ඒ නිසා මම Straight කොල්ලෙක්‘‘ කියලා තමයි ඔවුන් කියන්නේ.
ඒ කතාව වැරදියිනේ. Straight තරුණයෙක් වුණත්, සමරිසි නැඹුරුවක් තිබුණත් එක් සම්බන්ධතාවකට විතරක් සීමා වෙන්න. ආදරේ කරන තරුණියක් ඉන්නවා නම්, ආදරේ කරන තරුණයෙක් ඉන්නවා නම් තව ගොඩක් අය හොයන්න යන්න එපා. එහෙම වුණොත් තමයි කවදාහරි දවසක මේක නීතිගත කරන්න පුළුවන්. සමාජයේ මේක නීතිගත වෙලා තිබුණා නම් මතු පරම්පරාවේ අයට පවා හොඳින් ජීවත් වෙන්න පුළුවන්.
LGBTQ පිරිස් වල පෙම් සම්බන්ධතා වලට සමාජයෙන් එල්ල වෙන්නේ මොනවගේ අභියෝගද ? ඔවුන්ට ප්‍රසිද්ධ ස්ථාන වලට ගිහිං නිදහසේ ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් ලංකාවේ තියෙනවද ?
සම්බන්ධකම් තියෙන බොහෝ දෙනෙක් තමන් පෙම්වතුන් බව පෙන්නගන්නේ නැහැ. විරුද්ධ ලිංගිකයින් දෙන්නෙක් මග තොටේදී හැසිරෙන විදියට ඔවුන් හැසිරෙන්නේ නැහැ, කිසිම බයක් නැතිව එහෙම ඉන්න පිරිස් කලාතුරකින් වගේ තමයි දකින්න ලැබෙන්නේ. නීතිගත නොවීම, පිළිගැනීමක් නොලැබීම, දැනුම නැතිවිම වගේ සාධක ඊට බලපා තිබෙනවා.
සමලිංගිකත්වය නීතිගත කළත් හැම මනුස්සයෙක්ම මේ නීතිගත කළ දේ පිළිගන්නේ නැහැනේ. ලිංගිකත්වය කියන්නේ අපි ඉපදුණු විදිය කියන දේ ගැන දැනුමක් නැත්නම් ලංකාවේ නීතිගත කරලා තිබුණත් මේ පිරිස් හිනාවේවි. නීතිගත කිරීම වගේම මේ ගැන දැනුවත් කිරීමත් අතිශය වැදගත් වෙනවා.
ගොඩක් වෙලාවට මිනිස්සු හිනාවෙනවා, විහිළු කරනවා, ඕක තමයි වෙන්නේ. මීට කලින් මගේ සම්බන්ධතා දෙක තුනක් තිබිලා තියෙනවා, ගොඩක් වෙලාවට දැක්කේ මිනිස්සු හිනාවෙන එකයි. අමුතු විදියට බලනවා, ළග කෙනෙක් හිටියොත් දෙන්නට දෙන්නා කතාකර ගන්නවා. ‘‘අර කොල්ලෝ දෙන්නා මෙහෙම හැසිරෙනවා‘‘ කියලා. මට නම් ඒ ගැන ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. මම ලැජ්ජා වෙන විදියට ප්‍රසිද්ධියේ හැසිරෙන්නේ නැහැනේ. ගැහැණියෙකු හා පිරිමියෙකු හැසිරෙන විදියටමනේ මාත් හැසිරුණේ. මාත් මනුස්සයෙක්, ඒ මනුස්සයට තියෙන අයිතියම මටත් තියෙනවා.
මෑතකාලීනව සංක්‍රාන්ති ලිංගික තරුණයෙකු ඝාතනයට ලක්වුණු බව වාර්තා වුණා ?
ඒ සංක්‍රාන්ති ලිංගික කෙනෙක්. මෙහෙමයි. කොළඹ වුණත් අධ්‍යාපනයක් ලබපු අය ඉන්නවා, එහෙම වුණාට වැඩක් නැහැ, ඔවුන් මේ සම්බන්ධයෙන් දැනුවත් නැහැ. කොළඹින් පිට පළාත් වල ගම් වල ඉන්න අය කොහොමත් මේ ගැන දැනුවත් නොවී තිබෙන්න පුළුවන්. මේක වැරදියි, ලෙඩක් කියලා තමයි මිනිස්සු හිතන්නේ, ඒකයි පහරදීලා තියෙන්නේ.
සමරිසි පුරුෂ පාර්ශ්වය අතර එච්.අයි.වී වැඩිවීමේ ප්‍රවණතාවක් තිබෙන බව තහවුරුමෑතකාලීනව ලංකාවේ කළ පර්යේෂණයකින් තහවුරු වී තිබෙනවා. මේ කතාවේ සත්‍යතාවක් තිබෙනවාද ?
ඇත්ත, ආගම් සම්බන්ධයෙන් කරපු පැහැදිලි කිරීමේදීත් මේ බව පැවසුවා. කාන්තාවක් හා පිරිමියෙකු සමග සම්බන්ධයක් පවතිද්දීත් එක් සහකරුවෙක් සමග සම්බන්ධයක් පවත්වාගත්තේ නැත්නම් එච්.අයි.වී ශරීරගත වෙන්න පුළුවන්. සමලිංගිකත්වය නීතිගත කරලා නැති නිසා ඒ සම්බන්ධතාවයන් පවත්වාගන්නෙත් හොර රහසෙයි. මේ නිසා එක් අයෙකුට එක් සම්බන්ධයක් පමණක් පවත්වාගන්න ලෑස්ති නැහැ. මේ නිසා පිරිමි රාශියක් සමග ඇසුර පවත්වන නිසා එච්.අයි.වී වැළඳීමේ අවකාශය වැඩියි. අනිත් කාරණේ, මං සමලිංගික වුණාට දන්නේ නැහැනේ, මෙයා විරුද්ධ ලිංගික ද, ද්වි ලිංගික ද කියලා. එතකොට ඕනම කෙනෙක්ට ආකර්ෂණය වෙනවනේ. ඉතිං, කීපදෙනෙක් එක්ක ඇසුර පවත්වන්න උත්සහ කරන නිසා නිශ්චිත සම්බන්ධයක් මේ වගේ සමලිංගික පිරිස් වලට නැහැනේ, ඒ නිසා එක් අයෙකුට ශරීරගත වී තිබෙන වෛරසයක් අනික් අයටත් පැතිරෙනවා. වැඩිවෙන්න හේතුව වෙලා තියෙන්නේ මේක. එක් අයෙකුට පමණක් සම්බන්ධතාව සීමා කරගන්නවා නම් මෙහෙම වෙන්නේ නැහැ.
මෑතකදී මං ඇහුවා ලංකාවට ආව විදේශ ජාතික කාන්තාවන් දෙන්නෙක්ට එච්.අයි.වී ශරීරගත වෙලා තිබුණු නිසා ඔවුන් සමග ඇසුරක් පවත්වපු ලංකාවේ තරුණයින් හතර දෙනෙක්ට එච්.අයි.වී ශරීරගත වුණා කියලා. මේ තරුණයින් වුණත් එක් ඇසුරකට පමණක් සීමා නොවුණු නිසානේ මෙහෙම වුණේ. සමලිංගික අය වුණත් එක් අයෙකු සමග තෘප්තිමත් වුණොත් මේ දේ වෙන්නේ නැහැ.
මගේ මතකය නිවැරදි නම් 2020 වනවිට ලංකාවේ අරමුණ වෙන්නේ එච්.අයි.වී මෙරටින් තුරන් කිරීමයි. මේ වෙනුවෙන් ප්‍රජාව අතර දැනුවත් කිරීම්, ආරක්ෂිත පියවර ගැන කියාදීම් සිද්ධ වෙනවාද ?
මේ හා අදාළ සංවිධාන සමග මම සම්බන්ධ වෙලා නැහැ. නමුත්, මගේ යාළුවෝ සම්බන්ධ වෙලා ඉන්නවා, ඔවුන් කියලා තියෙනවා මේ සම්බන්ධ දැනුවත් කිරීම් වෙනවා කියලා. එච්.අයි.වී තුරන් කිරීමට කරන වැඩකටයුතු අතරෙදී සම්බන්ධතා පවත්වාගන්න ආකාරය ගැනත් කියලා දෙන්න ඕන. හැමදාම එක් අයෙකු සමග පමණක් ලිංගික සම්බන්ධතාවක් පවත්වාගන්න ඕන කියලා උපදෙස් දෙන්න ඕන. සමලිංගික නම් එක් තරුණයෙකු සමග පමණක් සම්බන්ධතාවක් පවත්වාගන්න කියලා කිව්වා නම් ලිංගික ආසාධන පැතිරීම පාලනයක් සිද්ධ වෙනවා. විරුද්ධ ලිංගිකයින් අතර තියෙන සම්බන්දේකදී වඩා පිරිමි – පිරිමි අතරේ තියෙන සම්බන්ධයකදී වෙනත් ගොඩක් පිරිමින් සමග සම්බන්ධතා පවත්වා ගන්නවා. මේක අඩුකරගත්තා නම් හරි.
යටත්විජිත නීති ක්‍රමය ඇතුළේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 (a) වගන්තිය යටතේ අපේ රටේ LGBTQ ප්‍රජාවට දැඩි බලපෑමක් වෙලා තියෙනවා. සමලිංගිකත්වය තවදුරටත් ඉන්දියාව තුළ තවදුරටත් සාපරාධී වරදක් නොවන බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී තීන්දු කළා. ලංකාවේ මේ අභියෝගය ජයගන්නේ කොහොමද ?
ඉන්දියාවේ හැම ප්‍රාන්තයකම මිනිස්සු මේ වෙනුවෙන් අවුරුදු ගාණක් තිස්සේ සටන් කරලා නීතිගත කරන්න පුළුවන් වුණා. සමලිංගිකත්වය වැරැද්දක් නොවන බව රජයෙන් පිළිගත්තා. එතකොට ලංකාවේ තාම ඒ වගේ වෙනසකට ගියේ නැහැ. දේශපාලඥයින් පවා ඉන්නවා සමලිංගික අය, නමුත් ඔවුන් එහෙම ඉදිද්දීත් තමන්ගේ දේශපාලනය කරනවා. මූලිකම හේතුව ඔවුන්. දේශපාලඥයින් සෙල්ලම් කරනවා. සමලිංගිකත්වය ඉත්තෙක් වගේ තියාගෙන දේශපාලන ව්‍යාපාර කරනවා. Homosexuality කිව්වම government එක හිනා වෙනවානේ. එහෙම හිනාවෙද්දී අපිට මාර දුකයි, මොකද අපේ රටට වඩා දියුණු රටවල් මේ තත්ත්වය ගැන තේරුම් අරගෙන මනුස්සයින්ගේ සමානාත්මතාවට ඉඩ දුන්නා නම් ඇයි අපේ රටේ කරන්න බැරි. ඒ ගොල්ලෝ මේ සම්බන්ධවත් දැනුවත් වෙන්න ඕන, ඒ විතරක් නෙමෙයි ආත්මාර්ථකාමී නොවී හැම කෙනෙකු ගැනම හිතන්නත් ඕන. සමලිංගික වුණත් සංක්‍රාන්ති ලිංගිකයෝ වුණත් ඒ හැමෝම ලංකාවේ පුරවැසියෝ. ලංකාවේ හැම කෙනෙක්ටම ජීවත්වීමේදී සමාන අවස්ථා හිමිවෙන්න ඕනි, නමුත්, සමලිංගික අයට එහෙම නැහැ.
හාර්ට් ටු හාර්ට්, Equal Ground වැනි සංවිධාන නීතිගත කරන්න උත්සහ ගත්තත් ගොඩක් සංවිධාන කරන්නේ ලෙඩ රෝග පැතිරීම වැළැක්වීම පමණයි. රෝහල් වල ලේ පරීක්ෂා කරනවා වගේ එක් අයෙකුට පමණක් සීමා වෙලා ලිංගික සම්බන්ධතා නොපවත්වන මිනිස්සුන්ට ආරක්ෂිතව එවැනි ඇසුරක් පවත්වන්න ඉඩ පහසුකම් ලබාදෙනවා. Equal Ground හැරෙන්න අනික් සංවිධාන කරන්නේ රැස්වීම්, උත්සව පවත්වලා ලෙඩ රෝග පැතිරෙන්නේ නැති වෙන්න අවශ්‍ය පසුබිම සකසන එකයි. ඒ හැර නීතිමය වෙනසක් වෙනුවෙන් පිරිස පෙනී හිටින්නේ නැහැ.
Lesbian පැත්ත ගැන කතා කරන පිරිසකුත් ඉන්නවා. අපිත් උත්සහයක් ගමු ඉතිං. මේ වෙනස වෙනුවෙන් LGBTQ ප්‍රජාවේ හැමදෙනාම එකතු වෙන්න ඕන. එහෙම කතා කළොත් තමයි නීතිගත කරන්න පුළුවන්, එහෙම නැතුව මෙයා කරයි, අරයි කරයි කියලා හිතුවොත් කවදාවත් වෙයි කියලා මම හිතන්නේ නෑ.
අපි දේශපාලඥයින්ගේ හැසිරීම ගැන කතාකරා. පහුගියදා ජනාධිපතිතුමා අනෙක් පාර්ශ්වය විවේචනය කරන්න අපහාස වදන් යොදාගත්තා. ප්‍රජාවේ කෙනෙක් විදියට ප්රජාතන්ත්රවාදී යැයි කියන රටක පාලකයෙකු කියන මෙවැනි කතා අනුමත කරනවද ?
මුලික වැරැද්ද දේශපාලනයට සමලිංගිකත්වය ගාව ගන්න එක. දේශපාලනය කරන්න ඕන මිනිස්සුන්ගේ ලිංගිකත්වය ගැන කියන්න නෙමෙයි. විහිළු කළත් විහිළු කරන්න කොයිතරම් හේතු තියෙනවද ?. ලිංගිකත්වය ගැන කියමින් මෙවැනි හාස්‍ය කතා කියන එක වැරදියි. යූ.එන්.පී. කෙනෙක් වුණත් මෙයා මෙහෙම ලිංගික රුචියක් තියෙන කෙනෙක්. මෙවැනි ලිංගිකත්වයක් තියෙන අය විතරයි දේශපාලනය කරන්න ඕන. මෙවැනි ලිංගිකත්වයක් තියෙන කෙනෙක් දේශපාලනය නොකළ යුතු බව කියන්න ඕන නැහැනේ.
හැම මනුස්සයෙකුටම සමාන සැලකුම් ලැබෙන්න ඕන. රනිල් වික්‍රමසිංහ මොන ලිංගික අනන්‍යතාවක් තියෙන කෙනෙක්ද කියලා මම දන්නේ නැහැ. යූ.එන්.පී. එකේ ඉන්න කාට හෝ මොන විදියේ ලිංගික අනන්‍යතා තිබුණත් ඒක වෘත්තියට අදාළ නැහැ.
ජනාධිපතිතුමා එවැනි කතාවක් කීම ගැන ගොඩක් දුකයි. ප්රජානත්ත්රවාදී පාලනයකදී හැමෝම එක හා සමානයි කිව්වත්, සමලිංගිකත්වයට පමණක් අයිතිය දීලා නැහැ. එතකොට ප්රජාතන්ත්රවාදය තියෙන්නේ කොහොමද?
මං මෑතකදී ඔබේ ෆේස්බුක් ලයික් පේජ් එකේ සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම මංගල දැන්වීමක් පළකරලා තියෙනවා දුටුවා. අපි ජීවත්වෙන්නේ සමලිංගිකත්වය පිළිනොගන්නා රටක. එහෙම රටක් ඇතුලේ මේ වගේ දෙයක් පළකරන්න ඔය තරම් ශක්තියක් ලැබුණේ කොහොමද ?
තාම ලංකාවේ සමලිංගිකත්වය ලීගල් නැහැ, අම්මලා තාත්තලා මේක පිළිගන්නෙත් නැහැ. ඒ නිසා මට සහකාරයෙක් හොයන්න බැහැනේ. මං මෙහෙම සමලිංගික තරුණයෙක්, බඳින්න, එකට ජීවත්වෙන්න කැමතියි කියලා මගේ අම්මත් ගෙදරට කියන්න බැහැනේ. ගෙදරින් ගිහිල්ලා විරුද්ධ ලිංගිකයින්ට ආකර්ෂණය වෙන කොල්ලෙක්ට, කෙල්ලෙක් හොයනවා වගේ හොයන්න බැහැනේ. පිටරට වල අම්මලට කියලා තමන්ගේ සහකරු හෝ සහකාරිය හොයලා විවාහ කරදුන් අවස්ථා තියෙනවා. මේ තත්ත්වයට ලංකාවේ මාපියන් ඇවිත් නැති නිසා මෙවැන්නක් පළකලා. සමලිංගිකත්වය නීතිගත කර නැති නිසා විවාහ වෙන්න බැහැ, සහකාරයෙක් ඉන්නවා නම් වෙඩින් එකක් අරගෙන කැමති විදියට රිං එකක් මාරුකරගෙන ජීවිතේ පටන් ගන්න පුළුවන්. ඒක නිසා මං හිතුවා පත්තරේ දාන එකට වඩා අන්තර්ජාලය මාර්ගයෙන් පළකරන්න.
‘‘මම සහකාරයෙක් හොයනවා. අවුරුදු 22 – 30 අතර ප්‍රියමනාව පෙනුමකින් යුතු සමලිංගික කොල්ලෙක් විය යුතුයි. මුස්ලිම් ආගමිකයෙක් විය යුතුය. නැතහොත්, මුස්ලිම් ආගමිකයෙක් වීමට පුළුවන් විය යුතුයි. සමාජයට අභියෝග කරමින් සමලිංගික ආදරේ බැඳීම ලොවටම පෙනෙන සේ එකට ජීවත් විය යුතුය. අපේම දෙමාපියන් හට සමලිංගික උපත සාමාන්‍ය දෙයක් කියන සත්‍ය පහදා දී ඔවුන් දැනුවත්ව අපේ සම්බන්ධතාව කරගෙන යාමට පුළුවන් විය යුතුය. පළමුව අපි එක් නිවහනක එකට ජීවත් විය යුතුය. පසුව අපි විවාහ කරගෙන ප්රතිනීතිය මගින් අපේම දරුවෙක් හදාගෙන හෝ දරුවෙක් හදාගන්න අරගෙන ජීවත් විය යුතුය. විවාහ කරගෙන මේ විදියට එකට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් නම් දැන්ම මාව සම්බන්ධ කරගන්න‘‘
මුස්ලිම් කොල්ලෙක් බඳින්නේ මුස්ලිම් කෙල්ලෙක්, ඒ නිසා අන්තිමට මං කියලා මම ආදරේ කරලා බඳින්න කැමති මුස්ලිම් කොල්ලෙක්ට කියලා. එහෙම නැත්නම් කැමති නම් කන්වර්ට් වෙන්න පුළුවන්. කොල්ලෙක් – කෙල්ලෙක් බැන්ඳත් කැමති නම් කන්වර්ට් වෙනවා.
බොහෝ දෙනෙක් මේ විවාහ යෝජනාව අගය කරලා තිබ්බා ?
ඔව්, ගොඩක් අය සුබ පතලා තිබ්බා, සමලිංගිකත්වය ගැන දන්නේ නැති සමහරු විහිළු කතා කියලා තිබ්බා. මං ඒවා ගණන් ගත්තේ නැහැ.
තාම කෙනෙක් මුණගැහුණද කියලා මං අහන්න යන්නේ නැහැ ?
කට්ටිය හම්බවෙනවා. ඒත්, සාමාන්‍යයෙන් කෙනෙක් හොයද්දී පෙනුම ගැන, ආගම ගැන බලනවා. මං ඒ දෙකම බලනවා. එහෙම set වෙනකොට තමයි, ‘මට මෙයත් එක්ක relationship එකක් පටන්ගන්න පුළුවන්ද ?, මෙයා තමා මගේ සහකාරයා‘ කියලා තීරණය කරන්න පුළුවන් වෙන්නේ. මට ගොඩක් proposals ආවා. ගොඩක් දුරට ඔවුන්ගේ පෙනුම මගේ හිතට set වුණේ නැහැ. ආගම ප්‍රශ්නෙකුත් නැහැ, මුස්ලිම් අයත් propose කරලා තියෙනවා, මුස්ලිම් නොවන අයත් මට කැමතියි, ආගම කන්වර්ට් කරගන්න පුළුවන් කියලා කියලා තියෙනවා. නමුත්, මට පෙනුම ගැළපුණේ නැහැ.
‘පෙනුම‘ කියන දේ මේ තරම්ම වැදගත් ඇයි ? ඊට වඩා වැදගත් වෙන්නේ සහකරුව හොඳින් දැන හඳුනාගැනීම නෙමෙයිද ?
ඒක එකිනෙකාගේ කැමැත්ත. සමහරුන්ට වැදගත් නැහැ, නමුත්, සමහරුන්ට මේක වැදගත්. මං දැන් ඉන්න වයසත් එක්ක පෙනුම වැදගත් කියලා මට හිතෙනවා. ළඟදී ඒ වගේ යෝජනාවක් ආවා. මං කියන හැමදේටම එකඟයිලු. නමුත්, ඔහුට ආගම වෙනස් කරගන්න බැහැලු.
තමන් හැබෑවටම කවුද කියලා හඳුනගත්තේ කොයි කාලේදීද ? කොහොමද ?. කැමති නම් ඒ අත්දැකීම් ගැන අපිත් එක්ක බෙදාගන්න පුළුවන් ?
මං ඉස්කෝලේ ගියේ රාජගිරියේ හේවාවිතාරණ මහා විද්‍යාලයට. ඒක මිශ්‍ර පාසලක්. හැඟීම් තිබ්බත්, සාමාන්‍ය පෙළ වගේ වෙනකල් මං මේ ගැන හෙව්වේ නැහැ. මොකද ඒ ගැන දන්නේ නැති නිසා. තරුණයින්ට ආකර්ෂණය වුණත් ඒ ගැන හෙව්වේ නෑ. ඉස්කෝලේ ගිහිං ඉවර වුණාට පස්සේ තමයි හොයන්න පටන්ගත්තේ.
අවුරුදු 17 දී ඉස්කෝලේ යද්දී පිරිමි ළමයි ගැහැණු ළමයින්ට ලයින් දානවා. ගැහැණු ළමයි – පිරිමි ළමයිට ලයින් දානවා. ඒකම තමයි මටත් කරන්න ඕන වුණේ. සමලිංගිකයෙක් කියලා මගේ ඉරියව්වෙන්, හැසිරීමෙන් හොඳටම පේනවා. එහෙම පේනකොටත් හැමෝම කරන්න කිව්වේ ඕක තමයි. ‘කෙල්ලෙක්ට ලයින් දාප බං‘ කියලා යාළුවෝ කිව්වේ. එතකොට ගැහැණු ළමයෙක්ට සමීප වෙන්න තමයි බැලුවේ ඒ කාලේ. මං කොල්ලෙක්ට ආදරය කරන්න ඕන කියලා හිතුණේ නැහැ. මොකද මං ආශ්‍රය කරපු අවට පිරිස්, සමාජය මට ඒකට ඉඩ දුන්නේ නැහැ.
මං ලිංගිකත්වයේ යෙදෙන්න ඕන පිරිමියෙක් එක්ක කියලා මට හිතුණා ඒ කාලේ. අවුරුදු 12 – 13 ඉඳන්ම, සාමාන්‍ය මනුස්සයෙක්ගේ හෝර්මෝන වර්ධනය වෙන කාලේදී හිතෙන්න ගත්තා. නමුත්, අවට ඉන්න අය මාව පොළඹවන්නේ, ආදරේ කරන්න ඕන, විවාහ වෙන්න ඕන ගැහැණු ළමයෙක් කියලා. කොල්ලෙක් ගැන මට සෙක්ස් ෆීලීන්ස් එන්නේ ඇයි කියලා මට හිතෙන්න ගත්තත් මේ ගැන මං හොයන්න පටන්ගත්තේ නැහැ.
මේ ගැන ආසාව තියාගෙන ගැහැණු ළමයිට ආදරේ කරන්න පටන්ගත්තා. 17 න් පස්සේ වගේ තමයි හොයන්න පටන්ගත්තේ, ‘ඇයි මම පිරිමි අය එක්ක සම්බන්ධකම් තියාගෙන ගැහැණු ළමයෙක්ව බඳින්නේ කියලා. ලිංගිකත්වය පිරිමි අය එක්ක කරද්දී ගැහැණියෙක් එක්ක ජීවත්වෙන්න ඕන ඇයි ?. ඇයි මම අනිත් අය කියන දේවල් කරන්නේ ?,ඇයි මට පිරිමියෙක් එක්ක ඉන්න බැරි ?‘.
අම්මා, තාත්තා වුණත් කියන්නේ ඒකනේ. බන්ඳලා දෙන්න ඕන කීවම කෙල්ලෙක් – කොල්ලෙක් කියලා නේ කියන්නේ, කොල්ලෝ – කොල්ලෝ, කෙල්ලෝ – කෙල්ලෝ නම් බඳින කතාවක් නැහැ ඔතන. ඒකට හිනා වෙනවා.
අවුරුදු 20 වෙනකල් හිතාගෙන හිටියේ මං කොල්ලෙක්ව ආශ්‍රය කරනවා කියලා. 18 වෙද්දී තරුණයෙක් ගැන ආදරයක් දැනුණා. ඒ කාලේ තරුණයෙක්ව හෙව්වා ආදරය කරන්න වගේම ලිංගිකත්වයේ යෙදෙන්නත්. එතකොට ‘මං හිතුවේ දැන් කොල්ලෙක්ව බලමු, 30 සාමාන්‍යයෙන් පිරිමි විවාහ වෙන වයසනේ. එතකොට තරුණියක් විවාහ කරගන්නවා‘ කියන අදහස තමයි තිබුණේ.
ඇයි ඒ සමාජ සම්මතය නිසාද ?
සමාජ සම්මතය හා නොදැනුවත්කම නිසා. ඒ අදහස තමයි තාමත් මගේ වයසේ ඉන්න සමලිංගික අයට තියෙන්නේ. තරුණියක්ව විවාහ කරගන්නවා, නමුත් දැනට තරුණයෙක්ට ආදරය කරනවා, සෙක්ස් කරනවා කියලා. ඒක වැරදියි.
අන්තර්ජාලයෙන්, ලිපි ලේඛන, පොත්පත් වගේ දේවල් වලින් මේ සම්බන්ධව දැනුවත් වෙන්න ගත්තම තමයි තේරුණේ මං කරන්න යන්නේ මෝඩ වැඩක් කියලා. මම ජීවත්වෙන්න ඕන මට ඕන විදියට, මං කැමති විදියට. අම්මා, තාත්තා කියන දේවල් අහන්න ඕන, ඒත් ඒකට සීමාවක් තියෙනවා. අපේ ලිංගිකත්වයට ගැළපෙන ජීවතයක් තියෙනවා. ඒ ජීවිතේට ගැළපෙන විදියට අපි ජීවත්වෙන්න ඕන. ඔවුන්ට ඕන විදියට අපිට ලිංගික රුචිය වෙනස්කර ගන්න බැහැ. මාපියන් ද ආත්මාර්ථකාමීව නොහිතා ඒකට ඉඩදෙන්න ඕන.
තරුණයෙක් එක්ක මුලින්ම පෙම් සබඳතාවක් පටන් ගත්තේ 2014 දී තමයි. 2015 පොඩි කාලයක් අතරතුර එකක් තිබ්බා, 2016 දෙකක් තිබ්බා. අන්තිමට තිබ්බේ 2017 දී. එහෙම තමයි ඉතිං.
කැමති නම් පමණක් මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න අවස්ථාව තියෙනවා. ඔබ කලින් කිව්වා එක් අයෙකු සමග පමණක් දිගු කාලීනව සම්බන්ධතාවක් පවත්වාගන්න ඕන කියලා. නමුත්, මේ සම්බන්ධතා දිගු කාලීනව නොපැවතුණේ ඇයි ?.
විරුද්ධ ලිංගිකයින් දෙන්නෙක් අතර ඇතිවෙන ආදරයකදී වුණත් ඒක මාස 6 -7 කින් නැතිවුණා කියලා වෙන සම්බන්ධතාවකට නොගිහිං ඉන්නවද ? තව කෙනෙක්ව හොයනවනේ. ඉතිං, ඒක තමයි මමත් කළේ.
![]() |
Voices & Changes අරමුදලේ සහයෝගයෙනි. |

![Two Blues [Converted]](http://old.bakamoono.lk/siadmin/wp-content/uploads/2018/10/Two-Blues-Converted-2.png)