ලිංගික හැසිරීමක දී ආසාදිත පුද්ගලයෙකුගෙන් වෙනත් පුද්ගලයෙකුට පැතිරෙන ආසාදන ලිංගිකව සම්ප්රේෂණය වන ආසාදන ලෙස හැඳින්වෙනවා. ඇතැම් ආසාදන, යෝනි ශ්‍රාවයේ, ශුක්‍ර තරලයේ හෝ රුධිරයේ අඩංගු වනවා. අනිත් ඒවා ලිංගික අවයව එකිනෙකට ගෑ වීමෙන් සමට ආසාදනය වනවා. මේ ආසාදන ලිංගික ක්‍රියාකාරී ඕනෑම කෙනෙකුට තිබෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මුල් කාලයේදී මේවා කිසිම රෝග ලක්ෂණයක් පෙන්වනේ නැහැ. ඒ නිසා ලිංගිකව සම්ප්රේෂණය වන ආසාදනයක් තමන්ට තිබෙනවාදැයි බොහෝ අය දන්නේ නැහැ.
මූලික වශයෙන් ලිංගිකව සම්ප්රේෂණය වන ආසාදන කාණ්ඩ 4ක් යටතේ හදුනා ගන්න පුළුවන්.
බැක්ටීරියා – සිපිලිස් (උපදංශය) , ක්ලැමීඩියා, ගොනෝරියා
වෛරස් – හර්පීස්, ලිංගික ඉන්නන්, එච්අයිවී
දිලීර – කැන්ඩිඩයිසීස්
පරපෝෂිත – ස්කේබීස් , ට්‍රයිකොමනාසිස්
මේ ආසාදන වල මුල් අවදියේදී ඇති විය හැක් පොදු රෝග ලක්ෂණ කිහිපයක් පහතින් දැක්වෙනවා.
පුරුෂයන්ට
- මුත්‍රා පිට කිරීමේදී හෝ ශුක්‍ර මෝචනයේදී වේදනාවක් හෝ දැවිල්ලක් ඇති වීම
- ශිෂණයෙන් සැරව හෝ වතුර වැනි හෝ කිරි පැහැති ද්‍රාවණයක් පිට වීම
- වෘෂණ කෝෂ ඉදිරිමීම සහ/හෝ තද ගතියක් දැනීම
- ගුදය වටා ඉදිමීම
- සාමාන්‍ය ප්‍රමාණයට වඩා මුත්‍රා පිට කිරීම
- ලිංගික අවයව කැසීම
- ලිංගික අවයව සහ ගුදය අවට ඉන්නන් ඇති වීම
- හේතුවක් නැතිව දිගටම පවතින උණ
ස්ත්‍රීන්ට
- උදර වේදනාව
- අසාමාන්‍ය ලෙස යෝනි මාර්ගයෙන් ශ්‍රාව පිට වීම
- ඔසප් වීමට අමතර රුධිරය පිටවීම
- ලිංගික සංසර්ගයේදී වේදනාවක් ඇති වීම
- මුත්‍රා කිරීමේදී වේදනාවක් හෝ දැවිල්ලක් ඇති වීම
- ලිංගික අවයව සහ ගුදය අවට ඉන්නන් ඇති වීම
- යෝනි මාර්ගයේ හෝ ගුදය අවට ඉදිමීම
- සාමාන්‍ය ප්‍රමාණයට වඩා මුත්‍රා පිට කිරීම
- ලිංගික සංසර්ගයෙන් පසු යෝනි මාර්ගයෙන් රුධිරය පිට වීම
- ගැබ් ගෙලෙන් දුගද හමන ශ්‍රාවයක් පිට වීම
- ලිංගික අවයව කැසීම
- ලිංගික අවයව වල සහ ඒ වටා බිබිලි ඇති වීම
- යෝනි ප්‍රදේශය ඉදිමීම හෝ තද ගතියක් දැනීම
- හේතුවක් නැතිව දිගටම පවතින උණ
මෙම ආසාදනවලට පොදු රෝග ලක්ෂණ තිබෙන බව ඔබට පෙනෙනවා ඇති. ලිංගිකව සම්ප්රේෂණය වන ආසාදනයක් බෝවී රෝග ලක්ෂණ මතු වීමට යම්කිසි කාලයක් ගතවිය හැකියි. බොහෝ විට කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ නිසා කොන්ඩම් භාවිතා නොකර සිදුකරන ලිංගික ඇසුරකින් පසුව පරීක්ෂණයක් සදහා යොමු වී වැදගත්. මුල් කාලයේදීම හදුනාගතහොත් මේවාට පහසුවෙන් ප්‍රතිකාර ලබා ගෙන සාමාන්‍ය පරිදි ජීවත් වීමට ඕනෑම පුද්ගලයෙකුට අවස්ථා තිබෙනවා.
ලිංගිකව සම්ප්රේෂණය වන ආසාදන වළක්වා ගැනීමට හොදම ක්‍රමය වන්නේ ආරක්ෂිතව ලිංගික හැසිරීමයි. ඒ කියන්නේ ලිංගිකව හැසිරෙන සෑම විටකදීම කොන්ඩමයක් පාවිච්චි කිරීමයි. කෙන්ඩමය බාධක ක්‍රමයක් නිසා අපේ ලිංගික තරල හුවමාරු වීම වළක්වනවා. ලිංගික ප්‍රදේශ වල සම එකට ගෑවීමට ඒ මගින් අඩු කරනවා. වෙළඳපොළේ විවිධ ප්‍රමාණයෙන්, රසයෙන් සහ විවිධ මතුපිට ස්භාවයෙන් යුතු කොන්ඩම් වර්ග තිබෙනවා.
කොන්ඩම් භාවිතකළත් නොකළත් ඔබ ලිංගිකව ක්‍රියාකරී කෙනෙක් නම් පරීක්ෂණ වලට යොමු වීම වැදගත්. ලිංගිකව සම්ප්රේෂණය වන ආසාදනයක් තිබනවාද කියා දැනගත හැකි වන්නේ එමගින් පමණයි. මේ පරීක්ෂණ රජයේ රෝහල් වලින් නොමිලේම සිදු කර ගැනීමට පුළුවන්. පරීක්ෂණ සදහා වෙලාවක් වෙන් කරවා ගැනීමට know4sure.lk වෙත යන්න. රජය මගින් සපයන මේ සේවාව ඔබේ රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා කිරීමට බැදී සිටිනවා.